..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, January 8, 2011

෴ කවිකාරිගෙ මියැදුන පාසල් පෙම ෴

" අර ඔයාලගෙ පන්තියේ ලස්සන කවි ලියන කළු ගර්ල් ඉන්නව ද ? "


A පන්තියේ සිටින ලස්සන සුදුම සුදු ගැහැණු ළමයා කාගෙන් දෝ උස් හඬින් අසණු මට ඇසුණි.


" ඔව් . .. ඉන්නවා .ඇයි මොකක් ද කෙරෙන්න ඕනි . . නිතරම කට කැඩිච්ච කතා කියවන මගේ හොඳම යාළුවා වලියට බර ස්වරයෙන් අසයි.


" ඔයත් එක්ක කතාවක් නැහැ. එයාව පොඩ්ඩක් හම්බෙන්න ඕනි "


" ඇයි. කළු කෙල්ලට කියල කොල්ලෙක්ට කවියක් ලියා ගන්න වෙන්නැ "


A පන්තියේ සුදු කෙල්ල C පන්තියේ කළු කෙල්ලගේ මේසය ළඟට විත් නැවතුණි.


" ඔයා කවි ලියනව නේද? මට පුංචි උදවුවක් ඕනි ඔයාගෙන් . මට කවි පන්තියක් ලියල දෙනව ද? "


" මොකක් ගැන ද? "


" මේ මේ ..... කොල්ලෙක්ට . . .'


" මොකක් කියල ද? ආදරෙයි කියල නම් .... මම වරුණිට ලියල දුන්න කවි ටික ඉල්ල ගන්න. වරුණිගේ පිරිමි ළමයා කවි වලට කැමති නැති නිසා වරුණි ඒ කවි ටික දීල නැහැ "


" නැහැ . . .ආදරෙයි කියල නෙමෙයි. . .මම ඌට කැමති නැහැ කියල "


" කැමති නැහැ කියල. එහෙනම් මොකටද කවි ලියන්නේ. . . ? "


" නැහැ මේකයි . . . මට ටිකක් කල් ඕනි "


" ආඩම්බර පෙන්නන්න නේ ද? "

" ඔව් "

ඇය සුදුය ලස්සනය. පාසලේම සිටින ලස්සනම කෙල්ලයි. ආඩම්බර පෙන්නුවාට මොකද? පව් කොල්ලා.


" පෙර ගනු දෙනු තිය ද ? තියනම් දෙන්න. ඒව බලල තමයි කවි ලියන්නේ " ‍අතරමැදියකු ලෙස කතාව මැද්දට පැනපු මගේ යෙහෙළිය පවසන්නට විය. ඇය හරි කපටි කෙල්ලකි. ඇය මෙසේ පවසන්නේ කොල්ලා කෙල්ලට පෙම් හසුනක් දීලා නම් එය ඉල්ලා ගැනීමටය.


" ඒව මොකට ද? අකමැති කියල ලියන්න ඒ ඇති "


" එහෙම කොහොම ද? කොල්ල ගැන ටිකක් දැන ගන්නෙ නැතිව කවි ලියන්න බැහැ ."


ඒ පන්තියේ සුදු කෙල්ලට ලැබුන පෙම් හසුන දැන් මා අතය. එය කීවරක් කියෙවුවා දැයි මට නම් මතක නැත. එහෙත් එය වෙනත් පෙම් හසුන් වලට වඩා බොහෝ සෙයින් වෙනස් වූ පෙම් හසුනකි. සුන්දර බොළඳ වදන් , ජනප්‍රිය බොළඳ ප්‍රේම ගීත කොටස් එහි දක්නට නොලැබුනි. පෙම් හසුනම එකම සීරුවට ගලාගෙන ගොස් තිබූ කවි කොළයකි.


වෙනකකුගේ පෙම් හසුනක් හා මා පෙමින් බැඳුනෙමි. . . .


