..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, May 8, 2011

෴ සොඳුරු තනිකඩකම - බිඳින්නට ලං නොවනු හිතවත / Is Eternal Solitude My Destiny? ෴

සුරංගනා කතා ලෝකයට වෙලා ඉදල සැහැල්ලු වුන ඇගේ සිතට තත්‍ය ලෝකයට එන්න හිත දුන්නේම නැහැ. ඒත් දිනෙන් දින ආසන්නයටම ඇවිත් තියෙන ඇගේ උපන් දිනය , ඇයට ඇය  දැන් වැඩිහිටියෙක් කියල ඇයට මතක් කරල දෙනවා.

හරියට , හැම පෝයකටම අහස පුරා පායන සඳ , වෙසක් පොහොය දවසට සුපින්වත් සඳ වෙනව වගේ.

තනිකඩ ඇයට දැන් පවුල් වෙන්න කාලය හරි. දෙමාපියන් , සහෝදර සහොදරියන් වගේම , ඥාතීන් හිත මිතුරන් කාටත් ඇයව දැක්කම මතුවෙන ලොකුම ගැටළුව තමයි ඇගේ තනිකඩ ලෝකය. ඇගේ තනිකඩ ලෝකය ඇයට ඇරෙන්න අනිත් කාටත් තියෙන මහ විශාල ගැටළුවක්.

ඒත් . . . .  විවාහකයන් ට තියෙන ගැටළුත් එක්ක බැලුවම ඇය ගෙවන්නේ සරල ජීවිතයක්. හිතේ දුක අඩු , සුන්දර සැහැල්ලු ජීවිතයක්.

බඳිනවා කියන වචනය තුලම සිර වීමක් ඇයට දැනෙන් නේ ඇයි ද මන්ද?

ඇය දකින විදිහට නම් විවාහයක පදනම ආදරය විය යුතුමයි. නමුත් දැඩි සේ ආදරය කරල විවාහයෙන් බැඳුන බොහෝ දෙනාත් ආදරය සොයාන විවාහයෙන් පිටත යන යුගයක දි විවාහයේ පදනම ආදරයයි කියන එක හරිද ?

වැරදි . . .  වර්තමාන යුගයේ දී විවාහයේ පදනම ආදරය නෙමෙයි. මුදල් , වත්කම , බලය, ලස්සන, දේපල සහ සමාජ තත්ත්වය තමයි මූලිකවම විවාහයේ පදනම වෙලා තියෙන්නේ. ඉතින් එහෙවු භෞතිකමය දේවල් පදනම් වුන විවාහකයන්ගේ සිත පසු කාලීනව ආදරය සොයා ඇදෙනවා.

මෙතන දී ආදරය කියල කීවේ , ශාරීරික අවශ්‍යතා නම් නෙමෙයි , සිතට සුවයක් ගෙන දෙන මානසික බැඳීම්.

මෙවැනි සම්බන්ධකම් අද ලෝකයේ විටින් විට ඇය දැකල තියෙනවා. විශේෂයෙන්ම කාර්යාල තුල දී . පවුලක් තුල ඇති වෙන මානසික පීඩනය අඩු කර ගන්නට යැයි සිතා තම දුක සහ තැවුන සිත වෙනකෙකුගේ දෝතට දෙන්නේ සැබැවින්ම අහිතකර සිතුවිල්ලකින් නෙමෙයි. නමුත් සවන් දෙන්නාගේ පුද්ගලික සිතුවිලි මත කියන්නා ඔහුගේ හෝ ඇගේ ගොදුරක් වෙන්නට පුලුවන් .බොහෝ විට වෙන්නේ ඒක. දුක් තැවුල් දුරු කරන , දුක්ගන්නා රාළ මෙන් පෙනී සිටිමින් තවත් අයකු දුකටම ඇද දමමින් ගැටළු රාශියක් මවන්න ඔවුන් සමත් වෙනවා.

