..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, December 31, 2010

෴ අවසන් කවිය ෴

 
කොළෙන් කොළේ ගැලවී ගිය ලෙසට දින දසුනේ
බිදෙන් බිද නුඹ මතකයෙන් මගෙ ගිලිහෙනා අරුමේ
පොදින් පොද ආදර සිහින මල් මැලවෙනා යහනේ
තවත් වසරක මතක අතරට නොඑන් සිත් අරණේ
 
...෴ නුඹට සුබ නව වසරක් ෴

Thursday, December 30, 2010

෴ කොළ ඉවරයි - සඳ නැටුමට නොඑයි ෴

 ෴ විකාර කවිය ෴

කොළ ඉවරයි සුවඳත් නැහැ
අදින් පස්සෙ වැඩකුත් නැහැ
හෙට ආයෙත් අලුත් කෙනෙක්
ඒවිද මම දන්නෙත් නැහැ

නුඹ වාගෙම කොළ එක එක
කඩ කඩ මට දෙන්නෙත් නැහැ
මම තාමත් හිටි තැනමයි
නුඹ ගිය හැටි මතකත් නැහැ

පසු ගිය දේ හිතුවෙත් නැහැ
හිතුවත් එහි පලකුත් නැහැ
වෙන්න තියෙන දේ හිතුවොත්
හිතකට සැනසිල්ලක් නැහැ

යාලු යෙහෙලි හිත් අතරේ
නුඹගෙන් මට වැඩකුත් නැහැ
ආපු අයම ගියපු නිසා
වෙනසක් දැන් ඇත්තෙත් නැහැ

හෙට එළිවෙන හිරු වෙනදට
උදා වුනා දන්නෙත් නැහැ
31 මේ මල කෝලම් 
බෝල්රෑම් තනියෙන් බැහැ

සඳ කාටත් මතකත් නැහැ
සඳ ඒ ගැන දන්නෙත් නැහැ
සඳ නුඹ නම් පුදුම කෙනෙක්
නැටුමට නුඹ එන්නෙත් නැහැ







බෝල්රූම් රඟහලේ සැඳැල්ලට වෙලා අවසන් සඳ නරඹන 
මම
෴ සොඳුරු සිත ෴

෴ කිරිල්ලිය නිදහස් ෴

ඔන්න ඉතින් යාළුවනේ කිරිල්ලි බලන්න ආව මනමාල කුරුල්ලා කිරිල්ලිට කැමති නැහැ. දුක් වෙන්න දෙයක් නැහැ. දැන් කිරිල්ලිට මේව මහ පර්වත වගේ විශාල දුක හිතෙන දේවල් නෙමෙයි. අනික කිරිල්ලිගේ මවු කිරිල්ලි කලින්ම උපදෙසක් දීල තිබ්බෙ මෙන්න මෙහෙම.

" මේ සැරේ මේ ළමය කැමති වුනොත් ඔය කුරුටු ගාන වැඩේ නතර කරනව හොඳයි "

" හා හොඳයි"

ඔවු කිරිල්ලිත් කැමති වුනා . . . .ඒත් දැන් කිරිල්ලිට සතුටුයි.මොකද කුරුටු ගෑවිල්ල දැන් කිරිල්ලිට ආයෙත් කර ගෙන යන්න පුලුවන් නිසා. 
 

ඒත් කිරිල්ලිට පොඩ්ඩක් විතර දුක හිතෙන දෙයක් වුනා. ඒ තමයි , කිරිල්ලි නිතර පියාඹල යන ගහක තිබ්බ ලිපියක තිවුනා මෙන්න මෙහෙම . . . . .

අපට පිළිගන්ට වන තවත් කාරණාවක් තමයි, යෝජිත විවාහ ඇති වන්ට තවත් හේතුවක් තමන්ට සහකරුවකු/සහකාරියක වත් සොයා ගන්ට තරම් පෞරුෂයක් (personality) නැති පිරිසක් පෙරදිග සංවෘත සමාජවල සිටින්නේය යන කාරණාව.( උපුටා ගැනීමකි - Taboo Subjects )


ඉතින් ඔන්න හොඳේ කිරිල්ලිටත් හිතුනා. තමන්ම කුරුල්ලෙක් හොයා ගන්න. 

කිරිල්ලි දන්න එකම දේ කුරුටු ගෑම නිසා දැන් කිරිල්ලි හදන්නේ ඒ මාර්ගයෙන් කුරුල්ලෙක් හොයා ගන්න. ඔන්න සමහර කුරුල්ලො නම් කිරිල්ලියො ඉස්සර වෙනවට කැමති නැති නිසා. ඒ කුරුල්ලන් මෙතනින් එහාට මේක කියවන්න එපා .....

ඉතින් මෙහෙමයි විස්තරේ . . . . .
  • වයස / Age 
කිරිල්ලිය - මෙහෙමනේ ගැහැණු සත්තු වයස කියන්න කැමති නැහැනේ. මෙහෙම කීවොත්
" විසිවයස් පසු කළෙමි. .තිස් වයස් මුල ඉදන් වැජඹෙමි " 
ඒ කියන්නේ තිස් ගණන් වෙලත් නැහැ හරිය.

කුරුල්ලා - වැඩිමහල් නම් ඉතා අගේය.
  • ලස්සන / Beauty 
කිරිල්ලි - ලස්සන . . . ම්ම් ලස්සන නම් නෑ පෙනෙන්නේ... ඔවු ලස්සන නැහැ හැබැයි පෙනුමයි. අද කාලේ මිස් ශ්‍රී ලංකාවගේ සිහින් ශරීර සෝබාවක් නම් නැහැ. හැබැයි අසාන්ති වගේ මහත දේහතත් නැහැ. පුශ්ටිමත් කියමුකො.

කුරුල්ලා - ම්ම් . . . ලස්සන අවැසි නැත. උස මහත පෙනුමද ඇවැසි නැත. කොටින්ම පැහැය පෙනුම අංක එක දෙක තුන හතර හෝ 20 තෙක් වත් නොසලකමි.
 
  • කුලය - Cast නොසලකා හරිමි. කුලය සලකන්නන් ද නොසලකමි.   
  • දෑවැද්ද - Dowry 
දෑවැද්ද නොදෙන්නේ ද නැත දෙන්නේ ද නැත. වතුපිටි දේපල ඉල්ලන්නන් නොසලකා හරිමි.
  • අධ්‍යාපනය - Education 
කිරිල්ලිය -  උසස් අධ්‍යාපනය හදාරා ඇති අතර වැඩි දුරටත් හදාරමින් පසුවෙමි. වැඩි විස්තර වත් පොතෙන්
කුරුල්ලා - උසස් අධ්‍යාපනය හදාරා ඇත්නම් අගේ කරමි. නමුත් උගත් මෝඩයන්ට නම් අකමැති බව නොකියාම බැරිය.

අකුරු 24 ටම අවශ්‍ය දේ නොදනිමි . මේ ඇතිය.

කිරිල්ලී ගැන තව දුරටත් පවසන්නේ නම් 
ඇය ශාක භක්ෂක වීමට කෙතරම් උත්සාහ ගත්ත ද වෑයම අසාර්ථක විය. එනිසා ශාක හක්ෂක නොවේය. මිනිසුන් ගන්නා ආහාර වලට ප්‍රිය කරන කිරිල්ලිය වඩාත් කැමැත්තේ රතු හාල් බත් සමඟ ගොඩේ කෑමටය. (පොළොස් , කොස් දෙල්, කෙසෙල් මුව ...... )

කෑම ඉවීමට සමත්කමක් දැක්වූවද කෑම ඉවීමට කම්මැලිය. ඉවු දෙයෙහි රස ගුණ කෙසේ වෙතත් අගුණක් දොසක් නොකියා අනුභව කරන්නෙක්ට කැමතිය.

කිරිල්ලිය කවි කතා ලීවත් ඒවා නොකියවන කුරුල්ලෙක් නම් වඩාත් හොඳය. කිරිල්ලී ලියන්න කැමැත්තේ රහසේ වීම ඊට හේතුවයි. ලියන්නට එපා කියන්නේ නම් බ්ලොගය වැසීමට ද කැමැත්තෙමි. මක් නිසාද යත් කිරිල්ලියගේ ලෝකයේ අංක එක කුරුල්ලා මිසක බිලොගය නොවේමය.

