..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, February 7, 2011

෴ බැන්ක් ස්ලිප් - රමණී සහ The Reader ෴

"රමණී " අයියෝ ... වැරදි.
 ඔයාට ‍ගැට ණයන්න ලියන්න බැරි නම් පොඩි නයන්න ලියන්න
"රමනි" මෙන්න මෙහෙම.  

මේ  මගේ නම වස්සලා. ( මා කුඩා අවධියේ ,මගේ නම කොතෙක් කියා දුන්න ද ලීවේ මෙලෙසිනි )

ලියන්න ඉතින් . ඉක්මනට ලියන්න සෙල්ලම් කරන්න යන්න.

සය හැවිදිරි මා ,මට වඩා වසර දෙක තුනක් පමණ වැඩිමහලු නමුත්, තමන්ගේ නමවත් ලියන්නට නොදන්නා  අපේ නිවසේ මගේ පාලුවට, සෙල්ලම් කිරීමට තාත්තා කොහෙන්දෝ ,රැගෙන විත් තිබුන රමණිට , ඇගේ නම ලියා ගන්නට උදවු කළෙමි.

හිටපු ගමන් දිනෙක පැමිණෙන ඇගේ පියාට මගේ මව මුදල් නෝට්ටු කිහිපයක් දෙනු මා දැක ඇත.මා ඒ ඇයි දැයි ඇසු විට ඒ රමණීගේ පඩිය බව මගේ මව පැවසූ අතර ඇය කරන රැකියාවක් නම් මා නොදනිමි. ඇගේ එකම කාර්ය මා පාසල් ගොස් පැමිණෙන තෙක් මඟ බලා හිඳීමත්. රෑ කළුවර ගෙට ගොට වී අම්මා කෑගසන තුරු සෙල්ලම් කිරිමත් පමණි. 


1987 අගභාගය සමයේ ළමා මෙහෙකාර සේවය පිළිබඳ නීති රීති නොතිබෙන්නට ඇත. ඒ‍සේ තිබුනා නම් රමණීව තාත්තා අ‍පේ නිවසට ‍ගෙ‍නෙන්නේ නැත.

අකුරු නොදන්න ඇය නම ලිවීමට ඉගෙන ගත්තා පමණි. දෙවන පාඩමට එලබෙන්නට පෙර මාගේ පියාට ලැබුන ස්ථාන මාරුව නිසා ඒ ගම රට මෙන්ම රමණිවද හැර පියා එන්නට මට සිදු විය.


නමුත් මෑතකදී මා නැරඹුව The Reader සිතුවම් පටයේ ඇතුම් රූප රාමු අතරින් ඇගේ රුව පෙනී නොපෙනී යන්නට විය. 

මෙනුපත කියවා ගත නොහැකිව විටෙක අසරණ වන ඇය තමන්ට ලැබුන උසස් වීමද මඟ හැර යන්නීය. නමුත් අහඹුවෙන් හමුවන පහළොස් වියැති යෞවනයකුගේ ( Michael Berg ) ආකර්ශණයට ලක්වන ඇය ( Hanna Schmitz )මෙතෙක් කියවීමට නොහැකි වූ පොත් තුල වූ ජිවිතය විඳින්නට ගන්නා අතර එම යෞවනයා ඇගෙන් ජීවිතය විදින්නට ගනී. 

මොවුන් දෙදෙනා අතර පවතින බැඳීම “ ආදර බන්ධනයක් “ ලෙස මා නොදකිමි. සැබැවින්ම එය ආදර බන්ධනයක් නම් ඇය සිරගත වී සිටි කාලය නිමා වී නැවත වෙනස්ම සමාජයකට පා තබන දින ,ඔහුගේ සෙවනට ඇයව ලංකර ගැනීමට බිය වූයේ ඇයි. යෞවන අවධියේ දී මෙසේ කී ඔහු මැදිවිය ඉක්මවන විට බොහෝ වෙනස් වී නොමැති ද?
I'm not frightened ,
Im not frightened anything.
The more I suffer , the more I love.
Danger will only increase my love .
It will sharpen it.
It will give it spice .
I'll be the only angel you need.
You will Leave life even more beautiful than you entered it.
Heaven will take you back & look at you & say
"Only one thing can make a soul complete, and that thing is Love.


ආදරය කවදත් එහෙමයි. හරි ඉක්මනින් වෙනස් වෙනව. 


