අද බොහොම කාලෙකට පස්සෙ මාතර බස් නැවතුමට ගියා. මුහුදු කටේ තියන මාතර බස් නැවතුමේ ඉන්න කොට වෙලාව යනවා දැනෙන්නෙ නැහැ ... ඇයි මුහුද තනියට ඉන්නව නෙත ළඟට වෙලා .... හ්ම් . .
දැනට අවුරුදු දෙක තුනකට කලින් නම් සතියෙ දින වල උදේ ට, හවහට යන එන තැන. මිහිරි මතක ,දුක් මතක වගේම හිස් මතකත් පිරුණ තැනක්. . . . මගේ ජීවිතේ මේ ටික කාලෙට මම දැක්ක මේ මාතර වෙනස් වෙන ඉක්මන. . . ඒත් දැන් උත්කර්ශයට ගිහින් කිසි වෙනසක් නැහැ කලකින්.....
මගේ නෙත් පුරුද්දට වගේ ත්‍රී වීල් පාක් එක පැත්තට හැරුණ. . . . තාමත් පාක් එක ඒ වගේමයි. මටත් නොදැනිම හෙළුන දිග සුසුමක් එක්ක මගේ සිත මීට වසර 6 කට එපිටට දිව ගියා. .
ඒ කාලේ මම හැඩකාරී . . .හොඳ තරුණ වයස. . . ඉගෙන ගන්නව වගේම රැකියාවත් කරමින් උන්නා .ජීවිතේ ගැන කිසිම බර පතලක් නැතිව. මගේ එකම වගකීම වුනේ ඉගනීම සහ රැකියාව විතරයි. . .. ඒත් වුන්හිටි ගමන් ...මගේ තාත්තා අසනීප වුනා. මුළු ලෝකෙම පෙරලිලා පෙරලිලා ඇවිත් මගෙ ඔළුව උඩ නතර වුනේ බිම දාන්නත් බැරි දරා ගන්නත් බැරි විදිහට. . . ඒ වෙන කොට මටයි කියල හොඳ යාළුවෙක් හිටියෙත් නැහැ. මගෙ මුළු ජීවිතේම හරිම ගුප්ත විදිහට වැහිල තිබ්බ. දුක පිරුණ හිත එළියට දාන්න බැරිව . . . .
හිතේ දුක දරා ගන්න බැරි වුනේ තාත්ත ඔපරේෂන් කරල ගෙදර ගෙනාවට පස්සෙ. එතෙක් කලක් මගෙ ලෝකේ වීරයා. . . එක පාරට පුංචි ළමයෙක් වගේ . . . .අපිට කවපු බොවපු තාත්තට කන්න බොන්න දුන්නෙ අපි. සහෝදරයෙන් නැති ගෙදර කොල්ල වුනේ මම. ගිනි ගොඩක් මැද දැවි දැවි දවසින් දවස මැරි මැරි ජීවත් වුන හැටි . . කියන්න කිසිම කෙනෙක් නැති නිසා ඔෆිස් එකේ බාත් රෑම් එකටවෙලා වරු ගනන් අඩපු හැටි . . . . .අනේ ඒක හීනයක්ම වුනා නම් . .
හරියට සුනාමියට මාස හතරකට විතර කලින් මගෙ තාත්තට බෙහෙතක් ඕනි වෙලා මම ඉන්න ගමේ හැමතැනම හොයල හොයා ගන්න බැරිව මාතරින් ගෙන්න මම වගකීම බාර ගත්ත. වැඩ ඉවර වෙලා බස් නැවතුමට ආවම හවස් වෙලා. . . මාතර තියන තරමක් ෆාමසි තියෙන්නේ ගඟින් එහා. බස් නැවතුම සහ මගේ කාර්යාලය ගඟින් මෙහා.ගෙදර යන්නත් ගඟින් එහා යන්න ඕනි. පා ගමනින් ගිහින් බෙහෙත ගන්නත් වෙලාව මදි. . .
