..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, February 3, 2011

෴ එක සිත දෙතැනක / Indecisive Mind ෴ ( III කොටස )

෴ එක සිත දෙතැනක / Indecisive Mind ෴ ( I කොටස ) මෙතනින්

෴ එක සිත දෙතැනක / Indecisive Mind ෴ ( II කොටස ) මෙතනින්

සමීප යහළු‍වෝ ෴

එදායින් පසුව ඒ කී‍වේ ඒ වි‍නෝද චාරිකා‍වෙන් පසුව ඔහුයි මමයි හරිම හිතවත් වුනා. . . ‍මේ හිතවත්කම ‍කොයි තරම් වැඩි වුනාද කියනව නම් ම‍ගේ ‍හොඳම හිතවතා, යහලුවා බවට ඔහු පත් වුනා. මම පුද්ගල‍යෙක්ගෙන් දකින්න අකැමැතිම ගුණාංග රැසක් තියෙන ඔහු ව‍ගේ ‍කෙනෙක් ම‍ගේ ‍හොඳම මිතුරා බවට පත් වීම ඇත්තටම හරි ම පුදුම ‍දෙයක්. . . .  ඔහු‍ගේ ගැහැණු ඇසුර , විනෝදශීලී සෙල්ලක්කාර ගති පැවතුම්, මත්ලෝලිත්වය , ඒ වගේම ඔහු අඳින පලදින ආකාරය , මේ කිසිම දේකට මම කැමති නොවුනත් අපි දෙන්නට පුලුවන් වුනා හොඳ යාළුවො වෙන්න. මම හිතන්නේ යාළුකමට ඕන දෙයක් ඔට්ටුයි ඒත් ආදරේ දි ඒක එහෙමම වෙන්නෙ නැතිව ඇති.

ඔහු මා නුටුදු ජීවිතය පෙන්නල දුන්න කීවොත් හරියට හරි. මා හිටපු ගුහාවෙන් එළියට අරන් ලෝකෙ කියන්නෙ මොකක් ද කියන එක පෙන්නල දුන්න.

ඒ වගේම ඔහු මාව පරිස්සම් කරා. ඒකට හොඳම උදාහරණය තමයි මාව රාත්‍රී සමාජශාලාවකට එක්කන් ගිය එක. ඔහු කීව විදිහට දිනපතා හෝ නිතරම පාහේ ඒ වගේ තැන්වලට නොගියත් ඒ මොන වගේ තැනක් ද කියල දැනන් ඉන්න එක ඇත්තටම වැදගත් කියල මටත් හිතුන. ඒ පරිසරයට මාව අරන් ගියත් එක මොහොතක් හරි මාව තනිකරල එහා මෙහා නොවී ඉන්න තරම් ඔහු විමසිලිමත් වුනා.

මගේ හිතේ හැන්ඟිලා තිබ්බ අරුම පුදුම විදිහෙ දොළදුකක් ඔහුගෙ මැදිහත් වීමෙන් සපුර ගන්න මට පුලුවන් වුනා. මට වුවමනා වෙලා තිබ්බ හොඳ හැටි වෙරි වෙනකම් බොන්න . ඇත්තටම වෙරි කියන දේ මොන වගේද කියල දැන ගන්න දන්න කියන කාලෙ ඉදලම තිබ්බ ආසාව ඉටු කර ගන්න ක්‍රමයක් මට තිබ්බෙ නැහැ. දවසක් විහිලුවට වගේ මම කීව ඒ කතාව අන්තිමට ඉවර වුනේ මම හොඳ පදමට වෙරි වෙලා. නමුත් හොඳ සිහියෙන් ඉන්න ඔහු වග බලාගෙන තිබ්බ.එදා ඔහු ගැන මට ඇතිවුන විශ්වාසය ඔහුත් මමත් තව තවත් ළං කරන්න සමත් වුනා.

ඒ විතරක් නෙමෙයි. . . 
ලස්සනට අඳින හැටි....ගැලපෙන්න විලාසිතා කරන හැටි මට කියා දුන්න. මාත් එක්ක ෂොපින් ගිහින් මම තෝරන ඇඳුම් ගොඩකුයි ඔහු තෝරපු ඇඳුම් ගොඩකුයි අතරින් එකින් එක ඇඳල බලල මට ගැලපෙන විලාසිතා තෝරල දෙන්න ඔහු මට උදවු වුනා.