ඒත්  සාක්ෂරතාවය. එහෙම නැති වෙන දෙයක් නෙමෙයි. The Reader හි Hanna Schmitz සහ රමණිලා බොහොමයක් මුණ ගැහෙන අවස්ථාවක් තමයි බැංකුව සහ රජයේ ආයතන .රජයේ ආයතන වල මහජනයාට පිරිවීමට ඇති ආකෘති පත්‍ර සමහරක් සංකීර්ණ වීම ඇත්තටම සාමාන්‍ය ජනයාට කරන අසාධාරණයක්. ඒ හැරුණම තොරතුරු ලබා ගැනීමට ඇති සරල ආකෘති ද පුරවගන්න බැරි අහිංසක නූගත් මිනිසුන් අදටත් ඉන්නව. 


රාජකාරි කටයුතු සඳහා බැංකුවට ගියාම මුහුණ පාන්න වෙන ප්‍රධාන ගැටළු දෙකක් තමයි, අත රැඳි කාබන් පෑන බේර ගැනීම සහ අනුන්ගේ බැංකු ස්ලිප් පුරවන්නට සිදු විම. ( ඔබ සිටින නගරයේ මෙය වෙනස් වෙන්න පුලුවන්. ඒත් මම ජිවත් වෙන පුංචි ගමේ මේ තත්ත්වය බහුලයි ) කාබන් පෑන නම් දුන්නොත් හම්බෙනවා බොරු. ඒත් “අනේ පුතේ කණ්නාඩිය ගේන් බැරි වුනා “ “ අනේ ,මිස් මේක පුරවල දෙනව ද?“ යන ආයාචනාත්මක වදන් වලට කවදාවත් මා පිටු පාන්නෙ නම් නැහැ. ( හැබැයි පෑන නම් දෙන්න බැහැ කියල මම බොහොම කාරුණිකව කියනව. පෑන ආපසු ලැබුනත් ලැබෙන්නේ ක්ලිප් එක නැතිව නැතිව නම් පෑන එයාටම තියා ගන්න කියනව )


The Reader හි Hanna Schmitz සිරගෙයට නියම වන්නද බලපාන්නේ ඇගේ සාක්ෂරතාවය සහ ඇයට ලිවීමට කියවීමට නොහැකි බව පිළිගැනීමට හා හෙළිකිරිමට ඇති නොකමැත්ත නෙමෙයි ද? 


The Reader හි ප්‍රධාන නළු චරිතයට ( Michael Berg) මා ගෞරව කරන අවස්ථා දෙකක් තියෙනවා. ඒ තමයි (ප්‍රධාන නිළිය /Hanna Schmitz ) සිරගත වී සිටින විට ඇය කැමති , නවකතා හඩපටිවල කවා ඇයට ලැබෙන්නට සැලැස්වීම සහ චිත්‍රපටය අවසානයේ ඔහුගේ දියණියට තම ජීවිත කතාව කියන්න තරම් ඔහු අවංක වන අවස්ථාව.

හඬපට වල උච්චාරනය වන ස්වර හා වචන අනුසාරයෙන් ලිවීමට ඉගෙන ගන්නා Hanna Schmitz න්  Michael Berg ට යවන ඉතාම කෙටි ලිපි වලටවත් පිළිතුරක් යවන්න තරම් Michael Berg ගේ සිත නැමෙන්නෙ නැති හැටි.( ඔහුගේ සිත ඒ අවස්ථාවේ ව්‍යාකූළ වෙනව. පිරිමින් තේරුම් ගන්න ඇයි මේ තරම් අමාරු )

කාර්යාලයේ ද සාක්ෂරතාවය නැත්තවුන් බලපාන ප්‍රශ්ණ දිනෙන් දින සමනය වන අයුරක් නොපෙනෙයි. ඒ පරිගණක සාක්ෂරතාවයයි. දැන් රජයේ කාර්යාල වල යතුරු ලියන්නන් / ලියන්නියන් නැත. ලඝු ලේඛිකාවන් නැත. යතුරු ලියනය සියුමැලි ඇඟිලි පහස නොලබා මුලුගැන්වී ඇත. සැවොම කළමණාකරන සහකාර නම් එකම කැටගරියකට ගොනු කර ඇත. එබැවින් තමන්ගේ ලිපිය හෝ වාර්තාව තමා ම සකසා ගත යුතුය. එහිදී බොහෝ විට අසරණ වන්නේ ජේස්ඨ නිලධාරීන්ය. ඊ-මේලය ඕපන් කර ගත නොහැකිව තැවෙන ඉහල නිලධරුවන් මා දැක ඇත.

මෙයට පිළියමක් ලෙස ICTAD ආයතනයේ මැදිහත්වීමකින් රජයේ සේවකයන්ට නොමිලයේ ඉතා වටිනා පරිගණක පාඨමාලාවක් ලබා දුන් නමුදු එයින් ප්‍රයෝජන ගත්තේ අතලොස්සකි. 


තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා

විචාරයක් කියල හිතන්න එපා. කවියෙන් , කතාවෙන් මිඳිල ලෝකය දකින්න මට ඕන වුනා. ඒකයි මේ වෙනස . අඩු පාඩු බොහොමයි. පෙන්වා දෙනවා නම් කැමති.

වෙනස් යමක් ලිවීමට සිතූ
මම
෴ සොඳුරු සිත ෴

28 ප්‍රතිචාර:

කොට ජීවිතේ said...

ඔය ‍ෆිල්ම් එක බලන්න කලින් Bernhard Schlinkගේ The Reader කතා පොත මම කියෙව්වා. ඇත්තටම ඒක ඉතාම අනර්ඝ ගනයේ කෘතියක්. ඒක කියවලා මම ඒ ‍ෆිල්ම් එකත් ඉතාම ආසාවෙන් නැරඹුවා. මට මතක විදිහට ‍ෆිල්ම් එක ඉවර වෙලා විනාඩි කීපයක් යනකනුත් මගේ ඇහේ කඳුලු වියලුනේ නැහැ.

ඔබතුමී බැංකුවේදී මූනපාපු සිද්දිවලට මමත් සෑහෙන්න මුහුන දීලා තියෙනවා. ඉස්සර පුස්ථකාලෙදි කියව කියව ඉන්නකොට අහිංසක මිනිස්සු ඇවිත් පත්තර කෑලි දෙනවා කියවල දෙන්න කියලා. ගොඩක් අය කියවන්න දෙන්නේ ගැසට් එක. එයාල එයාලගේ ළමයිට රස්සාවල් තියෙනවද කියලා හොයනවා. මට ඒවා මතක් වෙනකොට හරිම දුකක් දැනෙන්නේ.

ඒ වගේම බැංකුවලදි මම අනන්තවත් දැකල තියෙනවා නිලධාරීන් අහිංසක මිනිස්සුන්ට සැරෙන් කතා කරනවා. හේතුව බැලුවහම එයාලගෙ විස්තර එයාලට අකුරු කරන්න තේරෙන්නේ නැහැ.

RoshanHerath said...

හික්ස්...
බැංකුවලට එන අකුරු ලියන්න දන් නැති සමහරු අත්සන විදියට තමන්ගෙ නම හරිම ලස්සනට ලියන අපුරුව....
සමහරු bank slip කියවන්නෙ නැතුව තමන්ට හිතෙන දේවල් ලියලා slip පුරවන අපූරුව...
බිල්පත්වල ගෙවිය යුතු මුදල දැක්වෙන කොටු බැංකු සේවකයා විසින් පුරවා මුදල් අය කරගතයුතුයි කියලා සිතන අපූරුව (මේ අය විදුලිබල මණ්ඩලයේ කවුන්ටරේට බිල ගෙවද්දි කවදාවත් විදුලිබිලේ ගෙවන මුදල සටහන් කරන කොටු2න් එකක්වත් හිස්ව තියන් නෑ.) (විදුලි/ජල සබඳතාවල හිඟ මුදල් තිබීම නිසා ඒවා විසන්ධි වෙලා බැංකු සේවකයන්ගෙ රැකියා නැතිවන අපූරුව...මම පොඩිකාලෙ ඉඳලා දැකලා තියෙනවා)...

RoshanHerath said...

ඒ වගේම බැංකුවලදි මම අනන්තවත් දැකල තියෙනවා නිලධාරීන් අහිංසක මිනිස්සුන්ට සැරෙන් කතා කරනවා. හේතුව බැලුවහම එයාලගෙ විස්තර එයාලට අකුරු කරන්න තේරෙන්නේ නැහැ.

ඒක ඇත්ත.. තදින් කතා කරන බව වගේම බැංකුව පවතින්නෙත් අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි නිසා බව අමතකවුනු සේවකයනුත් ඉන්නවා. ඒ අතර මිනිස්සුන්ට මිනිස්සු විදියට තමන්ගෙම අයට වගේ සලකන සේවකයනුත් ඉන්නවා.. මොකද ඒ අහිංසක මිනිස්සු හිතන්නෙ බැංකුව තමයි එයාලට මුදල් දෙන්නෙ කියලායි. ඒ තමන්ගෙම මුදල් බව ඒ අයට තේරෙන්නෙ නෑ. ඒත් බැංකු ස්ලිප් පුරවා දීමට කවුන්ටර්වල සේවකයින් බැඳී නැහැ නොවෙද? ඔවුන්ට කළ හැක්කේ මඟපෙන්වීම පමණයි.

Sujeewa Kokawala said...

