..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, April 30, 2011

෴ කතරක් මැද කොතැනක හෝ.. කෙම් බිම් යලි හමුවෙනවා. ෴

 නැති දේ , නොලැබෙනා දේ ගැනම තැවෙන අය වැඩියි කියල මට හිතෙනවා. අනික මම ලියන දේ වුනත් එයාලට දෙන්නෙ ඒ දුක් හැඟුමම වර්ධන වෙලා , ඒ දුකම විඳ විඳ ඉ න්න අඩු වැඩිය කියලයි මට හිතුනේ. ඉතින් දුකට පත් කෙනෙක් ව තව තවත් දුකට දාන්න මම නොදැනුවත්ම හරි හවුල් වෙනව නම්, ඒක හොඳ දෙයක් විදිහට මම දකින්නෙ නැහැ.

“ දුක “ හැම හිතකම තියෙන විදින , දැනෙන දෙයක්. ඒත් “දුක“ දුකින්ම නැතිව දුක සතුටින් විඳින්න අපිට බැරිද , 

ආදරය කරන අය නොලැබීමේ දුක , ආදරය කරපු අය අපිව දමා යෑමේ දුක . ඒ දුක් තමයි ගොඩක් දෙනාට තියෙන දුක. ඒ දුක තුල ඇත්තටම සිතට දැනෙන්නෙ සතුටක් නිසා තමයි ගොඩක් දෙනා ඒ දුක තුල ගිලිල කිමිදිලා මිය යන්න හදන්නෙ.හරියට මී මැස්සෙක් ඇන්නම වගේ. වේදනාවක් එක්ක ඇඟ පුරාම දුවන සියුම් පිබිදීමක් ඒ තුල තියෙනවා.

ඒත් දමා ගිය අය හෝ නොලැබී ගිය අය තම තමන්ගේ ලෝක වල ඒ ඒ විදිහට සතුටින් ජීවත් වෙනව. අපි ඔහේ කාලකණ්නි වෙනව. ඉතින් ඒ ආදරය ද? ආදරය තියෙන්නෙ ජීවිත සතුටු කරන්න. ජීවිත ලේසි කරන්න. ජීවිතය බෙදා ගන්න. කොටින්ම ජිවිතය ජිවත් කරවන්න මිසක ජීවිතය විදවන්න නෙමෙයි.

තමන්ට ලැබුන හොඳම කෙනා, ලෝකෙ හිටපු නියම කෙනා තමන්ව දාලා ගියා කියල ඔයාල දුක් වෙන්නෙ කොහොමද ? අනිත් අය දිහා හැරිල බලන්න, කතා කරන්න හඳුනා ගන්න, සමහර විට හොඳම කෙනා තමන්ගෙ ළඟම ඉන්නව වෙන්න පුලුවන්.

ඉතින් මේ අතරේ හිතේ කිසිම තෙතක් නැති කිසිම සංවේදීතාවයක් නැති ගල් හිතුත් නැතිවම නෙමෙයි. ගොඩක් දුරට ඒ හිත් ගල් වෙලා තියෙන්නෙ ආදරය නොදැකපු , නොදැනුන නිසා වෙන්න පුලුවන්. සංවේදි මෘදු සිතකට , ගලක් වුනත් උණු කරන්න පුලුවන්.

ඉතින් යාලු වනේ ගොඩක් දෙනා මගෙන් අහනව “ ඇයි අක්කා ඔයා දුකින් ඉන්නෙ කියල “

මම දුකින් නෙමෙයි. හිත උතුරා ගිය සතුටිනුත් නෙමෙයි . ඒත් හිතට දරා ගන්න බැරි දේවල් මම අකුරු වලට බර තියලා , මගේ හිතින් පිටුවහල් කරන්න වෙර දරනවා. ඒ නිසා මම වත් නොදැන මගේ හිතේ අහු මුළු වල තියෙන “ දුක“ වචන වලට එනව ඇති. ඒ ඇරෙන්න , විශේෂ දුකක් හෝ සතුටක් නම් මට නැහැ.

පොතක් පල කිරීම ගැන නම් මේ දවස් වල වෙහෙසෙමින් ඉන්නව. නොදැකපු , නමුත් ගොඩ දෙනෙක් මට ඒකට උදවු කරනවා. ඒ හැමදෙනාටම ගොඩක් ස්තූතියි.


මා වටේ ඉන්න , හිත් වල දුක පුරෝ ගත්ත යාළුවන් , සතුටින් ඉන්නව දකින්නයි මම කැමති. දුක ආහාරයක් කර ගන්න එක නතර කරන්න . . . . ජිවිතේ ලස්සනයි. නුඹේ ජිවිතය නුඹේමයි. වෙන කෙනෙක්ට ඒ ජීවිතේ නැති කරන්න දෙන්න එපා. පුලුවන් නම් , තමන්ගෙ ජීවිතෙන් තමන් ආදරය කරන අයගේ ලෝකය එළිය කරන්න බලන්න. ඒකට එයාල ළඟට යන්නම ඕනි කියල එකක් නැහැනෙ. 

