..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, June 21, 2011

෴ ඉරණම්කාරි 10 (අතුරු කතාව ) ෴

ඇය ලිපිය කියවන්නට යත්න දරද්දී , සමාන්තර කාල වකවානුවේ ඊට පෙර දා රාත්‍රියේ දී නිදිවර්ජිත සිතක කතාවයි මේ .

------------------------------------------

ඇයගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් නොඉවසිල්ලෙන් ගතවූ සතියක් ඉක්ම ගියේය. ඇයට අවශ්‍ය තරම් කාලය ලබාදෙන්නෙමැයි පැවසුවද අසීමිතව ඉවසීමට මසිත සූදානම් නැති බව මට හොඳින්ම පැහැදිලිය.

පුතුට කවා පොවා නිදිකරවූ ඉක්බිති පසුගිය සතියම අලුයම දෙක පමණ වනතුරු මා ගෙවූයේ නිදන කාමරයෙන්ම පිවිසිය හැකිවූ කුඩා සඳළු තලයේය.පොසොන් පුරා සඳ සඳළු තලය එලි කරද්දී මඳ පමණ මත්වූ සිතින් යුතුව මම මගේ ජීවිතය පිළිබඳ පුනරාවර්ජනයක යෙදුනෙමි.

ජීවිතේ කිසිදාක බලාපොරොත්තු නොවූ අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදුවූ පසු යළි කිසිදිනෙක කිසිවෙකුට හදවත දොරගුළු නොහරින්නෙමැයි සපථ කලේ, මා එක්වරක් විඳි ඒ සිත අකර්මන්‍ය කරවන බලවත් වේදනාව නැවත වරක් විඳීම මට කිසිසේත් කල නොහැකිබව උදක්ම දත් හෙයිනි.

එහෙත් ජීවිතය කිසිසේත්ම අපට සිතැඟි පරිදි හැඩ ගසා ගත නොහැකි බව දෙවන වරටත් පසක් කරමින් ඇය මා හදවතට අනායාසයෙන් පිවිසියාය. පිවිස එහි නවාතැන් ගත්තාය.

හුලවාලි චිත්‍රපටයේ සුනිල් එදිරිසිංහයන් ගයන දුක්බර එහෙත් මගේ ප්‍රියතම ගීයක් සෙමින් මිමිණුනේ මටද නොදැනීමය.

කුඩාගමේ මද්දහනේ අව් රශ්මිය නිවා,
දොලේ කඳුපෙතේ දඩමං දිගේ ගියා මෙමා,
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා,
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා,

මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා,
මල් ගෝමර පිපුණු ළමැඳ වසා ගනින් කියා,
මගේ අතින් දුන් සළුවෙන් ළමැඳ වසා ගෙනා,
රිදී පොටක් පළඳන්නට වරම් නැතිව ගියා,

ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී,
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී,
ආලෙ බිඳුනු දා කුමකට කඳුලු හෙලනු සකී,
ආල වඩන යන තේරුම බෝසත්කම සකී,

ගෙමිදුල අඹ ගසේ පොරකමින් සිටි වවුලෝ එක්වරම පැතිරී ගිය එළියකට බියවී හඬ නඟමින් පලා ගියෝය.

උන් බියවීමට හේතුව උල්කාවකි. හන්තාන කන්ද ඉහලින් උල්කාවක් නිමේශයක් හාත්පස එළිය විහිදුවමින් පුපුරා ගියේය.

කුඩා කල මෙවන් රාත්‍රියක උල්කාවක් පිපිරී ගිය වහාම අම්මා හෝ අප්පච්චි පවසන්නක් මගේ මතකයට නැඟිනි.

" උල්කාපාතයක් පිපිරෙනකොට මොකක් හරි ප්‍රාර්තනා කලොත් ඒක ඉෂ්ඨ වෙනවා "

" මට ඕනෙ ඒ උල්කාපාතය ආයෙම දකින්නට " මම කීවෙමි,

" ඒක හරියන්නෙ නෑ පුතා, ඒක ආයෙම කවදාවත් දකින්ට ලැබෙන්නෙ නෑ, ආයෙ කවදාවත්ම, " අම්මා මගේ හිස අතගාමින් පැවසුවාය.

