..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, January 31, 2011

෴ ආදරය අභියස ෴

ඇය තම ප්‍රාථමික වර්ගයේ ජංගම දුරකතනය අතට ගෙන වේලාව බැලුවා. හ්ම් . . . . දැන් පැයකටත් වඩා පරක්කුයි.තව ටික වෙලාවක් බලමු. ඇය තමන්ටම කියා ගත්ත. කඩල ගොටු දෙකකටම මේ වන විට ඇය වග කියල ඉවරයි. අයිස් ක්‍රීම් දැන්ම කන්න බැහැ. ඇයට හිතුන.

එහා මෙහා දුවපු ඇස් දැක්කෙ පුංචි වුන් රොත්තක් සරුංගල් අරින හැටි. ඒ පැත්තට යන එක මෙතන තනියෙන් කාලය කනවය වඩා හොඳ බව ඇයට සිතුනෙ පිරිමින් කිහිපදෙනෙකුගෙම ගිජු නෙත් ඇය වෙත යොමු වන බව ඇයට දැනුන නිසා.

ඉඳහල්ලකො. . . හැබැටමයි . ..පැය 25ක් තිබ්බත් එයාට නම් මදි. මම නම් ආයෙ එන්නෙ නැහැ නැහැමයි. ඇය මෙසේ සපථ කර ගත්තෙ කීවෙනි පාරට ද කියල ඇයටම මතක නැහැ.

ඇය කොහොම හරි හරි ඉක්මනින්ම පුංචිවුන් රැනත් එක්ක යාලු වුනා. ඇයට කොහොමත් පොඩි දරුවන් එක්ක යාලුවෙන්න ඒ හැටි වෙලාවක් යන්නෙ නැහැ. සරුංගල් අතරින් නූල කඩන් ගියපු සරුංගලේම ඉල්ල අඩ අඩ හිටපු පොඩි එකෙක්ව හේ කර ගන්න අතරේ කවුද ඇවිත් ඇයට කතා කළා.

“ එහෙනම් මම යන්නද නෝන, මම නැතිවුනාට නොනට පාලුවක් නැහැ වගේ “

“ මෙන්න මෙයා ඇවිල්ල. කොයි වෙලේද ආවේ “

“ අපි ආපු වෙලාවල් දකින්නෙ කොහොම ද? “

“ ඇයි එහෙම කියන්නේ .මම ඇවිත් කොච්චර වෙලාද දැන් පැය දෙකකටත් කිට්ටු “

“ මම ඇවිත් පැය කාලක් විතර ඇති , ඉතින් දැන්වත් එනව ද මොන්ටිසොරියෙන් “

ඔහු ඇයට දුන්න චොකලට් එක තාමත් ගිරිය පුප්පගෙන අඩන පොඩි එකාට දුන්න ඇය , ඇඩුම නතර කරපු පොඩි එකා දිහා සිනාවෙන් බලා හිටපු මූණින්ම ඇය ඔහු දිහාට හැරුන. ඔහුගෙ මුහුණ නොක්කඩු ගොඩකින් පිරිල.

පොඩි එකාට ටටා බායි කියපු ඇය ඔහුගෙ අතින් අල්ලන් වෙරල දිගේ ඈතට ගියා.

“ මොකද අනේ මේ. හරිනම් මමයි මුණ ලොකු කරන් ඉන්න ඕනි.“

“ ම්ම් “
“ චොකලට් කන්න හොඳ නැහැනෙ . මම තව මහත් වේවි “

“ ම්ම්“

“ අපි කඩල කමුද ? ඇඟටත් හොඳයි .පෝෂණයයි “

“ ම්ම් “

“ මොකද අනේ . . . බකමූණෙක් වගේ “

“ ම්ම් “

ඒ වෙන කොට දෙන්නම ඇවිත් තිබ්බෙ වැටකෙයිය ගාලක් ලඟට. කවුරුවත් පේන තෙක් මානෙක ඇත්තෙත් නැහැ. ම්ම්ම් .. . . . . . 

