..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, April 2, 2011

෴ මගේ සඳ හෙවත් ආගන්තුකයාගේ ආදරය ( I I ) ෴


මගෙ මුහුණ දිගේ ගලා ගියපු ඔහුගේ සුන්දර මූණ , මගේ ගැහෙන තොල් ලග දි මදකට නතර වුනා. ඒ තොල් පහස දැනෙන්නත් කලින් මම ඔහුගෙන් විදුලි වේගයෙන් ඉවත් වුනා.

ඉන් පසුව පලකට නැති කතා බහ අතරින් පතර හුවමාරු වෙද්දි . මටත් නොදැනීම මගේ හිස ඔහුගේ උරහිස මත රැදිල තිබ්බ.

" බඩගිනි "

" මම කෑම ගෙනාවා "

කෙහෙල් කොළයේ ඔතපු රතු බත් , පරිප්පු , කතුරුමුරුංගා මැල්ලුම් සහ මාළු ඇඹුල් තියල් හොඳට ඇනිලා බත් කටින් කට බඩට යද්දි ඔහු ඇහුවේ
“කවුද ඉවුවෙ““ කියල විතරයි.
ඔහුගෙ අතින් ඇනිල ඔහුගේ කටට යන බත් කටක් වැරදිලා හරි මගේ මුවට ළං වෙයි,  ළං වෙයි කියල මගේ සිත බලාගෙන හිටිය. බත් කටවල් දෙක තුනක් කෙහෙල් කොළයෙ ඉතිරි වෙද්දී ඔහු නැගිට්ටේ


“මට නම් ඇති“ කියමින්.



“ බඩ පිරුණද ?



“ ඔවු මේ “ 

ඔහු තරමක් ඉදිරියට යොමු වූ බඩ පෙන්වමින් කී විදිහට මට සිනහත් පහළ වුනේ බඩ වගේම හිතත් පුරවමින්.

ඉන් පසුව එළඹූනේ නොනගත කාලයක්. විටින් විට මුහුණ බලමින් මද සිනා සලමින් දෙදෙනාම ගත කරේ නිහඬ වුවත් ඇස් වලින් දොඩමළු වුන හෝරා කිහිපයක්.

අවසානයේ දීර්ඝ සුසුමක් හෙලපු මම , ඔහුගේ උරහිසට මගේ හිස බර කරේ ලෝකයේ තියෙන ලොකුම සැනසීම විඳිමින්.

“ හ්ම් . . . . .“


“ හවස් වෙලා“

ඔහු පවසද්දි හිස ඔසවන්නෙ නැතිවම ඇස් පිල්ලන් මදක් ඔසවලා  ඔහු දිහා බැලුවේ , ඔහුගේ උරහිසින් මගේ හිස ගත්තොත් ඔහු පැණල යාවිදෝ කියල මට බය හිතුන නිසා වෙන්න ඇති.

ඔහු මා දෑස් දිහා බලන විටම මම බිම බලා ගත්තේ , දැන් මම යන්න ද කියල ඒ ඇස්වල ලියවිලා තියෙනවා බලන්න බැරි නිසයි.

ඔහුගේ ඇස් මගෙන් ඉවත් වෙලා ඇතැයි සිතූ මම හිමින් සීරුවෙ නැවතත් ඇස් පියන් ඔසවා ඔහු දෙස බැලුව. 

ඒත් . . . . .  ඔහු තවමත් මා දෙස බලාගත් වනමයි.

“ ම් ම් මොකද මේ
ඔහු පවසත්ම ඔහුටත් මටත් සිනා පහල වුවේ එකවරමයි.

“ දැන් ඔයා මාව දැක්කනෙ මම යන්න ඕනි. නැත්තම් ගොඩක් රෑ වෙයි ගෙදර යන්න.“

ඔහු ඉතාම කරුණාවන්ත විදිහට පැවසුවා.ඒත් මගේ මුරණ්ඩු හිත ඔහුගේ උරහිස මත රැඳිල තිබ්බ මගේ හිස අහකට ගන්න ඉඩක් දුන්නෙම නැහැ. මඳක් වෙලා ඉවසු ඔහු සෙමින් මගේ දෙතොල් කරා ළං වුනත් කලින් වතාවෙන් මෙන් ඔහුගෙන ගැලවෙන්න මට හෝ මගේ සිතට කිසිම වුවමනාවක් ඇති වුනේ නැහැ.


