..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, June 17, 2011

෴ ඉරණම්කාරී 7 ෴

පසු දා උදෑසනම පිබිදුනේ , දිගු ගමනක් යාමට ඇති හෙයිනි. අවදිවන සැනින් ම , මගේ නෙත ගැටුනේ , හිස තබන කොට්ටය කෙළවරේ , ඒ වන විට ද මා දෙස බලමින් සිනා සෙමින් සිටි පාර්සලයයි. එය දුටු මගේ වත ටද මද සිනාවක් නැඟිණි.

අප්පච්චි ත් මාත් ලහි ලහියේ ලෑස්ති වූයෙමු.


තරමක විශාල ගමන් මල්ල , සතියකට පමණ සරිලන ඇඳුම් පැලඳුම් වලින් සමන්විත විය. සුදුසු නවාතැන් පලක් ද අදම සොයා ගත යුතු වූයේ , ඉන් පසු දින සිට ම රැකියාවේ වැඩ බාරගත යුතු වූ බැවිනි.අම්මාගේ දුරින්  නෑයෙකු වන මාමා කෙනෙකු, ඒ පළාතේ සිටින බව අප්පච්චිට මතක් කර දුන්නේ අම්මා විසිනි.

“ මේ වගේ වෙලාවට තමයි කවුරු කවුරුත් ඕන වෙන්නෙ මහත්තයෝ. “

අම්මා එසේ කියා සිත සැහල්ලු කර ගත්තේ, ආරක්ෂාකාරී නවාතැනක් සොයා ගැනීමේ අවශ්‍යතාවය ඇයට තදින් ම දැනෙන්නට ඇති බැවිනි.

“ පුතේ . .  මෙහෙ තියන රස්සාවක් කරන් හිටියොත් නරක ද දරුවෝ . ? “

අප්පච්චි කී වරක් ඇසුවාදැයි මට මතක නැත.

“ කමක් නැහැ මහත්තයෝ . . .කෙල්ලගෙ ආසාව නේ.... “

ඒ සෑම විටම , පාහේ අම්මා පැවසුවේ ඇය මගේ සිත යහමින් හඳුනන්නියක බව පසක් කරමිනි.

කොළඹ සිට මාතරට පැමිණි අපි , මාතරින් දහවල් ආහාරය ගත්තේ , අප්පච්චිගේ මිතුරෙකුගේ නිවසෙනි. රතු බත් , අලුත් මාළු ඇඹුල් තියල් සහ තවත් ව්‍යාංජන කිහිපයකින් ම සමන්විත වූ දිවා ආහාර වේල , ලහි ලහියේ පිළියෙළ වුව ද රසින් නම් කිසිම අඩුවක් නොවූයේ , මාතර ඇත්තන් පිසින කෑම කවදත් රස බව
අප්පච්චි නිතර පවසන කතාව යළිත් සනාථ කරමිනි.


අප්පච්චි පවසන අයුරින් නම් , මාතර ඇත්තියන් , කෑම පිසීමට පමණක් නොව , ආදරය ට සහ ලෙංගතුකම් පෑමට ද රුසියෝය.


එවිට මමත් නැගණියන් දෙදෙනාත් සිනා සෙන්නේ . අප්පච්චී ද ඒ රසට රැවටී ඇති බැව් පවසමිනි. අප්පච්චී උඩරට ප්‍රදේ
ශයේ පදිංචිකරුවකු වුව ද , අම්මා මාතර පදිංචිකාරියකි. සිය නිවෙස් වල විරුද්ධත්වය නොතකා , සිය අභිමතය පරිදි විවාහවූ ඔවුන් දෙදෙනාගේ නෑදෑයින් අපි නොහඳුනන්නෙමු.

දිවා ආහාරය ගත් නිවසින් අප සමුගත්තේ නවාතැනකට සුදුසු ස්ථානයක් සඳහා ද කතිකාවක යෙදීමෙනි.

“ මගෙ හොඳ යාළුවෙක්. මිනිහ ඒ පැත්තේ හොඳ සල්ලිකාරයෙක්. දන්නවනෙ ඉතින්, තේ කියන්නෙ ඉතින් ඒ පළාතේ සල්ලි තමයි. ඉන්නකො මම මිනිහට කෝල් එකක් දීල බලන්න “

එතෙක් මා හට අමතක ව තිබූ කාරණා දෙකක් මතකයට නැඟෙන්නට ඒ වචන හේතු විය.

පළමු වැන්න , මගේ හිටපු බොසාට දුරකථන ඇමතුමක් දී මා නැවත සේවය නොඑන බව පැවසීමයි. දෙවෙනි කරුණ , පොත් දෙක සහිත පාර්සලය ඔහුට තැපැල් කිරීමයි. නිවසේ සිට බසයට ගොඩවූ යේ , හිමිදිරි පාන්දර බැවින් , මේ කාරණා දෙකම මට මඟ ඇරුණි.

