..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, March 12, 2011

෴ සදාදරණීය පරණ පෙම්වතා / Old Flame That Never Went Out Totally, ෴

උදේ ඉඳන්ම වැටෙන මහ වරුෂාව ද නොතකා තකහනියේම රැකියාවට යැමට සැරසුන ‍ සුදත් , පොඩිවී ගිය කමිසය අතින් රැලි  ඉවත් කර ඇඳ ගත්තේය.  තමන්ට හැකි අයුරින් සකසා ගත් බත් පාර්සල් දෙකද රැගෙන ,  කඩිනම් ගමනින් බස් නැවතුමට ගිය හේ බස් නැවතුමට වි නොඉවසිල්ලෙන් බලා සිටින්නට වූයේ විටින් විට අහසට ද රවමිනි. 

නිල් අහස මෙන් පිළිවලට තිබූ තම ජීවිතයද , මහ වරුෂාවකට වටවී හේදී ගිය සෙයකි ඔහුට දැනුනේ. බස් නැවතුමේ සිටියේ ඔහුත් , තවත් පාසල් ශිෂ්‍යෙයක් සහ හිඟන්නෙක් පමණි. 

“ චැහ් , බස් වැස්සට දිය වෙලා ද මන් ද? “ 

වැහි බිඳු වලින් සෑඳුන තිමිර පටල අතරින් මහ පාරේ ඈත කෙළවර බලමින් ඔහු සිතුවේය. බස් නැවතුම පසු කරමින් දෙපසට දිවයන වෙනත් වාහන අතරින් සුදු පැහැති කාරයක් වේගය බාල කර පසුකර ගිය බස් නැවතුම වෙත නැවතත් රිවස් කරන්නට විය.

බස් නැවතුම කෙලවරක සීතලෙන් ගුලි වි සිටි හිගන්නා ආසන්නයටම රිවස් වූ කාරයේ ඉදිරි වම් පස වීදුරුව ක්‍රමයෙන් පහත හෙලුන අතර ඉන් එලියට පැමිණියේ පාර්සලයක් සහිත වලලු දැමූ අතකි. පාර්සලය හිඟන්නා වෙත දික්කෙරුනේ කහ පැහැති සල්ලි කොළයක් ද සමඟිනි. වහා ඉදිරිපත් වූ සිඟන්නා පාර්සලය තම දෑතින්ම ගත්තේ නිවට නියාලු ලෙස තම කහට බැඳි දත් පෙල දක්වා සිනා සෙමිනි.

“තිස්තුන් කෝටියත් දෙවිය .........“

“ නැහැ නැහැ ඒව අවශ්‍ය නැහැ “ ගැහැණු හඬක් පැවසූ අතර. ඒ වන විට තුරන් වෙමින් තිබු වරුෂාවේ ප්‍රමාණය මනින්නට මෙන් ගැහැණු අත වැටෙන වැහි බිඳු කිහිපයක් අල්ලා ගත්තේය. ඒ සැනින්ම වාගේ කාරයේ වීදුරු ජනේලය අතරින් එළියට ආ ගැහැණු මුහුණ බස් නැවතුමේ සිටි පුද්ගලයන් වෙත යොමු විය.

“ සුදත් “

කාරයේ ඉදිරිපස දොර පලුව ඇරුන අතර ඉන් බැස ආවේ සොඳුරු පෙනුමැති තිස්වියේ පමණ වයසැති තරුණියකි. මඳ වරුෂාව අතරින් බස් නැවතුමට ගොඩ වූ ඇය.

“ සුදත් , ඔයාට මාව අඳුරන්න බැරිද ? මම . . . .මම මහේෂි “

“ මහේෂී “

“ ඔවු .හරි හරි ඔයා කොහෙද යන්නේ . මම මේ කොළඹ යන ගමන්. “

“ ගාලු යන්න “ 

“ හරි යන් එහෙනම් මාත් එක්ක “ තරමක් වට පිට බැලූ මහේෂී “ පුතා කොහාට ද යන්නේ “

“ පඹුරන ස්කොලෙ ට “

“ හරි එහෙනම් දෙන්නම යන් ,සුදත් ඔයා නඟින්න ඉස්සරහින් “

ශිෂ්‍යයා පාසල අසලින් බස්සන තෙක්ම ඔවුන් අතර කතාවක් නොවුනි. ඔහු බැස ගිය පසු කටහඩ අවදි කල ඇය.