“ කපටි කෙල්ල. ඕව තමයි කෙල්ලන්ගෙ 64 මායම් “

“ ආහ් එහෙම ද? , එහෙනම් මම ආයෙ මායම් නොදා ඉන්නම් කෝ ‘

“ ඒව කොහෙද මට තව මායමක් ඕනි“ 

ඔහුගේ තුරුලින් මිදුන ඇය ඔහුගෙන් ඈතට දිව ගියේ , හරිම ආදරණීය බැල්මක් ඔහු වෙත හෙලන ගමන්.

ආදරය කොයි තරම් සුන්දර ද? ඒත් ඒ හැමදාම මුණ ගැහෙන කතා බහ කරන ආදරය විතරයි. විවාහ වෙලා ළමයි එකා දෙන්න එකතු වුනාම ඇත්තටම ඒ ආදරේට මොකද වෙන්නේ. 

මට එහෙම හිතුනේ සරත් විජේසූරිය මහත්තයගේ “ සිතක වෙහෙස “ පොත තුන් වෙනි සැරේටත් කියෙවුවට පස්සෙ.

සරත් විජේසූරියගෙ 
ආදරය දැනෙන්න ජිවත් වෙන්න
ජීවිතයට ගරු කරන්න
කියන පොත් දෙකට පස්සෙ කියෙවුව පොත තමයි සිතක වෙහෙස.

ඒ පොත කියෙවුවම හිතෙනවා මිනිස්සු ඉන්නෙ මොන තරම් මානසික පිඩාවන් වලින් තෙරපිලා ද කියල. හැමදේම තිබ්බත් නැති එකම දේ ආදරය.

ඩෙස්මන් මොරිස් ගෙ පොතේ හැටියට නම් ඒකාකාරි ජීවිතය ට අකමැති වෙන්න හේතු තියෙනවා තමයි. ඒත් අපි පවුලක් වෙන්නෙ තනිකම නැති කරල දාලා උණුසුම් ආදරය විඳින්න . ඒ පවුල ඇතුලෙම හුදකලාවෙන මිනිස්සු දැක්කම මේ තනිකඩ ජීවිතය කොයි තරම් හොඳද කියල මට හිතෙනවා.

කොහොම නමුත් දැන් මට ඒ පොත් ගෙදරට ගෙන ඒම සම්පූර්ණ තහනම්. ඒ පොත් බලන්න ඕනි තනිකඩ අය නෙමෙයි කියන්නේ. ඒ පොත් බලන්න ඕනි විවාහක මිනිස්සුලු. නැත්තම් තනිකඩ අය ඒ ගැන පරතෙරටම හිතල විවාහ වෙන්නෙ නැතිව ඉන්නවලු. හරියට මේ ලියන කෙනා වගේ....

ඒ පොතේ අන්තිමට තිබ්බ මොනිකා රුවන්පතිරණ කිවිඳියගේ කවියක් තමයි මේ.


සඳ වතුර මහ පොළව සිප වැළඳ සැඳෑවක

ඔබෙ ඇසට එබී මම සෙවුයෙමි ය මගේ රුව
ඔබෙ දැස තුළ ම මා රුවා ගෙන ගියෙන් ඔබ
එදා රැය පහන් විය පා වෙමින සිහිනයක
ඒ මොහොතෙහි ලොවෙහි පෙම් සිරි අසිරි කියන්නට
පසක් විය එකද පෙම් කවක් හෝ නොමැති වග

*******************************
ජිවිතය දොම්නසින් වෙළුණ මැදි වියේ අද
මගේ ඇස විසිව ඇත ඔබෙ නෙතින් බෝ ඈත
අපේ රූ සොයා ඔබ පිහිනාය මි විතක
මම වැතිර හිඳින්නෙමි සිහින නැති දිගු රැයක
ලොවෙහි පෙම් සිරි කියූ කව් ගීත නළු සියල්
පසක් වෙයි පෙමට වැඩියෙන් බොහෝ මහරු වග


ඒත් මේ පහත ගීතයේ කියවෙනව වගේ ආදරයක් මටත් හිමිනම් කියල මම හිතපු වාර ගනන නම් අනන්තයි.

අහල බලන්න . . . . මම මේ ගීතය ඉස්සෙල්ලම ඇහුවේ. මම ගොඩක් කැමති කෙනෙක්ගේ රිං ටෝන් එක විදිහට ......


 


Love is holding hands in the street. Marriage is holding arguments in the street. 

