..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, February 25, 2011

෴ නොමැකෙන සුවඳක් - A Lingering Fragrance෴

බලන බලන අත නව යොවුන් පෙම්වතුන්ය. තරුණ විය ඉක්මවන්නට ආසන්නව සිටින හෝ මැදිවියේ පෙම්වතුන් දකින්නට ඇත්නම් ඉතා අහම්ඹෙනි. සිටියත් ඒ “ හොර ලවු “ එකකි.

ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වන තැනම ඇත්තේ ළමා උයනයි. සෙල්ලම් ඔන්චිලි සහ ලිස්සන ලෑලි වල නැඟී සෙල්ලම් කිරිමට පුංචිපැටවුන් ගේ ඇත්තේ පුංචි සණ්ඩුවකි. බොහෝමයක් දරුවන්ගේ අම්මලා සිටින්නේ දරුවන් ගැන ඇස ගසා ගෙන නොව ප්‍රධාන ගේට්ටුවෙන් පොත් මිටියත් තුරුළු කරන් ඇතුළු වන යොවුන් පෙම්වතුන් ගැන ඇස ගසා ගෙනය. බොහෝ විට ඔවුන් දෙස බලා රවති.හඩ නොනඟා ගොරවති. ඇතැම් විටක අසල සිටින කෙනෙකුන් හා එක්ව අද කාලයේ හදන්න බැරි සමාජය ගැන දොඩන්නට පටන් ගනී.

මම ද , ප්‍රධාන ගේට්ටුව පේන තෙක් මානයේ වූ සිමෙන්ති බංකුවකට බර වී ගේට්ටුවෙන් ඇතුල් වන්නන් දෙස දෑස් දල්වන් සිටියෙමි.

එවර ගේට්ටුවෙන් ඇතුල් වූයේ සුදු හීන්දෑරි නමුදු ලස්සන පෙනුමැති යොවුවනයෙකි. ගේට්ටුවෙන් ඇතුලු වි මදක් නැවතී වට පිට විපරම් කර බැලූ ඔහු ගේ දෑස, හාත්පස සිසාරා විත් මා ළඟ නතර විය.ඔහු මා දෙස බලා සිනාසුනේය. මාද සිනාසුනෙමි. ඔහු මට ඉඟියෙන් පැවසූවේ මා ළඟ සිමෙන්ති බංකුවේ අසුන් ගෙන සිටින යොවුවනියට කතා කරන ලෙසයි. 

“ නංගි , ඔයාට කතා කරනවා “

ගේට්ටුව ළග රැදි තරුණයා දුටු වහාම ඇගේ වතේ නොයෙක් වර්ණ මල් රැසක් පිපී දිලෙන්නට විය.



“ තැන්ක්ස් අක්කා. මම යන්නම්“

ගේටුට්ව තෙක් ගොස් ආපසු හැරී මා දෙස බැලූ ඔවුන් දෙදෙනා මටද අතවනා පිටව යන්නට විය.



එවිටම වාගේ ඔහු ගේට්ටුවෙන් ඇතුල් විය.

යොවුන් පෙම්වතුන් දෙදෙනාගේ අත්වැනීම ඔස්සේ බැලු ඔහු මා දැක සිනා සී මා සිටි සිමෙන්තු බංකුව වෙත පැමිණියේය.



“ කවුද ඒ? අඳුරනව ද? “


“ නැහ් . .  මෙතන හිටපු විනාඩියේ හදුන ගැනීම තමයි. වාඩිවෙන්න.“


“ ම් ම් ම් . . . මෙතන !!!!“


“ ඔවු ඇයි හොඳ නැද්ද ? ඔයාට ඕනි කීවේ නිදහසේ පොඩ්ඩක් කතා කරන්න නේද ? “


“ ඒකනම් එහෙම තමයි. ඒත් ඉතින් .... අපි දැන් ඒ වයස පහු කරල. අනික අපි දෙන්න පෙම්වතුන් නෙමෙයි නෙ. යෝජනාවකින් හම්බවෙලා, ගෙවල් වලින් කැමැත්ත ඇතිව , තව ටික දවසකින් එක ගෙදරක ජීවත් වෙන්න යන දෙන්නෙක්“


