..... I am the poem that's  yours but doesn't belong to you ever,...

Tuesday, August 31, 2010

෴ මම තාම තනිකඩයි "



අතරින් පතර පෙනෙනෙ පැසුණු හිස කෙස් කිහිපයත් ,තරමක් ඉදිරියට නෙරා ආ බඩ ගෙඩියත් ,පෙරට වඩා තරමක තරබාරු වූ දේහයත් ,ජීවි‍තයේ හරි අඩකටත් වඩා බුක්ති විදි පැසුණු මිනිසකුගේ රුව විදහා පෑවදද ... ඒ සිනහවත් ,සුපුරුදු කටහඩත් ,පරණ පුරුදු තරුණ ජිවයෙන් පිරී තිබුනි.සියළු දේ වෙනස් වන ලෝකයේ ,අප දෙදෙනා අතර වූ නොවෙනස් වන එකම දේ නම්, මම ඔහුට පෙම් කරනා බව එදා මෙන්ම අදත් ඔහු නොදැන සිටීමයි.

"ඉතින්" 
හැමදාමත් වගේ ඉස්සර වූ ඔහු මා කවදැත් දැඩි සේ ඇලුම්කළ නිහඩතාවය බිද දැමුවේය.
"ඉතින්, මම හොදින් ඉන්නව. අවුරුදු ගාණකට පස්සෙ ..කොහොමද ඔයාට"
" ම්ම් කියන්න තරම් වරදක් නැහැ.මාත් හොදින්. ඔයා මගේ වෙඩින් එකට ආවෙත් නැහැ නේ."
 " මම ලංකාවේ හිටියෙ නැහැනේ  ඒ දවස් වල. හරියටම ඒ දවස් වල ස්කෝලර්ෂිප් එකක් හම්බනා කියල ඔයා දන්නවනේ"
" ඔවු ,මට ආරංචි වුනා. ඒත් මම හිතුවෙ නැහැ ඔයා යයි කියල. ඔයා අකමැත්තෙන් නේ හිටියේ රට යන්න."
" අකමැති දේවල් නම් කොයි තරම් කරන්න වෙනවද? ඉතින් මොකද මේ පැත්තේ?"
"පුතා ඉස්සෙල්ලම කැම්පස් යන දවස අද.ඉතින් ඒකට ආපු ගමන් මට හිතුන මේ පැත්තේ ඇවිත් යන්න"
" කොච්චර දෙයක් ද?මම මෙතන  කියල ඔයා දන්නේ කොහොමද"
" මම දැනන් හිටිය ඔයා තාමත් මෙතන ඇති කියල"
" ඔවු.. මම තාමත් මෙතන,..."
" පුතාට දැන්ම හොස්ටල් හම්බෙන එකක් නැහැ. නවාතැනක් සොයා ගන්නත් ඕනි.... ඔයාට පුලුවන් ද? "
එසැනින් මගේ මතකය ඔහුගේත්, මගේත් ,ඇයගේත් විශ්ව විද්‍යාල ජීවිතයේ ‍සොඳුරු තැන් සොයා පියඹන්නට විය.
" මට තේරෙනව.. මහත්තයගෙනුත් අහල බලල...ඔයාට පුලුවන් ද ?"
" නැහැ කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. ඔයත් කැමති නම් පුතත් කැමති නම් අපේ ගෙදර නවතිනවට මගේ කිසිම අකමැත්තක් නැහැ. මම ඉන්නෙත් තනියම...පුතාට කියන්න තව යාළුවෙක් එහමෙ ඉන්නව නම් එකතු කරන් එන්න කියල"
" ඔයා.... ඔයා තාම තනිකඩ ද?"
...........................
" හ්ම්.... ජීවිතේ එහෙම තමයි. බලන් ගියහම අපි කවුරුත් ඉන්නේ සතුටින් නෙමෙයි"
" ඇයි.. ඔයා ඉන්නේ සතුටින් නෙමෙයි ද? ඔයාට ඔයා ආදරේ කරපු කෙනා ලැබුන. දැන් හොදට ඉගෙන ගන්න ලොකු පුතෙක් ඉන්නව... තවත් මොනාද?"
" හ්ම්..... ඒ ඔයා දන්න තරම" " මට ජීවිතේ හැමදේම තිබුනත් ආදරේ නැහැ"
" එතකොට එයා..."
" එයා මගෙන් වෙන් වෙලා දැන ගොඩක් කල් වෙනව"
" මොනව ! එයා මොනාවෙලාද මැරුනේ?"
" ‍එයා මැරුනෙ නැහැ.එයා මාව මරල දැම්ම.මගේ හිත මගෙ ආදරේ . මගේ ජීවිතේම නැති කරල දැම්ම."
"ඒ මොකද?"
" ආදරෙයි විවාහයයි දෙකක් කියල දැන ගන්න නම් විවාහ වෙන්නම ඕනි.විවාහ වුනාට පස්සේ එයා හරියට වෙනස් වුනා. නිතරම එයා මාව සැක කරා. නිකරුනේ සණුඩු සරුවල් වුන වාර අනන්තයි අපුමාණයි. ඉතින් අන්තිමට එයාට මගෙන් වෙන් වෙන්න ඕන වුනා."
" ආදරේ මිනිස්සුන්ව නැති කරනව"
" ඔවු.... ආදරේ මිනිස්සුන්ව විනාශ කරනව"
" මට කියන්න ඇයි ඔයා තාම තනිකඩ."
" ආදරේ මිනිස්සුන්ව විනාශ කරන නිසා මට ඕන වුනා මගෙ ආදරේ විනාශ කර නොගෙන ඉන්න. ඉතින් මම තාම තනිකඩයි"

"සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ...
එක් වූ පෙම්වතුන්, සැබෑ පෙම්වතුන් ලෙස,ජිවත් නොවේ,
වෙන් වී ගියවුන් , සාදාකල් පෙම්වතුන් ලෙසට,ජිවත් වෙයි...
( ලුෂන් බුලත්සිංහල) 

You can't love what you don't understand ...
I can't help more, it's there in your hands ...
තවම තනිකඩ
මම
෴ වත් ෴

Monday, August 30, 2010

෴ දුක්බර සමණළයා ෴


 

කාට කියන්නද ආල හැගුම් ඇත
මා හද මඩලේ පිපිදීලා
සමණළයෝ නොහඩනු මැන දැන්වත්
පරණ රෝස මල සිහිකරලා

නුඹ දුක ගන්නට එය පිස ලන්නට
පිච්ච මලක් ඇත කැපවීලා
රෝස මලේ කටුවට පෑරුණ සිත
ඔසුව මවන්නෙමි සිත පුදලා

පාට වියකුණත් සිත නෙක පාටින්
හැඩවී ඇති මගෙ සමණළයෝ
පාට කරන්නම් මට හැකි විදිහට
එය මගෙ සතුටයි සමණළයෝ

දුරින් හිටිය ඇති නේදෝ දැන් අපි
රොන් මගෙ නුඹටයි සමණළයෝ
පිච්ච මලත් සොදුරුයි සුවඳයි නොවැ
ඇවිදින් බලමුද  සමණළයෝ

සමණළයා එනකම් මඟ බලන් ඉන්න
පිච්ච මල
මම
෴ වත් ෴

Sunday, August 29, 2010

෴ නුඹ දුන්න මල රෝස ෴


දුක් කඳුළු ලේ සහිත
නුඹ දුන්න මල රෝස
වෙනදාට වඩා අද
අගෙයි සුවඳයි වගේ

නුඹ ඉසිළු දුක් කඳුළු
 හෙළු දහඩිය මුසුව
හමන සුවදින් නිතර
නුඹව සිහිගන්නවයි

මල තවම සුපිපිලා
නුඹේ දුක් ලේ වලින්
පෝෂණය වෙයි නිතර
මගේ සුසුමන් වලින්

ඇනී කටු මල රෝස
රිදුම් දුන්නත් ඉතින්
නුඹ නැතිව මට දැනෙන
වේදනාවත් සැපයි


I understand with love comes pain, but why did I have to love so much?
 