එදින සිට මා නොදකින ,නොහඳුනන ඔහුට පෙම් පත් ලීවිම මටම බාර වූයේ , ඔහු ඇය වෙත එවන සියළුම පෙම් හසුන් කවි වලින් ම පමණක් යුක්ත වූ නිසාය. ඔහු ඇගේ කවි වලට ද ඇයට මෙන්ම ආදරය කරන බවත් ඇය මෙන්ම ඇගේ කවි ද සුන්දර බවත් එක් හසුනක ලියා තිබ්බා මට අදද මතකය.


" කවුද මේ සඳුන්."


දිනක් මා මගේ යෙහෙළියගෙන් විමසුවේ සැබැවින්ම ඔහු දැක ගැනීමේ ආසාවක් මසිත පහළ වු බැවිනි.


" ඇයි බන් උඹ දන්නෙ නැද්ද? මෙච්චර ඒකාට කවි ලියනව .උඹ තාම දන්නේ නැහැ වූ කවුද කියල . අනේ මෙහෙමත් මෝඩියෙක්. ඇයි බන් අර කෙමිස්ට්‍රි ක්ලාස් එකේ ඉන්න "කලර්ස් " අන්න ඒකා "


" ඇත්ත ද? "


ඔහු කවි ලියනවා තබා කවි පෙළක් කියවන්නවත් අකමැති අයකු ලෙසිනි මා සිතා සිටියේ. . . .


මෙසේ හුවමාරු වූ කවි හිටිවනම නැවතුණි. උ/පෙළ උණුසුම දැඩිව දැනුන එකල පෙම් කිරීමට කාලය හිඟ වූවාදැයි මා නොදනිමි. නමුදු ඔහුට කවි ලිවීම නතර වීම මගේ සිතට නම් ගෙන ආවේ සංවේගයකි.


නමුත් එක් දිනක් . . . . .


" සඳුන් වස බීල ලු . මැරිල ලු "


" නැහ් . . ."


" නැහ් නෙමෙයි .ඔව් මෝඩියේ. "


" අර මොක ද? "


" ලව් හුටපටයක් කියන්නේ. මේ දවස් ටිකේ ක්ලාස් ඇවිල්ලත් නැහැ. අන්තිමට සුජානි හම්බුන දවසෙත් දෙන්න හොඳටම රණ්ඩු වුනාලු.මේ දවස් ටිකේම ක්ලාස් ආවේ නැති නිසා සුජානි අහල තියනවා කලර්ස්ගෙ යාළුවෙක් ගෙන්. වූ තමයි කියල තියෙන්නේ. මළ ගෙදර තියෙන්නෙ අදලු "


සුජානිට පෙම් කළ නමුත්, මගේ කවි වලට පෙම් හසුන් එවු ඔහු මිය ගොසිනි. . . මට ඔහු අවසන් වරට දැක ගැනීමේ තදබල උවමනාවක් ඇති විය.


" කට්ටිය යනව ද මළ ගෙදර? අපි දෙන්නත් යමු ද? අනේ බැහැ නොකිය වරෙන් මාත් එක්ක යන්න ප්ලිස් "


" මම හිතුව උඹ ඕක කියයි කියල. මම දන්නෙ නැද්ද උඹෙ හැටි. උඹ වූට ලවු කියල මම දැනන් වුන්නා. සුජානිල නම් යන එකක් නැහැ. සඳුන්ලයි තාත්තල හරි වසයි ලු. සුජානි නිසා යි සඳුන් වස බිවේ කියල දන්නව නම්. ඒ මළ ගෙදර යන්න බැහැ නේ බං. හරි හරි . . අපි දෙන්න යන් "


අවසානයේ දී ඇයත් මමත් සඳුන්ගේ නිවස ඇති තැන් වංහුං සොයා ගෙන මළ ගෙදර යෑමට පිළිපැන්නේ එදින සවස තිබූ ධම්මි මිස්ගේ ක්ලාසය මගහරිමිනි.


නිවසට හැරෙන හන්දිය මායිමේ සුදු කොඩියක් රැවුදෙයි. ක්‍රමයෙන් මගේ හදවත රැවු දෙන හඩද මට ඇසෙන්නට විය. මම යෙහෙළියගේ අත දැඬිව අල්ලා ගතිමි. ‍


" අඩන්න එපා මෝඩියේ. අපි ඉන්නෙ පාරේ."


