ආදරවන්තයින්ගේ දිනය පසු වී ගොසිනි. මගේ වැලන්ටයින් හමුවු අවසන් දිනය කවදාදැයි මතකයට නගා ගැනීම ද ඉතා අසීරුය. නමුත් අද උදෑසන ද මා ඔහුගේ දයාබර මෑණියන් බැලීමට රෝහලට ගියෙමි.
අප දෙදෙනා හමු වූ අපූරුවටත් වඩා ,අපූරු දෙය වන්නේ මෙතරම් කලක් අප ආදරයෙන් සිටීමයි. අවසන් හමු වීමේදී ඔහුගේ හිසෙහි ඔහු සැගවීමට තැත් කරන නමුත් ,සැම පරයා නැඟී සිටීමට වෙර දරන සුදෝ සුදු කෙස් ගසක් මා දුටිමි. එදින මා නිවසට පැමිණි වහා කණ්නාඩියෙන් පෙනෙන මගේ ප්‍රතිබිම්බය දෙස කෙතරම් වේලාවක් බලා සිටියා දැයි මටම මතක නැත. කේඬෑරි ද නොවන ඉතාම මහත ද නොවන දේහය එලෙසම පැවතුන ද , මුහුණේ වැටෙන සියුම් රැල්ලක සේයාව කෙසේ නම් සඟවන්න ද?
වැලන්ටයින්ගේ දිනය ණයට ගත් යොවුන් පෙම්වතුන් අත් දවටන් යන මාවත වුවද අප දෙදෙනාව ප්‍රතික්ෂේප නොකරනු ඇද්ද.
හදිසියේම සිතුවිල්ලට නැගුණු ආදර සිතුවිලි ප්‍රබල වූයෙන් ඔහු දැක ගැනීමේ ආසාව දරුණු වන්නට විය. අද සිකුරාදා දිනයයි. සමහර විට ඔහු අද සවස ගම්බිම් කරා පැමිණීමට ද හැකිය. ජංගමය අතට ගත් මා speed dial අංක එකට යොදා ඇති , නමුදු අඩුවෙන්ම ඩයල් වන ඔහුගේ අංකය ගනිම්දෝ නොගනිම්දෝයි දෙගිඩියාවක පසු වූයේ ඔහු සෑම විටම පාහේ කාර්ය බහුල වන බැවිනි. ජංගමයේ පුංචි තිරයේ එහා මෙහා දුවන හුරුබුහුටි කුඩා ළැදැරියගේ පින්තුරය අතරේ මා දෑස් දිවෙන විට ම
“ සරස වසන්තය ආයෙත් එනවා නම් “ ඒ මගේ රින් ටෝනයයි... ඇමතුම ඔහුගෙනි.
“ ඔයාට ෂෝට් ලීවී තිය ද ? “
“ ඇයි ? “
“ මම අද මේ හාෆ් ඩේ . මට ඔයාව මුණගැහෙන්න ඕනි “
“ හා හොඳයි. මාත් එන්නම්. එහෙනම් පුරුදු තැනට එන්න. පරිස්සමින් “
කෙටි නිවාඩුව ලබා ගැනීමට ගිය විටද ප්‍රශ්ණ වැලකි. එයින් අපහසුවෙන් ගැල වුන මා අත් බෑගය හා කුඩය ද රැගෙන මහ මඟට පීලි පැන්නෙමි.
පාසල් පොත් විකුණන සාප්පුවේ වීදුරු දොර අතරින් පෙනෙනා රතු පැහැති රෝස මල් මට සිහි කරවූයේ , තවමත් පහ නොවී ගිය වැලන්ටයින් උණුසුමයි.
පොත් සාප්පුවට ගොඩ වූ මම. රෝස මලක් ඉල්ලා ගත නොහැකිව ..... ලතවෙමින් සිට ඩයලොග් රී ලෝඩ් කාඩ් පතක් මිලට ගෙන කඩයෙන් පිට පැන්නෙමි.
බොහෝ දිනකින් ඔහු හමුවන අද වැනි දිනක හිස් අතින් යෑම ද කළ නොහැකිය. නොදැන වුව ද පා එසවුනේ රෙදි පිළි මන්දිරයකටයි.
ඔහු වෙනුවෙන් ගත් ලා නිල් පැහැති පසුබිමේ සිහින් තද නිල් ඉරි වැටුන වෑන් හුසේන් වර්ගයේ අත් දිග කමිසය මගේ සිත පුරවා ලන්නට සමත් විය. ටයි පටියක් තේරිමට ගිය මා ටයි පටි අතරේ අතරමං ව හිදිද්දි ටයි පටි අතරින් ගිලිහුන නෙත් රෙදි පිලිමන්දිරයේ පහල මාලයේ සාරි සහිත කොටසට දිවුවේ ගෑණු සිත නිසා වන්නට ඇත.
