..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, November 30, 2010

෴ සමලිංගිකයාගේ අසමලිංගික ආදරය ෴

ඇය ගේ නුවන් කඳුළින් පිරුනේ බලා සිටිය දීමය. ඇසට නැගෙන කඳුළු වලකා ගන්නට අසාර්ථක උත්සාහයක යෙදුන ඇය ක්ෂණයෙන් මේසය වෙත නෙත් හෙළූ අතර ,කඳුළු බිඳු ඇගේ සහතික ගොන්න මත පතිත විය.

" කරන්න දෙයක් නැහැ ළමයා. අපිට ඔය ළමය කියන දේ තේරෙනවා.... ඒත් ප්‍රතිපත්තියක් විදිහට දැනට රජයේ සේවයෙ යෙදෙන අයව සලකා බලන්නේ රැකියා විරහිත අයට ප්‍රම්‍රඛස්ථානයක් දුන්නට පස්සෙ."

මගේ වම් පසින් සිටි මා සඟයා ඇයට පවසන්නට විය....

වැහි අතරින් ඉර පායන්නා සේ සිනා සුන ඇය " හොඳයි සර්... ඒකට කමක් නැහැ" යි පැවසීය. ගැහැණූ කියන්නේ පුදුම චරිත. මට සිතුනි.

සහතික ගොන්න එක්කාසු කර ගත් ඇය නැවතත් වරක් මා දෙස බලා මද සිනා පා යන්නට ගියත්. ඇඟේ නෙතු තුල කැකෑරුණ දුක සංවේගය... කලකිරුණු  සිනාව මා සිත  තුල පැලපැදියම් විය....

" මොනා කරන්න ද , සුරේ... ඒ ගැහැණු ළමය ගැන මටත් දුකයි... ඊළඟ එන්න .. ඉක්මන් කරන්න...." මගේ සඟයා පැවසුවේ උදෑසන සිට රැස්කන දිගු පෝලිම දෙස බලමිනි.

-----------------

ඉතා වෙහෙසකර දින අවසානයේ රාත්‍රී යහනට ද ඇගේ මතකය මා පසු පසින් පැමිණ තිබුනි. කෙදිනකවත් කාන්තා පාර්ශවය කෙරේ මෙවන් ලෙංගතුවක් ම"සිතේ රැඳී නොමැත. මැදි වයස් සීමාවට ආසන්නව දිවි ගෙවන මා තවමත් අවිවාහකයෙක් මි.... බොහෝ දෙනා කියන පරිදි සමලිංගිකයෙක්මි. නමුත් සෑම දෙනාම ගරු කරන උසස් තලයක සිටින රජයේ විධායක නිලධාරියෙක්මි.
නින්දක් අහලකවත් නොවූ අතර සිත මට වද දෙන්නට විය... කඳුළු පිරි දෑසත් ...ක්ෂණික මද සිනාවත් අතරින් ඇගේ අවිහිංසක රූපය ක්‍රමයෙන් මා සිහින ලොවට කැඳවා ගෙන යන ලද අතර ඒ වන විට මා තීරණයක් ගෙන තිබුනි.
-------------------
වෙනදාටත් වඩා උදෑසනින් කාර්යාලය වෙත ගිය මම. පෙරදා නිමා කරන ලද සම්මුඛ පරීක්ෂණ ලිපි ගොනු ටික සොයා ගතිමි. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටි වගකිව යුතු නිලධාරියා වූ මම වගකිව යුතු වරදක් සිදු  කෙරුවෙමි....

පෙරදා ඇගේ අයදුම්පතේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට පිරවිමට තිබූ හිස් තැන් නොපුරවා සිටියේ මගේ සිතද නොපිරූ තිබූ බැවිනි.

අයදුම්කරු / අයදුම්කාරිය රජයේ හෝ පුද්ගලික රැකියාවක යෙදේ ද? ( ග්‍රාම නිලධාරී සහතිකය අමුණන්න )
නැත යන්න යෙදූ මම ... ග්‍රාම නිලධාරී සහතිකය ඉරා ‍කුණු කූඩයට දැම්මෙමි.ග්‍රාම නිලධාරී සහතිකයේ ඇය රැකියාවක යෙදෙන බව සනාථ කර තිබුනි.
නලලත වූ දාබිදු පිසලූ මම සැනසුම් සුසුම් හෙලුවෙමි. 
---------------------

" ආහ් බන් සුරේ... අර එක ෆයිල් එකක ග්‍රාම නිලධාරි සහතිකයක් අඩුයි නේ බන්... මොකද කරන්නෙ " 

කතා දෙකක් නැත ඒ ඇගේ ලිපි ගොනුව විය යුතුය...

" මම අත්සන් කරල ද? රැකියාවක් ඇති නැති බව ලියල ඇති නේද "

" ඔවු උඹ ලියල අත්සන් කරල තියෙනවා ."

" සහතිකය මිස්ප්ලේස් වෙන්න ඇති. අත්සන් කරල නේද? ඕකේ කරල දාන්න "

-------
මෙය සිදුවී දැන් වසර කිහිපයක් ගෙවී ගොසිනි. මාගේ වාත්තීය ජීවිතයේ දී මා කළ එකම වංචාව එය නමුත්, එයින් මා සිත ලද තෘප්තිය තරම් තෘප්තියක් මම අත්විඳ නැත්තෙමි. සකස් කරන ලද අවසාන ලේඛන අතරේ ඇගේ නම රැදී තිබූ අයුරුත් , එය ඉදිරියෙන් " රසායන විද්‍යා ගුරු " ලෙස අකුරු ගැලපී තිබෙනෙ අයුරුත්  දුටු දිනයේ ම'සිත රැදුන සතුට ...අදද සිහිකර මම සැනසුමක් ලබමි.
අද ඇය නැවත මට මුණ ගැසුනේ අහඹු ලෙස වුවත් ...ඒ හමුවීම කාලයක සිට සැලසුම් කර සිදු වූවාක් වැනි හැඟීමක් ම'සිත රජවූයේ ...ඇය නැවත දැකීමේ සිහිනයක් සැමදා රාත්‍රියේ මා සුව නින්දට ගෙන ගිය මන්තරය වූ නිසාවෙනි....

අගනගරයේ ප්‍රධාන පෙලේ ජාතික පාසලක ත්‍යාග ප්‍රධාත්සවයකට මට ඇරයුම් ලැබී තිබූ අතර මට බුලත් හුරුල්ලක් පිරිනමා මා පිලිගත් ඇය එම පාසලේ විදුහල්පතිනියයි....

