..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, June 25, 2011

෴ ඉරණම්කාරි - විකල්ප අවසානය නොහොත් ලොක්කාගේ කතාව........෴

ලොක්කාට අසාධාරණයක් මයෙ කතාවෙන් සිදු වූවා නම් ,ඒ සියළු අසාධාරණකම් දුරලා , ඔහුගේ දෘශ්ඨි කෝණයෙන් ද , ඔහුගේ කතාව ඇසීමට අප සැමට අයිතියක් ඇති බැව් මගේ හැඟීමයි...... මේ ලොක්කාගේ කතාවයි.......

හැබැයි ලීවේ , මම නෙමෙයි , නිදහස් සිතුවිලි වල සම හවුල්කරුවකු වන රවි අයියා .................


-------------------------------------------------

නිදිවර්ජිතව ගත කල රාත්‍රීන් බොහෝ ගණනකට පසු මම තීරණයකට එළඹියෙමි.

මට බොහෝ අසීරු වූයේ පුතු නඟන පැනයන්ට පිළිතුරු දීමයි.

" තාත්ති අර ආන්ටි ආයෙ එන්නෙම නැද්ද? "

" ආයෙ එන එකක් නෑ පුතා,"

" තාත්ති හරි නරකයි ඒ ආන්ටිව එලවල දැම්ම, මම ඔයා එක්ක තරහම තරහයි,"

" අනේ නෑ, මගෙ රත්තරං, මම එහෙම කලේ නෑ, ඒ ආන්ටිමයි වෙන ඔෆිස් එකකට ගියේ,"

මම එසේ පැවසුවද පුතු මා කියන්න විශ්වාස නොකරන බව ඔහු මා දෙස බලා සිටි බැල්ම උදක්ම පවසයි.

එහෙත් මම කුමක් කරන්නද? ඇත්ත තත්වය පුතුට වටහා දෙන්නේ කෙලෙසද?

අවසන සංජුට කතාකල මම ඇය ගෙදර එන සතිඅන්තයක මා හා පැමිණීමට ඇය කැමති කරවා ගතිමි.

ඒ අනුව සෙනසුරාදාවක ගාල්ලට ගිය මම ඇයත් සමඟ කොළඹ බලා ඒමට පිටත් වීමි. මෝටර් රථයේ අම්බලන්ගොඩට පැමිනෙන තෙක්ම අප අතර කිසිදු කතා බහක් නොවිනි. ලානිල් පැහැති බ්ලව්සයකින් සහ කළු පැහැ දිගු සායකින් සැරසී සිටි ඇය ගෙතූ කොණ්ඩය අතැඟිලි අතර පටලවමින් නිහඬව ඉදිරිය බලා සිටියාය.

අම්බලන්ගොඩ අසල මගේ මිතුරෙකු පවත්වාගෙන යන මුහුද අසබඩ පිහිටි අවන්හලට ආසන්න වන විට මම ඇය ඇමතුවෙමි.

" සංජු, මේ ළඟ මගෙ යාලුවෙක්ගෙ රෙස්ටෝරන්ට් එකක් තියනව. අපි දවල්ට මොනව හරි කාල යමු නේද? "

ඇය එක්වරම මා දෙස හෙලූ බැල්ම වටහා ගැනීමට මට කිසිසේත් අපහසු නොවිනි.

" මොකද ලමයො ඔහොම මා දිහා බලන්නෙ? දවල්ට කන්න විතරයි එතනට යන්නෙ, ඒත් එක්කම මම මෙතනම තෝරගත්තෙ මෙතන හරිම නිස්කලංකයි, මට ඔයාට කියන්ඩ ලොකු කතාවක් තියනව සංජු,"

එවර මඳක් සිනාසුනු ඈ හිස වනා එකඟත්වය පළකලාය.

වම්පස මුහුද දෙසට විහිද ගිය අතුරු පාරෙ මඳක් ගියපසු හමුවන කුඩා හෝටලයට මෝටර් රිය ඇතුලු කල මම පෝටිකෝව යට රිය නතර කොට ඉන් බැස ගතිමි.

" එන්න සංජු, බය වෙන්න එපා,.....එන්න ළමයො,"

ඇය තවමත් රථය තුලම සිටිනු දුටු මම රථයේ වම්පස දොර විවෘත කරමින් පැවසුවෙමි.