ඔහුත් මගෙන් යම් යම් දේවල් පුරුදු වුනා කීවොත් නිවරදියි. පොතක් කියවන පුරුද්දක් නම් කවදාවත් ඔහුට තිබිල නැහැ. කියවන්න හුරු කරන්න බැරි වුනත් අවසානයේදි කියවන දේ අහන් ඉන්න ඔහු පුරුදු වුනා . ඒකෙන් වුනේ සමහර පොත් කටපාඩම් වෙනකම්ම, කට රිදෙනකම්ම ඔහු වෙනුවෙන් දෙතුන් පාර මට කියවන්න වීමයි.

ඒ වෙද්දි මම සෑහෙන්න වෙනස් වෙලා , බාහිර පෙනුම ( ඔහුත් එක්ක ජිම් යන ගමන මට නම් මහ කරදරයක් වුනා. ඒ බව මම ඔහුට කීවම අන්තිමට ඔහුත් එක්ක ඇවිදින්න යන්න මම එකඟ වුනා. ) ගොඩක් දුරට වෙනස් වෙලා තිබ්බ. ගොඩේ ගතිය බොහෝ දුරට අඩුවෙලා තිබ්බත්, නැත්තටම නැති වෙලා තිබ්බෙත් නැහැ. ඔහුත් එක්ක හවසට ඇවිදින්න පාළු පාරවල් යන මම හිතේ තියෙන සැක සංකා දුරු කරල හයියෙන් හිනා වෙන හැටි ඉගෙන ගත්තා.

ඔහු නිසා මගෙ මුළු ලෝකෙම වෙනස් වුනා. ගල් වෙලා තිබ්බ හිත මෘදු වුනා. ලෝකය විඳින්න දකින්න . . .ඇත්තටම මම ඔහුට ණයයි.

ඒත් එක්කම මගේ සිත සෑහෙන්න වෙනස් වෙලා තිබ්බ. කොටින්ම ඔහු නොදකින දවසක්. ඔහු හා කතා නොකරන දවසක් ඇත්නම් හිත හරි ඉක්මනින් දුක් වෙන්න ගත්තා. ඒත් ඒ ආදරය නෙමයි කියල මට විශ්වාසයි. මොකද ඒ වෙන කොට ඔහු ගැහැණු ළමයි මාරු කර කර ආස්රය කරන එක නතර කර තිබ්බත් ,තෝරා ගත්ත ලස්සන කෙල්ලක් එක්ක ආදර සම්බන්ධකමක් පවත්වා ගෙන යනවා කියල මම දැන ගෙන හිටිය.

දවසක් අපි තුන්දෙනාම, ඒ කීවේ මමයි ඔහුයි ඔහුගේ පෙම්වතියයි පුංචි cafeteria එකක ඉදන් තේ බිබී හිටිය. ඔවුන් දෙදෙනා ඉන්න තැන් වලදි ටිකක් විතර දුරින් ඉන්න මම පරිස්සම් වුනත් එදා අපි වාඩිවෙලා හිටියෙ එකම ටේබල් එකක. හිමින් මුමුණමින් හිටපු ඇය එක්වරම ඔහුව තදින් සිප ගත්තා. ඒ වෙලාවෙදි ඔහු දැඩි අපහසුතාවයට පත් වුනත් මගේ හිතට ආවේ මහ මූසල හිස් හැඟීමක් විතරයි. චුම්බනය අවසානයේ දී ඇය මා දෙස බැලුවෙ හරිම ආඩම්බරයකින් මම ඇයට සංග්‍රහ කරේ සිනහවකින්. ඒත් ඔහු මා දිහා කෙලින් බැලුවෙ නැහැ.

එදා ඉඳල අපි තුන්දෙනා එකට ගමන් බිමන් යන එක නතර වුනා. ඒ ගැන නම් මම හරියට සතුටු වුනා.

මෙහෙම ඉද්දි තමයි ගෙදරින් මට විවාහ යෝජනාවක් ගෙනාවේ. එදාට අදින්න සාරියත් තෝරන්නත් මම ගියේ ඔහු එක්ක. සාරි තෝරල එන ගමන් මුහුදු වෙරළෙ ඇවිදින්නත් අපි අමතක කළේ නැහැ. ඔහුයි මායි අත් අල්ලන් වෙරළට එන මහ රැළී දියවෙලා යද්දි යන්තමට කකුල් තෙමා ගෙන යන්න ඉඩ දීල කතා බහක් නැතිව හිටිය අපි දෙන්නගෙම නෙත් ක්ෂිතිංජය කෙලවරේ ගිලිල යන ඉර දිහා බලන් හිටිය.

නිහඩතාවය බිඳින්න මට ඕන වෙලා තිබ්බ.

