..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, January 16, 2011

෴පොත් හොරා (ii) ෴

 පොත් හොරා 1 මෙතනින් ......


කාලය ගෙවිල ගියා.මගෙත් කල දවස ආවා.ගෙදරින් ගෙනාව හොඳ විවාහ යෝජනාවකින් මම විවාහ වුනා. විවාහ උත්සවයට ආවා මම කලින් පොත නැති කරපු පුස්තකාලේ පුස්තකාලයාධිපතිනියත්. එයා දැක්ක ගමන් මම කීවේ මම මිස්ට පොතක් ණයයි කියල. හීනියට හිනා වුන මිස් කීවේ මට ලොකු කතන්දරයක් කියන්න තියනව කියලයි.

පොත නැති වුනාට පස්සෙ මම පුස්තකාල ගමන සම්පූර්ණයෙන්ම නතර කළ නිසා මිස්ට මට ඒ කතාව කියන්න අවස්ථාවක් ලැබිල නැහැ. අප්පච්චිගේ යාළූවෙක් වුන නිසා අප්පච්චියා තමයි මගේ වෙඩින් එකට එන්න පුස්තකාලයාධිපති මිස්ට ආරාධනා කරල තියෙන්නේ.



මගේ පුස්තකාල ගමන නැවතිලා ටික දවසක් ගියාට පස්සෙ පුස්තකාලයාධිපති නමට තැපෑලෙන් ලියුමක් ඇවිත් තිබිල මේ සම්බන්ධව. ඒ ලියුම එදා වෙඩින් එක දවසෙ මිස් අරන් ඇවිත් තිබ්බා. මගේ මංගල තෑග්ග විදිහට. පොතේ වටිනාකමට වඩා දෙගුණයක් වටින චෙක් පතකුත් ඒ ලිපිය සමඟ තිබිල තියනවා.




එදා වෙඩින් එක දවසෙ මට සුබ පතලා සමුගන්න වෙලාවේ මිස් මගේ අතේ ගුලිකරපු ලියුම් කවරයේ තිබිල තියන්නේ තෑගි විදිහට ගෙනාපු මුදල් විතරක් නෙමෙයි. අර පුද්ගලයා එවපු ලිපියත් ඒකෙ ඇතුලෙ කියල මිස් මගේ කම්මුල් සිපගද්දි කණට කරල රහසින් කීවා.


ඒ වෙලාවෙ ඉඳල මම හිටියෙ ඒ ලිපිය කියවන්න නොනිම් ආසාවකින්.මට තෑගි ලැබුන ලියුම් කවර ඔක්කම අප්පච්චියා අතට දුන්නත් මිස් දුන්න ලියුම් කවරය මගේ ලඟ තියා ගන්න මම පරිස්සම් වුනා. ගැහැණු ළමයෙක්ගෙ ලස්සනම දවස වෙච්ච මධුසමයට පිටත් වෙන්න මනමාලයගෙම කාර් එකට නැග්ග. ඔහු හරි හොඳ මහත්මයෙක් වගේ පෙනුනත් තවමත් හරි හැටි නොදන්න ඔහු ඉදිරිපිට මේ ලිපිය දිග හැර බලන්න මට තිබ්බේ හිතේ දෙගිඩියාවක්.


“ ඔයාට මහන්සිද “


මා දිහා බලල කරුණාවන්ත විදිහට හිනාවුන ඔහු ඇහුව.

“ ටිකක් “


අතේ ගුලිවෙලා තිබ්බ ලිපිකවරය තව තවත් ගුලිකර ගන්න ගමන් මම පිළිතුරු දුන්නා.

මධු සමය ගෙවන්න වෙන් කරල තිබ්බෙ ලස්සන පළාතක තිබ්බ පුංචි නවාතැනක්. කමක් නැහැ නවාතැනට ගියහම බලනවා. මම හිත හදා ගත්ත.


නවාතැන ළඟ ඔහුගෙ කාරය නතර වුනා. “බහින්න“ මා සිටි පැත්තේ වාහනයේ දොර අරින ගමන් ඔහු හරි දයාබර විදිහට කීවා. තවමත් අතේ තිබ්බ වේලයත් දිග සාරියත් නිසා මට වාහනයෙන් බහින්න අපහසු බව හඳුන ගත්ත ඔහු මගේ අත ගන්න ඔහුගේ දකුණත මා දිහාට යොමු කරා.


මගේ දකුණතේ වේලය ගුලි වෙලා තිබ්බා වමතේ අර වටිනා ලිපිය. ඔහුගෙ දකුණතට මගේ වමත දෙන්නත් බැහැ. මගේ සිත මොහොතකට නතර වුනා.