ඇගේ අත අල්ලා ඇයට රියෙන් බැසීමට සහය වන්නට මගේ සිතේ එක්වරම ඇතිවූ පෙලඹවීම මම මැඩ ගත්තේ ඉතා අසීරුවෙනි.

එවර මා පසුපස පැමිණි ඇය පොල් රුප්පාවෙන් මනා කොට සෙවණ ලැබ තණ තීරුවේ පනවා තිබූ අසුනක මා අසලින්ම අසුන් ගත්තාය.

මගේ මිතුරා අද මෙහි නොවූමුත් ඔහුගේ උපදෙස් පරිදි සියල්ල සූදානම් කොට තිබිනි.

හෝටලයේ කලමනාකරු අප වෙත පැමිණියේය. " අපිට චිකන් ෆ්‍රයිඩ් රයිස්........... ම්ම්ම්....සංජු මොනාටද ඔයා කැමති? " මම ඈ දෙස හැරී විමසීමි.

" කමක් නෑ, ඒව හොඳයි, " ඈ මද සිනහවක් පාමින් පිළිතුරු දුන්නාය.

" සංජු මම බියර් එකක් බිව්වට කමක් නැහැනෙ," මගේ ඊළඟ පැනයටද ඈ පිළිතුරු දුන්නේ මද සිනහවක් සමඟ හිස වනා එකඟතාවය පළ කිරීමෙනි.

" ලාගර් බෝතලේකුයි................ මේ මිස්ට?....." මම ඇය දැස බැලීමි.

" ලෙමන් ජූස් " ඇය පැවසුවාය.

බියර් පෙණ බුබුලු නිවී යනතෙක් ඒදෙස බලා සිටි මම කටහඬ අවදිකලෙමි.

" මම මේ කතාව කොහෙන් පටන් ගන්ඩද කියල මට මහ ප්‍රශ්නයක් සංජු. අනික් කාරණේ, මටම හිතා ගන්න බැහැ ඇයි මම ඔයා එක්ක මෙව්ව කියන්නෙ කියල. අපි දෙන්න දැක්කෙත් එකම දවසයි. ඒත් මටම හිතාගන්න බැරි මොකක්දෝ දෙයක් මට බල කරනව මේ ඔක්කොම ඔයා එක්ක කියන්න කියල. මම මගෙ ජීවිතේ මුල ඉඳලම පටන් ගන්නම්,......... ඕකේ?, මම විතරයි අපෙ පවුලෙ දරුවෙක් හිටියෙ. ඒ නිසා ජීවිතේ මුල ඉඳලම මම ගත කලේ හුදකලා ජීවිතයක්. මම විවෘත කෙනෙක් නෙවෙයි. ඒ මගේ හැටි. Introvert කියල කියන්නෙ. මම අන්න එහෙම කෙනෙක්. සිංහලෙන් කිව්වොත් සංවෘත. ඇතුලට නැවුණු.හැඟීම් සඟවාගෙන ඉන්න. මම අන්න එහෙම කෙනෙක්. "

" මම විවාහ උනේ ප්‍රේම සම්බන්ධයකින්. මම එයාට ඇත්තටම ආදරේ කලා. එයත් මට ආදරේ කලා කියල මම හිතනව. අඩුම ගනනෙ මුල් දවස් වල විතරක් වත්. මම නවකතා, කෙටි කතා , කවිපොත් කියවන්න පුදුම ආසාවක් තිබ්බෙ. එයා පොතක් පතක් අතින් ඇල්ලුවෙ වත් නෑ. ඒත් අපි දෙන්න සන්තෝසෙන් හිටිය. පුතා ඉපදෙන කල්ම. අඩු ගනනෙ මම එහෙම හිතනව. පස්සෙ වෙච්ච දේවල් වල හැටියට එය සන්තෝසෙන් ඉඳල නැහැ කියන එක තමයි මට කියන්න වෙන්නෙ. ...............මගෙ වැරැද්ද වෙන්න ඇති බොහෝ විට. මම දන්නෙ නෑ.ඒත් එයා කවදාවත් මට ඒ ගැන නිකමටවත් කිව්වෙ නම් නෑ."