පාසල් නිල ඇඳුමින් සැරසුන අප දෙස වැඩිහිටියෝ රව රව යති. අපේ පිහිටට ආවේ තරුණ පහේ ත්‍රි රෝද රථ අයියා කෙනෙකි.


" මොක ද නංගිලා? සඳුන්ගේ මළ ගෙදර යන්න ද ? "


" ඔවු අයියා...අනේ අපි පාර දන්නෙ නැහැ." යෙහෙළියගේ කට ඉස්සර විය.


" කැමති නම් මම ගිහින් බස්සන්නම්. සල්ලි ඕනි නැහැ. සඳුන්ගේ යාළුවො නෙ .හිත හොඳ කොල්ලා "

එසැනින් මා යෙහෙලිය මාද ඇඳගෙන ගොස් ත්‍රී විලයේ වාඩි වූයේ කලින් සැලසුම්කර ගත්තාක් මෙනි.


" වස බීල තියෙන්නෙ මොක ද දන්නෙ නැහැ නේද ? "


" ලව්හුට පටයක් කියන්නේ . . . අපරාදේ ජීවිතේ එහෙමමයි "


ත්‍රී විලය මළ ගෙදර දොරකඩම නැවතුන අතර බිමට බැසීමට ම'සිත හයියක් නැති විය. . .  යෙහෙළියගේ වදෙන් පොරෙන් බිමට බට මා වට පිට බැලුවේ අදුනන අය සිටී නම් එය පසුවට කරදරයක් විය හැකි බැවිනි.


" ආහ් . . .මේ දූලා . .සඳුන්ගේ යාළුවො ද? "
" ඔ ඔ ඔවු අන්කල් '


" ඉන්න ඉන්න මම සඳුන්ට එන්න කියන්න "


" සඳුන් ට "


මාද යෙහෙළිය ද එකිනෙකාගේ මුහුණු බලන්නට වූයෙමු. . . .


" ආහ් . . . ඔයාල ද? මම හිතුවේ සුජානි ල ඇවිත් කියල . වාඩිවෙන්න වාඩි වෙන්න. අපි වැඩිය කතා කරලත් නැහැනෙ. මොකද වැරදිලාවත් ආව ද මළ ගෙදර ? "


" නැහ් අපි මේ මේ . . .සුජානිට එන්න විදිහක් නැති නිසා "


" ඔවු බන් ඒකි අද උදේ මගෙන් ඇහුව මොකද උඹ නැත්තෙ කියල. ඉතින් මම ඒකිට කීවා. උඹ වස බීල මළා.මල  ගෙදර අදයි කියල "


සඳුන්ගේ යහළුවකු ඉදිරියට පැන පැවසුවේ ඔවුන් සියළු දෙනා සිනා සයුරේ ගිල්වමිනි.


" කාගෙද මළ ගෙදර "


" අපේ මාමගේ. . .නැන්නදත් එක්ක ප්‍රශ්ණයකට වස බීල මැරිල. වයස 35යි. අපරාදේ . . ."


තව කොතෙක් දේවල් ඔහු මා හා දෙඩුවාදැයි මට මතක නැත. අප පාසලේ සිටින ලස්සනම ගැහැණු ළමයාගේ ප්‍රේමවන්තයාට මම කවි හසුන් ලීවෙමි. දැන් ඔහු මා ආසන්නයේ ම අසුන්ගෙන ගොළුවෙකු සේ සිටින මා සමඟ දොඩයි. . .


අනේ  . . .ඔහුට කවි ලියුවේ මා යැයි මට පැවසීමට හැකි නම්.


" අපි යන් නේද ? "


" හ්ම් . . . යමු "


එදින මා ඔහුගෙන් සමුගන්නා ගමන් ම තවත්  මා ආදරය කළ දෙයකට සමු දුන්නෙමි.  සමුදුන්නෙමි. . මා නැවතත් කිසිදිනක කිසිවකුට කවි නොලියමි. . .


ඔවුන් දෙදෙනාගේ ප්‍රේමයට කුමක් වුවාදැයි මා ඉන් පසු සොයා නොබැලූ වෙමි. නොපලවු ආදරයත් , නොකිය වූ පෙම් හසුනත් , නොලියූ කවත් සමඟ මගේ පාසල් ප්‍රේමය ද නිම විය.


