..... I am the poem that's  yours but doesn't belong to you ever,...

Saturday, July 31, 2010

෴ මගේ අලුත් සම්බන්ධය ෴

ඉස්සල්ලම් කියන්නම් මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත කතාවක්.මම මේ තරම් අවංකව මේ ගැන කතා කරන එක ගැන සමහරු නම් මට දොස් කියාවි. ඒත් තව දුරටත් මට මේ දේ මගේ හිතේ හිර කර ගෙන ඉන්න බැහැ..

මගේ පරණ සම්බන්ධය මම නැවැත්තුවා... ඔව් ඔවු පරණ සම්බන්ධය කියන්නේ ඉතින් දැන් අලුත් සම්බන්ධයක් තියෙන නිසා තමයි....අනික දැන් කාලේ කාටද පුලුවන් සම්බන්ධයක් නැතිව පාලුවෙන් ඉන්න. හරි හරි සමහරු ඉන්නව තමයි... ඒ සමහරු කියන ගොඩට මම අයිති නැහැ...අනික අද කාලේ හැටියට මේව හරිම සුළු දේවල් නේද.. සමහරුන්ට සම්බන්ධකම් දෙක තුන හතර තියෙද්දි මම අලුත් සම්බන්ධය පටන් ගත්තේ පරණ එක නතර කරල.. එහෙම බැලුවම මම හරි සාධාරණයි කියල මට හිතෙනව....

එක සම්බන්ධයක් හරියට නඩත්තු කර ගන්න බැරි එකේ සම්බන්ධකම් දෙක තුන හතර කොහොම අරන් යනවද කියල මට නම් හිතා ගන්න බැහැ.

පරණ සම්බන්ධය මම පටන් ගත්තේ එයාම මාව හොයාගෙන මගේ ළඟටම ආව නිසයි. අනික ඒ කාලේ හැටියට එයා හරිම හොඳයි කියලයි මගේ මේ මොළ ගෙඩියට හිතුනෙ... ඉතින් මමත් හා කීව අපි දෙන්න යාළු වුනා... ඉතින් මුල් කාලේ නම් එයා හරි හොදයි... මගේ පර්ස් එකටත් ලේසි... පස්සෙ පස්සෙ තමයි මෙයා වෙනස් වුනේ.... 

අනික මෙයා මා ළඟ ඉන්නව කියල දන්න මගේ ඔපිස් එකේ ගොඩක් අය විටින් විට මගෙන් මෙයාව ඉල්ල ගන්නේ හරියට එයාල මට මෙයාව ජෝඩු කරා වගේ මගේ ‍පුද්ගලික දෙයක් කියල සත පහකට මායිම් කරන්නේ නැහැ ඉල්ලුව වෙලාවට දුන්නෙ නැත්තම් මුණ එල්ලන් ඉන්නව. "විනාඩියකටනෙ ඉල්ලුවෙ" "විනාඩියකටවත් දෙන්න බැරි මොකද ?" කතන්දර ගොඩයි..

පස්සෙ පස්සෙ මෙයා හරියට වෙනස් වුනා... එන්න එන්න මගේ පර්ස් එකේ සල්ලි වලින් මෙයා වෙනුවෙන් වෙන් කරන කොටස වැඩි කරන්න සිද්ධ වුනා... මෙයා එවන ලවු ලෙටර්ස් ගෙදරටත් අහුවුනා.. අම්ම මට අවවාද කරා මේ සම්බන්ධය නතර කරන්න කියල... ඒත් මම හිත දැඩි කරන් උන්නා. ඒත් අන්තිමට  එයා එක්ක මට කතා කරන්න බැරි වුනා. එයාට ඕන නම් විතරයි මාත් එක්ක කතා කරේ....

පස්සෙ පස්සෙ එයාත් කතා කරන එක නතර කරා... මාත් ගනන් ගත්තෙ නැහැ... මෙන්න එයා ඊට පස්සෙ මට ලියුම් එවන්න ගත්ත. මේ සම්බන්ධය නතර කර ගන්න එපා.. කියල... පරණ වාදනය නැවත අහන්න මම කැමති වුනේ නැහැ. ඔපිස් එකේ අයත් කියන්න ගත්ත "අපරාදේ වටින සම්බන්ධයක් මීට පස්සෙ ඔය වගේ එකක් හම්බෙන්නෙත් නැහැ මේ සම්බන්ධය නතර කර ගන්න එපා "කියල.....

මම ඇහුන්නේ නැති කණ් ඇතිව සිටිය. කොටින්ම මට එයා එපා වෙලයි හිටියෙ.... මගෙ හිත කළකිරුණ... දැන් ඒ පරණ සම්බන්ධය ඉවරයි....

ඒත් සම්බන්ධයක් නැතිව දැන් කාලේ ඉන්න බැහැනේ. ඇතිවත් බැහැ නැතිවත් බැහැ... ඔන්න ඉතින් මම වෙනත් සම්බන්ධයක් පටන් ගත්ත. දැනට නම් එයා හොදයි. පස්සෙ එයත් නරක් වෙයිද දන්නේ නැහැ....

හෝව් හෝව් .. දැන් අහන්න එපා මොකක්ද අලුත් සම්බන්ධය කියල... ඒකත් විනාඩියට රුපියල් 2කේ සම්බන්ධයක් තමයි...........පරණ සම්බන්ධෙනම් විනාඩි 1000 ක් ප්‍රී .....

ඔවු අනේ ඔවු මම මේ කීවේ ජංගම දුරකතන සම්බන්ධය හෙවත් සිම් එක ගැන තමයි.............

දැන් කාලේ ඇතිවත් බැරි නැතිවත් බැරි මේ ජංගමේ නම් මට පෙන්නන්න බැහැ......

කවුද හැබෑට ජංගමේ හොයා ගත්තේ ..............................
Use of mobile phones can be addictive.
 
අළුත් සම්බන්ධයක් පටන් ගත්ත
මම
෴ වත් .෴

Friday, July 30, 2010

෴ ආදායම් බලපත්‍රය ෴

ස්ථානය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්

වේලාව ප.ව 3 පසුවී විනාඩි 20 ක් පමණ

ඉහින් කණින් දහඩිය බේරා ගෙන දඩි බිඩියේ කාර්යාලය තුලට එන මිනිසෙකි... කාර්යාලයට පිවිසෙන පිළිගැනීමේ කවුන්ටරය අසල නතර වෙන ඔහු

"මිස් මේ ආදායම් බලපත්‍රයක් ගන්න ඕනි මට"

"දැන් නම් වෙලාව ඉවරයි. උදේ 8.30ඉදල හවස 3.00 වෙනකම් විතරයි ආදායම් බල පත්‍ර නිකුත් කරන්නේ"

"එහෙම කියල කොහොමද මිස්. අපි ආවේ ගොඩක් දුර ඉදල."