කිරිල්ලිය දොඩන්නේ ඉතාම මද වශයනේ නිසා වඩාත් වැඩිපුර දොඩන කුරුල්ලෙක් නම් වඩාත් හොඳය. එහෙමයි කියා අනුන් ගැනම දොඩන කුරුල්ලන් ද එපාය. කිරිල්ලිය දොඩමළු කළ හැකි කුරුල්ලෙක් නම් යස අගේය.

උත්සව ප්‍රිය සම්භාෂණ හා සෙනඟ බහුලව ගැවසෙන සමාජශීලී අවස්ථා වලට කිරිල්ලිය සහභාගී වන්නේ නොකරම බැරි නම් පමණි. අකමැත්තෙන් හෝ සබභාගී වු අවස්ථා ඇත්නම් කිරිල්ලිය කරන්නේ හදිසි අවස්ථා මඟ හැර යාමයි. මෑත කාලීනව කිරිල්ලිය සහභාගී වූ එවැනි අවස්ථාවක් ගැන සිහිකරමින් කිරිල්ලිය තවමත් දුක් වෙයි.

කිරිල්ලිය විච්චූරණ අඩු දකුණු පළාතේ ගම්බඳ එකියකි. නමුත් කුරුල්ලා රටේ ලෝකේ තියන ඕනෑම විච්චූරණයක් කරාට කිරිල්ලිගේ අකමැත්තක් නැත.( මොඩ් කුරුල්ලෙක්ට කිරිල්ලිගේ අකමැත්තක් නැත. විශේෂ කැමැත්තක් ද නැත )  හැබැයි යන අහක කිරිල්ලිවද කැන්ඳන් යා යුතුය. ( ඒ කීවේ සංචාරක කුරුල්ලෙක් නම් පර්යටනය කරන දේශදීපංකරේට යනව කියල මිසක මේ කඩේ පිලේ හැි රාජකාරි ස්ථාන වලට හරි පස්සෙන් පියාඹන් එනව කියන එක නෙමෙයි හරිය )

බලන් ගියහම මේක පත්තරේට දැම්මට වඩා හපන් වගේ. . . .

හැබැයි ඉතින් හැමදේටම වඩා ආදරය සහ විශ්වාසය ගරු කොට සලකන කුරුල්ලෙක් නම් අර කලින් කී සියල්ලටම වඩා හොඳය. . . . . .



කිරිල්ලිය වෙනුවෙන් කුරුටු ගෑ 
මම
෴ සොඳුරු සිත ෴

Wednesday, December 29, 2010

෴ කඩේ යාම ෴

 ම" මල් කැඩීම " ගැන ලීවා . . . ඔයාල ගොඩක් අය කියවල තිබ්බ. ස්තූථියි . . .

අද මම කියන්න යන්නේ , ඒ වගේම තවත් දෙයක් ගැන. . .  " කඩේ යෑම "

කඩේ යාම. අපි කවුරුත් අකමැති නමුත් , කවුරුත්ම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කරන දෙයක්.

ගෙදර ඉන්න ලොකු දරුවා විදිහට මම කඩේ යෑම පටන් ගත්තේ ස්කෝලේ හෝඩියේ ඉඳල. බොරු කියන්න ඕනි නැහැ නෙ ඉස්සල්ලම ක‍ඩේ ගියේ තාත්තට සිගරට් ගේන්න. ඒකත් පුංචි කඩදාසි කෑල්ලක ලියල දෙනවා. නැත්තම් ඉතින් පුංචි දෙවට පාර දිගේ සින්දු කිය කිය නට නට වට පිට සත්තු දිහා බල බල වුන්ට "හෙලො'" කියාගෙන ,යන කොට කඩේ ලඟට ගියහම ගේන්න කියපු දේ මතක නැහැ.අනික අපේ තාත්ත දන්නව මට කඩේ ගිහින් එන්න සෑහෙන වෙලාවක් ගත වෙන විත්තිය. 

තාත්ත විස්තරේ ලියන දුන්න කොලේ කඩේ ඉන්න මුදලාලි සීයට දුන්නම ,ඒකේම සිගරට් ටික ඔතල. ඉතිරි පොඩි සල්ලි ටිකත් හොඳට ඔතල තමයි දෙන්නේ. 

මොකද එක දවසක් උදේ සිගරට් ගේන්න කඩේ ගිය මම හවස් වෙනකම් ගෙදර ගියේ නැත්තේ සින්දු කිය කිය ගිය පාරේ මඟ නැතිවුන ශත විසිපහේ කාසිය හවස් වෙනකම්ම හොයා ගන්න මට බැරි වුන නිසයි. ශත විසිපහ නැතිව කොහොමෙයි ගෙදර යන්නේ. තාත්ත දුක් මහන්සියෙන් හම්බ කරපුවා. සිගරට් බොන එක වෙනම කතාවක්. 

එදායින් පස්සෙ  අම්මාගේ බැනුම් නිසා තාත්ත මාව කඩේ යවන එක නැවතුනත්. අම්මා ඒ පාර මාව කඩේ යවන්න ගත්ත. අම්මා ලියල දෙන ලිස්ට් එක සෑහෙන දිගයි.හැබැයි ඉතින් කාලයක් කඩේ ගිහින් පුරුදු නිසා මාත් ඒකෙන් ප්‍රතිලාභ ලබන්න ,ඉල්ලීම් දිනා ගන්න තරම් හොඳ දියුණූවකට ඇවිත් තිබ්බෙ.


" අනේ පුතේ ගෙදර උයන්න දෙයක් නැහැ. ටක් ගාලා දුවල ගිහින් මේ ටික අරන් එන්න. මගෙ හොඳ පුතානේ"


" මට බැහැ"


" අනේ පුතේ ඉතිරි සල්ලි වලින් සීනි බෝල ගන්න"


සීනි බෝල දිනා ගැනීම ටොෆි ,චොකලට් දක්වා වර්ධනය  වීමේදී අම්මා මාව කඩේ යවන වාර ගනන දින ගණන එන්න එන්න අඩු වුනා.


පස්සෙ පස්සෙ කාලයත් එක්ක මුහුණ තෙල් පාට වෙලා කුරුලෑවක් දෙකක් එන්න ගත්ත සමය වෙන කොට ඉල්ලීම් රහිතවම ස්වකැමැත්තෙන් කඩේ යන්න ඉදිරිපත් වුනත් අම්ම නෙමෙයි මාව කඩේ යවන්නේ. ඇයි ඉතින් කඩේ පිලේ කොල්ලො කුරුට්ටො වැඩියි නෙව.....


ඒ අවධිය වෙන කොට කඩේ යෑමේ තනතුරු මගෙන් මාරු වෙලා පහල මට්ටමේ සාමාජිකාවකට ගිහින් තිබ්බ.


පස්සෙ ඉතින් . . . .  ඉගෙනීම රැකියාව එක්ක එක එක අයට කඩේ ගියා තමයි. . .  ඒත් තාම හරි හමන් කඩේකට ගොඩ වෙන්න බැරි වුනා.


අම්ම තාත්ත මාව කඩේ යැවුව වගේ මාත් ඉතින් කාව හරි කඩේ යවන්නම ඕනි නිසා මාත් මේ දවස් වල උත්සාහ කරන්නේ කාව හරි කඩේ යවන්න තමයි ඕං .  . . . . . . 


ඒත් ඉතින් අන්තිමට සිද්ධ වෙන්නේ ඒ අය වෙනුවෙන් මටම කඩේ යන්න තමයි. . . . . .


“''I was so nervous...I just had to go shopping''


තාමත් අනුන්ට කඩේ යන
මම
෴ සොඳුරු සිත ෴

Tuesday, December 28, 2010

෴ කිරිල්ලි පමාවෙයි ෴

ඔන්න ඉතින් වැඩේ කියන්නේ ,කිරිල්ලි බලන්න එනවයි කීව කුරුල්ලා කීව වෙලාවටත් කලින්ම ඇවිත්. 