-------------

ත්‍යාග ප්‍රධානෝත්සවය අහවර වූ සැනින් ඇය මට කතා කළේ ඇගේ කාර්යාලයට පැමින යන ලෙසයි....

ඇය ඉදිරියේ අසන් ගත්  මා ඇගේ නාම පුවරුව දෙස දෑස් යැවුවේ ඇය වයසින් තරුණ විය ඉක්මවමින් සිටියද දෑසේ ශේෂ වූ දිප්තිය දරා ගත නොහැකිවු ‍නිසාය.

" ස්තූතියි සර් "

" ආහ්.. ඒක මොකක්ද ? මම මේ ‍වගේ උත්සව වලට කැමති "

" නැහ් සර්... සර් කරපු හැමදේටම ස්තූතියි.... නැත්තම් අද මම මෙතන නැහැ "

විශ්මිත වු මා දෑසේ රැදි පැනය ට ඇය පිලිවදන් අමුණන්නට විය.

" එදා ඉන්ටවීව් එකට පස්සෙ දවසේ හවස් වරුවෙ මම සර්ගෙ ඔපිස් එකට ගියා.... ග්‍රාම නිලධාරි සහතිකය නැති වෙලා. තවත් එකක් අරන් එන්න කියල.මට කෝල් එකක් දුන්න නිසයි ගියේ."

" ඒ ගියහම මගේ පයිල් එක මම දැක්ක. . ගෙනිච්ච සහතිකය ආපහු ගුලි කරල විසි කරා මම "

එයින් පසු ඇරඹි සංවාදය අප අතර වූ පරතරය නැති කරන්නට සමත් විය. ඇයි විවාහ වුවත් සැමියාගේ දුර්ගුණ අභිමුවේ දික්කසාද වූ ගැහැණියක් බව ඇය කීවාය. වයස අවුරුදු  5ක  දියණියක් සමඟ සරල සුන්දර දිවියක් ගෙවන බව ඇය පැවසුවේ නිවුන සැනහුන සිතිනි. කුමක් නෝ නාදුනන හේතුවක් විසින් මෙහෙමය වනු ලැබූ මම ද මගේ සැගවුන දිවිය ඇය හමුවේ දිගහැරියෙමි..... සියලු සත්‍ය වමාරා අවසානයේ මා ඇගෙන් ඇසුවේ....

" මම දන්නව මේක හරි අසාධාරණ ඉල්ලීමක්... ඒත් මම ඔයාට ආදරෙයි... ඔයා කැමති ද මාත් එක්ක විවාහ වෙන්න "

ඈ දුටු මුල් දිනයේ මෙන්ම ඒ දැස කඳුලින් බොඳවන්නට වුවත් මෙවර ඇය එය වසන් කිරිමට කිසිමාකාරයක උත්සාහයක් ගත්තේ නැත. මා වෙත දිගුකල ඇගේ දෑත මම තරයේ ග්‍රහණය කර ගත්තේ අනාගතය පිලිබඳ අබ ඇටයක තරමක් හෝ අවිශ්වාසයකින් තොරවය...

සමලිංගිකයා විවාහ වී ඇත. ඒ අසමලිංගිකයෙකු සමඟ වන අතර ඔහුගේ ආදරයද අසමසම නොවන්‍නේද ?

ප:ලි ,- 

සියළු නම්ගම් මන:කල්පිත අතර සත්‍ය ලෝකයේ සිදු විය නොහැක්කක් නිරූපණයට ගත් අසාර්ථක උත්සාහයක් බව කරුණාවෙන් සලකන්න.

෴ අවසන් ලිපිය - The Last Post ෴

නොලැබෙනා දෙයටම
සොඳුරු සිත හඩවලා
ගියත් බොහො දුර කතර 
හිටි තැනට පැමිණිලා
ලියූවත් පෙර ලෙසම 
ගැලවීම නැති වෙලා
එක විසඳුමක් සමඟ 
සොඳුරු අද ගොළු වෙලා






ලියන්නට ලියන්නට  - පැටලුනා සත්තමයි
අකුරු වල නිරතුරුව - සෙනෙහසම දැවටුවයි
 නොටුදු දේ වෙතම ඇගෙ - ආදරය පල වුනයි
තවත් බැහැ දුක් වෙන්න - සමුගන්න බොහො ලඟයි




අතහරිනු බැරිව හෝ - ළං කරනු ගත නොහෙන
සිත් වලට පෙම් කෙරුව - දැන් ඇතිය හොඳ හැටිම
 සෙනෙහසම පැතුව සද - කඳුළ පමණක් ලැබෙන
පන්හිඳත් සමඟ සිත - වලදමමි සදහටම


අඩ ගසන්නට එපා - ඇසෙන මානෙක නැතිය
 නෙත් යොමන්නට එපා - පෙනෙන මානෙක නැතිය
දුක් කඳුළු නෙත් එපා - දකින්නට මම නැතිය
වරද ගන්නට එපා - සොඳුරු සිත යළි නොඑත

 “Being hurt by someone you truly care about leaves a hole in you heart that only love can fill.”



යළි නොඑන 
මම
෴ සොඳුරු සිත - වත් ෴

ප:ලි 
මේ මම බොහොම කාලෙකට කලින් හිත රිදුන වෙලාවක ලිව පද ටිකක්... පබ්ලිෂ් නොකර ඩ්‍රාෆ්ට් එකේම තිබ්බ... අද හදිසියේම වගේ මේ පද කියෙවුවම  මට හිතුන මේ පද මොන තරම් ඝෘණාත්මක ද කියල.... කලින් ලීව මමත් දැන් ඒ පදම කියවන මමත් දෙන්නෙක් කියල අද මටම හිතෙනවා ...