“ ඇත්තටම සුදත් , ඔයාට මාව මතක නැද්ද ? “

“ ඇයි නැත්තේ. ඒත් ඔයා ගොඩක් වෙනස් වෙලා.“

“ රූපෙද නැත්තම් “

“ රූපය තමයි “

“ එහෙමද ? එහෙනම් ඉතින් මට ආයෙත් ඔයාට ඇප්ලිකේශන් එකක් දෙන්න බැරි වෙයි නේද ? “

“ ඇයි ? “

“ අපි දෙන්න වෙන් වුනේ ඔයාට මාව ගැලපෙන්නෙ නැහැ කියලනේ “

“ ම්ම් . . . මට සමාවෙන්න මාෂි “

“ සමාව මොකටද , හරි හරි දැන් කියන්න ඔයා කසාද බැදල ? “

“ ඔවු “

“ අප්පා . . . බබාලත් ඉන්නව ද ? “

“ නැහැ තවම “

“ සතුටින් “

“ ම්ම් ඔවු සතුටින් , ඔයා ? “

“සතුටින් “

“ ඔයා දැන් කොහෙද ඉන්නේ “

“ ම්ම්...... ඔයා මාව දාලා ගියාට පස්සෙ , ඔයා ඒ ඔෆීස් එකෙනුත් අයින් වුනා නේ. ඉතිං මටත් තව දුරටත් එතන වැඩ කරන්න බැරි වුනා.ඊට පස්සෙ මම එතනින් අයින් වුනා. ඔයත් එක්ක වැඩ කරපු සමීර තමයි මට අලුත් රස්සාවක් හොයල දුන්නේ “

“ සමීර , ! ! “

“ ඔවු. . .  ඔයා මාව දාලා ගියපු අමානුෂික විදිහ නිසා. මම සෑහෙන අසරණ වෙලයි හිටියෙ සුදත් “

“ සමීර ! ! වෙන්න බැහැ “

“ ඇයි ! ! “

“ සමීර තමයි . ඔයා ගැන මට . . .සමීර තමයි අපි දෙන්නගේ සම්බන්ධය කඩන්න මුලික වුනේ “

“ එහෙම වෙන්නෙ කොහොම ද? සමීර ඔයා ගැන හරි දුකින් හිටියෙ. කොහෙද යන මෝඩයෙක් ගෙ බොරු වලට අහු වෙලා කියල “

ඒ වන විට ගාලු කොටු පවුර පෙනෙන දුරට වාහනය පැමිණ තිබුනි.
“ ඔයා කොහෙන් ද බහින්නේ “

“ හිරගෙදර ලඟින් “

“ දැන් හිරේ ද වැඩ කරන් නේ “

“ ඔවු , මට කියන්න මාෂී , දැන් ඔයා කසාද බැදල ද? “

“ ඔවු “

“ සමිර ව ද? “ 

“ නැහ් “

සුදත් දිග සුසුමක් හෙලා තම ලය සැහැල්ලු කර ගත් ආකාරය දුටු මහේෂි . සිදුවි ඇති සියල්ල ඒ සුසුමේ දිග පලලින් වටහා ගන්නට තරම් බුද්ධිමත් වුවාය.

ගාල්ල කොටු පවුර දෙස ද මහේෂි දෙස ද මාරුවෙන් මාරුවට බැලූ සුදත් ඇයට සමුදී කාරයෙන් බැස නොපෙනී යන තෙක් බලා සිට නෙතට නැඟුන කඳුළ ඔහේ ගලා යාමට ඉඩ හැරියාය.

