..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, January 14, 2011

෴ අයියා / Elder Brother ෴

ඔන්න ඉතින් එදා හරිම ලස්සන දවසක්. දවස වැඩියම ලස්සන වුනේ අයියටත් එදා ස්කෝලෙ නිවාඩු නිසයි. හවසට පන්සල් යන දවස නිසා නංගිගේ හිත සතුටින් පිරිලා.හවස් වේ ගෙන එනකොට අයියත් එක්ක එකතු වෙලා  මුලු වත්තෙම තියන මල් ගහින් ගහට යන කොට තමයි අම්ම අයියට එන්න කියල කතා කළේ.

ආච්චි අම්ම ලෙඩ වෙලා නිසා පන්සල් එන්න විදිහක් නෑලු.අපේ අම්ම ,අම්මලෑ අම්මට හදපු රස කෑමක් ගිහින් දිල එන්න කියල අම්ම අයියට කියනව නංගිට ඇහුන.ඒක ඇහුන ගමන් නංගිට මතක් වුනේ ආච්චි අම්මලැයෙ ගෙදර යන කොට හම්බෙන නෙළුම් මල් පිරුන විල.ඉතින් නංගි බබත් බෙරි හඬ තලල කෑගහන්න ගත්ත අයියත් එක්ක යන්න ඕනිමයි කියල.කවදත් වගේ දෝණි බබා දිනුව. ඔන්න ඉතින් දැන් දෝණි බබයි දෝණි බබාලයෙ අයියයි යනව ආච්චි අම්මලයෙ අහා.

නංගි බබාව පාරේ පැත්තෙන් නෙමෙයි අනිත් පැත්තෙන් , නංගි බබාගේ අත අතාරින්නෙ නැතිව පරිස්සමට එක්ක යනව කියල අයිය පොරොන්දු වුන නිසයි දෝණි බබාට මේ ගමන එන්න ලැබුනේ. දෝණි බබා අයියගෙ මූණ බලල හිනා වුනේ ආයේ කවදාවත්ම අයියගේ පොත් කුරුටු ගාන්නෙ නැහැ කියල හිතන ගමන්මයි.

ඔන්න ඉතින් මඟ දිගට අයියට උත්තර දීල අහවරක් නෑලු.දෝණි බබා අහන දේවල් වලට.අයියගෙ කණේ අමාරුවක් වෙන්නැ , දැන්  කට රිදෙනකම් අහලත් අයිය සද්ද නැහැ. පවු. සමහර විට අයිය දන්නෙ නැතිව ඇති.අයිය මහ ලොකුවට ස්කෝලෙ ගියත් සමහර දේවල් අයිය දන්නෙ නැහැ.දෝණි බබාට හිතුන.

“කරච්චලේ ඉවරයක් නැද්ද? ඔන්න ආයෙ මම එක්කන් එන්නෙ නැහැ  “කියල අයිය කිවම මොහොතකට නිහඬ වෙන දෝණි බබා. ආයෙත් මොනා හරි අල්ලන් ප්‍රශ්ණ අහනවා.

නෙළුම් විල දැක්ක ගමන් මෙච්චර වෙලා අයියගේ අත රැදිල තිබ්බ දෝණිගෙ අත නිදහස් කර ගත්ත දෝණි, විල ලඟට දුවල ගියා.අයියට දැන් තමයි නංගි බබා අයියත් එක්ක එන්න බෑගිරි ගහගහ ඇඩුවෙ ඇයි කියල තේරුනේ...අයියල පවු හැමදාම නංගිලට රැවටෙනවා.

අයියා අර මල් කඩල දෙන්න. විල මැද හරියක ලස්සනට පිපුන නෙළුමක් දිහාට අත දික්කරන ගමන් නංගි බබා කීවේ හිසත් ටිකක් ඇල කරල හරි හුරතලේට.

ආච්චිලයෙ අහා ගිහින් එන ගමන් කඩල දෙන්නම් දෝණි...අයිය කිවේ නංගි ගෙ හැටි හොදටම දන්න නිසා.