" ඔයාට අඩු ගනනෙ හිතාගන්න වත් පුලුවන් වෙයි සංජු එකපාරටම එයා මාවයි පුතාවයි දාල ගියාම මට ඒක කොච්චර ෂොක් එකක වෙන්න ඇතිද කියල,පුතා නැත්නම් මම ඇත්තටම දිවිනහ ගන්නව. ඒත් පුතා නිසා මට එහෙම කරන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. පුතා වෙනුවෙන් මට ජීවත් වෙන්න උනා."

උස් වීදුරුවේ පිරී තිබූ රන්වන් පැහැති බීර එක හුස්මට පානය කල මම නැවත වරක් වීදුරුව පුරවා ගතිමි.

ඇය ලෙමන් යුෂ වීදුරුවට අතවත් තබා නැත.

" සංජු.......මොකද කරන්නෙ ළමයො.....ඕක බොන්නකො..."

" හරි , හරි සර් මම බොන්නම්, සර් කතාව කියන්නකො " ඇය වීදුරුව සුරතට ගත්තාය.

" ඔය අතර වාරෙ තමයි මදාරා මට කිට්ටු උනේ. ඇත්තටම ඒ අපෙ අම්ම කරපු වැඩක්. එයා තමයින් මදාරා හොයල මට කිට්ටු කලේ. මමත් ඒ කාලෙ පුදුම කලකිරීමකින් හිටියෙ. ඒ නිසා මදාරා මගෙ ජීවිතේ තිබ්බ ලොකු අඩුවක් සම්පූර්න කලාය කිව්වොත් හරි.අපි තදින්ම ආදරේ කරපු කෙනෙක් අපිව දාල යන එක ලෝකෙ ඕනම මනුස්සයෙකුට දරා ගන්න පුලුවන් දෙයක් නෙවෙයි. කිසි කෙනෙකුට අපිව ඕන නැහැ කියන හැඟීම කියන්නෙ පුදුම අසරණ හැඟීමක්. මදාරා තමයි මාව ඒ තත්වෙන් මුදාගත්තෙ. ඒකට මම මදාරට සදා ණය ගැතියි. "

" හැබැයි කිසි දවසක මම මදාරට ආදරේ කලේ නෑ. අදත් නෑ. හෙටත්....... මම හිතන්නෙ නෑ. මදාරත් මම හිතන්නෙ ඒක දන්නව. ඒත් ඒක එයාට ප්‍රශ්නයක් වෙන එකක් නැතිවෙයි මම හිතන්නෙ."

" මගෙ බිරිඳ මාව දාල ගියායිම් පස්සෙ මම හිතාගෙන හිටියෙ කිසිම කෙනෙකුට මගෙ හදවත විවෘත කරන්නෙ නැහැයි කියල. ඒ වින්ද වේදනාව ආයෙම විඳින්ඩ මට බැරි බව විතරක් මම දැන ගෙන හිටිය."

" ඔහොම මගෙ පුතයි මදාරයි අතර බොහොම සරළව ගතවෙච්ච මගෙ ජීවිතය එක දවසක උඩු යටිකුරු උනා."

බියර් ස්වල්පයක් පානය කල මම වීදුරුව මේසය මත තබා ඇය දෙස බැලීමි.

ඇය ප්‍රශ්නාර්තයෙන් මදෙස බලා සිටියාය.

" yes, Sanju that was you, one day you entered my life totally unexpectedly and.........do you know this?.........turned it upside down,...yes, you did it,"

" සර්......මම"

" නෑ, නෑ, සංජු කළබල වෙන්න එපා. ඒක ඔයා හිතල කල දෙයක් නෙවෙයි. ඔයාගෙ තුන් හිතකවත් එහෙම අදහසක් නොතිබ්බ බව මම හොඳටම දන්නවා. ඒත් සංජු ඒක තමයි උනේ."

" පහුවදා ඔයා එයි කියල මම කොච්චර වෙලාවක් බලා හිටියද? පස්සෙ ඔයා කෝල් කරල කිව්වම ඔයාට වෙන රස්සාවක් හම්බ උනාය ආයෙ එන්නෙ නැත කියල මම හිතුව ඒකත් උනේ හොඳටය, මට ඔයාව මගෙ හිතෙන් අයින් කරගන්න පුලුවන් වේවිය කියල."

" ඒ උනාට එහෙම උනේ නෑ, සංජු මට ඔයාව අමතක කරන්ඩම බැරි උනා. ඒ පාර තමයි මම ඔයාට කතා කරල කිව්වෙ මම එන්නම් අපි හම්බ වෙලා කතා කරමුය කියල."

