..... I am the poem that's  yours but doesn't belong to you ever,...

Monday, September 27, 2010

෴ සිත්තරාගේ පෙම්වතිය ෴

" කෝ බලන්න.... ම් ම් ම්..... ලස්සන කෙල්ලෙක් ... කවුද මේ ? අර හන්දියෙ කඩේ මුදලාලිගේ දුව නේද?"
" ඔයාට පිස්සු"
' ඇයි.. එහෙමනම් කියන්න කවුද මේ ඔයා හැමදාම අඳින කෙල්ල කියල"
" මේ ඔයා"
"මම ඔයාට පිස්සු ද? මේ මම.!!!!!!! .. මගේ නහය මෙච්චර දිග නැහැ, මේ කඩේ මුදලාලිගේ දුව තමයි... ඔයා හැම චිත්‍රයකම අඳින්නේ එයාව..මම තරහයි ඔයත් එක්ක...ඒ මදිවට තව බොරුත් කියනව,"
"නැහැ නැහැ මොකටද මම බොරු කියන්නේ මේ ඔයා තමයි"
" මට බොරු කියන්න එපා... "

දෑසේ කඳුළු පුරවා ගත් ඇය ම'ගෙන් මිදී ඈතට දිව ගියාය...මගේ සිත දුකින් පිරුණි.මා ඇයට මුසාබසක් පැවසුවේ නැත.මේ චිත්‍රයේ සිටින්නේ ඇයයි.ඇගේ මතකය සිත පුරවාගෙන මා ඇඳි සිතුවම හරියට ඇය වාගේමයැයි මට සිතේ... ඔවු ඇත්තටම ඒ ඇය තමයි.

---------------------------------------------------------------------------------------------------
ඇය නැති සැදෑව පුදුමාකාර මුසල පාලුවකින් පිරෙයි.... කන්දෙක ගොඩවන තෙක් මා ලඟ දැවටි දැවටී නිනව්වක් නැතිව දොඩවන... විටක කිසිවක්ම නෙදොඩා දෑස් අයා මා දෙස බලා සිටින ඇය මා ළඟ නොමැති විට මේ තරම් පාලුවක්........
.
හදිසියේම මා බැලීමට බෝඩින්කාමරයට ආ පියල් දුටු විගස මට යස අදහසක් පහල විය.... මා ඇඳි ඇගේ සිතුවම් කිහිපයක් ඔහුට පෙන්වූ මම
" උඹට හිතෙන්නේ මේ කවුරු කියලද?"
"ආහ්... ඕකත් අහන්න දෙයක් ද ... මේ ඉන්නේ අර සඳ කිඳුරු නාට්‍යයේ රගපෑව නිලිය නේද? හරි අගෙයි උඹ හරි ලස්සනට ඒ කෙල්ලව ඇදල"
"හ්ම් ...."
" ඉන් පසු අවස්ථා කිහිපයකදීම කිහිපදෙනෙක් ගෙන්ම විමසුවත් මට ලැබුනේ පෙර පරිදි විවිධාකාර පිළිතුරුය... මගේ පෙම්වතියගේ නිවසැයන්ගෙන් විමසුවද ලැබුනේ විවිධාකාර පිළිතුරුය. ඒ අතර සිත් රිදුම් දෙන පිළිතුරුද ලැබුනි. අදාළ නොවන පිළිතුරුද ලැබුනි... 
""සිත්තම් වලින් කොහොමද ළමයෝ ජීවත් වෙන්නේ ...ඕව හොදයි ලිපට දර නැති වෙලාවක ගිනි මොළවන්න ගන්න"
ඒ ඇගේ පියාගේ පිළිතුරයි.

---------------------------------------------------------------------------------------------------
ඇගේ තරහව පැය කිහිපකින් නිම වෙයි. තරහව යනු කුමක්දැයි වත් නොහඳුනන්නියක වන ඇය නැවතත් මා කරා ඇඳෙන්නේ සඳ දමා හොරෙන් පැන ගිය සාවියක පරිද්දෙනි..................

එහෙත් ඇයට මා ඇඳි සිතුවම් පෙන්වුව හොත් නැවතත් ඇය මගෙන් වෙන් වන්නේ මා සිත දුකද ඈ සිත තරහවද රදවමින්ය... මාගේ සිතුවම් ඇයට නොපෙනන ඇස නොගැටෙන දුරක සැගවූවද ටික වේලාවකින් ඇයට ඒවා මතක් වෙයි.... ඉතින් ආයෙත් .... සිත්තම් නොපෙන්වූ විටද ඇය මා සමඟ උරන වෙයි...
" මම හිතුව හරි... ඒ චිත්‍ර වල ඉන්නේ මම නෙමෙයි. ඒකනේ මම එන වෙලාවට චිත්‍ර හංගල තියෙන්නේ" 
" මම දවසක ඒ චිත්‍ර ඔක්කම පුච්චල දානව"

දිනක් මා ඇඳි ගැහැණු අඩ නිරුවත් චිත්‍රයක් දුටු ඇය කම්පා වුයේ මුළු ලෝකයක් මැද ඇය නිරුවත් වූ තරම් දුකකින් සහ තැතිගත් සිතකිනි....
මා ඇය කෙදිනකවත් නිරුවතින් දැක නැතත් මාගේ සිහින වල දී දුටු ඇයගේ ලස්සන මෙසේ සිත්තම් කර ලඟ තබා ගැනීමට මගෙ සිත ආශා කලේය....

නමුත් එදින මා සමඟ උරනවු ඇයගේ තරහව දින තුනක් යන තෙක්ම පහවී නොතිබුනි. අවසානයේ ඇය ඉදිරිපිට දීම ඒ අඩ නිරුවත් සිතුවම් සියල්ලම ගිනි තබා විනාශ කරන බවත් නැවතත් එවැනි සිතුවම් සිත්තම් කරන්නේ නැති බවත් බැව් සපථ කිරීමෙන් පසු ඇය යන්තමින් මා හා සිනාසුනේය.
එහෙත් මගේ සිතේ ඇති ඇගේ සිතුවමට මා කෙසේ ගිනි තබ්ම්ද ? 


---------------------------------------------------------------------------------------------

 මෙසේ කාලය ගත විය.... මා ඇදි සිතුවම් සියල්ල එක්කාසු කර සිතුවම් ප්‍රදර්ශණයක් නොපවත්වන්නේ ඇයි ද යන පැණය විටින් විට ඇය මගෙන් අසන්නට විය.
සැබෑවින්ම ඉදහිට හෝ ඇගේ මොළයට බොහොම හොඳ අදහස් ද පහල වන බව සිතූ මම ඒ පිළිබඳ අවධානය යොමු කළෙමි.....

