..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, December 28, 2011

෴ හදවත බද්දට / Heart for Rent ෴

බොහොම අපහසුවෙන් නමුත්
කාලයේ දියකර ගත් තීන්ත ගා
තිබුනාටත් වඩා හොඳින් අලුත් වැඩියා කරන ලද
අව්වට වැස්සට ඔරොත්තු දෙන
ඇඳ පළුදු නොමැති
සියුම් කැටයම් ඉවත් කරන ලද
සාදා අවසන් කළ වහාම පදිංචියට සුදානම්.
හදවත ක් බද්දට දීමට ඇත.....
 කී මනි අනවශ්‍යයි.
කළින් පදිංචිකරුවා නොදන්වාම නික්මී ගිය බැවින්
නොකියා නික්මී නොයන බවට
පොරොන්දු පත්‍රයක් පමණක්
අවශ්‍යයි. ....

වැඩි විස්තර සඳහා
අමතන්න
ඔබේ හදවතට


Live in My Heart and Pay No Rent




බ්‍රෝකර් ගාස්තු අය නොකරන
මම
෴ සොඳුරු සිත ෴

Saturday, December 24, 2011

෴ භුත බංගලාව 3 කොටස -(ළමා කතාවකි) ෴


සමීර , අශේන් ගේ ඇගේ එල්ලි සිටියේ , අයියා දෙස බැලීමට මුහුණ හැරවීමටවත් බියෙන් මෙනි. හු හඩ ඇසුනු දිසාවට යා යුතු බැව් අශේන්ගේ සිහියට නැගෙන්නට ද සැලකිය යුතු වේලාවක් ගත විය.ඔහුගේ ඇගේ එල්ලී සිටින කුඩා සමීරගේ සීතල අත තදින් ග්‍රහණය කර ගත් අශේන්.

“ යමු . . . .! ! ! “ යි පැවසූව ද, බිරාන්ත වී සිටි සමීර දුටු අශේන්ට කර කියා ගත හැකි දෙයක් නොවීය.

හිතට දිරි ගත් අශේන්, තමාගේ කුඩා සහෝදරයා ළඟින් දණ බිම ඔබා වාඩි වී ඔහුගේ දෑතට ඒ සීතල අත් දෙක තදින් ග්‍රහණය කර ගත්තේ , කියන්නට කිසිත් සැලසුම් නොකර ගෙන වුව ද,

“ මල්ලි , ඔයා ඔහොම බය වෙලා කොහොමෙයි ? ඒ ආවේ චන්ඩි  අයියා හූ කියපු සද්දෙ. අපි දැන් එතනට යන්න ඕනි තේරුනැ යි? මම ඉන්නකම් ඔයැයි බය වෙන්න එපා කාටවත් . අයිය ඉන්නව නෙ ළඟින්ම “


මද වේලාවක් ,ඇසිපිය නොසෙල්වා අශේන් දෙසම බලා වුන්  පුංචි සමීර අවසානයේ පුංචි හිස උඩටත් පහළටත් සොලවමින් තම සහෝදයාගේ තීරණයට අවනත බැව් හැගෙව්වේය.

එකම සම්මුතියකට එළඹි ඔවුන් දෙදෙනා , චන්ඩිගේ හු හඩ පැමිණි දිසාවට පිය නගන්නට වුයේ හදවතේ ලබ් ඩබ් හඩ ද ක්‍රමයෙන් වැඩි කරම්න්ය.

බංගලාව වටා මදක් දුරක් යත්ම පසුපස බලමින් කකුල් පැටලෙවෙමින් තමන් දෙසට එන චන්ඩිව දුටු අශේන් සහ සමීර නැවති බලා සිටියේ චන්ඩිගේ පෙනුම ඔවුන්ගේ සිතට බියක් ගෙනා නිසාය.

පසුපස බලමින් පැමිණි චන්ඩි ඔවුන් දෙදෙනාගේ සමීපයට පැමිණෙන තෙක්ම අශේන්ව සහ සමීරව දුටුවේ නැත.

“ මොකද බං මේ. මොකද හූ තිවේ. ඇතුලු වෙන්න තැනක් හොයා ගත්තැයි? “

“ අම්මෝ ...මගෙ බුදු අම්මෝ. . . . බොලට ඇහුනයි ඒ අදෝනාව. . . යන්තම් ඇති. දැන් තමයි ලේ ටිකක් ඇඟට ඉනුවේ “

“ මො කද වුනේ “

“ අපි යමු. යමින් ගමන් වෙච්චි දේ කියන්නම්. “

“ එතකොට බෝලේ ? “ මෙතෙක් වෙලා රැකගත් නිහඩ වෘතය බිඳිමින් ඇසුවේ සමීරයි.

“ හෙට එමු. දැන් කළුවර වැටෙනවා. තව ටිහකින් හොඳටෝම රෑ වෙනවා. අවශ්‍ය දේවල් ඔක්කම සූදානම් කර ගෙන අපි ආයෙත් හෙට එමු. “

තිදෙනාම හැරුනේ ආපසු යන්නට බලාගෙනය. ඒ සමඟින්ම  නැවත් නැඟී ආ  මහා අදෝනා හඬ සමඟින් , එක හීයට තිදෙනාම නතර වුයේ , කටුකම්බි වැටෙන් ද එහාට පැන සෙල්ලම් පිට්ටනියේ ද මද දුරක් දුව ගොස් හති වැටුන පසුවයි.
 
දණිස් වලට දෑත් තබා ගෙන ශරීරියේ බර දෑත් දිගේ දණිස් වෙත යවා..... පහලට කර ගත් හිසින් යුතුව තිදෙනාම හති අරින්නට විය.

“ අම් මෝ . . හ් . . .යකෝකෝ. . . . හ්ම් ම් ම් . . . ඒක නම් . .. . භුතයෙක් ම තම යියි යි! ! ! “

කඩින් කඩ හති දමමින් චන්ඩි පවසන්නට වුයේ , එක අතක් තම ඉනට ද අනිත් අත ,ඈත කළුවරින් වැසී යන මූසල පැහැති භුතගුහාව දෙසට ද දිගු කරමිනි.

ඉන් පසු තිදෙනාම අඩිපාරට වැටී තම තමන්ගේ නිවෙස් කරා එක මඟ ගමන් කරනු දැකිය හැකි වුවත්. ඔවුනතර කිසි කතාබහක් නොඇසුනි.

හිටි වනම නිහඩ බැව් බින්ද චන්ඩි පැවසුවේ අරුම පුදුම කතාවකි. . . . 


ඒ කතාවේ සත්‍ය අසත්‍යතාවය සොයා ගැනීමට ,අවශ්‍ය ආම්පන්න ද රැගෙන නැවතත් හෙට දිනයේ දී ,මුණගැහෙන පොරොන්දුව මත ඔවුන් සමුගත්තේ තිදෙනාගේ නිවෙස් වලට යනෙන මාවත් බෙදී වෙන් වෙන දෙමංසලේදීය .

ඔවුන් තිදෙනාගේ නැවත මුණගැසීම
බලාපොරොත්තුවෙන් සිටින
මම
෴ සොඳුරු සිත ෴

Thursday, December 22, 2011

෴ නොපැතූ පැතුමක , පැතුම ෴

ජීවිතේ කියන්නේ , නොපැතූ බොහෝමයක් දේ අතර , පැතූ එකම දෙයක් හමුවෙන එක වෙන්න පුළුවන්. කිසිදවසක නොපැතූ පැතුමක් වෙලා නුඹ එද්දි , පැතූ පැතුමක් එපා කියලා, නොපැතූ පැතුම වෙච්චි නුඹව පතන්න දැන් හොඳටෝම කල් මදි. . . . .

දුක හංගන් හිනා වෙන්න කියා දුන්න නුඹ
හිත අස්සේ දුක එළියට අරන් ඇයිද අද
වෙනකෙකුගේ මනාලියක් වෙලා යන්න හෙට
නුඹේ කඳුළු පාඩඩ බැහැ පාගන්නට මට

අහම්බයෙන් මුණ ගැහුනත් මල් සුවඳක් ලෙස
ජීවීතේම සුවඳ කරන් පිපුනා හදවත
හෙටත් ඉන්න  මයෙ දිවියේ සුවඳක් විලසට
එපා යන්න මේ විලසට පරවී මගෙ ළඟ

නුඹේ අතේ දැවටී මුළු ලොවක් දැක්ක මට
වෙනකෙකුගේ ලොවක් වෙනව හෙට දිනයක සිට
ඒ ලොව තුල පුංචි ඉඩක නුඹත් සිටින වග
නොකීවාට නුඹ දන්නව නෙව ද මගේ හිත

ඊයේ අද මතක පොතේ වැසුව පිටක් ලෙස
අමතක වෙන්නැහැ මට නම් කවදාවත් නුඹ
වෙන්නව යන්න දෑත ඉතින් අතහරින්න අද
සිනා වෙවී සමුදෙනව ද මට යන්නට දුර

              සමුදෙන්න බැරිව
                 ලතැවෙන
                   මම
          ෴ සොඳුරු සිත ෴
ප/ලි:-
භුත බංගලාව කතාවේ ඉතිරි කොටස් ඉදිරියට පලවෙන බැව් කාරුණිකව සලකන්න.......

Tuesday, December 20, 2011

෴ භුත බංගලාව 2 කොටස -(ළමා කතාවකි) ෴


" පැනපන් "

අයියාගේත් මල්ලීගේත් කල්පිත ලෝකය බිඳ හෙළු චණ්ඩි ,විධානය දුන්නේ ,බිදී ගිය වැටේ වූ මලකඩ කෑ කටු කම්බි පේලි දෙකක් ඈත් කරම්න්ය.

“ පොඩි එකා . . . උඹ ඉස්සෙල්ලා පැනහන් “

“ ඉහි ඉහි . . . . මට බෑ .මට බෑ බෑමයි “

“ආහ්  . . . ! ! ! ඒකත් එහෙම ද? එහෙනම් බොලයි අයියව ඇතුලට යවල , උඹයි මායි එළියෙන් ඉමු සමීරයෝ “

“ මට බැහැ. එහෙනම් අපි තුන්දෙනාම යං “

“හරි හරි. උඹ පොඩි එකා නිසා ඉස්සෙල්ල රිංගහන් මෙතනින්.අපිත් එනෝ බං “

වියල් කෙරුනු මළකඩ කටු කම්බි ඇඟේ නොවදින්නට , එහා වත්තට පැණිම සමීරට සුළු දෙයක් වුව ද, ඔහුගේ සිත පුරා විහිදී ගිය බිය සහ ත්‍රාසය විසින් දෙතුන් වරක් ඔහුගේ පුංචි ශරීරයේ කටු කම්බි වැදීම නිසා සීරෙන්නට විය.මිනිසෙකුට පිටත ඉදන් කර පොවා බැලීමට නොහැකි තරම් උසින් මන්දිරයේ වත්ත වටා ගසා තිබු ගල් තාප්පය, සෙල්ලම් පිට්ටනියේ මුල්ලේ දී පුංචි කටු කම්බි  වැටකට සීමා වුයේ, එක්කෝ  ගල් මදි වීය , නැත්තම් බාස්ට හදිසියේ ගෙදර යෑමට හදිසි වීම නිසා වෙන්නට ඇති බැව් පුංචි සමීර සිතන්නට විය. මටමයි වෙන්නේ.....

“ අම්මියෝ . . . ! ! ! මට ටෙටනස් විඳින්නත් වෙයි “

“ අනේ මේ . . .  “

දැන් තිදෙනාම වැටෙන් මෙහා පැත්තේ ය. ගමේ ඉන්න වැඩිහිටි චන්ඩියෙක්වත් හොඳ සිහියෙන් පය නොගසන භුමියක , පුංචි කොළුකුරුට්ටන් තිදෙනෙක් , ගැහෙනා දෙපා වලින් , ලේ පොඳක් නැති සුදුමැලි මුහුණු දික්කරන් සිටින්නේ , මඟ වැරදි , අවේලාවේ  අපායට ගොඩබට සූර දූතයන් පරිද්දෙනි.

“ දැන්  . . .  කොහෙ කියල බෝලෙ හොයන්න ද, තව ටිහකින් හොඳටෝම කළුවර වැටෙයි “

මෙතෙක් නිහඬව සිටි සමීරගේ අයියා කොහේ දෝ සිට පහල වූ අපූරු නුවන මෙහෙයවමින් පවසන්නට විය.

“ යකෝ . . . . ! ! ! මේ බංගලාවේ ලොකු. මේක හරියට මාළිඟාවක් වගේ “ දිදුලන දෑස් අයාන පවසන චන්ඩි දෙස අයියාත් මල්ලිත් බැලුවේ අයා ගත් මුවෙනි.