- - - - - - - --- - - - - - - - - - - - - - - - - - - -

මහේෂී කාරය උණවටුන මානසික රෝහලේ රෝහල් ගේට්ටුව ගාව අවේලාවේ නවතා රෝහල් ගේට්ටුව අරුනතුරු සිටියේ තම ස්වාමියා තමන්ගේ පැමිණිම අපේක්ෂාවෙන් සිටින නිසා ය. . හෙට සිට දින තුනක් ඔහුට මෙන්ම ඇයටද මද නිවාඩුවක් ලැබෙන බැවින් දෙදෙනා සමඟ කොළඹ පිහිටි තම  නිවහනට ගොස් සැනසිල්ලේ කාලය ගත කිරීමට ඔවුන් තිරණය කර තිබුණි.

වෝඩ් රවුන්ඩ් ගිය රෝහන එන තෙක් රෝහලේ රැඳී සිටි ඇයගේ සිතට වරින් වර පැමිණි සුදත් පසුගිය මතක දැඩිව අවුස්සන්නට විය. වැඩිය කතාබහක් නොමැති රෝහන පිස්සන්ට ඉතා කාරුණික වෛද්‍යවරයෙකි. එසේම මාෂිට හොඳ ස්වාමි පුරුෂයෙකි. සියල්ල සිදුවන්නේ හොදට නොවේ ද?

“ මාෂි . සොරි මාෂි. ගොඩක් වෙලා පිස්සන් කොටුවෙ කොටු කරල තිබ්බට ඔයාව. කමොන් මාෂී ලෙස්ට් ගෝ. දැන් ලෙඩ්ඩු බලන වෙලාව ලගයි. මිනිස්සු පිරෙන්න කලින් අපි යමු . අද ඉදල දවස් තුනක් අපි දෙන්නට අපේම ලෝකෙට වෙලා ඉන්න පුලුවන් “

“ මාෂි . . . මොකද මේ . අද ඔයාගේ මුහුණ බැලුවම මට පේන්නෙ පිස්සියක්ව නෙ . හේ හේ පිස්සියක්ට වාහනයක් අරන් යන්න දෙන්න බැහැ .කෝ කෝ දෙන්න මට යතුර “

වාහනයට ගොඩ වු ඔවුන් දෙදෙනා ද සමඟින් සෙමින් ගමන් ඇරඹු කාරය , රෝහල් ගෙට්ටුව සමීපයේදී මදක් නතර වුයේ රෝහනගේ පණිවිඩයක් මුරකරුට පැවසිමට තිබු හෙයිනි .

“ සම්පත් , අද ඉදල දවස් තුනක් මම නැහැ.ක්වාටස් එක පැත්ත පොඩ්ඩක් බලන්න “

ඔහු පණිවිඩය පවසන අතර තුර , රෝහල ඉදිරියේ නතර වූ බසයෙන් බැස ගත් මිනිසුන් එකා දෙන්නා කඩිමුඩියේ රෝහල තුලට රිංගනු මාෂි බලා සිටින්නට වුයේ අරමුණකින් තොරවය. ඒ අතර තුර මේ. “ සුදත් “

“ කවුද මාෂි “

“ නැහ් . . . ඉස්සර මගේ ස්කෝල යාලුවෙක් “

“ ආහ් අර කොල්ල ද ? පවු, ඒ මනුස්සයගේ නෝන ත් මෙහෙම තමයි ඉන්නේ. ලැබුන දරුවා මාස තුනකින් නැති වෙලා. එදා ඉඳල ඒ ගෑණු මනුස්සයට මොළය හොඳ නැහැ. හරි හරි අපි යමු. මෙතන හිටියොත් මගේ නෝනගෙත් මොළය නරක් වෙයි “

බසයෙන් බැස පාර පැන විත් අප සිටි කාරය ද පසු කරමින් බත් පාර්සලයක් ද අතේ ගුලි කර ගෙන තම ලෙංගතු දෑස හමුවන්නට යන ඒ මිනිසාට කලක් මාද පිස්සියක මෙන් පෙම් කළ බව ත් ඔහු අන්අයකුගේ මුසා බසට රැවටී මා හැර දමා ගිය පසු ඒ පෙම් සිත සුවපත් කළේ අද දින පිස්සන්ගේ දොස්තර වන නුඹ බවත් මට පවසන්නට ඇත්නම්.

