..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, May 5, 2011

෴ ලස්සන වසිලිසා / Vasilisa The Beautiful ෴ 2

මම වසිලිසා කියන්නේ , මට මතක හැටියට. වැරදි තැන් තියනම් කියන්න .....

ඔන්න ඉතින් ..පසු ගිය කොටසින් මම කීවා නේද? වසිලිසා කියන ලස්සන , දුප්පත් ගැහැණු ළමයා ගේ මව , ඇයව දාලා ගිය හැටි, ඇගේ මව ඇයට දුන්න තෑග්ග ගැන වගේම ඇගේ පියා ඇයට තවත් මවක් ගෙනාව හැටි.

ඉතින් මේ මව ( පුංචි අම්මා ) ආවේ නිකම්ම නෙමයි දැවැද්දට තව ගැහැණු ළමයි දෙන්නෙක්ම එක්ක තමයි ...........

පහු ගිය කතාව බලන්න ඕනි අය මෙතනින් යන්න.

 

ඔන්න ඉතින් ඉතිරි කතාව .............


ලස්සන සුන්දර වසිලිස්සා දැන්
ගෙදරක වැඩකාරියක් වගේ
පුංචිගෙ , දූලගේ අතපය තිබුනට
වුන් ඉන්නේ හාමුලා වගේ

කුස්සිය මුල්ලට, කඩ පිල , ලිඳ ලග
වසිලිස්සා හැම වැඩම කරයි
කොච්චර කෙරුවත් හොඳක් අහන්නට
බැරි කම ඈගේ දෝසෙ තමයි


රෙදි සෝදනවා,කඩේ දුවනවා
ඒ පිම්මට තව පිහන වැඩයි
ඇගේ පියාගේ සිත දුක් වුව ද
ඔහුත් අනේ ගැහැණියට බයයි
( අද කාලේ වගේමයි . . )


දවසක් වසිලිස්සා ලද ඉසිඹුවෙ
මව සිහිකරමින් දුක් කඳුළු සලයි
නොදැනිම ඇයගේ අත් දෙක යන්නේ
දැලි කුණු පිරි සාක්කුව වෙතටයි

අතැගිලි රැදුනේ ලී බෝණික්කගෙ
ඇග දැවටී අහඹුවක් ලෙසින්
මව කී දේ සිහිවුන වසිලිස්සා
බෝණීක්කිය කුස පුරවයි රහසේ

හරිම දුකින් මං , වැඩ පල ගොන්නයි
මගෙ ළඟ දැන් අම්මත් නැහැ නේ
බෝණික්කෝ නුඹ ළඟවත් මා හට
සරණක් ඇති දෝ පෙර වාගේ

පුදුමෙන් පුදුමයි ලී බෝණික්කා
කතා කරන්නට පටන් ගනී
ලස්සන ළමයෝ මගෙ වසිලිස්සෝ
අඩන්නෙපා රං කඳ මාගේ

බෝණික්කා ඇසිපිය ගහනා විට
වැඩ ඉවරයි ගෙදරම වාගේ
ඉන්පසු දුක නැහැ වසිලිස්සාහට
සියළුම වැඩ දැන් වෙඩි වාගේ

හිකිස් .. . . .

දවසක් වසිලිස්සාගේ පියණන්
දුර ඈතක ගමනක් යනවා
නපුරු කුඩම්මයි ඇගේ දරුවනුයි
වසිලිසාට කරදර දෙනවා

ගෙදර කළුවරයි එළියක් නැහැ දැන්
අවසන් එළියත් නැති වෙනවා
වසිලිස්සා උඹ යකිණිගෙ ගෙදරින්
එළිය ටිකක් අර ගෙන එනවා

අසල ගෙයක් නැති එකම පැලක් ඇති
එය යකිනිය ඉන්නා ගෙපැලයි
බබා-යාගා නම් චීරප්‍රසිද්ධිය
ලත් යකිනිය නම් හරිම වසයි

කුමක් කරන්න ද මේ වසිලිසා
මහ රෑ එළියට විසි කෙරුවා
පල පල ගොස් යකිනියගේ ගෙදරින්
එළිය අරන් වර බැන වැදුනා

ඇය හඩිමින් බෝණික්කිය සමඟින්
මහ රෑ කැලේ මැදින් යනවා
හිත හයිකර ගනු මැන ළමයෝ
බෝණික්කා පිළිතුරු දෙනවා