Monday, November 29, 2010

෴ සොයන්නිය ෴

පිදුම : - සපත්තුව සෙවීම පසෙකලා ජීවිතය දෙස බලන්නට     ඉගැන්වු ආදරණීය මිතුරාට සෙනෙහසින්
 


කඳුළු පිරි නෙතු දරන්
ඔහේ සැරි සරන්නිය
සොයන්නේ කුමක් දැයි
ඇය තවම නොදන්නිය

සොයන්නට සොයන්නට
තව තවත් හඬන්නිය
නිමාවක් නොදැක ඇය
මුලාවේ වැටෙන්නිය

දිනක් නොසොයාම එක්
අයෙක් මඟ සිටින්නෙය
සොයන්නේ කුමක් දැයි
ඇගෙන් ඔහු අසන්නේය

සිනා කැන් සලන්නිය
මෘදු හඬින් අඬන්නිය
සොයන්නේ කුමක් දැයි
නොදන්නෙමි කියන්නිය

නුඹ ළඟම නුඹ තුලම
සොයන දේ තිබ්ද්දිම
කඳුළු වැසි වස්සවන්
කුමට නුඹ හඬන්නෙද

ඇයට ඇය සොයන්නට
ජීවිතය දකින්නට
කඳුළු නැති හෙට දිනක්
ඇයට හිමි කරන්නට

සපථ කළ ලෙසම ඔහු
ඇයට මඟ සදන්නට
එක් වුනා ලෙංගතුව
සිතට සුව ගෙනේනනට

සපත්තුව නුඹ ළඟයි
නුඹ තවම නොදන්නෙද
කුමරු කුමටද ඉතින්
ජීවිතය විදින්නට

දමා ආ දෙයක් ගැන
කුමට පසු තැවෙන්නෙද
නුඹ ළඟම බොහෝ දේ 
නුඹට නොම පෙනෙන්‍ නෙද

හිමි කුමරු එන තුරා
ළඟින් මා සිටින්නම්
කඳුළු නෙතු දිලිසෙනා
සිනාවක් තබන්නම්

ජීවිතය දකින්නට නුඹට 
මඟ සදන්නම්
කාලයට තීරණය
 ගන්න ඉඩ හරින්නම්

෴ ස්තූතියි මගෙ යාළු ෴

 -----------------------------------------------------------------------

You gave me wings and made me fly
You touched my hand I could touch the sky
I lost my faith, you gave it back to me
You said no star was out of reach
You stood by me and I stood tall

I'm grateful for each day you gave me
Maybe I don't know that much
But I know this much is true  

  - Celine Dion -

 මෙන්න එහෙනම් අහල බලන්න කො ඔයාලත් . . 



එහෙම කීවේ Celine Dion වුනාට මෙහෙම ලීව
මම
෴ වත් ෴

Saturday, November 27, 2010

෴ නුඹ නැති කළ ෴

දැන් නම් හොඳටම හතිය. . . බබා සමඟ සෙල්ලම් කරන විටවත් මෙතරම් වේගයෙන් මා දිව ගොස් නැත.මහ හඩ නංවමින් කණ ළඟින්ම ගිය වාහන කීයක් පසු කරමින් බබාගේ වාහනය පස්සේ දිව ආ දුර කොතරම් දැයි සිතා ගත නොහැකි වූයේ ආපසු හැරී බලන විටයි. . . මේ මහපාරේ මෙතරම් දුරක මා කිසි දිනක පැමිණ නැත. බබා සමඟ පැමිණියද වැඩිම වුනොත් කළු මාමාගේ කඩයට පමණි. ඒද මා වෙනුවෙන් යමක් මිලට ගැනීමට පමණි. බබාට කන බොන දේ ගෙන එන්නේ නගරයේ ඇති සුපර් මාකට් එකෙන් බව මම අසා ඇත. . . . .


මහ පාර මැද සිහිසන් නොමැතිව සිට ගෙන සිටින මා තුට්ටුවකට ගනන් නොගනිමින් අධිවේගයෙන් හඹායන වාහන අතරින් රිංගා මහ පාරේ අයිනකට විමට මට සෑහේන වේලාවක් ගත විය. පාරේ අයිනක ඉඳගත් මම මට සිදු වූ දේ අග මුල සිහි කරන්නට වීමි.

මට මතක ඇති කාලයේ පටන් මම සිටියේ තට්ටු දෙකකට සාදන ලද විශාල බංගලාවේය. මට මතක නැති කාලයේ මා සිටියේ කොහි දැයි මා නොදැන සිටි මුත් බබාගේ තාත්තා සහ අම්මා කී කතා අනුව මා ඔවුනට කාගෙන් දෝ තෑගි ලැබී ඇත.

‍ඒ නිවසේ සිටි පිරිසෙන් මට වඩාත් ආදරය දැක්වූයේත් මා වඩාත් ආදරය දැක්වූයෙත් බබාටය. බබා මට ආදරේ කළ බව කාට නැතත් මට රහසක් නොවීය. මාද එසේමය. ඔහු මා සිප ගන්නා විට ම'සිත රැඳි අනේක සෙනෙහසින් මාද ඔහු සිප ගනිමි. බොහෝ විට මෙය සිදු වන්නේ බබාගේ මවු දෙමාපියන් නොපෙනන අවස්ථාවක දී ඔවුනට ඇස නොගැටෙන පරිදිය.... රහසේ සිදු වූ එවැනි ආදරණිය හාදු වල උණුසුම දැනී ම'හද සෝකයෙන් කිලි පොලා යන්නට විය.

අද දින ඔවුන් මෙරට අත හැර විදෙස් ගත වීමට යන බව මීට සති කිහිපයකට කලින් බබා මට පැවසූවේ මා ඔහුගේ උණුසුම් තුරුලේ රුවාගෙන මා හිස සිඹින ගමන් දුක් මුසු ස්වරයකිනි. වෙන් වීමක දුක මට එවෙලාවේ නොදැනුනේ ඔවුන් මා මෙසේ දමා යතැයි මා නොසිතූ බැවිනි. කුස්සිඅම්මා ද රැඟෙන යන බව පැවසූ බැවින් මා ද රැ‍ඟෙන යනු ඇතැයි මා විස්වාස කළෙමි. බබා ගැන විස්වාසය තබා ඔහුට පුද කරන ලද මගේ නිර්මල ආදරයට ඔහු සැලකූ හැටිය මේ. බබාට වැරදි කීමට ද නොහැකිය. ඔහු මා රැ‍ගෙන යාමට අවැසි බව පවසා මවු පියන් සමඟ වූ බහින් බස් වීම  ද මගේ සවනත වැකුණි. එහෙත් අපගේ රහස් ප්‍රේමයේ අහුමුළු දැන වුන් කුස්සිඅම්මාද මා රැඟෙන නොයන ලෙස පවසමින් බබාගේ  මවුපියන් දිරි ගැන්වූ හැටි සිහිවන විට මට සිතෙන්නේ දුකකට වඩා තරහකි.