“There is always some madness in love. But there is also always some reason in madness.”


 උන්මාද ආදරයෙන් සිත සුව පත් කර ගත්
මම
සොඳුරු සිත

23 comments:

  1. මේ කතාවනම් අක්කො සැබෑ ජීවිතේටත් හුඟක් වෙලාවට බලපානවා.ඇත්තටම ආදරේ කරණ කෙල්ලව හරි කොල්ලව හරි දාල ඊට වඩා හොඳ සුපිරි එව්ව හොයන්න ගියාම පසු කාලීනව ප්‍රථිපල මේ වාගෙ වෙනවා.දන්න කියන කීප දෙනෙකුටම මේවාගෙ දේවල් උනා.
    ලස්සන කතාවක් ,හොඳ නිර්මාණයක්.

    ReplyDelete
  2. " සබ්බේ සත්ථා උම්මත්තඨිකා " කියල බුදු හාමුදුරුවොත් කියල තියෙනවනෙ,

    බලාගෙන යනකොට අපි හැමෝටම පිස්සු, වෙනස් වෙන්නෙ පිස්සුවෙ මට්ටම විතරයි,අනික් අතට පිස්සුද නැද්ද කියල මනින නිර්ණායකය මොකක්ද?, ඒකත් තවත් කෙනෙකුට සාපේක්ෂවනෙ මැනෙන්නෙ? එතකොට එ නිර්ණායකය නිවැරදියි කියල තියෙන සහතිකය මොකක්ද?, ඒ නිර්ණායකය නිවැරදියි කියල සහතික කරන පුද්ගලයට කොපමණ දුරට පිස්සුද කියල අපි තීරණය කරන්නෙ කොහොමද?

    හෙහ්, හෙහ්, කියවනකොටත් පිස්සු හැදෙනව නේද? නැත්නම් ඊට වඩා සුදුසුම ආකාරයට කියනව නම් පිස්සු ඩබල් වෙනව නේද?

    You always need a little touch of madness to survive in this sane world, Or else you would go totally mad,

    ReplyDelete
  3. Reminded me of short stories by O Henry and guy de maupassant (translations of which I read in Sinhala in my mothers collection of Rasakatha- A Davasa Newspaper publication in 60/70s).

    ReplyDelete
  4. බරයි හොඳටෝම........ඒත් යථාර්ථයට පිටුපාන්න බැහැ නොවැ.....

    ReplyDelete
  5. හදවතෙන් වචන පේලි දෙකක් හොරකම් කලා, සමාවෙන්න.

    ReplyDelete
  6. අද කතාවට ලකුනු 9.4351/10
    හ්ම්.. කතාව ලස්සනයි ඇත්තට ඒකෙත් හැටි නේ?

    ReplyDelete
  7. හැමවෙලේම කමෙන්ට් නොකරට මාත් හැමදාම ඔයාගේ කතා කියවනවා අක්කා. ඒත් මේ කතාවට නම් මට කමෙන්ට් නොකර ඉන්න බැරි උනා.. හැබහින්ම අපුරූ නිර්මාණයක්..

    ReplyDelete
  8. හරිම අපූරු නිර්මාණයක්!

    ReplyDelete
  9. වත් අක්කේ ඔයාගේ හැකියාව ගැන ඔයාට තාම හරියට තේරිලා නැහැ වගෙයි ? එහෙම නැත්නම් මෙච්චර දක්ෂ ලේඛිකාවක් වෙලා පොතක් ලියන්නේ නැතුව ඉඳියිද ?

    කතාව නම් නියමයි. කතාව කියවනකොට පරිගණකයේ වාදනය වෙමින් තිබුන සින්දුවත් කතාවටම ගැලපෙන සින්දුව.