“ බහින්න ළමයො...මෙහෙමත් ලැජ්ජාවක් “


එවර නම් ඔහු කීවේ ශෘංගාරය පිරුණ හඬකින්.කලබල වුන මගෙ හිත එක්කම මගේ වමත නොදැනිම ඔහු වෙත දිගු වුනා. ලියුම බිමට වැටුනා.


ඔහු දිහාත් බිම වැටුන ලිපි කවරය දිහාත් මාරුවෙන් මාරුවට බලපු මම දෙපාරක් හිතන්නෙ නැතිව ලිපිකවරය ඇහිද ගත්තා....


“ හහ් හහ් හා ....... මෙහෙමත් නෝන මහත්තයෙක් , කොහොම හරි එක සල්ලි කවරයක් ඉස්සුව නේද ? “


හඩනගා සිනාසුන ඔහු මාවත් එක්කරන් නවාතැන් කාමරයට ගියා.


“ හරි මහන්සි ළමයො.ඔයා ඇඟ පත සෝදගන්න. අදට විතරක් තනියම. හෙට ඉඳල දෙන්නම එකට “


සැහැල්ලු දඟකාර බවින් කීව ඔහු මගේ විශාල ඇඳුම් බෑගය අරින්න වුනා.


“ නැහ්..... ඔයා ඉස්සෙල්ලා..... මට කොණ්ඩ කටු ගොඩක ගලවන්න තියනවා “


හිත අග රැඳුන රහසකුත් එක්ක මම එහෙම කීවේ ඇයි කියල ඔයාල දන්නව.


අපොයි ඇත්ත. එහෙනම් මගෙ කෙල්ල කටු ටික ඉක්මනට ගලවගන්න. ඉතිරි හරිය මට තියන්න නිකටින් අල්ලල මගෙ මුහුණ සොලවපු ඔහු නාන තුවායත් අරන් නාන කාමරයේ දොර තුලින් නොපෙනී ගියා.


“ පිස්සු කොල්ලෙක් .  . . .මට නම් හරියාවිද මන්ද , තැන්පත් ගතිගුණ වලට කවදත් කැමති මට මොහොතකට එහෙම හිතුනත් ඊළඟ මොහොතෙ නෙත් දිවුවෙ තවමත් අතේ ගුලි වුන ලියුමට.


නැවතත් නාන කාමරයේ දොර දිහාවට එල්ල වුන මගෙ ඇස් දොර පලු අතරින් ඟලා ගෙන එන ඔහුගේ සිවුරුහන් බෑමත් එයටම හරියන ජලධාරා වල සියුම් ශබ්දයත් නිසා තව ටික වෙලාවකට ඔහු එළියට නොඑන බව සැක හැර දැන ගත්තා.


එක අතකින් මොකටද මම මේ ලියුම දිග අරින්න බය වෙන්නෙ .ඔහුට සඟවන්නේ. ඒත් පුස්තකාලයාධිපති කිව විදිහට “ කෝකටත් අරයට නොපෙනෙන්න බලන්න , කවුද දන්නේ මනුස්ස මොන වගේද කියල“


ගැහෙන ඇගිලි වලින් ලිපිකවරය විවෘත කරපු මම එහි තිබ්බ මොණර කොළ අතරින් කඩදාසි කොළය සීරුවට අර ගත්තා.


ගරු මහත්මයාණනි,


2000/09/13 දිනට බාර දීමට නියමිතව තිබූ “චාල්ස් ඩිකන්ස් ගේ දෙනුවර අන්දරය පොත “ අහඹූ ලෙස මා අතින් අස්ථානගත වූ අතර ඒ සඳහා නියමිත වටිනාකම සහ අදාළ දඬ ද සහිතව චෙක් පතක් මේ සමඟ ඔබ වෙත එවමි.ස්තූතියි.


විශ්වාසී
(අත්සන)


මගේ මුවඟට නැගුනේ සිනාවකි. එහෙනම් හොරා හොඳ හොරෙක්. සිනාව නිමා වෙන්නටත් කලින් මගේ අතේ රැදි තිබූ ලිපිය පිටු පසින පැමිණි යමෙකු විසින් ඩැහැගනු ලැබුනි. ආපසු හැරී බැලු මා දුටුවේ දිය නා අහවරව තුවායද දවටන් පැමිණ සිටි මගේ දයාබර සැමියායි.




ඔහුගේ දැස් දීප්තියෙන් බබලන්න වුනා.

“ කොහෙන් ද මේක “


ඔහුගේ නෙත් වල දීප්තියත් , නොඉවසිලිවන්ත බවත් දැකල බය වුන මගෙ හිත සිද්ධ වෙච්ච සිද්ධිදාමය අකුරක් නෑර ඔහුට පැවසුවා......මගේ පොත ගන්න ඇත්තේ එදා බසයේ සිටි පුද්ගලයා බව සිතන බවත් මම ඔහුට පැවසුවා.