"හරි හරි එහෙනම් කෙලින්ම ගිහින් දෙවෙනියට තියන කවුනටෙර්ට යන්න."

තරමක් කේන්ති ගිය මිනිසා කවුන්ටර් වල සඳහන් නම් කියවමින් ගොස් දෙවෙනි කවුන්ටරය අබියස නතර වෙයි.



"කවුන්ටරයේ සේවයේ නියුතු සේවිකාව  මුදල් ගනිමින් සිට රිසිට් එකක එය සදහන් කරයි. අසල ඇති පරිගනක මුද්‍රණ යන්ත්‍රයේ හඩ නංවමින් යමක් මුද්‍රණය වෙයි..."

" මිස් "

" ඔවු මොකක්ද දැන ගන්න ඕන"

"මිස් මේ අපි ආවේ ගොඩක් දුර ඉදල. "

"ඔවු ඉතින්."

"මට මේ ආදායම් බල පත්‍රය ගන්න ඕන මගේ වාහනේට... දැන් කාලෙත් ඉවරයි..."

"ආහ් කොහෙ ඉදලද ආවේ... හැබැයි දැන් නම් ආදායම් බලපත්‍ර නිකුත් කරන වෙලාව පහු වෙලා. සල්ලි ගනන් ලියල රිසිට් එකතු කඩල රිපෝට් එකත් අරන් ඉවරයි"

"එහෙම කියල පුලුවන්ද මේව මහජන ආයතන නේද. අපිට ඕන වෙලාවය වැඩක් කර ගන්න බැරි නම් වැඩක් නැහැ නේ මේවයින්...."

"ඒක හරි.. මේව මහජන ආයතන  තමයි...හවස 3 වෙනකම් ගනු දෙනු කරල ඉතිරි වෙලාව දීල තියෙන්නේ ඒ දෙවල් වල හරි වැරදි බලල පොත් පත් වල ඇතුල් කරල ඉදිරි කටයුතු කරන්න.."

" කමක් නැහැ කෝ දෙන්න බලන්න...."

"කෝ මේ වාහනේ දුම් සහතිකේ.."

"ඒ මොකක්ද එහෙම එකක් කලින් ගෙනාවේ නැහැ නේ...."

"මේකයි වසර තුනකට වැඩිය පරණ වාහන වලට දුම් පරීක්ෂණය කරල සමත් වුනා කියල සහතිකයක් ගේන්න  ඕනි... තව වාහනයේ පොතේ මුල් පිටපත ගේන්න ඕනි. ගිය අවුරුද්දේ ආදායම් බලපත්‍රයත් ගේනවනම් ගොඩක් හොදයි. ඒ වගේම වලංගු රක්ෂණ සහතිකය ඕන කරනව."

"ඉතින් මේ වාහනය ගත්තේ බෑන්ක් ලෝන් එකකට."

"එහෙනම් ඒ බැන්කුවෙන් ගේන්න ඕනි සහතික කරපු පොතේ පිටපතක්...."

"මේ ඔක්කම ටික කරගෙන වෙලාවට ආවොත් ඔයාලටත් ලේසි අපිටත් ලේසි.පරිගණකගත කරපු වැඩසටහනක් නිසා වැඩි වෙලාවක් ගත වෙන්නෙත් නැහැ නේ.තරහ ගන්න දෙයක් නැහැ."

"එතකොට දඩ මුදල්?"

"ආදායම් බල පත්‍රය අවලංගු වෙන දවසෙ ඉදන් දවස් 03ක් යනකම් දඩ අය කරන්නේ නැහැ.ඒත් දවස් තුන පහු වුනාම මුදලෙන් 10%ක දඩයක් ගන්නව.දැන් හිතන්න මේ මහත්තයගේ වාහනේ ත්‍රී විල් එකක් නේද... දඩ මුදල වෙන්නේ 275/=න් 10% ඒ කියන්නේ 27.50යි... ඔක්කම 302.50යි‍"
"මාස 06ක් පහු වුනොත් 20%ක් වෙනව. අවුරුද්දක් නම් 30%යි."

" එහෙනම් හෙට මේ ඔක්කම අඩුපාඩු සම්පූර්ණ කරන් 3ට කලින් එන්න බලන්න."

"තව මේ සම්බන්ධව ගැටළු තියනම් මගෙන් අහන්න කෝ... "

ආදායම් බල පත්‍ර කවුළුවේ ඉන්න
මම
෴ වත්෴

Thursday, July 29, 2010

෴ විඩාබර හසරැල්ල ෴


වෙහෙසකර දිනක අග
මතක පොත පිටු අතර
සරන සිත නතර වන
නුඹයි මගෙ සෙවන රුක

දකින නෙක නෙක මුහුණු
අතර නැති නුඹෙ මුහුණ
දකිමි නෙතු අග කොණක
දසදහස් වර දිනට
  
සිතට සුව ගෙන එන්න
 අමා මියු රස දෙන්න
නුඹෙ සිතට ලංවෙලා
සිසිල් වැසි වස්සන්න

අද මෙතන හෙට එතන
 ගෙවන දින නවතන්න
විඩාබර ජීවිතෙන්
මඳක් මට ඉඩ දෙන්න


විඩාබර හසරැල්ල නෙතු ඉමට ගෙන එන
මම
෴ වත් ෴

Tuesday, July 27, 2010

෴ නරියා , කපුටා, මිදි සහ කේජු ෴



මම පොඩි කාලේ ඉදල දන්න නරියෝ තුන් දෙනෙක් ඉන්නව. එක්කෙනෙක් තමයි අර මිදි තිත්තයි කීව නරියා. අනිත් ‍නරිය තමයි කපුට‍ගේ කේජු කෑල්ල රවටන් කෑව නරිය තුන් වෙනි නරිය තමයි අර ලබු කිරිබත් කන්න ගිහින් නාලා නතර වුන නරිය....

මට නම් හිතෙන විදිහට මේ නරි තුන්දෙනාටම රගපාල තියෙන්නේ එකම නරිය වෙන්න ඇති. ඒ ඇයි කීවොත් ඒ කතා අහන හැමවෙලේම මට මතක්වෙන්නේ එකම නරිය..... අනික මොනා වුනත් මොනා කරත් නරියගේ චරිතෙට තමයි මම ආසම. මොකද ඒ නරිය හරිම නිර්මාණශීලි නරියෙක්. කපටිකම කියන්නේ ඇත්තටම නිර්මාණශීලි දෙයක්.