පියවුන නෙතත් සිරවුන දෙතොලත් ජීවිතයේ ලද ප්‍රථම හාදුවක සුව විදින වෙලාවේ කොහේ දෝ ඉ ඳන් කුමක් හෝ හේතුවකට ආපු කඳුළක් දෙතොල් තෙමමින් ගලා යද්දි ලුණු රසත් එක්ක එකතු වුන හාදුව එතෙක් නොවිඳි රසදහසක් ලේ නහර ඔස්සේ ගලා යනව දැනෙන්නට වුනා.

දීරඝ හාදුවකට පස්සෙ එතෙක් හදවතේ පතුලෙම සැඟවිලා තිබ්බ සිහින් ඉකියක්  දෝරෙ ගලන්න ගත්තෙ කිසිම හේතුවක් නැතිව අහේතුවකටමද කියල අදටත් මට තේරුම් ගන්න බැහැ.

ඇයි මේ අඬන්නේ ඔහු ගේ වදන්  හමුවේ සඟවන්න ගිය ඉකිය තව තවත් වර්ධනය වුනා. කමිසය කඳුළින් පෙඟෙද්දි ඔහු කළේ අනන්තය දිහා බලා ඉන්න එක විතරයි.


එදායින් පසුව දෙතුන් වතාවක් ඔහුත් මාත් මුණ ගැහුනා. බොහොම සාමාන්‍ය හමු වීම් අවසානයේ දී අවසාන හමු වීමටත් පස්සේ  ඔහු ආයෙමත් ඇවිත් ......... ඔවු ආයෙමත් .... මගේ වර්තමානයට ඇවිත්....


සමීපතම පිරිමි මුහුණ තරමක් වෙනස් වී තිබ්බත් , පැහැය අඩු වී තිබුනත් ඒ  සුවඳ බිඳක් වත් අඩු වෙලා නැහැ.

ඔහුගේ දකුණතේ වෙනදා තිබ්බ තෑගි පාර්සලය වෙනුවට හුරුබුහුටි කොලු පැටියෙක් ඒ සුරතේ එල්ලිලා. ඔහුගේ දකුණතේ මුදුව අමතක වෙලා වෙන්න ඇති.

එදා ප්‍රථමයෙන් හමු වුන තැන ඉදන්ම කතාවක් නැතිව ඔහේ බලා ගෙන හිටිය අජීවි ජීවිත තුනක් සජීවී වෙන්න පණ පොදක් ඉල්ලමින් එකම ප්‍රාර්ථනය කරන්න ඇති.

එදා රැවුල් කොට වලට හීරුන මගේ මුහුණට දැනුන හීන් වේදනාව හදවත හූරමින් තද වේදනාවක් බවට වර්ධනය වෙමින් තිබුන.
මම වචන එකතු කළේ හදවතත් බුද්ධියත් පරදවමින් මට මා වෙන්න තිබුන වුවමනාව වැඩි නිසා වෙන්න ඇති.

මම කැමතියි



සඳට දුන්න ලකුණුත් අරන් , සඳත් එක්කම පොළවෙ ඇවිදින
මම
 ෴ සොඳුරු සිත ෴

9 ප්‍රතිචාර:

නසරාණියා.. said...

අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ......
එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
මෙදා වියොවක් නෑ......

Ravi said...

ජීවිතයේ එක් සදාදරණීය සමයක මම සිහින සහසක් දුටුවෙමි.
නින්දට වන් මොහොතේ පටන් අවදිවන නිමේශය දක්වා නෙත් පුරා දුටුවේ දහසකුත් එකක් වර්ණයෙන් හෙබි සිහින පමණකි.
ඒ සෑම සිහිනයකටම පොදුවූ එක් ලක්ෂණයක් වීය.
ඒ සිහිනයන්හි මුල සිට අග දක්වා සිටියේ ඔබමය.
මගේ සිහින නිර්මාණය වූයේ ඔබ වටාමද නැතහොත් සෑම සිහිනයකට ඔබ අනායාසයෙන් සහ අනාරාධිතව ඇතුල් වූවාද තවමත් නොදන්නෙමි.
හදිසියේම අනපේක්ෂිතව එක් සවසක මම සිහින දැකීමේ දැකීමේ උන්මාදයෙන් මිදුනෙමි.
මිදෙන්නට සිදුවූවාය කිවහොත් වඩා නිවැරදිය.
සිහින වලින් වියුක්තව ගෙවී ගිය පසුගිය කාලය ජීවිතය ඔහේ ගලාගිය සමයක් වීය.
සිහින දැකීමෙන් වැළැකුනු බැවින් සිහින බිඳ වැටීමේ වේදනාවෙන්ද ඒ හා සමඟම මිදුනෙමි.