නිකම් නෙමෙයි හරියටම පැය බාගෙකටම කලින් ඇවිත්. කිරිල්ලි ඒ වෙලාවෙත් කන්තෝරුවේ බරටම වැඩ. වසර අවසානය නිසා කිරිල්ලිට වැඩ කෝටියයි. 

නිවාඩු ගන්නත් බැරි නිසා තමයි මේ වැඩේ හවස් කරේට තීන්දු කරන් හිටියෙ. කුරුල්ලට තියෙන තකහනියක් කියන්නේ,  සුටු සුටුවෙ නැගල වේලාපහම පියාඹලා ඇවිත්. කිරිල්ලිගෙ අම්ම දුරබනුවෙන් කතා කරල කීව සිද්ධිය. දැන් මක්ක කරන්න ද? කිරිල්ලිත් අදාළ ස්ථාන වල ඉහල නිලධාරීන්ට ඇත්තම කියල ටිකක් වෙලාසන කාර්යාලයෙන් බැහැර වුනා.

හති දාගෙන ආපු ගමන කැඳැල්ලෙ පිටුපස දොරෙන් හොට දාලා ඇතුලු වුනා...කුරුල්ල ඇවිත් තියෙන්නෙ තව යාලු කුරුල්ලෙක් එක්ක.දෙන්නම එක වගේ . හොඳ උස මහත හාදයො. ඉතින් හතිදාගෙන පියාඹල ආව නිසා කිරිල්ලිට මොන මේක් අප්ද? පඩුඩර් ටිකක් දැම්මත් දාඩියටම දිය වෙනවා. ජක්බක් ගාලා ලක ලෑස්ති වෙලා ගියා නෙව ඉදිරියට.කිරිල්ලි පුංචි පහේ හෙයාර් කට් එකකුත් දාගෙන ලෑස්ති වෙලා හිටියේ කලින් දවසෙ ඕං. .

ඉදිරියට ගියාම තමයි ඕං වැඩේ. කුරුල්ලො දෙන්නම එක වගේ සිරියාවන්තයි. සම වයස. දැන් කවුද බොලේ මනමාල කුරුල්ලා. කිරිල්ලි වතුර වීදුරුව සහිත බන්දේසියත් අතේ තියන් කල්පනා කළා. ඉස්සර වගේ නෙමෙයි දැන් කිරිල්ලි පුරුදුකාරී. බන්දේසි සෙල්ලම කිහිපපාරක්ම කරල තියෙන නිසා කෝඩුකාරියක් නෙමයි.

කිරිල්ලි පත් වුන අපහසුව දැන ගත්ත යාළු කුරුල්ලට හිනා ගියා. . 
"මෙන්න මෙයා" 
යාළු කුරුල්ලා කීව.
කිරිල්ලිටත් හිනහයි, මනමාල කුරුල්ලනම් ටිකක් විතර බය වෙලයි වුන්නේ.

ඉතින් ඔන්න කාලා බීලා ආගිය තොරතුරු කතා කරල කිරිල්ලිගෙයි කුරුල්ලගෙයි අවස්ථාව උදා වුනා. . . .  

පුංචි පුංචි බොහොම මූලික කරුණු ටිකක් හුවමාරු වුනා. රස්සාව, ස්කෝලෙ, උපාධිය,යාළුවො, ගෙවල් දොරවල්, සහෝදර සහෝදරියො . . . ඕව තමයි. 

කිරිල්ලි පොඩ්ඩක් අහක බලනකම් ඉඳල කුරුල්ල හොරෙන් කිරිල්ලිගෙ මුහුණ බලන විත්තිය කිරිල්ලිට තේරුනා.හැබැයි ඉතින් කිරිල්ලි නම් දෙයියනේ කියල ඇහැට ඇහැ මුහුණට මුහුණ බලන කෙල්ල. කතාව කෙලින් බැල්ම කෙලින්. කිරිල්ලිගේ හොට අගටම ඇවිත් තිබ්බ ප්‍රශ්ණයක් තමයි 
" ඔයා මට කැමති ද / අකමැති ද? "
කියන එක. . .
ඒත් ඉතින් මේ වෙලාවෙ වත් තියෙන කලබලේ ප්‍රදර්ශණය නොකර ඉන්න එක හොඳයි කියල කිරිල්ලිට හිතුන. කිරිල්ලි අකමැතිම වැඩක් නෙව ඔය " දෙගිඩියාව" ඒක වැරදියට තේරුම් ගන්න ගොඩක් අය කියන්නේ " කිරිල්ලි ඉක්මන් වැඩී. හදිසි වැඩී ' කියල තමයි ඕං....

මුළික කරුණු කතා කරල එහෙම ඉවර වුනාම එන්නේ මුණ මූණ බලන් ඉන්න අවස්ථාව . . ඒකත් ඉවර වුනාම එන්නේ ගොළු අවස්ථාව . . . ඉතින් ඊට පස්සෙ එන්නේ නැවතත් පියාඹා යෑමේ අවස්ථාව. අනේ ඉතින් කුරුල්ලා යාළු කුරුල්ලත් එක්ක කිරිල්ලිගෙන් සමු අරන් යන්න ගියා. කැමැත්ත අකමැත්ත ඉතින් යථාකාලේදි තථා අයුරින් දන්වලා එවයි. එතකොට බලමුකො ඉදිරි කටයුතු.

ආහ් . . . . මේස උඩ ලස්සන අයිසින් කේක් එකක් ඒ කුරුල්ලන්ට අමතක වෙලා ගිහින් තිබ්බ. දැන් කවුද මේකට වග කියන්නේ.

----------------------------------------------------------------------------

පලි:-

මේ වගේ අවස්ථාවක යාළු කුරුල්ල අතේ සෑහෙන ලොකු වගකීමක් තියෙනවා. කොටින්ම මනමාල කුරුල්ලගෙ හිත කිරිල්ලිට ගියත් යාළු කුරුල්ලා ඇඳ කුද කීවොත් ඒ මඟුල අවසන්.  

අඩුම සිඝ්‍රතාව‍යෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවලු සමස්ත ප්‍රතික්‍රි‍යාවේ වේගයට බලපාන මූලික සාධකය. 

ඒ වගේ තමයි යාළු කුරුල්ලා.අද ආපු යාළු කුරුල්ල නම් මනමාල කුරුල්ලටත් වඩා හොඳයි. . . .

අනිත් කාරණේ තමයි. .. ඔය සමහර යාළු කුරුල්ලො ඉන්නව. ඒ කිරිල්ලි හොඳ නැහැ බන් කියල මොන මොනා හරි බොරු කියල ගිය පයින්ම ආපහු හැරිල එනව මනමාල කුරුල්ලට හොරෙන්. ඇවිත් කිරිල්ලිව කැන්දන් යනව තමන්ගේ කූඩුවට. . බොරු නෙමෙයි එහෙම යාළු කුරුල්ලො හදපු කැඳළි මම දැකල තියෙන නිසයි මම කීවේ . . . .

අනිත් කාරණේ . . . මෙච්චර ලට්ට ලොට්ට ගොඩක් කතා කරලත් මේ මෝඩ කිරිල්ලිට මනමාල කුරුල්ලගෙ නම අහගන්න බැරි වෙලා නෙව.
You can know the name of a bird in all the languages of the world, but when you're finished, you'll know absolutely nothing whatever about the bird... So let's look at the bird and see what it's doing -- that's what counts. I learned very early the difference between knowing the name of something and knowing something. 
-Richard Feynman
 
මනමාල කුරුල්ලාගෙන් පිළිතුරක් එනකම් ඉන්න මනමාල කිරිල්ලි
මම
෴ සොඳුරු සිත ෴

Monday, December 27, 2010

෴ කිරිල්ලී ෴

කුරුළු ලෝකය. හරිම සුන්දර තැනක්. එහෙම වෙලා තියෙන්නේ පක්ෂී ලෝකේ තියන විවිධත්වය වැඩි නිසා. කෘමීන් තරම් නොවුනත් අපිට ඇහැට පැහැදිලිව දකින්න පුලුවනක් තරමටම පක්ෂි ලෝකයේ විවිධත්වය සෑහෙන වැඩී. කුරුල්ලන්ගෙන් මිනිස්සුන්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා. 