අපේ තාත්ත හිටිය කාලේ නම් තාත්ත සමහර වෙලාවට මට කියනව 
," ලොකු පුතේ උඹ තමයි නරියටත් කපටිකම් පුරුදු කරන්න ඇත්තෙ " කියල.තාත්ත එහෙම කියන්නේ තරහින් නෙමෙයි හරි ආදරෙන්....
මුරණ්ඩුකම, කපටිකම කියන දේවල් හරි විදිහට දියුණු කර ගන්නව කියන්නේ හැකියාවන් නිවරදි මාවතේ යවනව කියන දේම තමයි.

කිසිදේකට බය නැති තනිවම තීරණ ගන්න පුලුවන් දරුවෙක්ට "මුරණ්ඩුකම හොඳටම වැඩි " කියල බනින්න පෙර හොඳට හිතල බලන්න..

හොඳයි එහෙනම් මම ආවේ කවියක් ලියන්න. සිද්ධ වුනේ කතාවක් ලියන්න...
.


මිදි තිත්තයි මම කන්නේ නැහැ යාලු
නරියෙක් මිදි වැලක් දැකලා කීවාලු
කේජු හොරෙන් උදුරා ගත්තට යාලු
පල දුන්නා උඹට කපුටා කීවාලු

කන්න ගියත් බඩගින්නට ඉඹුල් බත
කන්න නෙවෙයි නාගන්නට වූයේ මට
ඇයිද මන්ද මම ඉන්නා කතන්දර
 මේලෙස නිමා වන්නේ මට තමයි දුක

මිදි කන්නට ගියෙත් බඩගිනි වූ හන්දයි
 කේජු කෑල්ලත් ඉල්ලුවෙ ඒ හන්දයි
ඉඹුල් කිරිබතත් බඩපොජ්ජට නැතිවයි
නරියා නැහුනේ නරියගේ මේ බඩ හින්දයි

“If the lion was advised by the fox, he would be cunning.”
 
නරියගේ කතා වල නරියට කැමති
මම
෴ වත් ෴

හැබෑවටම නරිය මිදි ,කේජු ඉඹුල් කිරිබත් එහෙම කනවද....

෴ නිදහස් අහස ෴


ආදරයෙන් බැදිලා
කිමද තැවෙනුයෙ නුඹලා
ආදරෙන් මිදිලා
එන්න පියඹා යන්න ඇදිලා

ආදරේ කෙරුම
සිත නිවයි මොහොතකට
අන් සෑම විටම
ආදරේ ගෙන දෙන්නෙ
දුකය

දුකේ නිති වෙලිලා
ඒ ගැනම සිහි කරලා
කිමද නිති තැවිලා
එන්න පියඹමු අහස ඇරිලා

Birds have wings; they're free; they can fly where they want when they want. They have the kind of mobility many people envy. 

නිදහස් අහසේ සරන 
මම
෴ වත් ෴

Monday, July 26, 2010

෴ ආදරණීය මිනී මල ෴


සොහොනේ කොනක මිය ගිය සිත් අසල පිපී
සුවඳත් හමන මූසල සුළඟට මුසුවී
බඹරුන් සමණළුන් පමණක් සුවඳ විදී
නුඹෙ මිදුලේ ඉඩක් දුන්නේ ඇයිද නිතී

සුවඳ හමන මිනිසුන් හිඟ මනුසත් උයන
සුවඳ කර පිපුන අරලිය මලයි නුඹ
හිඟ මිනිසුන් අතරට දී පරතරය
නුඹත් ඇවිත් මා නිජ බිම සැතපෙන්න

තම තම නැන පමණින් බ්ලොග් අඩවියේ හිමිකරු අපගේ නැණ පමණට කිසිසේත්ම හසුනොවනා අහඹුවක් යැයි සිතිය නොහැකි ලිපියක් ලියමින් අප අතරින් සදහටම මිලින වී ගොසිනි.

මෙය ඔහුට උපහාරයක්ම වේවා.

සොඳුරු මිනිසුන් හිඟ ලොවේ
ඇයිද නුඹ නික්මුණේ
මම
෴ වත්෴

Sunday, July 25, 2010

෴ වෙනස ෴


ගෙවී ගිය කල පිදූ සෙනෙහස
 කොයිබකද සැඟවී
මගේ පැතුමන් සිතේ හැඟුමන්
නුඹ සිතට බරකී

සදා මා සිත තුරුල් කර ගෙන
පෑ සෙනෙහෙ සිහිවී
මුදා හරිනෙමි කඳුළ මුසු කර
නුඹ ඇයට පුද දී

නුඹට හිමි ලොව ඇයම පමණක්
සිටිනු ඇත ළංවී
අහිමි දේ නොව හිමිවු පෙම ගැන
සිතම් දුක් නොම වී

ඇය සොයා පියඹන්න අවසර
මම නතර වෙන්නම්
මඟ වැරදුනොත් සොයා එනු මැන
මම මෙතන ඉන්නම්

හිමි නැති දේ ගැන හිත හිත දුක් වෙනවද. අහිම් බව දැන ගෙන යන්න ඉඩ දෙනවද....

If you love something, Set it free… If it comes back, it’s yours, If it doesn’t, it never was yours….

නුඹව මිටින් මුදා හළ
මම
෴ වත් ෴

Friday, July 23, 2010

Thursday, July 22, 2010

෴ නුඹ තාම නැහැ ෴


හිරුත් බැස ගොසින් පැය දෙක ගෙවීයයි
සියොත් විහඟ ගී නිවෙනා වෙලාවයි
මගේ හදේ නුඹ ගැන කල්පනාවයි
නාවේ මොකද තාමත්, මා  සිත විඩාවයි

උදෑසනම නුඹ පිටවී යන විටදී
සිප සනසා නුඹ හට සමු දෙන විටදී
"රත්තරනේ පරිස්සමින්" කී විටදී
"විගහින් එන්නෙමි'' යි සවනට මීවිතකී

අතර මගදි කරදරයක් නොම වේවා
 වෙනත් ළඳක් වෙත හදවත නොඇරේවා
සිතත් ගතත් සතපන්නට නුඹ ගාවා
කියු ලෙසම නුඹ විඟහින් පැමිණේවා

"It's so hard livin' here on my own
So please, come home soon"


"කෝ මෙයා, තාම නැහැ නේ"
මඟ බලන් ඉන්නා 
මම
෴ වත් ෴

෴ Copy Paste Blog කලාව ෴

නිර්මාණ කරුවෙකුට නිර්මාණයක් කියන්නේ තමන් වදාපු දරුවෙක් වගෙයි කීවොත් ඔයාල එකඟ වෙයි කියල මට හිතෙනව. නිර්මාණ කරන අය වගේම හදවතින්ම රස විදින අයත් ඒ ගැන දන්නව ඇති කියලත් උපකල්පනය කරනව...



මම නම් මහ ලොකු නිර්මාණකරුවෙක් නෙමෙයි. ඒත් මගේ සිතේ ඉපදිලා මම ලියන වචන දෙක තුනත් ඒ ගැන කියවන අය මට දක්වන ප්‍රතිචාරත් දැක්කම හිතට දැනෙන සතුට දන්නේ තවත් එවැනිම අයෙක් පමණයි....

