..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, February 6, 2011

෴ එක සිත දෙතැනක / Indecisive Mind ෴ ( IV කොටස )

අවසානය. . . . ..  .. . . . .
෴ එක සිත දෙතැනක / Indecisive Mind ෴ ( I කොටස )
෴ එක සිත දෙතැනක / Indecisive Mind ෴ ( II කොටස )
෴ එක සිත දෙතැනක / Indecisive Mind ෴ ( III කොටස )

මගේ සැමියාත් සමඟ ශ්‍රී ලංකාවෙන් බැහැර වූ පසුව මගේ හිතාදර යහළුවා  පිළිබඳව කිසිම හෝඩුවාවක් මට ලැබුනේ නැත. ක්‍රමයෙන් ඔහු ගැන මතකය සිහිනයක් මෙන් බොඳ වී යන්නට විය. ඔහු විවාහ වූ බව පසුව මගේ යෙහෙලියක් ඊමේලයක් මගින් දන්වා තිබුනි.

නමුත් එක් දිනක් ඊමේලයක ඇමුණුනු පින්තූර පෙළක් නිසා , එතෙක් හදපතුලේ ඇනී තිබූ කටුවක වේදනාව යලිත් අලුත් වන්නට විය. මගේ හිතවත් මිතුරියගේ පොඩි පුතුගේ උපන් දින සාදයක, කාච සටහන් වූ එහි ,තිබූ ප්‍රතිබ්ම්භ , විසිවයස් තුවාලය නැවත පාරන්නට හේතු වේ යැයි මම සිහිනෙන් වත් නොසිතුවෙමි.

එදා මෙන්ම අදත් ඔහුගේ එක් අතක රැදි ගිටාරය මෙන්ම අනිත් අතක රැඳි උතුරන මධු බඳුන ද ඔහුගේ ජීවිතය පිළීබඳව හෙලි කරන සලකුණු වැන්න. ඒ සියල්ලටම වඩා ඔහුගේ රුව මා හද කම්පා කරවන්නට සමත් විය.

ශේෂ වු රුව තුලින් මේ ඔහු යැයි හදුනා ගත්ත ද ? ඔහු වසර ගනනකින් වැඩිපුර මහලු වී ඇති සෙයකි. ඔහුගේ සෑම ඉරියවුවකම රැඳි දුක වේදනාව මා සිත පාරවන්නට වූයේ මාද එහි හවුල්කාරියක ලෙස හැඟුනි බැවිනි.

දිගින් දිගමට මාගේ යෙහෙලිය සමඟ වූ ඊමේල් ගනු දෙනු මගින් ඔහුගේ ජීවිතය විවරණය කර ගන්නට මට හැකි විය. අසාර්ථක යුග දිවියකින් පසු අයාලේ යන ජීවිතයකට හුරු වූ ඔහු තරුණකාලයේදීටත් වඩා මධුවිතට ලොල් වි ඇත බව දැන ගතිමි. විටින් විට විවිද හේතු නිසා රෝහල් ගතවී ඇති ඔහුගේ ජිවිතය අද නැත්තම් ළඟදිම එන හෙට දිනයේ  අවසන් වන බව දැන ගත්තෙමි.

එදා සිට මට උවමනා වූයේ ඔහුව මොහොතකට හෝ දැක ගැනීමයි. උණ රෝගයෙන් විකාර වූ අයකු සේ ගෙවුනු දින කිහිපයකට පසුව පුංචි දියණියත් සමඟ ලංකාවට පැමිණෙන්නට හැකි විය. රාජකාරි බහුල වූ සැමියා පසුව පැමිණෙන බවට සපථ විය. නමුත් මාගේ හදිසි ලංකාගමනය ඔහුට ද පැනයක් වූ බව පෙනෙන්නට තිබුනි.

හදිසියේ පැමිණියත් , දකින්නට කැමති ඔහු වෙනුවෙන් සියල්ලක්ම මා සූදානම් කර ගතිමි. ඔහුගේ ප්‍රියතම වර්ණය පවා මට මතක තිබුනි. 

බඹා කෙටූ හැටි පොතේ ධම්මි-සුගත් හමුවට වඩා, එක්ටැම් ගෙය චිත්‍රපටියේ මාලනි - රවින්ද්‍ර හමුවට වඩා මේ හමුව වෙනස් වන බව මා කෙසේ කියම් ද?