 කඳුළු පැන් වත් කර , සුසුම් හැඟුමන් එක්කර, 
නුඹ දුන්න රෝස මල නුඹ වෙනුවෙන් රකින
මම
෴ වත් ෴

෴ නුඹමය ෴


හඳට ,අහසට , තරුවලට අපි කොයි තරම් ආදරේ කරත් අපිට කවදාවත් ඒ දේවල් අයිති කර ගන්න බැහැ. අඩු ගානේ ලගට යන්නවත් හැඩ නිල බලන්නවත් බැහැ.....  ඒ දේවල් අපි ලගම තියෙනව වගේ පෙනුනත් ඇත්ත තෙරෙන කොට අපි හොගක් පහු වෙලා ....‍හඳ ,තරු ,අහස දකින කොට මට මතක් වෙන්නේ මම ගොඩක් ආදරේ කරන කෙනෙක්ව....එහෙම දැනෙන්නේ ඒ  දේවල් වගේම ඒ කෙනත් මට ගොඩක් දුර නිසා  වෙන්න ඇති.....

පාරවා රුදු වේදනා
මා සිත දවයි දිව රෑ ‍පුරා
දුර ඇති දෙයට ලොබ බදිමිනා
මා තවත් සැරයක් රැවටුනා

ආදරය මේ යැයි හදුනනා
කිසි හදක් නැත මට ගැලපෙනා
වැරදි නුඹටම පෙම් කළා 
මා තවත් සැරයක් පැරදුනා

නුඹ තනිව නැත මා සිතු ලෙසේ 
මා තවත් තනි වුන බව හැගේ
ආදරේ කළ මා මෙසේ තනි වි 
හඩන්නේ පෙර හුරු ලෙසේ

දිග මානයේ අත නුඹ සිටී 
සිතුවත් බොහෝ ඈතට වෙලා
නෙතු මානයේ සිටියත් මගේ
මිරිගුව එයයි මා සැනසවූ

දිස්නය නුඹේ නෙත් රතු කළා
වචනය නුඹේ සිත ගොළු කළා
රුව ඔබේ මා සිත ගත පුරා
රෝගයක් විය ඔසු නැති වෙනා

තව කෙනෙක් මා වෙනුවෙන් නැතත්
තව බොහෝ අය නුඹ ලග සිටියි
 තව රැදීපල නැත දුකක් මිස මට
තව තවත් ඈතට යමි මෙසේ 

"I have nothing to offer you other
than the undying love of my broken Heart.."


 
මගෙන් ඈතට ඈතට තවත් ඈතට යන ඔබගෙන්
ඈතට ඈතට තව තවත් ඈතට යන 
මම
෴ වත් ෴

වරද (o2)


අතීත මතක පිහිටෙන් නිවසට පැමිණි මම දොරකඩටම පැමිණි විටයි දුටුවේ තමවත් විවෘත කර ඇති දොර. කලබල ජරමර අස්සේ දොරක් වැසුමට සිහියක් නොවිනි.ඇය මෙය දැන ගත හොත් මට දෝසා රෝපණය කරනු නිසැකය..

" යන තැනක දොරවල් වහල යන්න බැරිද? හොරු මගෝඩි හැමතැනම. ඔයාට නම් කොච්චර කීවත් වැඩක් නැහැ සමන්"

කුමක් කරන්නද මා ඇයට විවෘත කළ දොර වසා ගත්තේ ඇය විසින්මය.

යකුන් නැටූ පිටියක් බදු වූ නිවසේ ආලින්දය හිත රිදවූ දෙයහි ශේෂය මනාවට පෙන්වයි... ගමන් මළු දෙකම තිබූ තැන තිබූ පරිදිම ඇත. කාන්තා‍රයක ගමන් කළ පිපාසිතයෙකුට ජල බින්දුවක් හමුවුනා හා සතුටක් එය දුටු මට ඇතිවිය....

ඒ අබියස දණ බිම ඔබාගත් මම පිස්සෙක් මෙන් ගමන් මළු විවෘත කරන්නට වුයේ දරුණු අහිරහසක සාක්ෂි හමුවූ රහස් පරීක්ෂයෙකුගේ නොඉවසිලිමත් බවිනි.

ඇය මා දුක් මහන්සියෙන් උපැයුව දේද ඔහු සමඟ සැප ජීවිතයක් විදීමට රැගෙන යන්නට ඇත. ඇයට ශාප වේවා.......

විවෘත කළ එක් ගමන් මළුවක වූ දේ දුටු මට ඇස් අදහා ගත නොහැකි විය.... විවිධ වර්ණයන්ගෙන් යුතු රිබන් සමූහයක්.. විවිධ වර්ණයන්ගෙන් යුතු බැලුන් බෝල සමූහයක් සහ ලා නිල් පැහැති හැඩදැමූ ඉටිපන්දම් කිහිපයක් ඒ තුල විය. තව දුරටත් ගමන් මළුව ඇවිස්සීමේ කුතුහලයෙන් යුතු වූ මම බැලුන් සහ රිබන් ගොඩ ඇද පසෙකට දැම්මෙමි. ඒ තුල සුරක්ෂිතව අසුරා තිබූ ෂැම්පේන් බෝතලය මගේ නෙත ගැටුනේ එවිටය.

එහි අවසානය දුටු මම ප්‍රමාණයෙන් කුඩා අනිත් ගමන් මල්ල විවෘත කෙරුවෙමි.... මා කවදත් කැමති ලා නිල් පැහැති රැපින් පේපරයක දවටා ඒවැනිම රිබන් එකකින් ඔතන ලද තරමක විශාල පාර්සලයක් පමණක් එහි අසුරා තිබුනි....හිතේ පැවති නොසන්සිදෙන කුහුලෙන් පසු වූ මා එය ප්‍රවේශමෙන් ගැලවූයෙමි.
ඒ තුල තිබ්නේ නවීනතම වර්ගයේ ලැප්ටොප් පරිගකකයකි. ඒ තුල තිබී මා අසල බිම වැටුන හතරට නමන ලද නිල් පැහැති කඩදාසිය දුටු මම එය අහුලා ගෙන මුද්‍රිත අකුරින් එහි සදහන් දෑ කියවිමට පටන් ගත්තෙමි...................

මගේම ආදරණීය සමන්....................