රමණි ලාගේ කතාව අදටත් ඉවර නැහැ.

එදා පස්සට ගිය රමණි ලා ආයිත් පාසලකට ගියත් වෙන්නේ ඇතැම් ගුරුවරුන්ගෙන් බැනුම් අහන්න. අඳුරු පාට කිලිටි වැරහැලි අඳින දරුවන් පන්තියේ අන්තිමයා වීම හෝ පාසල් නොපැමිණීම බොහෝ ගුරුවරුන්ට ප්‍රශ්නයක් වෙලා තිබ්බේ නැහැ. එකම ප්‍රශ්නය තිබ්බේ හොටු බේරෙන දුලි වැකුණු මේ ළමයින්ගේ පොත් පිරික්සා ලකුණු දෙන විට හමන දුගඳයි. ඔක්කොම ගුරුවරුන්ට නොවේ කිව්වේ.

රමනිලාට පාසල් ගියත් වැඩක් නොවුනේ ඒකයි. මෙහෙකාරකමට ගත් ගෙදර ඇතැම් විට සුරපුරයක් මොකද හැමදාම රෑට බිමත් තාත්තාගෙන් ගුටි බැට කනවාට වඩා. ඒත් සුරපුරයේ ඇය මෙහෙකාරියක් පමණයි, ඇතැම් විට කෙලි බඩුවක්.

වැට උඩින් විසිල් ගහන අයියලා රමනිලගේ ලෝකයට භාග්‍යයක් වෙන්නේ මෙතැනදී. ඒකයි උන් 15 පිරෙන කොටම නීතියටත් හොරෙන් අත්තරස්දාන වන්නේ. පොලිසියකට කිව්වත් එ හැටි හොයන්නේ නා. කොටින්ම උන්ගේ අම්මලාවත් හොයන්නේ නැහැ.

අභිනිෂ්ක්‍රමණය කරන්නේ තවත් ගිනි ගොඩකට. හරියට රස්සාවක් නැති දැක්ක නිසා ඇද ගෙන ආපු ඒ මනුස්සයාත් නිකම්ම බේබද්දෙක් වෙනවා, නැත්නම් දැනටත් එහෙමයි. ටික කලකින් ම තවමත් නිසි විය නොලැබී කෙල්ල මවක වන්නේ එ වගේම තවත් අසරණයෙක් එක්ක.

අන්තිමේදී ලොකු වයසට ආ රමණි ලා අද හුඟක් දුරට ඇත්තේ ගෘහ සේවයේ මැද පෙරදිග. ගෘහ සේවය කිව්වට වහල සේවයක්, නිකම්ම වහල සේවයකුත් නෙවි. ඉතින් ඔය රමණි හැදු දරුවත් අද සමහර විට ඒ පාරේම යනවා ඇති.

වත්සලා කතාවේ පුල පිටුව විතරයි ලිව්වේ. තව එහාට ඔයිටත් දරුණුයි.

කැනඩාවේ ඉන්න ශ්‍රී ලාංකික යෙහෙලියක් [කිව්වට නෑ කෙනෙක්] වැඩ කළා ළමා ශ්‍රමයට එරෙහි ජාත්‍යන්තර සංවිධානයක. ලංකාවට ආවා මේ ගැන වැඩ සටහනක් කරන්න. අපේ නෑදැයින් අතරේ කෙනෙක් හිටියේ නැහැ උදවූ වෙන්න. මා ඇය එක්ක ගියා යා යුතු තැන් වලට පරිවර්තන සහයත් සමග. MC එක ළඟ දරුවෙකු අරන් පාරේ ඉන්න ගැහැණුන් අපේ එක ඉලක්කයක්. එහෙම කෙනෙක් අපට මිනිත්තු 30 ක විතර සාකච්චාවක් දුන්නා. දරුවා පාවිච්චි කොට හිඟමන් කන්න හැමදාම බැහැ. මගේ යෙහෙළිය හරියට ම ඇය එතනට ගෙනාවා. ඇයගෙන් හෙළිවුණා ඊළඟ පියවර. ලොකු වෙනකොට දරුවා මෙහෙකාර කමට දෙනවා. දීලා තව දරුවෙක් හදා ගන්නවා.

මේ මිනිස්සු අධමයි. ඒත් කතා කෙරුවම උන්ට වෛර කරන්න හිතෙන්නේ නෑ. රමනිලා ගෙන් අලුත් රමනිලාට මේ සාපය මාරු වීමයි වෙන්නේ.

ඹේ අවසාන කියමන කාලයට අනුව වෙනස් විය යුතුම දෙයක්.