මා පැමිණෙන විට ඔහු යළිත් වරක් රෝහල් ගත වී තිබුනි. සාත්තුවට හෝ ඔහු බැලීමට පැමිණි කෙනෙක් නම් නැති. මා මගේ කුඩා දියණියද කැටුව ඔහු දැකීමට ගියෙමි.
ඔහුගේ මුහුණෞ මා දැකීමෙන් ඇතිවූ ආලෝකය මා සිත දවා හරින්නට සමත් විය. ඊළඟ දිනයේ මා ඔහු බැලීමට ගියේ තනිවමයි. ඔහුගේ රෝගී සිරුර , රෝගි සයනයේ මදක් උස් කල කොට්ටය මතට වාරු කල මා , ඔහු ළගින්ම සුසුම් වදින තරම් දුරින්ම වාඩි වූයෙමි.

පැවති නිහඬතාවය බිදින්නට මට වුවමනා විය.

“ ඔයාට මේ මොකද වුනේ “

“ වෙන්න තියෙන හැමදේම වුනා “

“ මට ජිවිතේ පෙන්නල , ඒ ජිවිතෙන්ම ඔයා පැනල යන්න හදන්නෙ ඇයි ? “

“ මෙච්චර කල් මාව බලන්න ආවේ නැත්තෙ මොකද ? “

“ මට ඔයාව  . . . . . . .මට ඔයාව අමතක වුනා “

“ මම මගේ ජීවිතේම හොරුන්ට ගෙනියන්න දීල බලන් හිටපු මිනිහෙක්  “

එක් වරම මගේ උරහිස මත හිස තබා ගත් ඔහු පොඩි දරුවෙකු මෙන් ඉකි බිඳිමින් හඬන්නට විය. මට කළ හැකි වූ එකම දෙය නම් හැලී යමින් තිබුන ඔහුගේ හිස කෙස් අතරින් මගේ ඇඟිලි තුඩු මෙහෙය වීම පමණි.

ඇති තරම් හැඬූ ඔහු දැඩි වෙහෙසට පත්ව නිදන්නට විය. එදා මුළු රැයම මා ඔහු වෙනුවෙන් ඔහු ළඟ සිටියෙමි. පසු ගිය වසර විස්සටම හරියන ලෙසින් ඔහුගේ වත බලා ගත්තෙමි. නෙතින් ගැලූ කඳුළැල් උණුසුම් කොට්ටයට වැටී සැඟවි යන්නට ඉඩ දුන්නෙමි.

හෙට අළුයම වන විට මා ඔහු වෙත යා යුතුය. ඔහු මගේ සැමියාය ,එතකොට මොහු. මොහු වෙනුවෙන් මගේ හදවත මෙතරම් වේදනා දෙන්නේ ඇයි?

මම චපල සිතැති ගැහැණියක් ද ?

අළුයම් යාමයේ ඔහුගේ සුවඳ රැඳි උණුසුම් පපුවෙන් හිස එසවූ මා දෙවරක් නොසිතාම රෝගී කාමරයෙන් පිටවූයේ මා දැවෙන හදවත ඔහු හිස රැඳි කොට්ටය පාමුල ඔහුගේ තනියට තබමිනි.



 

උරහිස තැවරී වියළුණු කඳුලෙන්
ඔබගේ සුනරුත් පැතුමක ගිනි ඇත
සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්


මා චපල ගැහැණියක් ඔබ සිතනු ඇත. 

එහෙත් මා , මා ගැන සිතන්නේ  . . . .

ඔහුගේ මළ ගමට සභාගි නොවන, ඔහුට මෙලොව වඩාත් ආදරය කරන ගැහැණිය
මම
෴ සොඳුරු සිත ෴
 ලෙසිනි .

28 ප්‍රතිචාර:

TG said...

මේ කතාවත් ඇතුළු වත්ගේ බොහෝ කතා වල අඩු වැඩි වශයෙන් කොටස් හැටියට පත්තරේකට ලියන්න පුලුවන් නවකතාවක වගෙ ගති ලක්ෂණ තියෙන වග පේනවා.ඒත් බ්ලොග් ලියද්දී දිග්ගස්සල නවකතා ලියන්න බෑනෙ .පාඨක ජනතාව ඉල්ලන්නෙ ක්ෂණික දේවල්නේ. නරකද නවකතා අත් පිටපතක් ලියලා බැලුවොත් ?