අවසානයේ සිහින් සිනාවක් සමඟ රාගික දෑස් මා වෙත යොමු කරපු ඔහු පැවසුවේ.... පොත් හොරා අහුවුනොත් මොකද කරන්නේ කියායි.


පුදුමයෙන් මා ඔහු දෙස බලා සිටි අතර වාරයේ තම තෙත කොණ්ඩයේ දිය බිඳිති මා මුහුණේ විසුරුවන ගමන් ඔහු පැවසුවේ....


“ දැන් කරන්න දෙයක් නැහැ මගෙ කෙල්ලෙ, ඔයාගේ පොත් හොරා තමයි දැන් ඔයාගෙ මහත්තයා වෙලා ඉන්නේ.ගෙදර ගියාම මම ඒ පොත දෙන්නම්. “


“ මොනව එතකොට පොත ඔයාගේ අතින් නැති වුනෙ නැද්ද ? “

“ පිස්සු ද ළමයො. ඒ පොත මා ළඟ පරිස්සමට තියනවා. “


“ එතකොට බෙහෙත් තුණ්ඩුව “


“ හහ් හහ් හා . . . .  බෙහෙත් තුණ්ඩුවක් ඒකෙ ඇතුලෙ තිබ්බෙ නැහැ කෙල්ලෙ. ලස්සනට කවි ලියපු පුංචි චිට් කෑලි වගයක් නම් තිබ්බා “


“ හැබෑ ද? “

“ ඉතින් අපි දෙන්නගෙ සම්බන්ධය ගොඩක් පරණයි කියල ඔයාට දැන් හිතෙන්නෙ නැද්ද ළමයො... දැන් වත් ගිහින් වොෂ් එකක් දාගෙන එන්න. පොත් වල හංගන්න දාපු කවි ගැන විස්තර ගොඩක් මට ඔයාගෙන් අහගන්න තියනවා. “

කොණ්ඩ මෝස්තර පුරා විසිර තිබුන කටු ගලවමින් අවුල් වෙලා තිබ්බ කොණ්ඩයේ අවුල් ලිහන ගමන් ඔහු පැවසුවා.




ඔන්න ඔහොමයි මම මගේ පොත් හොරාව කසාද බැන්ඳෙ.



 පොත් හොරාව කසාද බැන්ඳ 
මම
෴ සොඳුරු සිත ෴

46 comments:

  1. හරිම ලස්සන කතාව....
    අන්තිමට එහෙනම් පොත් හොරාම සැමියා උනා.....

    ReplyDelete
  2. ලස්සන කතාව....

    ReplyDelete
  3. අනේ මමත් පොත් දෙක තුනක් නැති කරලා එන්න ඕනි බස් එකකදි. හරිම ලස්සනයි කතාව. මගේ ඇස් වලට කදුලකුත් ආවා මේක කියවලා. හරිම ලස්සන කතාවක්. මේ වගේ ආදරේ කරන්න පුලුවන් අය ඉන්නව කියලා දැන ගන්න ලැබෙන එකත් කොච්චර දෙයක් ද?

    ReplyDelete
  4. මම හිතුවේ පොත් හොරා පෝස්ට් දෙක තුනකවත් කට්ටක් කයි කියලා වැඩේ ගොඩදාගන්න...මොන... සින්ඩියේ යටට ගිහිල්ලා උඩට එද්දි මෙන්න දෙන්නා කසාදත් බැඳලා... :D

    වෙනදටත් වැඩිය ලස්සනයි...

    ReplyDelete
  5. එයා ඔයාට පොත පෙරලලා ඔයාගේ හිත හොරකම් කරලා තියෙන්නේ...

    ReplyDelete
  6. ඒත් පොත උස්සපු එක්කෙනාවම කොහොමද බදින්න හම්බුනේ?

    ReplyDelete
  7. ලස්සනයි ගොඩාරියක්

    ReplyDelete
  8. හොඳයි හොඳයි.....

    පොඩි අදහසක් ඔන්න අවුල් වෙන්න තහනම් හරී....
    මේක කුට්ටි කරපු එක වැරදියි. තව කෙටි කරලා එක පොස්ට් එකකට දාන්න තිබ්බා. අවසානේ ඔයිට වඩා උද්වගකර කරන්න තිබ්බා.

    ලියමුද ටිකක් දිග කතාවක් වෙනම බ්ලොගයක

    ReplyDelete
  9. සියළුම කුසල් ටික කොන්දොස්තර කොලුවට තමයි ඕO......

    ReplyDelete
  10. හෆොයි..පොත් කිව්වමයි මතක් උනේ..?