“ කොහෙ යන්න ද? අපි බොලෙ අරන්මයි යන්න ඕනි. තොපි දෙන්න ඕනි නම් ආපහු පලයව්.මම නම් යනෝ මේ බංගලාව ඇතුලටම “

“ නැහැ . . .  අපිත් එනෝ , ඔයැයිතුත් එක්ක “

අයිය මලෝ දෙදෙනාට ලැබුන අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන නොගන්නට ඔවුන් ඒකමතිකව තීරණය කෙරුවාක් මෙන් ඔවුන් පැවසුවේ , පුංචිකමට සිතට නැගෙන දැඩි කුතුහලයත් , පුංචි වික්‍රමයන් හි නියලෙන පුංචි ළමයින්ගේ , සිංහලට හඩ කැවූ ඉංග්‍රිසී නාට්‍ය වැඩිපුර නැරඹිමත් නිසාම වන්නට ඇත.

. . . . මුන් දෙන්න එනෙක , කෝකටත් හොඳයි. නැත්තම් මම මේ භුත ගුහාවේ කොහොම රිංගන්න ද . . . . . 

හිස කරකවා ඔවුන් දෙස බැලු චන්ඩි සිතන්නට විය.

“ එහෙනම් යං “

“ ඒත් කොහෙන් ද ? “

“ යමු. . . වටෙන්ම ඇවිදන් යමු. කොහෙන් හරි තැනක් ඇති. ඇතුලට යන්න. තැනක් නැති වුනොත් , ජනේලයක් කඩල හරි ඇතුලට යමු“

“ කොහොම ත් ඇහුන සද්දෙ විදිහට බෝලෙ ඇත්තේ ගේ ඇතුලෙ “

“ ඔවු , උඹ හරි අශේන් “

සමීරගේ අයියා , අශේන් , වැඩි කතාබතා නැති නමුත් හොඳ මීටරයක් බැව් චන්ඩි දනී. මෙතෙක් පරම සතුරන් සේ එකිනෙකා නොරුස්සමින් සිටි තිදෙනා , එකවර පුංචි සවිමත් කණ්ඩායමක් බවට පත්වුන අපූරුව , පුංචිවුන්ගේ ලොවේම මිසක් වැඩිහිටි ලොව දැකිය නොහැකි ගුණාංගයකියි මට සිතේ.

පුංචි සමීර මේ සියල්ල තුල දුටුවේ ත්‍රාසජනක හා භයංකාරබවම පමණක් වුවත්, ඔහුගේ සිත තුල  ද මේ ක්‍රියාන්විතය ට සම්බන්ධ වීමට ලැබීම ගැන වූයේ යම් ආකාරයක ආඩම්බරයකි.

“ චන්ඩි යන්න ඔය පැත්තෙන් , අපි දෙන්න මේ පැත්තෙන් එන්නම්. ඇතුලට යන්න ක්‍රමයක් දැක්කොත් හයියෙන් හූවක් තියන්න “

“ හරි . . . “

අශේන් වැන්නකු තමන් සමඟ සිටිම ගැන චන්ඩි සැබැවින්ම ආඩම්බර වූ අතර , නිරායාසයෙන්ම පුංචි කණ්ඩායමේ නායකත්වය චණ්ඩිගෙන් ගිලිහී ගොස් අශේන්ට ලැබීම ගැන චන්ඩිගේ සිතේ කිසිම කහටක් ද වූයේ නැත.එ සේ හෙයින් , අශේන් කළ ඉල්ලීම , නියෝගයක් සේ දැක වැඩිහිටියන් සේ කුපිත වීමට ඔහුට අවශ්‍ය නොවීය.


ඒ විශාල මන්දිරය වටා , තිදෙනාටම එකවර පැදකුණු කර අවසන් කිරීමට නම් සැලකිය යුතු කාලයක් ගත වන අතර , අඳුර විත් මුළු ප්‍රදේශයම වසා ගන්නට කලින් මන්දිරයට ඇතුලු වීමට හෝ බෝලය සොයා ගැනීමට නොහැකි වනු ඇත. අශේන්ට ඇත්තේ අනගි මොළයකි.

මන්දිරය විශාල වුව ද කිසිවකු වසන බවට කිසිම සලකුණක් සොයා ගත නොහැකි විය.මන්දිරය විශාල රුක්ගොමුවකින් වට ව තිබූ නිසා , පරිසරයේ වූ අඳුර වඩ වඩාත් ත්‍රීවුර වු අතර, අවුරුදු ගණනකින් ඉදල් ඉරටු පහරක් වැදී නැති පොළව , ගස් වලින් වට සියළු දේ පොළවට පස් කරමින් සිටිනු දැකිය හැකි විය.තට්ටු පිට තට්ටු වැටී තිබූ කොළ රොඩු වල ඔවුන් අඩිය නොතිබ්බේ, විෂ සර්පයන් එහි සිටිනු ඇතැයි යන බියටත් වඩා. පයට පෑගෙන වියළි රොඩු වලින් නැගෙන හඩින් ද ඔවුන් බිය පත් වූ නිසා ය.

මන්දිරය වටා වූ සිමෙන්ති පේමන්ට් එක මතින් ඇවිද ගියේ ... පේමන්ට් එක වැසෙන්නට තරම්  වු නොයේකුත් වර්ගයේ කුණු කන්දල් වල හැපෙමින් ය.

මන්දිරයේ විශාල බිත්ති වල ඇතැම් තැන්හි දිය සෙවෙල් බැඳී තිබුනි.ඇතැම් තැන ක වර්ණාලේපයන් පතුරු පතුරු ගැලවී යමින් තිබුනි. ආලේප කර ඇත්තේ කුමන පාටදැයි පැවසීමට ඔවුනට නොහැකි විය.ජනේලයකින් පනිමු යැයි යෝජනා කල ද, මන්දිරයේ වූ විශාල ශක්තිමත් ජනේල දුටු අශේන්ගේ සිතේ වුයේ  දෙගිඩියාවකි.

සිතේ උපන් දෙගිඩියාව යටපත් කරමින් නැග ආ හූ හඩත් , ඒ එක්කම වාගේ ඇසුනු අද්භුත ගෙරවුම් හඩත් යහළුවන් තිදෙනාගේ මුහුණු සුඳුමැලි දියරයෙන් පුරවා ලන්නටත් , උන්තැනම ගල් වුන සිරුරු තදින් පොළවට බැද තබන්නටත් සමත් කරවීය.
හූ හඬින් සහ අමුතුම ගෙරවුම් හඬින් බිරාන්ත වූ
මම
෴ සොඳුරු සිත ෴

මෙන්න තුන්වෙනි කොටසට පාර . . . .

Monday, December 19, 2011

෴ භුත බංගලාව I කොටස -(ළමා කතාවකි) ෴


" සලාං . . . . . . . . .! ! ! !."

මෙතෙක් ප්‍රීතියෙන් පිනායමින් සිටි පුංචි සිත් , එක මොහොතකින් කළු වළාවකින් වසා දැමීමට ඒ විශාල මිහිරි සද්දයට හැකි විය.

පොඩිවුන් එකිනෙකා ,එකිනෙකාගේ මුහුණු බලන්නට වූයේ , නපුරු සිහිනයකින් සිහි එළවා ගන්නට මෙනි. නඩයේ සිටි ශරීරයෙන් තරමක් විශාල නමුත් වයසින් නොමේරු එකෙකු හඬමින් දුවන්නට වත්ම , අනිකුන්ගේ සිත් ද දුවන්නට ම අර අදින්නට විය.

“ එකෙක් දුවන්නෙ නැහැ ! ! ! ! “

හඩ නැගුවේ නඩේම එකෙකි.

“ යකෝ මේක හරි වැඩක් නෙව. තොපි එකෙක් වත් මයෙ බොලෙ අරන් නොදි මෙතනින් හෙම යනව නෙමෙයි ඕං හරිය “

නඩයට අලුතින් එකතු වූ , ගමට අලුතින් ආ අමුතු පවුලේ කට සැර කොළුවාගේ හඬින් පුංචිවුන් තව තවත් අසරණ වන්නට විය.

“ අපි යමු අයියේ . . . . මට බයයි. “

පුංචි සමීර අයියාගේ කමීසයෙන් අදිමින් පවසන්නට වූයේ අඩන්නට ඔන්න මෙන්න වූ ඇස් . . . චන්ඩියාගෙන් ඉවතට නොගනිමිනි.

“මොකො බොල කුටු කුටු ගාන්නේ ? “

සමීර දෙස රවා බැලු චන්ඩි කොල්ලා. ඔවුන් දෙදෙනා වෙත ලං වත්ම, බියෙන් ඇලලි ගිය සමීර , අයියට මුවා වෙන්නට විය. ඒ සුනංගුවෙන් ලත් අවසරයෙන් , අනිත් කොළු කුරුට්ටන් , දිව යන්නට විය.

“ කොහෙ ද බොල තොපි දුවන්නේ , හොඳයි බලාගනිව්, තොපි එනව හෙම නෙමෙයි මේ පිට්ටනියේ ආයෙ සෙල්ලම් කරන්න “

ප්‍රමාණාවත්තරම් ඈතට දිව ගිය කොළුරැල “හූ “ හඬ නඟන්නට විය.

“ හූ . . . . ! ! ! , හූ . . . ! ! ! හූ . . . . . . . . . .  .! ! ! “

“ යකෝ . . .ව් . . . .  තොපි වරෙව් කෝ ආයේ . . . “

කෑගසන උන් කෙරේ තම කෝපය පල කළ ද , ඔවුන් පසුපස නොදිවු චණ්ඩි කොල්ලා , තවමත් තමන් ළඟ සිටින අහිංසකයන් දෙස බැලූවේ , ඔවුන් දවා හළු කරන නෙතිනි.

“ අයියා . . . . . “

පුංචි සමීර තව තවත් අයියාට තුරුළුවන්නට විය.

“ තොපි දෙන්න හෙල්ලෙන්නෙ නැහැ. වරෙව් යන්න මාත් එක්ක “

“ කො කො . . . කොහෙ යන්න ද ? “

වියළි ගිය තොල කටට නඟාගත් ප්‍රාණයෙන් සමීරගේ අයියා අසන්නට විය.

“ වෙන කොහෙ ද , මයෙ බෝලෙ ගන්න. බොලවු දන්නව ද ,මම ඔය බෝලෙ ගන්න කොච්චර නම් ආප්ප ඇද්දද කඩේට. ඕක අරන් මිසක් , අද මම ගෙදර යන්නෙ නැහැ.මම විතරක් නෙමයි, තොපි දෙන්නත් යන්නෙ නැහැ . හරිය “

“ මල්ලිට යන්න දෙන්න .“

තමන්ගේ කමිසයෙ එල්ලී බියෙන් සැලෙන පුංචි සමීර දෙස බැලු අයියා පවසන්නට විය.

“ ඒව කොහොද ? මාව තම්බන්න හිතුව මදි බොලා, මල්ලි ගිහින් ගෙදෙට්ට කීවම ඔක්කොම ඉවරයි. යමු ඉස්සර වෙලා තොපි දෙන්නා “

“ අපි අලුත් බෝලයක් අරන් දෙන්නම්. “

“ අනේ මේ . . .  තොපි මෙච්චර කල් සෙල්ලම් කරේ රබර් බෝලෙන්, බොලාගේ ටෙනිස් බෝල, අනේ නිකම් පලයව් “

කතාව ඇත්ත බැව් පුංචි සමිරගේ පුංචි හිතට ද වැටහෙයි. අම්මා තාත්තාට කොතරම් සල්ලි තිබුන ද, අයියා කොතෙකුත් ඉල්ලූව ද, ඔවුන්ට ක්‍රිකට් ගැසීමට ටෙනිස් බෝලයක් ලබා දීමට තරම් සමීරගේ දෙමාපියන් කාරුණික වූයේ නැත. නමුත් චණ්ඩි අයියා ගේ ආගමනයත් සමඟම එතෙක් රබර් බෝලයෙන් සෙල්ලම් කළ කොළු රැලට උදාවුයේ වාසනාවන්ත කාලයකි.

චන්ඩි අයියාගේ නියම නම සමීර නොදනි, ගමේ අනිත්වුන් ද නොදන්නා බව සහතිකය. හේතුව නම් ඔහුගේ නම කියා ඇමතීමට පෙරම , ඔහුගේ අනන්‍යතාව හෙලි වී නම් පට බැඳීම නිසාය.ගමට උන්හිටි ගමන් පාත් වූ චන්ඩිගේ අම්මා සහ චන්ඩි ගමේ අතැර දමා තිබු මැටි ගෙදරක හදිසියේම පැල පැදියම් විය.

