..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, January 27, 2011

෴ නම නොදන්න මල් වැල මම - නුඹ එන තෙක් බලන් ඉන්න ෴

 ගොම්මන් කළුවර මිදුල දිගේ විත් ගෙපිල ආක්‍රමණය කරන වේලේ ඇගේ රවුම් ඇස් අඳුර අතරින් හාත්පස පරිසරය සිසාර යැවුනි. හීන් හඩින් ඇය උගුර පෑදුවේ සිහින් අඳුර අතරේ වුවද ඇසට නොපෙනෙන නමුත් කණට ඇසෙන කෙනෙක් වත් හිඳීදැයි සැක හැර දැන ගන්නටය.

පිල් කණ්ඩියට දකුණු පය එසවු ඇය දීර්ඝ සුසුමක් හෙලුවාය. මේ ඇය යන්නේ තීරණාත්මක ගමනකි.සුපුරුදු අඩි පාර දිගේ ඇය පිය මැන්නේ සිතේ මිම්මටය.
ගොම්මන් කළුවර ගලා එන යාමයේ කිසිවකුත් නොයනා ඉසවුව සමීපයේ වූ මහ කළුවර ගහ පාමුල ඇය එන තෙක් රැදි සිටි දීප්තිමත් නෙතු යුග දුරදීම හඳුනා ගත් ඇය වෙනත් ළාමක ගම්බඳ ළඳුන් මෙන් බියවී අදෝනා නොදුන්නීය. 

එක් දිනක් ඔවුන් දෙදෙනා මෙවැනි යාමයක පෙම් සුව විඳින වංගියේ ඒ ආසන්නයෙන් යම් කටයුත්තක් සඳහා පය ඉක්මන් කරමින් ගිය අල්ලපු ගමේ ඕපදූප මල්ල වූ හීන් එතනාට ගුරුකම් , නූල් මැතිරවීම් වලින් නොනවැතී තොයිලයක් පවා නටන්නට සිදු වූයේ මඟ බලාන සිටින නීල දෑස හිමි තම දඟකාර ආදරවන්තයාගේ කොලොප්පමක් දුර දිග ගිය බැවිනි.

සැබෑව කුමක්දැයි දැන සිටියේ ඔහුත් ඇයත් පමණී. . එය සිහිවී ඇගේ මුවඟට පැමිණි මද සිනාව තව මොහොතකින් මැකී නැතිවී යන්නේ දීප්තිමත් නිල් දෑස හමුවන අවසන් දිනය අද වන බැවිනි.


ගම් මැද්දේ නුඹ සුවඳයි හමන්නේ
නුඹ ළඟ නැතිව කෙලෙසද දිවි ගෙවන්නේ

මයෙ මැණිකේ වැඩි දුර මම නොයන්නේ
හිත නුඹ ළඟයි අහිතක් නොම සිතන්නේ


සිදාදියේ ළඳුනගෙ රස අමයුරු පහස
ලබා එහිම නුඹ නවතිනු බැරි වාද

සිතා ඉමක් නැති සිතුවිලි බර සාර
විඩා නොම ගනින් කෙල්ලෙ මයෙ මැණික

නෙරියට පිරුණ ලැම සිරවුන හැට්ටයට
මිස සිත නොයයිදෝ කෙටි වුන ගවුමකට

ලය නොව පිරුණ හද රැඳී නුඹ ආලයට
මිස මයෙ සිත නොයයි ළඳකගෙ රාගයට

කවදා එයිද සිතමින් මම තැවෙන්නෙමි

කටයුතු අහවරක් වූ තැන නුඹ දකින්නෙමි

මා මතකයෙන් ගිලිහෙයි දෝ නොදන්නෙමි

මා මියෙනා දිනක සුසුමක ඔතන්නෙමි

ඇය විගහින් දිලිසෙන ඇස් අයිතිකාරයාගේ මුව තම සුරතින් වැසුවාය. ඇගේ සියුමැලි අත්ල සෙමින් සැපූ ඔහු ඇය තම සිරුරේ උණුසුම වෙත ඇද ගත්තේ .....ඇගේ සුවඳ , ඇගේ පහස  . . .ඇගේ ආදරය යලි කවදා විදින්නට , දකින්නට හැකි වේදෝයි සිතමින් ..සිත බැඳි මහම මහ ලෝබකමකිනි.