-----------------------------------------------------------------------------------

සිත්තම් ප්‍රදර්ශනය පැවැත්වූයේ ඉන් බොහෝ කලකට පසුවය. සිත්තම් ප්‍රදර්ශණයේ තිබූ සැම චිත්‍රයකටම පාහේ මා සිතුවාටත් වඩා ප්‍රතිචාර ලැබුනි. ඇතැම් සිතුවම් මිලට ගන්නට ඉදිරිපත් වූවන්ගේ මිල ගනන් මා සිතුවාටත් වඩා ඉහල වටිනාකමකින් යුතු විය... එහෙත් කොතෙක් අය ඉල්ලුම්කරද මා කිසිවිටක නොවිකිණිමට සිතා සිටි එකම එක සිත්තමක් ඒ අතර විය. ඒ ඇය සැමදා මා සමඟ රණ්ඩුවීමටත් අවසානයේ තරහ වීමටත් යොදා ගත්, කිසිම විටක ඒ ඇය යැයි පිළිනොගත් මා ඇඳි ඇගේ සිතුවමයි... 


ගැණුම්කරුවන්ගෙන් එය බේරා ගැනීම සඳහා මම එහි " විකිණි අවසන් " යන්න සඳහන් කළෙමි. එහෙත් ප්‍රදර්ශණය අවසානය තෙක් රැදී සිටි එක් මිනිසෙක්ගෙන් පැමිණි ඉල්ලීම මට ගැලවියා නොහැකි තරම් ප්‍රබල විය. කෙතරම් කිවත් කිසිවක් පිළිනොගත් ඔහු ඒ සිත්තම්  ‍කීයත් ගියක් නොගෙන මිසක මෙතනින් නොයන්නෙමියි දිවුරමින් පවසා සිටියේය.....

" මහත්තයා දැන් මම කී වතාවක් කීවද..ඒ පේන්ටින් එක දෙන්නේ නැහැ කීවොත් දෙන්නෙම නැහැ වෙන ඕන චිත්‍රයක් මම දෙන්නම්."
" මම මේක නොගෙන මෙතනින් එහාට අඩියක් තියෙන්නේ නැහැ"
"මහත්තයා මට කියන්න.මොකද මේ චිත්‍රයට මේ තරම් කැමැත්තක්"
" මේ චිත්‍රය මට ගෙනෙන හැඟීම ගැන විස්තර කරන්න මට චවන නැහැ. කොටින්ම මේ චිත්‍රය දැක්කම මට මතක් වෙන්නේ මගේ බිරිඳව"
අවඥාව රැදවනු සිහින් සිනාවක් මගේ මුවඟට නැඟුනේ කිසිදවසක මේ චිත්‍රයේ සිටින්නේ සැබෑ ලෙසින්ම ඇය යැයි කිසිකෙනෙකු කිසිදිනක හඳුනා නොගත් නිසයි. එකිනෙකාට එක් එක් විදිහට පෙනුන මෙම සිතුවමේ සැබැවින්ම සිටින්නේ ඇය ඇය යැයි ඇයවත් හදුනා ගත්තේ නැත.

" ඇයි හිනාවෙන්නේ"
"නැහැ නිකම්..මොකක් ද මහත්තයගේ බිරිඳගේ නම"
"රෙබෙකා ඇගේ නම රෙබෙකා"
" රෙබෙකා !"
" ඔවු රෙබෙකා. රෙබෙකා ............"
ඔහු ඇගේ ගම ,නම වාසගම ඇතුළුව කී සියළු තොරතුරු සියල්ල. මගේ රෙබෙකාගේම  විය. මගේ රෙබෙකා මට අහිමි වූයේ මා සිත්තරෙකු පමණක් වීම නිසාය...ඇගේ දෙමාපියන් අප දෙදෙනා විවාහවනවාට දැඩි සේ විරුද්ධ වු අවස්ථාවේ ඇය මා සමඟ පැන යාමට පැමිණි විට ඇය ආපසු හරවා යැවුවේද මම මය.


මගේ ‍ආදරණිය රෙබෙකා..... ඔබටත් හඳුනාගත නොහැකි නුඹව , මා මෙන්ම හඳුනාගත හැකි සැමියෙක් දැන් නුඹට ලැබී ඇත..... ඔහු මා මෙන්ම මේ සිත්තම තුල නුඹ දැකීම යනු එයම නොවේද? 

“I paint objects as I feel them, not as I see them.”
Pablo Picasso



සිත්තමේ රැදි තෙල් සායම් අතර සැගවී නොපෙනී ගිය
මම
෴ වත් ෴

Sunday, September 26, 2010

෴ මා මිය ගිය දිනක මා බලනට පැමිණේවා ෴


සුළඟක් වගේ මල් වනයට හමාපු
රළක් වගේ වෙරළට ගොඩ ගසාපු
වැස්සක් වගේ මහ කතරට වනාපු
නුඹ ආවේ ඇයිද සිතකට හඬාපු

ආවොත් යන්න වෙන බව නුඹ නොදන නොවේ
නාවොත් රැදෙනු බැරි බව මම කියමි කෙසේ
 කවුරුත් එකයි කිසි වෙනසක් නැතිය ලයේ
ජීවිතයම කතරක පිපි මලක් වගේ

 සෙනෙහස සුවඳ හමනා විට හමුවේවා
තරුවක කතාවක ප්‍රේමය ලිය වේවා
සිටිනා තැනක දුක් සෝකය දුරු වේවා
මා මිය ගිය දිනක මා බලනට පැමිණේවා

~Don't say you know me, when I don't even know myself.~

“ඔබ එතකොට යනවනෙ? හෙට යනව. එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නෙ අද විතරයි. අද දවස හමාර වුණාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්න ඉන්නව. හෙට මම විතරයි. හෙටත් අනිද්දටත් කවදටත් මම විතරයි. මොකක්ද වෙනස? අද වගෙම හෙටත් කවුරුත් නැගිටිනව. කනව. බොනව. වැඩට යනව. කතා බහ කරනව. මාත් මේ ඔක්කොම කරනව. ඒත් මම විතරයි. ඔබ නෑ.”
 ( මළවුනගේ අවුරුදු දා - සරච්චන්ද්ර, එදිරිවීර.)
  