"මතු රැකෙනා ශිල්පය මයි උගත මනා"

මං නම් ඔය පදේ හැදුවේ ඔ ලෙවල් කාලේ. ඒත් දැන් බැලින්නම් මේක වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ අලුත් ම ආදර්ශ පාටයක්.

TG said...

ඔව් රජයේ ආයතන එක්ක වැඩ කරන්න ගියහම හරිම අමාරුයි අපේ වගේ ආයතන වල සිස්ටම් එකත් එක්ක . අපි ඉතින් එහා කාමරේ ඉන්න කෙනාටත් පණිවුඩ යවන්නෙ ඊ මේල් වලින් .ඒත් රජයේ ආයතනවලට නම් ෆැක්ස් එකක් ලිපියක් තමයි යවන්න වෙන්නෙ .ඊ මේල් ලිපි යවලා කිසි වැඩක් නැහැ .ඒ ආයතන ප්‍රධානින් ඊ මේල් එකක බලන්න දන්නෙ නෑ.ගොඩක් වෙලාවට මේල් යවලා මට සිද්ධවෙනවා ප්‍රධානියාගේ සහය නිල්ධාරියෙක් -බොහෝවිට තරුණ කෙනෙක් ට කෝල් කරලා කියන්න ලොක්කට ඊ මේල් එකක් එව්ව කියලා .එතකොට එයා ඒක ලොක්කට කියලා ප්‍රින්ට් අවුට් එකක් අරන් දෙනවා .ඒ වගේම බොහෝ රජයේ නිලධාරීන් හරි ගතානුගතිකයි ඊ මේල් ක්‍රමය විස්වාස කරන්නේ නැහැ.ඉතින් අපි කොහොමෙයි ආශ්චර්ය දකින්නෙ රාජ්ජ පරිපාලනේ ඉන්න ලොක්කො මෙහෙම නම් .

කොට ජීවිතේ said...

@Roshan : ඇත්ත බැංකු සේවකයෝ ඉන්නේ ස්ලිප් පුරවා දීමට නෙමෙයි. ඒත් කොළඹින් ඈත පලාත්වල ඉන්න බැංකු වලට එන මිනිස්සු හැමෝම කියවන්න ලියන්න පුලුවන් මිනිස්සු නෙමෙයි. ගොඩක් මිනිස්සු තමන්ගේ නම විතරක් බොහොම අමාරුවෙන් ලියන්න ඉගෙන ගන්නවා. ඉතින් එහෙම කෙනෙකුට සැරෙන් කතා නොකර අවශ්‍ය දේ කරල දුන්න කියලා පාඩුවක් වෙන්නේ නැහැනේ. මම කියන්නේ නැහැ හැමෝම මෙහෙමයි කියලා. හැබැයි ගොඩක් අය මේ විදිහට තමයි හැසිරෙන්නේ.

TG said...

ඒ වගෙම තමා ගොඩක් රාජ්ජ පරිපාලනේ ඉන්න උදවියට ඉන්ගිරිසි අරහන් .පෙන්නන්නම බෑ. ඉන්ගිරිසියෙන් ලියුමක් අරන්ගිහින් දවසක් එක්කෙනෙක් මට ගොඩක් රවලා ගොරවලා තියෙනවා . හනේ මන්දා ඇයි මෙහෙම පටු විදියට හිතන්නේ කියලා . ඉන්දියාවේ රාජ්ජ සේවෙ ඉන්න ගොඩක් උදවිය ඉන්ගිරිසි වහරනවා ඉතාම හොඳින් .එහෙම වෙලාවක ලංකාවේ රජයේ නිලධාරීන් පිරිසක් එක්ක ඉන්දියානු රජයේ නිලදාරී හමුවකදී ඉන්ගිරිසි බසින් (දෙරටට පොදු බස වුනේ ඒක )ඉන්දියානුවන් කතා කරද්දී අපේ බොහෝ ඉහල නිලධාරින් ගොළුවෙලා හිටියා .අඩු තරමින් පරිවර්තන සහයක් වත් ගත්තේ නෑ ලැජ්ජාවට . ඒත් එක්කම ඔවුන් අතර හිටි ආයතනයේ සභාපති තුමා තමන්ගෙ මවු බසින් අපි අමතලා එයාගේ නිලධාරියෙක් ලව්ව ඒක ඉන්ග්‍රිසියට පරිවර්තනය කලා යස අපූරුවට

සොඳුරු සිත said...

මගෙ රස්සාවත් ගහල යන වැඩ මේවා .......

පූසා said...