    ReplyDelete
  11. මටත් ඔය වගේම සිද්ධියක් වෙලා තියෙනවා... ඒකටත් පුස්තකාලාධිපතියෙක් සම්බන්ධයි....
    පුදුමෙ කියන්නෙ ඒ පුස්තකාලාධිපතියත් ඔයාගෙ එකා වගේම අපේ අප්පච්චිගෙ හොඳම යාලුවෙක්. අපේ ගෙදර නිතර ඇවිත් කාලා බීලා යන එකෙක්.
    මේ සිද්ධිය මම වෙනම ලිපියක් වශයෙන් දාන්නම්. මොකද ඒක ටිකක් දිග නිසා...
    හැබැයි ''වත්'' ගෙ එකට වඩා මේකෙ පොඩි වෙනසක් තියෙනව.
    ''වත්'' ගෙ කතාව ගොතපු එකක්.. මට වුන එක ඇත්ත එකක්.

    ReplyDelete
  12. හරිම ආදරේ හිතෙන කතාවක්. පොත් වලටයි ආදරේටයි ආදරේ කරන කෙනෙකුට මේ වගේ කතාවක් කියවන්න හම්බුනාම හිතට අමුතු හැඟීමක් දැනෙනවා. තුන් වෙනි කොටසකුත් දාලා පුළුවන්නම් ලියන්නකෝ පොත් හොරා 'මම' ව කසාද බඳින්න හොයාගෙන ආපු විදිය. ස්තූතියි!

    ReplyDelete
  13. පොත් මා හදවත වූ බැවින්,
    එසඳ ඔබ නොදැනුවත්වම සොරා ගත්තේ මා හදය,
    අද ඒ හදම ඔබට පුදනෙමි,
    ඒ අද මහ පොතකි,
    මා හද සෙනෙහෙ අකුරු කල,

    ReplyDelete
  14. අනේ මං දන්නෑ

    මෙහෙමත් සොදුරු සිතක්....

    ReplyDelete
  15. අන්තිමට හොරා පොත විතරක් නෙමයි පොත අරං ගිය එක්කෙනාවත් හොරකම් කළා...

    ReplyDelete
  16. පිස්සි වගේ ලිවට, ලියු දේවල් අගේ කරල වචනයක් ලියල යන, අඩු පාඩු පෙන්නල දෙන සහෘදයන් වෙනුවෙන් ස්තූති කරල වචනයක් ලියන්න සොඳුරු සිතකට වෙලාවක් නැති හැටි...

    ඇත්ත... සොඳුරු සිතක් වෙන්නෙ කොහොමද එහෙම හිතක්....

    ReplyDelete
  17. Dinesh
    ස්තූතියි ඩිනේෂ්.....

    Ano
    Thank you Ano...

    සංජු
    අපොයි අපොයි... දැන් ඉන්න බහුතරයකට සල්ලිත් එක්ක පොත් දුන්නත් කියවන එකක් නැහැ... පොත් නැති කර ගන්න එපා.. ස්තූතියි සංජු.

    ReplyDelete
  18. Beetle
    කොටස් ගාන වැඩි වුනාම මටම එපා වෙනවා. ලියන්න කම්මැලි හිතෙනවා... කොටස් දෙකකට නෙමෙයි අර නිශ් කියනව වගෙ එක කොටසකට ලියන්න තිබ්බ නම් තවත් අගෙයි...

    ReplyDelete
  19. ~:: My Cottage ::~
    පොත හොරකම් කරාට හොඳම දඩුවම තමයි ..එයාට මාව කසාද බදින්න වුන එක හේ හේ.. ස්තූතියි ~:: My Cottage ::~

    ReplyDelete
  20. MaRlaN
    ගොතපු කතානේ අප්පා.. වැඩිය හිතන්න එපා.MaRlaN
    ඉඳල හිටල ඇත්ත ලෝකෙත මෙහෙම සිඳ්ධ වෙනවා..ස්තූතියි MaRlaN

    ReplyDelete
  21. අකීකරු හිත
    ස්තූතියි....

    නිශ්
    පිළිගනිමි... මටත් ඕන කරල තිබ්බෙ කෙටි කරල එකකට ලියන්න... දන්නෙම නැතිව දිග වැඩි වුනා... අපොයි තව බ්ලොග් එකක් කරන්න නම් බැරියෝ... මේ හොඳටම ඇති... හිහි ස්තූතියි ...නිශ්...

    ReplyDelete
  22. ගොතපු කතාවක් වුණත් ඇත්ත කතාවකටත් වඩා ලස්සනයි...

    ReplyDelete
  23. Heeniyata
    හැබෑවටම ... කපුව කොන්දොස්තර නේන්නම්... හිහි... ස්තූතියි Heeniyata

    මාරයාගේ හෝරාව
    මොකක් ද අප්පා මතක් වුනේ.. අපිට පොත දාන්න එපා... අර පුංචි කෙල්ල නම් මාරයට මේ දවස් වල පොත පෙරලනව වගේ... හිහි..