“ හෙට එනව ද? “

“ එන්න වෙන්නෙ නැහැ. අරයත් එක්ක පොඩි ගමනක් යන්න තියෙනවා “
“ ඔයා ඉන්නම ඕනි “

“ ඇයි ? “

“ එන කෙනාගෙ අඩුපාඩු හොද නරක දැන ගන්න “

“ මෙච්චර දේවල් කියා දීලත් . ඒකත් තෝරල දෙන්න කියන්නෙ මට ද? “

තරහින් මා අත ගසා දැමු ඔහු පැවසුවා.

“ අපි යන් ‘“

 කෙසේ හෝ එදින පැමිණි මනමාල මහතා මට කැමති වුනා. මාද ඔහුට කැමති වුනා. විවාහය බොහොම ලහි ලහියේ සූදානම් වුනේ මගේ යෝජිත මනාලයාට උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වෙන්නට තිබුන හින්දයි.

මගේ මිතුරා විවාහයේ සෑහෙන වැඩ රාජකාරි බොහෝමයක් කරට අරන් වැඩකරා.... ඔහුත් ඔහුගෙ පෙම්වතියත් සමඟ ඉක්මනින්ම විවාහ වෙන බව පැවසුවා.නමුත් ඔහු මා සමඟ කරන කතා බහ සෑහෙන අඩු වෙලා තිබ්බ බව මට තේරුනා. ගොඩක් වෙලාවට ඔහු මාව මඟ අරින්න උත්සාහ ගත්ත. ඒ ගැන විමසන්න හිටපු හැම අවස්ථාවක්ම මට මඟ ඇරුනෙ මනාලියක් වෙන්න හිටපු මට තිබ්බ රාජකාරි බහුල විම නිසයි.

ඒත් මගෙ මඟුල් ගෙදර දවසෙ මම පොරුවට නඟිනකම් බලන් හිටපු ඔහු හදිසියේම හදිසි වැඩක් තියෙනවා කියල යන්න ගියා.

එදා තමයි මම ඔහු දුටු අවසාන දවස. . . මම විවාහයෙන් පසුව විදේශ ගත වුනා. මගෙ මහත්තය හරිම හොඳ කෙනෙක් . . . .ඒත් ඔහු හා ගෙවන ජිවිතය නාදුනන කෙනෙකුන් හා ගෙවන කෘතිම ජීවිතයක් කියල මට හිතෙන්න ගත්තා.

විඩෙන් විඩේ මා හොඳින් හඳුනන ඔහු මගේ සිහින වලට ඇවිත් මාව දැකල මාත් එක්ක සිනා වෙලා කතා කරල ගියා.

දැන් මම දෙදරු මවක්. . . . . වසර විසි ගාණකට ආසන්න මතකය අලුත් කරන්න හේතු වුනේ අහම්බෙන් ආව ඊමේලයක්. . . . . ඒ ගැන ඊළඟට කියන්නම්. . .  මගේ බර වුන හිස මේ කතාව මිට එහාට ලියන්න දෙන්නෙ නැහැ වගේ. . . 

ඔහු වැඩියම කැමති ගීතයකින් අදට සටහන ඉවර කරන්නම්. . . 




I will be right here waiting for you  


නුඹව දකින්න , ඉක්මනින්ම එන 
මම
෴ සොඳුරු සිත ෴

24 ප්‍රතිචාර:

MaRLaN said...

නියමයි අක්කෙ... පුන්චි Case 1ක් හින්දා මෙවුවා වෙලා ඉන්න මාව මේක දැකලා තවත් මෙවුවා උනා වගේ...

සිංදුවත් ලස්සනයි....

නලිනි චන්දිමා said...

හිතට පොඩි බරක් එකතු කළත් ලස්සනට අකුරු කර ඇති කතාවක්.

ඉලංදාරියා said...

මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ.. අක්කේ...

මකුළුවා...... said...

මම පෝස්ට් තුනම කියවලා ඉවර වෙලාම අදහස පළ කරන්නම් කියලා හිටියේ.....ජීවිතේ කියන්නේ මහ පුදුමාකාර දෙයක් අක්කේ...අපි හිතන්නේ නැති දේවල් ගොඩක් එක්ක අපි හිතන දේවල් ටිකක් සිද්ධවෙන ලෝකයක්....විශේෂයෙන්ම සම්බන්ධකම් කියන දේවල්...අපිට හිතාගන්න බැරි දෙයක්...කිසිම දේකින් සැලෙන්න එපා...ඒකමතමා ජීවිත් වෙන්න තියන ක්‍රමයත්....හරිම පුදුමයි නේද?සැලෙන්න ඕනේ තැනදී නොසැලී ඉන්නේ කොහොමද?