ඔන්න ඉතින් මේ යන්නා ගමනෙදි
අමුතු අසරුවන් මුණ ගැසෙනා
පලමු දෙවැනි සහ තෙවැනි අසරුවන්
මේ කියනා ලෙස ඇය දකිනා

පලමු අසරුවා සුදුම සුදුයි
ඔහුගේ අස්පැටියත් සුදුම සුදුයි
දෙවැනි අසරුවා රතුයි වගේ
අස්වාය ද එම පැහැයම උසුලයි

තෙවැනි අසරුවා භයංකරයි
ඔහු කළුම කළුයි ඇද ගෙන වුන්නේ
ඒ මදිවට ඒ අස්වය පාටින්
කළුම කළුයි දැක්කම බය නේ

මෙහෙම ඉතින් නොදැනිම බය ලීලෙන්
බබා-යාග යකිනියගේ පැල
දිස්වෙනවා ඇයගේ දෙනෙතට දැන්
ඒ වෙත යන්නට ඇයට බය

ගේ වට ඇති වැට සදලා ඇත්තේ
මිනි ඇට කටු වලිනුයි පෙනෙන ලෙසින්
ඒ කටු උඩ මිනි ඔළු දහසක් ඇති , 
එළි ය වදි න ඇස් දිලිසෙන්නේ


අහා . . .  මේ තියෙන්නේ බබා-යාගා යකිණියගෙ ගෙදර
ඇත්තටම ඇය හරිම භයානක මන්තරකාරියක්

හරියට මෙන්න මේ වගේ


භයංකරයි බැලු බැලු හැම පැත්තම
වසිලිස්සා නෙතු බියෙන් සැලේ
හිටපු ගමන් කොස්සක නැගගත් අර
බබා යකින්නිය අහසෙ මැවේ

අදට ඇති නේද ?

ඊළඟ කොටසින් බලමු බබා-යාගා යකිණිනිය අපේ වසිලිසාට මොකද කරන්නෙ කියල



මම
෴ වසිලිසා ගේ ලී බෝණික්කා ෴
සොඳුරු සිත

" You'll be all right. Nothing bad can happen to you while I'm with you " the doll said.

මටත් බෝණික්කෙක් නොහිටියට මෙහෙම කියපු අය නම් වුන්නා. දැන් එයාල කොහෙ ඉන්නව ද මන්ද ?

මෙන්න ඊළඟ කොටසට යන පාර

22 ප්‍රතිචාර:

නිම්ශා said...

මම අහලා තිබ්බා අක්කේ මේ කතාව ..එත් කියවලා නැ..හරිම ලස්සනයි...ඉතුරු කොටස ත් ඉක්මනට දාන්න...

Anonymous said...

අවුරැදු ගානක පරන මතකයක් අලුත් උනා.ගොඩාක් ස්තූතියි. අනිත් කොටසත් ඉක්මනින් දාන්න.
(සජී)

Ravi said...

වසිලිස්සා පොඩි කාලෙ කියෙව්වට,
මතකය බොඳවී ගොහිල්ල දැන්,
ඔය අසරුවො ගැන මතකයක්ම නැහැ,
වයසට ගිහිල්ල තමයි බොලන්,

නංගිගෙ කවි ටික කියල වැඩක් නැහැ,
තාලෙට ගලනා දොලක් වගේ,
පොඩි සංදියෙ හිත ගිහින් නැවතිලා,
එන්නට බෑ කියනව ආයේ,

හිස් අහස said...

මේ කතාව මම කිසිම දිනක අහලා නෑ .. ආසාවෙන් බලාන ඉන්නේ ඉතියත් කියවන්න

. මොකෝ පොඩිකාලේ කතාවක් එකපාරම මතකෙට ආවේ ?

කල්හාර දිසානායක said...

යං යං ඔහොම යං...........

ඉසුර නිර්මාල්(Isura Nirmal) said...

@Ano බොහොම ස්තුතියි! මමත් ගිහින් ගන්න ඕන.කිවක් විතර වුනාද? අර Original පොතමද? පොතේ photos ටිකක් දානවනම් ස්තුතියි!

kumaraya said...

මටත් කියන්න තියෙන්නෙ ඉතින් ...
ඔය අපේ රවි මල්ලිගෙ කවියම තමයි.

නිශ් said...

මම පොඩ්ඩක් අතීතෙට ගොහින් එන්න ගියා .
ලස්සනයි වත්

සොඳුරු සිත said...