 ~ I think I'm afraid of being happy because everytime I'm happy, something bad always happens.

~ Behind my smile is a hurting heart.  Behind my laugh, I'm falling apart.  Look closely at me and you will see, the girl I am...isn't me.

සිනහව පිටු පස සැඟවුන
මම
෴ වත් ෴

Thursday, September 23, 2010

෴ ඈතින් ඉඳගෙන ළඟා නොවෙනු මැන ෴


 මල් පිපුණේ නැත ඔබ හමුවෙන තුරු
 දොරකඩ කට රොලු මල් ගාලේ
මා දුටුවේ නැත ඔබ හිනැහෙන තුරු
මගෙම සිනා මගෙ සිත ඇතුලේ


විශාල මේ ලොව මා තනි වී
හිඳින සඳ
හදිසියේම නුඹ මා දෑසේ පහළ වුණා
බලන්න පුදුමයි හිටි හැටියෙම ලොව
ලස්සන වී අමුතු වුණා
තරු පිරි වැරුණා
කඳු හෙල් අතරේ මීදුම වැටෙන්න මට පෙනි පෙනි නොපෙනී
ඈතින් ඉඳගෙන ළඟා නොවෙනු මැන
ළඟා වුනොත් ඒ සියල්ල මොහොතින් මැකිලා යයි
මහ ගංගාවක් වී

෴ මහගම සේකර ෴

" ජීවිතය බොහෝ මිතුරු කම්වලින් පොහොසත් වෙයි.ආදරය කිරීමත් ලැබීමත් මිනිස් පැවැත්මේ විශිෂ්ටතම සන්තුෂ්ටිය වෙයි.ඔබ ගරු නොකරන , උසස් ලෙස අගය නොකරන මිනිසුන්ගේ ඇසුරෙන් ඉවත් වීමට හැම විටම උත්සාහ කරන්න.මේ අය සමඟ සබඳතා ඇති කර ගැනීම ඔබට ගැටලුවක් වනු නිසැකය.කාලය, ශ්‍රමය ,ක්‍රියාව , උනන්දුව සහ ආදරය සමඟ සබඳතාව වර්ධනය කර ගන්න.සැබෑ සබඳතාවේ නියම පදනම එමඟින් වැටහෙනු ඇත."

෴ සිඩ්නි ස්මිත් ෴



 ප්‍රේමය නම් අසෙණිය කුසුමක් වේ
රිසි වූ කෙනෙකුට පූජා කරනට 
ලෝභ සිතින් තොර පිදුව මනා වේ
පෙරළා ලබන්ට නොසිතා බිඳකුත්

෴ එදිරිවීර සරත්චන්ද්‍ර ෴

අද මම ලීවේ මේ දවස් වල මම කියවපු පොත් කිහිපයක තිබුන මගේ හිත් ගත් වදන් වැකි කිහිපයක්..... 

“Regret for the things we did can be tempered by time; it is regret for the things we did not do that is inconsolable.”

 ජීවිතේම මල් යායක් කර ගන්න බැරි වුනත්. ජීවිතේම මල් යායක පිපුන මලක් වෙන්න හිතන
මම
෴ වත් ෴

Tuesday, September 21, 2010

෴ නුඹ නැති සැදෑව ෴


හිරු බසින මේ සැදෑ යාමය
වෙරළ ආදරයෙන් පිරී
බලන සැම අත සෙනෙහෙ දිය රැළි
නැගි නැගී සුදු පෙණ කැටී

ප්‍රේමයට උත්ප්‍රේරකය දෙන
අමා රස විකුණන නිතී
කඩල, හිම කිරම සමඟ නිති
සරුංගල් පාවෙන සැටී

තැනෙක දරුවන් සදන මාලිග
රැළි වලින් වැනසෙන සැටී
එදෙස බලමින් දෙමාපිය නෙත්
ස්නේහයෙන් ලෙල දෙන සැටී

තැනෙක පෙම්වත් යුගල ආලෙන්
 වෙලී මුසපත් වෙන සැටී
අතීතය දිය කරන් රැළි තුල
 මෙමා මදහස දෙන සැටී

පුරුදු සුවඳක් සුළ‍ඟෙ පාවී
මතකයන් අවුලන සැටී
සුවඳ ඉව කර බලන දෙනුවන්
නුඹේ ළඟ නවතින සැටී

ඇයත් නුඹ සමඟින් ඇවිත් අද
බසින හිරු නරඹන සැටී
ළඟින් කවුදෝ හැඩ පොඩිත්තෙක්
නුඹේ මුහුණම ඇති සැටී

තවත් මහතෙක් සමඟ සුරතල්
"ලැසී" ගමනේ යන සැටී
සැදෑ යාමයේ " ලැසී" වත් නැති
මගේ නෙත් තෙත් වන සැටී


“What is life? It is the flash of a firefly in the night. It is the breath of a buffalo in the wintertime. It is the little shadow which runs across the grass and loses itself in the sunset.”



ඉර බහින දුක්බර සැදැව සතුටින් නරඹන
මම
෴ වත් ෴

Monday, September 20, 2010

෴ ෆැන්ටසිය නිමයි ෴


" උඹ අදත් අඩනව... උඹේ ඔය ඈඩියාව කවදද ඇත්තට ඉවර වෙන්නේ.....උඹ සතුටින් හිටියෙ ස්කෝලෙ යන කාලෙයි විශ්ව විද්‍යාල ජීවිතයෙයි විතරයි කියලයි මම හිතන්නේ... හොදින් හිටිය උඹට ඊට පස්සේ මොකද වුනේ.... මම දන්නව ඊට පස්සෙ උඹට අත්තටු ආවා...උඹට ඕන වුනේ අර තෙරක් නොපෙනෙන අපට අයිති නැති ආකාසෙ පියාඹන්න... මම උඹට කීව..ඕව අපිට බැහැ කියල...උඹ ඇහුවෙ නැහැ... උඹෙ කේන්දරෙත් තියෙනව උඹ කරන්නේ උඹට ඕන දේ විතරයි කියල..ඒත් ඒ කේන්දරේම තිබ්බ උඹ කවදාවත් කාටවත් ලේසියෙන් රවටන්න බැහැ කියල.....ඒත් උඹ....ජීවිතේ දෙපාරක්ම රැවටුනා....."