මා අප්පච්චිගේ සවනට කෙදිරුවේ , තැපැල් කන්තෝරුවකට යෑමට අවශ්‍ය බව කීමටයි.

“ මොන වැයි  දූ කියන්නේ “

“ නැහැ . . . පුතා කලින් වැඩ කරපු තැන ලොක්කට දන්වන්න බැරි වුනා. පොත් වගේකුත් යවන්න තියනවලු . . . . .සුමනෙ මේ හරියෙ තැපැල් කන්තොරුවක් තියෙ ද? “

“ කන්තෝරුවට නම් ටිකක් දුරයි.අනික මේ වෙලාවට පෝලිම. කෝ ? දෝණි, දෙන්න මට ඔය පාර්සලේ , මං තැපැල් කරන්නම්....කෝල් එකක් නම් මෙතනින් ගත්නෑකි“

දුරකතන ඇමතුම කෙසේ වෙතත් , පාර්සලට ඔහුට දීම නම් මගේ සිත නැමුනේ නැති කාරණාවකි. නමුදු කළ හැකි දෙයක් ද නොමැත.

“ ආහ් . . .  අනේ මතක් කරල . . අදම දාන්න පුලුවන් නම්...එක්කොත් මං ම “

“ අයියෝ . . .කරදරයක් නෙමෙයි දුවේ. අවිශ්වාස හිතන්න එපා. ඇඩ්රස් ලියල නේ ද? “

“ ඔවු “

“ අන්න , ඔයා කෝල් එක ගන්න “

අත් බෑගයේ තිබූ කුඩා දින පොත සොයා ගත් මම , ගැහෙන ඇඟිලි වලින් ඔහු ඇමතීමට අංක සෙවුවෙමි .

“ හෙලෝ . . . .ගුඩ් මෝර්නින් . . ම් ම් ම්   . . . . ? “

ලෝකයෙ තියෙන සියළුම වචන , එක සැනින් අතුරුදන් වූ සැටි. . . . . .

“Love is missing someone whenever you're apart, but somehow feeling warm inside because you're close in heart.”


වචන හිඟයෙන් පෙළෙන
මම
෴ සොඳුරු සිත ෴

චිත්‍ර උපුටා ගත්තේ - සිළුමිණි -කුමුදු තාරක

13 ප්‍රතිචාර:

Dinesh said...

ඈගේ තිරණය වෙනස් වේවිද??
ලස්සනයි අක්කේ.. ඉතුරු ටික එනකම් බලන් ඉන්නවා..

කතන්දර Kathandara said...

කතාවත් ලස්සනයි, අත් අකුරුත් ලස්සනයි!
ඔයා, "මෙගා" නං දන්නෙම නෑ වගේ.

Helping To People said...

ලස්සනයි

මධුරංග said...

එයාගේ තීරණය වෙනස් වේවිද ? අපි බලමු. ලස්සන කතාවක් ඒත් මෙගාවක් වෙන පාටයි. කමක් නැත. අපිට ලස්සන කතාවක් කියවන්න තියේ නම් ආයේ මෙගාවක් උනත් මොකෝ.

ප.ලි.- අක්කා කතාව අස්සෙන් මාතර කෑම වර්ණනාවක් දුන්නා නේ.මම නම් හිතන්නේ මාතර කෑම වලට වඩා ගම්පහ කෑම තමයි රස කියලා. :)

- නිල් අහස - said...

කොහොමත් ගාල්ල..මාතර..අය කෑම රහට උයන්න දන්නවා.
ලියමුකෝ ඉතුරු ටිකත්.

හසී said...

වචන හොයාගන්න නැත්නම් බොසාට කේන්ති යයි ;)

Observer said...

හ්ම්....ඉතුරු ටික කියවන්න බලන් ඉන්නව.....

කිඩෝ said...

ගර්ර්ර්ර්ර්ර්ර් කොටයිනෙ බොල.....

Ravi said...

හිත කැළඹවූ ඔබ නෙතු යුග,
නැවත දකින්නට හැකි වෙද?,
නොදනිමි සොඳුරු වූ යුවතිය,
මතක පමණි හද සපිරුණ,

රෑ කල අහසේ එකෙමෙක මොහොතක්,
පායා දිලිසී දැල්වී නිවෙනා,
උල්කාවකි ඔබ යලි නොම දකිනා,
එළිය පමණි මතකයෙ රැඳි සැමදා,

Anonymous said...

මම සමනලයා මට ඔබව මතක් උනා... ඔබ හොදයි.. අහින්සකියි..

සිතුවිලි නිහඬයි said...

හ්ම්......මට නම් සුවර් නෑ පාර්සල් එක යවයි කියල.....

පන්සල් හංදිය said...

බලමු ඊගාවට ......
බොසා බනියිද ........

ප්‍රාර්ථනා said...

වචන හිඟයකින් පෙළෙන මම වත් ..හික්ස්..:)

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...