එහෙම නේද ?
මේ මම කළකින් අහපු ගීතයක්. කැමැති නම් ගීතයත් අහලම යන්න.

මල් හසරැල් සැළෙන ලොවක්..
දුල් රසුදැල් අසිරි සලක්..
සොඳුරු ඉසව්වක්..
තිත් කතරක නෙත් දනවන..
සිහින දනව්වක්..

කතරක් මැද කොතැනක හෝ..
කෙම් බිම් යලි හමුවෙනවා.
දුක්බර ගෙනයන ගමනේ..
හසරැල්ලක් මුසුවෙනවා..
කඳුලින් සරු වූ උයනේ..
මිනිසත්කම් දළුලනවා..

සිත තෙත් ගතිනැති දා ලෝ..
කොතැනක් කතරක් වෙනවා..
හදවත් පිවිතුරු වූ දා..
නව කෙම් බිම් බිහිවෙනවා..
දෙසිතක් මුසු වූ දැහැනේ..
දහසක් මල් පිබිදෙනවා.




 


සඳ මා හැර ගියැයි කියා  - සඳ එළියත් එක්ක තරහ නොවී
සඳ එළියේ සුව විඳින
මම
෴ සොඳුරු සිත ෴

12 ප්‍රතිචාර:

dishanrajapaksha said...

ආදරේ කරපු කෙනෙක් දාල ගියාම ඔහොම හිතන්න ගොඩක් අයට හිත හදාගන්න අමාරුයි, මොනවා කිව්වත් ආදරේ කරන කෙනෙක් වෙනතක ගියාම දැනෙන දුක කියන්න ඕනේ නැනේ :( අන්තිමට එයාලම ඕක තේරුම් ගන්නවා, ටිකක් කල් ගියාම ( මන් වගේ :ඩි)

ගල්මල්-Coral said...

මේ පොස්ට් එක කියෙව්වේ ලොකු සතුටකින්.

/මා වටේ ඉන්න , හිත් වල දුක පුරෝ ගත්ත යාළුවන් , සතුටින් ඉන්නව දකින්නයි මම කැමති. දුක ආහාරයක් කර ගන්න එක නතර කරන්න . . . . ජිවිතේ ලස්සනයි. නුඹේ ජිවිතය නුඹේමයි. වෙන කෙනෙක්ට ඒ ජීවිතේ නැති කරන්න දෙන්න එපා. පුලුවන් නම් , තමන්ගෙ ජීවිතෙන් තමන් ආදරය කරන අයගේ ලෝකය එළිය කරන්න බලන්න. ඒකට එයාල ළඟට යන්නම ඕනි කියල එකක් නැහැනෙ./

මේ ඡේදය කිහිපවරක්ම කියෙව්වා, වත් නංගීගේ හඬින් එය ඇහෙනවා හැටියටයි දැනෙන්නේ.

මේ ලෝකයේ සතුටින්ම විතරක් සිත පිරුණ අය අත්දැයි නොදනිමි. එවන් පුද්ගලයෙකුට වුවද තම සිතේ සතුටින් බිඳක් අනෙකෙකුට බෙදන්න පුලුවන්කමක් තියේවිද? ඒත් තම දුක දරාගෙන අනුන්ගේ සිතේ සතුට, මුවේ සිහින් සිනාරැල්ලක් මතුකරත හැකි බොහෝ දෙනා ඉන්නා බව දනිමි. හිතේ මොනතරම් දුක තිබුණත් තමා ප්‍රියකරන අයට සතුට සැදුවා යැයි ඔවුන් සතුටුවේවි.

Podi Kumarihami said...

මේ කියන්නේ දුර ඉඳන් ආදරය බෙදලා දෙන්න කියලද?

rajith said...

ගීතය පෝස්ට් එකට අපූරුවට ගැලපෙනවා........

පොතක් ලියනවා කියලා අදයි දන්නේ.ඉක්මනට ප්‍රින්ට් කරලා පොත එලියට දාගන්න ලැබේවා!!!!!!!!

Ravi said...

හොඳ අවංක අදහස් පළකිරීමක් නංගි,බොහොම වෙලාවට පපුව ඇතුලෙන්ම එන අව්‍යාජ සිතුවිලි අකුරු කලාම අපෙත් පපුවටම වදිනවා.තමන්ගෙ හිත් ගුහාව ඇතුලෙ හැංගිලා හොල්මන් කරන හැඟීම් එක්ක සමාදානයකට එන්න පළමුවෙන් කල යුත්තෙ අවංකව ඒ හැඟීම් හඳුනා ගන්න එකයි. ඒ වැඩේ කරන්න පුලුවන් තමන්ටමයි, වෙන කෙනෙකුට කොහොමවත් ඒකට උදව්වක් වත් කරන්න බැහැ.