තිබුන එකම පිළියම ත්‍රි විල් සරණ තමයි. හැබැයි තාත්ත ලෙඩ වුන දවසෙ ඉඳල කිසිම මුදල් අහේනියක් බලපෑවේ නැහැ. වෙනදටත් වඩා මුදල් නිතරම අතට ලැබුනෙ තාත්තගේ වෙලාවට. හෑන්ඩ් බෑගය ඇරල බැලුව. . . මොණර කොළ තිබ්බ නිසා පා එසවුනේ ත්‍රී වීල් පාක් එක පැත්තට. ජීවිතේට තනියම ත්‍රි වීල් එකක ගිහින් නැති මම ත්‍රී වීල් තෝරන්න ගත්ත. . . හැබැයි ත්‍රී වීල් එක දිහා බලල නෙමෙයි ... ඒවයේ වුන්න රථාචාර්ය දිහා බලල.ඒ දවස් වල ත්‍රී විල් ගැන තිබ්බ සමාජ මතය හොඳ දෙයක් නෙමෙයි..
ම්හ් ..නාකි වැඩී ... නාකී වුන්ට විසේ වැඩී. . . .
ෂික් මනමාල බැල්ම ..ඒක හරි යන්නේ නැහැ. . ..
ම්ම්ම් . .. අහන්නත් කලින් නඟින්න ලු ... පුහ් ....
අවසානේ දි දන්නෙම නැතිව මම නතර වුනේ , තරුණ වුනාට මාත් එක්ක හැමදාම උදේට හවහට ලාවට හිනාවෙන තරුණ පහේ අමුතුම පෙනුමක් තියෙන ත්‍රී විල් එකක් ... නැහැ නැහැ රථාචාරය කෙනෙක් ඉන්න ත්‍රී වීල් එකක් ළඟ.
මම මුකුත්ම අහන්නෙ නැතිව ත්‍රී වීල් එකට ගොඩ වුනා. . .
" කොහාට ද මිස් "
"ඟඟෙන් එගොඩ . ..ෆාමසියකට "
රෝද තුනට තටු ආවා ...සැනකින් මෙන්න ෆාමසියක් ලඟ. ඉක්මනින් යන්නත් ඕනි නිසා .... මම කීවා
" ටිකක් ඉන්න මම ඉක්මනින් එනවා "
බෙහෙත නැහැ. . ..
" යමු වෙන ෆාමසියකට "
ආයෙත් රෝද තුන තවත් ෆාමසියක් ළඟ.
" ම්හ් .... "
මුකුත් කියන්න කලින්ම රෝද තුන ආයෙත් ෆාමසියක් ඉස්සරහ. .... මෙහෙම මුළු මාතරම තිබ්බ ෆාමසි වල ට රෝද තුනෙන් ඉගිලුනා. . .
කර ගන්න දෙයක් නැතිව. අන්තිම ෆාමසියටත් ගිහින් ත්‍රී වීල් එකට ගොඩ වුන මම අත් දෙක මත හිස තියා ගත්ත. ඇඩුවෙ නැති වුනත් කොහෙද තිබ්බ කඳුළු බින්ඳු පෝලිමට ඇවිත් සට සට ගාලා හෑන්ඩ් බෑග් එකට වැටුන.
" මිස් . . . . මිස්ට පරක්කු වෙන්නෙ නැතිනම්. තව ෆාමසි යක් තියනව. "
" යමු "
ආයෙත් ෆාමසියක් ලඟ. මම නම් කවදාවත් දැකල තිබ්බෙ නැහැ එතන ෆාමසියක් තියෙනව කියල. මෙවර ෆාමසියට ගියේ ඔහු. මගෙන් තුන්ඩු කෑල්ල ඩැහැගත් ඔහු ෆාමසියට ගිහින් එළියට බැස්සෙ ජයග්රාහි සිනහවකුත් එක්කමයි. . .
මගේ තාත්තට වගේම මගෙ රිදිල තැලිල තිබ්බ හිතටත් බෙහෙත් අරන් ත්‍රී විලයට ගොඩ වුන ඔහු බෙහෙත්තුන්ඩුවත් බෙහෙතත් ඉතිරි සල්ලිත් මා අතට දෙන අතරේ මා දිහා බැලුවෙ . . . . අනුකම්පාවෙන් ද ආදරයෙන් ද ලෙංගතුකමින්ද කියල එදා මට තේරුම් ගන්න වුවමනාවක් නැති වුනත් අද මම ඒ ගැන තැවෙනවා . . . ගමට යන බස් එක ඒ වෙලාවෙම වගේ අපිව පහු කරන් ගියා.
" අනේ බස් එක " මට හීල්ලුනා...