ඒ රැවටීම දරාගන්න බැරිව උඹ අහසින් බිමට වැටුන දා ඉදල අද වෙනකම් උඹ අඬනව....දැන් උඹට ඕන වුනත් පියාඹන්න බැහැ... උඹට මතක නැහැ උඹට පියාඹන්න පුලුවන් කියල.අඩුගානේ උඹ දන්නෙ නැහැ ඉස්සර උඹ පියෑඹූව කියල... උඹේ පිහාටු උඹේම කඳුළු වලට  පෙඟිල..... අර කවුද කියල තිබ්බ වගේ " ගහින් වැටුන දිරච්ච කොළයක් වගේ ආදරයක් ගැන හිතල උඹ දුක් වෙනව.හරියට උඹ විතරක් මේ ලෝකේ ආදරේ කරා වගේ...උඹට ලියන්න පුලුවන් දුක විතරයි.... උඹ වටේ ඉන්න ලස්සන මිනිස්සුන්ට රැවටුනේ නැති උඹ කාටවත් රවටන්න ලේසියෙන් බැරි වුන උඹ ...අන්තිමට රැවටුනා......මට උඹ ගැන හරි දුකයි... උඹට ආදරේ කරන මේ තරම් පිරිසක් ඉද්දිත් උඹ තනිවෙලා අඬනව......


දැන් නවත්තන්න ඔය ඇඬිල්ල.. හොඳ හිතින් තවත්තපන්... නැත්තම් මම උඹව හොයා ගන්න බැරි තැනක හංගනවා... විසිකරපන් ඔය තටු..පියාඹන්න බැරි තටු වල බර මොකට උහුලනව ද?...උඹේ හිත සොඳුරුයි වගේම ඒ හිත හයියයි කියල මම දන්නව... ඉතින් වරෙන් අපිත් එක්ක පයින් යන්න...මේ ලෝකේ උඹ හිතනවට වඩා ගොඩක් ලොකුයි... පියාඹලා ගිහින් බලන්න බැරිවුන ලෝකේ ඇවිදල ගිහින් බලපන්.. උඹට පෙනේවි...මේ ලෝකේ උඹට වඩා දුක් විඳින මිනිස්සු කොච්චර ඉන්නවද කියල..... 

ඉතින් මගේ දයාබර සොඳුරු සිත සමුදීපන් ෆැන්ටසියට.... ඇවිදන් යන්න යථාර්ථයේ ඇද වෙච්ච පාර දිගේ... ලෝකේ උඩින් පේනවට වඩා කොච්චර වෙනස් ද කියල උඹට එතකොට තේරේවි.... උඹ එදාට කියාවි " ෆැන්ටසියට වඩා යථාර්තය කොයි තරම් සුන්දරද" කියල.


" Fantasy was the only canvas large enough for me to paint on.

ෆැන්ටසියට සමුදුන්
මම
෴ වත්෴

Sunday, September 19, 2010

෴ නිහඬ ගීතය ෴


දුක්බරම ගී ගයන නාදුනන කුරුල්ලා
දුටුවනම සිත බැඳුන කාරණා කුමක්දා

සොයා විමසා බලනු රිසියේන් සිතීලා
ළං වෙලා ඇසුවාම කඳුළක්ම නැඟීලා

මහාරුදු කෝඩයට කැඳැල්ලෙන් මිදීලා
බොහෝ දුරු රටක විය කලක් දැන් ගෙවීලා

යන්න පාරත් දුරයි ගියත් සිත මහ බරයි
ඉතින් දුක් ගී ගයමි මෙසේ තනි කුරුල්ලා

කඳුළ මගෙ සිතලයි මමත් තනි වී ඇතේ
මගේ හිත දුක් පදත් ගයනවද සිත් කොණේ

ඇගේ හද පද වැලත් කුරුල්ලගේ ගී වලත්
තාලයම ගැලපුනෙන් ඔවුන් විය යහළුවන්

මෙසේ කල් ගතවුනා ඔවුන් තව ළංවුනා
බොහෝ පිවිතුරු සිතින් ඔවුන් සිත් සැනසුනා

දිනක් සංදේශයක පණිවිඩය කැටිවුනා
කිරිල්ලිය මඟ බලන් ඇති බවක් කිය වුනා

යන්න හැකි මාවතත් ආදරේ බොහො බවත්
කඳුළු පිරි පන්හිදෙන් ලියවිලා දිලිසුනා

කුරුල්ලගේ සතුටු සිත දෙහිතකම තනිවුනා
කැඳැල්ලක උණුසුමත් සිතේ යලි මතු වුනා

කිරිල්ලිය මඟ බලන් ඇතේ නෙත දල්වමින්
යන්න දැන් නොවෙද කල් සමුගන්න සිත් වලින්

කුරුල්ලෝ නුඹ ඉතින් කිරිල්ලිගේ ළඟ රැදෙන්
මගේ සිත් මංසලෙන් සමුගන්න නොම රැදෙන්

නුඹේ දුක් ගී තාල මෙහි තබා ලා ඉතින්
යන්න නුඹෙ නිහඩ ගී මා ගයමි තනි සිතින්

හීන පායා දිලෙන සීතලම දිග රැයක
මා මතක්කර ගයන් නිහඬ ගීතය ඉතින්

“Silence is more musical than any song.”
 
නිහඬ ගී ගයන 
මම
෴ වත් ෴

Saturday, September 18, 2010

෴ වසරක කවිකම ෴

දිවිමඟ දිනක් සීතල කඳුළින් පිරුණා
දුක කියනට කෙනෙක් සරණක් නැති වූවා
ලියනට හිතේ දහසක් දේ ඇති වූවා
කඳුළින් අකුරු පද වී රිසිසේ ගැලුවා

ඇරඹුම එයයි මගේ මේ සිත බ්ලොග් පිටුව
දුක කඳුළමයි බිහි කෙරුවේ කවි කරුව
දිරිදුන් නොදුටු දුටු මිතුරන් මා කැටිව
අද ඔහු නැතත් කඳුළක් නැත නෙත කැටිව

නුවන් , රොයිලි සමඟින් වාසල සමඟ
 නොගියා නම් ගමන අද නැත මා මෙතන
වයසින් බාල මුත් මේ සැම මට වැඩිය
මගෙ හිස නමා ආචාරය ඒ සැමට

ඒස්බී යූ ව සාකුන්තල සහෝ වගේ
ලාංකීය වාගෙම වැප් සහෝ වගේ
නම් නොකියුවත් සැමදෙන මගේ සහෝ වගේ
මගේ පිටු පසින් සිට මට දුන් දිරිය අගේ