Don't turn around now you may see me cry ...
ඇයට මුවා වී නුඹට කවි ලියූ
මම
෴ සොඳුරු සිත෴

23 ප්‍රතිචාර:

පූසා said...

බොක්කටම වැදුනා.... අක්කේ මේ ඇත්තම ඇත්ත කතාවක්ද? ටිකක් ඇත්ත කතාවක්ද? මනඃකල්පිත කතාවක්ද?

Neranji___නෙරංජි said...

වත් අක්කාටත් පාත් වෙන්නෙ කැත සිද්ධිමයි...

දුමී said...

සංවේදී කතාවක් වත් නගෝ.... ලොකු දුකක් දැනුණා මට...

හිස් අහස said...

ඇත්තමයි අක්කේ මටනම් පුදුම විදිහට හිතට වැදුනා . සමහර විට මේක ඇත්ත කතාවක් වෙන්න ඇති . සමහර විට මේක ඔයා සොඳුරු සිතෙන් ගොතපු තවත් ලස්සන සිතිවිල්ලක් වෙන්න ඇති .

කොහොම උනත් හරිම දුකබරයි ...

ජය වේවා !!

Ravi said...

ඔබ වෙනුවෙන් මා හද කම්පිත වී,
පබැඳුනු කව්පද ඔබට පිදූමුත්,
ඒ කව් ලිව්වේ මා බව කිසිදින,
පවසන්නට මට නොහැකිය සොඳුරිය,

මේ කතාවට යම් තරමකින් සමාන මගේම අත්දැකීමක් සිහිඋනා මේක කියවද්දි,

ලස්සනට ලියල තියෙනවා නංගි, ලස්සනයි,

නිම්ශා said...

හුගාක් දුක හිතුනා...
ආදරේ කියන්නේ බොරුවකට නෙමේ...තමන්ගේ හිතේ තියෙන දෙවල් වෙන කෙනෙක් ලව්වා ලියවලා එවා තමන්ගේ කියලා දෙන්නේ කොහොමද.. චපලයි...

soosthigune said...

මැඩම්ලා වැනි අය
මගෙ බ්ලොග් පලුව වෙත එන බව
නොදැන සිටියෙමි
තරහ අවසර.

මෙලොව සැපක් වෙත් නම්
සූස්තිය එයමය
"ත්‍රෛලෝකා විජයාපත්‍ර" නමිනුත් හැඳින්වෙන
තණමල්විල පරසිදු "මල" ද එයමය,
ගංජා කියාද කියත් සමහරු.

ariyananda said...

ලස්සන හිත් රිදෙනවා වැඩියි....
මම "ඈට" ලියපු කවි තවමත් මා ළඟ...
ඈට ඒවා දෙන්න මම පරක්කු වුන නිසා....
ඈ ඒවා දන්නෙත් නැතුව මගේම මිතුරෙක් එක්ක හාද වුනා..


ඈත් දන්නවා මම ඈට ආදරෙන් හිටි බව..
ඌත් දන්නවා මම ඈටත්, ඈ මටත් මනාපෙන් හිටි බව...
අපි ඒ බව හදවත්වල තියන් ඉන්නවා...
ඒත් අපි එකිනෙකා එක්ක හිතවත්කමින් කතා කරනවා...

ලෝකය මොන තරම් පුදුමාකාරද ?

සහෝදරයා said...

ඇගේ රුවටත් ඔබේ අදහස් වලටත්
මුලාවුනු ඒ කොලුව යහපත්
මටත් පෙම් කවි එකක් වත්
ලියාලා දෙනවාද වත්

හොද කතාවක් වත් අක්ක.... ඇත්තද ‍බොරුද දන්නෙ නෑ ... නමුත් ඒක ගොඩක් රස වින්ද

නිර්මල said...

මේකනම් හිත පතුලටම වදින කතාවක් අක්කේ....හරිම සංවේදියි.....

ෆා said...

