..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, January 21, 2011

෴ සනී ගේ දියණිය / Sunny's Daughter ෴

එදින මා කාර්යාලයට පැමිණියේ මදක් පමා වීය.. ලහි ලහියේ කාර්යාල ගේට්ටුවෙන් ඇතුල් වෙත්ම මා දුටුවේ මේ දැන් පින්නෙ පිපුන මලක් වන් පුංචි දියණියකි. පාසල් නිල ඇදුමින් සැරසී සිටි ඇය , ඇයට නොතරම් තරම් බරක් රැඳී පාසල් බෑගයද කරේ ලා ගෙන , වතුර බෝතලයේ දිගු පටිය කටින් සපමින් ජිල් බෝල වැනි ඇස් වල ඔන්න මෙන්න බිමට වැටෙන්නට තිබූ මහ විශාල කඳුළු ගුලි දෙකක් රදවා ගෙන සිටියාය.

ඇගේ හුරුබුහිටි ගතිය මා නෙත් පැහැර ගනිද්දි , ඇගේ අසරණ විලාශය ම‘සිත පැහැර ගන්නට විය. කාර්යාල මුර කුටියේ සිටි ආරක්ෂක මහතාගේ පුංචි දියණිය මා හොඳින් හඳුනමි. ඇය මතක් වී මා මුවඟ මදහසක් නැඟුනි. ඇය එතරම් දඟ මල්ලකි. මේ වෙන ත් මා නොහඳුනනා ගසක පිපි මලකි.

“ හේමන්ත , කවුද මේ දරුවා. ඇයි මේ මෙතන “

“ දන්නෙ නැහැ මිස්. . . අම්මව සොයන් ඇවිත් තියෙන්නෙ. ස්කූල් වෑන් එකෙන් දාලා ගිහින් ලු. .“

“ ඉතින් ඇයි මෙතන තියන් ඉන්නේ. ඇතුලට යවන්න එපෑය. “

“ පුතා . . අම්මයෙ නම මොකක් ද දරුවො “ ඇය වෙත මදක් පහත් වූ මම ඇගේ කිරි දත් වලට මැදිවී වේදනා විදිමින් සිටි වතුර බෝතලයේ ප්ලාස්ටික් පටියට නිදහසක් ලබා දෙන ගමන් ඇසිමි.

“ ම් ම් හින්නි නෝනා “

“ අනේ සත්තරනේ . . ඒ ගමේ කියන නමනෙ . .“ ඇගෙ හිස අතගාන ගමන් මම පැවසුවෙමි.

“ ස්කොලෙ රතු පොතේ ලියන නමද ? චන්ද්‍රවතී සමරසිංහ “

“ ආහ් හේමන්ත එහෙම කෙනෙක් කොහෙද අපේ ඔෆිස් එකේ “

“ ඒක තමයි මිස් මම කීවේ “

“ දූවේ දූට හොඳටම විශ්වාස ද ? අම්ම වැඩ කරන්නෙ මෙහේ කියල ? “

“ ඔවු . . ඔවු “

“ අපි පන්සල් යන කොට අම්ම අපිට පෙන්නුවෙ මෙතන තමයි. “

“ හරි හේමන්ත . .මම මෙයාව ඇතුලට එක්කන් යන්නම් “

ඇයව අතින් ගෙන මම ඉස්සර වූයෙමි. යමින් ගමන ඇගෙන් මා විමසුවේ ඇගේ මව කොයි වගේද  යන්නයි.

“ අපෙ අම්ම ලස්සනයි “

“ ඔවු දුවේ. මයෙ අම්මත් ලස්සනයි. .දූලයි අම්ම මහත ද? සුදු ද ? කොණ්ඩෙ දිග ද? “

“ නැහැ නැහැ ...අපෙ අම්ම කෙට්ටුයි. ..කොණ්ඩෙ ටිකක් සුදුයි.“

“ අද මොකක් ද අම්ම ඇඳන් ආවෙ පැටියො “

“ අම්මා . . . . සායයි හැට්ටෙයි “

“ සායයි හැට්ටෙයි “

මගේ සිතේ ඇති වූ කුකුස නිවරදිය. . . . . ඇගේ මව අපේ කාර්යාලයේ ක්ලීනින් සර්විස් කම්පැනියෙන් සේවයට එවූ අලුත් ගැහැණිය වන්නට ඇත.