මා පිටුපසින් එන මට දිරි දෙන සියළු දෙන (193 - මගේ අත හිත)
එතන නැතත් කමෙන්ට් කරන සියළු දන
ඒ සැම නැතත් ගොඩ වී යන නොයෙක් දන
නුඹ සැම මගේ සිත කියවන අපූරුව

නම් කීවොතින් ඇතැමෙක් ම‍ඟ ඇරෙන නිසා
නම් කීවේ නැතේ මා හා තරහ එපා
සුබ පැතු සැමට මා දෙන්නේ කුමන කතා
හදපිරි තුතිය මේ සමඟයි සැමට බෙදා

සිතක සොඳුරු ගුණ වැඩිකර දුන් නුඹලා
 නෙතක පිරුණ කඳුළැළි පිස හැරි නුඹලා
තනිය මකන්නට අත්වැල දුන් නුඹලා
 නිබඳ සිටින් මා අත්නොහරිනු ඉඳුරා

වසරක් පුරාවට මා හා රැදෙමින් ගූණ දොස් පවසමින් නිති දිරිය දුන් නුඹලා සියළු දෙනාට මගේ හදපිරි ස්තූතියි......

මොනා වා ..කේක් ඕනි... ඔන්න ඉතින් සිංහල රටේ වුනාට ඉල්ලන්නෙම කේක් නේද....



අදට වසරක් ගෙවෙන සොඳුරු සිතක හිමිකාරිය
මම
෴ වත් ෴

Thursday, September 16, 2010

෴ ඟං ඉවුර ෴


ජීවිතේ මේ සැදෑ යාමය පසු කරන් යන්නට බැරී
අවර දිග බැස යන හිරුයි  මම නුඹට ලං වන්නට බැරී


තරුණ ජීවය පිරුණු රාගය
ගිනි තැබූ මගෙ ආදරේ
අතරමං වූ ඔරුව මම වෙමි
හබල නැති දිවි ගං තෙරේ

තරුණ ජීවය පිරුණු ආලය නුඹ නමින් මා ලියවුනේ
බැසපු හිරු නොව නැගෙන සඳ වෙමි නුඹගෙ තනි යහනේ රැදී

තරුණ කම නොව පැසුණු ආලය
මට අගෙයි නුඹෙ ජීවිතේ
දිවි මඟේ තනි නැත ඉතින් අප
ඔරුව පැද යමු ගඟ දිඟේ

“Life without love is like a tree without blossoms or fruit.”
ඟං ඉවුරේ සිටින මම
෴ වත් ෴

Tuesday, September 14, 2010

෴ ගිනි තැබූ කවි පොත ෴


දුර පේන සඳ පාන 
අහසේම රැදේනම්
තරු පිපෙන මල් යාය
සමඟ පෙම් කරයි නම්
සඳ එළිය පමණක්ම
ගත මගේ සිඹියි නම්
සඳට පෙම් කර කුමට
දුකින් හද දවයි නම්

මහාවැසි  හැලුනාට
ගගක් නොම පිරෙයි නම්
නෙතු පියන් තෙමුණාට
හදට නොම දැනෙයි නම්
හාදු මුව සිම්බාට
ගතට නොම දැනෙයි නම්
ආදරේ කුමට මට
නුඹව නොම ලැබේ නම්

දුකින් කවි ලීවාට
හිතට නොම දැනෙයි නම්
කවි ලියන පන්හිදට 
නිමාවක් තියන්නම්
කවි පොතේ තවත් පිටු 
ඉතිරි වී තිබේ නම්
කවි පොතම ගිනි තබා
එයින් මා මිදෙන්නම්


ගිනි තැබූ කවි පොතේ හිමිකාරි
මම
෴ වත් ෴

Monday, September 13, 2010

෴ ආරාධනා ෴

 
මලට එන්නට සුවඳ ගන්නට
ආරාධනා බඹරුන්ටයි
කුමුදු මල පෙති විහිදුවන්නට
ආරාධනා සඳ කිරණටයි

පොහොය දවසට එළිය දෙන්නට
ආරාධනා පිරුණ සඳටයි
සඳ නැතිව තනි රකින අහසට
අරාධනා තරු පොකුරටයි

දවස අළුතින් පටන් ගන්නට
ආරාධනා හිරු මඩලටයි
මගේ හිත ගත් ඔබට පමණක්
ආරාධනාවක් නැති හැඩයි

කල් ඉකුත් වූ ආරාධනා ව සමඟ තනි වූ
මම
෴ වත් ෴

Friday, September 10, 2010

෴ වල දැමූ ප්‍රේමය ෴


දිනයේ අවසන හිරුගේ මලානික කදම්භ පොළව සිප ගන්න මුසල හැන්දෑ යාමයේ ,අරමුණකින් තොරව ඇවිද යාමට කැමති මම අදත් සුපුරුදු පරිදි නොදන්නා මඟක් දිගේ පා ඔසවන්නට වීමි. මා කවදත් කැමති පාළුව, නිස්කලංකය ,මෙන්ම හිත සදා නිවනා ,නෙතට සොඳුරු ,සෝබර දසුනක් වූ කනත්ත මාවතට නොදැනීම මා පැමිණ තිබිණි.සුදු අරලිය යායෙන් වට වුන මේ සොඳුරු තිප්පල සිතට ගෙනෙන්නේ කියා ගත නොහැකි සමාදානයකි.....

කනත්ත සිසාරා දෙනෙත් යැවූ මට දැක ගත හැකි වුයේ වෙනදා නොදුටු දසුනකි. කනත්තේ එහා කෙළවරකට වන්න දුකින් සෝබර මුහුණක් සහිත මැදිවියේ පුද්ගලයෙක් මිනී වලක් හාරයි. විටෙක දුකින් හඩමින්ද, විටෙක පසෙකට වී කල්පනා සයුරක ගිලෙමින්ද, තවත් විටෙක උමතු වූ පිස්සෙකු පරිද්දෙන්ද ඔහු වල හාරයි....

නොසන්සුන් කුතුහලයෙන් සිටි මම ඔහු අසළට කිට්ටු වුනෙමි...

මා ආ වග ඔහුට ගානක් වත් නැත. හිස ඔසවා බලන්නවත් කාලය මිඩංගු කිරීමට ඔහු නොකමැති ගානය....

" මේ.... උන්නැහේ...."