    ReplyDelete
  24. මේ කතාව අගය නොකර යන්නෙ කොහොමද!

    ඒත් ඇ‍යි මේ තව එපිසෝඩ් එකකට ඇදල? මේක ඔයාගෙ ස්ටයිල් එක නෙමෙයිනෙ!

    ReplyDelete
  25. ලස්සන කතාවක්
    නරකද වෙලාවක ඔය හිතේ තියන අදහස් ඔක්කොම එකතු කරලා කෙටි කතා සංග්‍රහයක් ලිව්වොත් ?

    ReplyDelete
  26. kumaraya
    ගොතපු කතාවක් ඇත්ත වෙලා... කොච්චර හොදද... පොත් ගැනම ලිය ලිය ඉන්නේ... ලියන්නකො බලන්න කතාවක්...ප්ලීස්..එක සැරයක් ලියල බලන්න.. අපි කියන්නම් හොද නරක...ප්ලීස් ප්ලීස් ..
    සොඳුරු සිතගෙ ඉල්ලීමක් ඉවත දාන්න එපා...

    ReplyDelete
  27. Anonymous
    හැබෑවටම මට හිතුනෙ නැති පොයින්ට් එකක්...එතකොට “මම“ ව කසාද බදින්න ආවේ ප්ලෑන් කරලද? මාත් අහුවෙලා තියෙන හැටි ...
    ස්තූථියි Anonymous

    ReplyDelete
  28. Ravi
    අයියා..එක හිතක් ගුවන් තැපෑලෙ... ලඟඳිම හිත අතේ....ස්තූතියි කවියට....කවදත් වගේ ලස්සන කවි පෙල...

    ReplyDelete
  29. Hishan Melanga
    නොදැන හරි වරදක් වුනාද?Hishan Melanga
    මගෙ නම වෙනස් කරන්න වෙයිද “නපුරු සිත “ කියල..ස්තූතියි Hishan Melanga

    ReplyDelete
  30. නිර්මල
    හැබෑමයි... මාවත් හොරකම් කරල.. මම දන්නෙත් නැතිවම.. ඕකනෙ කීවේ මෙන්න මෙහෙම...

    මටත් හොරෙන් මගේ සිතින්
    බිඳින් බිඳ ආදරය සොරා ගෙන
    මගේ සිතම ඔබ රැගෙන ගිහින්.....

    මෙහෙමත් හොරු....

    ස්තූතියි නිර්මල

    ReplyDelete
  31. Jeew
    ජීව් ... මේ කතාව සම්පුර්ණයෙන්ම ගොතපු එකක් වෙන්නත් බැහැ.. මොකද මේක ලීව කෙනා ඇත්තටම පොත් වලට ආදරෙයි.. ඒ වගේම තමයි පොත් වලට ආදරේ කරන කෙනෙක්ට ත් ආදරේ වෙයි...

    ස්තූතියි ජීවූ .... ආයෙත් කාත්තාරයේ නේද ?

    ReplyDelete
  32. ඉන්දික උපශාන්ත
    ඇත්ත ඉන්දික... දිගට ලියන්න මාත් කැමති නැහැ... ඒත් නොදැනුවත්වම වුන දෙයක්... කපන්න කොටන්න ගියේ නැහැ ඉතින්..
    ලබන සැරේ කෙටි කෙටි කෙටිම කතාවක් ලියන්න උත්සාහ කරමු..ස්තූතියි..

    ReplyDelete
  33. Kalu Pusa

    ආහ්..මේ අපේ මුලු තැන්ගෙට රිංගන කළු පූස නෙමෙයි නේද?

    ඔහොම අදහසක් මටත් තිබ්බ කළු පූසෝ.. පස්සෙ ඒ පිස්සු අදහස අතහැරියා....

    පොතක් ලියන එක හීනයක් විතරයි... පොත් මොටද අප්පා.. දැන් ඔයාල කියවල ලියල යන කමෙන්ට් එක මට ඊට වඩා දාහෙන් සම්පතයි...සජීවීයි.. ස්තූතියි Kalu Pusa

    ReplyDelete
  34. අක්කියගේ බ්ලොග් එක කියවන්න අරන් ටික කාලයක්. කලිනුත් කොමෙන්ටුවක් දාන්න බැලුවට හරි ගියේ නෑ.
    කොහොම නමුත් කියන්න හිටියේ, හරිම ලස්සනයි සොඳුරු සිතේ සිතිවිලි වචන කරලා තියෙන හැටි.
    මාත් කියන්නම හිටියේ මේ කතා එක්ක කෙටි කතා පොතක් ගහන්නකෝ. මේ කතාව, පිස්සගේ කතාව, පලිගැනීම, කවිකාරිගෙ පාසැලේ පෙම....හරි ලස්සනයි
    සුබ පතනව අක්කේ තවත් ලස්සන නිර්මාණ කරන්න ලැබේවා කියල. (අනේ ඔන්න පොතක් ගහන්න හොඳේ!)