ලස්සනට සින්දු කියන්න.
ලෝකේ මිනිස්සුන්වත් තාම දැකල නැති තැන් වලට පියාඹල යන්න.
එකිනෙකට වෙනස් ලස්සන පුංචි කූඩු හදන්න.
මල් පැණි බොන්න වගේම කුණු ජරාව වුනත් කන්න.
මෙකී නොකී දේවල් අස්සෙ තියන ලස්සනම ලස්සන දේ තමයි බහුතරයක් පක්ෂින් තම ජීවිතකාලෙටම ජීවත් වෙන්නෙ එකම සහකරු හෝ සහකාරිය සමඟ විම.
ආහ් ... 
අකමැත්තෙන් වුනත් මෙන්න මේකත් නොකියම බැහැ.
හැම සත්ත්ව වර්ගයම වගේ ලස්සනම සතා වෙන්නෙ ගැහැණු සතා වුනත් පක්ෂින් සම්බන්ධයෙන් ගත්තම ලස්සනම සතා වෙන්නෙ පිරිමි සතා.

මම දන්න කියන කිරිල්ලියෙක් ඉන්නවා.මම දෙන දෙයක් කාලා බීලා .. ඔහෙ කැඳැල්ලට වෙලා ඉන්නවා. එක කුරුල්ලෙක්ට ආදරේ කරල හිත රිදිල තටු බිඳිල හරි දුකින් වුන්නේ. කට ඇරියොත් කියන්නේ දුක් ගීත. . . අපොයි දෙයියනේ අපිටත් කියල මෙහෙම දුක් ගීයම අහන් ඉන්න පුලුවන් ද? එහෙම වුනොත් වෙන්නේ අකාලයේ මැරිල යන්න නේද? මම ඉතින් දන්න විදිහෙන් ඒ කිරිල්ලිට කීව 

" අනේ කිරිල්ලියේ දැන් ඇති සෝක ගීත. පුලුවන් නම් තුටින් පිරි ගීයක් කියන්න.ඒත් බැරි නම් කටවහ ගෙන හිටු " කියල. ඇයි වදේ . .අපිටත් මානසික ආතතියද මොකක් ද හැදෙනවා නේ. 
මේ කෙටි ජීවිත කාලේ මේ කිරිල්ලිට මොහොතක් සතුටින් ඉන්න බැරි හැටි.‍අනික ලෝකේ එක කුරුල්ල ද ඉන්නේ හැබෑට.

පස්සෙන් පහු කිරිල්ලිටත් තේරුනා ඇත්ත තමයි මේ කෙල්ල කියන්නෙ කියල. කැඳැල්ලෙන් බැහැල වටපිටේ ටිකක් ඇවිදල ඇවිත් බණ්ඩිය එහෙම ෆුල් වුනාම මෙන්න සින්දු කියන්නැයි ලෑස්තිය. මම  හිටිතැනින් නැගිට්ට. හොඳ හැටි රවල බලල යන්න හදන කොටම මෙන්න කිරිල්ලි පටන් ගත්තා මම කවදාවත් අහල නැති විදිහෙ ලස්සන ගීතයක් කියන්න.

සෑමදාම දුක් ගීතම ගයන කිරිල්ලී
පදය වෙනස් කරන්නැතිව නැහෙන කිරිල්ලී
හිත රැඳි වුන් සිත දුක් ගිනි දවන කිරිල්ලී
දුක් ගීයෙ තනුව ඉතින් මුදමු කිරිල්ලී

දුක මොකටද දිවිය ටිකයි රාං කිරිල්ලි
ආදරයේ මල් පැණි බොමු බටිති කිරිල්ලී
නුඹ නිසාම විහඟෙක් හිත රිදුනා කිරිල්ලී
හිමි අහිමිව කුරුලු කැඳළි තැනෙයි කිරිල්ලී

ඇහේ අනින කටු ඇති අය දකින කිරිල්ලී
ගල් මුල් එයි කැඳැල්ල වෙත රැකෙනු කිරිල්ලී
සුවය දෙවන ඉසුර දිනක් පතන කිරිල්ලී
පියාපතේ වර්ණ මැකෙයි බයෙන් කිරිල්ලී

අත්තටු ඇත ලොව විවරයි නුඹට කිරිල්ලී
එනමුදු හිත රැඳුන තැනින් නොයනු ඉගිල්ලී
සිතේ වර්ණ සිත්තම් කර අහසෙ ඉගිල්ලී
ආදරයට දොරගුළු ‍කුමකටද කිරිල්ලී

අතීතයේ හෙවනැලි යට නොඉනු කිරිල්ලී
අනාගතය පැහැබැර දෝ නොදැන කිරිල්ලී
මේ මොහොතයි සුව දෙන පැය ඉදිනු නොසෙල්වි
 හොට අග පැණි බිඳු පානය බොමුද කිරිල්ලී


ලස්සනම දේ දන්නව ද . . .හෙට ඒ කිරිල්ලි බලන්න කුරුල්ලෙක් එනව. බලමු කිරිල්ලිගෙ හිමිකාරයද දන්නෙ නැහැ නෙ එන්නෙ. . . එහෙනම් ඒ ලස්සන කුරුල්ල ගැන හෙට කියන්නම්. 

ලියූ දේට ගැලපීමක් නැතත් කිරිල්ලි මේ ගීතයටත් දැන් ටිකක් කැමතියි ඕං ... අහල බලන්නකෝ ..


 

“Everyone wants to understand painting. Why is there no attempt to understand the song of the birds?”

කිරිල්ලිත් එක්ක කුරුල්ලා එනකම් දොරකඩ හොර ගල් අහුලන 
මම
෴ සොඳුරු සිත ෴

Sunday, December 26, 2010

෴ සෝබර වූ හදවතක වසරක මතක ෴

දයාබර සහෘදයකුගේ වචන වලින්ම පටන් ගත්තොත් .. 


එකොලහට පිවිසීමට පෙර දහය දෙස ආපසු බැල්මක්, දිවි මංපෙත මතක සටහන්, 
මතකයෙන් මකා දැමිය යුතුයයි බුද්ධිය නියෝග කරන මුත් ,හදවත ආදරයෙන් රැකගන්නා සටහන් ( රවී )


ඇත්තටම මේ ලිපිය කියවල ඔයාලට ගන්න දෙයක් නැති වෙයි. මොකද මේ මා ගැන ම කෙරෙන ආපසු හැරී බැලීමක් නිසා.


2010 අවසන් වුනත් 2010ටත් තිබ්බ ලස්සන ආරම්භයක්. . . ‍මට මතකයි මම බොහොම අපූරු ප්‍රාර්ථනා තුනක් හිතේ ගුලිකරන් 2010 එක්ක ඒ ගමන යන්න ලෑස්ති වුනා.


එයින් එකෝම එකක් විතරයි ඉෂ්ඨ සිද්ධ වුනේ. අනිත් පැතුම් දෙකේ අහලකටවත් එන්න මට බැරි වුනා. ඉතින් ඒ ප්‍රාර්ථනා දෙක ලබන්නා වු වසරටත් අරන් යනව ද නැත්තම් අලුත්ම පැතුම් ටිකක් අරන් යනවද කියල තවම හිතල නැහැ.


2010 හ්ම් . . . . බලමු  හැරිල . . . . .


* විශේෂම දේ තමයි ගෙදර එතෙක් කල් සුරතලයට හිටිය නැගණිය දායාබරයකුගේ අත අරගෙන වෙනමම කූඩුවක් හදන්න ගිය එක. . . .මම ඒක දැන් දකින්නේ සහෝදරියක් අඩු වුනාට වඩා තවත් සහෝදරයෙක් පවුලට එකතු වුනා කියලයි.


* මෙතෙක් කල් අතර මඟ නවතා දමා තිබ්බ අධ්‍යාපන කටයුතු නැවතත් ආරම්භ කිරීම. ( ඒක තමයි අර මම කීව පැතුම් තුනෙන් ඉටු වුන එකම පැතුම)


* අන්තර්ජාලය හරහා හඳුනාගත් යහළුවන් ප්‍රමාණය සීග්‍රයෙන් වැඩි වීම.