අද වගේ දවසක මේ ලෝකෙට ඔයා ආවේ මගේම වාසනාවට කියලයි මට හිතෙන්නේ. මගේ ජීවිත කාලය පුරාවටම මට ලැබුන ලස්සනම තෑග්ග තමයි ඔයා. ඔයා තරම් ලස්සන තෑග්ගක් මට තෝරන්න බැරි වුනත් මේ පුංචි තිළිණය ඔයා ආදරයෙන් පිළිගනීවී කියල මම හිතනව..... ම්ම්... ඒවගේම ඔයා වගේම තව පුංචි සමන් කෙනෙක් අපේ ලෝකෙට එන්න බලන් ඉන්නව කියන ලස්සන පණිවිඩෙත් අද වගේ දවසක ඔයාට කියන්න ලැබීම මගේ වාසනාව වෙන්න ඇති....... ඉතින් සමන් මට වාසනාව ගෙනාව මගේ සමන්ට සුබම සුබ උපන් දිනයක් පතන මම ඔයාගේම ආදරණිය බිරිඳ ..‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍...............

 තෑගි දීමට ගොස් රෝහල් ගත වූ 
මම
෴ වත් ෴

Saturday, August 28, 2010

වරද (01 )



ශල්‍යාගාරයේ රතු එළිය තවමත් දැල්වුන ගමන්ය. ඒ එළියත් සමඟ මා සිතේ දැල්වෙන ගිනි දැල් මා මොහොතින් මොහොත දවා හළු කරයි.
ඇය මා සතු කර ගෙන මගේ නිවහනට ගෙන ආ දිනය අද ඊයේ සිදු වූවාක් මෙන් මගේ හදගැඹේ ගැඹුරුම තැනක සුරක්ෂිතව තැන්පත් වී ඇත.ඇය මා කරා ආ දින සිට මගේ ජීවිතයට මල් යායක සුවඳත් කුරුල්ලෙකුගේ සැහැල්ලුවත් පියාපතක උණුසුමත් ගෙන දී ඇය මා මුසපත් කළ අයුරු මට නම් පුදුමයකි.ගැහැණියකට මෙතරම් දෙයක් කිරීමට හැකි දැයි දැනුදු මට සිතා ගත නොහැක.නෙතු උනා ඇති කඳුළු දෑතින් පිස ගත් මම රෝහල් කොරිඩෝවේ තිබු පහසු හසුනකට බර දී මගේ හිස බර සැහැල්ලු කර ගැනීමට වෙර දැරුවෙමි.

 සෑම දිනකම පාහේ ‍ඇයට පොරොන්දු වූවාට වඩා පැය දෙක තුනක් පසුවී නිවසට ගොඩ වදින මම මග බලා සිටින ඇය විසින් පිළිගනු ලබන්නේ සිනා මුසු මුහුණිනි. උදයේ පැවසූ කාල වේලාවල් පිළිබඳව කිසිම නොක්කාඩුවක් නොපවසන ඇය කුඩා දරුවකු මෙන් මා අසල මොහොතක් දැවටී සිට මා වෙනුවෙන් උණු සුම් තේකෝප්පයක් සදා ගෙන එන්නීය... මා වෙනුවෙන් ඇගේ ජීවිතයම කැප කළ ඇය මෙවන් දෝහී කමක් මට සිදු කරාදැයි සිතන විට නැවතත් මගේ සිත දුක යටපත් කරෙ ගනිම්න් කෝපය පැතිරී ගන්නට වැඩි වෙලාවක් නොගනී.....

" දිවෙන් දිව ගාගෙන හිටියත් ගෑණු විස්වාස කරන්න එපා මචං" යැයි මගේ යහළුවන් පවසන විට එදා මා සිතුවේ ඔවුන් මගෙත් ඇගේත් ජීවිතයට ඊර්ෂ්‍යාවෙන් එසේ පවසන බවයි.. එහෙත් එය කෙතරම් සත්‍යයක් ද? නමුත් මා ඇයට මෙසේ දරුණු ලෙස සැලකීම කළ යුතු නොවෙන දෙයකි. සිතේ බුර බුරා නැගී කෝපය නිසා අත දිග හැර සියළු කෝපය තවරා ඇය මත පැටවූවද ඇයට මෙතරම් හානියක් කිරීමට මගේ තුන් සිතක වත් නොතිබුනි.

"මිස්ට නාකලන්ද "

කටහඩින් තිගැස්සනු මම දුටුවේ.මා අබියස සිටගෙන සිටින වෛද්‍යවරයායි....

" මිස්ට නාකලන්ද. ඔපරේශන් එක නම් සාර්ථකයි. ඒත්... හෙට වෙනකම් අපිට හරියට මුකුත් කියන්න බැහැ.මිස්ට නාකලන්දට පුලුවන් ඔනි නම් දැන් ගිහින් බලන්න. නමුත් වයිප්ට සිහිය නම් නැහැ, මට නම් හිතා ගන්න අමාරුයි පඩි පෙළකින් වැටිල කියල.. මොකද අතේ පයේ ඇගේ කිසිම සීරීමක් වෙලා නැහැ"

අත පය සීරෙන්නේ කෙසේද? ඇය මගේ පහර දරා ගත නොහැකිව විසිවී ගොස් බිත්තියේ ඇගේ හිස තදින් වැදුන බව දන්නේ ඇයත් මමත් පමණි

."කොහොමත් හෙට සිහිය ආව ගමන් පොලිසියෙන් ඇවිත් මිසිස්ගෙන් කටඋත්තරයක් ගනීවී"

ඇයව බැලීමට මා නොගියේ ඇය සමඟ තිබූ තරහව නිසාද නැතිනම් ඇය වෙත මගේ හෘදසාක්ෂිය දැක්වීමට තිබූ අකමැත්ත නිසාදැයි ම‍ම නොදනිමි. හදිසියේ සිහිවූ දෙයක් නිසා විගසින් පැමිණ වාහනයට ගොඩ වූ මම හැකි වේගයෙන් නිවස වෙත පියෑඹුවේ මෙහි සත්‍ය අසත්‍යතාවය සදහා ඇති හොදම සාක්ෂිය ඇත්තේ නිවසේ බැවිනි.....

වාහනයේ සුක්කානම කරකවන අතර තුර මගේ සිත අතීතයට ගමන් කරන්නට විය... ඇගේත් මගේත් සොඳුරු ජීවිතයට කණකොකා හඩලන්නට පටන් ගත්තේ අපේ නිවසට යාබද නිවසේ සිටි විවාහක තරුණ කාන්තාවකට පරිගණක ඉගැන්වීමට පැමීණි තරුණ පහේ ගුරුවරයා නිසාය....

මා නිවසට පැමිනෙන තෙක් මග බලා ඉන්නා දෑස ක්‍රමයෙන් හවස්වරුව ගත කිරීමට යාබද නිවස තෝරා ගෙන තිබුනි. ඇතැම් දිනෙක මා පැමිනෙන විට ඔවුන් තිදෙනා දොරකඩට වී සිනා සෙමින් අත්පොඩි තලමින් සංවාදයේ පසුවෙයි.

නමුත් මා දුටු වහා ම‍වෛත පැමිණෙන ඇය කිසිවක් නෙවුවා සේ මා සමඟද සිනාමුසුව හැසිරේ...