සංජු මගේ ජීවිතයට ඇතුලුවූයේද උල්කාවක් හා සමානව බව මට හදිසියේම සිහිවිය. ඇයද මොහොතක් මගේ ජීවිතය වෙලාගත් ගනඳුර දුරුකොට හාත්පස ඒකාලෝක කරමින් බැබලී නැවත කිසිදාක දක්නට නොලැබෙන ලෙස මගෙන් වෙන්ව ගිය උල්කාවක් නොවේද?

ඇය උල්කාවක් මෙන් මොහොතක් මා දිවිය එලිය කොට නිවී ගියද මගේ ජීවිතය මුලුල්ලේ ඇගේ එළිය මතකයේ පවතින බව මම නිශ්චිතවම දැන සිටිමි.

මා දහසක් දුක් දොම්නස් මැද ගෙවූ ඒ මෑත අතීතයේ මා සිත සනහා ගන්නට බොහෝසේ උපකාරී වූ නවකතාවක් වූ Nicholas Sparkes ගේ Message In The Bottle හදිසියේම මට සිහිවූයේ එහි ගැරට්ගේ ජීවිතය බොහෝසෙයින් මගේ ජීවිතයට සමාන වන නිසා විය හැක.

තම ආදරණීය භාර්යාවගේ වියෝවෙන් දුකින් පිරුනු ජීවිතයක් ගත කරන ගැරට් අනපේක්ෂිතව හමුවන තෙරේසා නිසා ජීවිතය අලුතින් ඇරඹීමට තැත් කරන මුත් ඒ සියලු බලාපොරොත්තු සුන් වී යන්නෙ කොතරම් ඛෙදජනක ලෙසද?

ජීවිතය කෙරෙහි මහත් කලකිරීමෙන් සිටි එකල සමහර මෙවන් රාත්‍රියන් හිදී, Message In A Bottle කතාව කියවා මා වෙනුවෙන් නැඟි ආත්මානුකම්පාවකින්ද, නැතහොත් ගැරට් කෙරෙහි ඇතිවුනු අනුකම්පාවෙන්දැයි අදටද මටම පැහැදිලි නොමැති හැඟීමකින් මම ඉකි බිඳිමින් හැඬුවෙමි.

නිදන කාමරයට පිවිසි මම පුතුගේ පොරවනය යලි සකසා ඇඳ අසල පොත් රාක්කයෙන් Message In A Bottle ද රැගෙන යලි සඳළු තලයේ අසුන් ගතිමි.

ගැරට් සමඟ යලි ඔහුගේ දුකින් පිරුණු ජීවිතයට පිවිසුණු මම කතාවේ අවසාන භාගයේදී තෙරේසා පවසන මේ වදන් ලඟ මොහොතකට නතර වීමි.

" If some lives form a perfect circle, others take shape in ways we cannot predict or always understand. Loss has been a part of my journey. But it has also shown me what is precious. So has a love for which I can only be grateful. "

පොත පසෙක තැබූ මම අසල කනප්පුව මත තිබූ සටහන් පොත රැගෙන සිතෙහි පොදිකන හැඟුම් කුරුටු ගාන්නට වීමි.

සෙනෙහසේ නවාතැන ඔබ සිතයි,
මහද විල පිපි පියුම ඔබ වතයි,
මඟ කියන පහන් තරු නෙතු යුගයි,
පිය ලඳුනි මට වරම් නැති ලෙසයි,

ඔබ සිනහ රැඳුනු වත සිතේ ඇඳි සිතුවමකි,
නිල් නයන කැලුම් නිති නෙතේ රැඳි සිහිනයකි,
නැවත කිසි දිනෙක අප හමු නොවෙන මුත් ළඳුනි,
ඔබ නමින් බැඳි සෙනේ සදා මගෙ මතකයකි,

හතරට නැවූ කොළය පොත තුලට රුවා පොතද රැගෙන නිදන කාමරයට ගිය මම පුතු අසලින් වැතිර ගතිමි.