මිට පෙර රාජයේ කාර්යාල වල සිටි සනී කම්කරුවන් දැන් නැත. ඒ වෙනුවට ඇත්තේ එම සේවා සපයන පුද්ගලික ආයතනයි.එය මා බෙහෙවින් අගය කරමි. සනී කම්කරුවන්ට විදින්නට සිදුවූ අකටයුතුකම් හා විවිධාකාරයේ දුක් ගැහැට විදිනවාට වඩා ඔවුන් වෙනත් රැකියා සොයා ගන්නෙ නම් මැනවයි මට සිතුන වාර අනන්ත අප්‍රමාණ වීම එයට හේතුවයි.

මා ගේ පෙර සේවා ස්ථානය වූයේ අධ්‍යාපන ආයතනයකි. එවක එහි සිටි සනී කම්කරු වැසිකිලි සේදීමට යන්නේ හොඳවයින් පදම් වී ගෙනය. මේ ගැන ප්‍රධානියාට ගතු කේලම් කී අයගේ හිස මල් පුබුදමින් දිනක් සවස බීමතින් ශීෂ්‍යයින් භාවිත කරන පේලි වැසිකිලි සෝදමින් සිටි ඔහුව හදිසියේම ප්‍රධානියා අභියසට කැදවූයේය. ඒ අවස්ථාවේ දී මාද ප්‍රධානියාගේ කාමරය තුල යම් රාජකාරි වැඩක් සම්බන්ධව විමසීකට ගොස් සිටියෙමි.

ආයතන සංග්‍රහයේ සඳහන් පරිදි බිමතින් සේවා ස්ථානයේ හැසිරිම සේවයෙන් පහ කිරිමට තරම් වන වරදකි.

ඔහුට දැඩිසේ අවවාද කෙරිනි. යලිත් මෙසේ බීමතින් සිට හසුවුවහොත් රැකියාවෙන් නෙරපීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවට අවවාද කෙරිනි. ඉතාම බයාදු ගතියක් පෑ ඔහුගේ මුහුණ බිමට බරවී තිබිනි. දෑසේ නලියන්නේ තෙතමනය ක්ද බිමත්කම වැඩි වු බඹන මතක් දැයි සිතා ගැනිමට මට නොහැකි වුවත්. බීමත් ඔහු ගැන කෝපයක් වෙනුවට ම‘සිත ඇතිවූයේ දැඩි කම්පනයකි.

එදින සවස ඔහු මා හට මුණ ගැසුන අවස්ථාවේ මාද ඔහුට අවවාද කරන්නට ගියේ රැකියාව නැති වුව හොත් ඔහුගේ අසරණ දරු පවුල වැටෙන අඳුරු අගාධය ගැන සිහි කරමිනි.

ඔහු පැවසුවේ මෙපමණකි.

“ නෝනෙ නම් කියයි. හොද සිහියෙන් ගිහින් ඒ කක්කුස්සි හෝදන්න බැරි නිසා නෙ නෝනෙ මම බොන්නෙ. “

“ ආහ් මිස් අද දූවත් එක්කන් ආව ද. අනේ හරි ලස්සනයි. “

ඒ හඬින් බිදුන අතීත සමරුම් අතරින් වර්තමානයට . . . .

“ කාගෙද බන් ඇත්තටම. . . හරි ලස්සන කෙල්ල. උඹලගේ අයියගෙද ? “

“ නැහැ . . .මේ මේ . . . . . “

ඇය වැසිකිලි සෝදන මිස් සමරසිංහගේ දියණිය බව කීමට ඇත්නම් යැයි මට සිතුනි. ඇය එවැන්නියකගේ දියණියක බව මොවුන් කියටවත් විශ්වාස නොකරනු ඇත. 

පුංචි කෙල්ලගේ පාසල් නිල ඇඳුමට අනුව ඇය යන්නේ නගරයේ ඇති ජනප්‍රියතම හා හොඳම පාසලටය. ඇදුමද කිරි සුදුය. පිලිවලය. පාසල් බැගය. පාවහන් එයටම සරිලන ලෙසිනි. හොඳ සැප විදින පවුලක දියණියක සතු සියළුම බාහිර ආටෝප ඇය සතුය. ඒත් . . . . . 

ඇය මින් පෙර ගමේ පාසලට ගිය බවත් ශිෂ්‍යත්වය සමත් වූ පසු මේ වසරේ සිට නගරයේ පාසලට යන බවත් අද දින පමා වූ නිසා පාසල් වෑන් රථය මඟ හැරින බවත්, තව ටිකක් ලොකු වූ පසු පාසල් බසයෙන් පාසලට යන බවත් ගිරවියක මෙන් ඇය මට පැවසුවා මතකය.

