..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, June 22, 2011

෴ නම නැති සෘතුව / The Unknown Season ෴



වසන්ත‍යේ අග දවසක

නටුවෙ අන්තිම අග මල
නෙලා ගත්ත නුඹ ආවා
හිත යට සෙවනට ඉන්නට 


ජීවිතේම වසන්තයක් නොවෙ දෝ මට සිතුනා

ගිම්හානයේ මල් හැලිලා
ආදරයේ ඵල හැදිලා
රස මී ගගුලක ගිලිලා
නුඹ මා තුරුලේ වුන්නා

ආදරයම ජීවිතයක් නොවෙ දෝ මට සිතුනා

අන්තිම ඵලයත් සෙනෙහස
තවරා මිහිරක් දුන් කළ
සෙවන සුවය මදි වෙලා
නුඹ ඈතක ඇදුනා

සරත් සමය නිම වුනා , මා සිත එක්තැන් වුනා


දුක හිතුනම හීතලෙන්ම
මා සිත මෙහි මිඳුනා
අදහගන්න බැරි තරමට
ලොව මා වට එතුනා

ජීවිතයම ශිසිර හිමෙන් වැහිලා මිය ඇදුනා

වසන්තයත් , ගිම්හානය , සරත් , ශිසිර සෘතු ගෙවා
කෙනෙක් ඇතේ ශීතලයෙන් මියෙන හිතක් දෙස බලා
දරා ගන්න බැහැ සීතල මියෙනු යෙහෙකි මා
එපා ඉතින් දාලා යන්න ළඟින් හිඳිමි මා

එවන් අයකු හමුවන තෙක් ශීත සෘතුව නවතලා
මියෙන හිතක් සෙනෙහස ගෙන
ඇතේ තවත් මඟ බලා
මියෙන්න පෙර එන්න ඉතින් සෘතුවක් වී නම නොදන්න
කිසිදිනක දි බැහැ එතකොට අපිව ඉතින් වෙන් කරන්න


“And you would accept the seasons of your heart just as you have always accepted that seasons pass over your fields and you would watch with serenity through the winters of your grief.”


නම නොදන්න සෘතුව එන තෙක් ශිසිරයේ සීතලේ සිටින
මම 
෴සොඳුරු සිත෴

13 ප්‍රතිචාර:

පූසා said...

නම නොදන්න සෘතුව අක්කට ඉක්මනටම හමුවේවා!

කිඩෝ said...

අක්කා ඔය කියන්නේ ආදරය කියන සෘතුව ගැන වෙන්ටෑ...

හිස් අහස said...

කවියට ගැලපෙන්න පින්තූරේ කොහොම හොයාගන්නවද මන්දා ?

ඔයා ලියන කවි අතර හැංගිලා තියන එක බලා පොරොත්තුවක් හැමදාම අපිට පේනවා .ඔයාගේ කවි බලලා අපි හිත හදාගන්න පිනෙන් ඔයාගේ බලා පොරොත්තුව කවදාකහරි ඉටු වේවි .

ජය වේවා !!

Beetle said...

සොඳුරු සිතෙන් කලාතුරකින් ලියවෙන, බලාපොරොත්තුවක් ‍රැඳුණු කවියක්... :)

බස්සා said...

ගීතයකට ඔබින පදමාලාවක් මේ තුල තියෙනවා කියලා හිතෙනවා..ඔබට ජය...

මධුරංග said...

නම නොදන්න සෘතුව ඉක්මනින් එලෙබේවා කියලා පතන්නම්. මට හිතෙන්නේ ආදර මල් පුබුදින ආදර වසන්තය කියලා තමයි. මෙහෙමයි මට හිතුනේ

රෙස්ලින්.lk said...

රෙස්ලින් බලන්න කෑමතිනම් මෙහෙ එන්න පොස්ට් එක හොදයි http://wrestlingsl.blogspot.com

චමිල said...

ඒ 'නම නොදන්න' සෘතුව ඇත්තේ 'ඔබ තුලමය'.... එය බලා ඉන්නේ ඔබේ අවසරය ලැබෙන තෙක්ය...

Helping To People said...

නම නොදන්න සෘතුව - ආදරය

ADK කොලුවා said...

ගිය හකුරට නාඩන්නේ - (තියන හකුර, ඒ ඉස්සර දැන් වෙනස්) නව හකුරක්‌ හොයපන්නේ...

සිතුවිලි නිහඬයි said...

ලස්සන පද වැල...නොකියා කියන ඒ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉටු වේවා.....

- නිල් අහස - said...

නමක් මොකටද...ඔයාගේ බලාපොරොත්තුව ඒ විදිහටම ඉටු වෙනවා නම්. ඊට පස්සේ ඕන නම් ඒකට නමක් දා ගන්න.

arunishapiro said...

බලාපොරොත්තුව ඉටු වුනොත් අපි කොහොම ද මේ තරම් රසවත් කවි රස විඳින්නේ .... දරුණු ප්‍රශ්නයක් .. ආත්මාර්ථකාමී වෙන්නම් ද නැත්නම් නංගාට නමක් නැති ඍතුවක් ලැබේවා යැයි පතන්න ද? .... විරහ ගීත වල රස වැඩි ද? ආදරය ලැබුණාමත් රස කවි ලියැවෙනවා නේද? .... අවදානමක් ගන්නම් නංගෝ එහෙනම්, මේ ගෝලීය වෙනස්කම් ඇතිවන යුගයේ නම නොදන්න ඍතුවක් හමුවේවා!! ජයෙන් ජය!!!

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...