" මම ඇත්තටම දන්නෙ නෑ. ඔයාගෙ හිතේ මා ගැන තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද කියල. එක අතකට මම මෙහෙම ඔයාට කියන එකත් වැරදියි. ඔයා මට වඩා බොහොම ලාබාලයි.ඔයාගෙ ජීවිතේ තියෙන්නෙ ඉස්සරහට. මම ජීවිතේ වරද්ද ගත්තු මනුස්සයෙක්.ඒ නිසයි මම කිව්වෙ මම මෙහෙම කියන එක වැරදියි කියල මගෙ හිත මට කියනව කියල. ඒත් මට ඒ ටික නොකියා බෑ සංජු, මම ඔයාට ආදරෙයි.................. ඔයා මට ආදරේ කලත් නොකලත් මට ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. මම දන්නෙ කොන්දේසි විරහිතව මම ඔයාට ආදරෙයි කියන එක විතරයි."

හිරු බැසයමින් පැවතුනි. මම හිස හරවා ඈ දෙස බැලීමි. ඇගේ දෑස කඳුලින් බරවී තිබිණි. සෙමෙන් මා වෙත පැමිණි ඇය මගේ උරහිසට හිසතබා කඳුලු පිරි දෑසින් මදෙස බැලුවාය. මම නැවී ඇඟිලි තුඩගින් ඇගේ කඳුලු පිස දමා අපරිමිත සෙනෙහසින් ඇගේ නලලත සිප හතිමි.

" මගෙ ජීවිතේ හරියට දිය වැළකට අහුවෙලා වගෙ සංජු, ඔයා දන්නවද දියවැළකට අහුවුනාම වෙන දේ............ අපිට කවදාවත් බෑ දියවැලට විරුද්ධව පීනන්ඩ. පුලුවන් එකම දේ තමයි දිය වැලත් එක්ක ඔහේ යන දිහාවකට යන්ඩ ඇරල ජීවිතේ රැකගන්න එක. මටත් දැන් වෙලා තියෙන්නෙ අන්න ඒ විදිහෙ දෙයක් සංජු, මමත් දිය වැලකට අහුවෙල ගහ ගෙන යනව. මට බේරෙන්ඩ බෑ. මට මදාරව බඳින්ඩම වෙනව සංජු.මට වෙන කරන්ඩ දෙයක් ඇත්තෙම නෑ. I am really sorry Sanju, I have no other alternative, I am really really helpless, "

මෙතෙක් මගේ උරහිස මත හිස හොවා සිටි ඈ කෙලින් වී හිඳ ගත්තාය. ඉන්පසු අත්බෑගයෙන් ලේන්සුවක් ගෙන දෙකොපුලේ ගලන කඳුලු පිස දැමුවාය.

" කමක් නෑ, සර්, මගේ හිතේ සර් ගැන තියන හැඟීම මොකක්ද කියල දැන් කියල වැඩක් වෙන්නෙ නෑ කොහෙත්ම. ඒ නිසා ඒක මගෙ හිතේම තිබුනාවෙ. කොහොම උනත් මම සර්ගෙ අනාගතයට හදවතින්ම සුබ පතනව.එහෙම විතරක් හිතාගන්ට සර් ඒ හොඳටම ඇති "'
ඇගේ නිවස අසල මම රිය නැවැත්වීමි. ඇගේ සුරත ගෙන මගේ මුවට ලංකොට සිපගතිමි. ඈ මගේ උරහිසට හිස වාරුකොට මොහොතක් සිටියාය. මම අවසාන වරට ඇගේ දෙකොපුල දෑතින්ගෙන නලලත සිපගත්තෙමි.

" ආයෙ අපි කවදාවත්ම හමුවෙන එකක් නැහැ සංජු එක අතකට ඒක එහෙම වෙන එකත් හොඳයි. නැත්නම් මට ඒක දරාගන්ට බැරිවෙයි."

" මම යන්නම් සර්, හැමදේම වෙන්නෙ හොඳට කියල හිතා ගන්ට. මට වෙන කියන්ට දෙයක් නෑ......යන්නම් "

ඇය සෙමින් සෙමින් පසුපස නොබලාම ඇගේ නිවස වෙත පානඟන අයුරු මම බලා සිටියෙමි. මගේ ජීවිතයෙන්ද සදහටම ඉවතට පානඟන අයුරු මම කඳුලු පිරි දෙනෙතින් බලා සිටියෙමි.