ඇගේ මව මා තරමක් හඳුනන්නේ , අපගේ නිවසේ වහල සෑදීමේදි එයට සහභාගී වු දක්ෂතම ආගන්තුක වඩුවා ගේ බිරිඳ ඇය නිසාය. දිනක් ඇය ඔහු සොයා ආවේ හදිසි අතමාරුවක් ඉල්ලා ගැනිමටය. ඇය සමඟ එදින මා කතා බස් කළද කාර්යාලයේ ඇය සමඟ කතා බස් කිරීමට මට අවස්ථාවක් නොලැබුනේ ඇය සෑම විටම පාහේ මා මඟ ඇරීමට උත්සාහ කළ නිසාය. එය තේරුම් ගත් මම ඇය සමඟ කතාවට ඇති කැමැත්ත අත්හැරියෙමි.

පුංචි දියණිය මගේ කාර්යාල මේසය අභියස නතර කළ මම ඇගේ මව සොයා හනික පිය මැන්නෙමි. ඉහල මාලයට යන තරප්පු පෙල අසලදී ඇය මට මුණ ගැසුනේ වැසිකිලි පිරිසුදු කරන බෙහෙත් බෝතල් රැසක් රැඳවූ බාල්දියක් සහ වෙනත් පිරිසිදු කිරීමේ ආම්පන්න රැසක් සමඟිනි.

“ චන්ද්‍රවතී . ඉක්මන් කරල ඔය ටික තියල එන්න. අන්න ස්කූල් වෑන් එක මිස් වෙලා දුව ඇවිත් ඔයාව සොයා ගෙන “

ඇය කලබලයට පත් වුවාය. ලහි ලහියේ යලිත් උඩු මහලට දිව ගිය ඇය. පහල මාලයට පැමිණියේ පිරිසිදුවත් පිලිවලටත් සැරසී ගෙනය.

මා සිටි මේසය අසල ආ ඇය වදනකුදු නොදොඩා දියණිය ද අතින් ගෙන ලහි ලහියේ කාර්යාල පරිශ්‍රෙයන් පිටව යනවාත් . . . කාර්යාල සහෝදර නිලධාරීන් අපූරු මාතෘකාවකට යොමු වෙනවාත් . .  සමඟම ගොඩ ගැසී ඇති ලිපි ගොනු වෙත මගේ දෑස යොමු විය.


රාජ්‍ය අංශයේ මැද පෙළ පිතිකරුවකු වන 
මම
෴ සොඳුරු සිත ෴

ප/ලි :- මාගේ පෙර සේවා ස්ථානයේ සිටි සනී කම්කරුවාට පිරිමි කාර්යාල මණ්ඩලය භාවිත කරන වැසිකිලි යක තිබී හමුවූ  රේඛනය කරන ලද චෙක් පතක් නැවතත් ප්‍රධානියාට ගෙනවිත් බාර දුන් අයුරුත්. ආපදා ණයක් සම්බන්ධයෙන් ලියවුන එය ලක්ෂ ගණනක චෙක් පතක් වීමත්. එය මාරු කර ගත නොහැකි වූ පසුව බොරුවට ගෙනවිත් යලිත් බාර දුන් වංචාකාර සොරකු ලෙස හංවඩුවක් ඔහුට තෑගි ලෙස ලැබුන බවත් මතක් කිරීමට කැමැත්තෙමි.

අහිංසක සනී කම්කරුවා රේඛනයක් යනු කුමක්දැයි නොදන්නා බවට මෙන්ම ඔහුසිත කිසිදු වංචා සහගත සිතුවිල්ලක් නොවූ බව විශ්වාස කළ සුළුතරයේ මා ද සිටියෙමි.

එවන් ගුණමකු මිනිසුන් ගේ ආයතන ප්‍රධානියකු වී ඔහුගේ පුතා ,ඇයගේ දියණිය පැමිණෙන දින ඉක්මනින්ම එලඹේවායි මම පතමි. 

සනී කම්කරු යනු - සනීපාරක්ෂක කම්කරුවායි.... 

19 comments:

  1. කියන්න වචන නෑ...

    ReplyDelete
  2. නගේ බොහෝ ආයතන වල ප්‍රධානියන් වන්නේ, එවන් දුක් ගින්දර ඉසිලූ දෙමාපියන්ගේ දරුවන්ය... අවාසානාව නම් ඒ තැන්වලට ආපසු ඔවුන්ට අතීතට අමතක වීමය / කරළීමය..

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම් මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ

    ReplyDelete
  4. අම්මෝ හොද වෙලාව ආවෙ... මං මේ අදත් බලලා පොලීසියට යන්න ගියේ අපේ මාතර "ගජමන් නෝනා" නැති වෙලා හොයලා දෙන්න කියලා..... :D

    තරහා නෑනේ නේද නමට...