ඒත් බොහොම කලාතුරකින් හෝ අයෙක් , බොහොම හොඳ අසන්නෙක් වෙනවා. දුක සතුට බෙදා ගන්න පුලුවන් , ආදරය හඳුනන බොහොම ලෙංගතු හිතවතෙක් වෙනවා. මෙතන දි ඇති වෙන බැඳීම , ඒ වගේ බැඳීමකින් බැඳුන කෙනෙක්ට හැර ගොඩක් දෙනෙක්ට තේරුම් ගන්න අපහසුයි.

මොකද වැඩි හරියක් අපි දකින්නේ රාගය හා බැඳුන අනියම් සම්බන්ධකම් නිසා.


ඉතින් , ඇය දැක ඇති බොහෝ විවාහ එක්කො ඇද ගෙන යන ඒවා, නැත්තම් බැඳපු පලියට ඉන්න ඒව, එහෙමත් නැත්තම් සිත දුකින් පිරුණ එකිනෙකා ගැන ද්වේශයෙන් සැකයෙන් බලන ඒවා ඉතින් එහෙම ලෝකයක් ඇයටත් ලැබුනොත් ඇයට එය දරා ගන්න අමාරුයි . මොකද කියනව නම් ඇය හැමදාමත් “ අහස කඩන් වැටුන හාවා වගේ“ පුංචි දේටත් කලබල වෙන කෙනෙක් නිසා.

සමාජයේ තවත් එක් සමාජිකාවක් වන ඇය සමාජ චාරිත්‍ර හා සමාජ වගකීම් ඉටු කරන්නට ම  විවාහ විය යුතු ද?

 නිසල විල පිපි නෙළුම මම වෙමි
නොඑනු රොන් ගනු පිණිස බඹරුනි
අවැසි නම් මා සිතට සම වැදි
සුවඳ පමණක් බලන්නට හිමි

අහස පතුරා දිලෙන සඳ වෙමි
පෙම් කරන්නට එපා කුමරුණි
අවැසි නම් සඳ එළිය පමණක්
රැගෙන නුඹ සිත එකළු කරමිනි

වෙරළ වෙත එන රැල්ල මම වෙමි
වෙරළ සිඹිමින් සැනසුමක් වෙමි

නුඹේ පා යුග දෝවනය මිස
සිතට වැද රැලි නඟන්නට බැරි

සිහිනයෙන් සිහිනයට පැමිණෙන
කඳුළු පිසිනා කුමරි මම වෙමි
සයනයේ උනුසුම විඳින්නට
එපා සිතුමට රාගයක් නිති


"You do not need to be loved, not at the cost of yourself. The single relationship that is truly central and crucial in a life is the relationship to the self. Of all the people you will know in a lifetime, you are the only one you will never lose."

මට මා හිමි වෙන ජිවිතයක
මා හඳුනා ගන්නට වෙර ගන්නා
මම
෴ සොඳුරු සිත ෴

10 ප්‍රතිචාර:

MaRLaN said...

අහස කඩන් වැටුන හාවගේ කතාවනම් ඇත්ත....

Ravi said...

හද සසලවන හැඟුම් අකුරු කිරීමක් අවංකවම, නංගි. මොකද, මටත් කලකට පෙර මීට බොහෝම සමාන පෞද්ගලික අත්දැකීමකට මුහුණ දීමට සිදුවුනු නිසා.

බඳිනවා කියන වචනෙන්ම අදහස් වෙන්නෙ බන්ධනයක්. නමුත් ඒ බැඳීම තමන්ගෙ සිතුම් පැතුම් වලට සරිලන......ම්ම්ම්.......සරිලන කොහොම වෙතත් යටත් පිරිසෙයින් තමන්ගෙ සිතුම් පැතුම් තේරුම් ගත්........එහෙමත් නොවේනම් යටත්ම යටත්ම පිරිසෙයින් තමන්ගෙ සිතුම් පැතුම් තේරුම් ගැනීමට අවංක උත්සාහයක් වත් දරණ කෙනෙක්, පුද්ගලයෙක් එක්ක නොවුනොත් ජීවිතයම දුක් කම්කටොලු නම් කුණාටුවෙන් පිරි තෙරක් නොපෙනෙන මහ සයුරක් වෙන එක ඒකාන්තයි,