තමන්ගේ දරුවෙක් පැහැර ගෙන ගිහින් අනුන්ගේ නමක් දාලා හාදා ගත්තොත් කොහොමද දැනෙන්නේ...

ඒ වගේ දේවල් වුන කෙනාට දැනෙන වේදනාව අද මටත් දැනුන....

මම හරිම ආසාවෙන් කියවන කතන්දර ,  හද ගී පොත, දුකාගේ බ්ලොග් එක, විහඟ ගීතය, මාරයාගේ හෝරාව , දුමී ගේ කට කහන කතා ඇතුළු සෑම දිනතම පාහේ ගොස් කියවන රස විදින බ්ලොග් පොස්ට් කෙරෙහි ම.සිතේ ඇත්තේ අපි ආදරෙන් කියවා සැමදා පරිස්සම් සහිතව තියන් ඉන්න පොතකට කියෙන ගෙරවයයි.

නොලියන නමුත් බ්ලොග් කර්වන් එක්ක සැමදා අත්වැල් බැදන් වචනයෙන් දෙකෙන් හරි ගුණ දොස් දක්වන පිරිසත් ඒහා සමානව නිර්මාණවලට ආදරයක් දක්වනව.....

පරිගණකයටත් අන්තර්ජාලයටත් පින්සිද්ධ වෙන්න  මමත් කවිකාරියෙක් කතා කාරියෙක් වුනේ නොසිතූ නොපැතූ විදිහට... ඇත්තම කියනව නම් මගේ සිතේ කැඩපතක් වගේ තමයි මගේ බ්ලොග් එක.

මගේ කියල කට පුරා කියන්න පුලුවන් තවත් වටිනා දෙයක් තමයි මගේ බ්ලොග් එක...

එහෙත් පරිගණකයේ තියෙන නරකම වචන දෙක විදිහට COPY & PASTE මම දකින්නේ ඇයි කියල මෙතනටම ගිහින් බලන්න.................

මා ඇතුළු මා ආදරය කරන බ්ලොග් කරුවන් කිහිපදෙනෙක්ම කොපි පේස්ට් වී ඇත..............


 කොපි පේස්ට් කරනයට ලක් වූ
මම
෴ වත් ෴

Tuesday, July 20, 2010

෴ දඟ ‍දෝණි ෴ (02)


ඇයව සැමතැනකම සොයා හෙම්බත් වූ අපි අවසානයේදී කුමක් කරන්නේදැයි සිතා ගත නොහැකිව බලාගත් අත බලා සිටින්නට වූයෙමු.


" දුවේ නරකද රාලහාමිට පණිවිඩයක් යැවුවොත්" නුවන්ගේ අත්තම්මා අපේ අම්මාට කියනු මට ඇසුනි.

රාලහාමි කියන්නේ අපේ තාත්තාටයි. අපේ තාත්තා වැඩ කරන්නේ අප නිවසේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා ඇති පොලිස් මුරපොලේය.

එක නිවසක වැඩි කාලයක් වාසය කිරීමට අපිට නොහැකි වූවේ අපේ තාත්තාගේ මේ රැකියාව නිසයි. මීට පෙර පොලිස් නිල නිවාසයේ රැදී සිටයද යාබද නිල නිවසේ වාසය කළ පොලිස් අංකල් පාට වතුර බීවාට පසු කැත වචන කියන නිසා තාත්තා අපිව මේ කුලී නිවසට රැගෙන ආවේය.

" අනේ ඩිංගි අම්මේ , මම කොහොමද කටක් ඇරල ඒ මනුස්සයට මේ වග කියන්නේ,"

"එහෙම කියල බෑනේ දුවේ. අපි මේ පොඩි දැරිවි සොයා ගන්න ඕන නේද?"

කොහොමත් තව සුළු වේලාවකින් තාත්තා ගෙදරට ගොඩ වෙන්නේ " කෝ මගේ සුදු බෝණික්කි " කියාගෙනයි.

සුදු නංගි ගෙදරට ආපසු තාත්තා මට ආදරේ නැති ගානය. නංගි හොයාගන්න බැරි වුනොත් හොඳයි. මගේ නපුරු අර්ධයට එසේ සිතුනත්.ඇගේ රෝස කම්මුල් සහ හුරතල් මුහුණ මතක් වෙන විට ම'සිත වාවන්නේ නැත.

මහ පාරේ සිට නිවසට පැමිණෙන සෘජු පාර දෙස මම නෙත් හෙලුවේ තාත්තාගේ පැමිණීම අපේක්ෂාවෙනි. රථ වාහන තදබදයක ලකුණූ ඈතින් පෙනෙන මහ පාරේ දැකිය හැකි වූ අතර වාහන නලා ඝෝෂාවද කන බිහිරි කරන තරම්ය...

"අම්මා නංගි පාරට ගිහින්වත් ද? "

" පිස්සුද ළමයෝ... ඒ දරුවට තාම ඇවිදගන්නවත් බැහැ හරියට'


" හසිත ළමයෝ ඔය බයිසිකලෙන් ගිහින් රාලහාමිට පණිවිඩේ කියල වරෙන් කෝ"


ඩිංගි අම්මා පවසනු ඇසුණු මා..........


" අනේ අම්මා මාත් යන්නම් අයියත් එක්ක"


" ළමයෝ කරදර කරන්න එපා. ඔය විදිහට යන්න පුලුවන්ද යන්න ගිහින් වෙන ඇදුමක් දාන් එන්න"


" අනේ අම්ම මට බැහැනේ අල්මාරි අරින්න"


" යතුරු දාලා නැහැ ළමයෝ "


" හසිත අයියා .. මා එනකම් ඉන්න එහෙනම්" පවසා මා ගෙතුලට දුවගෙන එන විටම වාගේ ඔහු බයිසිකලයෙන් පිටත් වන හඩ මට ඇසුණී. මා රවටා ගෙතුලට එවුවත්. අම්මාගේ සුවඳ හමන අල්මාරියට බැසීමට තියන අනගි අවස්ථාව මඟහැර ගත නොහැක.



මගේ දඟ වැඩ නිසා නිතර යතුරු අගුළු ලා තිබ්බද යතුර වැරදී හෝ මා අතට අසුවුව හොත් පුටුවක පිහිටෙන් දොර අගුල හැර ගැනිමට මට පුලුවන. ඒ බව දන්නා අම්මා දැන් යතුර සගවන  නව ස්ථානය සොයා ගැනීමට තෙරම් දස්සී වුවත් මට තවමත් නොහැකි විය....