" මොනාද ඔයලා ඔය තරම් හිනා ෙව‍වී කතා කරන්නේ"

" අනේ සමන් .. අර මනුස්සය කියන කතා වලට කාටද හිනා නොවී ඉන්න පුලුවන්... මාත් පාලුවෙන් ඉන්න එකනෙ.ඉතින් මාත් පන්ති ඉවර වුනාම එයාල එක්ක කතා කර කර ඉන්නව"

" එහෙනම් මිනිහ කොම්පියුටර් විතරක් නෙමෙයි උගන්නන්නේ. මිනිහ ජෝකර් කෙනෙක් ද"

ඉන් එහාට කිසිම දිනක කතාව දුර දිග නොගෙනියන ඇය නිහඩව කරබා ගනී...

එක් දිනක් රාත්‍රියේ ඇය මගේ රාජකාරි ලිපි වගයක් පරිගණකගත කරමින් සිටියාය. ඇය ආ පසු මගේ සෑම වැඩක්ම ඉතාමත් පහසු වී ඇත... මා කියවන විට ඇගේ ඇගිලි පරිගනක යතුරු පුවරුව මත දිව යන්නේ මා කියවනවාටත් වඩා වැඩි වේගයෙනි... ඇය ඉතාම ආසාවෙන් සිදු කරන එම කටයුත්ත නිසා යතුරු පුවරුවද සිටින්නේ ඇගේ ඇගිලි තුඩුවල ආදරය ලගා ගැනීමට පොරකමින් බව මට සිතේ....

" සමන් ඔයත් ගන්නකෝ අලුත් ලැප් ටොප් එකක්.සදමාලිට උගන්නන්න එන සර් ගාව තියෙන ලැප්ටොප් එක නම් නියමයි" ඔයත් ගන්න ඒ වගේ එකක්.දැන් මේක පරණයි"
" ඔවු ඉතින් දැන් නේ අපිව පරණ වෙලා පේන්නේ"
" මොනාද සමන්. මම කීවේ ලැප් ටොප් එක"
" ඔහොම යද්දි මාවත් පරණ වෙලා පෙනේවි, අදට ඇති මට නිදිමතයි"
" ඇයි සමන් ඔයා කීව නේද මේ ටික අදම ඕන කියල. කො දෙන්න ඔයාට කියවන්න කම්මැලි නම් මම බලාගෙන ටයිප් කරන්නම්"
" නැහැ නැහැ ඕන නැහැ මගේ වැඩ මම කරගන්නම්. අනික මොකටද මේ පරණ කබලෙන් ඕව කරන්නේ"

දෑසේ කඳුළු පුරවා ගත් ඇය එදා රැයේ මා පපුව මත හිස තබා ගන්නට ගත් සෑම අවස්ථාවකම අනිත් පසට හැරී නිදා ගනිමින් ඇගේ සිත රිදවමින් මම අප්‍රමාණ සන්තෝසයක් වින්දෙමි....

පසු දිනයේ මා වෙනදාට වඩා වේලාසන නිවසට පැමිණියේ ඇයට නොදන්වා සිතාමතාමය.මා පැමිණෙන විට ඇය ඔහු සමග බර පතල කතාවකය.ඊයේ සිදුවූ දේවල් ඇය ඔහුට කියනවා වන්නට ඇත. ඇය ලියුම් කවරයක ඔතා දුන් යමක් ඔහු රැගෙන සාක්කුවේ දා ගනු මම ඈතදීම දුටුවෙමි. මා දුටු විගස කලබලවූ ඇය. ඔහු වෙත ක්ෂකිකව ලන්වී " හෙට උදේ හරියට වෙලාවට එන්න" යැයි පවසනු මට ඇසුනි.

කතා දෙකක් නැත ඔවුන් දෙදෙනා මේ සැරසෙන්නේ නිවසින් පැන යෑමට විය යතුය. කිසිවක් නොවූ ගානට නිවසට ගොඩ වැදුන මම ඇය හා සිනාසුනෙමි.....

පසු දින වෙනදාටත් වඩා වේලාසන කාර්යාලයට යෑමට මා සැරසුනේ යටි අරමුණක් සිතේ තබා ගෙනයි.

" ඔයා අද වේලාසන යන නිසා අද ටිකක් වේලාසන ගෙදර එන්න පුලුවන් නේද?"
" මොකද අද විශේෂ දවසක්ද?" ඇය රිදවනු අටියෙන් මම විමසුවෙමි...
" ඔවු ඔවු ...... වේලාසන එන්නකෝ. අද විශේෂම විශේෂ දවසක් තමයි"

" කාටද? ඔයාටද මටද?"

" ඇවිත් බලන්නකෝ.... ඔයාටම තේරේවි"

ඇය සිතා සිටින්නේ මා කිසිත් නොදන්නා බවයි... හොදයි අපි බලමු..........

නිවසින් පිටවූ මම ඔහේ පාරවල් කිහිපයක් ඔස්සේ අරමුණකින් තොරව රථය පදවා ගෙන ගියේ ඔහුටත් ඇයටත් අවශ්‍ය කාලය ලබා දී දෙදෙනාම අතටම හසුතර ගැනීමේ චේතනාවෙනි.....

උදෑසන 11 ට පමණ  මම නිවසට මීටර් 500ත් පමණ එහායින් රථය නවතා පයින්ම නිවස වෙත පැමිණියෙමි.... දොර අඩවල්කර ඇත. සිනා හඩ ගෙතුලින් ඇසේ.... මම අඩවල් වූ දොර අතරින් හිස පොවා බැලූවෙමි... තරමක විශාල ගමන් මළු දෙකක් ඔවුන් දෙදෙනාගේ පාද අභියස වෙයි....එක්වරම කම්පියුටර් කාරයාගේ දෑතින් අල්ලාගත් ඇය ඔයාට කොහොම ස්තූති කරන්නද මන්ද? ඔයා මා වෙනුවෙන් මේ දේවල් කරාට ඔයාට ගොඩක් පින්....සමන් මට කවදාවත්.....

ඉන් එහාට කතාව ඇසුමට රිසි නොවූ මම ඔවුන් අතරට පැන මොන මොනවා කරාදැයි මට මතක නැත. මා නවතා ලීමට කම්පියුටර්කාරයා දැරූ  සියළු උත්සාහට නිශ්පල වූ අතර හොද හැටි දෙක තුන වදින විට ඔහු පලා ගියේය.... ඇයට දරා ගත නොහැකිවූ මගේ බාහු ශක්තියෙන් විසිවී ගිය ඇය අවසානයේ රෝහලට රැගෙන ගියේද මමය... ඇයට ‍මෙහෙම වෙලා මදි...........

“Do not put your trust in rivers, men who carry weapons, beasts with claws or horns, women, and members of a royal family.”