“ඕකුන් එක්ක සෙල්ලමට හෙම යනව නෙමෙයි හරි ද? “

“ ඇයි අම්මා ඒ . . . ඒ අයියා කතා කරනව අමුතු වුනාට හරි හොඳයිනෙ අම්මා “

“ ඒ ඩිංගිත්තට කතාවටත් ගියා ද? මොන ගුබ්බෑයමක ඉදන් පාත් වුනාද කවුද දන්නේ ? මහමන්ඩිගේ කතාවත් හරියට මුඩුක්කුවක ඉදන් ආවා වගේ “

“ ඒ අයිය හරි හොඳයි. සෙල්ලම් කරන්න ටෙනිස් බෝ . . . “

සමීරට ඉතිරි ටික සම්පූර්ණ කිරීමට නොඳුන් සමීරගේ අයියා , සමීරගේ කට තද කර වසමින් ඔහුව ඉවතට ඇද ගෙන යන්නට වූයේ ,

“ මෝඩයා . . . ඔක්කම කියනවා. එන්නෙපා මාත් එක්ක සෙල්ලම් කරන්න යන්න අනිත් දවසෙ “

“ යමවු යමවු පොඩ්ඩක් කකුල ඉක්මන් කරල “ චන්ඩි අයියාගේ ගෝරනාඩුවෙන් පුංචි සමීර නැවතත් සෙල්ලම් පිට්ටනියේ කෙළවර වෙත පැමිණ තිබුනි.

“ඔයා ඉස්සර වෙන්න, අපි දෙන්න පස්සෙන් එන්නම් “

“ හහ් . . . තොපිනම් යකෝ, අහිංසක කමට හිටියට කට්ටම නැහැ නේද ? මාව ඉස්සර කරල පැනල යන්න ද “

“නැහැ. . .අපිට බයයි “

“ බය ගුල්ලෝ  . . . .! ! ! “

ඒසේ පැවසුව ද , සෙල්ලම් පිට්ටනියේ අඳුරු කෙළවරට පැමිණ සිටි ඔවුන් තිදෙනාගේම මුහුණු වල තිබුනේ , මහා රැදුරු රාක්ෂයෙක්ගේ භවනකට ඇතුලු වන පුංචි දරුවන්ගේ මුහුණු වල වූ හැඟීම් වලට නොදෙවෙනි හැඟීම් රැසකි.

ගොම්මන් කළුවර සෙල්ලම් පිට්ටනියත් යට කරගෙන ඇතිරෙන වේලාවේ , ඒ අඳුරට මුසුවෙන  පුංචි ඡායා තුනක, පුංචි ඇස් හයක් ගමේ වුන් කෙදිනකවත් ඇතුලු නොවූ , රාත්‍රියට මහ හඬ නඟා කෑ ගසන ඒ භුත ගුහාව වෙත යොමු වී තිබුණි.





ගොම්මන් අඳුරරේ , පොඩ්ඩන් දෙස බලා සිටින
මම
෴ සොඳුරු ෴

Friday, December 16, 2011

෴ නුඹ ළඟ සිටි මම ෴


වැලි කතර, මහ මුහුද , නිල්ල නිල් වන අරණ
මඟ දිග ද , සැම තැනම
සෙවූවෙමි මං මම ම

පයට පෑගෙන වැලි ද , හිමිදිරියෙ පිනි මතද
ගලා යන දිය රැළිද ,අහසෙ මියෙනා තරුද
සෙවූවෙමු මං මම ම

බඹර තුඩ විෂ මත ද , විහඟ ගීයක අග ද
මල ක පෙති මත ඇති ද
සෙවූවෙමි මං මම ම

දිනක නොපැතූ විලස , හිත බැඳුන නුඹ ළඟම
 නොසොයාම මුණ ගැසුනි
සෙවූ මම නුඹ ළඟම 

කඩා බිඳ දා පවුරු ,සොයා දී මා මට ම
ගියේ දුර ඇයි නුඹ ත්
මගෙ අඩකුත් රැගෙන

නැති වූ අර්ධය සොයන
මම
෴ සොඳුරු ෴

Sunday, December 11, 2011

෴ සඳේ පෙම ෴


විළිබරව සැඟවෙන
යළිත් හිමිහිට එළි වෙන

සඳ අහසෙ මතුවෙන
නුඹයි මගෙ මතකයට එක් වෙන

නුරා රස සඟවන
කඳුළු තරු මල් අතර දවටන
සුසුම් ගෙන ඉසිමින
මිලින තණබිම මලින් පුරවන

ජනෙල් පළු අතරින
දෑස නිතරම යොමු වෙන
තොල් පෙති පොපියමින
නොකියනා දේ නෙතින් දනවන

රාත්‍රිය මැදියම
යහනෙ නුඹ සැතපෙන විට
සඳ කැළුම් දහසක
දැවටී එන්න නුඹ වෙත

වේදනා දෙන හදවත
නිවා සනසන්නට
හෙලා සුසුමක් දිග
සිප ගන්න ඔය වත මට

ලොවම නොදකින ලෙස
ලොවට රහසක් වූ ලෙස
සඟවන්නෙ කෙලෙස ද
නුඹට පමණයි මගේ සෙනෙහස

නුඹේ සඳ
මම
෴ සොඳුරු සිත ෴

Wednesday, December 7, 2011

෴ සතුට සොයා ෴




“ අර ඉන්නේ , අර අර . . . .  නිල් පාට සාරියක් ඇඳල, හිනා වෙවී ඉන්නේ “

“ ඉතින් ! ! ! “

“ ඔයා කීව නේද දවසක්,ලෝකේ සතුටින්ම ඉන්න කෙනා දකින්න ඇත්නම් කියලා“

“ ඔවු . . ! ! ! “

“ ඉතින් ළමයෝ , මම දන්න විදිහට, ලෝකෙ සතුටින්ම ඉන්න ගැහැණිය තමයි එයා “

“ ඔයා කොහොම ද එහෙම කියන්නේ , ? ඇයි එහෙම කියන්නේ. එයා මේ මොහොතෙ හිනා වෙලා ඉන්න නිසා ද ? “

“ නැහැ. එයා මේ මොහොතෙත් ගොඩාක් ප්‍රශ්ණ වලට මැදි වෙලා ඉන්න නිසා “

“ මට තේරෙන්නෙ නැහැ “

“ හ්ම් . . . ඔයා දන්නව ද, එයා ගොඩාක් පෝසත් පවුලක ළමයෙක්. ඒත් එයා ස්කෝලෙ ඕලෙවල් කරන කාලේ වෙනකොට එයාගේ තාත්තා හදිසියේම අන්ත්‍රා වුනා. එයාට හිටිය එකම සහෝදරයා ,මානසික රෝගියෙක් , ටික දවසකින් අම්ම ත් හදිසියේම මැරුනා. දේපල වස්තුව තිබ්බ නිසා නෑයො ලං වුනත් , ඒ ගැහැණු ළමයව රවටන් දේපල ටික නැති වෙනකම් ළඟහිටියො නෑයෝ ඊට පස්සෙ ඒ ළමයව දාලා ගියා. ණයට සින්න වුන මහ ඉඩමකුයි පරණ දිරල ගිය වලව්වකුයි , මානසික රෝගි සහෝදරයෙකුයි එක්ක ඒ කෙල්ල තනි වුනා. හොඳට ඉගෙන ගන්න පුලුවන් දක්ෂ ළමයෙක් වුනත් , අමාරුවෙන් උසස් පෙල කරල කැම්පස් තේරුනත් , ඒ අවස්ථාව මඟ ඇරල සහෝදරයත් බලාන පුංචි පුංචි රස්සාවල් කර කර යන්තම් ජීවිතේ ගැට ගහ ගත්තා “

“ පොඩ්ඩක් ඉන්න , ඔයා කොහොම ද ඔය කෙල්ල ගැන ඔච්චර විස්තර දන්නේ , එයා මේ ගමට , මේ රස්සාවට ආවෙ අලුතින් කියල නෙ මට කියල තියෙන්නේ “

“ හ්ම් . . . . .  ඔවු. . .අලුතින් . . . ඒත් මම එන්න කලින් වුන දේවල් මම නොදැන ඉන්න විදිහක් නැහැ නේද ? “

“ ඒ කියන්නෙ ඔයා එයා ගැන හොයල ? “

“ ඔවු. .  හෙවුව තමයි. මේ තරම් පුංචි රස්සාවක් කරන  එයා ,හිනා වෙලා ඉන්න හැටි දැක්කම මට හිතුනා , එයා තමයි ලෝකෙ ඉන්න සොඳුරුම ගැහැණිය කියලා.“

“ එච්චර ද ? ‘

“ නැහැ . .  තව තියේ. දිගටම අහනව ද? නැත්තම් නවත්තන්න ද ? “

“ අහමු , ඔයා කියන්න “

“ ඉතින් , ඒ කෙල්ලගෙ ජීවිතේටත් ආදරය එඹිල බැලුවා. ගමේ ගොඩක් දුප්පත් පවුලක , හමුදාකරයෙක්, කෙල්ලත් නොදැනම , දෙන්නම අර ණයබරට සින්න වෙන්න ගිය දිරපු ගෙයි කැඳැල්ලක් හැදුවා. ළමයෙක් බඩ ඇවිත් මාස දෙක ඉවර වෙන්නත් කලින්, කොටි බෝම්බයකට අහුවෙලා ඒ කොල්ලත් මැරුනා “

“ ඉතින් , . . .  දැන් එයා වෙන මිනිහෙක්ව බැදල ද? “

“ ගෑණු - මිනිස්සු , ජීවිතේ කියන්නේ කසාඳ බදින එක විතරද ,ඔයාට අහන් ඉන්න බැරි නම් මම නතර කරන්නම් “

“ නැහැ. ඔයා කියන්න “

“ හමුදා පඩිය කෙල්ල අතට ලැබෙන නිසා , අගහිඟයක් නැතිව ජීවත් වෙන්න පුලුවන් උනත් , වටේ පිටේ ඉන්න පිපාසයෙන් පිරුණ පිරිමි , ඇගේ ඇඟ මසට තියෙන අනුකම්පාවෙන් එයා ළඟට කිට්ටු වුනා “

“ ඕකනෙ කියන්නේ , කොයි ගෑනිත් ඔහොම තමයි “

“ හරි එහෙනම් , ගෑණු ගැන මට වඩා ඔයා දන්නවනේ. මම නතර කරන්නම් “

“ අනේ නැහැ මැණික . . .ඔයා කියන්න “

“ මුලදි මුලදි , ආදරය කියල රැවටුනත් , පස්සෙ න් පහු එයා තේරුම් ගත්තා , මිනිහා එන්නෙ මොකාට ද කියලා. ඒ වෙන කොට , මැරුණ මිනහ නිසා හැම මාසෙම හමුබුන පඩියෙන් සැලකිය යුතු ගානක් ඒ එන මිනිස්සු එයාගෙන් උදුරන් ගිහින් තිබ්බා “

“ යකෝ මාර වැඩක් නෙ ඒක. ඇඟ මදිවට සල්ලිත් අරන් ද ? “

“ ඔවු. ඇඟ රාගයටත් , සල්ලි ආදරයටත් සින්න වෙවී තිබ්බා “

“ ඉතින් “

“ ඉතින් දවසක් , එයාට හිටපු එකම ඥාතියා එයාව දාලා ගියා. “

“ කවුද , පිස්සු අයිය ද? “

“ ඔවු . පිස්සු උනත් අයියකෙනෙක් එයාට හිටියා.තමන්ගෙ කියලා. අයිය නිසා ගෙදරට යන එන පාදඩ මිනිස්සුන්ගෙ ගමන යම් තරමකට සීමා වෙලා තිබ්බේ. පිස්සෙක් වුනත් තමන්ගෙ වැන්දඹු නංගිව පරිස්සම් කර ගන්න ඕනි කියල මිනිහට තේරෙන්න ඇති “

“ ඉතින් “

“ අයියත් මළාට පස්සෙ , . . .  පුංචි දූත් ටික ටික ලොකු වෙන නිසා , ගම අතඇරපු ගෑණි , මෙහාට ආවා . මේ රස්සාව බොහොම පුංචි රස්සාවක්. රස්සාවෙන් එයාට ලැබෙන පඩියට වඩා, එයා බලාපොරොත්තු වෙන්නෙ ආරක්ෂාව කියල මම තේරුම් ගත්තේ, එයා ගැන හොයද්දි. “