මේ කසාදය පිළිබඳ ප්‍රශ්නෙදි අපේ වැඩිහිටියො තවමත් ඉන්නෙ සම්ප්‍රදායික සහ ගතානුගතික අදහස් වල එල්බගෙන.එක අතකට ඒ අයට දොස් කියන්න බැහැ, ඒ එයාල හැදිල තියන විදිහ. ඒ ජීවිත කාලයක් ඇටුවම් බැහැපු අදහස් අපි කිව්වය කියල ඒ අය වෙනස් කරයි කියල අපි බලාපොරොත්තු වෙන එකත් වැරදියි. ඒ වගේම එහෙම බලාපොරොත්තු තබා ගැනීමන් අපිම තමයි අමාරුවෙ වැටෙන්නෙ අවසානෙදි.

මමත් ඔය ප්‍රශ්නෙට මුහුණ දුන්නු වෙලාවෙදි මටත් කල්පනා වුනු දෙයක් තමයි අපි කොපමණ අනික් අයගෙ පෞද්ගලිකත්වයට ඇඟිලි ගහනවද කියල. විශේෂයෙන්ම කාන්තාවක් උනාම වයස එක්තරා මට්ටමකට පස්සෙ හැමෝම, නෑදෑයො, හිතවත්තු මුණ ගැහුනම ගත් කටටම අහන්නෙ මොකෝ තාම තනියම?, බඳින්න අදහසක් නැත? ඕන්න ඔහොම තමයි. එහෙම දේවල් අහන එක හරි නැහැ, හිතක් කොච්චර රිදෙන්න පුලුවන්ද, එහෙම ඇහුවම කියන එක ඒ අහන අයට කොහොමවත්ම තේරෙන්නෙ නැහැ. ඒ කාරණාව කිව්වට කිසිම දවසක පිළිගන්නෙත් නැහැ.

විවාහයක් කියන්නෙ දෙන්නෙක් අතර ඇතිවන ආත්මීය බැඳීමක්. සාර්ථක විවාහ ජීවිතේකට දෙපාර්ශ්වයෙන්ම 200% කැපවීම අත්‍යාවශ්‍යය මයි. ඒකෙ ආයෙ දෙකක් නැහැ. එක් පාර්ශ්වයක් විවාහය කියන්නෙ තමන්ගෙ උරමත තවෙකෙක් බලෙන් පටවපු කලුගලක් විදියට සලකනව නම් ඒ විවාහයට අනාගතයක් නැහැ.

මට බොහොම වෙලාවට කල්පනා වෙන කාරණයක් තමයි බටහිර රටවල් උපන් උදවිය ඒ අතින් අපිට වඩා කොපමණ වාසනා වන්තද කියන එක. ඔවුන්ගෙ කසාදයක් ගැන කාගෙවත් බල කිරීමක් නැහැ.කිසිකෙනෙක් ඒ ගැන වග විභාග කරන්නෙ නැහැ. කාටවත්ම කවුරුවත් නොබැඳ ඉන්න එක ප්‍රශ්නෙකුත් නෙවෙයි. කාන්තාවක් මුලු ජීවිත කාලයම තනිකඩව ඉන්නට තීරනය කලා කියන එක ඇය දෙස වපරැහින් එහෙම නැත්නම් අමුතු සතෙක් දිහා වගෙ බලන්න හේතුවකුත් නෙවෙයි.