                                     රෝහල්  ගතව, සිහිසුන් නැතිව ,කල වරදට වන්දි ගෙවන 
මම
෴ වත් ෴

෴ මගේ මිතුරා ෴

ලොව සැම රස ඇති රාගය කලතා
ආලය එහි ඇති ස්වර හා අමුණා
ඒ සැම තත් හතරක දා සරසා
නුඹ වෙනුවෙන් මම වයනෙමි සැමදා

වයනා තත් මග දී නොකැඩෙන්නයි
ගීතයේ ස්වර පද මතකෙ රැදෙන්නයි
ගීත පොතේ පිටු සුළඟෙ නොයන්නයි
නුඹ ලැබෙනා තුරු ලඟින් සිටින්නයි

“Marriage is like a violin. After the music is over, you still have the strings.”

වයලීනය සමඟ තනි වූ
මම
෴ වත් ෴

Friday, August 27, 2010

෴ හසුන ෴


අකුරින් අකුර ගලපා නුඹ මට එවන
ලිපියෙන් හමන්නේ නුඹෙ ආදර හුරු සුවඳ
කියවා දහස් වර සිඹිමින් ඒ සුවඳ
නුඹ හා තනිව ඉන්නෙමි මොහොතින් මොහොත

 අකුරින් අකුර මට ඇති ආදර දුටිමි
ලියනා විටදි නෙත ඉනු කඳුළැලි දුටිමි
 මා හා සිනාසෙන ආදර රුව දුටිමි
සැමටම වඩා නුඹෙ හදවත ඉන් දුටිමි

ලිපියක් නොමැති විට හද කකියන දුකය
ලිපියක් ලැබුන විට මා සිත මල් යහන
එක්වන දිනක් නැතිමුත් පේනා දුරක
එක් වෙමි නිබඳ නුඹ හා මා සිත් නිතර

ලිවු ලිපි එකින් එක ගනිමින් කියවන්න
කියවා ආදරෙන් මා මුව සිපගන්න
තරහින් ඔරවලා වැඩියෙන් ආදර ගන්න
ලියුමෙන් පාර අහගෙන මා වෙත එන්න

To send a letter is a good way to go somewhere without moving anything but your heart.

නුඹ එවූ ලිපිය සිය දහස් වරක් කියවූ
මම
෴ වත් ෴

Thursday, August 26, 2010

෴ පමා නැත ෴



සුසුම් උණුසුම් නිවයි ලතවුල්
ජීවිතේ සුවදේ
නුඹේ ලමැදේ ගිලී මියදේ
ආදරේ මාගේ

සුසුම් සුවඳයි හැගුම් දහරයි
උල්පතයි නුඹ ආදරයේ
නොයන් වෙන්වී හිදින් ලන්වී
පමා වූ ආදරියේ

 ලොවින් වෙන්වී නුඹට හිමි වී
නුඹේ බිරිදයි දැන් මා
නුඹෙන් වෙනවී නොයන්නෙමි මා
 පමා නැත ආදරයේ

නුඹේ බිරිඳ 
මම
වත්෴

Tuesday, August 24, 2010

෴ ස්තූති කතාව ෴

මා හිතවත් මිතුරු මිතුරියන් සැමගෙන් අවසරයි...
මාගේ 200 වෙනි ලිපිය වෙනුවෙන් සුබ පැතුම් ගෙන ආ සියලු දෙනාටම බෙහෙවින් ස්තූතිවන්ත වන අතර....

කේක් කෑල්ලක් තේ උගුරක් වත් තරමින් සංග්‍රහයක් කිරීමට නොහැකි වීම ගැන දැඩි සේ දුකට කලකිරීමට පත් වී සිටිමි...

මාගේ බ්ලොග් ළදරුවාගේ පළමු උපන් දිනයද ළඟ ළඟම එනබැවින් එදිනට හෝ පුංචි පහේ සාදයක් සූදානම් කර බත් කටක් කෑමට දිය නොහැකි වුවත් හැලපයක් කා තේ කහට උගුරක් බීමට දීමට හෝ සිතා සිටින්නෙමි....

සැර පානයන් සගවන ස්ථාන ගැන මා කලින්ම දැනුම් දී ඇති නිසා සැර පාන පානය කරන්නන්ට ඒ ඒ ස්ථාන වලදී ඒවා භාවිතා කිරීමට රැගෙන එන්න....
ලියා සුබ පැතුම් ගෙන ආ සියලු දෙනාටත්
කියවා සිතින් සුබ පැතූ සියලු දෙනාටත්
සුබ පැතුම් දීමට නොහැකි වූ සියලු දෙනාටත්
මගේ දයාබර ලෙංගතු ස්තූතිය මෙසේ පිළිගන්වමි

අත්පොලසන් නාදය සතර වටින් ඇසෙන අතර.. විසිල් හඩ හා හූ හඩ මධ්‍යයේ වේදිකාවෙන් බැස යන 
මම
෴ වත්

Monday, August 23, 2010

෴ ජල සම්පාදනය ෴


හෝව් හෝව්.... හිතුව නේද පින්තූරය දැක්ක ගමන් අර කතන්දර පටන් ගත්ත ... පසසේ සිඝ්‍රයෙන් ජනප්‍රිය රැල්ලට ඒක්කාසු වුන ජාතියේ කතාවක් කියල... උත්තරේ නම් මේක එහෙම කතාවක් නෙමෛයි... අද මම කියන්න යන්නේ ජල කළමණාකරණය කරන ගමන් ඒ පිං බලෙන් තවත් වටිනා ප්‍රයෝජනයක් ලබා ගත් ඇත්තෙක්ගෙ කතාවක්........

කවුරුත් දන්නව ඇති නේ අර කොමඩ් වල තියෙන වතුර ප්ලශ් කරන ක්‍රමය.ඇත්තම කියනව නම් ඒ ජල ටැංකියේ තියෙන වතුර වලින් බහුතරයක් නිරපරාදේ අපතේ යනව.... ඉතින් අපතෙ ගියැයි කියල නැහැ ඒ වතුර ටිකටක් එනව නේද බිල... 

ඉතින් මේ අපතේ යන වතුර ප්‍රමාණය අවම කර ගන්න පුළුවන් ක්‍රමයක් තමයි ,ඒ ජල ටැංකිය ඇතුලින් තියන්න ඕන වතුර පුරවපු ලීටරයක විතර බෝතලයක්. එතකොට අපි ප්ලශ් කරන හැමවතාවෙම අපතෙ යන වතුර වලින් ලීටරයක් ඉතුරුයි... ඇයි වතුර ලීටරයක ඉඩ ප්‍රමාණය අර බෝතලය අරන් නිසා ප්ලශ් කරන කොට වැය වෙන්නේ ලීටරයක් අඩු වෙන්නේ... දැන් නම් මැනුවල් වතුර ප්‍රමාණය හදන්න පුලුවන් අලුත්ම ගැජට් තියනව තමයි....

ඉතින් මේ ක්‍රමය ගැන නාගරික ජනතාව දැනුවත් කරල ,පසු විපරමක් කරන්න ගෙයක් ගෙයක් ගානේ ගියාලු. සමහරු ක්‍රමය අත්හදා බලල නැතත්. තවත් සමහරු නම් සාර්ථක ප්‍රතිපල නෙලා ගෙන තිබ්බ. ඒ අතරින් එක නිවැසියෙක් නම් පසුවුනේ මේ ක්‍රමය ගැන පුදුම සතුටකින්....ඒ ගෙහිමියගෙන් ලැබුනෙත් උණුසුම් පිළිගැනීමක්......

