..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, May 11, 2011

෴ පුර සඳෙන් ඇමතුමක් ෴


බොහොම ඈත අතීතයේ දි මිනිසුන්මා දිහා බලපු සොඳුරු ඇස වෙනස් වෙලා නැහැ කියල මම හිතනවා. මොකද ඒ කාලේ වගේම , තවමත් මා ගැන ගොඩක් මිනිසුන් ලියන නිසා , ඈතම ඈත අතීතයේ දී මිනිසුන් මා දිහා බලපු ගුප්ත ස්වරූපය නම් දැන් ගොඩක් දුරට වෙනස් වෙලා. 

මිනිසුන් විතරක් නෙමෙයි සතා සීපාවුනුත් ඒ කාලයේදී ඔවුන්ගේ ජීවිත හැඩ ගසා ගත්තේ මා එන යන විදිහටයි. ඒ විතරක් නෙමෙයි ඇතැම් ජන කොට්ඨාශ මා වෙනුවෙන් පුද පූජා පැවැත් වූවා. ඇතැමෙක් තම දරුවන් නලව ගත්තේ මගේ කැළුම් යට ඉඳන් ,සඳ රැස් නාන ගමන්,  ඉතින් ඒ දරුවන්ගේ සිත් තුලත් මා ගැන ඇති වුනේ සොඳුරු හැඟීමක් විනා අන් කුමක් ද?

කෙනෙක් “ කිරි පැණි පිඟානකට ඉල්ලද්දි “ තවත් අයෙක් මෙහෙම කීවා.......

දිය ගොඩ සැමතැන කිරි ඉතිරේ
ගස් වැල් කිරි මුහුදේ කිමිදේ
මද මුඳු සුළඟින්
අප නැලවෙන්නේ
බැබලෙන සඳ පානේ


ඉඳින් ඉන් පසුව මිනිසුන් සංකීර්ණ වෙන්න වෙන්න , දැනුම හොය යන්න පටන් ගන්න යද්දි, මා දිහා ගුප්ත ඇහින් නෙමෙයි , නිරීක්ෂණාත්මක ඇසින් බලන මිනිසුන් කොටසක් බිහිවුනා. මා ඇකයේ සැතපෙන සා පැටියට එහා ගියපු දේ ඔවුන්ගේ ඇසට අසු වෙන්න වෙන්න , ඔවුන්ට ඕනි වුනා අනෙකා පරයා මා ජය ගන්න, මා දකින්න . කෙතරම් දුරට ඒ උමතුව දිව ගියාද කියනව නම් රටවල් අතර සීතල යුද්ධයක් වගේ , මා මත පය තබන්න ඇති වුන ආසාව තාක්ෂණික දියුණුවටත් ඉවහල් වුනා.

කොහොම නමුත් මම දැන් විසඳුන අභිරහසක්. සරල , සුන්දර ගුප්ත බව නැති වෙලා ගිහින් ,

ඒත් තවමත් මා සිත සුවපත් කරන පහන් හැඟීමක් මට ඇති වන්නේ , මා තුල සුන්දරත්වයක් දකින මිනිසුන් ටික දෙනෙක් හරි ඉතිරි වෙලා ඉන්නව කියල මට දැනෙන හැඟෙන නිසයි.

හැම පුර පෝයකටම අහස පුරා පිපෙන මට මේ පුර පෝයට නම් ලොකු වටිනාකමක් දෙන්න ගොඩක් දෙනා මඟ බලාන ඉන්නවා.

ඒ කොයි තරම් ද කියනව නම් මාත් දැන් “ වානිජකරණය “ වෙලා

“When a finger points to the moon, the imbecile looks at the finger”

“ දිය ගොඩ සැම තැන - සුනිල් ශාන්ත “




හැම පුර පෝයකටම , සඳ හරහා නුඹ දකින්නට එන
මම
෴ සොඳුරු සිත ෴

12 ප්‍රතිචාර:

මධුරංග said...

හඳට උපමා කරලා තියෙන්නේ කාන්තාවගේ වත් කියලා කතාවකුත් තියෙනවා නේද වත් අක්කේ ????

නමුත් වෙසක් හඳ තරම් පින්වර හඳක් කොයි කාලෙකවත් දකින්න නෑ.

මදුශාන් said...

කොහොම උනත් කරන්ට් එක ගිය දවසක ගෙයින් එලියට බැහැලා හඳ දිහා බලන් ඉන්නකොට එන හැගිමනම් තාම මොකවත් වෙලා නැ :) :)

පූසා said...

වෙලාවකට අපි දකින සමහර දේවල්වල ලස්සන, කුතුහලය නැතිවෙලා යන්න පුළුවන් ඒ පිළිබඳව උවමනාවට වඩා හොයන්න ගියාම.

හරිම ලස්සනයි අක්කේ :)

කල්හාර දිසානායක said...

ලස්සන ලිපියක් ....... ඇත්තටම හඳ ගැන මිනිස්සු ඒ විදියට හිතන යුගේකුත් තිබුනා ....... මම හිතනවා ඒ කාලේ ඇත්තටම මිනිස්සුන්ට ප්‍රශ්න අඩුයි කියලා ....... මොකද බොහොම සරලවනෙ හිතන්නෙ .........

Dinesh said...