“ ඒ කීවේ . . “

“ මෙතන රස්සාවට ඇවිත් වැඩි කල් යන්න කලින් , කාගෙත් හිත් දිනා ගත්තා. ලොක්කාගෙ වයසක අම්මව බලා ගන්න කෙනෙක් නැතිව ඉද්දි , මේ ගැහැණියව ලොක්කට පේන්න ඇත්තේ දිව්‍යාංගනාවක් වගේ . දැන් මෙයා ඉන්නෙ ලොක්කගෙ ගෙදර. දවල්ට මෙහෙ වරුවකින් තියෙන ඔක්කම ටොයිලට්ස් , වොෂ් රූම් විතරක් නෙමෙයි , කාණුත් ඔක්කම සුද්ද කරනවා. දවල්ට ගිහින් උයනව. ලොක්කටත් කෑම එකක් අරන් එනවා. ආයෙත් හවස් වරුවෙ කවුරුත් ගියාම , ආයෙත් වටයක් සුද්ද කරනවා. “

“එතකොට එයා රෑට ඉන්නෙත් ............? “

“ ඔවු . . . ලොක්කගෙ ගෙදර “

“ හෙහ් ඔයා හිතනව ද , එයාට ඒ ගෙදර ආරක්ෂාවයි කියලා. “

“ අපොයි ඔවු “

“ ලොක්ක බැදල ද ? බැදල වුනත් අද කාලේ පිරිමි  . . . . “

“ ලොක්ක බැදල නැහැ. ලොක්ක ගෑණුන්ට කැමැති කෙනෙකුත් නෙමෙයි “

“ ආහ්  . . . . “

“ ඔවු ,  . . ! ! ! “

“ මම නම් එයා දකිද්දි හිතුවෙ නැහැ.එයා ක්ලීනින් සර්විස් එකේ වැඩ කරනව කියලා.  “

“ ඒක තමයි කියන්නේ. අද එයාගේ දූගේ ස්කෝලෙ  උත්සවයක්. ඔය ඇඳන් ඉන්නේ , ඔෆිස් එකේ අය එයාගේ උපන් දිනේට අරන් දීපු සාරියක්. එයාට කියල ඉතිරි වෙලා ඉන්නෙ ඒ දූ විතරයි. “

“ හරි පුදුම යි . . . ! ! ! “

“ ඇයි . . . ! ! ! “

“ එයා කෙහොම ද , ඒ තරම් සතුටින් ඉන්නේ “


සතුට සොයා යන ගමනේ
කොතනද ඔබ මා රැඳුනේ
සිත ගත සොයනා සැම දේ
මා ළඟ නොවෙදෝ රැඳුනේ



හැමදාම දුකින් ඉන්න
මම
෴ සොසී ෴

Monday, December 5, 2011

෴ හිත නැති මම෴

අපුල්ල අපුල්ල මඩේ දාන මයෙ හිත
දැන් හොඳටෝම රිදිලා
දරුණුවට කා වැදුන මතක මකන්න හිතාන
දාපු සැර බේත් වලට
හිත හිල් වෙලා
ලස්සන පාට සේදිලා
හරිම අවර්ණ
ඉරි තැලුණ
හිතක්

මොකටද ලග තියාන
විසිකරමු අර නොපෙනෙන ඈතටම
අනන්තයටම

ඉන් පස්සෙ ඉමු සතුටින් නැතත් දුක නැතිව
ඉස්සර වගේ හැමදාමත්

෴ මට පේන්න බැරි , මයෙ හොඳම යාළුවා.෴



මේ ඊයේ පෙරේදා  දවසක
පුංචි හවස් වරුවක
ගබඩා කාමරයේ මුල්ලක
තිබිල හමුවුනා

මං පුංචි දවස් වල ඉස්සර
මයෙ ළඟ මයෙ හිස අද්දර
නිතරම සිටි මේ මිතුරා
ඇයි ද ගොළුවෙලා

දුවිලි පිසදා අරගෙන
මලකඩ කෑ තැන් පිසගෙන
ගබඩා කාමරයෙන් ඉවතට
අරන් පිට වුනා

මයෙ ස්කෝලෙ දවසක
මයෙ ළඟින්ම මොහු ඉදගෙන
මර හඬ දී ගෙන දුන් වද
මට අයෙත් සිහි වුනා


ට්‍රීං ට්‍රීං ගාගෙන
මයෙ සිහින බිඳන් ඇහැරෙන
අල්ලා මිටිකර ඈතට
විසිකරා සිහිවුනා

ආයෙත් අහුලන් අරගෙන
මයෙ ළඟින්ම හිදවා ගෙන
පොතත් එක්ක පාඩම් කර
අයුරු සිහි වුනා

පන්තිය පන්තියට ඉහළට
ආ හැටි සිහිවී ආයෙම
නුඹ කොතනදි මඟ ඇරුනි ද
මම යළිත් සිහිකළා

ගේ දොර අතහැර ආවිට
බෝඩිමෙ නැහැ ඉඩ නුඹහට
මම අලුත් එකක් ගත්තම
නුඹ අමතකම වුනා මට


වයින් හිර වෙලාව ද
නැතිනම් මා නැති දුකට ද
නුඹ ගොළුව ගිහින් හොඳටම
ගබඩාවේ සිරවුනා

මට මුල මතකයි හොඳටම
ආයෙත් එනු මා ළඟටම
නුඹ මගෙ හදවත වාගෙම
ඉදපන් ගොළු වී මා ළඟ


පසු කතාව :- මේ ළඟදි දවසක , මොකක් හරි හදිස්සියකට , ගබඩා කාමරයට ගියාම ඒකේ මුල්ලක තිබිල මට මයේ පරණ හිතවතෙක් මුණ ගැහුනා. මට පේන්න බැරි , මයෙ හොඳම යාළුවා.

මේ තියෙන්නේ මං ගත්ත පින්තූරය. අර උඩින් තියෙන්නේ ජීවිතය දකින්න.. විඳවන්න නොව.. විඳගන්න..  ලියන බස්සා විසින් සංස්කරණය කරපු පින්තූරය.......



යාළුව අමතක කරපු
මම
෴ සොසී෴

Friday, December 2, 2011

෴ මිලින මල ෴


වාමුවාව මතට වැටෙන සිහින් වැහි බිඳු නිසා අපහැදිලි වන මාර්ගය , තවත් මොහොතකින් පැහැදිලි වන්නේ , තාලයට එහා මෙහා යන පිස්නයට හසුවී වැහි බිඳු අතුරුදන් වන බැවිනි. එසේම මගේ සිත ද වරින් වර අපැහැදි අතීත මතක අතරත් , පැහැදිලව පෙනෙන නමුදු විස්වාස කළ නොහැකි වර්තමානය අතරත් සරන්නේ , ඇගේ වේදනාබර කෙඳිරියක් පිස්නයක් බවට පත් වෙමිනි.

එකඟ කර ගත නොහැකි වූ මා සිත මගින් මෙහෙයවුනු නෙතු , වාහනයේ පසුබැලුම් කණ්නාඩිය වෙත දිව ගියේ , ඩබල් කැබ් රථයේ පසුපස ආසනයේ ඇගේ මවගේ උකුල මත හිස තියාන , මා දෙස නෙතු තියාන සිටින ඇගේ නෙතු හා මොහොතකට ගැටුනි. වේදනාවෙන් සැලෙන ඇගේ සියළුම ශාරීරක අවයව මොහොතකට අමතක කරාක් මෙන් ඇය මාහා සිනාසෙන්නී , ඇස් වල දිලිසෙන කඳුළු පොකුරු මගෙන් මඟ ඇරීමට ඉතාම අසාර්ථක උත්සාහයක නියලුනාය.


ඉදිරි ආසන දෙක අතරින් පසු පස හැරී ඇය දෙස මා හොඳින් බැලුවේ , ඇගේ දිලිසෙන කඳුළු පිරි ඇස් වලින් මේ ඇයමැදැයි සැක හැර දැන ගැනීමට මෙනි. එකළ සුදු රෝස මලක් මෙන් ලෙලෙමින් සිටි , පිරුණු ලස්සන නොකැලැල් ඇඟ පසඟින් හෙබි ඇය අද කොයිබදෝ අතුරුදන් වුනා වැන්න.

වයසට වඩා බොහෝ වයස පෙනුමක් ද , වේදනාව පිරී ඉතිරි ගිය අනෙකෙකුගේ වත්තමක් නොමැතිව යා නොහැකි  යන්තමින් ගැහෙන ශරිරයක් ද හිමි හෙණ වැදුන පොල් ගහක් පරිද්දෙන් මගේ කාර්යාල වාහනයේ පසුපස අසුනේ සිටින ඇය , මා පාසල් මිතුරියම බැව් මදකට හෝ සපථ කරන්නේ , ඇගේ දිගු කතා කරන ඇස් දෙක පමණි. මදක් කළුවී පාළු ළිඳක ගිලුන ඒ නිල් ඇස් දෙක ට තවමත් කතා කිරිමට අමතක ව නැත.

අග කෙළවර තෙක්ම තදින් ගොතා දමන ලද ඇගේ දිගු කොණ්ඩ කැරලි දෙකත් , දණහිස තෙක් දිගු වු සිහින් රැළි වැටුනු සුදු ගවුමත් , දිගු කොණ්ඩ කැරලි දෙපසට පද්දමින් යන ඇගේ ගමනත්, තමා ඇතුලු පාසල් සිසුන්ගෙ සිහින කුමාරිය බවට ඇය නිතැතින් පත් කිරිමට සමත් වූ වග ඇය දනී ද?

“ හා හා  . . . . . . උඹ එහෙනම් ගොඩ ගියා ආහ් . . . .හූ හූ . . . . . “

“ ඕකා උපාසකයා. අමාරුවේ දාන්න එපා නංගි ඕකව පවු පවු “

පාසල් වියේ එක් දිනෙක ඇය මා හා ප්‍රථම වරට සමීප වු මොහොතට මා සිත දිව ගියේය.

පාසල් ශ්‍රමදාන දිනයක් වූ එදින තේ බෙදන වේලාවයි. ඇය මා ළඟට පැමිණියේ සීනි බෝතලය එක් අතකිනුත් , තේ පෝච්චිය සහ ප්ලාස්ටික් කෝප්ප කිහිපයක් අනිත් අතිනුත් දරාගෙනය. ගැහැණු ළමයින් කිහිපදෙනෙකුම තේ බෙදීමේ නිරත වූව ද, ඇගෙන් තේ උගුරක් බීමට කොල්ලන් අතර වූයේ තරඟයකි.ඇය පසුපසින් ආදරය අයදිමින් ගිය කොල්ලන් සියල්ලම ඇයගේ ප්‍රභාව ඉදිරියේ පසුබැස ගිය ද , මා කෙරෙහි ඇගේ සිතේ වූ යම් කැමැත්තක අංශු මාත්‍රයක් මා දැන උන්න ද, ඇයගෙන් ඒ වග ඇසීමට දහයෙ පන්තියේ කොලුවෙකු වූ මට නොහැකි වීම ගැන අද මා සතුටු වන්නේ දැයි මට සිතේ.

අනිත් කොල්ලන් මඟ හරිමින් , මා වෙත පැමිණි ඇය , ඇගේ වමත මා වෙත දිගු කළේ ය. සිදුවන දේ පැහැදිලිව තේරුම් ගත නොහැකිව සිටි මා , මිතුරන්ගේ උසුළු විසිළු හමුවේත් මා වෙත එල්ල වුනු ඇගේ නෙත් කාන්තිය හමුවේත් , මොහොතකට නිරුත්තර වීමි.

“ගනින් බං  . . . . . . . “

මා ළඟසිටි මිතුරාගේ වැළමිටි පහරින් මෙලොවට ආ මම , දිගු කළ ඇගේ අතෙහි වූ එක් ප්ලාස්ටික් කෝප්පයක් ගැනීමට යාමේදී , ඇය අමාරුවෙන් අතේ රදවන් සිටි ප්ලාස්ටික් කෝප්ප වල සමබරතාව බිදී ගොස් බිම පුරා විසිරියත්ම , කොල්ලන්ගෙ කොකන් පෑම ද වැඩිවන්නට විය.

ලැජ්ජාව සහ කියා ගත නොහැකි හැඟීම් රැසක් අතර අතරමං වු මා ඇය දෙස බැලුවේ , සමාව යදින දැසීන් වන්නට ඇත. නමුදු තමා වටා වන කිසිදු දෙයක් කෙරෙහි ඇගේ කිසිම ආකාරයක අවධානයක් නොවිනි. ඇගේ සම්පූර්ණ අවධානයම ඇය මා වෙත යොදවන්නට ඇත. බිම වැටී තිබුන කෝප්ප කෙරෙහි මගේ අවධානය යොමුවත්ම ඇය එය වෙනස් කරන්නට උත්සුක විය.

“ තේ . . . . . ! ! ! ! “

ඇය මා අත වූ කෝප්ය වෙත තේ පෝච්චිය දිගු කළාය. ඉන්පසු එයට සීරුවට තේ වත්කළේ ඉතාම බැතිබර උවැසියක ලෙසිනි. මා ඇගේ සෑම ක්‍රියාවක්ම ආසාවෙන් නැරඹු බවට ඇති හොඳම සාක්ෂිය නම් , වසර ගණනකට පසු අදද බොඳ නොවී ශේෂව පවතින මතකය යි.