" ඔව් මහත්තය කියන්න. මම අහගෙන ඉන්නේ. මේ වැඩේ නතර කරන්න නම් බැහැ"

" මොනාද මේ ... කාගේද මේ මිනී වල"

" මේ මගේ ආදරයේ මිනී වල"

" බොහොම පරණයි නේද ?"

" ඔවු.. මම බොහොම තරුණ කාලේ වල දැම්මේ"

" ඇයි ඉතින් දැන් ආයෙත් ඒ වල හාරන්නේ?"

" හ්ම්.... මට රෑට නින්දක් නැහැ මහත්තයෝ...."

" වල දාපු අතීතය මොකට හාරනවද?"

" අතීතය හාරල ගත්තෙ නැත්තම් මට අනාගතයක් නැහැ මහත්තයෝ"

" අපි කවුරුත් ගඳ ගහන අතීත වල දාපු මිනිස්සු"

මද වෙලාවක් නිහඬව පසුවූ ඔහු.... සවල මත හිස තබා ගෙන ඉකි ගසිමින් හඬන්නට විය....මම ඔහුට රිසි සේ හැඬිමට ඉඩ දී ඔහු දෙස බලාගෙන සිටියෙමි......හිටිවනම හිස එසවු ඔහු යකෙක් පරිද්දෙන් මා වෙත කඩා පැන.


" තුන් අවුරුද්දක් ආදරේ කරල. ඒකිගේ බඩට දරුවෙක් දීල... ගෙවල් වල අයගේ කීමට පොත්ත සුදු කෙල්ලෙක් බැදගෙන රටත් ඇරල ගිය මම මනුස්සයෙක් ද යකෝ"

හිටිවම සිදු වූ දෙයින් තිගැස්සි ගිය මම වුන් තැනින් නැගිට ඔහුට වඩා පියවර කිහිපයක් පසු පසට වුයෙමි...

" ඒත් උන්නැහේ දැන් ඔහෙට ලස්සන පවුලක් ඇති නේද?"

" ඔවු ඔවු ඉන්නව... ලොකු දූල දෙන්නයි දෙන්නම බැඳල.... පුතා දොස්තර. ගෑණි නම් තාමත් කෙල්ල වගේ."

" එහෙනම් ගිය දේට මොකට දුක් වෙනවද? ඒ දවස් වලම දාලා ගියා නම් දැන් අහවල් දෙයකටද"

" මට ගැලවීමක් නැහැ මහත්තයෝ...රෑට රෑට ඒ ගෑණි ඇවිත් මා ළඟ දැවටිලා ඉකි ගගහ අඬනව...මගේ දුක සැප අහනව.ඊට වඩා හොදයි ඒ ගෑණි මාව බෙල්ල මිරිකල මරල දානව නම්"

හදිසියේ යමක් සිහිවූ පරිදි මෙන් නැවතත් යුහුසුළුය වල හෑරීමෙහි නිරතවූ ඔහුගේ දෑස් එකවරම දිදුලන්නට විය.... ඒ දුටු මමද මිනීවල අසළට කිට්ටු වී එඹි බැලුවෙමි...

වල පතුලම හාරා අවසන් වී තිබුනි.... ගැහැණිය‍කගේ යැයි සිතිය හැකි ලස්සන රෝස පැහැ සේද ලේන්සුවක ගැට ගසන ලද කුඩා ප්‍රමාණයේ පොට්ටනියක් ඒ තුල විය. එය දෙස දීප්තිමත් දෙනෙතින් බලා සිටි ඔහු එය අසුලා ගත්තේ ඉතාම බැති බර වූ සිතිනි...දෑතින්ම එය තම ලයට තුරුල් කර ගත් ඔහු. අහස දෙස බලා කෘතවේදී බැල්මක් හෙලීය.... ඉක්බිති...එය දෑතින්ම මා වෙත පෑ ඔහු  ...

" මහත්තය ... මේක ඇරල බලන්න" එය ඉතා ආයාචනාත්මන ඉල්ලීමක් වුයෙන් මට එය ඉවත හෙලිය නොහැකි මට්ටක් විය...

සොහොන් කොත අද්දර හිඳගත් මම. රෝස පැහැති සේද ලේන්සුව දිගහැරියෙමි. බොහෝකල් ගතවී ගියද ‍ඒ සේද ලේනුසුව දැන් ක‍ඩයෙන් ගත්තාක් මෙන් නැවුම් පැහැයක් සුවදක් විහිදුවා ලීය... ලිහා බැලු ලේන්සුව තුල වියේ හතරට නමන ලද කඩදාසියකි. හිස ඔසවා මම මිනිසා දෙස බැලුවේ දැන් කුමක් කරන්නදැයි අසන්නාක් මෙනි....

" ගන්න මහත්යෝ.. බලන්න දිග ඇරල"

ගැහෙන දෑතින් යුතුව එය දිග හැරිය මම දුටුවේ මුතු වන් ගැහැණු අකුරින් ලියන ලද ලිපියකි.මම එය ඔහු වෙත පෑවෙමි....

" කියවන්න මහත්තයෝ. හයියෙන් කියවන්න. ලෝකෙටම ඇහෙන්න කියවන්න" කඳුළු පිරි නෙත් විදහා බලාපොරොත්තු රැදි ලෙස ඔහු පැවසුවේය.

" ආදරණීය ඩග්ලස්, ඔයා කවදහරි ඇවිත් මේ මිනී වල හාරල ඔයා වල දැම්ම ඔයාගෙයි මගෙයි ආදරේ සොයන බව මම දැන ගෙන හිටිය.... ඔයා එදා මාව දාලා ගියාට ඔයාට අද වෙනකමුත් බැරි වුනා මාව අතහරින්න... ඔයා මාව දෑතින්ම දැඩිසේ වැලඳගෙන ඉන්න විත්තිය මම දන්නව. මට හැමදැම එය දැනෙනව... ඔයා දන්නෙ නැහැ නේ අපි දෙන්නට හම්බුනේ ලස්සන පුතෙක්. ඒ පුතා දිනෙන් දින වැඩෙත්දි ඔයා ආයිත් ඔහු තුලින් දකින්න මට පුලුවන් වුනා.... මිනිස්සු මට යි පුතාටයි මොනා කීවත් ඒ දේවල් ටික දොහකින් කාටත් අමතක වෙලා ගියා... පුතා ලොකු වුනාම මම පුතාට ඇත්තම කීව. එදා ඉදල පුතා ලෝකය දිහා බැලුවෙ හරිම උපේක්ෂාවෙන්... දැන් පුතා ඉංජිනේරුවෙක්. මම මට පුලුවන්හැම වීරීයම යොදල පුතාට ඉගැන්නුවේ ඔයාගේ නම ආරක්ෂාකර ගන්නයි.....මායි පුතයි කවදවත් ඔයත් එක්ක තරහ නැහැ "

ලිපිය කියවා අවසන් වූමම හිස ඔසවා ඔහු දෙස බැලුවෙමි....