අයියගෙ හැටි දන්න නංගිත් වැඩේ අතහැරියෙ නැහැ.ආච්චිලයෙ අහා ඉන්න හිච්චි මාමා ආයෙ අපිට මේ පාරෙන් පයින් එන්න දෙන්නෙ නැතිව.අර හුටු හුටුවෙ දාගෙන ගෙදර ගෙනත් බස්සන බව දන්න දෝණි විල ලග ඇණ තියාගෙන වාඩි වෙලා සුපුරුදු සංගිතය වයන්න ගත්ත.

දැන් ඉතින් මෙතනින් යනව බොරු.මහම මහ වාත පීප්පයක්. මක්කට එක්ක ආවද මන්ද? අයියගේ කට දැන් නලියනවා.

“ආයෙ එන්න එපා මාත් එක්ක. ඔයා මහ ඇණයක්.යස්සනියක් වගේ අඩන හැටි.නවත්තන්න ඉතින් මම කඩල දෙන්නම් . මෙන්න මේක අල්ල ගන්නව.“

අයිය එහෙම කිව විතරයි නංගිගෙ මුණෙ පිපුන මල් වලට නෙළුම් මල් පරාදයි .

ඔන්න ඉතින් අයියා නෙළුම් විලට බැහැල ළඟම තියන මලක් කඩන් එන්න හැදුව විතරයි.

“ඕක එපා. ඕක එපා එපාමයි.මට ඕනි අන්න අරක.“ අයිය විල ඉවුර තියල ගිය එක සෙරෙප්පුවක් විලට විසි කරන ගමන් දෝණි කෑගැහුව.

අනේ මෙහෙමත් යස්සනියක්.අයිය හිතින් බැන බැන.විල මැද තිබ්බ මලට කිට්ටු කලා විතරයි....අනේ...අයියට දැනුන අයිය ටික ටික විලේ පැල වෙනව කියල.අයියා කෑගහන්න ගත්තා.

නංගිත් ඊට එහා.....උච්ච ස්වරයෙන් බෑගිරි ගහ ගහ, දැන් දෝණි බබත් අඩනවා.මේ මහ සද්දෙට ගමේම අය එකතු වුනා. විලට බැහැපු මාමල දෙතුන් දෙනෙක් අයියව බේර ගත්ත. අයිය විල ඉවුරට ආපු ගමන් අත දික්කරපු නංගිට අයිය එචච්ර වෙලා අතේ රදවන් හිටිය ලස්සනම ලස්සන නෙළුම් මල තෑගි කලා.

“දෝණි අයියට ආදරෙයි නේද? දෝණි මහ හයියෙන් ඇඩුවෙ අයියට මුකුත් වෙයි කියලද පැටියෝ“
ආපු කෙනෙක් ඇහුව.

“ නැහැ නැහැ....අයිය කඩා ගත්ත මල මට නැතිවෙයි කියල “

දෝණි උත්තර දුන්නා.

“ හරි හරි ඉතින් දැන් යන්න ආපු ගමන ගිහින් ආච්චි අම්මලයෙ ගෙදරින් නාල කියල ඔය ඇදුම් එහෙම අහවර කරානම්“ ඇවිල්ල හිටිය ලොකු නැන්දෙක් පණ්ඩිත කතාවක් කීව.

“ යන්...කෝ මම අල්ල ගන්න දුන්න පාර්සලේ“

“ ආහ්....“

පුදුම වෙලා ඒ පාර්සලේ ඇරල බලපු අයිය දැක්කෙ යන්තම් එකම එක පැණි වලල්ලක් විතරක් ඒකෙ ඇතුලෙ දුක් විදින හැටි.

දෝණි බබා අඬන ගමන් ඕන කෑමක් ලවක් දෙවක් නැතිව කන්න රැසියා විත්තිය අයිය දන්නව.කට්ටිය ටික ටික විසිරිලා ගියාට පස්සෙ ඉතිරි පැණි වලල්ලත් බෙදා ගෙන කාපු අයිය නඟෝ දෙන්න ආච්චිලයෙ අහා නොගිහින් පිට පාරෙන්ම ගෙදරට සෙන්දු වුනා......