අම්මාගේ කාමරයට එඹුන මට අඩවල් වූ දොර සහිත අල්මාරිය දුටු විට සිත පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේය. ඇරල තියෙන්නෙත් ඇගේ ලස්සන සාරි තියන කොටසම වීම මගේ සිතේ ප්‍රිතිය තවත් වැඩි කරන දසුනක්ම විය....


එතනට කිට්ටු වූ මම අඩවන් අල්මාරි පියන තවත් ටිකක් විවර කෙරුවා පමණි....


දෑස් අදහා ගත නොහැක....


" අම්මා ..."
" අම්මා"
" අම්මා මෙහෙ එන්න අම්මා"


අම්මාගේ සාරි ගොඩ උඩ පුංචි හා පැටියකු මෙන් නිදා සිටින්නේ කවුද?


අපේ නැතිවුන පොඩි හා පැටික්කි. මගේ බෙරිහන් දීමේන් කැළඹුන අම්මා ඇතුළු සමූහයා දිව ගෙන ආවේ අලි මදිවට කොටි මෙන් මටත් කරදරයක් දෝයි සිතමින් විය හැකිය...


" අම්මා අම්මා....  දෝණි බබා ඉන්නව අම්ම මේ බලන්න"



Memory... is the diary that we all carry about with us
-------------------------------------------------------------------------------------------------
ඒ එදා කතාවයි... කාලය කෙතරම් ගෙවී ගියත් මෙවැනි සිදුවීම් මතකයේ රැදෙන්නේ ඇයිදැයි අරුමයකි. ඇය දැන් අප නිවහනේ නැත. මා කලින් බ්ලොග් පොස්ට් එකක සඳහන් කළා මෙන් ඇය දැන් දීගෙක ගොසිනි. මතකය පමණක් සදා සිත තුල තැන්පත් වී ඇත.


ඇය සොයා ගත් දස්සී
මම
෴ වත් ෴

Monday, July 19, 2010

෴ දඟ දෝණි ෴ (01)


එකල අප පදිංචි වී සිටි පරණ තාලේ කූලී නිවහන වූයේ කොළඹ නුවර පාරේ සිට මීටර් සියයක් පමණ දුරිනි.... අඩි තුනක පමණ සෘජු කෙටි පාරක් මහපාරේ සිට නිවසට ඒමට ඇත.මේ ලියන සිද්ධිදාමය සිදුවන විට මම අවුරුදු 6 ක පමණ කුඩා හුරුබුහුටි දැරියකි.මගේ නැගණියගේ සුළු සුළු කටයුතු සදහා එතසිතින්ම හවුල් වූ මගේ සොඳුරුතම කාලයයි ඒ.................


පැරණි ඕලන්ද කාලයේ නිවසකැයි සිතිය හැකි එයට ගොඩ වීමට දිගැති පඩි පේළි 5 ක් විය. පඩි ‍පේළි නිසා නැගණිය බලාගැනීමද ඉතා අසීරු කටයුත්තක් විය.පඩි පේලී නැග ආ පසු ඇත්තේ තරමක් විශාල ආලින්දයකි.සෙල්ලම් කිරීමට නම් කියාපු තැන.

" පුංචි දෝණිව බලා ගන්න තේරුනාද, අම්ම ඉක්මනින් එන්නම් කුස්සියට ගිහින්, පඩි පෙළ බහින්න දේනන් එපා නංගිට තේරුනා නේද "

අම්මාගේ ඒවදන් සුළඟට මුසු වුනා පමණි.  එහා ගෙදර මල්ලීත් සමඟ එක්ව මම කරන බරපතල රාජකාරියට ඇයට නොපෙනෙන් නේද? චූටි නැගණිය බලාගන්න තරම් දෙයක් නැත. ඇයට තවම වයස වසර අවුරුද්ද පසු වූවා පමණි. ඇය කරන එකම වරද අතට අසුවන ඕනැම දෙයක් හැකි විගසින් කටේ රුවා ගැනීමත් බඩගිනි වූ විට කණ කීරී ගැසෙන ලෙස හැඩීමත් පමණි.  මේ බව අම්මා දන්නා නිසාම නිවසේ බිම නිරතුරුව පිරිසිදුවත් ඇගේ උක්කුන් බන්ඩිය හිස් වන්නට නොදීත් පවත්වා ගෙන යෑමට හැකි සෑම වෙහෙසක්ම ගන්නීය.

සුදු පුළුන් බෝලයක් වැනි ඇය කකුළේ තබා නැලවීමටත් ඇගේ පුංචි රෝස කම්මුල් සිප ගැනීමටත් මම ඉතා ආසා කරමි. කකුලේ තබා නැලවිමට අම්මා ඉඩ දුන්නද ඇගේ රෝස කම්මුල් සිපගන්නට නම් අම්මා ඉඩ දෙන්නේ නැත.

අපේ සෙල්ලම් ගෙදරට ඇයව කැදවා ගත නොහැකිය. ඒ ඇය සෙල්ලම් ගෙදර විනාශ කරන තැනට කටයුතු කරන බැවිනි.ඇය රවටා ගත යුතුය. නැතිනම් සෙල්ලම ලෙල්ලම වන්නට මහ කාලයක් යන්නේ නැත.

චූටී නංගී ලගට ගිය මම

" මගේ සුදු බෝනික්කෝ. අක්කා දැන් සෙල්ලම් කරනවනේ බබෝ.... අක්කට කරදර නොකර මෙතනින් හෙල්වෙන්නෙ නැතිව ඉන්න හොද බබා වගේ හරිද."දැයි පවසා ලද විගසින් ඇගේ රෝස කම්මුල් සිත්සේ සිප ගතිමි.

 තාත්තා විසින් අපට සෙල්ලම් කරන්නට ගෙනැවිත් දී තිබූ දිග  අඩි 3ක් පලල අඩි 2ක් සහ උස අඩියක් පමණ වන සැහැල්ලු කාඩ්බෝඩ් පෙට්ටිය තුලින් ඇයව තැබුවෙමි. පෙට්ටියක් වුවත් එහි ඇත්තේ වැටක් වැනි වටයක් පමණි. පතුල සහ වහල නොමැත....

ඇය එතුලට වී විටින් විට විවිද හඩ තලමින් සිටුනු මට ඇසුන අතර සෙල්ලම් ගෙදර අම්මා වූ මට වැඩ වැඩි වූයෙන් ඇය ගැන සිහිය මතකයෙන් ගිලිහී ගියේ නිතැතිනි....

කාලය ගත විය...  සෙල්ලම් ගෙදර අම්මා වූ මා සමඟ සෙල්ලම් ගෙදර තාත්තා වූ එහා ගෙදර නුවන් ඇරඹි රන්ඩුව මහ කාලගෝට්ටියක් වන්නට වැඩි වේලා ගත වූයේ නැත.