Podi Kumarihami said...

ඒකනම් ඇත්තමයි වත්. මේ කතාව හොඳ නවකතාවකට. අත්පිටපත ඔක්කොමලා එක්ක එකතුවෙලා කියවලා බලමු. ලස්සන කතාවක් වෙයි අද කාලේ තියන සමහර නවකතාවලට වඩා.

අනෙක ඔයා චපල නෑ. මම එහෙමනං කරන්නෙත් ඔය ටිකමයි.

TG said...

නරක නෑ බලාගෙන ගියාම පොඩීටත් මම කියනදේම හිතිලා .වත් ඔන්න එහෙනම් ලියන්නම ඕනේ.අපි බලමු කොහොම හරි පලකරගන්න

නිම්ශා said...

චපල නැ... හුගාක් කල් ලගින් ඉදලා හුගාරියක් සතුටු දුන්න කෙනෙක් ලග උවමනාම කාලේ නැත්නම් මොනාටද අක්කා.... සතුටේදි ලග නොහිටියත් කමක් නැ දුකේදි ලග ඉන්නයි ඔනා... හ්ම්ම්ම්......

Siribiris said...

කියන්න දේවල් නම් තියනවා අප්පා. ඒත් කොහොම කියන්නද, කට්ටිය මඩ ගහන්නවනෙ.අන්තිමට කොහොමත් සොරි ඩොට් කොම් තමා, මඟ හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී.

Podi Kumarihami said...

@ Siribiris,

ඇයි මේ හැටි බය. කියන්න තියන දෙයක් බය නැතුව කියන්න අනේ. ඔයා මොනවද කියන්නේ කියලා දැනගන්න ආසයි. ඔයාට කවුරුත් මඩ ගහන්නේ නෑ. අද වලව්වට එන්නේ නැද්ද? මම මේ ඔයා එනකල් මග බලාගන ඉන්නේ.

kumaraya said...

හදවතට එකඟ වීම චපලකමක් නෙවෙයි.
හැමෝම කියනවා වාගෙ ''වත්'' නරකද ඔයා නව කතාවක් ලිව්වොත්...

Ravi said...

හිතේ තෙරපෙන, හිත පතුලෙ ඇතිවෙන හැඟීම් අපි තවත් කෙනෙකුට තේරුම් කරන්නෙ කොහොමද? සමහර වෙලාවට ඒ හැඟීම් අපිටවත් හරියාකාරව වටහා ගන්න බැරිවෙද්දි,

හැඟීම් කියන ඒවා තර්කානුකූල වෙන්නෙ නැහැ,බුද්ධියට අවනත වෙන්නෙත් නැහැ, ඒකම තමයි ඒවයෙ තියෙන අපූර්වත්වය, ලස්සන,කිසිම අයුරකින් අච්චුවකට දාන්න නොහැකි වීම,

ඒ වගේම හිත අපේ උනාට මෙහෙම හැසිරෙන්න, මේ විදිහට වැඩ කරන්න කියල හිතට නියෝග නිකුත් කරන්න අපිට උනත් බැහැනෙ,හිත වැඩකරන්නෙ ඔය කාටවත්, කවුරුවත් කැමති ආකාරයට නෙවෙයි හිතට කැමති ආකාරයට, ඒක තමයි ඇත්ත,

හිතේ හැඟීම් හට ගැනීම පාලනය කරන්න අපිට කොහොමවත් බැහැ, කල යුතු එකම දේ තමයි සමබරව හිතල, හැම පැත්තක්ම කල්පනා කරල කල යුතු සුදුසුම දේ හදවතත් බුද්ධියත් දෙකම භාවිතා කරල තීරණය කරන එක,

මුලු මහත් ජීවිත කාලයටම අවංකව පෙම්කළ ඇය අවසන් වරට නික්මයනු බලාසිටි මරණාසන්න ඔහු තමාටම කොඳුරාගත් කවිය............

ජීවිතෙ මංපෙතේ බොහෝ කලකට ඉහත,
හමුවුනෙමු නොසිතු ලෙස එක් සොඳුරු මංසලක,
ඔබට මා සිත බැඳුනු කරුණු මම නොදත්තෙමි,
අරමුණක් නොවූ සිත නිසා මඟ පටලැවුනි,

මඟ වැරදිලා ගියෙමි මංසලෙන් වෙන් වෙලා,
ජීවිතය නැවත ගොඩ ගත නොහැක,මියැදිලා
නුඹෙ සෙනෙහෙ පමණි මට පිහිට මම තනිවෙලා,
මතු සසර උපදින්ට පතමි ඔබ මගෙ වෙලා,

Kalu Pusa said...