“ ඉතින් “


“ ඉතින් , කියන්නේ , අපි දෙන්න වෙන තැනකට යමු “


“ වෙන තැනකට ! ! “


“ ඔවු , ඇයි බැරි ද? “


“ වෙන දවසක යමු. අද මෙතන මෙහෙම ඉදන් කතා කරමු.“


එවර ඔහු මා ආසන්නයෙන්ම සිමෙන්ති බංකුවේ වාඩි විය. බොහොම සුපුරුදු සෞම්‍ය සුවඳක් ඔහුගෙන් වහනය විය.


නාස් පුඩු අතරින් රිංගා , මොළයේ නියුරෝන සෛල අතරින් ගිය ඒ සුවඳ , මොළයේ ගබඩා වී තිබූ දහසක් සුවඳවල් අතරින් ගැලපෙන සුවඳ සොයමින් මොළය පීරන්නට විය.


මිහිරි මතක රැසක් සමඟින් පෑහුන සුවඳ මතකයට නැගෙන්නට වැඩි වෙලා ගත නොවීය. ඒ සුවඳ මා ජිවිතයේ ප්‍රථම වරට වින්දේ , මේ උද්‍යානයේම ඈත කෙලවර සිමෙන්ති බංකුව කදීය. ඒ සුවඳ මට දැනුනේ ඔහුගේ රැවුල් කොට සහිත කම්මුලට මගේ දෙතොල් ළං වූ විටයි.එදින සිට ඒ සුවඳ මතකයේ ගැඹුරුම තැනක තැන්පත් විය.

අද ඒ සුවඳම රැඳි , වෙනකෙකු සමඟ ඒ උද්‍යානයේම වෙනත් බංකුවක් මත සිටින බව සිහිවී නැඟුන උණුසුම් සුසුම නවතා ලන්නට මට හැකියාවක් නොවීය.


“මොනාද කල්පනා කරන්නේ.. ඉතින්....“ 

යැයි පැවසූ ඔහු , උකුල මත රදවා ගත් මගේ එක අතක් ඔහුගේ අතින් අල්ලා තදින් මිරිකන්නට විය. ඒ පහසේ වූයේ දැඩි නොඉවසිල්ලක් හා තද ගතියකි. එය මා විඳි සුවඳ හා ඒ හා බැඳි මතකයන් සමඟ කොහෙත්ම ගැලපෙන්නක් නොවීය. වහාම අත මුදවා ගත් මම.


“ මොකද මේ වෙලා තියෙන්නෙ, මෙතන පුංචි ළමයි ඉන්නවා“


“ ඒක තමයි මම කීවේ , වෙන තැනකට යං කියල, කොයි තරම් දේවල් තියෙද  අපි දෙන්නට බෙදා ගන්න “


මට වුවමනා වූයේ නිදහසේ කතාබහ කිරීමටත්, අදහස් හා එකිනෙකාගේ ප්‍රිය ගති ස්වභාවයන් විමසා දැන ගැනීමටත් , අත් වැල් පටලන් උද්‍යානය පුරා ගමන් කරන ගමන් අපේ අනාගතය ගැන ඔහුගේ අදහස් විමසා දැන ගැනීමත් , උද්‍යානයේ තිබෙන පුංචි අවන්හලෙන් උණුසුම් තේකක් බොමින් පවුලට එකතු වන දරුවන් ගණන ගැන උණුසුම් සංවාදයක් පැවැත්වීමත් වැනි පුංචි පුංචි කාරණා රැසකි.


නමුත් , මොහුට තියෙන තකහනිය අනුව , අදම දරුවන් සෑදීමට ද බැරි නැතැයි මට සිතෙන්නට විය.


ඒ ඔක්කෝටමත් වඩා . . . අලුත් වු පැරණි සුවඳ මගේ සිත පාරවන්නට විය. ඒ සුවඳ රැදි සොඳුරු මිනිසා වෙනුවට , ඒ සුවඳම රැගත් තද ගති ඇති අසංවේදි මිනිසකු මා අභියස නොයිවසිල්ලෙන් පසු වීම මගේ සිත දැඩි ලෙස කම්පා කරවන්නට සමත් විය.