විවාහය ගැන අපෙ වැඩිහිටියන්ගෙ බලකිරීමට පදනම් වෙලා තියෙන්නෙ " අපි නැති කාලෙක මොකක්ද උඹට යන කල දසාව? " කියන දෙගිඩියාව. ඒ කියන්නෙ විවාහය කියන්නෙ ඉදිරි අනාගතය සුරක්ෂිත කරනු සඳහා කරන ආයෝජනයක්. එහෙම නැත්නම් රක්ෂණාවරණයක් විදිහට තමයි සැලකෙන්නෙ.හැබැයි ප්‍රශ්නෙ වෙන්නෙ අපිත් විවාහය දිහාවෙ බලන්නෙ ඒ අර්ථයෙන්මද කියන එකයි. ඒ දෘෂ්ඨි කෝණයෙන් අපිටත් විවාහය දිහා බලන්න පුලුවන් නම්, ඒ පරමාර්ථය වෙනුවෙන් අනෙක් සියලුම දේ කැපකරන එක එච්චර දෙයක් නෙවෙයි.

ඒත් ගැටලුව මතු වෙන්නෙ අපි විවාහයෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන කොට. එහෙම උනාම බලාපොරොත්තු කඩවීම්, අපේක්ෂා බිඳවැටීම් නිසා ජීවිතය ගෙන යාමම මහ කරදරයක් වෙනව. උදාහරනයක් ගත්තොත් අර සෙක්කුවෙ බැඳපු හරකට ගැලවීමක් නැහැ වගේ.

හෙහ්......හෙහ්.......මටත් කතා කරන්න ගිහාම තිරිංග පාවිච්චි වෙනවා බොහොම අඩුයි. විශේෂයෙන්ම මේ වගෙ හදවතට සමීප, මටත් මුහුණ දීමට සිදුවුනු ඒ වගේම පැහැදිලි පිළිතුරක් නැති සංවේදී කාරණයක් ගැන අදහස් පල කිරීමේදී.

හපොයි දැනට එහෙනම් ඇති. අන්තිමට පෝස්ට් එකට වඩා දිග උනා කමෙන්ට් එක. සතාට වඩා දිගයි වලිගෙ, කිව්වැහෙ, හෙහ්.......හෙහ්,

අවසානයම නොවුනත් මෙහෙම කියල නවතින්නට මට අවසර.

දයාබර නැඟනියනි, ඔබගේ ඉදිරි දිවිය ඔබ සිතන, පතන අයුරින්ම සාර්ථක වේවා!!!

නෙලුම විකසිත වීය විල් තෙර,
සුවඳ විහිදුනි අනන්තය වෙත,
සඳුය පායා දිලෙන නුබ ගැබ,
අඳුර පහවී ලොවම එළි කල,

ඈත දියඹේ සිට ගලා එන,
රැල්ල වෙරලෙහි දෙපා සිඹ යන,
කුමරියකි සිහිනයේ රඟ දෙන,
අරුණ එන විගසින් පළා යන,

"To be nobody but yourself in a world which is doing its best, night and day, to make you everybody else means to fight the hardest battle which any human being can fight; and never stop fighting."
- e.e. cummings

prasanna86k said...

ඔහොම තමා අක්කා... be cool. මං කිව්වට එහෙම වැන්ට පුළුවන්නම් මොකෑ...

Podi Kumarihami said...

බන්ධනය කියන්නේ මොන විදියෙන් හරි බැඳීමක්නේ. එතකොට නිදහස නැතිවෙන එක සම්පූර්න ඇත්ත. රවි කියනවා වගේ, (බ්‍රේක් නැතුව යන ගමන් ) බටහිර ලෝකයේ නොබැඳපු ස්ත්‍රියක් දිහා සමාජය වපර ඇහින් බලන්නෙවත්, එයාගේ ජීවිතේට කවුරුත් ඇඟිලි ගහන්න එන්නෙවත් නෑ. අනෙක් ඉතින් 'කරුමක්කාරයා' එනකල් ඉන්ටත් එපායැ. එයා තාම ඔයාව හොයමින් ඇති. අහුවුනු හැටියේ කරුමය ගෙවන්ට පටන්ගනී.

එතකල් ජීවිතේ ඔය වගේ සතුටින් ගෙවන එකයි තියෙන්නේ.:D

උපන්දිනේ කවද්ද?

හිස් අහස said...