ජීවිතය නුඹෙන් දැන , නුඹට ආදරය කරන 
මම
෴ සොඳුරු සිත ෴

16 ප්‍රතිචාර:

RoshanHerath said...

සරත් විජේසූරියගෙ
ආදරය දැනෙන්න ජිවත් වෙන්න
ජීවිතයට ගරු කරන්න
කියන පොත් දෙක නම් කියෙව්වා.. ඒ පොත්2 හොයාගන්න ග්‍රන්ථ කේන්ද්‍රයටම යන්න වුනා..
බැඳපු අය ඒ පොත් කියවන්න ඕනි කියන එක නම් ඇත්ත. ඒ වුනාට බැඳපු නැති අය වුනත් කියවුවොතින් ඒ අයට සාර්ථකව විවාහය තේරුම්ගත හැකියි නේද? මොකද මේ පොත් වල තියෙන්නෙ උපදෙස් නොවෙන නිසා කියවන කෙනාට පහසුවෙන් සිතාබලා තේරුම් ගත හැකියි... (ජීවිතේ මල් නම් කීවෙ එහෙමයි)

Anonymous said...

Excellent...I like very much the song.........:)

nawammawatha said...

ඔව් සොඳුරු සිත, මමත් සරත් විජේසූරියගෙ "ආදරය දැනෙන්නෙ ජීවත් වෙන්න" කියන පොත කියෙව්ව. ඇත්තටම ඒ අපි හැමෝගෙම කතා. කොහොම උනත් ඔයා කියන විදියෙ පවුල ඇතුලෙ හුදෙකලා වීම මමත් කාලෙකට කලින් බොහොම දරුණුවටම විඳල තිබුන. ඇත්තටම ඒක දරාගන්න ගොඩක් අමාරු තනිකමක්.

රත්ගමයා said...

හ්ම්.....පොත නම් කියවලා නෑ අක්කේ.....ඒත් ලස්සනයි කියලා හිතෙනවා....( සෙන්සිට්ව් විදිහට කොමෙන්ට් උනාද දන්නේ නෑ )

නිශ් said...

මේ නොබැදපු මිනිස්සු කරන ලොකුම වරද තමා එක එක්කෙනා කියන හරි තමන් දකින් අදේවල් මත විවාහය අර්ථ දකින්න යාම.

සොඳුරු සිත said...

@ Anonymous
Ah . . .Anonymous. .. Thank you.
Hey I think I know you .

සොඳුරු සිත said...

@RoshanHerath
" ජීවිතයට ගරු කරන්න "
" ආදරය දැනෙන්න ජීවත් වෙන්න"
කියන පොත් දෙකට පස්සේ ලියපු අලුත්ම පොතලු "සිතක වෙහෙස හෙවත් ස්වාමිපුරුෂයන්ගේ පැමිණිලි"

කොහෙද මේ පිරිමි ජාතිය කටක් ඇරල හිතේ තියන අවංක හැඟීම, වේදනාව කියනව නම් මේ ප්‍රශ්ණ අඩු කර ගන්න පුලුවන් නේද?

ගල් ඉබ්බො වගේ හිතේ තද කරන් ඉන්නව...

සොඳුරු සිත said...

@nawammawatha
ඇස්වහක් කටවහක් නැහැ ඕංං ඔබතුමාට එහෙම සිතකට වෙහෙසක් නොලෙබෙන වාසනාවන්ත ජිවිතයක් අද වගේම හෙටත් ප්‍රාර්ථනා කරනවා....

සොඳුරු සිත said...

@රත්ගමයා
කියවල බලන්නකො හමුවුනොත් රත්ගමය මලයො....

සොඳුරු සිත said...

@නිශ්
අනේ යාළූ ..ඔයා කියන්නෙ මට මුහුදට පැනලම බලන්න කියලද? මෙහෙමත් යාලුවො හැබෑට... පීනන්න තියා මුහුදු රැල්ලවත් පාගල නැති කොට .. හිටිවනම මුහුදට පැන්නම මොනා වෙයි ද මට....

මුහුද දිහා බලන් හූල්ල හූල්ල ඉන්නව... හිහි

Niroshan said...