ඇයි ටෙලිෆෝන් බිල ඒක තනිකරම කඩ්ඩෙන් තියෙන්නේ අනික ටෙලිකොම් එකේ වැඩකට ගියොත් එතන තියන හැම එකම කඩ්ඩෙන් තියෙන්නේ. (ඉන්ටර්නෙට් ගන්න ගිහාම ) එතනදිනම් අපහසුතාවයට පත්වෙන ගොඩ දෙනෙක් මම දැකලා තියනවා :(

harshana1985 said...

කතාව සහතික ඇත්ත,මහ ලොකුවට සාක්ශරතාව ගැන කතා කලාට,තාම කන අස්සන ගහන මිනිස්සු ඕනා තරම්, දුක කියන්නෙ හොඳ හයේ හතරෙ කොල්ලො කෙල්ලොත් ඉන්න එක.ගොඩක් දුෂ්කර පලාත් වල වගේම කොළඹ වතු වලත් මේක තියනව, අනිත් දේ තමයි අපි උදේ හවස උසාවි වල දකින්නේ, වැරදි වැඩ කරන ගෑනු පිරිමි දෙගොල්ලන්ගෙම සාක්ශරතාව ගොඩක් අඩුයි. මෙතන සාක්ශරතාව කියන්නේ යන්තම් පත්තරේ බලන් එක වත් රේස් කොලේ කියවන එකවත් නෙවි,චුට්ටක් එහාට තමන් කරන වැඩේ හොඳ නරක තේරුම් ගන්න පුලුවන් මට්ටමේ අවම බුද්ධියක්වත් තියෙන්න ඕන එක, පරිගනක සාක්ශරතාව ගැන කතා නොකර ඉමු

හිස් අහස said...

අක්කට පරන අතීතය මතක් වෙනවා වගේ 1987 මම ඉපදිලාවත් නැත . ඇත්තට ඒ කාලේ ඔය ලමා නීති තිබුනේ නෑ තමයි මම පොඩිකාලේ අපේ ගෙදරත් මෙහෙකාර ලමයෙක් උන්නලු .

අපේ පලාත්වල රජයේ සේවකයන්ට පරිගණක සාක්‍ෂරතාවය නියමෙටම දැනිලා තියෙන්නේ ..ඔන්න පිව හොයාගෙන එනවා .අපිත් ලොකුම ලොකු ගානක් අරගෙන උගන්වනවා ..

Podi Kumarihami said...

පොත නම් කියවන්න ලැබුනේ නෑ. ෆිල්ම් එකේ රස විඳින්න පුලුවන් කොටසක් තමයි Hanna,සහ Michaelගේ (glorious affair, and their passionate lovemaking) කියලා තමයි මට නම් හිතෙන්නේ.

කට්ටිය කතා කරන අනෙක් දේවල් ගැන නම් මට කිසිම අවබෝධයක් නෑ.

නිශ් said...

ඔය දේවල් වෙනස් කරන්න අමාරුයි ඒවා කාලයත් එක්කම වෙනස් වෙන්න ඕනි. ඒත් ඒ කාලේ වෙද්දි තියෙන අළුත් තාක්ශනය කොහොම වෙයිද? ඒ දේවල් සමග වෙනස් වෙන්න උත්සහ දරන්නෙ බොහොම ටික දෙනයි. තමන් නොදන්නා දේ අහල දැන ගන්නෙ නෑ ලැජ්ජාවට.

nawammawatha said...

මමත් ගොඩක් කලෙකින් බලපු හිතට සැහෙන්න දැනුන ‍ෆිල්ම් එකක්. ඒකෙ කොච්චර ලිංගික දර්ශන තිබුනත් ලිංගිකතවය ඉක්මවාගිය මානුශීය බැඳිම් ඉල්පිලා තිබුන. ඒත් ඒ මනුස්සයට තිබුන අසාමාන්‍ය ආත්මාභ්හිමානය හන්ද ජීවිතේ අවස්ථා කීයක් නම් මඟ ඇරුනද?

Heeniyata said...

අමතක නොවන ගොඩට වැටුන චිත්තරපටියක් තමයි THE READER.... ටැබූගේ පෝස්ට් එකක් දැකල තුන්වෙනි සැරෙටත් බැලුව ඕO....

ඉල්ලීමක් වත් : පුලුවන්නම් නුවර කළාවියේ භාෂාවෙන් දෙයක් ලියන්නකෝ...

Rasika Suriyaarachchi said...

මේ කතාව ඟෙතනට ගැලපෙනවාද මන්දා.

දවසක් (2005 නොවැම්බර්) කටුනායක දී මා ලඟට ආපු ගෑනු කෙනෙක් නැව් නැගීමේ පත පුරවා දෙන්නයි කිව්වා. එයා සයිප්‍රස් යන්නේ, ඉංගිරිසි දන්නේ නෑය කිව්වා.