නිම්ශා said...

ලස්සනයි අක්කේ එකදිගට තුනම කියෝගෙන ගියා හුස්මට.. :)

සොඳුරු සිත said...

@MaRLaN
පුංචි පුංචි කේස් තමයි පස්සෙ කාලෙක ලොකු ලොකු කතන්දර බවට පත්වෙන්නෙ. අපි නොදන්න සියුම් තැන් වලින් පටන් ගන්න කතන්දර කොච්චර නම් දුර දිග යනවද?
මොලේ තිබ්බත් පලක් නැහැ. වෙලාවකට හැමදේටම වැඩියෙන් ඉස්සරහින් ඉන්නෙ හදවත...

සොඳුරු සිත said...

@නලිනි චන්දිමා
මට අලුත් යාළුවෙක්..ස්තූථියි නලිනි ...

සොඳුරු සිත said...

@ඉලංදාරියා
මොනව හිතන්නද ඉලන්දාරියෝ..අපි කවුරුත් මේ දවස් වල හිතන්නේ ඔයා ගැනයි.. අද මම මේ පෝස්ට් එකට ඇඩ් කරල තියෙන සින්දුව අහන්න පුලුවන් දවසක් ඉක්මනටම ඔයාට උදාවෙනව...

සොඳුරු සිත said...

@මකුළුවා......
ඇත්ත මල්ලි. සම්බන්ධකම් පුදුමාකාරයි. මැරෙනකම්ම ලඟ ඉන්න සම්බන්ධකම් වලට වඩා මොහොතක දිනකිහිපයක සම්බන්ධකම් ගැන හිතල දුක් වෙන මිනිස්සු මම දැකල තියෙනවා..

හිත තමයි හැමදේම...ඒත් තමන්ගෙ ජීවිතයම එළිය කරපු ආගන්තුකයෙක් ගැන මගේ හැඟීම ලියන්න මට වචන නැහැ..

සොඳුරු සිත said...

@නිම්ශා
ස්තූතියි නිම්ශා
කියවල විතරක් නෙමෙයි, අදහසකුත් කියල ගිය එකට ගොඩක් ස්තූතියි..

MaRLaN said...

බලමුකෝ මොකද වෙන්නේ කියලා......

ariyananda said...

මමත් අවුරුදු 20 කට පෙර දැකපු ඈ තවමත් හීනෙන් දකිනවා...
අපි අතරේ එහෙම සම්බන්ධකමක් නැති වුනත් තවමත් ඇය මට හිමි වුනා නම් කියපා හැඟෙන වාර අනන්තයි...
ඒත් ඇය දැන් මගේ මිතුරෙකුගේ බිරිඳක්, දෙදරු මවක්, ඒ වගේම ඇය මගේ මූණු පොතේ මිතුරියක්...
ඇය දැන් හීනෙන් දකින්න ඕන නැහැ.. මූණූ පොතට ගියාම දකින පුළුවන්... ඉස්කෝලේ යන කාළෙදිට වඩා ලස්සන දොස්තර නෝනා කෙනෙක්...
මටත් හරි සතුටුයි....

Buratheno said...

කොයිතරම් අමතක කරන්න හැදුවත් අමතක වෙන්නෙ නැති, නොසිතූ මොහොතක එකපාරටම සුළගක් වගේ කඩාපාත්වෙලා, හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරලා, සුළගක් වගේම නොපෙනී යන මිහිරි මතක..

කොහේදෝ තැනක කියවපු මෙන්න මේ phrase එක මතක්වුනා.. "Love happens only once, the rest is just life"

Anonymous said...

මගේ ජීවිතෙත් අන්තිමට මේ වගේ කතාවක් ඉතුරු වෙයි කියලා බයයි..හිතයි බුද්ධියයි කියන්නේ කතා දෙකක්..

maleesha

හසී said...

කොච්චර ලඟින් හිටියත් ආදරයයි මිත්‍රත්වයයි නොහදුනන අයත් ඉන්නවා.ලස්සන කථාවක් වත් අක්කි..

nawammawatha said...

හොඳට හාරාවුස්සල බැලුවොත් අපි කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු ඩිංග ඩිංග තියෙනවනෙ. ඔයා ලස්සනට ලියනව. ජයවේවා !

Ravi said...