අවසානයේ බබා හඩන්නටත් මුරණ්ඩුකම් පෑමටත් වූ විට බබාගේ අම්මා පැවසුවේ .
" එහෙ ගියාම ඉන්න අය දැක්කම මෙයාට මේ ඔක්කම අමතක වේවි." කියාය.

හ්ම් ම් ම් ම් ම් . .  .   .    .     .

දීර්ඝ සුසුමක් අවසානයේ නෙත් වල රැඳි තෙත පොළව ද තෙත් කරන්නට වුයෙන් නෙත් පියන් වේගයෙන් සැලූ මා අවට බැලුවේ කවුරුන් හෝ මා දෙස බලා සිටී නම් එය මට ලැජ්ජාවක් ගෙන දෙන නිසාවෙනි.

මිනිසුන් මගෙ නෙතු පේන සෑම මායිමකම සිටියද ඔවුනට මා ගැන නිනවුවක් නොවිය. මවක විසින් බලය යොදා ඇඳ ගෙන යන කුඩා දරුවෙක් පමණක් මා දෙස බලා ආදරයෙන් සිනා විය. ඒ කුඩා දරුවා පස්සෙන් එලවු මගේ තෙත දෑස නැවතුනේ ඈත සිට මා දෙස විරිත්තමින් බලා සිටින මා කවදත් අප්‍රිය කළ ලොම් හැලී ගිය නමුත් විශාල ප්‍රමාණයේ සිරුරකින් හෙබි නාටු බල්ලෙක් වෙතය.

ඌ නොදුටුවාක් මෙන් ආපසු හැරුන මම පසු නොබලා දිව ආවෙමි. . . . ක්‍රමයෙන් හති වැටෙත්ම ගමන බාල වූ අතර පසු පස හැරී බැලූ මම දුටුවේ මා පසු පසින් එක බලු බල්ලෙක් වත් නැති සැටිය. . . . . එසේම මා පරණ හුරු පුරුදු මාවත වෙත අවතීර්ණ වී සිටීම ම'හදට සතුට ගෙන ආවේය.... පය ඉක්මන් කළ මා පරණ පුරුදු ඉව අස්සේ ඇදෙන්නට වූයෙමි.

දුක සෝ ගින්න ක්‍රමයෙන් තුරන් වී යද්දි ලොව ඇති විශාලම ගින්න ම'කුස බුර බුරා නගින්නට විය. . ඒ වන විට මා මගේ බංගලාව සමීපයට විත් තිබුනි. . . . . විශාල ගේට්ටු පලු දෙක ඉබි යතුරු දමා වසා තිබුනි. 

දුක නැත..... බඩගින්න මගේ සියොළඟ දවා හකුලමින් නැගේ. . . .  පහලට යොමු වූ නෙතු දුටුවේ කුණු කානුවේ වැටී ඇති පාන් කාලකි. එය දුටු මට ඇති වුයේ තද අප්‍රියාවකි. නමුත් දැනුන කුස ගින්න විසින් මගේ අප්‍රියාව පමණක් නොව උඬඟු බවද ඇඳ දැම්මේ ඉතාම පහත් තත්ත්වයකටය. වට පිට බැලූ මම මොහොතින් කාණූවට බටුවෙමි. පාන් කෑල්ල කෑමට සැරසුනා පමණි. බංගලාව බලා ගන්න කියා යතුරු බාර දී ගිය මා නම නොදන්නා හැඩි දැඩි පිරිමියා පැමිණුනි. 

" දුප් බල්ලා . . . !  ! ! "

හඬ දිගේ මා වෙත ආ ගඩොල් කෑල්ලෙන් බේරිමට මට නොහැකි වුවත් පහර කාගෙනම පාන් කැබැල්ල කටින් ඩැහැ ගත් මම හැකි වෙර යොදා සිවු පයින් දිවුවේ. . . . . 

අද සිට මා මියෙන තෙක් මගේ උරුමය වූ මහ මඟ ජීවිතයේ පළමු අභ්‍යාසයට අත් පොත් තබමිනි . 



පාන් කෑල්ලක්, බත් කටක් දීමට නොහැකිව මෙවන් අය දිනකට සිය ගණනක් දකිමින් දුක පමණක් සිතන
මම
෴ වත් ෴

Thursday, November 25, 2010

෴ ප්‍රාර්ථනාව ෴

හතර වටින්ම කළුකරන් හැමදාම හවහට හවහට වහින එක අද අමතක වෙලා ද? එහෙමත් නැත්තම් මම ඉල්ලපු ඉල්ලීමට කණ්දීලා අහස පුංචි විවේකයක් අරන් ද මන් ද ?

වැඩ ඇරිල ඔපීසියෙන් එළියට බැහැල අහස දිහා බලපු මට එහෙම හිතුනෙ මුලූ අහසම ලස්සන ලා නිල් පාටට තිබ්බ හින්ද. අදවත් එයා තෙමෙන්නෙ නැතිව ගෙදර යාවි . හොඳ අහස. . . එයා හැමදාම තෙමුනොත් මට තමයි දුක.

" මොකද මේ අහස දිහා බලන්. අහස කඩන් වැටෙයි කියල ද? ඔන්න එහෙනම් මම හවස 6 ට විතර එනව. ලෑස්ති වෙලා ඉන්න හොඳද. මල් ටිකක් එහෙම කඩන් "

" හරි හරි . . . මම එන්නම් "

දවස් හතක් තියන බෝධි පූජාවක අවසාන දවස අද ලු. ඉතින් මටත් එන්න කියල හරි කරදරේ. ඒ අක්කගෙ මහත්තයගෙ අපල දුරු වෙන්න කියල කරන බෝධි පූජාවක්. එහෙම බැලුවම අපි බෝධි පූජා තියන්නෙත් සසරින් එතෙර වෙන්න නෙමෙයි. අපි ලෙංගතු අයට සිද්ධ වෙන අපල උපද්‍රව වලින් එයාලව වලක්ව ගන්න.

ගෙදර ඇවිත් නාල කියල මල් එහෙම කඩාගෙන . . .මඟ බලන් හිටිය .මොකද දැන් මටත් පන්සල් ගිහින් ප්‍රාර්ථනා කරන්න දෙයක් තියෙන නිසා. 

මගේම ප්‍රාර්ථනාවක් . .. . . . .  ඔවු මගේම කියල ප්‍රාර්ථනාවක් . . . .