* කාටත් රහසක් නොවූ බ්ලොග් පිටු අතරේ ගලා ගෙන ගිය බොහොම ගැඹුරු ආදරයක පැටළුණත් එය ලත් තැනම ලොප් වීම.


* ආදරය හා විවාහය පිළිබඳ පැතුම් ආසාවන් හා බලාපොරොත්තු සිත් මානයෙන් එපිටටම ඈත දුරකටම පන්නා දැමීම.


* බොහොම දයාබර හදවත් රැසක් එකතු කර ගත්ත පෝසතෙක් වීම.


* බොහොම ලෙංගතු , දයාබර හිතක් තියෙන මගෙම කියන්න පුලුවන් හොඳම හොඳ යහළුවෙක් හමු වීම. ( ආදරය කියන දේ ඈතටම පන්නල දාන්නත් , ජීවිතේ ලොකු හිඩසක් වෙලා තිබ්බ දයාබර යහළුව‍කුගේ අඩුව පුරව ගන්නත් මේ නිසා පුලුවන් වුනා )


* රැකියාව ගැන කියනව නම් . තවත් එක් වාර්ෂික වැටුප් වර්ධකයක් වැඩි වුනා පමණයි. හරිම ඒකාකාරී. දැන් නම් ඇත්තටම ඇති වෙලා .


* ගෙදර නම් වෙනද වගේමයි. එකකු අඩු වුනත් අම්මා හිත සතුටින්. මා ගැන සිතලාම දුක් වුන සිතට පුංචි සැනසීමක්. ආදරණිය අම්මා - මා සතු එකම වටිනාම වස්තුව. ලබන වසරේදිත් වෙනස් නොවන එකම සැනසීම.


* ගම ගැන ගත්තොත් ,ගමේ කාගෙත් ගෙවල් වල පොල් කඩපු මනුස්සය , හිටිගමන් ගෙල වැල ලාගෙන මියදිම.




ඉතින් . . . . බලන් ගියහම දුක් වෙලා අඩන්න දොඩන්න තරම් මහා ලොකු ව්‍යසනයක් 2010 වසරට මට තිබිල නැහැ. ඒත් ඇයි මම දුකින් . . . . ??????????????




2011 . . . . . මොනව ද මම අරන් යන්නේ... මොනවද මම කරන්නේ. දැනට නම් හිතේ තියන ප්‍රාර්ථනා මේව තමයි.


* රූපානු දර්ශය එහෙන් පිටින්ම වෙනස් කර ගැනීම.


* සමුළු , මිටින්, උත්සය,රැස්වීම්, හමු මෙකී නොකී සෙනඟ ගැවසෙන ස්ථාන වලට සහභාගී නොවීම.


* ලිවීම හැකිතාක් දුරට මටම වෙන්වූ මාතෘකා වලට සීමා කිරිම.


* අනුන්ගේ සිත් තුලට ඇතුළු වීම සහමුලින්ම නතර කිරීම සහ අනුන් ගැන ඇති අවධානය ශුන්‍ය කිරීම ( මගේම යහපත තකා)


* ප්‍රයෝජවනත් පර්යේෂණ වාර්තාවක් සමඟ උසස් අධ්‍යාපනය සාර්ථකව නිමා කර අලුත් අකුරු තුනක හිමිකාරියක වීම.


* එක තැන පල් වන රැකියාව වෙනුවට බොහොම වෙනස් රැකියාවකට අවතීර්ණ විම.


* ආදරය ගැන නොසිතා , නොවැලපී , නොගැලී සිටිම.


* මා සතු එකම සම්පත ආදරයෙන් රැකගැනීම.


ගිය වසරට වඩා මේ වසරේ ප්‍රාර්ථනාවන් බොහොම සරල හිත නිවන උපේක්ෂා සහතගත අරමුණු ඔස්සේ යාවි කියල මට හිතෙනවා. . . . .


ඉතින්  . . . . එහෙනම් නුඹ සාදාරයෙන් පිළිගන්න සෑමදේම ලෑස්ති කරන් මම මඟ බලාගෙනයි ඉන්නෙ . . .. එන්න 2011 මේ නුඹේ නොව මගේ වසරයි .


මතකයෙන් මකනු මා නුඹට මා කියූවත්
හදවතින් රකිනු මා පැතුම එය නොකීවත්
සසර දුර ගමන තව යන්න ඇති නිසාවත්
මේ භවය අත හරිමු දුක කුමට සිතාවත්

ගිය දෙයට හඩා පල නැතේ මා නුඹ දනී
 ලැබූ දේ නොවෙයි නොලැබෙනා දෙය මඟ හරී
 වෙනස් වන සෑම දෙය නොවෙනසක් නැත එහී
ප්‍රියේ නුඹ අතහරිමි සිතේ සැනසුම හරී

අලුත් සිත් අලුත් නෙත් අතර මා සැරිසරා
හිමි දෙනෙත හිමි සැපත ලැබෙන තුරු නෙතු පියා
කිරිල්ලිය සේ ඉන්න නව වසර එන තුරා
ඉතින් සමු ගනිමි මම නුඹ එපා මට එපා




නව වසරක එලිපත්තේ සිනාමුසුව සිටින 
මම
෴ සොඳුරු සිත ෴

Saturday, December 25, 2010

෴ සිත ෴



යන්න තැනක් නැති ඉන්න තැනක් නැති
තරමට අසරණ වෙලා වගේ
මා වට සිය දහසක් අය සිටියත්
මළ සොහොනක තනි වෙලා වගේ

ආදර කළ අය ඈතට ඈතට
පියාඹා ගොස් නැවතිලා වගේ
මා සිත තනියම ආදර පද වල
මරු වැල මට පෑගිලා වගේ


දෝතට අරගෙන පිදුවද සෙනෙහස
මගෙ ලෝකය නැවතිලා වගේ
හිත ඇති කෙනෙකුත් ඇති වද අත ලඟ
මුදුව සුරතෙ දිලිසෙනා අගේ


හිමි වී අහිමිව යන සෙනෙහස පාමුළ
ඉකි බිඳමින් සිත හඬන රඟේ
පෙර කළ පවු පල දෙන තුරු මගෙ සිත
නාඩන් මා සිත මටයි අගේ


හඬන සිත සනසවන මා පද
නුඹට දැනෙනා එකයි අගේ

" I watch you every day. Did you know that ? Or are you too busy to even look at me? "

මම
෴ සොඳුරු සිත ෴

Friday, December 24, 2010

෴ පලා යාමක අවසන ෴

පරිසරය වෙනස් වෙලා, ඇය වුන්න කාමරයත් වෙනස් වෙලා. අද එහි අයිතිකාරී ඇගේ සෙහොයුරාගේ පුංචි දුව. කාලයක් අපි එකට පාඩම් කරපු රහස් බෙදා ගත්තු පුංචි බිත්ති හතර තවමත් ඒ රහස් රකින හැටි. මම ඒ බිත්තියක් නොදැනුවත්වම ස්පර්ශ කරේ ඊට කෘතගුණ දක්වන්න ද?

නිකමට වගේ කාමරයේ වහලය දෙසට හිස එසවුනත් ඇය තම අවසන් තීරණය රදවන්න යොදා ගත්ත බාල්කය එතන නැහැ. ලස්සන පාට සිවිලිමකින් හැමදේම වැහිල ගිහින්. ඇගේ කතාවත් එහෙම වැහිල ගියත් ඒ කතාව මැරෙන මොහොත දක්වා අමතක කරන්න බැරි දෙදෙනෙක් තවමත් මේ මිහිමත ඉන්නවා‍. 

එයින් එකියක්  තමයි මම, අනිකා දැනට සයුරු හතක් දුර වුන්නත් ,ඔහුගේ සිත ද වරින් වර ඇය ගැන සිහි කරමින් රිදුම් දෙන විත්තිය මට රහසක් නෙමෙයි.

උසස් පෙළ තරඟ බිමේ තවත් මානවිකාවන් දෙදෙනකු වූ ඇයත් මමත් මානවකයෙක් වූ ඇගේ පෙම්වතාත්  අතරින් මමත් ඔහුත් දිවිගමනේ උසස් තැන් හි වැජඹුනද ,ඇය අපට ශේෂ කර ගිය මතක අතර සිය දහස් වර මැරි මැරී ඉපදෙන්නෙමු.