සුවඳ විසින් අවුළුවන ලද මගේ සිත, දැඩි ලෙස කියන්නට වූයේ මොහු හා මගේ ජීවිතයේ ඉතිරිය ගත නොකළ යුතු බවයි.


“ ආහ් ලොකු ළමයො. එදා ඔය ළමයා අර ළමයගෙ හිත රිදෙන්න දෙයක් වත් කීව ද? නැත්තම් මේ තරහකාරයෝ මොනවත් කියල ද මන් ද? ඒ කටයුත්තට අකමැති කියල , ඒ පැත්තෙන් දන්වල එවල තියෙන්නේ.“


අම්මා පවසන්නට වූයේ ඇගේ සිත රැඳි දැඩි සෝකයකිනි. මා සිත ද එතරම්ම සෝකවන්නට ඇතැයි ඇය සිතනවා වන්නට ඇත. නමුත් මා සිත රැදි සතුට දන්නේ නුඹත් මමත් පමණි.


මා සිත නිතර සැරිසරන , නුඹ සුවඳ සමඟින් තවත් කලක් මෙසේ ගත වි යනු ඇත.

The best fragrance in the world is that emanating from the person you love,

සුවඳ දිගේ නුඹ සොයන
මම
෴ සොඳුරු සිත ෴

12 comments:

  1. "බොහෝ විට ඔවුන් දෙස බලා රවති.හඩ නොනඟා ගොරවති" ඒ අයට එයාලගේ තරුණ කාලේ මතක නෑනේ හැබෑටම :D

    අෆ්ෆා අපිත් වයසට යනකොට එහෙම වෙයිද දන්නේ නෑ :O


    කතාව ගැන කියනවානම්.........ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... අනේ මන්දා මොනවා කියන්නද කියලා හිතාගන්න බැ

    ReplyDelete
  2. ලස්සනයි, එත් සමාවන්න අවසානය ගැන මගේ එතරම් කැමැත්තක් නැහැ.

    ReplyDelete
  3. ලස්සන කතාව. අවසානය තමයි වැදගත්ම....ඒක එහෙමම තමයි වෙන්න ඕනේ. හැබැයි තව එකක්...යෝජනාවකින් හම්බ උනත් දෙන්නෙකුට ආදරය කරන්න පුළුවන්..... මටත් මුලදී නම් ඒ ගැන පැහැදීමක් තිබුනේ නෑ.... එත් දැන් දන්නවා ඇත්තටම එහෙම වෙන්න පුළුවන් කියලා... වැදගත් වෙන්නේ දෙන්නගේ අවබෝදය තමයි මම හිතන්නේ.....

    ReplyDelete
  4. එතකොට මේ කුරුළු කතාව ඉවර උනේ එහෙමද අක්කේ

    අක්කා දුක් වෙන්න එපා හෙට ඉරපායනවා....

    ReplyDelete
  5. ලස්සනම කතාවක් වත් නංගි,

    ඔයාගෙ කතාව ඔස්සේ ජීවිතේ ගැන හුඟාක් දේවල් නැවත සිතන්නට මට හැකි වුනා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි,

    අපි හැමෝම, හිතට ලබැඳියකු, සමීපතමයකුගේ නික්මයාමෙන්, වෙන්වීමෙන් පසු නැවත වරක් එවැන්නකු තෝරාගැනීමේදී නිර්ණායක හැටියට යොදාගන්නේ අපෙන් වෙන්ව ගිය පුද්ගලයාගේ ගති ගුණ සහ ඇවතුම් පැවතුම්,

    ඇත්තටම මෙහෙම පරමාදර්ශී මොඩලයක් අනුසාරයෙන් ඇගයීම් කිරීම නිසා බොහෝවිට වෙන්නෙ අපේ හිතට ගැලපෙන ලෙසට මේ ස්වයං පරීක්ෂනයෙන් සමත් වීමට කිසිවකුටත් නොහැකි වීමයි,

