..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, February 28, 2011

෴ පණිවිඩය / The Message ෴


සඳ යන්න එපා තරුත් එක්ක
ඉන්න ටිකක් මාත් එක්ක
ඔහුට යවන පණිවිඩයක් මටත් තියෙනවා

උස බිල්ඩින් උඩින් පේන
කාන්තාර මැදින් දිවෙන
පුංචි නිවසෙ ඔහු තනියම සිහින දකිනවා

ඒ සිහිනයෙ මාත් ඉන්න
බව නොදැනයි නුඹත් ඔන්න
නිවස ළඟම තනි රකින්න නුඹව යවනවා

කලකින් නැහැ ඔහු දකින්න
දුක සැප විමසලා එන්න
මා මෙහි නිදුකින් ඇති බව ඔහුට කියන්න

කවි පද ලියවිලා තියෙන
 පොත් පිටු නැති වෙලා ඔන්න
අලුතින් සිත හදා ගන්න ඔහුට කියන්න

පන්හිඳ  නැති වෙලා නොයන
මගෙ කඳුලින් පොවා ගන්න
නැවතුන කවි ලියා දෙන්න ඔහුට කියන්න

හෙට දිනයට උදා නොවෙන
මගෙ සෙනෙහස සදා දිලෙන
තරුවක් කර ඔහු  පෙනෙනා තැනක තියන්න

කවියක් කර  ගලා හැලෙන
ඔහුගේ සිත තලා නොයන
 සොඳුරු සිතක් ඈතින් ඇති බව පවසන්න


“I like to think that the moon is there even if I am not looking at it”

සඳ ට  තවරා , නුඹට සිත එවු 
මම
෴ සොඳුරු සිත ෴

8 ප්‍රතිචාර:

MaRLaN said...

මේකනම් මාරම ලස්සනයි

Jeew said...

දහ පාරක් විතර කියෙව්වා... ඒත් ලියන්ඩ හිතට කිසි දෙයක් එන්නේ නෑ... වෙනදා වගේම අක්කගේ කවිය ලස්සනයි... දුකයි...

Dinesh said...

සද එළිය වී මම යන්නම්
නුඹේ පෙම් පුවත අරන්
සිහින කුමරා වෙත රහසින්..

ලියා තබනු වළා රොදක
සුළග සමග මම එන්නම්
අරන් යන්න නුඹේ කවිය..

Observer said...

කියෙව්වා, හොඳය්.

Ravi said...

ගිනිගත් නිරුදක කතරට,
පෑයූ සඳ හරිම ලස්සනයි,
ඒ සඳ මත මම දුටුවේ,
ඔබේ සිනා පිරි වත මඬලයි,

සඳලුතලේ කවුලුදොරින්,
දෝර ගලන සඳකැන් සිහිලයි,
මා වෙනුවෙන් කොතැනක හෝ,
ඔබ සිටිනා බව මට පවසයි,

Beetle said...

මියුසික් දාලා ගත්තොත් නියම සින්දුවක් වේවි... :)

Podi Kumarihami said...

සඳ එළියවී, සුළඟ සමග එන්නම් පනිවිඩය ගෙනියන්න කියලා එක්කෙනෙක් කියනවා.

සඳ මත දුටුවේ ඔබේ වතයි, සඳ කැන් සිහිල ඔබ මා වෙනුවෙන් කොහේ හෝ ඉන්නා බව පවසයි කියලා තවත් එක්කෙනෙක් කියනවා.

දැන් මෙතන මොකක්ද ප්‍රශ්නේ???

TG said...

very much lyrical

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...