ආදරය වෙනස් වෙන නිසානේ අපිට ආදරය දැනෙන්නේ, ඇත්තටම අපි වැඩිය සංවේදී ආදරයට වඩා ආදරයේ වෙන වෙනසට කිව්වොත්!!! ආදරය ඊතරය වගේ උනොත් කවදාකවත් හොයා ගන්න ලැබෙන්නේ නැහැ නොවැ. ඉතිං වෙනස් වන ආදරය තමයි අපිව ජීවත් කරන්නේ. ආදරය දැන්නෙන් ජීවත් වෙන්න කියන්න පුළුවන් වෙන්නේ ආදරයේ ඔය තියෙන වෙනස් වන ගතිය නිසා..

සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත said...

Love is holding hands in the street. Marriage is holding arguments in the street.

Well...
Then Love Marriage should be, holding arguments in the street while holding hands... :)
How lovely!

මේ දිගටම දාපු කතන්දර ඔක්කොම ලස්සනයි අක්කේ. අර 'එක සිත දෙතැනක' කතාව ඉවර නෑ නේද? ඒකට තව කොටස් එකතු උනොත් හොදඉ කියලා හිතෙනවා.

Buratheno said...

"කොහෙද මේ පිරිමි ජාතිය කටක් ඇරල හිතේ තියන අවංක හැඟීම, වේදනාව කියනව නම් මේ ප්‍රශ්ණ අඩු කර ගන්න පුලුවන් නේද? ගල් ඉබ්බො වගේ හිතේ තද කරන් ඉන්නව..."

ඔයා හිතනවද එහෙම වෙයි කියලා.. පිරිමි කියන්නෙ හැඟීම් වචනවලින් එළියට දාන පිරිසක් නෙවෙයි.. නමුත් එක හිනාවක, එක බැල්මක අර වචන දාහකින් කියන්න බැරි ‍දේ ලියැවිලා ඇති.. ගෑනියකුට ඉව තියෙන්න ඕන ඒක කියවගන්න..

සොඳුරු සිත said...

@Niroshan
හැමදේම වෙනස් වන ලෝකේ ..නොවෙනස් වන ආදරයක් බලාපොරොත්තු වෙන්න බැහැ ... ඒත් නොසිතන විදිහට මිනිස්සු වෙනස් වෙනව නම්... දාලා යනව නම්. රහසින් හරි වෙනත් ආදරයක බැදෙනව නම්...සිත් රිදවනව නම් කොහේ හරි අඩුපාඩුවක් තියෙන්න පුලුවන්....

වෙනසට අපි ආදරෙයි ..ඔයා හරි... ගොඩක් වෙලාවට අපි ආදරේ කරන කෙනා අනිත් හැමෝටම වඩා වෙනස් නිසයි අපි එයාට ආදරේ. ඒත් එකට ජීවත් වෙන්න ගත්තම ඒ වෙනසෙ වෙනසක් නැති වෙනව ඇති.

ස්තූතියි Niroshan ඔබේ අදහසට...

සොඳුරු සිත said...

@ සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත
'එක සිත දෙතැනක'2 වෙනි කොටස ලීවා... ඒක දිග කතාවක් ... කොටස් ගොඩක් ආවොත් හරි නැහැ නේද?

ස්තූථියි අගය කිරීමට.. වැරදි තැන්... තියනව නම් පෙන්නල දෙන එකත් හොඳ දෙයක්....

ස්තූථියි...

සොඳුරු සිත said...

@Buratheno
ඇත්ත ඇත්ත.... සමහර වෙලාවට පිරිමි අය නිශ්ශබ්දව ඉන්නව කියන්නේ හරියට නිහඩව තියෙන න්‍යෂ්ඨික බෝම්බයක් වගේ තමයි. ඔයාලට ඉතින් වචන අඩුයි. අපි ඉතින් ඉව කරන්න ඕනි... හොඳයි ... අද ඉඳල විපරිමින් ඉන්නම්..සුසුමක පවා සැඟවුන දුක ,සතුට අඳුර ගන්නම්... මුණ බැලුවම බඩගිනිද , තේ ඕනිද කියල කියවල බලන්නම්...

කතා අඩු ...වැඩ වැඩි පිරිමි...

ස්තූථියි Buratheno

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...