ඒ මනුස්සයා මෙන්න මෙහෙම ගියපු කාණ්ඩෙට කියනව.

"මහත්තයෝ කියල වැඩක් නැහැ ඒ ක්‍රමය නම් මට ඒ නිසා අමතර වාසියකුත් ලැබුන"

" කීවනම් බලන්න ඒකත්.. අපේ ස්ටඩීස් වලට ඒවත් වැදගත්"

" අනේ මහත්තයෝ... ඉස්සර  බේර ගන්න බැරිව තිබුනේ... කොහෙ හැන්ගුවත් නෝන සොයා ගෙන විසි කරනව...මේ කුමය නිසා දැන් මගේ අරක්කු බෝතලය කරදරයක් නැතිව යහතින් ඉන්නව.... ජල බිලත් අඩු නිසා නෝන ඉන්නෙත් සතුටින්"

ඒක තමයි කියන්නේ මල්ටි ටාස්කින් කියල ....බොනස් වාසි නැත්තම් අපේ මිනිස්සු කිසිදේකට ඉදිරිපත් වෙන්නෙ නැහැනේ.... කොහොමින් කොහොම හරි ඇත්තටම එ ගෙදර ජල බිල නම් පැහැදිලි අඩුවක් දක්නට තිබීම අපේ සිත සනසපු කරුනක් වුනා...

හැබැයි ඉතින් අමද්‍යප ව්‍යාපාරය එහෙම ඒ පළාතේ ක්‍රියාත්මක වෙන්න ගත්තොත් හෙම ආයෙත් ජල බිල ඉහල යන්න ඉඩ තියෙනව...

ජල බිල සමඟ බොනස් ගෙනාව
මම
෴ වත් ෴

Sunday, August 22, 2010

෴ මගේ දවස ෴


හිරු හිනහෙන හිමිදිරියේ  රන් හිරු රැස් එළිය දිගේ
සැමදා විත් මගේ ලොවට එළිය සදනවා
ගිනිගහනා මධ්‍යහනේ දාඩිය බිදු වල තැවරී
නුඹේ සුවඳ මගේ තනියට ලගින් ඉන්නවා

සැන්දෑ මැල වෙන එළියෙන් නුඹේ නිවුන මුදු මදහස
සිහින් සිනාවක් මගෙ මුව රදව ගන්නවා
හිරු ගිලිහී සඳු එනවිට සඳේ කොනක හැන්ගීලා
නුරාව පිරි නුඹේ උවන මා නලවනවා

සඳ නැති දා අමාවකේ තරුවක දැවටී රහසේ
ඇවිත් මගේ තනි යහනේ නිදිය ගන්නවා
ගවු ගානක් දුර වුන්නත් දවසට සිය දහස් වරක්
හිරු සඳු තරු වල දැවටී ළඟින් ඉන්නවා

Just wanted to let you know... You're in my thoughts... all the time!

හිරු, සඳු, තරු මැද නුඹ සිත දකින 
මම
෴ වත් ෴

Friday, August 20, 2010

෴ වරද ෴


" ඇයි .. ඇයි ඔයා මාව දාලා ගියේ, ඔයාට මේ තරම් ආදරෙන් හිටිය මාව රවටල..ඇයි ඔයා මාව දාලා ගියේ"

" මම ඔයාට දාලා ගියේ නැහැ රත්තරන් ඔයයි මාව දාලා ගියේ"

" මම.. මම ඔයාව කවදාවත් දාලා ගියේ නැහැ... මම අදටත් ඔයාට ආදරෙයි. ඔයා තමයි මාව මේ විදිහට අතහැරල ගියේ"

" නැහැ නැහැ... ඔයා තමයි මාව නොසලකා හැරියේ...ඉතින් මම හිතුව ඔයාට මාව එපා වෙලා කියල. ඔයාට මාව කරදරයක් කියල. ඉතින් ඔයාව මම අතහැරිය"

" මම ඔයාව නොසලකා හැරිය .? මම ඔයාට මට පුලුවන් තරම් ආදරේ කරත්දිත්.ඔයා කොහොමද කියන්නේ මම ඔයාව නොසලකා හැරිය කියල"

" ඔයා මට ආදරේ කරේ නැහැ.ඔයා ආදරේ කරේ ඔයාගේ රස්සාවට. ඔයාගේ වාහනයට.ඔයාගේ යාළුවන්ට"

" ඔයාට පිස්සු. මම ඒ දේවල් වලට ආදරේ නැහැ. මම ඒ දේවල් වලට කැමති. මම ආදරේ කරේ..ආදරේ කරන්නෙත් ඔයාට විතරයි"

" ඒ කියන්නේ ඔයා මට කැමති නැහැ?"

" ඔයාට පිස්සු... මම එහෙම කීවද? මම ඔයා කැමති කැමති දේවල් ඔයාට ගෙනත් දුන්න.ඇදුම් කෑම .ගෙදරට ඕන හැමදේම. ඔයා ඉල්ලන ඉල්ලන හැමදේම ගෙනත් දුන්න.ඔයා මට වැඩිය අපේ ගෙදර හිටිය කෘස් ට ආදරෙයි"

" කෘස්... මම කෘස්ට ආදරේ නැහැ...මම කෘස්ට කැමති. කෘස් බල්ලෙක්. ඔයා මනුස්සයෙක්.ඔයා මට හැමදේම ගෙනත් දුන්න තමයි. ඒත් මට ඕනම දේ ... ඕනම දේ ඔයා මට දුන්නේ නැහැ"

" ඔයා කියන්නේ..... මම ඔයාව සතුටු කරේ නැහැ කියලද?"

" ඔවු ... ඔයා මාව සතුටු කරේ නැහැ... ඔයා මගේ හිත සතුටු කරේ නැහැ..."

" මම මොනවද ඔයාට නොදුන්න දේ"

" ආදරය....ඔයා මට ආදරය දුන්නේ නැහැ"

" ඔයා මොනාද මේ කියන්නේ... තවත් මොනාද මගෙන් ඉල්ලන්නේ... මට පුලුවන් උපරිමයෙන්තමයි මම ඔයාට ආදරය කරේ"

" ඔයාට තේරෙන්නේ නැහැ තමයි... ඒ ඔයා මට ආදරේ නැති නිසයි... ඔයාට බැරි වුනා මාත් එක්ක මාසෙකට දවසක් හරි කොහේ හරි ඇවිදින්න යන්න.ඔයාට බැරි වුනා මම ආදරෙන් උයල පිහල දෙන දේක හොද නරක කියන්න. ඔයාට බැරි වුනා මම කියන දෙයකට ඇහුම් කන් දෙන්න. කොටින්ම ඔයාට අමතක වෙලා ගියා ඔයත් එක්ක මම ඉන්නව කියල"

" මම ඒව හිතල කර දේවල් නෙමෙයි... මම කොයිතරම් වැඩ කන්දරාවක හිරවෙලා ඉන්නවද කියල ඔයා දන්නව නේද? මම හිතුව ඔයා මාව තේරුම් අරන් ඇති කියල."

" ඔයාට දැනුත් ඒ වගේම වැඩ ඇති නේද?"