අනික හැම සිදුවීමක්ම සාපේක්ෂයි. අද අපිට මහ විසාල ප්‍රශ්නයක් ගැටලුවක් වන දෙයක් හෙට කිසිම වැදගැම්මක් නැති වෙන්න පුලුවන්.

There are only two ways to live your life. One is as though nothing is a miracle.
The other is as though everything is a miracle.
- Albert Einstein

Dinesh said...

මගේ ජීවිතේ දැන් අවුරුදු 4ක ඉදන් ඔය කියන දුකත් එක්කමයි බැදිලා ඉන්නේ.. මටනම් අක්කා ලියන දේවල් වලින් දුක වැඩි වෙන්නේ නෑ.. අක්කා ලියන සමහර දේවල් මට ගොඩාක් සමීපයි.. මගේ ලගින් එයා හිටපු පුන්චි කාලෙදි හරි මම අක්කා පොස්ට් එකෙන් ලියපු දේ ඇත්තටම වින්දා නේද කියලා මට හිතුනම දැනෙන්නේ ලොකු සතුටක්..

nimthera laga hinda said...

ආදරය කරපු කෙනා නොලැබීම ,ආදරය කරපු අය ලබාගත්තාට වඩා සුන්දරයි කියලා මම කිව්වොත් මාත් එක්ක ඒකඟ වෙන අය නම් හොයාගන්න අමාරු වෙයි.ඒත් ඇත්ත ඒකයි!අහන්න,අපිට ආදරය කරපු කෙනා ලැබුනට පස්සෙ හුදෙකලාව කියන කලා කාරයෝ බිහි කරන සාධකය අපෙන් පලා යනවා.හැබැයි ආදරය කරපු කෙනාට අපෙන් වෙන් වෙලා යන්න සිද්ධ වුනොත් වෙන්නෙ ඕකේ අනෙක් පැත්ත.
අනික පිරිමි තමන්ගෙ ආදරය කැඩිලා බිඳිලා ගියාට පස්සෙ එක එක දේවල් හොයනව හිත හදාගන්න,ඒත් ගැහැණියක් ඒ වේදනාව නිහඬවම දරාගන්නවා.අපි දාහක් දේවල් කරලා හිටපු තැනටම ඇවිත් බලනකොට ගැහැණිය හිත හදාගන ගොඩක් දුර ගිහින්.

Niroshan said...

කාලෙකින් දැකපු හොදම ලිපියක්. මටත් හිතුනු දෙයකට තමයි වත් ඔය පිළිතුරු දීලා තියෙන්නේ, ඇත්තටම සතුටුයි, අපි කවුරුත් කැමති සතුටින් ඉන්නනේ...

අපි කාගෙන් හරි ආදරය බලාපොරොතු වෙනවානම්, ඒ බලාපොරොත්තු වෙන්න හොදම කෙනා තමයි තමාට තමාවම...මේක දැඩි ආත්මාර්ථකාමී සිතුවිල්ලක්, ඒත් මේක තමයි සරලම විසදුම, ඒ වගේම අටලෝ දහමින් කම්පා නොවන එකම විසදුම..

මේ මැනුම් දන්ඩේ, අනෙක් කොනේ තියෙන්නේ "දීපු දෙයක් තමයිනේ අපහු ලැබෙන්නේ" කියන එක. ආදරය ලබන්න ඇත්තටම අපි ආදරය දීලා තියෙනවද? සරල ප්‍රශ්නයක්, පිළිතුර නම සරල වෙන එකක් නැහැ.

මගේ උත්සාහය සිතන්න යමක් ඉතිරි කිරීම පමණයි, මා විනිශ්චය කරන්නකු නොවේ...

Kathandara said...

දහසක් මල් පිබිදේවා!

Helping To People said...

සිත තෙත් ගතිනැති දා ලෝ..
කොතැනක් කතරක් වෙනවා..
හදවත් පිවිතුරු වූ දා..
නව කෙම් බිම් බිහිවෙනවා..

nawammawatha said...

100 %

ලකී වික්‍රමසිංහ said...

මගේ මෝඩ නොදැනුවත් කම වෙන්න ඇති අක්කේ, ඒත් මේ ගීතය අහනකොට මගේ හිත උඩ ගලක් තියනවා වගේ බරක් ඇති වෙනවා. ගීතයේ අර්ථයට වඩා මට දැනෙන්නේ දුකක්.කවුද අක්කේ මෙච්චර ලස්සන මනුස්සයෙක් මෙච්චර ලස්සන කටහඬක් නිහඬ කළේ?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...