    ඔබ ඉන්න සුළඟේ දැවටිලා......
    මා ඉන්නේ ඔබ දැන් එයි කියා ....
    සුදු හංස තටුවේ දැවටිලා .....
    පෙම් කරමු රහසේ සැඟවිලා ....

    ලබැඳීයේ ලබැඳීයේ මා සිතුම් පෙම් කළා......

    ReplyDelete
  10. අනේ මංදා, කතාව කියවලා ඉවර උනාම හිතට හරි බරක් දැනුනා....... හේතුව????

    ReplyDelete
  11. මාර ම කතාවක් මොනවා කියන්න ද කියලා හිතාගන්න වත් බැරි උනා.

    ReplyDelete
  12. අමුතුම කතාවක් වත් අක්කේ . උඩ ඉන්න කට්ටිය කියනවා වගේ ඔයාගේ ලිවීමේ හැකියාව 100% යි . ඒක හොඳාකාරවම දන්න එකෙක් තමා මම . ඔයාගේ ජීවිතේටම අමතක නොවෙන පෑන් ඉරක් ගහන්න . ඒ කියන්නේ පොතක් ලියන්න . ...ඒක සුපර් හිට් වෙයි . හැරී පොටර් ලියපු කෙනා වගේ ෆේමස් උනොත් ? එහෙම උනොත්නම් මට සල්ලි කීහරි ඉල්ලගන්න පුලුවන් ..සිරාවට කියන්නේ පොඩ්ඩක් හිතලා බලන්න . ඉන්ටර්නෙට් නැති මිනිස්සු වෙනුවෙනුත් ලියන්න .

    ReplyDelete
  13. එක දිගට පළවුණු නිසඳැස් අතරට කෙටිකතාවක් එනකල් බලාගෙන හිටියේ... කියන්න තියෙන්නේ The wait was worth it..! කියලා තමයි

    ReplyDelete
  14. ලස්සනයි..එත් දුකයි.....

    ReplyDelete
  15. මට නුඹ හමු උන
    පෙර පුරුදු තැන් වල
    අපෙ සෙනෙහසේ කඳුළු බිදු
    පොළොවට ඇත මුසුවෙලා..

    මුලාවී මාය වචන අතර
    රැවටුන ජීවිතය පෙරදාක
    ආයේ කෙලෙස නම් හදාගන්නද
    ඒ වරද මගේ ජීවිතෙන් මම..

    ReplyDelete
  16. මේ සිදුවීම ගොඩක් දෙනෙකුට සිදුවෙලා තියෙනවා.
    පැරණි මතක සිහිවෙද්දි මොනවා වෙනවද කියලා හිතාගන්න බෑ සමහර වෙලාවට...

    ReplyDelete
  17. මේ සිදුවීම ගොඩක් දෙනෙකුට සිදුවෙලා තියෙනවා.
    පැරණි මතක සිහිවෙද්දි මොනවා වෙනවද කියලා හිතාගන්න බෑ සමහර වෙලාවට...

    ReplyDelete
  18. අනර්ගයි, උපරිම නිර්මාණයක්.....

    තව යමක් ලියන්න ඕනේ කියලා හිත කීවාට... වචන පෙළ ගැසුනේ නැහැ...

    ReplyDelete
  19. නිකමට වගේ ලියන්න බලන්න පොතක්....

    ReplyDelete
  20. කතාව නම් ලස්සනයි... ඇත්තටම මෙහෙම දේවල් වෙනවනෙ...
    "කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි"

    ReplyDelete
  21. අම්මෝ මෙන්න කතා. කකුල හිරිවැටිල ගියා [අමතක වෙලා තනි කකුලෙන් හිටගෙන කියෙව්වෙ. කොච්චර රහද කියනවනම් කකුල මාරු කරන්න මතක් උනෙත් නෑ] නියමයි !
    කතාව කියවපු හැටි කිව්වෙ කතාව ගැන ආයෙ කියන්න දෙයක් නැති නිසා.. :)