එහෙම හිතුවම මට හිතෙනවා ඉස්සර මට මගෙම කියල කිසිම ප්‍රාර්ථනාවක් තිබිල නැහැ නේද කියල. . . .


ඇමදූ මළුවක පිවිතුරු ලස්සන
මගෙ සිත ඇතුලත අතුරාලා
සුළඟට සෙලවෙන බෝ දළු සිසිලස
හද මැදුරට මගෙ ගෙන දීලා

පහන් වැටක ආලෝකය දී මට
අඳුරු මතක නිති හැරදමලා
සුවඳ හමන හැඟුමින් සරසා සිත
නැවුම් පැතුම් සුවඳින් පුරවා


ලබනා හෙට දින කළුවර නැති වග
තබන තබන පියවර ගානේ
වැටුන විටදි මා ළඟ නිති රැදෙමින්
අත පෑ ලෙංගතු සිත ආයේ

කෙදිනකවත් නැති නොවෙනා මිතුදම
සපථ කරපු දින නුඹ දෑසේ
ප්‍රාර්ථනා සැම නුඹ නමටයි හිමි
මිතුර මගේ ඉර සඳ වාගේ


" දැන් එහෙනම් තම තමන්ගේ සිත් වල තියෙන ප්‍රාර්ථනාවන් ඒ අයුරින්ම ඉෂ්ධ සිද්ධ වේවා. නිදුක් නිරෝගී සවි බල ඇති වේවා. මෙලොව මෙන්ම පරලොව දියුණුවටද මේ පිං හේතු වාසනා වේවා කියල සාධු කියල ප්‍රාර්ථනා කරන්න "

සාධු ! සාධු ! සාධු ! ! . . . .   .    .    .    .

ඉතින් මගෙ යාළු .  .   . මගෙ හිත සතුටින් පුරවපු පිනම ඇති ඔයාට . . .මගේ ප්‍රාර්ථනාව මගෙ යාලු ගෙ සිතේ තියන සියළුම ප්‍රාර්ථනාවන් ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වෙන්න කියලයි. . .   . .


රිදුන තැවුන සිත පන්සලේ තියල නිවුන සැනහුන සිතින් නිවසට ආව 
මම
෴ වත් ෴

පලි : - ඔන්න ඉතින් කමෙන්ටු වලට එහෙම සාධු ! සාධු ! සාධු ! ! . . . .   .    .    .    .කියනව නෙමෙයි ඕං . .   .    .       .       .

Wednesday, November 24, 2010

෴ අයං වස්සාන කාලෝ ෴

හවස් වරුව පටන් ගන්න කොටම වැස්ස වහින්න කලින්ම අදුරු කරපු ආකාසෙ දිහා බල බල ගෙදරට ගොඩ වෙන්න මට පුලුවන් වුනා. . . ගෙදර ගොඩ වෙලා කරේ රදවන් හිටපු කාර්යාල ගමන් මල්ල මේසය උඩින් තියන කොටම මහ වරුසාව හෝ ගාලා ඇදන් වැටුනෙ මම ගෙදරට ගොඩ වෙනකම් ඉවසගෙන බලන් හිටිය වගේ. . . . . 

ඒත් මොකද මුළු ගෙදරම පාලුයි. ගෙදරම පිරිල තියෙන්නේ ඒ පුංචි චරිතය ගෙදර ඉන්න කොට තමයි. මම ඇයට ගෙනාව රෝස් පාන් ටික එළියට ගත්ත. .  .

" අම්මා , තේ බොමු ද ? "

පිළිතුරක් නැහැ. . . 

" අම්මා මාතර ගියා . ලොකු අම්මට බේත් ගේන්න . එන කොට රෑ වෙයි කීවා ."

කාමරයෙන් එළියට ඇහෙන්න ලොකු නංගි කෑගැහුව. . . .

" කාගෙද බයික් එකක් තියෙන්නේ. ‍පොඩි නංගි ආවා ද? " 

" ඔවු. උදේම ඇවිත් කොළඹ ගියා. කෝල් කරාම කීව වැස්සට අහුවෙලා කියල "

" එනවා අපි දෙන්න වත් තේ බොන්න එහෙනම් . "

රෝස් පාන් වල කිසි රහක් නැහැ. තේකත් එහෙමයි. ඔක්කටම වඩා තේ බොන ගමන් දිග ඇරෙන මගෙ ඔපිස් කෙරුවාවේ රෙකෝඩින් එක අහන්න අම්මා ගෙදර නැහැ.

ඇය වැඩි හරිය අසාගෙන සිටින්නේ නැති වුනත් ඇය ඉදිරියේ මගේ දින වරියාව දිග හැරීම මගෙ දිනචර්යාවෙම කොටසක්.

රූපවාහිනිය නිහඩයි. පරිගණකය මා දිහා බලන් හිටියත් කරන්න දෙයක් නැහැ. ගොරවනව විදුලි කොටනවා. මම කරපු එකම දේ වැස්ස ට සවන් යොමා ගෙන වැස්ස දිහා බලන් හිටිය එක. ඒ වුනාට හිත තිබ්බෙ ගොඩක් දුර.

මම ආදරේ කරන ගොඩක් අය මේ වෙලාවෙ ගෙදරින් දුර ඉදින් වැස්සට තෙමෙනෙවා ඇති. ඔවු. . . අම්මා, නංගිගෙ මහත්තයා හෙවත් මගේ අලුත් සහෝරයා..සහ නංගි.

ඒ  වගේම මා ආදරය කරන ඔහුත් මේ වෙලාවෙ ඇත්තෙ කාර්යාලයෙන් පිට වෙලා. කුඩ ගෙනියන්න පොලිසියෙන් තහනම් කරපු අය අතර ඉන්න ඔහුටත් වෙනද වගේම අදත් තෙමෙන්නයි වෙන්නෙ. . . . .