    ReplyDelete
  35. "සොදුරු සිත" "නපුරු සිතක්" නම් වෙන්න එපා.... මිනිස්සුන්ට තව වැඩත් තියනවනේ අපේ comment වල්ට reply නැති උනාට අපිනම් තරහ වෙන්නෙ නෑ දිගටම ලියන්න
    ප.ලි.- මම නම් ආසම කතාව "පලිගැනීම"

    ReplyDelete
  36. පොත්ගුල්ලෙක්ව හොරකම් කරලා නේද...

    රසවත්ව ලියාපු තවත් ලස්සන කතාවක්.

    ReplyDelete
  37. ඔන්න එහෙනං මං ඊයෙ කියපු තුන් වෙනි කොටස මංම කියන්නංකෝ. ඒත් තනි comment එකක් විදියට දාන්න බැරි නිසා කෑලි වලට කඩලා දන්නං හොඳේ? කමක් නැද්ද වත් අක්කේ මං ඔයාගේ කතාවට එහෙම එකතු කළාට?

    ======================

    "ඉතිං මට කියන්න, ඇයි ඒ පොත හොරෙන් තියාගන්න හිතුණේ?" පහුවදා උදේ ඔහුගේ අතේ එල්ලිලා නවාතැන වටේ පරිසරයේ සිරි විඳිමින් ඇවිදින අතරේ මං එහෙම ඇහුවාම එයා පුදුම උනා.
    "මොන පොතද බබෝ?"
    "ඇයි අර බස් එකේදි.. පුස්තකාල පොත.."
    "ආ! ඒකද? මෙයාටත් හදිසියෙ මතක් වෙන දේවල්!"
    "ඉතිං මං ඊයෙ ඉඳලා තමයි ඒ විස්තර අහගන්න හිටියේ.. කොහෙද ඉතිං.." මං අහක බලාගෙන ඒ වචන ටික මිමිණුවේ මූණත් රතු කරගෙන.

    ReplyDelete
  38. 2
    ==

    "හ්ම් හ්ම්! හරි එහෙනං දැං ඇවිත් ඉඳං කියන්නකෝ මගෙ නෝනට මොනවද දැනගන්න ඕනේ?" ලොකු ගහක් යට ලස්සනට වවාපු මල් පාත්ති වලින් වට වෙච්ච පොඩි ඉඩක තිබ්බ බංකුවක් ලඟට ගිහිං ඉඳගන්න ගමං එහෙම කියපු මගෙ මහත්තයා මාවත් ලඟට ඇදං වාඩි කරගත්තා.
    "ඇයි ඒ පොත හොරෙං තියාගත්තේ?"
    "මං ඒ පොතට හරි ආසයි, ඒකයි."
    "ඉතිං පුස්තකාලෙට ඒක දීගන්න බැරුව මං අමාරුවෙ වැටෙයි කියලා හිතුණෙ නැද්ද?"
    "ඉතිං ඒකනේ මං පස්සෙ ඒ ගැන ලියුමකුයි වටිනාකමයි එහෙට ආපහු යැව්වේ.. ඔයාම දැක්කනේ.."
    "පුස්තකාලෙ මිස් දන්නවද ඒ ඔයයි කියලා?"
    "හ්ම්..." එයා එහෙම කිව්වේ හිනාව තද කරගෙන උඩ බලාගෙන.
    "ඔයානං මහ හොරෙක්ම තමයි!" මගේ පාරෙන් බේරෙන්න ටිකක් ඈතට වෙන ගමන් එයා හයියෙන් හිනා උනා.
    "ඉතිං කොහොමද අන්තිමට අපේ ගෙදරට යෝජනාව එව්වේ?" මං ඇහුවා.
    "ඒ බස් එකේදි කොන්දොස්තර මගෙ අතට දීපු පොත් ඔක්කොම මං ගොඩක් ආස කරන පොත්. අර තියාගත්තු එකනං මං සෑහෙන කල් හොය හොය හිටපු එකක්. ඉතිං මේ වගේ මං ආස පොත්ම කියවන්නෙ කවුද හැබෑට කියලා එබිලා බලන්න හැදුවත් සෙනග අස්සේ හරියට බලාගන්න බැරි උනා. ඒත් ඔයා බැස්සට පස්සේ පොත් ටික ඉල්ලගෙන දුවගෙන එද්දි තමයි දැක්කේ ගෑණු ළමයෙක් කියලා, ඒත් මූණ හරියට පෙනුන් නෑනේ."