" මගේ පුතා... අහිංසකයා... පුතාගේ නම ලියල නැද්ද මහත්තයෝ......"

නැවතත් ලිපිය ගෙන ඒ මේ අත හරවා බැලිවෙමි. සඳහනක් නැත.හිටිවනම සේද ලෙන්සුව අතට ගත් මිනිසා එය ගසා දැමුවේය..... ඒ තුල තිබී රෝල් කරන ලද පුංචි කොළ කැබැල්ලක් බිම වැටුනි... ඒ දෙස මඳ වෙලාවක් නෙත් යොමන් සිටි අප දෙදෙනා අතරින් කිසිවකුත් එය ගෙන දිග හැර බැලීමට මඬනා ලද කුතුහලයෙන් යුතු වුවත් දෑත සිටියේ අප්‍රාණික වුවාක් මෙනි....

දිරිය උපදවා ගත් මම එය අසුලා ගෙන දිග හැර බැලුවෙමි.....

" දෙවියනේ ......... "

" දෙවියනේ ...... මට මගේ ආදරණිය අම්මාගේ රුව පෙනී නොපෙනී යන්නට විය.....

ඒ කුඩා කොළ කැබැල්ලේ වූයේ..........

මගේම මගේම මගේම නමයි...................................අවසන ඔහු මට මුණ ගැසුනි...............

“Death is not the greatest loss in life. The greatest loss is what dies inside us while we live.”

සොහොන් ගැබ තුල නිදන්වී හිඳ සියල්ල දැක සියල්ල අසා සිටි

මම

෴ වත් ෴

Wednesday, September 8, 2010

෴ දුරස්බව ෴


 තොල් පෙති පොපියන හාදුව තවරා
සිත අද්දර නවතින්න
මනමාල සිනාවන් මුව අඟ රදවන්න
 නෙතට එඹී ගෙන ඉන්න

ඒ සිතුවිලි හරි ඈතයි
හරියට මේ අපි වාගෙයි

මල් පෙති මාලය ගෙල වට දවටා
හැඩ ලස්සන පෙන්නන්න
ඔය නෙතු පොඟවන සීතල කඳුළැල්
සිනහවකට හරවන්න

ඒ සිතුවිලි හරි ඈතයි
හරියට මේ අපි වාගෙයි

සැතපෙන නුඹ පපුතුර හිස හොවලා
ආදරයෙන් මුමුණන්න
ලය මත තෙරපෙන නුඹෙ මුදු හිස සිඹ
ආදරයෙන් සනසන්න

ඒ සිතුවිලි හරි ඈතයි
හරියට මේ අපි වාගෙයි

 I am very unhappy when you are far away from me

නුඹට ඈත 
මම
෴ වත් ෴

Monday, September 6, 2010

෴ අමතක වූ කුඩය ෴


හේ නමින් විලියම් අප්පුහාමි නම් විය. ගමේ කාටත් විලියම් මාමා වූ ඔහුව පිට ගමකින් පැමිණෙන අයකුට වුවද ඉතාම පහසුවෙන් හඳුනා ගත හැකිය...

"විලියම් මාමා ද..?". "ආහ් අර දිග මිට කළු කුඩයක් අරන් යන, සුදු උස මනුස්සය නේද? "

ඔහුගේ අනන්‍යතාවය හා බැඳී ඇති මේ අගනා කුඩය ඔහු යන සෑම තැනකම පාහේ ඔහු හා ගමන් ගනී. කුඩය කොතනද විලියම් මාමා එතනය.පන්සල ,පල්ලිය .කුඹුර .නියර .පාසල .සති පොළ පමණක් නොව ඉතාම ආසන්නයේ ඇති කඩපිළට යන විටද කුඩය ගෙන යෑමට ඔහු අමතක නොකරයි...අවුව. වැස්ස හෝ ඕනෑම පැහැබර යස කාලගුණයක් පවතින විටදී පවා ඔහු කුඩය නොගෙන මිස එළි පහලියට නොබසී...

එහෙත් මා මතක ඇති කිසි දිනක ඔහු කුඩය ඉහලා ගෙන යනු ,මා තබා මේ ගමේ කිසිම කෙනෙකු දැක නැත. මහ වරුසාවටද හෙවනකට ගොඩ වදින ඔහු ,අන්තිම බින්දුවටම වරුෂාව පායනකම් සිටයි මහ මඟට බසින්නේ. එසේ පරිස්සම් කරන නිසා ඔහුගේ කුඩයද දිනපතා දැක ගත හැකිවන්නේ මේ දැන් කඩෙන් ගත්තා වැනි දිස්නයකිනි.

පන්සලට නිතර නිතර යන එන ඔහු ,තම දෑස ගැටෙන මානයේ කුඩය රදවා තැබීමට තරම් විමසිලිමත් වෙයි. කොල්ලන්කුරුට්ටන් නිතරම මේ කුඩයට මාන බලන බව විලියම් මාමා ඇතැම්විට දන්නවා වන්නට බැරි නැත.

එහෙත් දවසක්.... අහෝ අරුමයකි... රටක් වටිනා කුඩය නැතිව විලියම් මාමා දුටු කාගේත් සිත් පුදුමයෙන් පිරී යන්නට විය. ගැහැණිය මිය ගිය පුරුෂයෙක් පරිද්දෙන් මුහුණද දුකින් බර වෙලාය.... ඇවිදින්නේද සිහිනයෙන් ඇවිදින්නාක් මෙනි.... විලියම් මාමා බෝධි පූජාවක් කරන්නට දෝ  පන්සලට ගොඩ විය.... එදා පන්සලේ පුංචි වුන්ගේ පුංචි පිංකමකි. හාමුදුවන්වහන්සේ පන්සිල් දීමට සැරසුනා පමණි..