    ReplyDelete
  22. කාරුනික වෛද්‍ය්වරයෙක් විතරක් නෙවෙයි මානසික රෝග සහිත පුද්ගලයන්ට ප්‍රතිකාර කරන තක්කඩි වෛද්‍ය වරයෙකුවත් මානසික රෝග සහිත පුද්ගලයන්ට පිස්සන් කියාවත්, තමන් සේවය කරන රෝහලට පිස්සන් කොටුව කියාවත් නොකියයන බව අත් දැකීමෙන් කියන්න පුලුවන්
    මට මේ කතාව කියෙව්වම ඇතිඋනේ කනගාටුවක්
    රෝගයක් සැදුන පමනින් අපහාසාත්මක වචනයකින් අපහාස විඳිය යුතු නෑ
    සියලු මනුද්‍යයින් උනරෝග වලින් පිඩාවිඳින්නේ නෑ වගේම සෑම දෙනාටම මානසික රෝග නෑ
    නමුත් ඕනම කෙනෙකුට උන රෝගයක් සෑදෙන්න හැකියාවක් තිබෙනවා වගෙම කවදා හෝ මානසික රෝගයක් සෑදීමේ අවදානමක්ද තියෙන්වා

    වත්, මානසික රෝග සහිත පුද්ගලයන්ට පිස්සන් කියා භාවිතා නොකරනවා නම් වඩාත් හොඳයි කියලයි මට හිතෙන්නේ
    දියවැදියාව සෑදුන පුද්ගලයෙකුට පපුවේ අමාරුවක් සෑදුන පුද්ගලයෙකුට අප අපහාස යෙන් යුතු නමක් බාවිතාකරන්නේ නෑ නේද

    (කතාවක් ලිය්න කොට සමාජයේ භාවිත කරන වචන යෙදිය යුතු බව මම පිලිගන්නවා නමුත් මම පෙර කී ලෙසට එවැනි වචන මානසික රෝග පිලිබඳ වෛද්‍යවරුන් බාවිතා කරන්නේ නෑ - එය ඔවුන්ගේ රෝගීන්ට වගේම තමන්ටම කර ගන්න අපහසයක් විදියටයි එවැනි වෛද්‍යවරුන් සිතන්නේ )

    ReplyDelete
  23. @arjuna
    සමාවෙන්න. මානසික රොගීන්ට අපහාස කරන්න හිතන් ලීව දෙයක් නෙමෙයි මේ.

    //පිස්සන් කොටුවෙ කොටු කරල තිබ්බට //
    //අද ඔයාගේ මුහුණ බැලුවම මට පේන්නෙ පිස්සියක්ව //

    මේ වදන් මා යොදා ගත්තේ. මානසික රෝගීන්ට අපහාස කිරීමට නෙමෙයි... නොදන්නා දේ ලිවීම ගැන සමාවෙන්න. කොහොමත් මම ආයෙත් ලියන්නේ නැහැ.මම මෙතනද තමන්ගෙ බිරිඳට පිස්සි කියන එකෙන් අදහස් කරේ අසීමිත ආදරයක් මිසක... වෙනත් දෙයක් නෙමෙයි. මම අනිත් සෑම තැනකම මානසික රෝහල කියව නවචනය යොදල තියෙනවා ඔබට පේනව ඇති කියල හිතනවා.

    මම සැබෑම පිස්සකු ගැන ලියූ ලිපිය ඔබ කියෙවුවාදැයි මා දන්නේ නැහැ.

    සැබැවින්ම ඔබේ හිත රිදුනා නම් නැවතත් මගේ කණගාටුව. ඉවත් කිරීමට කියනවා නම් මේ කතන්දරය ඉවත් කිරීමටද මා සුදානම්. තව දුරටත් බ්ලොග්කරණයේ නොයෙදෙන්නියක් නිසා නැවත මෙවැනි වැරදි මගෙන් සිදු නොවන බවට 100%ක්ම මට පැවසිය හැකියි.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...