මං කිව්වා මං නං පුරවන්නේ සිංහලෙන්, කැමති නම් එහෙම පුරවලා දෙන්නම් කියලා. එයා යන්න ගියා.

සොඳුරු සිත said...

ගොඩක් ස්තූතියි හැමෝටම ...විශේෂයෙන් අපේ Sujeewa Kokawala අයියගේ අදහස් දැක්වීම ...ඒ වගේම කොට ජීවිතේ සංවේදී හිත් ඇත්තවුන්ට The Reader දුක හිතෙන කතාවක් තමයි.විශේෂයෙන් පිරිමි අය නිහඩව ඉවසා දරා ගෙන හිටියත් , හිත ඇතුලෙ දරාගෙන ඉන්න දුකතරම මේ තරම් කියල හිතා ගන්න බැරි බව ,මට ඒ කතාවෙන් දැනුන.

ඊළඟට RoshanHerath ඔයා එහෙම කීවට ඒ මිනිස්සු ඒ අත්සන ලියන්න ඒ මිනිස්සු ගන්න වෙහෙස දැක්කම තමන්ගෙ නම ලියා ගන්න එකත් කොච්චර ලොකු දෙයක් ද කියල හිතෙනව තමයි.. සමහර ලෝක කපටියො ඉන්නව තමයි.ඒත් බහුතරය අහිංසකයි.

ආහ් ඊළගට TG මගෙ යාලුව වෙච්චි හින්දහ හොදයි ඉතින්. නැත්නම් මාත් එක්ක රජයේ සේවයට බනින විදිහට , වෙන රජයේ සේවකයෙක් එක්ක බැන්න නම් මොනා වෙයිද කියල හිතා ගන්න බැහැ...


ඊළඟට ....පූසා ..ඥාව් ඥාව් ඉන්ටනෙට් යන අය .. තරමක් දුරට හරි ඉංග්‍රීසි දන්නව. නැත්තම් ඉතින් ටිකක් අමාරැයි. බිල් ගෙවිල්ල ගත්තොත් නම්.. ඔය බිල සිංහලෙන් ආවත් අපිට තේරුම් ගන්න පුලුව්න ද කියන එකයි ප්‍රශ්ණය...

සොඳුරු සිත said...

harshana1985
මළ පොතේ අකුරු බෑ කී මිනිසා
ඉංගිරීසි පත්තරයක් අග ඉදලා මුලට බලනවා
මුල ඉදලා අගට බලනවා
කොහෙන් ඉගෙන ගත්ත ද මන්දා

මට ඒ සින්දුව මතක් වුනා harshana1985 ගේ කමෙන්ට් එක දැක්කම.එක අතකට උනන්දුව තියනම් ඕනි දෙයක් බැරි නැහැ තමයි...
ස්තූතියි harshana1985 ....

සොඳුරු සිත said...

හිස් අහස
ඕක තමයි කියන්නේ..අවස්ථාවෙන් ප්යෝජන් ගන්නව කියල. ඒකනෙ ලොකු ගානක් අරන් පුංචි දෙයක් උගන්නන්නේ..කොහෙද , අපේ අයටත් නිකම් දෙන දේ අගේ නැහැ නෙව...
ස්තූතියි හිස් අහස ...

සොඳුරු සිත said...

Podi Kumarihami
ම්ම්...ස්තූතියි Podi Kumarihami.ඒ චිත්‍රපටියෙ පෙන්වන්නේ ..තරුණ ගැටවරයකුගේ හිතේ ඇතිවන ලිංගිකආකර්ශණය හා බැදුන සිඳ්ධිදාමයක්... කියල කෙනෙක් දකින්න පුලුවන්... ඒත් ඒක මම දැක්කේ. අකුරු ලියන්න කියවන්න බැරි ගැහැණියක් මුහුණපාන ශෝචනීය තත්ත්වයක් විදිහට..

සොඳුරු සිත said...

නිශ්
ඔයා හරි නිශ්.. ඒත් ගොඩක් දෙනා.තමන් නොදන්න බව පෙන්නන්න කැමති නැහැ... ලැජ්ජාවටම නෙමෙයි. ලොකු කමට...

සොඳුරු සිත said...

nawammawatha
ඔයා දකින විදිහට තමයි මමත් ඒ චිත්‍රපටිය දැක්කේ... ලිංගික දර්ශණ ඉක්මවා ගියපු මානසික හැඟීම් රැසක් ඒ කතාව පුරාම ගලාගෙන ගියා..
ස්තූථියි nawammawatha...

සොඳුරු සිත said...