මෙයා නම් මාර සොඳුරු සිතක් තමයි මෙච්චර ලස්සන කතා ලියන්න පුළුවන් වෙලත් ඒවා පොතක් වශයෙන් පල කරන්නේ නැහැ. මම නම් කියන්නේ මේක මහා අපරාධයක්. ලංකාවේ Blog බලන්නේ කීයෙන් කී දෙනාද ? ඒත් මේ Blog Post එකතු කරලා පොතක් පල කලොත් එක ලංකාවේ කොපමණ පිරිසක් කියවයිද ?

රත්ගමයා said...

ඔන්න කල් වේලා බලන්නේ නැතුව මුලු කතාවම අද කියවනවා...පහු ගිය දොහේ මග ඇරුනනේ......

හිස් අහස said...

අදයි කතාව සම්පූර්නයෙන්ම බලන දවස ... අනේ මන්දා වත් අක්ක ලියන ඒව නිසා මට බොන්නත් බයයි වගේ ...

පිස්ස කතාවෙන් පස්සේ ලියපු හොඳම කතාව ...හරිම ගති ..

Siribiris said...

@පොඩ්ඩි
උඹ නං හරිම ගල් ඉබ්බියෙක් තමා, මැණිකෙ. මොකෑ නාවෙ, ආව, ආව. බණ අහලා මේ සෝවාන් වෙලා ඉන්නෙ, කොමෙන්ට් නොකලෙ සීලෙ කැඩෙයි කියලා බයට.

@ රවි
මං මොනවා කියන්නද ආයෙ,උඹ ඔය මටත් එක්කලා කියලා තියෙන්නෙ. 100% එකඟයි. අම්මපා උඹ කෙල්ලෙක්වත් උනානං , උම්මා එකක් දෙන්න හිතෙනවා.

Podi Kumarihami said...

@ siribiris,

මම වගේ ගල් ඉබ්බියොත් ඉන්නවද? එයාලා ලස්සන ඇතිනේ. ඔයා එක්කෙනෙක් ඇති කරනවද මාව මතක්වෙන්න. මට ඉතින් අනුන්ගේ ගෙදරක හන්දා මුකුත් කියන්න බෑ බිරී. ඔය රවිට දෙන්න හිතෙන උම්මා එක ගෑනු ලමයෙකුට දෙන්නකෝ!

Niroshan said...

හ්ම...කියෙව්වා...

හිත ඇතුලේ චිත්ත රූප ඇදිලා මැකිලා ගියා....මොකුත් ලියන්න හිතුනේ නැහැ....

nawammawatha said...

බයත් හිතුන කියවගෙන යනකොට.

hansakinkini said...

මේක නවකතාවක් කරන එක ගැන නම් මමත් එකඟයි. මේක අන්තිම කොටසද කියල මම හරියටම දන්නෙ නෑ...
මම මෙහෙම විවෘතව කමෙන්ට් එකක් විදියට කියන එක හරිද මන්ද? ඒත් මේ කොටස ඔයා මුල් කොටස්වල නොතිබුණු හදිසියකින් ඉවර කරල වගේ මට දැනෙන්නෙ ඇයි?

සොඳුරු සිත said...

නව කතාවක් තියා කෙටි කතාවක් වත් ලියන්න මට වෙලාවක් නැහැ. එහෙනම් කොහොමද හැමදාම බ්ලොග් එකේ ලියන්නේ කියල අහයි.
ඇත්ත , බ්ලොග් ලිවිල්ලට හරිම නරක විදිහට මම ඇබ්බැහි වෙලා.හිතින් හිත හිත පෑනකින් කොලයක කුරුටු ගානවට වඩා යතුරු පුවරුවේ ඇඟිලි දුවන එක ලේසි වෙලා.

ඒත් ටීජී මට තර්ජනය කරා පත්තරයකට ලියන්න කියල. මම පොරොන්දුත් වුනා.

සොඳුරු සිත said...