අහසින් පොළවට වැටෙනා 
ආදර වැහි බින්දු දිගේ
අහසත් පොළවත් ආදර
පුංචි කතාවක්

ඒ කතාව මැදට වෙලා
මා ආදර කරන එවුන්
සීතල වැහි බින්දු එක්ක
පුංචි යුද්දයක්


නිවසේ උණුසුමට වෙලා
උණුසුම් තේ තොල ගාමින්
සිතින් නුඹගෙ ළඟට වෙලා
පුංචි ඉනාවක්


ආදර සිත නුඹ ගාවයි
ඒ සෙනෙහස සිත සාදයි
වැහි උණුසුම සාදන්නට
පුංචි හාදුවක්


වැහි කළුවර දුරු වීලා
විඟහින් නිවසට ඒවා
වැස්ස වලාහක දෙවිදුට
දෙනවා තෑග්ගක්

" මොනව ද ළමයෝ වැස්ස දිහා බලන් හිනා වෙන්නේ. මම දැන් ඇවිත් කොයි වෙලේ ද? මේ ලෝකේ නෙමෙයි ඉන්නේ. හොරෙක් හතුරෙක් ඇවිත් මුලු ගේම අරන් ගියත් ගාණක් තියේ ද හැබෑට. . .පුදුම වැස්සක්. ලංකාවට මොකක් ද අවපාතනයක් කියන්නේ .නංගිලත් වැස්සට අහුවෙලා ඇති. "


මොනව අරන් ගියත් මොකද ? මගෙ හිතයි , පීසී එකයි ඉතුරු කරල. හිතින් සිනාසුන මම අම්මට තේකක් හදන්න වතුර ලිප තියන්න ගියා.



Healing rain is a real touch from God. It could be physical healing or emotional or whatever.

වැස්සෙ වැහි බින්දුවක් වෙලා ඔහු ළඟින්ම ඉන්න
මම
෴ වත් ෴

Tuesday, November 23, 2010

෴ නුඹ මැණිකකි නුඹ නොදන්න ෴

කාර්යබහුල දිවියෙන් මදකට මිදුන මම ඇය බැලීමට පැමිණියේ සැලකිය යුතු කාලයකට පසුවය. ඇගේ නෝකාඩුවක් අමනාපයක් නොමැති වුවද ඇයට මෙන්ම මටද පැයක දෙකක සිදුවන මේ හමුවීම ගෙන එන්නේ සිතට සුවයකි.

" ඉතින් "
" ඉතින් .. . ..කිතුල් නාකි පතුල් "

ඇය වයන් වී දොඩමළු වීමට යම් තරමක් වෙලාවක් ගන්නා බව දන්නා මගේ නෙතු අවට පරිසරය පීරා පුංචි ගවේශණයක යෙදුනු අතර හදිසියේ නෙත ගැටුන සුන්දර යුගලක් වෙත නතර විය.

" මොනා ද බලන්නේ ,ආහ්.... ලස්සනයි නේ ද? "
" කවුද ? "

" කවුරුත් " 

ඔවු. . . ඇයට ඇය හැරෙන්නට ලොව ඇති සෑම දෙයකම ලස්සනක් සුන්දරත්වයක් විදිය හැකි බව මා දනිම්.

" ඔයාට හැමදාම මම කියනවා. "
" හරි ළමයො හරි .... ඉතින් ඔයා දන්නේ නැහැනේ අද අපේ ඔෆිස් එකේ නියම වැඩක් වුනා....."

දැන් ඉතින් ගැලවීමක් නැත. විටෙක අභිනයෙන් දක්වමින් ද, විටෙක සිනාසෙමින් ද, ඇය පවසන දේ කුමක් වුවත් කතා කරන ඇගෙ ලස්සන විදින්නට මා කැමතිය. විටෙක ඇය සිනා වෙන යමක් කියා සිනා සෙන අතර මා කිසිවක් සිදු නොවූ ගානට සිටිමි... තරහක් නොගන්නා ඇය.... පවසන්නේ.
" ඔයාට තේරෙන්නෙ නැහැ ළමයො "

ඇගේ කතාව ආරම්භයේ සිටම මා ඇය සමඟ සිනා සෙන විත්තිය ඇය නොදන්නවා වන්නට ඇත.
ඇය මට වටිනා කෙනෙක් යන වගත් , ඇය ලොවට වටිනා කෙනෙකුන් යන වගත් ඇය නොදන්නවා වන්නට ඇත.

පුංචි කුරුල්ලන් සැමදා
ගයනා වයනා ගී හඬ
මිහිරියි සවනත වැකුනට
වුන් දන්නේ නෑ

සමණළයන් තටු සලලා
ලොව සැමතැන ඉගිලුනාට
නෙත නලවන රසඳුන බව
වුන් දන්නේ නෑ

ගලනා දිය රැළි සුන්දර
දාහය නිවනා සැම අත
දිය දහරක රැදි සිසිලස
එය දන්නේ නෑ

ලියනා පද වැල් අස්සේ
රඳවා සෙනෙහස තිබුනද
කවිකාරියෙ නුඹ තවමත්
එය දන්නේ නෑ

ඔසරිය සිර කර ඇන්දට
බඳ වට නෙරියක් තිබ්බට
මැණිකේ නුඹ මට ලස්සන
නුඹ දන්නේ නෑ

" හරි එහෙනම් , දැන් හොඳටම පරක්කු වෙලා " ඒ ඇයට නැවත නිවස බලා යාමට වුවමනා බව දැන්වීමකි. . . .

" පිස්සුද තාම වෙලාව කීයද ළමයෝ " 

" එහෙම බැහැ ... ඔයා මම කියන ඒව අහන් ඉන්නෙත් නැහැ. හරි කියන්න බලන්න . . මම බස් එකේ එද්දි දැක්කෙ කවුද කියල " 

" ම් ම් ම් . . . .බස් පලුවා "

ඇය සිනාසෙයි . . .  තව සුළු මොහොතක් හෝ ලොවම මා ළඟ රදවා ගැනීමට එය ප්‍රමාණවත්ය.


කාලකින් මුහුද බලන්න යන්න බැරි වුන 
මම
෴ වත් ෴

Sunday, November 21, 2010

෴ සඳ පන්සල් ඇවිත් ෴

" ආහ් ... මම බැලුව අද ඒත් පෝය දවස වෙලත් මොකද අහසෙ හඳ නැත්තේ කියල."

" ඇයි .. .! "
" ඇයි අහන්නේ. . .මෙච්චර කල් අහසට වෙලා හිටපු හඳ . . ගොඩක් කාලෙකට පස්සෙ පන්සල් ඇවිත් "
කතාව ඇත්තය. මා පෝයට පන්සල් පැමිණියේ අවුරුදු ගාණකට පසුවය.

" ඇයි නංගි ඇත්තටම ඔයා පන්සලේ එන්නෙ නැත්තේ. මොකද බුදු හාමුදුරුවො එක්ක අමනාපයෙන් ද? නැත්තම් පන්සල් එන අපිත් එක්ක අමනාපයෙන් ද ? "

සැබැවින්ම මා පන්සල් ගමන නතර කළේ මා, මා සමඟම අමනාප වූ හෙයිනි.