Heeniyata
නුවර කළාවියේ භාෂාව කිවම මට එකවරම මතක් වෙන්නේ ..සිළුමිණ පත්තරයේ “පුන්කලසේ“ ගියපු “ කවිකාර කොම්බි“ ගේ කතාව...

මම හරි ආසාවෙන් ඒ කතා ටික කියෙවුවා..එකතු කළා... ඒත් මට එහෙම ලියන්න නම් හරිම අමාරුයි..මම එකම එක පෝස්ට් එකක් ලීව ඒ වගේ...ඒ ලීවෙත් කොහොම ද දන්නව ද? කවිකාර කොම්බි කතා වේ කොටස් දෙක තුනක් එක දිගට කියවල...

අපි බලමු ආයෙත් උත්සාහ කරල නේද Heeniyata

ස්තූතියි Heeniyata....

සොඳුරු සිත said...

Rasika Suriyaarachchi
රසික ..ඔයා ඉංගිරිසි බැරි කෙනෙක් නෙමෙයි කියල හිතනව 2005 වෙන කොටත්... ඉතින් ඇයි ඒක පුරවල දුන්නෙ නැත්තෙ...

ඔයාට ස්තූති දෙන්නෙ නැහැ...

Sujeewa Kokawala said...

මළපොතේ අකුරු බැරි උන්ට අකුරු උගන්වන ප්‍රජා සේවයක් පටන් ගන්නේ නැත්තේ ඇයි ලංකාවේ? දහස ගණන් වන ඇස කන්නාඩි නොමිලේ දෙන, රෝද පුටු දෙන රටේ සාක්ෂරතාවය ආබාධිත තත්වයක් කියා පෙන්නේ නැද්ද?

@රසික;

කටුනායකදී සිංහල පාවිච්චි කරලා මට දවසක් හොඳ රැගක් කන්න වුනා. සික්කොත් ප්‍රශ්න කරන්න සෙට් වෙලයි නැවතුනේ. වෙන කොහේදී මව් බසින් කතාකලත් ඒ වගේ තැන්වලදී නම් ඉංග්‍රීසියෙන් මයි කතා කරන්නේ.

aRaa said...

මට මීට අවුරුදු හතරකටහෝ පහකට කලින් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ලෝ ප්‍රකට සුපිරි ශ්‍රීලාංකික ක්‍රිකට් ක්‍රිඩකයෙක්ගෙන් සම්මුඛ සාකච්චාවක් ලබාගැනීමට අවස්තාවක් ලැබුණි.එවකට මා ඉන්දීය පුවත්පතක සේවය කරමින් සිටියෙමි.තවත් ඉන්දීය මාධ්‍ය වේදින් පිරිසක් සමග මම එම ක්‍රීඩකයා සම්මුඛ සාකචාවට සුදානම් වනතුරු සිටියෙමි.ඒ අතර ඔහු තවත් ක්‍රීඩකයෙකු හා සිංහලෙන් කියු දෙයක් මෙලෙස ලියමි
“අනේ මචං මට තේරේන්නෑ බං ඔය කොම්පියුටර්.ගෑනිගේ වදේට මාත් ගත්තා ලැප්ටොප් එකක් tours ගියාම හෙම වැදගත් කියලා.මේ ඇත්තමයි මම දන්නේ නැ ඕකෙන් ඊමේල් යවන මගුල් වැඩේ“
එතැන් සිංහල දන්නා අය සිටි බව ඔහු දැන සිටියේ නැත.මට ලැජ්ජාවක් ඇතිවිය.

Anonymous said...

SLAS ලියන්න idea එකක නැද්ද..? හැමදාම ඔවා පුරව පුරව ඉන්නද කල්පනාව..?

෴ හසියා ෴ said...

ම්ම්ම්ම්ම්ම් අක්කේ ඔය වගේම තව ෆිල්ම් එකක් තියේ My Fair Lady (1964) කියලා.අහලත් ඇති.

මේකෙද වෙනනේ Eliza Doolittle (Audrey Hepburn) කාන්තාවට අහම්බෙන් Professor Henry Higgins කියන වචන උච්චාරණය පිළිබදව මහාචාර්ය වරයෙක් (Rex Harrison) හම්බවෙනවා...මැයගේ වචන උච්චරාණය පිළිබදව මෙම මහාචාර්යතුමා සැලකිලිමත් වෙනවා.ඒ ඇයගේ වචන උච්චරණයේ තිබූ අඩුපාඩු හදනවා...ඔය විදිහට තමයි කතාව ගලාගෙන යන්නේ...

නියම පෝස්ට් එකක්...පෝස්ට් එකෙන් දුන්න අර්ථයට ගොඩාක් ආසයි....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...