මට වඩා පැහැයෙන් මෙන්ම හැඩයෙන් ද වැඩි ලකුණු ප්‍රමාණයක් හිමිකරන් වුන් හිමාලි ගේ ප්‍රේමය දිනා ගන්නට පසු පස ආ කොල්ලන් අතරින් ඇය තෝරා ගත්තේ මහසෙන්වයි. ඇගෙන් මා ඒ ඇයිදැයි නොඇසූ මුත් ඔහු විනෝදකාමි රසයෙන් පිරුණ හැඩකාර කොල්ලෙකු වීම එකම හේතුව වන්නට ඇත.

මහසෙන් හා හිමාලි ගේ උසස් පෙළ ප්‍රේමයට මගේ විශේෂ කැමැත්තක් හෝ අකමැත්තක් නොතිබුන ද එයින් සිදු වූයේ මා හට ඇති වැඩ රාජකාරි බහුල විමයි. ඇය වෙනුවෙන් ටියුට්ස් එකතු කිරීම. ඇය වෙනුවෙන් ඇගේ නිවසට පිලිතුරු සැපයීම මෙන්ම ඇයට හා ඔහුට අතපසු වන සෑම පාඩමක්ම පාහේ ඉලක්කමෙන් ඉලක්කම කියා දෙන්නට මට සිදු විය.

ප්‍රේම රෝගයෙන් බරපතල ලෙස ආතුර වී සිටි ඔවුන් දෙදෙනා ඇද ගෙන යාම විනා හොඳ නරකක් කියා දී ගොඩ ගත හැකි තත්ත්වයක් මට නුවුයේ අද මෙන්ම එදාද අනිකකු වෙත බලපැම් කිරීමේ හැකියාවන් අවම මට්ටමක පැවති නිසාය.එසේම අතුරයන් දෙදෙනාම ඉගෙනීමෙහි ද උපන් හපනුන් වීමෙන් මොන දේ කරත් මඟ දා යැම කළ නොහැකි දෙයක් විය.

ආදරයත් ,ඉගනීමත් ගලා යද්දි .... විභාගට මාස පහකට පමණ පෙර ඇය බෙහෙවින් වෙනස් වන්නට පටන් ගෙන තිබුනි. ඔවුන් අතර තිබුන පුංචි පුංචි පෙම්හබයන් විශාල ආරවුල් දක්වා දුර දිග ගිය අතර ඒවා බේරන්නට ගිය මා හට සිදු වූයේ සිත රිදවා ගෙන දුරස් විමට පමණි.

විභාගයේ මානසික ආතතියත් සමඟ ඔවුන්ගේ පෙම්හබ තුල අතරමැදියකු වී තෙවැන්නියක ලෙස සිත රිදවා ගත නොහැකි වූ මම හැකි ලෙසින් ඔවුන්ගෙන් දුරස් වීමි.

එහෙත් . . . . . . . . . . . 

උසස් පෙළ අවසන් උණුසුම් සමයේ උණුසුම තව තවත් වැඩි කරමින් එක් හිමිදිරි උදෑසනක ඇය අවසන් තීරණය ගෙන තිබුනි. . . එතෙක් අප පාඩම් කරනට යෙදුන ඒ පුංචි කාමරයේ බාල්කය ගැට ගැසූ පරණ සාරියක දැවටී තිබූ ඇගේ ලස්සන පුංචි ශරීරය අවසන් වරට නෙත ගැටුන නිමේශය සිහිනයක් මිස සැබෑවක් නොවන බව අදටත් මා සිතමි.

සියදිවි නසා ගැනීමක ලාක්ෂණික අංගයන් වු කිසිම ලිපියක් හෝ පාපොච්චාරනයක් නොවු අතර ඇයගේ සහ මගේ දෙමාපියන් ,ගුරුවරුන් සියල්ල මා වටකර ගත්තේ සියල්ල මගේ සැලැස්මකට අනුව සිදුවූවා ලෙස සිතමිනි.

මහසෙන්ගේ ප්‍රේම කතාව දෙමාපියන් නොදැන වුන්න ද උසස් පෙළ ටියුෂන් පන්ති හා බැදුන ගස් ගල් මල් පවා ඔවුන් දෙදෙනා ගැන දැන සිටියේය. එහෙත් හේතුව . . . . මටද ප්‍රහේලිකාවක් වු ඒ හේතුව මා දැන ගත්තේ ඇගේ තුන් මාසයේ දානය ද දී අවසන් වූ දිනකදිය. ...


විභාගය අවසන් වූ බැවින් සියළු පත පොත හකුලා ගාල්කර දැමීමට මම තීරණය කළෙමි. පොතින් පොත ගෙන පෙරලා බලමින් ඒ හා බැදුන අතීතය ස්මරණය කරමින් සිදු කළ ඒ කාර්යයයේ දී ඇය සෑම විටම මා ළඟින්ම වුන්නාක් මෙන් දැනුන අතර නෙත රැඳි කඳුළ ගලා යා නොදී වලකා ගත්තේ ඔද්දල් වූ සිතට තව තවත් වදදෙන්නටයි.

පොත් අතර තිබී හමු වූ තවමත් නොලිහන ලද ත්‍යාගය ඇස ගැටුනේ ඒ අතර තුරය. ඇගේ මරණය දින දෙකකට හෝ තුනකට කලින් මා අතට ලැබුන එය. විභාග කටයුතු සහ ඇගේ මරණය නිසා සිදුවූ සිද්ධිදාමයත් සමඟ මතකයෙන් ගිලිහී තිබුනි.

සියල්ල පසෙක ලා ආදරණිය ත්‍යාගය ලිහා බැලීමේ බලවත් උත්සාහය නිසා කිහිප තැනකින්ම එය ඉරී ගියේය. එකල අප කියවූ බොළඳ ප්‍රේම වෘත්තාන්තයක් වූ " සුළඟ වගේ ඇවිදින්"  පොත ඒ තුල විය.  " මගේ දයාබර යෙහෙලියට දෙන අවසන් තෑග්ග " ලෙස ඇගේ මුතු අකුරින් සටහන් වී තිබුනි. 

එසේ නම් ඇය මියෙන්නට පෙර මා දැනුවත් කර ඇත. එහෙත් හේතුව. .. ඇය මියෙන්නට හේතුව. මරණ පරික්ෂණයේ දීද අවසන් තීරණය දී තිබුනේ සිය දිවිහානි කර ගැනීමක් ලෙසයි. ඒත් කෙනෙක්ට නිකම්ම මැරෙන්න හිතෙනව ද? අර ගල් බිල්ලා මහසෙන් තමයි මේකට වග කියන්න ඕනි.එතැන් සිට මහසෙන් පසුපස වැටුන මම බොහෝ වෙහෙස දරා ඔහුව කොටු කර ගත්තෙමි.

දඟකාර සල්ලාලයා බෙහෙවින් වෙනස් වී සිටියේය. ඇඳුම පැලඳුම ගමන බිමන කතා බව පමණක් නොව සමාජ ආශ්‍රය ද බෙහෙවින් අඩු කර සිටි හේ දැකුමම මගේ සිත රැඳි පලිගැනීමේ ‍චේතනාවෙන් බාගයකටත් වඩා අඩු කළේය.

" කියන්න මහසෙන් , මොකක් ද වුනේ "

තම කලිසන් සාක්කුවේ වෙන් පර්ස් එක ගත් ඔහු කිසි කතාවක් නැතිව එහි වූ දෙකට තුනට නැමූ කඩදාසි කොළයක් මා වෙත දිගු කළේය.
ඔහුගෙන් එය උදුරා ගත් මම එය කියෙවුවෙමි. එහි සඳහන් වූ පරිදි හිමාලි සිතන්නේ ඇය ගැබිණියක බවයි. තුන්මස් ගැබිනියක වූ ඇය සමාජයටත් දෙමාපියන්ටත් මුහුණ දී ගත නොහී මෙසේ දිවියෙන් සමු ගන්න බව එහි ලියා තිබුනි.