" ඒව දැන් වැඩක් නැහැ. ඕක අහන්න ඕනි මෙන්න මෙහෙම. ඇයි නංගි ඔයා දැන් පන්සල් එන්නේ "

" හරි හරි . . . ඇයි නංගි ඔයා දැන් පන්සල් එන්නේ "

" ම් ම් . . . මම වෙනස් වෙලා .මගෙ හිත refresh වෙලා . ඒකයි "

" ඇත්ත නංගි , ඔයා වෙනස් වෙලා ගොඩක් . . . මට හිතෙනවා අපරාදේ ඒ දවස් වල මම ඔයාට අකමැති වුනේ කියල . ඔයා දැන් ලස්සන වෙලා . "

" ඒ කියන්නේ මම හැඩ මදි නිසා ද . . ඔයා මට අකමැති වුනේ "

හීනියට සිනා සුනු ඔහු වැලි මළුවේ වැලි කැට ගණින්නට විය. . . . මට සිහින් ආඩම්බරයක් සමඟ අභිමානයක් දැනුනි.

" මංජු . . අපි යමු ද? "

ඒ ඔහුගේ බිරිඳ ද? හදුනා ගත නොහැකි තරම් වෙනස් වී ඇත. ඇය පෙරදා ලස්සන රෝස මලක් මෙන් විය.

" හරි එහෙනම් මම යන්නම් . . තවම මම වදින්න පටන් ගත්තේ නැහැ. හොඳයි බුදු සරණයි "

‍සඳ ඉල්ලා පෙරදා මල් වටිටියට මගේ
නුඹ දුන්නැති නිසා ආවේ නැතිය මේ ඉමේ
වුන දේ සියළු මා යහපත ලෙසට අද දිනේ
මා සිත දනිමි කමා කරනු වැරදි අද දිනේ

වතු සුදු මලක රුව ගුණ හදුනන්නෙ නැති
රෝස මල වෙතම ඉගිලෙන බඹරුනේ නිතී
පාර වැරදුනා කියලා හඬනු පල නැතී
වතු සුදු මලට සැමදා හිමි සුදම නිති රැදී

ලෝකය ලස්සනයි එඹිලා බලනු ඉතින්
නුඹ හරි හැඩයි සිතනුව පලමුව එළෙසින්
සන්සන්දනය වරදකි දුරු කරනු ඉතින්
දුන් ඔවදනට ප්‍රතිචාරය බලනු ‍සොඳින්

වෙනසක මහිම දකිමින් සිත ඔඳ වැඩිලා
වෙනදා නොමැති සතුටක් හදවත රැඳිලා
මිතුරේ නුඹයි නුඹෙ වදනයි සිත රැදිලා
මා යන ගමන පෙර මඟ නුඹ නෙත රැඳිලා 


අද වගේ පුර පසළොස්වක පෝය දවසක . . . අලුත් වෙනසක් එක්ක ආයෙත් පන්සල් යන්න පටන් ගත්ත 
මම
෴ වත් ෴

Thursday, November 18, 2010

෴ පිරිමි ළමයින්ට අකැප කුඩ ෴

මම දන්න කියන පිරිමි ළමයෙක්ට මේ දවස් වල හරියට " හචින් " යනවා ... ... මම නම් හිතුවේ එයාගේ ගැහැණු ළමයා එයාව මතක් කරන නිසා වෙන්නැති කියලයි .ඒත් පස්සෙ බැලින්නම් අපේ ඔෆීසියේ ඉන්න ඒ වයසෙ පිරිමි දරුවන් හැමදෙනාටම මේ ‍වසංගතය තියෙනවා... දරුණුවට වගේ පැතිරෙන නිසා මම පොඩ්ඩක් විපරම් කරල බැලුව...

" නැහ් මිස් ... ඊයෙ ගෙදර යන ගමන් වැස්සට පොඩ්ඩක් තෙමුන"

" ඉතින් කුඩයක් ගෙනාවේ නැතෙයි"

" පිස්සු කතා කරනවා. ලැජ්ජ නැද්ද කෙල්ලො වගේ කුඩ ගේන්න. අනික මම කුඩ ගේනව විතරයි. කවදාවත් කුඩ ආපහු ගෙදර ගෙනිහින් නැහැ"

අර මම ඉස්සෙල්ලම කීව පිරිමි ළමය නම් කීවේ

" පොලිසියෙන් තහනම් කරලනෙ  පිරිමි ළමයින්ට කුඩ ගේන්න "

ඒක නම් වෙන්න පුලුවන්....දැන් ඉතින් අලුත් නීති තියනවනේ , අපිටවත් නොතේරෙන.

ඒ අතරෙ මට මතක් වුනේ මගේ අරයව ....හොඳ වැඩේ දැන් තේරෙනවා ඇති මගේ අගේ. මම නැතත් මගේ මල් ඉහිරුණ කුඩේ අගේ හරි තේරෙනවා ඇති එයාට... සමහර විට අලුත් මල් මල් කුඩයක් යටින් යනවද දන්නෙත් නැහැ නේ......


සිරි පොද වැස්ස උඩින්
මල් මල් ‍පොඩි කුඩේ යටින්
මඩ වතුරින් පිපුන නෙළුම් මල් දෙකක් වගේ

නුඹෙ උණුසම දැනෙන ළඟින්
කම්මුල් රතු කරන සරින්
රැකවරණය මටම දෙමින්  බලකොටුව තුල නුඹේ

ගිය හැටි මතක තියන්
අද වහිනා වැස්ස යටින්
කඳුළු අරන් යන හැටි මම මටම දුක සිතේ

මල් මල් පොඩි කුඩේ ඇතත්
උණුසුම් සුව මතක ඇතත්
දුන් සෙනෙහස අද යනවා මඩ වතුර  රැළි දිගේ

වැහි කාලය වගේ නුඹත්
මා හැරදා දුරක් ගිහින්
පිපෙන සොඳුරු හිරු එළියැති ලොවයි මට අගේ

මම අර කීව පිරිමි ළමය නිසයි මේ කවිය වගේ එකේ අන්තිම  කවි පද තුන එකතු වුනේ. නැත්තම් හැමදාම වගේ "වත් " ගෙ කවිය නතර වෙන්නේ ඊට උඩින් තියෙන කවි පේලියෙන් තමයි....දුක කවි වලට ධනාත්මක චින්තනය එකතු කළා.....හොඳයි නේද?