වෙච්ච වින්නැහිය නොකිය ඉන්න අයියල නඟාල කතා බහ නොකරම එකඟ වෙලා තිබ්බා.

ඔක්කම සිද්ධිය ගෙදරට ආරංචි වුනේ...එදා විල ලඟ හිටපු පණ්ඩිත නැන්දා අහම්බෙන් වගේ දෝණි ළඟෙ ගෙදර ආපු දවසක තමයි.

දැන් ගොඩක් කල් ගත වෙලත් අයියට තියෙන ලොකු ප්‍රශ්ණයක් තමයි , එදා නංගි බබා ඇත්තටම ඇඬුවෙ අයිය ගැන හිතලද නැත්තම් නෙලාගත්ත මල ගැන හිතලද කියල?

දෝණිට තියන එකම ප්‍රශ්ණය තමයි අච්චර ගිලිලත් ඇයි අයියා නෙලා ගත්ත මල අතහැරියෙ නැත්තෙ කියල.....

“Sometimes being a brother is even better than being a superhero. ,“

විල මැද පිපුන ලස්සනම මල ඉල්ලල හැමදාම ඇඩුවත් මලක් නෙලා දෙන්න අයිය කෙනෙක් නැති දෝණි
මම
෴ සොඳුරු සිත෴

පිදුම- පමා වෙලා මුණ ගැසුන මගෙම දයාබර රවී අයියා ට.

15 ප්‍රතිචාර:

සංජු said...

දෝණි කියලා මට කතා කරන අයියන්ඩියෙක් මටත් ඉන්නවා. ලේ නෑයෙකුට වඩා ඒ ආදරේ හරිම සංවේදියි. මුලු ලෝකෙම මිනිස්සු එයාට චෝදනා කරන වෙලාවක මට එයා මුණ ගැහුනේ. ඒ දුකින් එයාව මුදවලා එයාව සතුටින් තිබ්බ එකම කෙනා මම කියලා ඔහු මට කතා කරන්නේ දෝණි කියලා. අප්පච්චි කියලා කතා කරන්න තරම් ඔහු සොදුරු මිනිසෙක්. ඒ සහෝදරකම ගැන කියන්න මට වචන නෑ. පුදුම සටහනක් මේක. ස්තූතියි ඔබට මේක ලිපියට.

RoshanHerath said...

Sometimes being a brother is even better than being a superhero.
මේ පේළිය උපුටා ගන්නවා මූණුපොතේ මගේ පිටුවට දමන්න හොදේ.

හික්ස්..

අනේ මන්දා.. සොදුරුසිතට අයියා කෙනෙක් නෑ කිවට අයියා-නංගි බැඳීම ගැන හොදින් ලියලා තියෙනවා..
මටත් වෙලාවකට හරිම පුදුමයි මේ බැඳීම ගැන..
මම නම් හිතන්නෙ සහෝදර බැඳීම කියන්නෙ හරිම බලවත් දෙයක්... එතනදි අක්කා-මල්ලි බැඳීමට වඩා අයියා-නංගි බැඳීම බලවත් කියලායි මට නම් හිතෙන්නෙ...

MaRlaN said...

ඔය ප්‍රතිචාර කියන එකේ නරකයි කියන එක අයින් කරල "හොදයි" "ඉතා හොදයි" කියල දැම්මනම් තමයි හරි නේද අක්කෙ....
මමනම් ඉතින් පවුලෙ බාලය නොවෑ අක්කල 2න්න තමයි මාව බලාගන්නෙ

නිර්මල said...

මේක හරිම ලස්සන හිතට දැනෙන අදහසක්....

Ravi said...

නෙතේ නැඟි කඳුලු බිඳු,
හැමදාම නෙතු කොනෙක තිබුනාවෙ,
හද පිපුණු සෙනෙ කුසුම්,
සදා කල් ඔබෙ නමින් දිලුනාවෙ,

හිසට සුව සෙවන දෙන,
වනස්පතියක් විලස සිටින්නෙම්,
සසර මතු බවයෙදිත්,
නුඹ මගේ නැඟනිවේ පතන්නෙම්,

raala said...