    ReplyDelete
  5. ඔය කියන අම්මද මංදා මගෙන් ඇහුවා පුතේ මේකටද ලැප්ටොප් එක කියන්නෙ කියලා...

    ඒ ළමයාගේ අම්මා ළමයට කියලා තියෙන්නෙ බොරුද එතකොට ?

    ReplyDelete
  6. කතාව ලස්සනයි වත්

    අපි කවුරුත් අපේ ජොබ් එකේ දී ස්ටේටස් බලාපොරොත්තුවෙනවනෙ .ඒක සනිපාරක්ෂක කම්කරුවෙකුටත් පොදුයි . අපේ ඔෆිස් එකේ නම් ඒ අයට ගොඩක් හොඳ සැලකිලි ලැබෙනවා . අපේ කෑම මේසෙම කෑමත් කනවා .අපිට ඒ අය තේත් හදනවා. ඒ වගේම ඒ අයගේ පිරිසින්දුකම , සෞඛ්‍ය රැකගෙන වැඩ කරන්න පහසුකම් දිල තියෙනවා .

    මම හිතන්නෙ හැම ඔෆිස් එකකම රියදුරන් , කම්කරුවන් වගේ අය ලොකු සේවයක් කරනවා කාර්යාල පවත්වාගෙන යන්න , අපි ඒ අය අගය කිරීම වැදගත් .මම පුරුද්දක් හැටියට මට තේ ගෙනෙන අයටත් ගමන අවසානයේ මගෙ රියදුරාටත් තැන්ක් යූ කියනවා . ඒ මාව බඩගින්නෙ නොතිව්වට සහ පරිස්සමෙන් ගමනාන්තයට ගෙනාවට.

    ReplyDelete
  7. කතාව ලස්සනයි වත්

    අපි කවුරුත් අපේ ජොබ් එකේ දී ස්ටේටස් බලාපොරොත්තුවෙනවනෙ .ඒක සනිපාරක්ෂක කම්කරුවෙකුටත් පොදුයි . අපේ ඔෆිස් එකේ නම් ඒ අයට ගොඩක් හොඳ සැලකිලි ලැබෙනවා . අපේ කෑම මේසෙම කෑමත් කනවා .අපිට ඒ අය තේත් හදනවා. ඒ වගේම ඒ අයගේ පිරිසින්දුකම , සෞඛ්‍ය රැකගෙන වැඩ කරන්න පහසුකම් දිල තියෙනවා .

    මම හිතන්නෙ හැම ඔෆිස් එකකම රියදුරන් , කම්කරුවන් වගේ අය ලොකු සේවයක් කරනවා කාර්යාල පවත්වාගෙන යන්න , අපි ඒ අය අගය කිරීම වැදගත් .මම පුරුද්දක් හැටියට මට තේ ගෙනෙන අයටත් ගමන අවසානයේ මගෙ රියදුරාටත් තැන්ක් යූ කියනවා . ඒ මාව බඩගින්නෙ නොතිව්වට සහ පරිස්සමෙන් ගමනාන්තයට ගෙනාවට.

    ReplyDelete
  8. මිනිස්සු දිහා මිනුස්සුම බලන්නේ එක එක විදිහට නේද අක්කේ... අපි අපිගැන වගේම අනිත් අය ගැනත් බලනවානම්....

    ReplyDelete
  9. නියමයි අක්කියාස්,

    ආදරය අවැසි වුන්ට ආදරය කරන අව්‍යාජ සිතුවිල්ලට.මමත් හැමදම ආදරෙයි.

    ReplyDelete
  10. රාජ්‍ය අංශයේ පෞද්ගලික අංශයේ සියලුම සේවා ස්ථානවල සුළු සේවකයන්ගේ පොදු ඉරණම මෙයයි. මෙය කිසිදා නැවැත්විය හැකිවේද යන්න ප්‍රශ්නයකි මන්ද සුළු සේවකයන්ගේ දරුවන් ආයතන ප්‍රධානින් වුවත් ඔවුන් සුළු සේවකයන්ට සලකන ආකාරය බොහෝ දුරට මෙපරිදීම විය හැක.

    මෙහිදී අවශ්‍යවන්නේ වඩාත් කාරුණික පුද්ගලයන් ආයතන ප්‍රධානින් බවට පත්වීමයි එවිට තත්වය මීට වඩා බොහෝ යහපත් වනු ඇත.