බොහොම සංසුන්ව නොඉහිරෙන ලෙස , ගැහෙන මගේ අත රැඳි කෝප්පයට තේ වත්කර ඉවර වූ ඇය , තේ බදුන පසෙකින් තබා , මගේ වමත අල්ලා ගත්තී එහි වූ පස් , රොඩු බොඩු ඇගේ අනිත් අතින් පිසින්නට වූවාය. ඉන්පසු සිදුවූයේ කිසිසේත් නොසිතූ දෙයකි. ඇගේ සුදු ගවොමේ , සුදු ඉනිපටියේ ගැට ගසා තිබූ රෝස පැහැති ලේන්සුව අතට ගත් ඇය, ලේන්සුවෙන් ද මගේ මඩ රැඳි අත පිසින්නට වූවාය. එවිට මා මදක් කැළඹී හුන් නිසා , අත ඉවතට ඇද ගන්නට හදත්ම මා දෙස බැලු ඇය මා අත මුදවා , සීනි බෝතලයෙන් ගත් සීනි පිරවූ තේ හැන්ද මාවෙත දිගු කළාය.

සීනි ගැනීමට දිගු කළ මා අත්ලට කටින් කිහිපවරක් පිඹි ඇය අල්ල පුරවා සීනි හැන්දක් දැමු ඉක්මිති , ඒහා සමාන මිහිරි සිනාවක් මා වෙත පා , මගෙන් ඉවතට නික්මෙත්ම මෙතෙක් කොහේ දෝ සඟවන් සිටි සුසුමක් ඇගේ තනියට ඇගේ පසු පසින් යැවුවෙමි.

“ අම්මේ හ් හ් හ්  . . . . . . . . ! ! ! “

පසුපස අසුනින් නැඟුන වේදනාත්මක අදෝනාව දහයෙ පන්තියේ කොල්ලෙකුගේ මිහිරි මතක වලින් මා මුදාගැනීමට සමත් විය.

“ඉක්මන් කරමු කරුණෙ. ටිකක් පාගල යන්න බැරි ද ? “

මට දකුණු පසින් සිටි රියදුරු කරුණෙට මා එසේ පැවසුවේ වැස්ස ද නොතකමිනි. මේ මා රාජකාරි කරනා තැන රාජකාරි කැබ්රථයයි. විශ්ව විද්‍යාල අවසන් වසරේ සිසුවෙකු වූ මා අහම්ඹෙන් ලද මේ රැකියාවේ ද නිරත වන්නේ , අප්පච්චීට සහ අම්මාට ඉන් ලැබෙන සහනයටත් වඩා මේ පළාතේ  රාජකාරි කිරිමට දැක්වු කැමැත්ත නිසාමය. මගේ ළමා වියත් , යොවින් වියෙන් අඩකුත් ගතවූ මේ පළාතට මා සිතින් බැදී සිටියෙමි. තරුණ වයසේ පසු වීමත් , පවරන ඕනෑම රාජකාරියක් නෑ බෑ නොකියා ඉටු කිරීමත් නිසා මම ප්‍රධානියාගේ අවධානය නිරන්තරයෙන් ලක්විය. මෙය ද එවැනිම හදිසි රාජකාරි ගමනක් වුව ද, ඒ ගමන අතරතුර මුණ ගැසුන මැය , සියල්ල වෙනස් කිරීමට සමත් වූවා ය.

නගරයෙන් සෑහෙන දුර පළාතක , පටු අතුරු පාරක් ඔස්සේ ,මද වර්ෂාව අතරින් සෙමින් ධාවනය වූ කැබ් රථයට අපැහැදිලි  වැසි යටින් දැකිය හැකි වූයේ කුඩයක් ඉසලා ගත් ගැහැණුන් දෙදෙනකු දැඩි අපහසුවෙන් මුත් කැබ් රථයට අත පොවනා සැටියි.

රථයට ඉදිරියට යත්ම ,එක් ගැහැණියක අනෙකා වත්තන් කරගෙන සිටින අයුරක් පෙනුන අතර. ඔවුන් සිටියේ අප යන දිසාවට ප්‍රතිවිරුද්ධ දිශාවට යන්නට බැව් පැහැදිලි විය.

ඔවුන් ළං වත්ම කරුණේ මගේ මුහුණ දෙස බැලුවේ, වාහනය නොනවත්වා යන්නේ කෙසේ දැයි අසන්නට මෙනි.

“ පොඩ්ඩක් ස්ලෝව් කරල බලමු කරුණෙ ! ! ! ! “

කරුණේ ගේ වත පුරා පැතිරුණ සිනාවෙන් මා හරි තීරණයක් ගත් බැව් අගැවිනි.

“ අනේ මහත්තයෝ , කෙල්ලට අමාරුයි. බුදු බව අත්වෙයි මහත්තයෝ , අපිව ඉස්පිරිතාලෙට ගිහින් දාන්න “

සිහින් පොද වැස්ස නිසා , මදක් පහත් කළ ජනෙල් වීදුරුව තුලින් වාහනය තුලට එඹුන ගැහැණිය පවසන්නට වූවා ය.

ඒ මුහුණේ වූ යම් හුරුපුරුදු බවක් නෙතින් ඇතුළු වී මතකය කරා ඇදී යන්නට විය. පාසල් වියේ නිතරම කරක් ගැසූ ගෙවල් අතර මැගේ නිවස ද විය. ඇය පිළියළකරල රස ආහාර කෙතරම් නම් අප කුසගිනි නිවා ඇද්ද.

මගේ තීක්ෂන ඇස් ඊළගට යොමු වූයේ අසනීපකාරිය වෙතයි.මව යැයි සිතිය හැකි තැනැත්තියට වත්තම් වී සිටි ඇයව නම් කිසිසේත් මට ඒ අවස්ථාවේ මතකයට නාව මුත් , ඇගේ මව් ගේ මතකය ඔස්සේ , මැය කවුදැයි හඳුනා ගත්තෙමි. ඈ වෙනකෙකු නොව. පාසල් අවධියේ මා සිතින් පෙම් කළ යුවතියයි. නව යොවුන් වියේ සිතට කුළුඳුලේ ආල හැඟුම් ගෙනා ඒ සුන්දර යුවතියයි.

කටු ඉපලක් වන් වු ,ඇය දැන් පසු පස අසුනේ සිට වේදනාවෙන් මිරිකෙයි. නමුත් මා වෙත සිනාසෙන්නට ඇය අමතක නොකරයි.

අප්පච්චී රජයේ සේවයේ නිරත වූවෙකි නිසා , ඔහුගේ ස්ථාන මාරුවත් සමඟම , ඒ පාසලත් , ඇගේ සුන්දර මතකයත් එහි දමා ඒමට මට සිදු වූව ද, ඇය ට මසිතේ උපන් හැඟීම එලෙසින්ම තබා ගැනීමට මම පරිස්සම් වූයෙමි. විශ්ව විද්‍යාලයේ දී කෙතරම් තරුණියන් මුණ ගැසුන ද , මා නිතැතින්ම ඔවුන්හා සැසඳීමට සම්මතය ලෙස යොදා ගත්තේ මැයවයි.නමුත් අද ඇයට සිදු වී ඇත්තේ කුමක් ද ?

රාජකාරි ගමන අතර මඟ නවතා ඇයව රෝහලට ගෙන ඒම කරුණේගේ සිතට වඩා මා සිතට ගෙන ආවේ සහනයකි. නමුත් සිදු වූයේ කිසිසේත් නොසිතූ දෙයකි.

දින තුනකට පසුව ඇය මිය ගිය අතර , එයට හේතුව වූයේ නීතිවිරෝධී  ගබ්සාවකි. එය ඇගේ ප්‍රථම ගබ්සාව නොවූව ද , අවසන් ගබ්සාවයි.

කරුණෙට හා මට පොලිසි ගානේ කට උත්තර දීමට රස්තියාදු වීමට ද සිදු වූ අතර , ආයතන ප්‍රධානියා , අප නිසා ආයතනය සිදු වූ අලාභය හෝ අපකීර්තිය ගැන කිසිදු වදනක් නොපැවසුවේ ඔහු හදවතින්ම කමියුනිස්කාරයෙකු නිසා බැව් කරුණේ නිතර ම පවසන්නට විය.
පොලිසියේ දී හමු වූ මගේ පැරණි පාසල් මිතුරකු පැවසූ පරිදි , ඇගේ අතීතය සහ වර්තමානය ගලපා ගන්නට මම සමත් වූයෙමි.

“ මොනා ද මචන් උඹ මේ කර ගන්නේ , ? අපිටත් උදවු කරන්න බැහැ නෙ බං “

“ මොනා වෙන්න ද? ඒකි අමාරුවෙන් ඉන්න වෙලාවෙ , මට අහක බලන් යන්න ද උම කියන්නේ “

“ උඹ ඒකි ගැන දන්නෙ නැහැ බං “


“ මං ඒකි දන්නෙ ස්කොලේ කාලෙ ඉදල “

“ හෙහ් හෙහ් . . . ඒත් උඹ ඒකිව ස්කොලෙන් පස්සෙ දන්නෙ නැහැනෙ බං , ඒකි තමයි මේ පළාතම රන් කරේ “

“ මොන ව ? “

“ ඔවු බං . . .  ඒකි ගණිකාවක් “

“ හ්ම් . . . .! ! ! ! “

“ උඹ ස්කෝලෙන් අයින් වුනාට පස්සෙ. ඒකි හිටියෙ හරි දුකින්. ඒත් පස්සෙ ඒක මඟ ඇරෙන්න ඇති. හැබැයි ඒකී ස්කොලෙ කිසි එකෙක් එක්ක යාළු වුනේ නැහැ “

හදිසියේ ගත් තීරණයක් අනුව රැකියාවෙන් ඉවත් වූ මම , ඒ පළාත ද මතක සියල්ල ද , ආණ්ඩුවෙන් වැළලු ඇගේ මිනීවල තුල බහා ආවෙ මි.


පලි:-

වාමුවාව -
windscreen
පිස්නය - wiperපසුබැලුම් කණ්නාඩිය - rear view mirror

Tuesday, November 29, 2011

෴ නුඹ ඔතැන - මම මෙතැන ෴



දනිමි මා මියෙන වග
දනිමි පල නොවන වග
නමුත් පවසනු කෙලෙස
නුඹ ඔතැන මම මෙතැන

එක ගෙපැළ එකම මඟ
එකම පාසල තුලද
හමුවුනත් එක වෙනස
නුඹ ඔතැන මම මෙතැන

නුඹේ දූ දරුවනුත්
මගේ පොඩි දරුවනුත්
එකම පංතියෙ වුනත්
නුඹ ඔතැන මම මෙතැන

ප්‍රිය බිරිඳ මඟ ඇරෙන
ගේ දොරද අතහැරෙන
දින ඇවිත් වග දනිමි
නුඹ ඔතැන මම මෙතැන

එකම ඉර සඳ උනත්
එළිය වෙනසක් නැති ද
හෙට ලොවට මිය ඇදෙන
මම මෙතැන
ලොවට රහසින් හඬන 
නුඹ ඔතැන



මෙතැන ඉන්න
මම
෴ සොසී ෴

ප:ලි:- සොඳුරු මොකද ආදරය ගැනම ලියන්නේ ?

Monday, November 28, 2011

෴ ඉරිසියාව ෴



හිත රිදුන හොඳටෝම
නුඹේ හාදුව ,ඇගේ හාදුව හාද වෙනකම්
මං නුඹට ආදරෙයි කියලා
මං දැනන් වුන්නෙ නැහැ

ඉරිසිය හිතුන හොඳටෝම
මයෙත් එක්ක දුරක් ඇවිත්
ඇගේ ළඟින්ම වාඩි වෙනකම්
නුඹ ළඟ ඉන්න මං කැමැති බව
මං දැනන් වුන්නෙ නැහැ

දුක හිතුන හොඳටෝම
නුඹට හිතැති මයෙ හිත
නුඹ මටත් හොරා උගස්කරල බව
මං දැනන් වුන්නේ නැහැ 




Love sees sharply, hatred sees even more sharp, but Jealousy sees the sharpest for it is love and hate at the same time


ඉරිසියාවට ඉරිසියා කරන
මම
෴ සොඳුරු සිත ෴

Saturday, November 26, 2011

෴ වැසුන සිත ෴


ඔයාගේ හිත තදකරන් වහල,
වටේට හොඳ තාප්පෙකුත් බැදල,
ඉබ්බ දාපු ගේට්ටුවෙන් මාව ඇතුලට අරන්,
ඉස්තෝප්පු වේ පඩි පෙළ ළඟ මාව තුරුළු කරන්
මයෙ හිස සිඹලා ,
 පපුවට තුරුල් කරන්
මයෙත් එක්ක කතා කරන ගමන්,
මයේ හිතට යන යතුර ඉල්ලනවා.
තාප්ප නැති,
ගේට්ටු නැති ,
මයෙ හිතට
යතුරුත් නැති බව
ඔයාට අමතක වුනා ද?