ඒ දවස් වල ගෙදර යන්නෙ හරිම බයෙන්.... ගෙදරට ළං වෙන්න ළං වෙන්න පපුවෙ ගැස්ම වැඩිවෙනවා ..ඒත් ගෙදර යෑමත් ඒ වගේම ඉක්මන්...
" ඉන්න මිස් අපිට ඒක අල්ල ගන්න පුලුවන්"
ආපහු තටු ආව ත්‍රි වීල් එක ගමේ බස් එක පස්සෙන් පැන්නුව. . .. කොහොම හරි බස් එකට ඉස්සර කරල නවත්තපු ත්‍රී විල් රථය . . . .
" හයර් එක කිය ද? " අතේ තිබ්බ රු.100ට තව මදි පාඩු හැන්ඩ් බෑග් එකට මුහුණ ඔබාගෙන කලබලේම හොයන ගමන් මම ඇහුව.
උත්තර නැති නිශ්ශබ්දතාවය නිසා මම හිස ඔසවල බැලුවෙ තරමක කේන්තියෙන්. . . .
ඒ මූණ මා දිහා බලන් හිටියෙ හරියට දාලා යන්න බැහැ වගේ ද නැත්තම් හයර් එකේ වටිනාකම ගණන් හදන්න බැරිවද කියල මට හිතා ගන්න බැරි වුනා.
" කීයක් හරි දෙන්න මිස් "
මම ආසම නැති උත්තරයක් ඒක. . .
මම තක්බීර් වෙලා තරහින් පුපුරමින් ඉන්නව. ගමේ බස් එකේ රියදුරත් මම එනකම් බලන් ඉන්නව. ත්‍රී විළ් රියදුරා පිස්සු නටනවා. ඔහු මා පත්වෙලා ඉන්න අවස්ථාව ක්ෂණයෙන් තේරුම් ගත්ත ඔහු මා අත රැදි රුපියල් 100 උදුරල ගත්ත. මම ත්‍රී විලයෙන් බැස්ස. බස් එකට නැග්ග. . .
ස්තූති කරන්නවත් බැරි වුනා නේද කියල මගේ හිතට තේරුනේ ගෙනාපු බෙහෙත තාත්තට පෙවුවටත් පස්සෙ.
එදායින් දින කිහිපයකට පස්සෙ තාත්තට ගොඩක්ම අමාරු වුනා. අසිහියෙන් හිටිය මට ත්‍රී විල් රියදුරා අමතක වුනා. . . .දවසක් දෙකක් දැක්කත් ඒ මම බසයෙන් ගෙදර යන වෙලාවක ජනේලයෙන් එළිය ඉලන වෙලාවක තමයි. .. ඔහු මාදිහා බලල හිනා වුනේ හිස තරමක් පැත්තකට නමන ගමන් . . . මාත් හිනා වුනා ....ඒ වෙන කොට මට හිනා වෙන එක අමතක වෙලයි තිබ්බෙ...
ඉන් මාසෙකට පස්සෙ මගෙ රත්තරන් තාත්ත සදහටම යන්න ගියා...තුන් මාසෙ දානේ තිබ්බෙ හරියටම සුනාමිය ආව දවසෙ.....
සුනාමිය ඇවිත් ගියේ මගේ හිතේ දුකත් ඔක්කම අරන් . . ..
ඊට පස්සෙයි මට ආයෙත් අර රියදුරා මතක් වුනේ ... සුනාමියෙන් සතියකට විතර පස්සෙ මම ඒ රියදුරාව හැම තැනම හෙවුව. .....
මම නමවත් නොදන්න , මම ස්තූති නොකරපු ඒ මනුස්සයවත් මගේ දුකත් එක්ක මුහුද අරන් ගිහින් තිබ්බ . . . . .
ස්තූති කරන්න ඕන වෙලාවට ස්තූති කර ගන්න බැරිව , ආදරය කරන්න ඕනි වෙලාවට ආදරය කර ගන්න බැරිව තැවෙන
මම
෴ වත් ෴
ප.ලි: -
මේ කතාවේ බාගයක් සත්‍ය , අනිත් බාගය කල්පිතයක්... මොන බාගෙද ඇත්ත කියල සොයනවට වඩා ඔහු වෙනුවෙන් සුසුමක් හෙලන එක වටිනව කියල මම හිතනවා .. . . . .