" හෙට මේක සංජුට පෝස්ට් කරනවා.එතනින් මගෙ ජීවිතේ ඒ පරිච්ඡේදයත් අවසානයි "

සිතන අයුරු සියල්ල පහසු නොවන නිසාම, නින්ද අහලකට වත් නොපැමිණ මම හිමිදිරිය වන තුරුම නිදිවර්ජිතව සිටියෙමි.

ජීවිතයේ පරාජයම උරුම වුවද,
බෝසත්කමට පෙරුම් පුරන,
මම
෴ ලොක්කා ෴


---------------------------------------

ප/ලි: - හිතවත් රවි අයියා .... බුද්ධිමය දේපල පැහැර ගැනීමක් ලෙස නොසිතනු ඇතැයි ද, නොඅසා මෙසේ පළ කිරීම ගැන අමනාප නොවනු ඇතැයි ද සිතමි.

ඔබ මා ලියූ පොස්ටුවට දැමූ අගනා කමෙන්ටුව , කමෙන්ටුවක් පමණක් වී නොපෙනී යනවාට නොකැමැති නිසා ත්, කාගෙත් නෙත් ගැටිය යුතු අගනා ලියවිල්ලක් නිසාත් , මෙසේ පළ කරන බව කරුණාවෙන් සලකනු ඇතැයි සිතමි.

---------------------------------------

Disclaimer :- මෙහි ඇති නම් ගම් සියල්ල ,මන:කල්පිත ඒවා බවත්, ජීවත්ව සිටින හෝ මිය ගිය කිසිවකු හා කිසිම සම්බන්ධතාවයක් නොමැති බවත් කාරුණිකව දන්වා සිටිමි.

---------------------------------------

චිත්‍ර - සිළුමිණ පත්තරයෙන් උපුටා ගන්නා ලදී.( කුමුදු )

14 ප්‍රතිචාර:

Ravi said...

මොන අමනාපයක්ද නංගි, අප්‍රමාණ සන්තෝසයි, ඒ වගේම ඔයාට දහස්වරක් ස්තූතියි,

Thank you so much, mere words can't express my gratitude properly,

Observer said...

නියමය්.....

මෙතෙන්ට අදාළ නැති වුනත් ප්‍රශ්නයක් අහන්න අවසර...නවයුගය ඉස්සර ලස්සන සඟරාවක් හැටියට ඇවිල්ල, පස්සේ පත්තරයක් විදියට එන්න පටන් ගත්ත, එය නැවත සඟරාවක් ලෙස පල කරනවද?

Helping To People said...

උල්කාපාතයක් පිපිරෙනකොට මොකක් හරි ප්‍රාර්තනා කලොත් ඒක ඉෂ්ඨ වෙනවා "

mamath ehema hithuwa 1998.namuth ehema une nam ne

- නිල් අහස - said...

ලොක්කට හිතෙන පැත්තෙනුත් ලියන්න ගත්ත එක හොදයි.. වත්.
එතකොට පොඩි වෙනසක් තියෙනවා.

මධුරංග said...

ඔන්න එහෙනම් උල්කාව වැටෙද්දි මමත් ප්‍රර්ථනා කරනවා.

මේ කතා වේ ඊලඟ කොටස අද දවස ඇතුලතම කියවන්න ලැබේවා !!!!

සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත said...