    // අහිංසක සනී කම්කරුවා රේඛනයක් යනු කුමක්දැයි නොදන්නා බවට මෙන්ම ඔහුසිත කිසිදු වංචා සහගත සිතුවිල්ලක් නොවූ බව විශ්වාස කළ සුළුතරයේ මා ද සිටියෙමි.//

    මෙම සිද්ධිය මා විශ්වාස කරන පරිදි ආයතන නිලධාරියාගේ ගොන් පා(ර්)ට් එකක් විය හැක. ඔහු සත්‍ය සිද්ධිය දන සිටියත් කිසිවෙකුට හෝ බැන වැදී තම සිත කරගන්නා මානසිකත්වයේ ඔහු සිටියා යයි කිව නොහැකිද ?

    ReplyDelete
  11. අර චෙක් එක ගෙනල්ලා දීලා අපහාස විඳපු මනුස්සයාගේ සිද්ධිය තමයි මට මීටත් වැඩියෙන් හිතට වැදුනේ...

    පොඩි කාලේ පාඩම් පොතේ තිබුණේ 'නූල් කෑල්ල' කියලා කතාවක්... එකත් මතක්වුණා...

    ReplyDelete
  12. හරිම සංවේදී කතාවක්, අපේ අතිනුත් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේවගේ මදි පුංචිකම් වෙනව ඇතිද. හිතට තට්‍ටු කලාට බොහොම ස්තූතියි !

    ReplyDelete
  13. මම ඉන්නෙ රටේ පාර අතුගාන මනුස්සයත් එන්නෙ කාර් එකේ. ඒ මිනිහෙක් දිහා අනික් මිනිස්සු බලන්නෙ තවත් රැකියාවක් කරන කෙනෙක් විදියට විතරයි. සමහර ඉගෙන ගන්න ළමයිනුත් පාට් ටයිම් විදියට නොයෙකුත් වැඩ කරනවා. ඒත් ලංකාවෙ මිනිස්සු එහෙම හිතන්නෙ කීයෙන් කී දෙනාද? ආකල්ප මුලින් හදාගෙන ඉන්න ඕනා රටක් හදන්න කලින්. මට හිතෙන්නෙ එහෙමයි.

    ReplyDelete
  14. මිනිස්සු කව්රුත් එකයි කියන එක මිනිස්සුන්ටම නොතෙරෙන එකනෙ වැඩේ කියන්නේ.......
    පේන්නම බැරි කොටසක් තමයි පඩ ශෝ දාන ලොක්කො කියන සොක්කන්ව.....

    ReplyDelete
  15. What each & every one of us does is important in it's own way,
    No job is higher neither lower for all it's worth,
    What's really important is not what you do for a living,
    But how well you do what's expected of you, for that matter,

    සානුකම්පිත ඇහැකින් බලල ලිව්ව කතාව අගෙයි වත් නංගි,

    ReplyDelete
  16. ලස්සනයි වත්. අර කෙලිපොඩ්ඩ හිතේ මව්නා....... :)අයතනයක් තුලදි ගොඩක් වෙලාවට ඔවැනි දෙයක් සිදු උනාම වැරදි ඇහැකින් බලන්නෙ පහල සේවකයින් දිහා විතරයි ඒ දේම ඉහල සේවකයෙක් කරන්න පුලුවන් කියලා හිතන්නෙ නෑ ගොඩක් විට.

    ReplyDelete
  17. බටහිර රටවල් වල වගේ රැකියාවේ ලොකු පොඩි වෙනසක් නැතුව සමාන අයිතිවාසිකම් ලබමින් හොඳ වැටුප් ලබමින් හොඳ ජීවිත ගත කරන්න අපේ රටේ අයට ඉඩ ලැබෙන දවස ඉක්මනට උදාවේවා කියලා මම නම් පැතුවේ මේ සංවේදී කතාව කියෙව්වට පස්සේ.

    ReplyDelete
  18. කතාව ඔන්න දෙපාරක්ම කියෙව්වා. මුකුත් නොකියා යන්නත් ගිහින්, මේ කමෙන්ටුව කෙටුවෙ. මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.

    ReplyDelete
  19. හ්ම්ම්ම්ම්.....

    දුකා අයියා කියපු කතාව තමයි මටත් කියන්න තියෙන්නේ...
    ඓහෙම රටක් බවට පත්වෙන්න කුල මල ජාති ආගම් බේද ඔක්කෝටම ඉස්සෙල්ලා ඉවත දාන්න වෙනවා...එහෙම නැතිව නම් පන්ති බේදය නවත්වන්න බෑ....

    සංවේදී කතාවක්....වෙනදා වගේම අනර්ඝ විත් සුපිරි....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...