නිම්ශා
ස්තූථියි නිම්ශා . . . හොඳයි මම මුළු කතාවම දාන්නම්. හැබැයි ඉතින් කවියෙන් ලියන කොට ගොඩක් දිගයි....

සොඳුරු සිත said...

@ (සජී)
ඇත්ත.පුංචි කාලේ මතකයන් හරිම සුන්දරයි... මමත් ආයෙ පුංචිකාලෙට ගියා මේ කතාව ලියද්දි. ස්තූතියි.

සොඳුරු සිත said...

@Ravi
හිහි ............

මේ විදිහෙ කතා කියවන කවුරු වුනත් , වයස් සීමාවක් නැහැ , ගිහින් නවතින්නේ පුංචි කාලෙම තමයි. මම නම් යකිනියගේ ගේ ලගටම ගියා හිහි... ස්තූතියි අයියා෴

සොඳුරු සිත said...

@හිස් අහස
අහා... සඳරු..
වෙනසකටත් එක්ක ළමා වියට යන්න හිතුනා. කරදර ඩරමර නැති ලස්සනම ලස්සන කාලේ...

ස්තූතියි සඳරූ.............

සොඳුරු සිත said...

කල්හාර දිසානායක
හරි හරි.... ස්තූතියි දුවන මට වතුර ගහනවට... ස්තූතියි ගොඩක් කල්හාර ...

සොඳුරු සිත said...

ඉසුර නිර්මාල්(Isura Nirmal)
පොතේ පින්තූර අදට දැක්කමත් ළමා වියට තමයි යන්නේ. හරියට පුංචි කාලේ තමන්ගෙම පින්තූර දැක්ක වගේ සතුටුයි.. මා ගාව ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුනපොත තියනවා. මම කියෙවුවෙ නම් සිංහල පොත. කොළ පාට ඝණ කවරය ...ලස්සන පින්තුර... හ්ම් ...

තරහ නැතිව කියන්න ඉසුර ...එයා බ්ලොග් එකක් ලියන කෙනෙක් ද ? ලියනව නම් බ්ලොග් එකේ නම , ලින්ක් එක එහෙම දුන්න නම්. අපිටත් කියවන්න.

සොඳුරු සිත said...

kumaraya

හි හි හි ........... හහ් හ් හා............

බැහැ බැහැ අයියේ එහෙම කරන්නට
අනුන්ගෙ කවි වල සිතූ ලෙසින්
තමනුත් කවියක් ලීවා නම් හොඳ
නොවෙදෝ අයියේ කුමර ලෙසින්

රවි අයියගෙ කවියම කියල ෂේප් වෙන්න හදන්නෙ නේද? හිහි ඒව ඔට්ටු නැහැ... තව ටික දවසකින් කියාවි ද දන්නෙ නැහැ. මම රවි අයියා කියලා...

ආහ් කුමාරයෝ.. ඔයාගේ නමත් රවි ද?

hansakinkini said...

අනේ හරීම ලස්සනයි අක්කෙ.. මගෙ ආසම පොත්වලින් එකක්!!!
අනික තමයි හත්පෙති මල ඔයා පහුගිය දවසක මතක් කළේ!!!

ලියන්න ලියන්න... අපි හරි ආසයි!

සොඳුරු සිත said...

kumaraya
කුමාරයෝ කවද ද උපන් දිනේ ... මැයි මාසෙ නේද ?

මාත් වෙසක් මාසෙ අන්තිම හරියෙ...ඔයා, මම, මාරය තුන් දෙනාම මැයි මාසයේ...

සොඳුරු සිත said...

hansakinkini
ස්තූතියි හංසි... මම හිතාන ඉන්නෙ ..රුසියන් සුරංගනා කතා මට මතක විදිහට කවියෙන් ලියන්න...

ස්තූතියි ආයෙත්...

Helping To People said...

athetayata hitha wegayen adee yanawa

මධුරංග said...

වත් අක්කේ ඉක්මනට ඉතුරු ටිකත් දාන්න. කියවන්න ආසයි. මම මීට කලින් මේ කතාව කියවලා නෑ.

kumaraya said...

එහෙනම් අපි තුන්දෙනාම එකතු වෙලා සිල් ගනිමුද ....?

Bindi said...

හරි අපුරුයි. පොඩි කාලේ කියෙවුව. අලුත් මුද්‍රණයත් ගත්ත . එක නම් කමකට නැහැ . මොනවා කරන්නද
something is better than nothing.

Your version is better than that

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...