" විලියම් උපාසක.. ගොඩකාලෙකින් මේ පැත්තේ. මුහුණත් ඇදිල ගිහින් හිතේ අමාරුවක්ද අප්පුහාමි.... හොඳයි හොඳයි කාරි නැහැ.. ඔය ඉඩකඩ තියෙන තැනකින් ඈඳි ගත්තනම්"

විලියම් මාමා ද  දුකින් බර මුහුණත් සමඟ දෑත් දොහොත් මුදිනින් තබා වැද නමස්කාරකරගනිමින් හිඳ ගත්තේ තම අගනා වස්තුවට පිං අනුමෝදන් කිරීමට තරම් සැදැහැත් වූ සිතකින් මෙන්ය..
" පාණාතිපාතා වේරමණී සික්ඛාපදන් සමාධියාමි"
" අඳින්නාදානා වේරමණී සික්ඛාපදන් සමාධියාමි"
" කාමේසුමිච්චාචාරා..."
" හාමුදුවනේ හාමුදුරුවනේ .. ඔබවහන්සේට බුදුබව ඇත්වෙන්න ඕනි. ඔබ වහන්සේ නිසා මට මතක් වුනා මගේ කුඩේ අමතක වෙලා දාලා ආව දිහා"යි

පවසමින් වහ වහා එළියට බැස ගත් විලියම් උපාසකවුන්නැහේගේ හැල්මේ ගමන නතර වුයේ ගමේ කාගේත් පෙම් සිත දිනාගත් හැඩකාරියක් වන කර්ලිනා හාම්නේගේ අගුපිළට ගොඩ වුන පසුය.

" ඔන්න මතක තියා ගන්න... යන යන තැන කුඩ අමතක කරල එන මහත්තුරුන්ට මේ කතාව හොද ආදර්ශයක් "
 ( මෙය මා අසා ඇති කතාවක් අනුව ලියැවුනා මිසක මාගේ ප්‍රබන්ධයක් නොවන බව කරුණාවෙන් සලකන්න.)

මාලතී වැනි හැඩකාර බෝල අකුරු ලිවීමට මට කියා දුන් TRIX හන්ටර්™ ට මගේ හදපිරි ස්තූතිය.


නොලියා ඉන්නට කොතරම් සිතුවත් වෙන වැඩ අතපසු කර ලිවීමට හිඳ ගන්නා
මම
෴ වත් ෴

෴ ජීවිතය ලිවීම ෴


එක දිගට දවස ගානේ ලිපි ලිවීමට මඳ විරාමයක් දෙන්නයි මගේ අදහස...දැන් දැන් ලියන ලිපි වල ගුණාත්මක භාවය අඩු වීමත් , රැකියා ස්ථානයේ කාර්ය බහුල වීමත්, රැකියා ස්ථානයේ ප්‍රධානියා ට මාගේ මේ අවේලාවේ ලිවීම අතටම හසු වීමත් මේ ඔක්කටම වඩා සති අන්තයේ දින වලදිවත් ගෙදර නොමැති වන ලෙස වැඩකටයුතු යෙදීමත් ලිවීමට එකහෙලාම වෙනස් දෙයක් සම්බන්ධව අධ්‍යන කටයුතු වල යෙදීමත් නිසා මේ තීරණය අකමැත්තෙන් වුවත් ගන්න සිදු විය....

මා ලියන වචන අකුරු සියල්ල මාගේ ජීවිතයේම කැඩපතක් ලෙස ඇතැමි විටක මට සිතේ.....

යම් කිසි කාල පරාසයක් තුල ලිවීමෙන් ගුණාත්මකබාවය වැඩි දියුණු කර ගැනීමත්. මාගේ අනිකුත් බ්ලොග් සහෘදයනගේ බ්ලොග් වලට කොමෙන්ටු ලිවීමට ඉතිරි වන මාගේ කාලය උපයෝගී කර ගැනෑමටද මම අදහස් කර ගෙන සිටිමි.

හිතේ ගුලි වී
 තෙරපි තෙරපී
මටම වද දුන් සිතුම් හැඟුමන් 
නිවා සනහා සිසිල් පැන් ඉස
බෙදා ගන්නට නුඹත් සමඟින්
දුක බෙදූ සතුටත් බෙදූ නිති
ආදරය
ස්නේහය
දයාබර ලෙංගතුකමින් නිති
බදා වැළදන් මා අවට සිටි 
නුඹයි මා හද
නුඹයි මා වත
ජීවිතය මේ යැයි ඉගන්නුව
මගෙන් ඉවතට මාව අරගෙන 
නුඹයි මේ බලනුව හොදින් කී
මගේ දායාබර බ්ලොග් පිටුව
අපි දෙන්න අද ඉදල හිමින් ගමනක් යන බව අපිව බලන්න එන අයට කියන්න.

“I lived to write, and wrote to live”

අද ඉඳල ගමනේ වේගය බාල කරන 
මම
෴ වත් ෴

Saturday, September 4, 2010

෴ ඇමතුම ෴ ( I am waiting for your call )


රැයත් ගෙවෙයි 
කාලය ඉගිලෙයි
නුඹ තව නැහැ මට කතා කළේ
කුසගිනි දැනිලද
නිදිමත හැදිලද
එහෙමත් නැතිනම් වැඩ ගොඩ ගැහිලද
ඒ ඔක්කම විස්තර දැන ගන්නට
එකම වචනයක් මට සෑහේ
" හෙලෝ"

"Thanks for calling me"
ඔබේ ඇමතුම බලාපොරොත්තුව සිටි 
මම
෴ වත් ෴

Friday, September 3, 2010

෴ අතර මඟ෴


ගමන තනිවම යමින් සිටි මම
නුඹව දැකලම නැවතුනා
නුඹගෙ  කටහඬ නුඹගෙ ගති ගුණ
ගමන අමතක කර පියා

නුඹගෙ උණුසුම සුවය අතරේ
 නොදැන කාලය ගත වුනා
ගමන නිම නැත
අතර මඟ අපි අතර මං වී ඇති නියා

අතර මඟ මා දමා නොයනට
සපථ කර නුඹ ගිය නිසා
එනතුරුම මම බලා සිටියෙමි
 නොමඟ යන්නට නුඹ එපා

සොඳුරු රුව ගුණ 
කදිම ගති ගුණ
දමා යන්නට බැරි නිසා
නතර වෙමි මම
නුඹත් සමඟම
ගමන යමු අපි එක් වෙලා

“It's the circle of life, and it moves us all, through despair and hope, through faith and love, 'till we find our place, on the path unwinding”

නුඹ එනතුරු අතර මඟ ,අතර මංව සිටින 
මම
෴ වත් ෴

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...