" ඈ මෝඩයෝ. ඇයි ඉතින් මේ දේ දැන ගෙනත් තමුසෙ බලන් හිටියෙ "

" මට බය හිතුන "

" ඒත් මරණ පරික්ෂණයෙදි එහෙම දෙයක් කීවෙ නැහැ නේ ද? "

" ඔවු"

" එතකොට මොකක් ද මහසෙන් මේ වෙලා තියෙන්නේ "

එයට හේතු සපයන්නට දැන් මහසෙන්ට පුලුවන. ඔහු අද නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥයෙකි. තවමත් අවිවාහකය. 

එදා හිමාලිගේ හිත වසා සිටි රෝගය නමින් pseudocyesis 


එහි දී සිදු වන්නේ . . . ඇගේ සිතෙහි තමන් ගර්භනී බවට දැඩි මතයක් සිතේ ධාරණය වීමත් , ගර්භණි සමයේ ඇති වන ලක්ෂණ සියල්ලම එපරදිම ඇති වීමත්ය. අවසානයේ ඇගේ දිවියෙන් සමුගැනීම දක්වා දුර දිග ගිය මෙය ඇය අපෙන් සදහටම වෙන් කරන්නට සමත් විය......

එහෙත් එසේ කියා මට වත් මහසෙන්ටවත් හෘද සාක්ෂියෙන් ගැලවීමක් සාදා ගත හැකි ද?


ප/ලි -

බ්ලොග් අවකාශයේ මේ දිනවල ‍දරුණු මඩ ප්‍රහාර රැසක් දියත් වෙමින් පවතින බව අපි කාටත් රහසක් නෙමෙයි. මා පිලිබඳව ද ඇතැම් පාර්ශවයන් මඩ බාල්දි ලෑස්ති කරගෙන ඉන්න බව දැන ගන්න ලැබුන. ඉතින් ඇත්තම කියනව නම් " මඩ " කියන්නේ අපි කවුරුත් අකමැති දෙයක්. විශේෂයෙන් ගැහැණියක් සම්බන්ධයෙන් මඩ ගැහීමෙදි ටිකක් සොයල බලල කටයුතු කරොත් හොදයි. නැත්තම් හිත හයියක් නැති කෙනෙක් බාල්කයක එල්ලිලා මියැදෙන්න පුලුවන්.

Friday, December 17, 2010

෴ එකල සිදු විය මෙලෙස ෴

අද බොහොම කාලෙකට පස්සෙ මාතර බස් නැවතුමට ගියා. මුහුදු කටේ තියන මාතර බස් නැවතුමේ ඉන්න කොට වෙලාව යනවා දැනෙන්නෙ නැහැ ... ඇයි මුහුද තනියට ඉන්නව නෙත ළඟට වෙලා .... හ්ම් . . 

දැනට අවුරුදු දෙක තුනකට කලින් නම් සතියෙ දින වල උදේ ට, හවහට යන එන තැන. මිහිරි මතක ,දුක් මතක වගේම හිස් මතකත් පිරුණ තැනක්. . . . මගේ ජීවිතේ මේ ටික කාලෙට මම දැක්ක මේ මාතර වෙනස් වෙන ඉක්මන. . . ඒත් දැන් උත්කර්ශයට ගිහින් කිසි වෙනසක් නැහැ කලකින්.....

මගේ නෙත් පුරුද්දට වගේ ත්‍රී වීල් පාක් එක පැත්තට හැරුණ. . . . තාමත් පාක් එක ඒ වගේමයි. මටත් නොදැනිම හෙළුන දිග සුසුමක් එක්ක මගේ සිත මීට වසර 6 කට එපිටට දිව ගියා. . 

ඒ කාලේ මම හැඩකාරී . . .හොඳ තරුණ වයස. . . ඉගෙන ගන්නව වගේම රැකියාවත් කරමින් උන්නා .ජීවිතේ ගැන කිසිම බර පතලක් නැතිව. මගේ එකම වගකීම වුනේ ඉගනීම සහ රැකියාව විතරයි. . .. ඒත් වුන්හිටි ගමන්  ...මගේ තාත්තා අසනීප වුනා. මුළු ලෝකෙම පෙරලිලා පෙරලිලා ඇවිත් මගෙ ඔළුව උඩ නතර වුනේ බිම දාන්නත් බැරි දරා ගන්නත් බැරි විදිහට. . . ඒ වෙන කොට මටයි කියල හොඳ යාළු‍වෙක් හිටියෙත් නැහැ. මගෙ මුළු ජීවිතේම හරිම ගුප්ත විදිහට වැහිල තිබ්බ. දුක පිරුණ හිත එළියට දාන්න බැරිව  . . . .

හිතේ දුක දරා ගන්න බැරි වුනේ තාත්ත ඔපරේෂන් කරල ගෙදර ගෙනාවට පස්සෙ. එතෙක් කලක් මගෙ ලෝකේ වීරයා. . . එක පාරට පුංචි ළමයෙක් වගේ . . . .අපිට කවපු බොවපු තාත්තට කන්න බොන්න දුන්නෙ අපි. සහෝදරයෙන් නැති ගෙදර කොල්ල වුනේ මම. ගිනි ගොඩක් මැද දැවි දැවි දවසින් දවස මැරි මැරි ජීවත් වුන හැටි . . කියන්න කිසිම කෙනෙක් නැති නිසා ඔෆිස් එකේ බාත් රෑම් එකටවෙලා වරු ගනන් අඩපු හැටි . . . . .අනේ ඒක හීනයක්ම වුනා නම් . .

හරියට සුනාමියට මාස හතරකට විතර කලින් මගෙ තාත්තට බෙහෙතක් ඕනි වෙලා මම ඉන්න ගමේ හැමතැනම හොයල හොයා ගන්න බැරිව මාතරින් ගෙන්න මම වගකීම බාර ගත්ත. වැඩ ඉවර වෙලා බස් නැවතුමට ආවම හවස් වෙලා. . . මාතර තියන තරමක් ෆාමසි තියෙන්නේ ගඟින් එහා. බස් නැවතුම සහ මගේ කාර්යාලය ගඟින් මෙහා.ගෙදර යන්නත් ගඟින් එහා යන්න ඕනි. පා ගමනින් ගිහින් බෙහෙත ගන්නත් වෙලාව මදි. . .

තිබුන එකම පිළියම ත්‍රි විල් සරණ තමයි. හැබැයි තාත්ත ලෙඩ වුන දවසෙ ඉඳල කිසිම මුදල් අහේනියක් බලපෑවේ නැහැ. වෙනදටත් වඩා මුදල් නිතරම අතට ලැබුනෙ තාත්තගේ වෙලාවට. හෑන්ඩ් බෑගය ඇරල බැලුව. . . මොණර කොළ තිබ්බ නිසා පා එසවුනේ ත්‍රී වීල් පාක් එක පැත්තට. ජීවිතේට තනියම ත්‍රි වීල් එකක ගිහින් නැති මම ත්‍රී වීල් තෝරන්න ගත්ත. . . හැබැයි ත්‍රී වීල් එක දිහා බලල නෙමෙයි ... ඒවයේ වුන්න රථාචාර්ය දිහා බලල.ඒ දවස් වල ත්‍රී විල් ගැන තිබ්බ සමාජ මතය හොඳ දෙයක් නෙමෙයි..

ම්හ් ..නාකි වැඩී ... නාකී වුන්ට විසේ වැඩී. . . .

ෂික් මනමාල බැල්ම ..ඒක හරි යන්නේ නැහැ. . ..

ම්ම්ම් . .. අහන්නත් කලින් නඟින්න ලු ... පුහ් ....
අවසානේ දි දන්නෙම නැතිව මම නතර වුනේ , තරුණ  වුනාට මාත් එක්ක හැමදාම උදේට හවහට ලාවට හිනාවෙන තරුණ පහේ අමුතුම පෙනුමක් තියෙන ත්‍රී විල් එකක් ... නැහැ නැහැ රථාචාරය කෙනෙක් ඉන්න ත්‍රී වීල් එකක් ළඟ.

මම මුකුත්ම අහන්නෙ නැතිව ත්‍රී වීල් එකට ගොඩ වුනා. . . 