TG
hansakinkini
nawammawatha
Niroshan
Podi Kumarihami
Siribiris
හිස් අහස
රත්ගමයා
Kalu Pusa
Ravi
kumaraya
නිම්ශා


ඔක්කලාටම ගොඩක් ස්තූතියි කියල ඉස්සල්ලම කියන්න ඕනි.

hansakinkini
ඔයා හරි. අන්තිම කොටස ලියල ඉවර කරනකම් සැනසිල්ලක් තිබ්බෙ නැහැ. තව කොටස් ලියන්න බැහැ කියන කම්මැලි කමකුත් තිබ්බ. ඒකට හේතුව තමයි , මම කතාවේ අවසානය හිතල ඉවර වීම. ඒ නිසා අවසානය වෙනස් වෙන්න කලින් ලියල දැම්ම.


nawammawatha
බය වෙන්න එපා ඔයාගේ ජීවිතේට කවදාවත් මෙහෙම නරක දෙයක් සිද්ද වෙන්නෙ නැහැ.

Niroshan
හිත ඇතුලෙ චිත්තරූප මැවුන කිව නේද? ඒ තමන්ගෙ හිත ළඟින්ම ඉන්න අයද ?

හිස් අහස
උඹ බොන්නෙ නැත්තම් , මම මගේ මේ කණ කපනව මල්ලියේ..

සොඳුරු සිත said...

Podi Kumarihami
Siribiris

ඔබ දෙපලට මගේ විශේෂ ප්‍රණාමය පුද කර සිටිනව මේ අවස්ථා වේදී...
යුද්ධ එහෙම ඉවරයි නේද?

සොඳුරු සිත said...

නිම්ශා
දුකේදී ආදරය කරන කෙනෙක් ලග හිතේ හැටියට ඉන්න හම්බෙන්නෙ නැත්තම් හිතකට කොච්චර දුක ද? ස්තූතියි නිම්ශා ...

සොඳුරු සිත said...

kumaraya
පුස්තකාලයක් වගේ ඉන්න කුමාරයෙක් ගෙන් පොතක් දෙකක් ණයට ගන්න බැරිද? කියවල ආපහු එවීමේ කොන්දේසිය පිට.

මම පොතක් ලියන්න... කරන්න බැරි දේවල් , නොවිය යුතු දේවල් කතා කරන්න හොද නැහැ. පලක් නැහැ...

ඒකනෙමෙයි මට ඊමේලය ආවේ නැහැ...

සොඳුරු සිත said...

Ravi
මේ තමයි මගේ අයියා....
හැමදාම මම නතර කරන තැන ඉදල , කතාවේ ඉතිරි ටික ලස්සනට ගලපන්න රවි අයිය දන්නව.

ඒ විතරක් නෙමෙයි ... මම දන්නෙ නැති පුංචි පුංචි ඉංගිරිසි කෑලි මට හොයල දෙන්නේ , කියල දෙන්නෙ මගෙ අයිය තමයි.

ඒවායේ වරදක් තියෙනම් මටත්, හොඳක් තියනම් ඔහුටත් යා යුතුය.

ස්තූතියි රවි අයියා ....

සොඳුරු සිත said...

Kalu Pusa
යෝජනාවට ස්තූතියි කළු පූසා ...
මම පොතක් ලියන්න... කරන්න බැරි දේවල් , නොවිය යුතු දේවල් කතා කරන්න හොද නැහැ. පලක් නැහැ...

සොඳුරු සිත said...

රත්ගමයා
හැමවෙලේම ඇයි “ කූජිතයි“ කියන්නේ... මම ඒ පැත්තෙ ආවා... ලිපිය කියවල මට හිනහයි... ස්තූතියි රත්ගමයා ...

සොඳුරු සිත said...

TG
මෙන්න මෙයා තමයි මට තර්ජනය කරන්නේ...

මිහිර පත්තරේ අතීතය මතක් කරල දුන්නට ගොඩක් ඉස්තූතියි TG ..

අහස් ගවුවට ගියොත් එයාලටත් බලන්න පුලුවන් .......

Anonymous said...

harima lassanayi...

Anonymous said...

ඔහුගේ මළ ගමට සභාගි නොවන, ඔහුට මෙලොව වඩාත් ආදරය කරන ගැහැණිය...

vadath denune meyai..mamath pirimin visin therum nogath geheniyak nisa viya yuthi.

Anonymous said...

Awesome!!!! I have been experienced the same situation......

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...