කෝම වුනත් යාළුවනේ . . .

වැස්සෙ තෙමි තෙමි යන එක හොඳයි කුඩයක් යටින් ආදර වැස්සෙ තෙමි තෙමි යනවට වඩා .. මොකද වැස්සෙ තෙමුනම නම් හැදෙන අසනීප වලට බෙහෙත් තියෙනවා. ඒත් ආදර වැස්සට තෙමිල ලෙඩ වුනොත්...... ?

“I always feel sorry for people who think more about a rainy day ahead than sunshine today.”

වැහි දාට වගේම අගේට ඉර පායපු දවස් වලටත් මල් ඉහිරුණ කුඩේ යටින් යන
මම
෴ වත් ෴

විශේෂ ස්තූතිය..... පින්තූරය සපයා දුන් අපේ පුබුදුවා ට . පුබුදුට නම් මල් මල් කුඩයක හෙවන තියෙනවා මම දන්න විදිහට.

Wednesday, November 17, 2010

෴ කෙසෙල් කොළේ ඔතපු ආදරේ ෴

" මචං , බඩගිනි බං "

 මනුරගේ දෑස් කාර්යාල බිත්තියේ වූ ඔරලෝසුව වෙත ඇදී ගියේ නිතැතිනි. වේලාව සවස 1.30ටද ආසන්නය.

" යමං , යමං බන් කැන්ටිමට. මෙලහකට කෑම ඉවරත් ඇති " 

පුටුවෙන් නැගී සිටීමට කම්මැලිකමක් පෑව මනුරගේ පිටට ත‍ට්ටු කරමින් ගිහාන් පවසන්නට විය.... ඔහුත් සමඟ යෑමට නැගි සිටි මනුර මද දුරක් ගොස් නැවත තම ආසනය වෙත පැමි‍ණියේ.... 
" මට තව ටිකෙන් අමතක වෙනව.මට අද කෑම එකක් හම්බුනා. වෙලාසන කන්න කීව. දැන් නරක් වෙලාද දන්නෙත් නැහැ"

තම මේස ලාච්චුවේ කොනක බහා තිබූ පාර්සලය අතට ගත් මනුර පාර්සලය සමඟ තනිවම සිනා නෙසු දුටු ගිහාන්... 
" ආහ් බන් ඕක නම් අම්ම එවපු කෑම එකක් වෙන්න නම් බැහැ.. හරි හරි කමක් නැහැ මහත්තයෝ අපිටත් බත් කටක් දීහන් හරිද ? "

කැන්ටිමේ සුපුරුදු මේසයේ රැස් වූ බත් සමාජයේ සමාජික සාමාජිකාවන්ගේ එදින ප්‍රධාන මාතෘකාව වූයේ මනුරගේ දිවා ආහාර පැකට්ටුවයි.
වැඩියමක් නොවුනද ,තවන ලද කෙසෙල් කොළයක වූ රතු කැකුළු බත් , මාළු ඇඹුල් තියල් , කිරට සෑදු අල ව්‍යාංජනය සහ කොළ මැල්ලුම සැමදා දිවා ආහාරය ආපන ශාලවෙන් මිලදී ගන්නා යහළු යෙහෙලියන්ට දිව බොජුනක් වූ අතර එක බත් කටකින් සප්පායම් වූ මනුරට නම් තව දින දෙක තුනක් යන තෙක්ම බඩගිනි නොසෑදෙන තරමට කුස මෙන්ම හිතද පිරී ඇති බව කියමින් කෑම සංගමය වදේ ගහන්නට විය.
අද උදෑසන බසයෙන් බැස සමුගන්නට මොහොතකට පෙර මදක් කලබල වූ ඇය,, ඇය අතේ වූ පාර්සලය මනුර අතේ තබමින් පැවසූවේ 

" ඔන්න අද කෙ‍සෙල් කොළේක ඔතල මගෙ ආදරේ ගෙනාව. දවල් වෙන්න කලින් කන්න .නැත්තම් පිළුණු වෙයි " 

ඇය ඔහුට මුණ ගැසී වැඩිකලක් ගත නොවුවද හිත පුරා ඇය අරක් ගෙන ඇති අපූරුව මනුරගේ සිතට පවසන්නේ ඇය බිරිඳ කර ගැනීමට ද?

සීතල හිම පිනි වැටෙනා උදයේ
ආසිරි ගෙන නුඹ පිබිදෙනවා
ආදර සෙනෙහස කුස්සිය මුල්ලේ 
දුම් දමමින් පිළියළ වෙනවා

තේකක් සමඟින් නුඹ මා නෙතු මත

දවසෙ පළමු දසුනම වෙනවා
ඒ සුබ දසුනින් ඇරඹෙන 
දිනයම ආසිරි මල් වැස්සක් වෙනවා

කෙසෙල් කෝළේ එතු ආදරයත් නුඹ
මාගේ දෑතට පුදන ගමන්
නෙත් පියවෙන සැනකින් දෙන හාදුව
මට මුළු දිනයෙම දැනෙන තරම්


විඟහින් එන්නට සිත සනසන්නට
පොරොන්දු වූවද වචන ගණන්
පමා වෙලා ආවත් වත නුඹගේ
මා දුටු විට පිපිදෙනා තරම්




කාලය ගතවී ගොසිනි ..... ඇය අද ඉහල පෙළේ ආයතනයක විධායක නිලධාරිනියකි.එහෙත් අද උදෑසනත්  ඇය මනුරට ආදරය ඔතා දුන්නීය. එකම වෙනසකට ඇත්තේ ඇය බත් පිසින වළද ටිකින් ටික ලොකු වීමත් , කෙසෙල් කොළය වෙනුවට උණුසුම රදවන භාජනය පැමිණිමත් පමණි ...

සිත් රිදුන ඇතැම් දිනක බතට ලුණු මදි වූව ද ඇය ඔතා දෙන ආදරය කෙදිනකවත් පිළුණු නොවූයේ මනුර වෙලාසනින් කෑම කන නිසා ද ඇය උයන ක්‍රමයේ රැදි රහස නිසාදැයි තවමත් මනුරට නොතේරේ .....

පිළුණු නොවන ආදරයක හිමිකාරිය
මම
෴ වත් ෴

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...