"විල මැද පිපුන ලස්සනම මල ඉල්ලල හැමදාම ඇඩුවත් මලක් නෙලා දෙන්න අයිය කෙනෙක් නැති දෝණි
මම
෴ සොඳුරු සිත෴"
ඔයාට ඉක්මනටම කෙනෙක් හම්බ වෙයි. මලක් ඉල්ලපුවහම මල් වත්තක් අරන් දෙන එක්කෙනෙක්.

dinesh said...

මම එහෙමනම් දෝණිට දෙනව දෙකක් ගොඩට ඇවිල්ල.
ඒත් ඉතින් මට රන්ඩු වෙන්නවත් න‍ඟෙක් නෑ නොවැ.අදනම් උදෙන්ම ලස්සන කතාවක් කියෙව්වා.

අකීකරු හිත said...

මගේ අයියත් වෙලාවකට බනිනවා දැන්වත් විකාර ප්‍රශ්න නාහා ක‍ට වහගෙන හිටු කියලා..ඒත් මම අහන ඕනම දේකට එයාට උත්තර තියෙන එකයි පුදුමේ..සමහර උත්තර පිළිගන්න බැරි උනත් එහෙම හරි උත්තර තියෙන එක ගැන සතුටුයි.. එදා වගෙම තවමත් මගේ ලෝකේ වීරයා මගේ අයියා... උදේම මේක කියවන්න ලැබුන එක සතුටක්..ලස්සනයි අක්කේ

prasanna86k said...

මටත් නංගියෙක් නැති වුනාට, අයියලා නංගිලාට පනටත් වැඩිය ආදරෙයි කියලා මාත් දන්නවා. ඒකයි අයිය කඩා ගත්තා නෙළුම් මල එයා ගිලෙන්න යද්දීත් අතහැරියේ නැත්තේ...

Jeew said...

නංඟි බබා කීව කාරණේ ඇත්ත. ගොඩක් නංඟි බබාලා අඬන්නේ අයිය කරදරේ වැටෙනවට නෙමේ. තමුන්ට ලැබෙන්න තියෙන දේ නොලැබෙයි කියන බයට... අත්දැකීමෙන් ම දන්නවා...

නිශ් said...

මට මගේ අයියව මතක් උනා අදටත් මොනා හරි ඕන උනාම අනෙ අරක කර ගන්න ඕන අය්යේ තමා...............

පොඩි කාලෙ දඟ වැඩ කොරලා අම්මලාට හංගන් ඉන්න කොට වෙන කවුරු හරි ඇවිත් කිව්වම ආයෙ ඉතින් ඕනි නෑ.

හ්ම්ම්ම් මේ පොස්ට් එක මාව කොහේටදෝ අරගෙන ගියා සුන්දරයි

ගල්මල්-Coral said...

ආවා. කතාව කියෙව්වා.
අයියා නගෝ දෙදෙනාටම ඇතිවූ ප්‍රශ්ණ ම හිතේ දරාගෙන සටහනක් තියලා යනවා.

ලස්සන අදහසක් නංගී.

හිස් අහස said...

නංගි කෙනෙකූගෙන් අවුරුදු ගනනාවක් මම කරදර වින්ඳා . දැනටත් විඳිනවා . වෙලාවකට මලපයිනවා . ඒත් වේලාවකට . මගේ ලෝකෙම ඒයා . ඒත් මම ගැන මගේ නංගි කදාකවත් ආඩම්බර වෙලා නැතුව ඇති .ලැජ්ජා වෙනවා මිසක

Heeniyata said...

අපූරුයි....

෴ හසියා ෴ said...

හ්ම්ම්ම්ම්....මාත් හැමදාම බලාපොරොත්තුවෙන් උන්නු දෙයක් තමා ‍මගේම නංගියෙක්ගේ ආදරය...ම්ම්ම්ම් පෙර කල පවක් නිසා වෙන්න ඇති මටත් නංගියෙක් අහිමි....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...