ඔහොම තයි අපි වටේ සියක් හමාරක් හිටයත් අපි තනිවෙන වෙලාවල් තියනවා . මිනිස්සුන්ට හිනාව , කඳුලු වගේ ඒවා එන්නේ එක පාරම . ඒ වගේමයි ජීවිතේ එකදිගටම දුක පිහිටන්නෙත් නෑ එක දිගටම සතුට රැඳෙන්නෙත් නෑ ...

ඔයාට සතුටු හිතෙන කාලයක් ඉකමනටම ඒවි .. එතකම් ඉවසන්න ..ජීව්තේ ගලන ගඟක් වගේ ...

@පොඩ්ඩි ...චිකේ ගෑනු ළමයින්ගේ වයස අහන්නේ නෑ නේද ?

හිස් අහස said...
This comment has been removed by the author.
Angel without wings said...

අක්කා, ඔයාගෙ හැඟීම මම පෞද්ගලිකවම අත් දැකල තියෙන නිසා මටත් සටහනක් තියන්න හිතුන... ඇත්තටම මටත් කාලයක් තිබ්බ ආදරය කියන හැඟීම නැතුව කරන විවාහයට සම්පූර්ණයෙන්ම විරුද්ධ උනු... පවුලේ අය මට ගැලපෙනව කියල හිතුනු අය ඇත්තටම මගෙ සමාජ තත්වෙට, මගෙ ජීවිතේට ගැලපුනා වගේම ඔයා කිව්ව වගේ මට ඇහුන්කන් දීල මගෙ හැඟීම් තේරුම් ගන්න තරන් උවමනාවක් තිබ්බ අය මට හමු උනා... ඒත් ඒ අය ගැන මගෙ හදවතට දැනෙන දෙයක් තිබ්බෙ නෑ...

නමුත් අක්කා... අද මම මගෙ ආදරය හොයාගෙන තිබ්බත් හිතේ ලොකු සතුටකින් නෙවෙයි ඉන්නේ... ඒ මගේ ආදරේට මාව තේරුම් ගන්න තරම් උවමනාවක් නැති නිසා... හැමදාම මම ආදරේ කරන අයගෙ හිත සතු‍ටු කරන්න, ඒ වගේම මගෙ ආදරේට මගෙන් වෙන් වෙන්න උවමනාවක් නැතිකම නිසා අද මම විවාහ වෙන්න සූදානම් වෙනව උනත් හිතට ලොකු සැනසීමක් නැති තත්වෙකට වැටිල ඉන්නව...

ඒක හින්දා මම කියන්නෙ අක්කා, ආදරේ පස්සෙම දුවන්න එපා... ඔයාව තේරුම් ගන්න කෙනෙක් එක්ක ජීවිතේ ගෙවන එක ඊට වඩා සැනසීමක්....

ඔයා සුන්දර හිතක්.. ඒ වගේම සුන්දර හිතක් තියෙන කෙනෙක් ඔයාට ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව...

nawammawatha said...

කසාද බැඳීම හා ඒ තුළ ජීවත් වීම යනු දෙකකි. තනිකඩ ජීවිතයේ ඇතැම් අංකුර විවාහ ජීවිතයේදී කපා දැමීමට සිදු වූවද නව අතු ළියලා ඒමට අවැසි තරම් ඉඩ ඇත. රකින්නට දොරගුළු නොලෑයුතුය ඊට හිරු එළිය වැටීමට දිය යුතුය. එවිට එහි නව මල් පුබුදිනු ඇත.

කල්හාර දිසානායක said...

හරි ආදරයක් ලැබුනොත් ඔය කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැහැ විවාහ ජීවිතයෙදි .........

වජිරදේවි said...

විටෙක සොඳුරුයි
විටෙක සංකීර්ණයි
විවාහක අවිවාහක
තත්ව සංසන්දන
අසීරුයි...
දියට නොබැස පීනන්නේ
කෙලෙසකද සොයුරියේ..

සමාජ බැමි හිර වර පොටවල්
කොතෙකුත් තිබුණාද...
ජීවිතය නුඹේමැයි...
නුඹට රිසි සේ ගෙවන..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...