    ReplyDelete
  39. 3
    ==

    මං ඉතිං ඇහි පිල්ලං ගහන් නැතුව කටත් ඇරගෙන මේ කතන්දරේ අහගෙන ඉන්නවා. "ඉතිං?" මට ඉවසිල්ලක් නෑ කතන්දරේ අහගන්නකං.
    "මොකද්ද අනේ මගෙ කටත් රිදෙනවා," එයා මං දිහා බලලා හුරතල් කටහඬකින් කිව්වා.
    මං පොඩ්ඩක් වටපිට බැලුවා. කවුරුත් පේන්න නෑ. ඉතිං මං පොඩ්ඩක් ඉස්සිලා එයාගෙ කම්මුලට හාදුවක් දීලා ආයෙ මං මුකුත් කළේ නෑ වගේ ඉස්සරහ බලාගත්තා. "ඉතිං දැං කියන්න ඉතුරු ටික."
    "මොකෙද්ද අප්පා ඒ? මගෙ මූණට කපුටෙක්වත් කෙටුවද?" එයා කම්මුල අල්ලගෙන මං දිහා ඇස් කොණෙන් බලාගෙන ඇහුවා.
    "හ්ම්, කපුටියෙක් තමයි. ඉතිං දැං කියන්න ඉතුරු ටික."
    "එතකොට මේ පැත්තට?" එයා අනෙක් කම්මුලත් දික් කළා.
    "ඒක කතාව ඉවර උනාට පස්සේ."
    "හප්පේ අපෙ හාමිනේගේ රෙකුලාසි!"
    "එහෙම තමයි!"
    "ඔන්න ඉතිං කොහොමහරි අර මං තියාගත්තු නිදානෙ තියෙනවනේ, අර පොත. ඕක ඉතිං ගෙදර ගිහිං හෙමින් සැරේ කියවන්න ගත්තා. මෙන්න බොලේ පිටු අස්සෙං කොළ කෑලි මතු වෙනවා. හප්පා! පොතට වඩා ලස්සනයි ඒ කොළ කෑලි වල තිබ්බ දේවල්. මෙච්චර ලස්සන දේවල් ලියන කෙනාට කොච්චර ලස්සන හිතක් ඇත්ද කියලා මට හිතුණා. ඔය අතරේ මම අර ලියුමත් පුස්තකාලෙට යැව්වා. ඉතිං දවස් ගාණක් සති ගාණක් ගත උනා. ඒ පොතත් එක්ක ඒ මුතු කැට අකුරෙන් ලස්සන කවි ලියපු කොළ කෑලි ටිකත් මං පරිස්සමෙං අරන් තියාගෙන හිටියේ."

    ReplyDelete
  40. 4
    ==

    "තාමත් තියෙනවද?"
    "ඔව්, ගෙදර ගියාම මං පෙන්නන්නංකෝ. ඉතිං ඒ අමතක කරන්න බැරි අත් අකුරු අයිතිකාරි ගැන මට හොයාගන්න ඕනෙ උනා. ඒ වෙද්දි ඉස්කෝලෙ මාරුව ලැබිලා මං ඒ පැත්තට ආපු අළුත. ඉතිං පුස්තකාලෙ මැඩම් එක්ක එච්චර හිතවත් කමකුත් නෑ. මං නැවතිලා හිටියෙ මගෙ මාමගෙ ගෙදර, මාමා ඉතිං ඒ පැත්තෙ ටිකක් පිළිගැනීමක් තියෙන කෙනෙක්නේ. පුස්තකාලෙ මැඩම්වත් අඳුරනවලු පස්සෙ බලන කොට. ඉතිං මං මාමට විස්තරේ කිව්වා. පස්සෙ මාමයි, මැඩමුයි එක්ක අපේ අම්මලා එක්කත් කතා කරලා තමයි ඔයාගෙ ගෙදරට යෝජනාව එව්වේ. ඔන්න ඔහොමයි කතන්දරේ." එයා ලොකු හුස්මක් පිට කරන ගමන් කතන්දරේ ඉවර කළා.
    "අනෙ අප්පේ, තව අළුත් කතාවක් ලියත හැකි මේ කතන්දරෙන්." මං කොහේදෝ ලෝකෙක අතරමං වෙච්ච කෙනෙක් වගේ කිව්වා.
    "ඉතිං ලියමු."
    "ලියමු?"
    "ඔව් මගෙ නෝනේ. ඔයාට හොඳට ලියන්න පුළුවං, හරිම ලස්සනයි ඒවා. ඔයා පොතක් ලියන්න, මං රූප ඇඳලා දෙන්නං."
    "ඇත්තනේ, මං චිත්‍ර සර් කෙනෙක්වනේ මේ බැඳලා ඉන්නේ. අනේ ඇත්තට අපි එහෙම වැඩක් කරමුකෝ." මගේ ඇස් සතුටින් දිලිසෙන්න ඇති. එයාගේ ඇසුත් එහෙමයි.
    "ඉතිං ඒක තමයි මං කිව්වේ. අපි දෙන්නට එකතු වෙලා ලස්සන වැඩ කරත හැකි."
    "අපි අදම පටං ගමුකෝ?" මටනං ඉවසිල්ලක් නැති තරමයි.
    "අපොයි අද බෑ." හොර බැල්මක් දාගෙන එයා කිව්වා.
    "අනේ ඒ මොකෝ?"
    "අද අපිට වැඩ තියනවනේ.. මට ණයකුත් අය කරගන්න තියෙනවා කපුටියෙක්ගෙං.." හොරා වගේ මගේ මූණට කිට්ටු වෙන ගමං එයා කිව්වා. එයාට ඉඩක් ලැබෙන්න කළිං මං බංකුවෙන් නැගිටලා හිනා වෙවී පැනලා දිව්වා.
    "ඔහෙ හිටු මගෙ හොර කපුටි!" එයත් මගෙ පස්සෙන් එලවන්න ගත්තා.