ඒ කොටසේ සාරි ගොඩක් අතරේ අතරමං වී ඇති ඔහු කවුද ? සිහින් සිනාවක් මුවඟට රැදුනි. සෙමින් තරප්පු පෙල බැස ගත් මා ඔහු වෙත ආසන්නවනවාත් සමඟම එක් වරම මා වෙත හැරුණු ඔහු.
“ ඔයා. . . . “
“ හ්ම් ... ඔවු මම තමයි. ඔය මහත්තය කාටද සාරි තෝරන්නේ. “
“ ඔය නෝනගෙ අතේ තියන කමිසය බලන්න දෙන්න බැරිද ටිකක් “
“ ආහා . . . ඒක ගත්තෙ මගෙ මහත්තයට “
නැවතත් විශ්ව විද්‍යාල අවධියට ගිය මාත් ඔහුත් පුංචි තේ කඩයකින් උණු උණු පරිප්පු වඩේ කා. දිව පිච්චෙන තේ දෙකක් තරඟයට බීවෙමු.
ඔහුගේ වත වෙහෙසින් බරවී ඇතත්. දිලිසෙන දෙනුවන පවසන්නේ නොසන්සිඳුනු ආදරය නොවේ ද?
සිනා ඟග කුමයෙන් නිවී ගොස්, දොඩමළු වත නිහඬ වු යාමයෙන් පසු එළඹියේ සංවේදි මොහොතයි. ඔහු මා වෙනුවෙනුත් ,මා ඔහු වෙනුවෙනුත් ගත් ත්‍යාග හුවමාරු වීමේදී මගේ නෙතට ඉනූ කඳුළක් රෑටා ගොස් ඔහුගේ ලැප්ටොපය සහිත බෑගයේ පතිත විය.
“ මේ . . . ඉතින් බලන්න ළමයො මා දිහා. මේ මම ඔයාට අරන් දෙන අන්තිම තෑග්ග.“
“ ආහ් ....“
“ මේ බලන්න. මේ වගේ තව එකක් ගන්න ඔයා හිතන්නවත් එපා තේරුනා ද ? “
බිමට නැඹුරුව තිබූ මගේ දෙනයන සැනකින් එසවුනේ ඔහුගේ මේ තේරුමක් නැති වචන මා සිත සසල කළ නිසා වෙනි.
ඔහුගේ අතේ වූයේ රන් මුදුවක් රැඳවු කුඩා නමුත් හැඩති ජුවලරි බොක්සයකි.
“ මම දන්නවා. ඔයාමා වෙනුවෙන් ගොඩක් ........................................“
“ ම්ම් . . . . අපි කසාඳ බදිමු “
“ දැන් ! , “
“ ඔවු මේ දැන් ! , ඇයි මට කැමති නැද්ද දැන් ඔයා. මම නාකි වෙලා නම් තමයි දැන්. “
“ ආහ් ... හැබෑ ද? ඇයි මම කියල වෙනසක් “
“ හෙට උදේම අපි රෙජිස්ටර් කරමු . ඔයාට වෙඩින් එකක් ගන්න ඕනි ද? “
“ මට , ! ! එපා . . මේ දැන් වුනත් කමක් නැහැ අපි ඔයාලැයි ගෙදර යමු“
“ අපෝ මෙයැයිට තියන හදිස්සියක් . මා ළඟින් ඉන්න ඔච්චර කැමති ද? “
“ හ්ම් .. ඔවු ගොඩක් . . . .“
මට දකුණු පසින් , සුසුම් වදින තරම් ළංව සිටි ඔහුගේ , උරහිසට බරවූ මම, මීට වසර ගණනකට පෙර විදි උණුසුමම රැදි ඔහුගේ පපුවේ කඳුළු පිරි මගේ වත සැගවූවෙමි. ඔහුගේ ආදරණිය ඇඟිලි තුඩු වල බර පහස මගේ හිසට දැනෙද්දී , පිටවු සිහින් ඉකිය වලකා ලීමට මට නොහැකි විය.
“when valentine comes there is no such thing as being late ,
you are never ever too late to meet your valentine, ,”
- Ravi Aiya-
වසන්තයේ අග සුවඳැති මල
මම
෴ සොඳුරු සිත ෴