වැහුන හිතක් එක්ක
ආදරයෙන් බැදුන
මම 
෴සොසී෴

Thursday, November 24, 2011

෴ අසම්භාවී ෴

ඉපදී ම , අධ්‍යාපනය ලැබීම , වැඩිහිටි වීම , රැකියාව, විවාහය, දරුවන් හැදීම , මහළුව මිය යෑම බහුතර මිනිසුන්ගේ ජීවිත කතාවයි. මින් අපගමනය වන ඇතැමෙකු සාමාන්‍ය මිනිසුන් විසින් හදුන්වන්නේ “පිස්සන්“ හෝ  “ ලිංගික බෙලහීනයන්“ ලෙසිනි. බහුතරයක්  මිනිසුන්ගේ ජීවිත කතාව ඒකාකාරීබවක් ඉසිලුව ද , ඇතැම් ජීවන සබඳතා සාමාන්‍ය මිනිසුන්ගේ සිතුවිලි වලින් ඔබ්බට ගිය අවස්ථා අත් දැකීමේ දී , මෙලොව එවැනි සබඳකම් පවතිනවාදැයි යන්න සිතා ගැනීමට පවා නොහැකි වේ.

ඇත්තෙන්ම ඒවා “හිතළුවක්“ ම පමණක් වන්නේ ද , සැබෑ ලෝකෙයේ නොපවතී ද යන්න සොයා වෙහෙසනවාට වඩා, එවැනි සබඳතාවයක සුන්දරත්ව ය විඳගන්නට හැකි නම් බහුතරයක් අතර සුළුතරයකට හිමිවීමේ වාසනාව ලැබෙනු ඇතැයි මට සිතේ.

මෙවැනි කතාන්දර මා සිනමාවේ දී දැක ඇතත් , සැබෑ ලෝකයේ දී එවැනි සබදකම් නැතැයි සිතා වුන්නේ , ජීවිතය සිනමාවක් නොවේ යැයි මා සිතා වුන් නිසා වන්නට ඇත. නමුදු මා හිතවත් මිතුරකුගේ සැබෑ ජීවිත කතාවත් මේහා සමාන්තර එකක් වත්ම , මෙවැනි මිනිස් සබඳතා අප අතරද පවතින වග තේරුම් ගත්තෙමි.


පෑනේ මිතුරන් මිතුරියන් තීරුවක් දැන් කලකට ඉහත දී ඇතැම් පුවත් පත්වල නැතිවම බැරි අගංයක් වූ බවට මගේ වයසේ සට ඊට වැඩිමහළු ඔබට මතක ඇතැයි සිතමි.හයවන වසරේ දී මා එසේ හඳුනා ගත් පෑනේ මිතුයක් නිසා පාසල් පන්තිභාර ගුරුතුමියගේ අකාරුණික බැල්මට ලක් වූ අයුරුත් , ඉන් පසුව ලිපි ලිවීම මඟ හැරීම නිසා ඇගේ මිතුදම අහිමි වූ අයුරුත් මා සිහිකරන්නේ ඉතාම කණගාටුවෙනි.ඉන්පසු ඇතැම් විටක ඇය මට මඟ මඟ දී කොතෙක් නම් හමුවන්නට ඇතැයි ද සිතෙන්නේ , ඇගේ ගම් ප්‍රෙද්ශයට සිදු වූ මගේ සංක්‍රමනය හේතුවෙනි.

The Japanese Wife එවැනි පෑනේ මිතුදමක් නිසා ඇති වූ සුන්දර බැඳීමක් ගැන ලියවුන සුන්දරම කතාන්දරයකි. පැයයි විනාඩි හතලික් පුරා විහිදෙන සුන්දර සිනමා සිත්තම ඇයත් ඔහුත් හරහා සිදුවන සුන්දර ලිපි ගනු දෙනු සහ ඒ හරහා සිදු වෙන සිත් බැඳීම ගැනත් , එතකුදු නොව ලිපි හරහා ම සිදු වන විවාහය ගැනත් දිග හැරුණ ද, නෙතට කඳුළක් ගෙන එන අවසානය සංවේදි මිනිස් සිත ගොළු කිරීමට සමත් වෙයි.

ඇය ජපන් ජාතික යුවතියකි. ඔහු ඉන්දියාවේ දුෂ්කර ප්‍රදේශයක වෙසෙන තරුණ ගුරුවරයෙකි, මොවුන්ගේ පෑනේ මිතුරුකම ආදර සම්බන්ධයකට ද ඉන් නොනැවතී විවාහයක් දක්වාද ඇදී ගියත්, ඔවුන් කිසිදිනෙක හමු වී නැත. ඔවුන්නතර හුවමාරු වන ලිපිගනු දෙනු දිගේ මැවෙන එකිනෙකා හඳුනා ගැනීම සැබෑ බැදීමකට මංපෙත් විවර කරයි. ඒ අතර තුර මවත් ඔහුත් පමණක් සිටින ඔහුගේ නිවසට කුඩා පිරිමි දරුවකු ද සමඟ පැමිණෙන තරුණ වැන්දඹු කාන්තාව කෙරේ ද තේරුම් ගත නොහැකි ආකර්ශයක් ඔහු සිතේ ඇති වන නමුදු  එය ආදරයක් දක්වා දුර දිග නොයන්නේ ඔහුගේ සිත නොදුටු ජපන් තරුණිය කෙරේම බැඳී පවතින නිසාය.

ඔහු තරුණ වැන්දඹුව ගැන ද ජපන් තරුණියට ලියා යවයි. ඉන්දියන් වැන්දඹුවන් සුදු සාරියකින් සැරෙන බව කියා යැවීමට ද ඔහු අමතක නොකරයි. නමුදු  හිටිවනම ජපන් යුවතිය අසනීප වන අතර , ඇගේ අසනීපය සුව කිරීමට ඇගේ සැමියා හෙවත් තරුණ ඉන්දියන් ගුරුවරයා ඉතා වෙහෙසෙයි.ඔහු  විටින් විට ඇය වෙත යවන දේශිය ඔසු , ඇගේ රෝගය සුවපත් කරයි ද ? රෝගියා නොමැතිව වුව ද ඇගේ අසනීපයට දේශිය ප්‍රතිකාර සොයා කුණාටු වැසි සහිත දිනක ඔහු නිවසින් පිටවී යන්නේ , ඇගේ ජීවිතය බේරා ගැනීමට ගෙවෙන හැම තප්පරයක්ම වටිනා බැව් දන්නා නිසාය.
නමුදු ඔහුගේ ආපසු පැමිණීමේ දී සැඬවන කුණාටුවටත් දැඩි වරුෂාවටත් අසුවන ඔහු නිවසට ගොඩවන්නේ නිවුමෝනියා තත්ත්වයෙන් පෙළෙමිනි.ක්‍රමයෙන් දැවි වන කුණාටු සහ වර්ෂාව මධ්‍යෙය් අසාධ්‍ය තත්ත්වයේ පසුවන ඔහුගේ අසනීපයට අවශ්‍ය ප්‍රතිජීවක ගෙන ඒමට නැගරයට යෑමට කිසිවකුටත් නොහැකි වන අතර , ඔහු මිය යයි.

ටික දිනකට පසුව ඔහුගේ නිවසට පැමිණෙන්නේ අමුත්තියකි.හිස මුඩු කර සුදු සාරියකින් සැරසී තම නුදුටු ස්වාමියා සොයා ස්වාමියාගේ මියගිය නිවසට පැමිණෙන්නේ “මියාගි“ හෙවත් ඔහු නොදුටු ඔහුගේ ජපන් බිරිඳයි.

හඳුනා ගත නොහැකි මිනිස් බැඳීම් සඳහා තේරුම් සෙවීමට නොවෙහෙසී එය විඳගැනීමට මිනිසුන් වන අපට නොහැකි මන් ද යන්න මා සිතේ අවසානයට නැඟුන පැනයට , පිළිතුරක් දීමට නුඹටත් හැකි  ද ?

කැමැති නම් බලන්න . . . . වැඩි වේලාවක් යන්නෙ නැහැ.

පිදුම :- ජීවිතය දකින්න . . . විඳවන්න නොව . . . විඳගන්න ලියන බස්සාට. ( ස්තූතියි මේ ගැන පැවසුවාට )

"It's an improbable and hauntingly beautiful love story, almose surreal in it's innocence."- Aparna Sen

වැඩිදුර - http://en.wikipedia.org/wiki/The_Japanese_Wife

Tuesday, November 22, 2011

෴ ළං වීමක දුර ෴




පහන් වැටක පහනක් වෙන්න ද මං
පහන් වැටේ ඉඩ මදි ළමයෝ
පිපි මල් පොකුරක මලක් වෙන්න මං
මල් අත්තට බර වැඩි වෙයි ළමයෝ
රෑ තරු අතරේ තරුවක් වෙන්න ද
සොයා ගන්න බැරි වෙයි ළමයෝ
ඔය හිත ඉඩ මට පොඩ්ඩක් දෙනව ද
මයෙ හිත මා ළඟ නැහැ ළමයෝ



There are times when I am really down, and all I want to do is stay beside you. 
There are times when I tell myself that everything would be okay because I have you. 
Now, I am beginning to realize that you are so far away that I can never reach you. 
Maybe, it's my entire fault for wanting you, the way that I am wanting you now.

ප:ලි:- ( ඉංග්‍රීසි කොටස නම් , උපුටා ගැනීමක් - ඊයකින්. කවිය නම් මගේමයි )

කවියේ ඉන්න
ළමයා
මම
෴ සොඳුරු සිත ෴


Saturday, November 19, 2011

෴ බ්ලොග් ලිවිල්ල ෴

සොඳුරු ට මතක කාලෙ හැටියට නම්, සොඳුරු ලිවිල්ල පටන් ගත්තේ මොන්ටසෝරියෙන්, ඉස්සෙල්ලම ඉරි, ඇද ඉරි, කෙලින් ඉරි, බින්දු  වලින් පටන් අරන් ඩබල් රූල් පොත් වල රූල් පිරෙන්න එකම අකුර පිටු ගනන් වල, මක මක, වරු ගනන්   ලියපු සොඳුරු අද ලියන්නේ සයිබරයේ  දහසක් දෙනා කියවන පිටු වල. සිංහල යුනිකෝඩ් වලට පිං සිද්ධ වෙන්න , සොඳුරු ආපු ගමන සොඳුරුටම හිතා ගන්න අපහසුයි. ඒත ඉතින් හැමදේකම මොකක් ද එකක් තියෙනව නේ.

බ්ලොග් අවකාශය සොඳුරුයි වගේම විටෙක හරිම දරුණූයි. මට මතකයි එක බ්ලොග් හමුවකදි , ඒ හමුව තිබ්බ ශාලාව අයිති ආයතනයට , කලින් දන්වන්න ඕනි හමුවට එන අයගෙ නම් . ඉතින් ඔන්න හමුව සංවිධානය කරපු අයත් නම් ලිස්ට් එක ඒ ආයතනයට දීල තිබ්බා. ඉතින් මේ ලිස්ට් එක අන්තිමට යන්නේ ආරක්ෂක සේවයේ අදාල ආර්ක්ෂක නිලධාරියගෙ අතට නෙව. ලිස්ට් එක දැකපු ඒ මනුස්සයගේ ඇස් උඩ ගියා. තොල කට වේලුනා.

හොඳින් දෙනෙත් පිස දාපු ඔහු , ආයෙත් ලිස්ට් එක බලන්න ගන්න ඇති.
බනියා
හසියා
මාරයා
රෝස වළාකුළු
සාතන්
හාවා
පූසා
රත්තරන් මාළුවා
කැලේ ඉන්න ඔකේකොම සත්තුයි , අපායේ ඉන්න ඔක්කම නිලධාරීන් ටිකයි , දිව්‍ය ලෝකයේ කිහිපදෙනකුයි මේ හමුවට එන බන දැන ගත්තම කාටද හීන් දාඩිය නොදාන්නේ.

ඒ ඉතින් අතීයක් වුනත් දැන් දැන් සෑහෙන බ්ලොග් පටන් ගන්න බවත් ලියවෙන බවත් දකින්න පුලුවන්. ඒ අයගෙ කාලයට , ඒ යගේ හැකියාවට වටිනකමක් එකතු කරන එක , අපිට කරන්න පුලුවන් හොඳ වැඩක්.