    ReplyDelete
  41. කවුද මේ ඇනෝ....

    කවුරු වුනත් කතාව ලස්සනයි... සුලා ද? සුලා නම් සුලා කියල නම දානව...ඇත්තටම මට හිතුන මේ කමෙන්ට්ස් ටික එකතු කරල එක පෝස්ට් එකක් විදිහට දාන්න... ඒත් ඇනෝ මොනවහරි හිතුවොත් කියල මේ විදිහටම පබ්ලිෂ් කරා...

    ඇනෝ.. ඔයා බ්ලොග් එකක් ලියන කෙනෙක් නෙමෙයි නම් මම පුංචි යෝජනාවක් කරන්න ද? නරකද බ්ලොග් එකක් පටන් ගත්තොත් ....

    ReplyDelete
  42. Dear Ano
    I didn't get it...please sen it again..

    ReplyDelete
  43. වත් අක්කේ, අර ඔයාගෙ පින්තූර කතන්දර කරනවා කියලා පින්තූර එවන්න කියලා දාලා තිබ්බ mail address එකට 'wath2pintura@gmail.com' මම mail එකක් එව්වා. අනේ ඔයගේ මේ අලුත්ම post එක දාලා තියෙන්නේ ඒ mail එක දැක්කට පස්සෙද? මම කරලා තියෙන වැඩේ වැරදිද? ඔයාගේ ලස්සන කෙටි කතාව කියවගෙන යද්දි මට ඒකට තව කොටසක් එකතු කරන්න හිතුනා විතරයි. ඔයාටම 3වෙනි කොටස දාන්න කියලා යෝජන කළේ මං, ඒත් ඔයා දාපු නැති නිසා මම මට හිතුණ කතන්දරේ එව්වා. කතාව මගේ කරගන්න හිතුවේ නෑ, අපොයි දෙයියනේ, එහෙම හීනෙකින්වත් හිතුවේ නෑ. ඒ දාපු කොටසට වඩා ඒක දික් කරන්න මට අදහසකුත් නෑ. ඔයාගේ දිග නව කතාවට සුභ පතනවා. කෙටි කතා නවත්තන්නත් එපා. ඔයාට ජයෙන් ජයම පතනවා.

    ReplyDelete
  44. හ්ම්

    ඒ ඊමේලයට මට යන්න බැහැනේ.... තරහ නැතිව මේකට එවන්න පුලුවන්ද ... wathsalald@yahoo.com

    ReplyDelete
  45. අප්පොච්චියේ මදැයි! මං හිතුවෙම මගෙ mail එක දැකලයි අක්කා ඔය අළුත් post එක දැම්මේ කියලා. ඔන්න forward කළා ඒ mail එක අක්කා දැං දීපු email address එකට. දන්නවද, මං සෑහෙන දුකෙං හිටියේ මේ මොකද්ද මේ උනේ කියලා. අක්කගෙන් reply එකක් නැති කොට මං තව mail එකක් දැම්මා, දැං ඒක ඕනෙ නැති වෙයි. :)

    thanks & good luck!

    ReplyDelete
  46. ෂැහ්....අතිවිශිෂ්ඨයි අක්කේ...ආයේ ඉතිං කතා මොනවද...කියන්න දෙයක් නෑ....
    නියමයි අක්කේ....ඔයා ලියපු කතා වලින් මම කියවපු තවත් අනර්ඝ කතාවක්....නියමයි උපරිමයි....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...