" කොහාට ද මිස් "

"ඟඟෙන් එගොඩ  . ..ෆාමසියකට "

රෝද තුනට තටු ආවා ...සැනකින් මෙන්න ෆාමසියක් ලඟ. ඉක්මනින් යන්නත් ඕනි නිසා .... මම කීවා

" ටිකක් ඉන්න මම ඉක්මනින් එනවා "

බෙහෙත නැහැ. . ..

" යමු වෙන ෆාමසියකට "

ආයෙත් රෝද තුන තවත් ෆාමසියක් ළඟ.

" ම්හ් .... "

මුකුත් කියන්න කලින්ම රෝද තුන ආයෙත් ෆාමසියක් ඉස්සරහ. .... මෙහෙම මුළු මාතරම තිබ්බ ෆාමසි වල ට රෝද තුනෙන් ඉගිලුනා. . .

කර ගන්න දෙයක් නැතිව. අන්තිම ෆාමසියටත් ගිහින් ත්‍රී වීල් එකට ගොඩ වුන මම අත් දෙක මත හිස තියා ගත්ත. ඇඩුවෙ නැති වුනත් කොහෙද තිබ්බ කඳුළු බින්ඳු පෝලිමට ඇවිත් සට සට ගාලා හෑන්ඩ් බෑග් එකට වැටුන.

" මිස් . . . . මිස්ට පරක්කු වෙන්නෙ නැතිනම්. තව ෆාමසි යක් තියනව. "

" යමු "

ආයෙත් ෆාමසියක් ලඟ. මම නම්  කවදාවත් දැකල තිබ්බෙ නැහැ එතන ෆාමසියක් තියෙනව කියල. මෙවර ෆාමසියට ගියේ ඔහු. මගෙන් තුන්ඩු කෑල්ල ඩැහැගත් ඔහු ෆාමසියට ගිහින් එළියට බැස්සෙ ජයග්‍රාහි සිනහවකුත් එක්කමයි. . .

මගේ තාත්තට වගේම මගෙ රිදිල තැලිල තිබ්බ හිතටත් බෙහෙත් අරන් ත්‍රී විලයට ගොඩ වුන ඔහු බෙහෙත්තුන්ඩුවත් බෙහෙතත් ඉතිරි සල්ලිත් මා අතට දෙන අතරේ මා දිහා බැලුවෙ  . . . . අනුකම්පාවෙන් ද ආදරයෙන් ද ලෙංගතුකමින්ද කියල එදා මට තේරුම් ගන්න වුවමනාවක් නැති වුනත් අද මම ඒ ගැන තැවෙනවා . . .  ගමට යන බස් එක ඒ වෙලාවෙම වගේ අපිව පහු කරන් ගියා.

" අනේ බස් එක " මට හීල්ලුනා...

ඒ දවස් වල ගෙදර යන්නෙ හරිම බයෙන්.... ගෙදරට ළං වෙන්න ළං වෙන්න පපුවෙ ගැස්ම වැඩිවෙනවා ..ඒත් ගෙදර යෑමත් ඒ වගේම ඉක්මන්...
" ඉන්න මිස් අපිට ඒක අල්ල ගන්න පුලුවන්"

ආපහු තටු ආව ත්‍රි වීල් එක ගමේ බස් එක පස්සෙන් පැන්නුව. . .. කොහොම හරි බස් එකට ඉස්සර කරල නවත්තපු ත්‍රී විල් රථය  . . . . 

" හයර් එක කිය ද? " අතේ තිබ්බ රු.100ට තව මදි පාඩු හැන්ඩ් බෑග් එකට මුහුණ ඔබාගෙන කලබලේම හොයන ගමන් මම ඇහුව.

උත්තර නැති නිශ්ශබ්දතාවය නිසා මම හිස ඔසවල බැලුවෙ තරමක කේන්තියෙන්. . . .
ඒ මූණ මා දිහා බලන් හිටියෙ හරියට දාලා යන්න බැහැ වගේ ද නැත්තම් හයර් එකේ වටිනාකම ගණන් හදන්න බැරිවද කියල මට හිතා ගන්න බැරි වුනා. 

" කීයක් හරි දෙන්න මිස් "

මම ආසම නැති උත්තරයක් ඒක. . .

මම තක්බීර් වෙලා තරහින් පුපුරමින් ඉන්නව. ගමේ බස් එකේ රියදුරත් මම එනකම් බලන් ඉන්නව. ත්‍රී විළ් රියදුරා පිස්සු නටනවා. ඔහු මා පත්වෙලා ඉන්න අවස්ථාව ක්ෂණයෙන් තේරුම් ගත්ත ඔහු මා අත රැදි රුපියල් 100 උදුරල ගත්ත. මම ත්‍රී විලයෙන් බැස්ස. බස් එකට නැග්ග. . .

ස්තූති කරන්නවත් බැරි වුනා නේද කියල මගේ හිතට තේරුනේ ගෙනාපු බෙහෙත තාත්තට පෙවුවටත් පස්සෙ.

එදායින් දින කිහිපයකට පස්සෙ තාත්තට ගොඩක්ම අමාරු වුනා. අසිහියෙන් හිටිය මට ත්‍රී විල් රියදුරා අමතක වුනා. . . .දවසක් දෙකක් දැක්කත් ඒ මම බසයෙන් ගෙදර යන වෙලාවක ජනේලයෙන් එළිය ඉලන වෙලාවක තමයි. .. ඔහු මාදිහා බලල හිනා වුනේ හිස තරමක් පැත්තකට නමන ගමන් . . . මාත් හිනා වුනා ....ඒ වෙන කොට මට හිනා වෙන එක අමතක වෙලයි තිබ්බෙ...

ඉන් මාසෙකට පස්සෙ මගෙ රත්තරන් තාත්ත සදහටම යන්න ගියා...තුන් මාසෙ දානේ තිබ්බෙ හරියටම සුනාමිය ආව දවසෙ.....

සුනාමිය ඇවිත් ගියේ මගේ හිතේ දුකත් ඔක්කම අරන් . . ..

ඊට පස්සෙයි මට ආයෙත් අර රියදුරා මතක් වුනේ ... සුනාමියෙන් සතියකට විතර පස්සෙ මම ඒ රියදුරාව හැම තැනම හෙවුව. .....

මම නමවත් නොදන්න , මම ස්තූති නොකරපු ඒ මනුස්සයවත් මගේ දුකත් එක්ක මුහුද අරන් ගිහින් තිබ්බ . . . . .


ස්තූති කරන්න ඕන වෙලාවට ස්තූති කර ගන්න බැරිව , ආදරය කරන්න ඕනි වෙලාවට ආදරය කර ගන්න බැරිව තැවෙන
මම
෴ වත් ෴

ප.ලි: -

මේ කතාවේ බාගයක් සත්‍ය , අනිත් බාගය කල්පිතයක්... මොන බාගෙද ඇත්ත කියල සොයනවට වඩා ඔහු වෙනුවෙන් සුසුමක් හෙලන එක වටිනව කියල මම හිතනවා .. . . . .

Wednesday, December 15, 2010

෴ මම ආදරෙයි ෴



මම මාව කළ - නුඹ මගේ පණ
නුඹ නොමැති විට - මම කොහිද තව 
සිත නිවන ඔසු - නුඹයි වෙදදුරු 
නුඹ ළඟ දි මට -  රහස් නැත රැකුමට


මා හඩන සිත  - කඳුළ නුඹ නෙත
මා සිනා සෙන විට - සතුට නුඹ ළඟ
මා යනෙන මඟ - නුඹ පහන් ටැඹ
මා ඉතින් තව - තනිව නැත නුඹ ළඟ


පිපෙන සුදු මල - නුඹ සුවඳ විය
විල හිස්ව නැත  - නුඹ සුනිල දිය
මල නෙලන දින -  නුඹ කොයිබකද
නුඹ සැදුව මල - වෙන අතක අද

අතට අත දුන් - කෙනා මෙන් නොව
නුඹ දුරක මුත් -  මා ළඟම ඇත
යහන මත නැත - සිත තුලට වැද
මගෙ ආල සිත - සනසවනු මැන


නුඹට ආදරය කරන 
මම
෴ වත් ෴

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...