සිහින් සඳුන් සුවඳ සමඟ තවත් නම නොදන්නා සුවඳක් වහනය වූ ඇගේ හිස සිප ගත් ඔහු වදනින් නොකී පොරොන්දුවක් ඇයට දුන්නේ හද පතුලින් ද ? දුන් පොරොන්දු ඔහු සුරකීද යන්න දන්නේ ගම්බාර දෙවියන් පමණි.

එදා සිට අද වන තෙක් නුඹ එන තෙක් , මඟ බලමින් සිටින, මහ කළුවර ගස පාමුල , නම නොදන්න මල් වැල
මම
෴ සොඳුරු සිත ෴

9 ප්‍රතිචාර:

MaRLaN said...

දැන් කවද්ද ආයේ එන්නේ... තාමත් නැද්ද?

පූසා said...

ලස්සනයි.......

Podi Kumarihami said...

එදා සිට අද වෙනවෙනතුරු කොච්චර කාලයක්ද?

පිණිබිඳු... said...

ඇස් දෙක
රිදෙනකල්
මම
බලන් හිටියා
නුඹ එනකල්
නුඹ
නේන වග
මම දනිතත්
මෝඩ හිතට
කොහොම පහදන්නද

සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත said...

ඩී. ඩී. ගුණසේනයන්ගේ 'සොඳුර මට සමු දෙන්න' ගීතය මතකයට නැගුණා අක්කාගේ කවි පෙළ කියවලා. ලස්සනයි!

ඉලංදාරියා said...

බලා ඉමු අපි සයුරවෙරලට මුමුනන පෙම් කතා

ලස්සනයි අක්කේ ...

nawammawatha said...

මරේ මරුනෙ :)

තාරා said...

ගොඩක් ලස්සනයි...

sukitha said...

හරිම ලස්සනයි, ඔයගේ හැකියාව ඉහලයි. ඒත් ආයේ මම ඔයාගේ blog එක බලන්න එන්නේ නෑ. ඔයගේ post කියවලා හිතේ තියෙන දුක ගොඩක් වැඩිවුනා. යන්න කලින් කතාවක් කියල යන්නම්. මම මගේ ජීවිතේ වැඩියෙන්ම ආදරය කරන කෙනා, මීට ටික කාලයකට කලින් මගෙන් ඈත්වුනා. ඒ එයා වෙන කෙනෙක්ට අයිති හින්දා. ඒ වගේම එයා අම්ම කෙනෙක් වෙන්න යන හින්දා. අපි අතරේ තිබ්බේ හරිම පිරිසිදු මිතුරු කමක් විතරයි. ඒත් කාටවත් ඒක තේරුනේ නැති හින්දා, එයාට කතාවක් හැදෙනවට අකමැති හින්දා, මම එයාගෙන් ගොඩක් ඈතට වෙලා හිටියා.
හදිස්සියේම, එයා මට කතා කලා, දකින්න ඕනේ කියල කීව. අනේ මම අද එයාව බලන්න ගියාම දැනගත්තේ, පෙරේදා එයාව hospital admit කරල. මට ගොඩක් බයයි, මම ඉනනේ ගිනි ගොඩක. එයාට අම්ම කෙනෙක් වෙන්න තව මාස 2කට වැඩිය තියනවා. මට එයාව බලන්න යන්නත් බෑ කරන්න දේකුත් නෑ, මැරෙන්න තරම් වේදනාවක් දැනෙනාවා. ම්ම් කතාව ඔච්චරයි. සොදුරු සිත ඔයාට සුබ ගමන්, මම මෙතන නවතිනවා. ආයේ කවදාවත් අපි හමු නොවේවි.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...