    අපි හොයන්නෙ අපේ හිතේ හැමදාම නොමැකී රැඳී පවතින ඒ සදාදරණීය රූපයට අපේක්ෂකයා කොතරම් දුරට ගැලපෙනවද කියන එක විතරයි,

    ඇත්තටම විවෘත මනසකින් කලයුතු දෙයක් අපි කරන්නෙ පූර්ව නිගමනවලට එලඹිලා, මේ කාරණය එතරම් සුදුසු දෙයක් නොවුනට මේක තමයි කටුක යථාර්ථය,

    " The most annoying about living in a perfect dream is that when you wake up at last, you would expect the reality to live up to your dream and be dissapointed when it won't "

    ReplyDelete
  6. හදවතේ තැනක
    නුඹ හැර ගිය
    නුඹේ ආදර සුවද
    හදිසියේ ඇවිත්
    මගේ මතකයට
    ගෙනා සැමරුම්
    එකින් එක
    නුඹ ගැන ආදරය
    තවත් වැඩිකලා
    මගේ හිතේ තැනක...

    ReplyDelete
  7. ආහ්!ඔය මංගල යෝජනා කියන ඒවා ගැන මගේ නම් වැඩි විශ්වාසයක් නෑ අක්කේ....අපි දන්නේ නැති විදිහේ දහංගැට වැටෙන්න පුළුවන්.....හැබැයි ඔයා බයවෙන්න එපා පතාගෙන ආපු පුද්ගලයා කවදාහරි දවසක ඔතාගෙන යන්න එනවා....මට හිතෙන්නේ නම් අක්කට හරියාගෙන එනවා වගේ....ඔහොම යං....උණුසුම් සුභ පැතුම්............

    ReplyDelete
  8. ඔන්න අද මම කමෙන්ට් කරනවා !!! කාලෙකින් ඔයාගේ කමෙන්ට් බොක්ස් එක මට පේන්න පටන්ගත්තා ..(වෙනදාට සිග්නල් නැති නිසා එය සැගවීයයි )

    හරිම ලස්සන කතාව අක්කේ . අනේ මන්දා මටනම් අහන්න හිත දෙනෙනෙ නෑ මේක ඔයාට වෙච්ච සිද්දියක්ද කියලා . හැබැයි ඉතින් ගොඩක් සාමාන්‍ය විදිහට ලියලා තියනවා . ඔයා හැම කතාවම ලියන්නේ තමන්ට ගොඩාක් ලංවෙලා . මම ඒ තාලේ කතාවලට ආසයි .

    සමහර වෙලාවට පිරිමි ටිකක් කලබලයි ඒත් හැම වෙලාවෙම නෙවේ . ඉතින් මුහුද සැඩනම් ඔරු පදින්න හොඳ නෑනේ . ඒක වටහගෙන පරිස්සමෙන් සම්බන්ධකම පරිස්සම් කරගෙන උන්නනම් ඉවරයි ..!

    ජය වේවා !!

    ReplyDelete
  9. මම එකගයි අක්කා...හිතට ඉඩ දෙන්න ඔනා... මුලු ජිවිත කාලේම නාකි වෙච්ච දෙන් එත් හිත අකමැති දෙයක් කරන් දුක් විදින්න බැ අසංවේදි මනුස්සෙක් එක්ක ඉදලා....

    ජිවත් වෙනකම් ජිවත් වෙන්න ඒ මතක් සුවද හිතේ තැන්පත් වෙලා තියෙන ජිවත් කරයි මුලු ගෙවෙන හැම තත්පරේම....

    ReplyDelete
  10. වෙනදා වගේම ලස්සනයි...

    ReplyDelete
  11. කමක් නෑ තව ඩිංගක් වයස ගියාට, හිත අඳුනගන්න බැරි මනුස්සයෙක් එක්ක එක ‍රැයකට වඩා ඉන්න බෑ.

    ReplyDelete
  12. දැනුවත්ව, නොදැනුවත්ව පතුලටම කිඳා බැහැපු සුවඳවල්........කියලාම වැඩක් නැහැ මෙයාලා.....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...