මටත් හරිම අහඹු විදිහටයි සමහර අලුත් බ්ලොග් හමුවුනේ, නැත්තම් පරණ පුරුදු බ්ලොග් ටික විතරයි නෙව හැමදාම බලන්නේ.


ඉතින් මේ මට එහෙම හමුවුන , මට හොඳයි කියල හිතුන ලස්සන නිර්මාණ තියෙන බ්ලොග් කිහිපයක්. ඔබත් නවක බ්ලොග් ලියන්නෙක් නම් , බ්ලොග් ඇඩ්රස් එක කමෙන්ට් එකක් විදිහට ලියල යන්න. මම එය මේ ලිපියට එකතු කරන්නම්.


අනිත් කාරණය තමයි , මගේ බ්ලොග් එක කියවන ගොඩක් දෙනා බ්ලොග් නොලියන අය. ඒ කියන්නේ කියවන්නන්. කියවන්න කැමැති එයාලටත් මේ අලුත් බ්ලොග් ගැන නොදැන හිටිය නම් වඩා හොඳ කියවන්න දෙයක් සොයා ගන්න මේක අවස්ථාවක් වේවි.

එහෙනම් පටන් ගමු.

01- වැලි කතරක වෙසෙන , ලංකාවේ ගෙම්බෙක්. තවම සෑහෙන අලුත්. නමුත් ඉදිරියට හොඳ ගෙම්බෙක් වෙයි.
අරාබිකරයේ ඔටුවෙක් සේ වැල්ලටම වියපත්ව වැලි-මැඬියෙක් බවට පෙරලුන තවත් එක ජීවිතයක්.......Desertfrog හෙවත් වැලි මැඬියා

 02- කවුරුත් නොදකින නමුත් කාගෙත් දිහා හැංගිලා බලාන ඉන්න, කාටවත් කරදරයක් නැති, හිතේ පුංචි කොණක දුකක් සඟවන් , තනියෙන් ජීවත් වෙන බස්සා. ලියන ජීවිතය දකින්න ...විදවන්න නොව විදගන්න.


03- දැන් කාලෙක ඉදල බ්ලොග් කියවන , බස් පදින අපේ  රුචාත් දැන් බ්ලොග් එකක් පටන් අරන්. ජීවන ගමනේ රැදි මංසලකුණු කියන ඒ බ්ලොග් එකේ නම තමයි. මංසලකුණු The landmarks


(බ්ලොග් ලියන්න ඇවිල්ල , මිතුරු මිතුරියන් හදුනා ගැනෑමත්. මිතුරු මිතුරියන් ගොඩාක් හදුනා ගත්තට පස්සෙ බ්ලොග් ලිවීමත් අතර වෙනසක් තියෙද කියලා රුචාගෙන් පස්සෙ දවසක අහල බලන්න ඕනි.)

04- කාලෙක ඉදන් ගීත රචනයේ යෙදෙන , පත පොත ලියල තියෙන අයත් දැන් දැන් බ්ලොග් කලාවට එකතු වෙන බවට හොඳ උදාරනයක් සපයමින් , අලුතෙන් ලියැවෙන බ්ලොග් එකක් තමයි , අස්වැන්න සුභාවිත ගීතයට අරුත් හොයන්නන්ට මෙය හොද අඩවියක් වෙයි කියලා හිතනවා.


(බ්ලොග් ලිපි දෙක තුනක් ලියල , පොතක් ලියන්න හිතාන ඉන්න එක ද හොද, පොතක් ලියල බ්ලොග් ලියන්න එන එකද හොද කියල පස්සෙ වෙලාවක අහන්න ඕනි)



05- හිතට දැනුන ඒවගේම ඇහින් දැක්ක දේවල් වල සාරය වචනයට පෙරලපු පිටු කීපයක්.....තමයි ක්සැන්ඩරයාගේ කොලම  කියන්නේ. අමුතුම ආරයේ ලිපි ලියවෙන ඒ බ්ලොග් එක ඔහුටම අනන්‍යයි.

06- අමුතුම ජාතියේ කිරිල්ලියෙක් /වින්චැට් කිරිල්ලී ලියන අළු පාට හැන්දෑවත් දිගට ලියවෙන බ්ලොග් පොස්ට් තියෙන බ්ලොග් එකක්.

තව ගොඩාක් මට හමු වුනා. ඒත් ආපහු හොයන්න ගියාම පණ යනෝ. සමහර බ්ලොග් මගේ බ්ලොග් රෝල් එකට එකතු කරන්නත් බැහැ. ඒ මොකද කියල මට හිතා ගන්න බැහැ.

තවත් මේ වගේ ලිපියකින් හමුවෙන තෙක්..... අලුත් මී මැස්සන්ට මැස්සියන්ට සුබ ගමනක් පතමු.

පලි:- පසුව හමු වූ බ්ලොග් (තවත් එකතු කරන්න ..බ්ලොග්  සැබැඳිය ලැබෙන්න සලස්වන්න )


වර්ණාගේ පොත 


හිතුමතේට ලියැවෙන හිතුමතේ

සයුරී ලියන පහන් යාය  


ජීවිතය මුතු පබළු වැලක අමුණන මුතු පබළු වැල්

අප්පච්චි‍යෝ අමතක වුනා, සෑ‍හෙන පරණ බ්ලොග් කියවන්නෙක් වෙන අපේ ගීතක ත් දැන් බ්ලොග් එකක් ලියනව නේ. ගීතිකගේ කොලම තමයි නම.


මෙන්න මියුරු ගේ බ්ලොග් එකට පාර 


මෙන්න අපේ නිසුපාගේ බ්ලොග් එකට යන පාර. නිසුගේ කතා.  නිසුගේ බ්ලොග් එකත් ගූගල් දෙයියො නැති කරල ආපහු දීල තිබ්බ කියල ආරංචියි.

තව ඩිංගිත්තෙන් අමතක වෙනවා.... මෙන්න අපේ විසිතුරුගෙ බ්ලොග් එක , විසිතුරු 


බ්ලොග් ලෝකෙට ආපු කිඳුරෙකුත් ඔන්න බ්ලොග් එකක් ලියනවා. කිඳුරු ඉසව්ව.

බ්ලොග් ඉසව්වල , අධි වේගි වාහනයකින් යන කෙනෙක් තමයි මේ Auto Nuwantha.



මෙන්න මේකත් නියමම නියම බ්ලොග් එකක්.කියවා සිනාසෙන්න වගේම , අවසානයේ දී යමක් ඉගෙන ගන්නත් , තේරුම් ගන්නත් පුලුවන් හරිම අපූරු වෙනස්ම වෙනස් බ්ලොග් එකක්.... Voice of Thambu.

ඔයාලට මතකද ,පුංචි කාලේ අපි කියවපු පොතක හිටිය රෙඩ් රයිඩින් හුඩ්. මෙන්න බොලේ එයත් බ්ලොග් ලියන්න ඇවිත්. රෙඩ් රයිඩින් හුඩ් .


කාවින්ද්‍යා ලියන හංස ගීතයත් මා දුටු නිමාව අතින් හරිම ලස්සන බ්ලොග් එකක්. 



හර්ෂ ගියන ,කියාගන්න බැරි තරමට. තවත් මා දුටු අලුත් බ්ලොග් එකක්.


බ්ලොග් අවකාශයට එකතු වුන, තවත් සිහිනයක් තමයි මේ. 

මේ තවත් මා දුටු අලුත් බ්ලොග් එකක්. --- -- හතර වටේ - - --



තව තව ....................

Friday, November 18, 2011

෴ අඳුර ෴



සියල් සපිරි දුක් කරදර උසුලාන
ඇවිත් බොහො දුරක් කාටත් නොකියාම
ලොවින් වසන් වී තනිකම කැදවාන
සිටී මාව නුඹ දුටුවේ නම් කෝම

ලොවින් වසන් වී මේ ලෙස සැඟවෙන්න
එපා ළදේ මං ඉන්නම් සැනසෙන්න
නෙතේ උණු කඳුළු බිද මදකට මට දෙන්න
ළඳේ නුඹ හිසත් පපුවෙ සතපන්න
 
නුඹේ උණුසුමට මදකට ලොබ බැදලා
නෙතේ කඳුළු ගං පතුලක සිරකරලා
ලොවේ අනගි මධු රස ගෙන කලතාලා
මැවු ලොවේ මං උන්නේ මත් වීලා

නැතේ වැඩි දෙයක් නුඹ හට, මට දෙන්න
හිතේ ආදරය පුරවන් ඇත ගන්න
වුනත් සිත බිඳීමක් මයෙ වරදින් ඔන්න
සමාවෙලා නොගිහින් මයෙ ළඟ ඉන්න

පැයෙන් පැය දිනෙන් දින නොදැනම ගෙවිලා
මටත් නොකියාම නුඹ දුර ඈතක ඇදීලා
ගියත් සමුනොගෙන අමනාපය උසුලා
මගේ අඳුර තනියට මයෙ ළඟ රැදිලා





ස්තූතියි නුඹට ,
දුන් ආදරයට වගේම ,
අඳුර අරන් නොගියට





අඳුර හුරු
මම
෴ සොඳුරු෴

Sunday, November 13, 2011

෴ සෙනසුරාට සෙනෙහසින් / To Saturn With Love ෴



සී
ත දුරුත්තට යන මඟ
පෙරමඟටම විත්
දත් නියවන් කෙස් උගුලන්
රාක්ෂ වේසෙන්

ඝණ දෙවියන්ටත් බට කොළ
කැවු මේ නිරිඳුන්
තරාදියට එනවලු මේ 
නොවැම්බරේ

රටට හොඳයි 
මහ එවුන්නට හරිම හොඳයි ලු
පොඩි එවුන්ට නැහැ කරදර
හරිම ජයයි ලු

මොන පිස්සු ද සෙනසුරාට
රටක් අහුවෙලා
පොඩි එවුන්ව ගුලි කරාවි
මිටට අඹරලා

කොහේ නැතත් දිගු පෝළින්
මොක ද අතන වෙන්නේ
බලව ගන්න කේන්දරේ
පෝළිමෙ ඒ ඉන්නේ

පත්තර වල පිටු ගනනින්
නුඹ ගැන ලියවෙන්නේ
ඒත් අනේ එකට එකක්
නැහැ නෙව ගැලපෙන්නේ

විද්‍යාවෙ ග්‍රහ ලොව ගැන
දිගට කතා වෙන්නේ
වළලු දාපු බොට මොකට ද
මේ මම බය වෙන්නේ

මගෙ ආදර  හිත දවනා
සෙනසුරො අහ ගන්න
ආවොත් හෙම කොටු පනින්න
කරමි බෙහෙත් දන්න

නුඹගෙ පරණ වාහනයට
අලුත් එකක් ගන්න
කපුටා ඉවතට දා යමුදෝ
බෙන්ස් එකක යන්න

පෙනුම ටිකක් වෙනස් කරල
කෝට් එකක් ගන්න
නුඹ කැමැති ද මාත් එක්ක
එක ගෙදරක ඉන්න


සෙනසුරුට පෙම් බඳින
මම
෴ සොසී ෴



Saturday, November 12, 2011

෴ අනාරාධිත සුන්දරිය / The Uninvited Beauty ෴

ජයේ කාර්යාලයක් උනාම , වැටුප් දවස් ළං වෙන කොට ඒ බව සේවකයන් දැන ගන්නෙත්  පෝළිමට වගේ කාර්යාලයට ඇදෙන  පොත් වෙළෙන්දෝ, සාරි වෙළෙනේදෝ , විදුලි සහ  ඉලෙක්ට්‍රික් උපකරණ වෙළෙන්දෝ , රූපලාවණ්‍ය වෙළෙන්දෝ , අත් ඔරලෝසු වෙළෙන්දෝ මෙකී නොකි වෙළෙන්දො නිසා. ඇත්තටම කියනව නම් අපේ වැටුප් දවස් අපිටත් වඩා හොඳින් දන්නෙ ඒ අය.


ඒ වෙළෙන්දන් ට කාර්යාල පරිශ්‍රය තහනම් බිමක් කරන්නත් බැරි නොකරත් බැරි නිසා දෙගොල්ලන්ම සුහදව තම තමන්ගේ කාර්යයන් කර ගන්නේ , දෙගොල්ලන්ටම එහි වාසි තියෙන නිසාමයි. ගොඩාක් වෙළඳාම් වෙන්නේ ගෙවීම් ක්‍රමයට නිසා , දෙගොල්ලන් අතර ගොඩනැගෙන විශ්වාසයත් ඉතාම වැදගත්.