"මොනාද ළමයිනේ රණ්ඩු වෙන්නේ.., මම දැන් ඔය සෙල්ලම් ගෙදර කඩලා විසිකරල දානව හරිද.. රණ්ඩු නොවී සෙල්ලම් කරන්න ඉගෙන ගන්නෙ කවදද ළමයිනේ. කෝ නුවන් මොකද ළමයෝ වුනේ...,"

"නැහැ නැන්දේ ,මේ වත් කියනව මට කඩේ යන්නලු. පිරිමි ළමයි කඩේ යන්නෙ නැහැනේ නැන්දේ"

"ආහ්...එහෙනම් අපේ තාත්තා කඩේ යන්නේ. තාත්ත තමයි ඔක්කම දේවල් ගෙනත් දෙන්නේ. නේද අම්මා..."

"අනේ ළමයිනේ රණ්ඩු ඇති.... කෝ මගේ චූටි දෝණි.."

" කෝ ළමයෝ නංගි.."

"මම ආන් අර පෙටිට්ය ඇතුලෙන් තිවුව... කොහෙවත් යන්න බැරි වෙන්න..."

අම්මා මට බනිමින් ගොස් පෙට්ටිය තුලට එඹී බලා...

"කෝ ළමයෝ නංගී නංගි නැහැ නේ..."

"අපෝ එයා කොහෙ යන්නද?  ඕක ඇතුලෙ තමයි ඇත්තේ" පවසමින් මමද ගොස් එඹී බැලීමි.

"අනේ මගේ සුදු පුලුන්  බෝලේ කෝ එයා....."

හඩමින් කැගසිමන් අම්මාත් මමත් නුවනුත් නංගීව සෙවීමේ මහා මෙහෙයුම දියත් කෙරුවෙමු.

තාත්තා ගෙදර එන වේලාවත් ලගය. ආ ගමන් සොයන නංගී දැන් ගෙදර කොහිද....

ගෙදර සැමතැනමත්. මිදුල පුරාත් ඇය සෙවූ අපි... අවසානයේ අකමැත්තෙන් වුවුද ලිඳ තුලද ඇය සෙවුවෙමු....

"අනේ මගෙ සුදු නංගි ........." 

නුවන් දිව ගොස් ගම පුරා ආරංචිය පා කර හැරීයෙන් මුලු ගමක්ම එක්ව නැගණිය සොයන්නට විය......

"හරි ෂෝක් දැන් කාලේ අම්මල ළමයි බලා ගන්න හැටි"

එහා ගෙදර නුවන්ගේ ආත්තම්මා මගේ අම්මාට දොස් කියයි... 

"අම්ම නෙමෙයි ආත්තම්මේ මමයි නංගිව බලාගත්තෙ නැත්තේ"

" මේ පොඩි දර්වන්ට පුලුවන්ද තව පොඩි දරුවෙක් බලා ගන්න. මහවුන්ගේ වැරදි ,"

" අනේ ..ආත්තම්මේ..කට පියාගෙන නංගිව සොයා දෙන්න කෝ"

" අනේ බුදු සාධු ... මගේ පුංචි හා පැටියව මට සොයා දෙන්න උදවු කරන්න. මම හැමදාම පාර ඉස්සරහ ඉන්න හිඟන සීයට මම ටොපි කන සල්ලි වලින් රුපියලක් දෙන්නම්"

නැගණිය සොයන මහ මෙහෙයුමේ යෙදී සිටින පුංචි 
මම
෴ වත් ෴

෴ සබඳ නුඹට ෴



නෙතට නෙත එඹි නුඹ තුල මා දකින
අතට අත රැදී වෙරළේ පිය මනින
සිතට සිත පුදා කල් ගිය ද අද
සබඳ කෙදිනදෝ හැබහින් නෙත ගැටෙන

නුඹට හිමි විසල් ලොව තුල මටද ඉඩ
සාදා දී සෙවන සෙනෙහස සමඟ සිත
උදා වන හිරු ලෙසින් නව දින රැගෙන මට
විගහින් වඩිනු සබ‍දේ මම තනිව ඇත

ගෙවී ගිය අදුරු දිවි මඟ එළිය කර
දල්වන්නම් පහන් සිළුවක් නුඹගෙ සිත
වියළි ගිය කතර අතර පිපි කුසුම ලෙස
සෙනෙහේ සිසිල් දිය ඉසිනෙමි සිතට මම 



කතරට වසන්තය ගෙන එන
මම
෴  වත් ෴

Sunday, July 18, 2010

෴ උජාරුව ෴


ඉස්සර දවසක මම 
උජාරුවෙන් හිටිය 
නුඹේ හිසටත් ඉහලින්
සුළඟට වැනි වැනී
කවුද හිතුවෙ ඒ සුළඟම
දවසක මාව
නු‍ඹේ පය පාමුලට 
ඇද දමාවි කියල



මට සමා වෙන්න
උජාරුවෙන් හිටිය 
මම
෴  වත් ෴

Saturday, July 17, 2010

෴ හදුනාගන්න ඇය ඇය ලෙසින් ෴




මගේ ෴ ගැහැණු සහ පිරිමි ෴ කියන ලිපියේ ඉතිරි ටික තමයි මේ.........................

ගැහැණු අපිට පිරිමි අය ගැහැණු අයගෙන් දකින්න කැමති දේ හිතාගන්න අමාරු වුනාට... පිරිමි අය නම් ගැහැණු අපි පිරිමි ගැන හිතන විදිහ හරියට තේරුම් අරන් කියල ඒ පොතේ තිබ්බ.....

ඒ පොතේ විදිහට නම්

ගැහැණුන් පිරිමි සහකරුවෙක් ගෙන් සොයන්නේ මේවායි

01) පෞර්ෂත්වය
02) විනෝදකාම් බව ( හාස්‍ය ප්‍රිය )
03) සංවේදී බව
04) බුද්ධිමත් බව
05) හොඳ ශරීරයක්


ගැහැණු අය බලාපොරොත්තු වනවායි පිරිමි අය සිතන දේවල්
01) පෞර්ෂත්වය
02) හොඳ ශරීරයක්
03) විනෝදකාම් බව ( හාස්‍ය ප්‍රිය )
04)  සංවේදී බව
05) කඩවසම් පෙනුම

අනේ මන්ද ඉතින්.... වසර ගානක් එකට ආශ්‍රය කරත් මේ ජීවිත කතරේ තේරුම් ගන්න බැරි හිත් නම් අනන්තයි අප්‍රමාණයි.....

අඩු ගණනේ ... ජීවිත කාලයක් එකට අත්වැල අල්ලන් යන්න ඉන්න තැනැත්තා හෝ තැනැත්තියවත් වත් හරියට තේරුම් ගන්න පුලුවන් නම් ඒක අපේ වාසනාව නේද......