රත් පියුමක්ය පිපුනේ නිල් විල මැද්දේ,
අත දිග මදිය නෙලනට ඒ දිය ගැඹරේ,
අසරණ සිතින් මම ඉන්නෙමි විල ඉවුරේ,
පියුමේ රුව බලා සැනසෙමි මගෙ උරුමේ,

නෙත කඳුලකින් පිරි දා ඔබ හමුවූයේ,
සිත පිරි හැඟුම් කෙලෙසක පවසනු ලඳුනේ,
කිසිදා යලිදු හමුනොවනා මුත් සසරේ,
ඔබ රුව මතක නොමැකෙනු ඇත මගෙ සෙනෙහේ,

කිසිදාක හිමි නොවන,
ඇගේ සෙනෙහස ලබන්නට,
පමණක් පින් කල,
මම
෴ ලොක්කා ෴

13 comments:

  1. හරි වැඩේ වෙන්න යන්නෙ... ආදරයක් නැහැයි කියලා මදාරාත් ලොක්කාව දාලා යයි ද?

    ReplyDelete
  2. ජීවිතේ එහෙම තමය් නේද?
    හොඳ නිර්මාණයක්, වෙනස් අවසානයක්....

    ReplyDelete
  3. මේ අවසානට නම් අර අවසානයට වඩා හොදයි. දෙකේම අවසානය දුකක් තමා. ඒත් මේ දුක හොදා.

    ReplyDelete
  4. හරිම ලස්සන කතාවක්..ටික දවසක්ම මම උන්නේ නැති හන්දා ඊයේ ඉදන් ඔක්කොම එක දිගටම කියවන් ගියා..මම නොහිතපු අවසානයක්..එත් හරිම ලස්සනයි වත් අක්කේ රවි අයියේ ලස්සනටම ලියලා තියෙනවා..දෙපැත්තෙන්ම..එත් ඉතින් මේ වගේ තාත්තලත් ලොකේ ඇති..කෙහෙල්මල් ආදරේ....ඊට වඩා පිය සෙනෙහස ..එ ණය ගෙවන්න බැරි කොයි ආත්මෙන් වත්....

    ReplyDelete
  5. මේ ටිකත් සර්ගේ පැත්තෙන් දාපු එක හොදයි.
    නැත්නම් ලොක්කා ගැන පොඩි අපැහැදීමක් ඇති වෙන්නත් තිබුනා.

    ReplyDelete
  6. අයියෝ ඉස්සෙල්ල ඉවර කරපු විදිහ හොඳයිනේ....දැන් ‍තනිකර ප්‍රෙහේලිකාවක් දීලනේ තියෙන්නේ..........

    ReplyDelete
  7. හ්ම්ම්.. මම මේ විදියට ඉවර උනාට කැමතියි. ජීවිතේ ගොඩක් ප්‍රශ්ණ අවසානයක් නොදැක ඉවර වෙන්නෙ මේ වගේ තමා.

    ReplyDelete
  8. මේක ඔට්ටු නෑ. කතාවකට අවසානයවල් තියෙන්නෙ පුලුවන් එකයි. අපි කැමති උනත් අකමැති උනත් ඒ අවසානය අපි බාරගන්න ඕනා.

    ReplyDelete
  9. මුන්ට ගිය රට .... හිටු මමත් ලියනවා මට ඕනේ අවසානේ ..

    ReplyDelete
  10. ඒ දෙන්න එක් කරන්න තිබුණෙ. මදාරත් ලොක්කව දාලා යයිද කියන්න බෑනෙ.

    ReplyDelete
  11. "මම දන්නෙ කොන්දේසි විරහිතව මම ඔයාට ආදරෙයි කියන එක විතරයි."
    Puduma widiyata hithata danena wachana tikak.
    mmm me awasane hodai wage...

    ReplyDelete
  12. මම මේ කතාව මුල ඉදලම කියෙඋවා.ලස්සන කතාවක්.මේ වගේ කතන්දර කියවන 1 මම නතර කැරලි තිබුනේ.එත් ... එත්... මම මේ කතාව 1 හුස්මට කියෙවවා.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...