ඇයට මුවා වී නුඹට කවි ලියූ මම
මුළු කතාවම මෙතන සාරාංශ ගත වෙලා වගේ... හරිම අගෙයි අක්කේ.. හැමෝම කියනවා වගේ දැනෙනවා හිත පතුලටම!!

ayesha said...

ඇත්තටම අපූරුවට ලියලා

nawammawatha said...

මේ කතාව ඇත්තද නැත්නම් ප්‍රබන්ධයක් ද කියල මං අහන්නෙ නෑ. සමහට විට ඒ දෙන උත්තරේට මං මේක කිවල හිතේ ඇඳගනිපු දේ වියැකෙන්න පුළුවන් හන්ද.

Unknown_User/හිඟන්නා said...

ඇඬෙනවා .... ලස්සනට ලියලා තියනවා කතාව !!!

Heeniyata said...

ඒ මග හැරුනෙ ඔයා සක්වලම පෙරලමින් හොයන ඔයාගෙම පලුව ද?

Hishan Melanga said...

මේය මහා පුදුමාකාර අත්දැකීමක්. ඔබ දුටුවේ සිහිනයක් වත්ද...?

Dinesh said...

ඇත්තටම ලස්සන කතාවක්....

ඇගේ නමින් මම නුඹට ලියු කවි
මගේ කවට නුඹ ඈට ලියු කවි
හිත බොහෝ දුරකට ගෙන ගිය කවි
එකම තනුවකට නොලියු පෙම් කවි
අද දෙතැනක ඉතිරි වෙලා ඇති හැටි...

සොඳුරු සිත said...

සියළු දෙනාටම ස්තූථියි ......

කවුරුත් අහන , කාගෙත් හිතේ තියන ප්‍රශ්ණය ට උත්තරය තමයි... මේක තවත් එක් සත්‍ය කතාවක් නෙමෙයි... ඒත් අසත්‍යකතාවකුත් නෙමෙයි...

ස්කෝලෙ යන කාලේ මට කවි ලියන්න බැහැ. ලීවත් කාටත් හොරෙන් මිසක් කවුරුත් දන්නෙත් නැහැ... මගෙ එකම එක කවියක් "විදුසර" පත්තරේ පල වුනා. මම ඒ පත්තර පිටුව හැන්ගුවා කවුරු හරි දකී කියල... අද ඒ පිටුව මා ළඟත් නැහැ...

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Dinesh
Hishan Melanga
Heeniyata
Unknown_User/හිඟන්නා
nawammawatha
ayesha
ෆා
නිර්මල
සහෝදරයා
ariyananda
soosthigune
නිම්ශා
Ravi
හිස් අහස
පූසා
Neranji___නෙරංජි
දුමී

සොඳුරු සිත said...

මාත් එක්ක හැමවෙලේම ඉන්න ඔයාලට ස්තූථියි යාළුවනේ ...

සංජු said...

වචන හිර වුණා මේක කියෙව්වම අක්කා. පාසැල් කාලයේ මේ වගේ දේවල් ඕනෑ තරම් සිද්ද වෙලා ඇති. හරිම සංවේදියි. මට උනා නම් මම එතනම අඩනවා.

෴ හසියා ෴ said...

ඇත්තමයි කදුලු පැන්නා අක්කේ....හේතුව දන්නේ නෑ...තේරුම් ගන්න ඕනිත් නෑ වගේ....මේ වගේ දේවල් කීදෙනෙක්ට වෙලා ඇතිද?

සමහරි විට එදා අක්කා තීරණයක් ගත්තානම් අද අක්කාගේ ජීවිතය මීට වඩා වෙන්ස් වෙන්න තිබුණා.

පොත්ත සුදු වෙලා දිස්නෙ ගැහුවට වැඩක් නෑ...ඒ කෙල්‍ලගේ හදවත කුණු ගෙඩක් නම්.....අනේ මන්ද....

අනිල් හේරත් said...
This comment has been removed by the author.
Red Riding Hood said...

හරිම ලස්සන කතාවක්..මමත් ඉස්කෝලේ යන කාලේ යාළුවන්ට පෙම් කවි ලියලා දීලා තියෙනවා..:)

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...