ජීවිතේ අපිට අපේ ආදරවන්තයා/තිය එක්ක කියන්න බැරි ප්‍රශ්න තියෙනවා, ඒකට හේතුව අපෙ යටි හිතේ බයක් තියෙනවා කොච්චර අපිව තේරුම් අරන් කියල අපි හිතුවත්, අපිට ආදරෙයි කියල අපි හිතුවත් නිශ්චිත එක් ගැටලුවකට මුහුණ දෙන්නට සිදුවූ අවස්ථාවකදී එයා කොයි ආකාරයට හැසිරෙයිද කියලා අපිට කලින් කියන්නට නොහැකිවීම,

ඒත් හොඳ ,හදවතට සමීප ඒ වගේම අපිව තේරුම් ගත්තු,මිතුරෙක්/මිතුරියක් එක්ක ඒ ගැටලුව මට හිතෙන විදිහට මතු වෙන්නෙ නැහැ,මොකද අපි කල හෝ කරන කිසිම දෙයකින් අවංක මිත්‍රත්වයකට බාධාවක් වෙන්න විදිහක් නැහැ,

I will be there waiting for you,
When everyone else has left you in lurch,
When your heart cries out for someone to share your innermost feelings,
When you want a shoulder to cry on without strings attached,
I will be there waiting for you,
With open arms & a warm heart,
I will be there waiting for you,

Siribiris said...

ලස්සනයි. ඒත් ප්‍රශ්ණයක්, මේක මිහිරි වේදනාවක් වෙන්නේ, ඒක අසම්පූර්ණ සිදුවීමක් වූ නිසාද? මතක් වෙන්නෙ " සැබෑ පෙම්වතුන් කිසිදා එක්වන්නේ නැත. එක්වූ කිසිවකු සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් වන්නේ නැත" කියන කතාව.

කොට ජීවිතේ said...

හරිම ලස්සනයි. ඒ වගේම හරිම දුක හිතුනා.

Podi Kumarihami said...

බූරුතිනෝගේ කතාව නම් සම්පූර්නයෙන් ඇත්ත.(love happens only once. The rest is just life)
සිරිබිරිස් කියන්නා වගේ සැබෑ පෙම්වතුන් කවදාවත් එක්වෙන්නේ නැද්ද? රවිගේ කතාවට කොහොමත් එකඟ නෑ. දෙන්නෙකුට ඕනම ප්‍රශ්නයක් විවෘතව කතා කරන්න බැරි නම් එතන ආදරයක් ඇත්තේ නෑ.

ලස්සන කතාවක් වත්!!!

Podi Kumarihami said...

@ siribiris,

'සැබෑ පෙම්වතුන් කිසිදා එක්වන්නේ නැත. එක්වු කිසිවකු සැබෑ පෙම්වතුන් ලෙස ජීවත්වන්නේ නැත.'

බය හිතෙන කතාවක්නේ කියල තියෙන්නේ? ඒකද ආදරේට ඔච්චර බය?

Siribiris said...

@පොඩි කුමාරිහාමි
ගිණි පෙනෙල්ලෙන් බැට කාපු එකා, කණාමැදිරි එළියටත් බයයිනෙ, මැනිකෙ.

@ ඇල්කෙමියා
ඒකත් ලස්සන කතාවක් වගේ. වෙනසකටත් එක්ක, ඔන්න ඔහේ ඒ කතාවත් ලියලා දාමු නේද?

hansakinkini said...

අක්කෙ,
ඔයා ලියන දේවල් සතියකට සැරයක් වත් ඇවිත් කියවල යනව. ඒත් කමෙන්ට් කරන්නෙ අදයි... කතාව ඉවර වුනාම මට හිතෙන දේවල් කියන්නම්. මම දැන් මේක කියවන්නෙ පොතක් කියවද්දි මට තියෙන හදිස්සියෙන්මයි.... හරිම ලස්සනයි...

වැලිමැඩියා said...

කතාව කියවල සොඳුරු සිත ගැන පළමුවෙන් මට ඇතිඋනේ තරහක්. සොඳුරු සිත නිකන් ඔහේ බලන් හිටියට....එයා ගැන සොඳුරු සිතට ලෝබකමක් දැනුනේම නැද්ද?
සින්දුව අහනකොට පුදුම දුකක් දැනුන. සොඳුරු සිතේ තෙත් ගතියක් ගෑවිලාවත් තිබුනෙ නෑ. කොහොමද ඔහොම දුකක් දරාගත්තේ?

මේක සොඳුරු සිතේ පහල වෙච්චි සිතුවිල්ලක් විතරයි කියල හිත හදාගත්ත...

සොඳුරු සිතේ කියවන්න හරිම ලස්සන දේවල් බොහොමයි. this is a professional weblog. hope you will help me to follow your way.

වෙබ් ලෝකයේ මෙවන් දැවැන්ත චරිත අතර ගැවසෙන්න ලැබීමත් වාසනාවක්.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...