ඇත්ත අක්කේ.. අපි සමහර වෙලාවට දකින දේවල් පස්සේ ගොඩාක් දුවගෙන යනවා.. ඒ කුතුහලය නිසා.. ඒත් ටික කාලෙකින් ඒ හැමදෙයක්ම වෙනස් වෙනවා..

ගල්මල්-Coral said...

හඳ කවදත් සුන්දරයි, දිකින දකින දිනක් පාසා පෙනෙන හැටි වෙනස් වෙන්නේ හඳ හැංගිලා කියන එකට වඩා හඳ අඳුරේ ගිලිලා නිසා නේද?

කොහොම නමුත් හඳේ ඇමතුම අමුතුම ලස්සනක් ඇතිකලා. කවදත් පුන්සඳට කැමැතියි වගේම වෙසක් සඳත් පොසොන් සඳත් මොන දීප දේශයක හිටියත් හිතට අමුත්තක් ඇතිකරනවා.

හඳට වාණිජ අභ්‍යාවකාෂ (trips using commercial crafts)ගමන් පටන් ගන්න ලොකු ලොකු ගුවන් සමාගම් උත්සාහ කරනවා. හැබයි එදාට හඳේ කුණු එකතු කරන්න ලොකු කුණු (garbage collectors) සමාගම් වලට පුලුවන් වේවි.

Kathandara said...

ඇයි, පිස්සු හැදෙන සඳ?

Helping To People said...

ඉර නෑ වෙනස්වෙලා.. හඳ නෑ වෙනස්වෙලා

nawammawatha said...

එදා පායපු හඳමයි තවමත් පායන්නෙ. ඒත් ඒ හඳ දිහා අද බලන ඇස් තමා වෙනස් වෙලා තියෙන්නෙ.

Bindi said...

'' මෙදා මට ඔබ සැබෑ සඳ මය විදු ඇසින් දුටු රුදුරු බියකරු '' නන්දා ඔහොමත් කියනවා නේද ?

එත් සඳ ගැන ළමා මතකයන් වඩා රසවත් තමා.

පෝයට අපේ පස්සෙන් පන්සල් ගිය ..

වැලි මිදුලේ අපුරු සෙවනැලි සිත්තම් කල ඒ ''ළමා සඳට ''මාත් තාම ආදරෙයි.
.

හිස් අහස said...

හඳට මම කැමති තරම දන්නේ මගේ හිත විතරමයි .ලස්සන පෝස්ට් එක අක්කේ . සඳරුගේ බලවත් කැමත්ත මෙන්න මේ පෝස්ට් එකට මේ විදිහට එකතු කරන්නම් ..

Ravi said...

සඳ........මිනිසාට අනාදිමත් කාලෙක ඉඳල සඳ තරම් හිතට කිට්ටු, ඒ වගේම ගුප්ත වස්තුවක් තවත් තිබුනෙ නැහැ කියලයි මට හිතෙන්නෙ.

මැද පෙරදිග රටවල භාවිතාවෙන අරාබි දින දර්ශනය Cycle of Moon පදනම් කරගෙනයි සකස් කරල තියෙන්නෙ. බෞද්ධාගම උනත් සඳට ආරෝපණය කරන වැදගත් කම පැහැදිලි වෙනව සියලුම වැදගත් සිද්ධීන් පුර පෝය දවස්වල සිදුවූවාය යන විශ්වාසයෙන්ම.

ආතර් සී. ක්ලාර්ක් මහත්මයා ලියූ, විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ මහ පෙරළියක් කල, 2001 A Space Odessey කථා පෙලෙහි සඳ වැදගත් භූමිකාවක් රඟ පානවා.

එහිදී ඉතාමත් ඈත මිනිසා වනචාරීව වෙසෙන යුගයේ පෘථිවියට පැමිණෙන ඉතා දියුණු පිටසක්වල ජීවීන් තම දැනුම ලබා දීමට මුලින්ම තෝරාගන්නේ Moon Watcher නමින් ඔවුන් නම් කල තම රැලෙහි අනිකුන්ට වඩා බුද්ධිමත් බවක් පෙන්වන මානවයෙකුයි. Moon Watcher නමින් ඔහු නම් කිරීමට හේතුව ඔහුටම පමනක් තිබුනු සුවිශේෂී හැකියාවක්. එනම් පායා ඇති සඳ දෙස එක එල්ලේ බැලීමට තරම් නිර්භීතකමක් නැත්නම් ඒ සඳහා උනන්දුවක් දක්වන්නේ ඔහු පමණයි.

එසේම මෙම දියුණු ජීවීන් මිනිසාට මූලික දැනුම ලබාදී, පිටත්ව යද්දී මිනිසා ලබනා දියුණුව පිළිබඳව විමසිල්ලෙන් සිටීමට විශේෂ උපකරණයක් සඳෙහි තැන්පත් කරනවා.

අවසන සඳට ගිය මිනිසුන් විසින් එම උපකරණය සොයාගැනීම මඟින් දුර ඈත අතීතයේ අපට දැනුම ලබාදුන් පිටසක්වල ජීවීන් හා නැවත සබඳතා ඇති කරගැනීමට අපට අවස්ථාව ලැබෙනවා.

වත්ගෙ සඳ ගැන ලිපිය කියෙව්වම මට මතක් උනේ සඳ සම්බන්ධ මෙන්න මේ සිද්ධීන් මාලාව.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...