හදිසියේම, සිහිනෙකුනුදු නොපැතූ නොසිතූ විරූ ලෙස ඔබ යලි පැමිණ මගේ ජීවිතයට ඇතුලු වී ඇත.
එසඳ මගේ සිහින ඔබ වටා ගොඩනැඟුනු ලෙසම මෙවර ඔබේ සිහින මා වටා ගොඩ නැඟී ඇත.
ඔබගේ ඒ සහසක් බලාපොරොත්තු මල්පල ගන්වන්නට මට හැකිදැයි තවම නොදන්නෙමි.
මම හොඳින් දන්නා එකම කරුණ නම් නැවත වරක් බලාපොරොත්තු බිඳවැටීමේ වේදනාව දරාගැනීමට මට නොහැකි බව පමණකි.
එහෙයින් ප්‍රිය සබඳ,
අසන්න,
ඔබට පවසමි මෙලෙස.
සිහින දැකීමට මැළිවීම පිළිබඳව මට සමාවන්න.
කාලයට සියල්ල භාරකර උපේක්ෂාවෙන් බලා හිඳින්නට මට අවසර.
ඔබ වෙනුවෙන්, ඒ සමඟම මා වෙනුවෙන් මට අද කල හැක්කේ එපමණකි.

හිස් අහස said...

කතාවේ කොටස් දෙකම බැලුවේ අද . ලස්සන හිතට දැනෙන කතාවක් අක්කේ . ඒවගේම රසවත් කතාවක් .

නිම්ශා said...

හරිම ලස්සනයි අක්කේ...කතාව එකත් බැලුවා එදා එත් හිතට මුකුත් ආවේම නැහැ..ලස්සනයි...

Isuru Sanjeewa said...

අනේ අක්ක ලස්සනයි මට හිතා ගන්න බෑ මෙච්ච‍ර ලස්සනට පදවැල් අමුණන්න ඔයාට අදහස් ගලා ගෙන එන්නෙ කොහොමද කියල

තිස්ස දොඩන්ගොඩ said...

"දීරඝ හාදුවකට පස්සෙ එතෙක් හදවතේ පතුලෙම සැඟවිලා තිබ්බ සිහින් ඉකියක් දෝරෙ ගලන්න ගත්තෙ කිසිම හේතුවක් නැතිව අහේතුවකටමද කියල අදටත් මට තේරුම් ගන්න බැහැ.."
ජීවිතයේ සොඳුරු අවස්ථාවකදී කෙනෙකුගේ දෑස් තෙමෙනවා කියන්නේ ඒ කෙනා ඒ මොහොත සියොලඟින්ම විඳිනවා කියන එකයි...

මධුරංග said...

ලස්සන කතාවක් අක්කේ

Indranatha Thenuwara said...

සහතික ම සහතික ඇත්ත කතාවක්..මේකට තමයි කියන්නෙ "ආත්ම ප්‍රකාශනය" කියල. නමුත් ඒක නිර්මාණයක් බවට පත් වන්නෙ අතිශය පෞද්ගලික වූ අත්දැකීමක් පොදු බවට පත් කිරීම නිසා...!! කොටින් ම මේ කතාවෙ සමහර තැන්වල ඉන්නෙ මම කියල මට හිතුන...මහහර අත්දැකීම් ඒ ආකාරයෙන් ම මාත් විඳල තියෙනව කියලත් මට දැනුන...!!!

Kasun said...

අක්ක ලියන විදිය ගොඩක් ලස්සනයි. ඒත් මට කතාවෙ අවසානය හරියට පැහැදිලි නෑ නෙ.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...