වෙස් මුහුණු පැලදගෙන ජීවත් වෙනවට වඩා සමීපතම සහකරු/සහකාරියටවත් මුලු හිතින්ම විවෘත වෙනව නම් කොයි තරම් හොඳද.......

ගතින් නිරුවත් කරනවට වඩා කෙනෙක් සිතින් නිරුවත් කරන්න හරිම අමාරුයි නේද......

ගැහැණියකගේ නියම ලස්සන දකින්න පුලුවන් ගැහැණියක් සිතින් නිරුවත් වුනහම කියල මම අහල තියෙනව.... ඒ කියන්නේ ඇය සිතන පතන විදිහ ඇගේ හැගීම් වගේ දේවල් නියම විදිහටම දැන ගන්න පුලුවන් නම් ලු.... නැත්තම් හිත කියන්නේ රහස් ගුහාවල්.... 

“A closed mind is like a closed book; just a block of wood”


නුඹේ සිත් ගත් සතුටු විල මැද
සුපිපෙන්න නෙළුමක් ලෙසින්
මගේ හදවත දිනාගත් නුඹ
හැඳින ගනු මා නිසි ලෙසින්

හඳුනා ගන්න
මම
෴වත්෴

Friday, July 16, 2010

෴ තුරු සෙවන ෴


ගිනි ගහන ජීවිතේ
සිසිල දී නුඹ සිතේ
රදවන්න සනසන්න
සුවඳ දී ආදරේ

විසල් නුග රුක නුඹයි
 වෙලී ඇති වැල මමයි
නුඹ නොමැති දිනක මගෙ
පැවැත්මත් නැති හැඩයි 

සිත පුරා මුල් ඇද්ද
ගත පුරා අතු පතර
වනස්පති නුඹ මගේ
හැඩකරන දිවි අරණ

-------------------------------------------------------------------------------

දුමී අයිය කීව හරි..... ගහයි වැලයි වගේ තමයි ගැහැණියයි පිරිමියයි ඉන්න ඕන................

දුමී අයියගේ වචන වලින් කීවොත්

ගැහැණිය හැම තිස්සෙම වැලක් වගේ. එයාට එතෙන්න ශක්තිමත් ගහක් තමයි ඒ වැල හැම තිස්සෙම බලාපොරොත්තු වෙන්නෙ. ඒ වගෙම ජීවිත කාලෙටම ආරක්ෂාව සහ රැකවරණය අර ගහ යට තියෙනවනම් වැලකට ඊට වඩා දෙයක් අවශ්‍ය වෙන්නෙ නැහැ.
-----------------------------------------------------------------------------

ලතාවක් සේ වෙලී සියොලග පතමි රෑකවරණය ඔබෙන්..... කියල ගීතයකුත් තියෙනව නෙ නේද...........

මගේ නුග රැක නම් මේ දවස් වල ගොඩක් දුර ඉන්නේ......

නුග රැක මුල තනි රකින 
මම
෴වත්෴

෴ ගැහැණු සහ පිරිමි ෴


ලස්සනත් එක්කම එකට ගැටගැහුන වචනයක් තමයි ගැහැණිය.... ඔවු සැබැවින්ම දෙවියන් ලෝකය මැවුවා නම් දෙවියන් මවපු ලස්සනම දේ තමයි ගැහැණිය.... හැම ගැහැණියක්ම මොන විදිහකට හරි ලස්සනයි ලු... ඒත් ගැහැණියට තමා කොච්චර ලස්සන වුනත් මදි. ඒකනේ කොස්මටික් වලට මෙච්චර ඉල්ලුම තියෙන්නේ......

ඒත් දැන් දැන් ලස්සන වෙන්න පිරිමි අයත් හරිම උනන්දුවක් දක්වනව කියල මට හිතෙනව... පිරිමින්ට අපි ලස්සනයි කියන වචනය බාවිත කරනව හරිම අඩුයි.ඒක පිරිමින්ට කරන මදි කමක් වගේ.... හැන්ඩ්සම් ... එහෙමත් නැත්තම් කඩවසම් හාදයා කියල තමයි පිරිමින්ට කියන්නේ....

අපි ලස්සන දකින විදිහ රස විදින විදිහ අපේ වයසත් එක්කත් පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් එක්කත් වෙනස් වෙනව කියල මට හිතෙනව....

අපි පාසල් යන අවධියේ දැකපු ලස්සනට හාත්පසින්ම වෙනස් විදිහට ලස්සන දකින්න අපිට පුලුවන් වෙන්නේ අපි මැදිවියට ලන් වුනාම...

ගැහැණියක් විදිහට හිතුවොත් ගැහැණිය හිතන්නේ පිරිමින් තමා දෙස බලන්නේ තමන්ගෙන් සොයන්නේ ලස්සන සහ ආදරය කියායි....

ඒත් පොතේ හැටියට නම් වැඩේ මෙහෙම ලු.....
 ( මේ කරුණු නම් මම කියපුවා නෙමෙයි... පොතකින් උපුටා ගත්ත දෙයක් )

පිරිමි ගැහැණුන්ගෙන් බලාපොරොත්තු                         පිරිමි බලාපොරොත්තු වෙනවා යැයි ගැහැණිය
වන්නේ                                                                       සිතන්නේ
1පෞර්ෂය                                                                     1හොඳ පෙනුම
2හොඳ පෙනුම                                                              2හොඳ ශරීරය
3බුද්ධිය                                                                        3පියයුරු
4විනෝදකාමී බව (හාස්‍ය ප්‍රිය)                                        4 තට්ටම්
5හොඳ ශරීරය                                                               5පෞර්ෂය  


 ඔන්න බලන්න ඉතින්....අපි හිතන්නේ කොඓාමද එයාල හිතන්නේ කොහොමද.... මේ පේන විදිහට නම් පිරිමියෙක් තම දිගුකාලීන සහකාරිය තේරීමේදී වැදගත් කොට සලකනු ලබන කරුණු ගැන ගැහැනුන්ට ඇත්තේ ඉතාම සුළු අවබෝධයක්....

ගැහැණු අය ඉහත පරිදි හිතන්න පුරුදුවෙලා තියෙන්නේත් පිරිමි අය ගේ හැසිරීම සහ කතා කරන දෙය ඇසීමෙන් වෙන්න පුලුවන්.

මටනම් හිතෙන්නෙ

ජීවිතේම මැජික් එකක් කියල......

මැජික්කරුවටත් හරියටම ගැලපෙන විශ්වාසවන්ත සහකාරියක් නොලැබුනොත් මැජික් රහස් ටික ඉක්මනින්ම පිට යනව... මැජික් බලන්න කට්ටිය එන්නෙ නැති වෙනව.... ඉතින් මැජික් එකක් වගේ ජීවිතේ ලස්සන පුදුමාකාර දේවල් එක්ක ඉදිරියට යන්න නම් අපි දෙගොල්ලන්ගේ නොගැලපීමේ තියෙන ලස්සන දකින්න අපි පුරුදු වෙන්න ඕනි නේද...................