" ඔවු... ඒ වගේමයි. ඒත් මට ඔයා නැතිව පාළුයි. තනියි"

" අන්න ඒ දේ තමයි මටත් ඉස්සර දැනුනේ. දැන් ඔයා තනි වෙලා ඉන්නේ කවුරුවත් ඔයා ළඟ නැතිව. ඒත් මම එදා තනි වුනේ ඔයා මගෙ ළඟ ඉන්න කොටමයි"

" මට තේරෙනවා"

" නැහැ... ඔයාට කවදාවත් තේරෙන්නෙ නැහැ... ආදරේ  කියන්නේ මොකක්ද කියල. ආදරේ හදුනන්නේ නැති හිතක් එක්ක මට ජීවත් වෙන්න බැහැ" 

" මට අනුකම්පා කරන්න ඔයාට බැරිද. අපි ආයෙත් ජීවිතය පටන් ගමු"

" අනුකම්පාව කියන්නේ ආදරය නෙමෙයි.ඔයාට පුලුවන්නම් මට ආදරේ කරන්න. මගේ හිතේ ඔයාට තියෙන ආදරේ විදින්න පුලුවන් නම් විතරක් අපි ආයෙත් ආදරේ කරන්න පටන් ගමු."

Little kindness and courtesies are so important. In relationships, the little things are the big things.

ආදර පලහිලවුව හොරෙන් අහන් හිටිය 
මම
෴ වත්෴

෴ හිස්බව ෴


පිපී මලක් දකිනට කිසි කෙනෙක් නැතී
සුවඳයි හරිම ඒ සුවඳින් පලක් නැතී
ගී රස මිහිරි අසනට කිසි කෙනෙක් නැතී
නුඹ ලඟ නැතිව කිසි දේකින් පලක් නැතී

උදයේ හැගුම් සවසට වෙනවා නපුරු
කඳුළට වුනත් නෙත ඉඩ නැහැ වී රුදුරු
හිත හිස් වෙලා සිතුමට දේ නැත මහරූ
නුඹ විත් මගේ ලෝකෙම වී මට නුහුරූ

නුඹ ඇයි ඇවිත් සිත ලග වූයේ කොමල
උණුසුම රැකවරණ සැලසුවෙ ඇයි නිබඳ
නිතරම ඇයිද සෙවුවේ මා වත කමල
නිහඩව ඇයිද පෙර නුඹ දැන් වෙන කොහිද

“For every beauty there is an eye somewhere to see it. 
For every truth there is an ear somewhere to hear it. 
For every love there is a heart somewhere to receive it.”

හිස්බවේ ගිලී සැගවී මියෙමින් සිටින සුවඳ මල
මම
෴ වත් ෴

Thursday, August 19, 2010

෴ මගේ සැන්දෑව ෴


ඉර බැහැගෙන යන හැන්දෑ යාමෙක
ලස්සන අසිරිය විඳ ගන්න
උරහිස මා හිස සතපවලා නෙත
අනන්තයක් වෙත දිව යන්න


කතා නොකර නුඹ හුස්ම හෙලන හඩ
පමණක් හිමිහිට විද ගන්න
මුහුදේ හිරු ගිලෙනා මේ යාමයෙ
පාට පැතුම් වල තවරන්න 


මා ඉන වට නුඹේ අත වෙලිලා ඇත
සිහින් සරින් නුඹ කොඳුරන්න
ලස්සන දවසක ඒ මොහොතට මම
පෙරුම් පුරන්නෙමි දැනගන්න

I love to be here at the beach to watch the sunset - the greatest performance of Nature.  Like in a theater, but it’s free. 


ඔබ එනකම් මුහුදු වෙරළේ බලන් ඉන්න 
මම
෴ වත් ෴

Wednesday, August 18, 2010

෴ නුඹයි මමයි ෴


පින්න මලට පිනි බින්දු වැටීලා
වාගෙයි නු‍ඹ පින්බර මුහුණේ
සිඹින්න  දෝ මම ඒ පිනි බිදු තෙත
පිපාස වී මේ හද මාගේ

පින්න මලක් වාගේ ඉන්නට මට
නුඹේ සෙනෙහෙ මහ මෙර වාගේ
සිඹින්න තහංචි නැත මා මිහිරේ
මලේ බඹරු නුඹමයි මාගේ


ගමෙන් ගෙනා මගෙ පින්න කැකුළියේ
වරදක් හෙම වුනොතින් ආයේ
 නොයන්න හැරදා මේ බඹරිඳු නුඹෙ
දෙන්නේ නැහැ කඳුළැලි ආයේ

බලන්න බඹරෝ මේ මල නුඹගේ
නෙලන්න බෑ කාටත් ආයේ
මා' පැණි මා' පෙති මා' හද නුඹගෙයි
සසර සරන භවයක් ගානේ


බඹරු ලඟ සිනා වන පින්න මල
මම
෴ වත් ෴

Tuesday, August 17, 2010

෴ පිට්ටු හබය ෴


පිට්ටු.... හරි රස කෑමක්..... පිට්ටුයි... කට්ට සම්බෝලයි කිරි හොදියි තිබ්බනම් ම්ම්ම්ම්.....
සමහරු නම් පිට්ටු කන්නේ සීනිත් එක්ක... මම නම් ආස අර සාංගික දාන වලදි එහෙම හාමුදුරුවන්ට පිළිගන්වන කුරක්කන් පිට්ටු.. රසයි ගුණයි .....කොච්චර කෑවත් මහත් වෙන්නේනෙත් නැහැ නෙව.

ඉතින් අද මේ මම ලියන කතාව හැමදාම කෑමට පිට්ටු හදන ගමහාමිනේ කෙනෙක් ගැනයි.... අපි මේ රසයි ගුණයි කියන්නේ අපිට ඉතින් මේව හැමදාම කන්න නොලැබෙන නිසා නේ... ඒත් මේව හැමදාම කන අයට මේවයේ මොන රසක්ද නේද.. අනේ ඉතින් ඒ ගමරාලටත් පිට්ටු එපා වෙලාලු තිබ්බෙ.. 

ඉතින් ඔන්න අදත් ........

රාත්‍රී කෑමට අදත් හාමිනේ හදන්නේ මොනාවාදැයි බැලීමට ගමරාල ලිප ලඟට කිට්ටුකර බලයි

ඇල්දිය දමා පොඩි කරමින් කර මට්ටු
වන්ඩුවෙ තබා මුදුණට කර පාරට්ටු
තැම්බුණ පසුව පිටතට කරගෙන තට්ටු
පිට්ටු නිසා තී සැමදා වෙයි කෙට්ටු

ඔන්න එතකොට ගමහාමිනේ මෙහෙම කියාපිය

කකා මොටද මාහට දොස් කියන්නේ
නොකා කොහොම එක වේලක් සිටින්නේ
කෙට්ටු නැති කරන බේතකි බොලන්නේ
පිට්ටු තමා අද රෑටත් උයන්නේ

මූණ ඇඹුල් කර ගත්ත ගමරාල බාන ලද පිට්ටුවට අත දිගු කරමින්

කළුවට කළුයි රවුමට මට පේන කොට
ලොකුවට වට්ටියේ මැද්දේ තිබෙන විට
පළුකොට පිඝානට දෙනවිට පිට්ටු කැට
එකවිට එපා වෙයි තී හා දීගෙ මට

එහෙම කියල ටිකක් වෙලා ඉදල එහෙම මෙන්න මේ රාල හොද හැටි බෙදන් පිට්ටු කනව.  කන ගමන් මෙන්න මෙහෙමත් කියනව.