ඒත් , පඩි දවස් අහලකවත් නැති එක්තරා කාර්ය බහුල දිනයක දී කාර්යාලයට ආපු මේ අමුත්තා නම් අපිට අරන් ආවේ භීතිය මුසු වෙච්චි විනෝදයක්. සමහරු කාර්යාල ජනෙල් කූරු අතරින් අමුත්තා දිහා බලද්දි. තවත් සමහරු ඉක්මනින්ම අමුත්තා වටේ රොක් වුනා. තවත් සමහරු ඒ දිහා බලමින් කිසිවක් නොවුන ගානට ලඟ තියෙන ලිපි ගොනුවෙ මුහුණ ඔබා ගත්තා.


අමුත්තාව දැකපු මම අත් බෑගයේ තිබ්බ පුංචි ඩිජිටල් කැමරාවත් මුදල් පසුම්බියේ තිබ්බ දහයෙ කොළ කිහිපයකුත් අතේ ගුලි කරන්  ඒ දිහාට යන්න හැදුවත් , හදිසි රාජකාරි වගයක් හිස මත කඩන් වැටුනයින් , ලස්සන දේවල් ගොඩාක් මට මඟ ඇරුනා.

“ අයියෝ සොසී , ඔයා ගියේ නැද්ද , අපරාදේ අන්න ඒ මනුස්සය යන්නයි හදන්නේ “

රාජකාරි ටික ඉවර වෙද්දිම වගේ කාර්යාල සඟයෙක් ‍අරන් ආපු පණිවිඩයෙන් අමුත්ත බලන්න යන්න යන්තම් පොඩි වෙලාවක් ගන්න පුලුවන් වුනා.


අනේ අෆොයි මම යන කොට නයා පෙට්ටියේ . ඉතින් හිනා වෙන්න එපා ඒකට . “පුනාසා පූනාසා “ කියන කොට මහත දෙහත නයා එයාගේ වාසභවනට රිංගනවා. ආපසු හැරෙන්න හදන කොටම මගේ හැටි දන්න කාර්යාල සහෘදයෙක් අමුත්තට කියලා නැවතත් නයිහාමිනේව එළියට ගත්තා.



“ ආයෙත් නටන්න වෙනව කෙල්ලේ “

“එමු බලන්න එළියට “
“ සොඳුරිය “


  “ ඔබට ස්තූතියි

පලි:- අයිතාකරයා නම් කීවේ , හැපින්නක් බවයි. නමුත් නරඹන්නන් එය එක හෙළාම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ මොහු නයෙකු බවයි. සැපින්නන් නටන්නෙ නැති බවත්, ඔවුනට පෙනයක් නැති බවත් ඒ අය තම මතය සඳහා ඉදිරිපත් කරපු සාක්ෂි. නමුත් මේ සතාගේ “ෆ“ හි කොටසක් අඩු බව හොඳින් බැලුවොත් පෙනේවි. මේ ඉන්නෙ නයා වුනත් සැපින්න වුනත් , මේ මිනිසා සහ සත්වයා ඔවුනොවුන් ඇසුරේ ජීවත්වෙන හැටි දැක්කම මට ඇතැම් මිනිසුන් ගැන දැනුන හැඟීම නම් සඟවන්න හැකියාවක් තිබ්බෙම නැහැ. 




කවියක් එක්ක නැවත හමුවෙන කම් , අනාරාධිත සුන්දරියටත් ඇගේ හිමිකරුවාටත් සුබ ගමනක් පතන.
මම
෴ සොසී෴

Friday, November 11, 2011

෴ මගෙ ආදර නපුරිච්චී ෴



ආදර වැස්සට තෙමෙන්න
බැරිව ඉතින් මඟ රැදෙන්න
හිටිය නුඹව ගෙන ආවා
කුඩේ යටින් සිරි විඳින්න

මුරණ්ඩු ගති නොම ඇරෙන්න
නුඹ ඉන්නෙම රණ්ඩු වෙන්න
මගෙ හිත හෙම්බත් කරමින්
නුඹ කැමැතිම දුරින් ඉන්න

මලක් වගේ සිත පිරෙන්න
මම ආසයි ළඟින් ඉන්න
අනේ ඒත් නුඹ මේ හැටි 
නපුරු ඇයි ද මට කියන්න


මා ආදර හද පිරෙන්න
නුඹ විතරයි ළඟ රැදෙන්නෙ
සඟවමි එය මා නුඹගෙන්
ආදර බව නොම හැඟෙන්න

ළං වුනොතින් දුරස් වෙන්න
මට බැරි වෙයි කඳුළු බොන්න
පෙනි පෙනි මට නුඹෙ ඔය රුව
මේ ලෙස කැමැතියි හිඳින්න

ආදරෙ හිතුනම ඉඹින්න
මට බැහැ නුඹ ළඟට එන්න
නුඹ ආදර හිත කොනහා
රිදවමි නුඹ දුරස් වෙන්න


සමහරු සමහරුන්ට රිදවන්නේ ඇයි කියල අපිට තේරුම් ගන්න බැරි අවස්ථා එමටයි. 
ඒත් ඒ සමහර අය , තවත් සමහර අයට වඩා ගොඩාක් හදවතට කිට්ටු නිසා එහෙම කරනව වෙන්න බැරි ද?



නුඹෙ ආදර නපුරිච්චි
මම
෴ සොඳුරු ෴

Thursday, November 10, 2011

෴ යළි නොපායන් සඳ ෴

බොහොම ලස්සනට පිළිවෙලට පීරපු කොන්ඩයක් ඇයට කවදාවත් තිබුනද කියල ඔහුට මතක නැහැ. ඔසරිය අදින දවසට නම් බැද ගෙන එන කොණ්ඩ ගෙඩිය නිසා එදාට ඇය හරිම නිවුන තැනපත් ගතියක් ගත්ත බව නම් අමතක වෙලාත් නැහැ.නමුත් තමා ඇගේ අපිළිවෙල කොණ්ඩයටත් ආදරය කරපු බව විතරක් ඔහුට හොඳටෝම මතකයි.තමන් ඇයට ආදරය කරන්න පටන් ගත්ත දවසෙ තිබ්බට වඩා පිළිවලක් ලස්සනක් ඇය ඔහුගේ ආදරය පිළිගත්ත දවසෙ ඇගෙන් ඔහු වින්දා.

කිසිම අරමුණක් නැතිව ඇරඹි ආදරයට අරමුණක් හොයන්න ඇයට අද හිතුනෙ ඇයි කියලා ඔහුට වගේම ඇයටත් හිතා ගන්න බැහැ. නමුත් ඇය ගැහැණියක් , තමාට වඩා අරමුණ කියන දේ ඇගේ ජීවිතෙට වුවමනා බව ඔහුට පිළිගන්නම වුනා.

මුහුදු සුළඟට ඔහේ පාවුන, ඇගේ කෙස් වැටියෙන් මිදුන කෙස් ගස් කිහිපය ඇගේ දකුණතින් ඇඟිලි වලට අහුවෙලා කණ පිටිපස්සට කරනවා ඔහු බලන් හිටියත් , “ අනේ එපා “ කියල කියන්න ඔහුගේ මුවට ආපු වචන ඔහු ගිල ගත්තා.තමන්ගේ ගෑවි නොගෑවි ඉන්න , ඇයව තමන්ගේ තුරුලට කර ගන්න හිතුනු සිතුවිලි ත් මැඩගෙනම ඔහු ඇගේ දිගු දෑස් යොමු වෙච්චි ඉසව්ව දිහා බැලුවා.

අරමුණක් නැති ඒ දෑස තව දුරටත් එහෙම ඉන්න අකැමැති බව දැන ගත්ත වෙලේ ඉදල ඔහු සිටියෙ කනස්සල්ලෙන්.

“ ඉතින් කතා කරන්න “ අවසානයේ නිහඬ බව බින්දෙත් ඇය මයි.

“හ්ම් “

“හ්ම් හ්ම් . . .කියන සීමාව දැන් ඉවර වෙලා , දැන් මට තීරණයක් ගන්න වෙනවා “

“ මම දන්නවා , එපා කියන්නවත් ,නතර කරන්නවත් මට බැහැ“

“ ඕක ඉතින් හැමදාම කියනවනේ “

“ වෙන මොනව කියන්න ද ? ඔයා දන්නවා නෙ මං කවුද කියලා , මම ඔයාට කිසිදෙයක් හැංගුවෙ නැහැ “

හිටිවනම ඇය ඔහුගෙ දිහා බලපු විදිහ කවදාවත් ඔහුට අමතක වෙන එකක් නැහැ. වෙන කවරදාකවත් දැකල නැති විදිහෙ දිස්නයක් තිබුන ඇස් කඳුළු වලින් පිරිල තිබ්බා, කඳුළු පිරුන ඒ ඇස් දෙකෙන් කඳුළු වැක්කෙරෙලි යන්න නොදී ,ඒ තරම් කඳුළු ගොඩක් ඇස් වල නවත්ත ගත්තෙ කොහොම ද කියලා ඔහුට අදටත් පුදුම ඇති.

වෙන ද වගේ ඇගේ හිස ඔහුගෙ උරහිසට බර වුනේ නැහැ , කම්මුල් දිගේ කඳුළු ගලා ගියෙත් නැහැ.

“ ඔයාට පවුලක් ඉන්නවා , දරුවො ඉන්නවා , ඒත් මට , අඩු ගානේ මට මාවත් නැහැ “

ඇය බොහොම හැඬුම්බරව නමුත් ඉතාම පැහැදිලිව කියනව ඔහුට ඇසුනේ හීනෙන් වගේ, ඔහුගේ ඇස් ඉදිරියේ සිටින ඇය බාදාන තුරුල් කරන් “ අනේ අඩන්න එපා කෙල්ලෙ “ කියල කියන්න ඔහු බය වුනා. ඇගේ වචන තම හදවතට උල් පිහියකින් ඇනල කීතු කීතු කරනව වගේ ඔහුට දැනුනා.

“ ඔයා හරි , ඇත්තටම මම මුහුද වගේ , කවුරුත් ආදරය කරත් , අයිතිකාරයෙක් නැති කෙනෙක් . මම ආයෙත් ඔයා හමුවෙන්න එන්නෙ නැහැ. ඔයාත් උත්සාහ කරන එකක් නැහැ කියල හිතනවා මාව මුණ ගැහෙන්න “

ඇය හදිසියේම වගේ ඉදවුන් තැනින් නැගිට්ටා,

හුස්මක් පවා නොගෙන ඇය දිහාම බලා හිටපු ඔහුගේ දකුණත , ඇගේ දකුණතින් අල්ලා ගත්ත ඇය , ඔහුගේ රළු මහත ඇඟිලි අතරේ ඇගේ සිහින් දිගු ඇඟිලි රදවාගෙන හිටියෙ එක මොහොතයි , වමතේ තිබ්බ යමක් සැනින් ඔහුගේ දිගැරුන දකුණතේ ඇඟිලි අතරින් තබා මිට මෙලවු ඇයගේ නෙත් වල බර වුන කඳුළක් නෙතින් බිමට බහිද්දිම ඇය ක්ෂණයෙන් හැරී යන්නට වුනේ මිනීමරුවෙක් ගෙන් ගැලවී පලා යනවා වගේ .

ඇය යන දිහා , ඇය නොපෙනී යනකම් බලා සිටිය ඔහු ට පියිවි සිහියට එන්නට තවත් සෑහෙන වෙලාවක් යන්න ඇති. අඳුරත් අරන් තම සුපුරුදු නිවහනට යන්නට අකැමැත්තෙන් වුනත් නැගිට්ට ඔහු තවමත් මිටි වී ගුලී වි තියන දකුණු අතැගිලි දිගෑරල බැලුවා.

තමන් මේ තාක් කාලයකට ඇයට රැගෙන දුන් එකමෙක සමරුවත් නැවතත් ඔහු අතට පත්වෙලා ඔහුගේ අතේ ගුලි වී තිබ්බා. පුංචි හීන් රත්තරන් දම්වැලක් , එහි තිබ්බ පුංචි මුතු කැටයත් දිහා ටිකක් වෙලා බලාන හිටිය ඔහු , හැකි වෙර දාලා ඒ දම්වැල ඊළඟ සුනංගුවේ විසිකලේ මුහුද දිහාට.

මේ සියල්ල දිහා බලාන හිටපු මම අඳුරත් එක්කම ආපසු එන්න ආවත් , මම ඒ මුහුද බලන්න යන සමහර හැන්දෑවල් වලට , ඔහු මුහුදු රැළි අතරේ මුහුදු වෙරලේ නැති වුන යමක් හොයනවා මගේ ඇස් වලට තාමත් පේනවා.




මුහුදු වෙරළ බලන්න එන , 
රැළි අතරේ , 
සැඟවුන කතාවක් ලීව
මම
෴ සොසී ෴

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...