අක්කා, ඔයාගේ කතාව මුල ඉඳලම මම ආසාවෙන් කියෙව්වා. 10 වෙනි කොටසයි අතුරු කතාවයි දෙකම මේ දැන් තමයි කියෙව්වේ. ඔයාගේ ලස්සන කතා වලින් මම ගොඩක්ම ආසාවෙන් කියෙව්වේ මේ කතාව. හරිම ලස්සනයි. මේ කතාවේ කොටස් දෙක තුනක් යද්දී මටත් Nicholas Sparks ව මතක් උනා. ඒ මම මේ දවස් වල කියවන එයාගේ Bend in the Road කතාවේ චරිත මතකයට නැගිලා. තාම බාගයයි කියෙව්වේ. ඒකෙත් ඉන්නවා පුංචි පුතා එක්ක තනි වෙච්ච තාත්තා කෙනෙක්. ඒ පුංචි පුතාගේ ගුරුතුමියයි ඒ තරුණ තාත්තයි වටේ තමයි කතාව ගෙතිලා තියෙන්නේ. ඒ ලස්සන කතාවේ මතකයත් එක්ක ඔයාගේ කතාව කියවගෙන යද්දි මෙන්න ඔයත් Nicholas ගැන මතක් කරලා. හරි ලස්සනයි අක්කේ. දිගටම තව තව ලස්සන කතා ලියන්න. ඔබට ජය!

සිතුවිලි නිහඬයි said...

මන් කිවේ...සුවර් එකටම බොස් වෙන්න ඇති කියල පොත් එවන්න ඇත්තේ.....

Dinesh said...

එහෙනම් බොසා පොත් එවන්න හේතුව රවි අයියගේ ඇසින් අපි දැක්කා.. එකටත් ස්තුතියි කියන ගමන් අනිත් කොටස එනතුරු බලාගෙන ඉන්නවා..

නචියා said...

හ්ම්ම්ම්... බලමු ඊළගට මොකද වෙන්නේ කියලා..

සොඳුරු සිත said...

@Observer
ඔවු... නවයුගය කලක් නැති ව තිබුන කියල වැඩිහිටියෙක් කීව. ඒත් දැන් ආයෙත් තියනව.සඟරාවක් විදිහට. රු.40යි ගාන. කොළ නම් එච්චර ලස්සන නැහැ. නමුත් අන්තර්ගතය නම් වටිනවා...

මොකද කියන්නෙ, සඟරා ටිකක් අරන් එවන්න ද? මට ඊමේලයක් දාන්න කො , තැපැල් ලිපිනය කියලා.මා ළඟ තියන පසු ගිය අනුයාත මාස වල සඟරා ටික එවන්නම් මම.

පන්සල් හංදිය said...

දැන් මොකක්ද වෙන්න යන්නෙ .....
ඉක්මනට දැම්මනං බලන්න ......

සොඳුරු සිත said...

අද ‍කොට ස ‍හෙවත් ඉරණම්කාරි 10 අතුරු කතාව ලී‍වේ මම ‍නෙ‍මෙයි.ඒක ලී‍වේ රවි අයියා... කතා‍වේ ‍අගනා බවත් රසවත් බවත් ඔහුටම හිමි විය යුතුයි මා සිතනවා.

මා කලින් දැමූ ඉරණම්කාරි 10 ‍කොටසට , රවි අයියා ලියු ක‍මෙන්ටු ‍දෙකක් , එකට එකතු කරල තමයි ‍මේ ‍පෝස්ට් එක මම පබ්ලිෂ් ක‍රේ...කතාවක් තරමට ම ලස්සනට දැනුන නිසා, මට හිතුන ‍මේ විදිහට ඒක පල කරන්න....

ඉතින් යාලුව‍නේ.... ඇත්තටම ‍මෙහි ගුණ ‍දොස් ඔහුට ‍පෙන්වා ‍දෙන්න ඕනි නිදහස් සිතුවිලි වල හවුල්කරුවකු වන රවි අයියාටයි....

කතන්දර Kathandara said...

මේකනේ බොලේ මෙගා එක!
අද පොඩි ෆ්ලෑෂ් බැක් එකක් වගේ?
හෙට හීනෙං සින්දුවක් කියමුද?
මෙන්න මේ වගේ?
http://youtu.be/VEdUGel2Myw

සොඳුරු සිත said...

කෝ බලන්න... දෙමළ නේද ?

හෙහ් හෙහ් ...... මොකද මේ....

කතන්දරට අද නිවාඩු වගේ... කෝච්චියෙ යමින් ගමන් ද?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...