ඉතින් මට නම් පිරිමි නුඹත් හරිම ලස්සනයි.....................

ජීවි‍තය නම් මැජික්කරුවා සොයන
මම
෴වත්෴

 හෙට මම කියන්නම් ගැහැණු බලනවා යැයි පිරිමින් සිතන දේවල් සහ සැබැවින්ම ගැහැණිය පිරිම්න්ගෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද කියල... (ඒකේ නම් වැඩි වෙනසක් නැහැ හැබැයි )

Thursday, July 15, 2010

෴ ඇය (3)෴

නැවත්ත සිහි එළඹෙන විට මා දුටුවේ මා වටා සිටින හෙදියන් කිහිපදෙනෙක් සහ වෛද්‍යවරයෙක් පමණි. ඇය නැත.....

මම ක්‍රමයෙන් යළිත් සුවපත් වෙමින් සිටියෙමි... 

බද්ධ කරන ලද වගුගඩුව පිහිටෙන් යළිත් ජීවිතය ලබමින්සිටියෙමි.....මා ජීවිතයට විටින් විට එමින් යමින් වද දෙන ඇය ගැන නම් මගේ සිතේ ඇති වූයේ කිව නොහැති තරමේ කණගාටුවකි...තරමක් සුව අතට හැරෙන තෙක් රෝහලෙන් පිටමන් කළ නොහැකි බව පැවසූ හෙයින් මතක ලොවේ සැරිසරන්නට කාලය නම් බොහෝය...............

ඇය විසින් සියල්ල මට පැහැදිලි කළ යුතුව තිබුනා නොවේදැයි මට සිතුනේ අප වෙන් වී ගොස් වසර කිහිපයකට පසුව හමුවූ අනුරගෙන් මට ලැබුන ආරංචිය නිසාය....

"මචං කසුන් පවු බන් සඳළි.අනුන්ගේ දරුවෙක් නිසා තමන්ගේ ජීවිතේ විදවනව."

"අනුන්ගේ... මොන ... ඕකිට ඔහොම වෙලා මදි බන් මට කළ දේට...."

"උඹ මොනාද මේ දොඩවන්නේ... උඹත් ඒ වෙලාවේ ඒකිව මඟ ඇරිය නේ....දැන් ඒකි දහදුක් විදගෙන අර දරුවට උගන්වනව..."

"උඹ කියන්නේ මට අනුන්ගේ දරුවෙක්ට තාත්ත වෙන්න කියලද?"

"පණ ඇරගෙන සඳළිට ආදරේ කරපු උඹට බැහැ නේද ඒ අහිංසක කෙල්ලට තාත්ත වෙන්න.සදළි එහෙනම් කොහොමද බන් වෙන කෙනෙක් ගේ දරුවෙක්ට අම්ම වුනේ...? තමන්ගේ සහෝදරී බව ඇත්ත ඒත් මොන ගෑණිද බන් තමන්ගෙ ජීවිතේ උගසට තියල වෙන ජීවිතයක් වෙනුවෙන් නැහැන්නේ....‍‍බොට තිබුන ඒකිට උදවුවක් කරන්න...."


"මොනාද මේ කියන්නේ අනුර...."

"ඒ කියන්නේ උඹ දන්නේ නැද්ද..සඳළී හදන්නේ එයාගේ අක්කගේ දුව....අක්ක අවජාතක දරුවෙක් සඳළිට දීල ජීවිතෙන් සමුගත්ත...." 

ඇය මා රවටා ඇති තරම... 
මම රැවටී ඇති තරම... 
එහෙත් යලිත් ඇය නොපෙනී ගියේ මන්ද... මා ශල්‍යකර්මයට ලක්වී සිටියදීවත් මා බලන්න නාවේ ඇයි....

"කසුන් ‍මාමා අපි ආවේ ඔයාව ගෙදර එක්ක යන්න ... "

මගේ අක්කාගේ එකම පුත්‍රරත්නයගේ හඩින් බිද වැටුන සිහින මාලිගා සියල්ල එක්කාසු කර ගනිමින්  නැවතත් නිවහනට යෑමට කාලය පැමිණ ඇත..

"මාමා .. මහන්සිවෙන්න එපා කියල ඩොක්ට කීව. වීල් චෙයාර් එකේ තමයි එක්කන් යන්න වෙන්නේ...."

මගේ බර දරාගත් වීල්චෙයාර් එක රෝහල් පහත මාලයේ පිළිගැනීමේ කවුන්ටරය ලඟ මොහෙතෙකට නතර විය...

"මාමා ඔහොම ඉන්න ටිකක්. මම කාර් එක පාක් එකෙන් අරන් එන්නම්.."

ලැබූ ඉසිඹුවෙන් වට පිට බලන මා නෙතට හසුවූයේ දුක්බර මුහුණින් යුතුව රෝහල තුල සිට මා සිටින දෙසට පියමැනූ ආච්චි සහ මිණිබිරිය යැයි සිතිය හැකි වයස 12ක පමණ ගැහැණු දරුවකු සහ වයස 65ක් හෝ ඊට වැඩි ගැහැණියකි.

පිලිගැණිමේ කවුන්ටරය අසල නතර වූ ඔවුන් ... 

"මිසී නෝන සදළි ඉන්නේ මොන වා‍ට්ටුවේ ද... කලින් හිටිය වාට්ටුව හැමතැනම බැලුව .. මෙතනින් අහන්නෙයි කියල මට කීව. මගෙ කෙල්ලට මොනා වෙලාද නෝනෙ"

"සඳළි,මෙහෙ සඳළිල කීදෙනෙක් ඉන්නවද? මොන සඳළි ගැනද අහන්නේ?"

"නෝනා අර වගුගඩුවක් ඔපරේශන් එකකට මහත්තයෙකුට වගුගඩුවක් දීපු සඳළි"

"ආහ් එයාද.... එයාට ටිකක් අමාරු වෙලා අද උදේ කොළඹ අරන් ගියා...."

"අනේ මගෙ කෙල්ල නෝනේ...මම එපා කියද්දි තමයි කෙල්ල ඔය දේ කළේ....මගේ අහිංසක එකී...මේ පුංචි කෙල්ල නිසා ජීවිතේම තනිකර ගත්ත.දැන් කොහෙවත් යන මහත්තයෙක් නිසා ජීවිතෙත් නැති කර ගන්නයි හදන්නේ අනේ මගේ කෙල්ල...."


ඇගේ කතාවේ අවසානය සනිටුහන් කළ
මම
෴වත්෴

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...