කිට්ටු වෙලා වන්ඩුවෙ තබලා සැනෙකින්
තට්ටු කර බලා වට්ටිය වෙත දමමින්
කෙට්ටුවී සිටින තිට කවදා හෝ දිනකින්
පිට්ටු එපාවෙයි උගුරේ රැඳුනෝ තින්

කියල හොදට කිරි හොදියි තව පිට්ටුවකුත් බෙදා ගන්නව .... මේ දිහා බලන් හිටිය ගමහාමිනේ මෙන්න මෙහෙම කියනව....

සැමවිට මෙමට බැන වදිම්න් රවටාලා
බොරුවට නොකන බව කියමින් වාඩිවෙලා
කෙට්ටුය කිය කියා වට්ටිය ලඟට වෙලා
පිට්ටු හතම කෑවද මා රවට්ටලා....

දැන් හිතා ගන්න පුලුවන් නේද මොකද ගමහාමිනේ කෙට්ටු වෙලා කියල......

කවි උපුටා ගත්තේ "හෙළ ජන ගී සංග්‍රහය - එම්.ජී කුමාරපාල" ඉතිරි කතාව මා ගානේ...........

පිට්ටු නැතිව බඩ ගින්නේ කෙට්ටු වෙවී ඉන්න
මම
෴ වත් ෴

Monday, August 16, 2010

෴ ඉඩමේ පිඹුරා ෴


ඉතාම දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් නොහොත් එදවස භාෂාවෙන් නම් උප දිසාපති කාර්යාලයකි.....
‍බරති පොහොර උරයක් කර තබා ගත් අහිංසක පෙනුමැති ගැමියෙකු ලහි ලහියේ කාර්යාලය වෙත පියමන් කරයි....
කාර්යාල සේවකයකු අසල නතර වූ ඔහු.... බොහොම අපහසුවෙන් තම සරමේ ඉන රැදි කඩදහියක් ගෙන එය පෙන්වමින්....

" මහත්තයෝ.... උප දිසාපති තුමා මේ ලියුම් කඩදහිය එවල තිබුන.. අද ඇවිත් මුලච්චි වෙන්න කියල.ඒ උත්තමය කොහෙද ඉන්නේ මහත්තයෝ?"

" ආන් අර පේන බාග දොර දාලා තියෙන්නේ ඒ කාමරයට තමයි උන්නැහේ... ඔහොම කෙලින්ම යන්න කෝ"

" හොදමයි මහත්තයෝ..... ආයිබෝන් එහෙනම්"

" කවුද බන් පියසේන ඒ" 

" කවුද දන්නේ ලතෝ... කවුරු වුනත් අද නම් ලොක්කට මල්ල කරේ.... දැක්කෙ නැද්ද උන්දැගේ කරේ තිබ්බ ගෝනියෙ විශාල"

" ඒක නම් ඇත්ත පියදාස" " ලොක්කත් අපිට හොරාට  සන්තෝශන් ගන්නව එහෙනම් ආහ්"

" අපිට කොහෙද බන් ඔහොම වාසියක් ... කඩේකට එක්කාසු කරන් ගිහින් තේකක් .. බීඩියක් ගන්නව ඇරෙන්න"

ගැමියා බාග දොරින් ඇතුලු විය....කර තිබු පොහොර ගෝනිය උප දිසාපතිතුමාගේ මේසය මතින් තැබූ ඔහු...

" උප දිසාපති  හාමුදුරුවනේ... මේන් මේ ලියුම් කඩදහියෙ ...අරන් එන්න කියල තිබුන විදිහටම ඕන් මන් කටයුතු කරා" " ඒත් මටයි මගේ මායියටයි හිතා ගන්න බැරිවුනා උන්නාන්සේ මොකටද මෙහෙම ලියුම් කඩදහියක් එවුවෙ කියල" " මම ඕන් අල්ලපු ගමේ බණ්ඩාර කොලුවට කියලයි කඩදහිය කියව ගත්තේ ඕං"

ටික වේලාවක් පුදුම වූ මුහුණින් බලා සිටි උප දිසාපතිතුමා.... ගැමියා දෙසත් තම මේසය උඩ ඇති මහ පොහොර ගෝනිය දෙසත් මාරුවෙන් මාරුවට බලමින් සිට...

" ලොකු උන්නැහේ ... ලොකු උන්නැහේ මම රාජකාරයට ඉටු කරනවට තෑගී බෝග ගන්න කෙනෙක් නෙමෙයි ලොකු උන්නැහේ..." " ගන්න ... ගන්න.... මේව ආපහු ගෙනියන්න"

" එහෙම කියන්න එපා හාමුදුරුවනේ... ලියුමෙ තිබුන නිසා බොහොම අමාරුවෙන් තමයි මේකව අල්ලන් ආවේ.. ටික දවසක් පරක්කු වුනා තමයි... ඒ ගැන තරහක් ගන්න එපා හාමුදුරුවනේ'

කුමක් හෝ වැරදී ඇති බව තම අත්දැකීමෙන් සහ සහජ ඉවෙන් තේරුම් ගත් උප දිසාපතිතුමා.... මදක් කල්පනා කර බලා....

" කෝ දෙන්න ලොකු උන්නහේ ලියමු කඩදහිය තියෙනම් බලන්න"

අහිංසක ගැමියා තම කසට දත් පෙන්වමින් බයාදු ලෙස සිනාසී.... දූවිලි කුණු වැකී ගිය ලියමන අතටගෙන මහත් භක්තියකින් උප දිසාපතිතුමා වෙත දිගු කරන ලදී.

" ලොකු උන්නැහේ... ඉතින් කෝ මම ගේන්න කීව දේ "

"ඉන්න මහත්තයෝ .....  ඒකා මේ ගෝනිය ඇතුලෙ දරණු ගහන් ඇති දැන්. අහිංසක සතා මහත්තයෝ"

පවසමින් ගෝනියේ කට බැදි ලණුව ලිහන්නට වන...

සිද්ධ වන්නට යන ඇබැද්දය වහා තේරුම් ගත් උප දිසාපතිතුමා....

" පියසේන " " පියසේන යි" කෑගැසුවේ  වැරදුනේ කාටදැයි සිතා ගත නොහැකිවය....

ඔහු අත රැදි ලිපියේ සදහන් වී තිබුනේ......

ඔබ  පදිංචි වී ඇති  රජයේ ඉඩම සම්බන්ධව ඉදිරි කටයුතු කිරීම සදහා ,අවශය පියවර ගැනීමට මෙම ලිපිය ලද වහාම ඉඩමේ පිඹුරත් රැගෙන මා හමුවීමට පැමිණෙන ලෙස කාරුණිකව දන්වා සිටිමි .

පොහොර උරයේ අසරණව සිටි පිඹුරාගේ කතාව ලියූ
මම
෴ වත් ෴

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...