..... I am the poem that's  yours but doesn't belong to you ever,...

Friday, April 30, 2010

෴ ඇය මඟ බලන්නීය ෴



ඇය දැන් කිවාරයක් නම් සිය ජංගම දුරකතනය දෙස නෙත් හෙලුවා දැයි නිනවුවක් නැත. වයර් දිගේ ගලාගෙන එන ඔහුගේ වේගවත් කතා විලාශයට ඇය සවන් දෙන්නේ මුලු ලොවක් තමා දෙස බලා සිටන බව අමතක කරමිනි.

තමාට ඔහු හා එකම සෙවනක වාසය කිරීමට ලැබෙන හෝ නොලැබෙන බව දන්නේ දෙවියන්ම පමණි.එබැවින් ඇය ඒ ගැන සිතීමෙන් තම සිත නිදහස් කර ගෙන ඇත.

ඈගේ සම වයසේ පෙම්වතුන්, පෙම්වතියන්ට මුහුණ පෑමට වෙන ගැටළු වලට හාත්පසින්ම වෙනස් වන ගැටළු කිහිපයකටම ඇය මුහුණ දිය යුතුව ඇත.සැබැවින්ම ඒවා ගැටළු වන්නේ ඇයට හෝ ඔහුට නොවේ.ඔවුන් ජීවත් වන සමාජය තුල හා ඔවුන් අවට සිටිනා සහෝදර සහෝදරියන්ට හා නෑදෑ හිතමිතුරන්ටය.

මේ සියල්ල පසෙක තබා ඇයත් ඔහුත් ගැන විමසා බැලූ විට ඇය මෙතෙක් කල් සෙවූ දේ ඇයට ලැබී ඇති බැවි පැහැදිලි සත්‍යයකි. ඇඟේ දිදුලන දෑසත් ප්‍රිතිමත් මුහුණත් ඒ බව හඟවන කදිම සාක්ෂි වේ. මෙවන් කාරුණික උණූසුම් හදවතක් ඈති මිනිසකු ප්‍රතික්ෂේප කරන ගැහැණිය කවුදැයි ඇගේ සීතේ සීමා මායිම් වලට නම් හසු නොවේ... 

ඇය සිතන පරිදි ඇය කටු ඇති ලස්සන රෝස මලකට වඩා කාගේත් සිත් අඩුවෙන් පැහැර ගන්නා , බුදුන් පුදන්නට පමණක් නෙලා ගන්නා වතු සුද්ද මලකි.පමා වී හෝ ඒ මලේ පැහැය ,සුවඳ හා නියම වටිනාකම ඇදිනගැනිමට ඔහුට හැකියාව ලැබීම ඇගේ භාග්‍යක් බව ඇය සිතන්නීය....

ඔහු ඇගෙන් කෙතරම් දුරක සිටියත් ඔහුගේ සුවඳ , ඔහුගේ සෙනෙහස , ඔහුගේ සිතුවිලි ඇය වටා නිතරම දැවටෙමින් ඇති බැවි සිතෙන විට ඇය ළඟ ඇත්තේ ඇය පමණක් නොවේ නේදයි හැඟීමෙන් ඇගේ සොඳුරු දෑස් දීප්තියෙන් බබලයි....

අවසානයේ ඇය තීරණයක් ගත්තාය. ලොව කෙසේ කීවත් ඔහු වෙනුවෙන් ඇගේ සිතේ ආදරය දුරස් නොකිරීමියි ඇය සිතුවාය. 

ඔහු කෙරේ ඇගේ සිතේ පවතින පිරිසිදු ආදරය දළු දමා වැඩෙන දිනය වැඩි ඈතක නොවන බව මගේ මතයයි.... 

සියලු දේ පිළිබඳව මැදිහත් සිතින් විමසා බලා ඇගේ ජීවිතය ඇයට ලබා දීමට ඇගේ අවට සිටින පිරිවරට හැකිවේවා යි ප්‍රාර්ථනා කරමු......

ඇගේ ඇසින් ලොව දකින  
මම
෴වත්෴

෴ තරුව ෴




අහස කොනක පායා විත්
සැමඟෙ නෙතින් වසන් වෙලා
මගේ පුංචි ආලෝකය 
දුන්න තරුව මං 

ආලෝකය මදි වුනාද
මා නොපෙනී ගිය නිසාද
අහස් ගවුවෙ අනන්තයට 
තල්ලු වුනා මං

එක දවසක් අමාවකයි
නුඹ මා දුටුවේ එදිනයි
 නුඹට පාර පෙන්නන්නට 
එළිය වුනා මං 

හදවත් වල සහන් එළිය
එළිය කරයි අපේ පැතුම
සඳ ඇති පුන් පෝදාටත්
නුඹට පේනේ මං

  • මම මේ කීවේ ඉඳල හිටල හරි කාට කාටත් පේන තරු ගැන නෙ​මෙයි....  
  • රූපවාහිනි නාලිකා වල නිතර බිහිවෙන සුපිරි තරු ගැනත් නෙමෙයි.
  • ලෝකෙටම අමතක වෙලා තිබිච්ච ඒත් හැමදාමත් අහසෙ ඉඳන් තමන්ට පුළුවන් විදිහට ලොකෙට එළිය දීපු පුංචි තරුවක් ගැනයි....
  • ඒ තරුව දැන් ඉන්නෙ හරිම සතුටින් ... ඒ ඇයි කියල ඔයාලට හිතාගන්න පුළුවන් නේද...........

තරු පිරුන මන්දාකිණියෙ සතුටින්ම ඉන්න පුංචි තරුව
මම
෴ වත්෴

Wednesday, April 28, 2010

෴ ඇමතුම ෴

 


තප්පර කටුව පැය කටුවක් වෙලා වගෙයි
ලෝකේ කැරකෙන්න අමතක වෙලා වගෙයි
දුරකතනය දවසෙම ගොළු වෙලා වගෙයි
නැතිනම් ඔබට මා අමතක වෙලා වගෙයි

ට්‍රීං ට්‍රීං ට්‍රීං .................................

හෙලෝව් ..........................

​මඟ බලන් ඉන්න 
මම
෴ වත් ෴


Tuesday, April 27, 2010

෴ පමා වූ සෙනෙහස ෴



විහඟ තුඩ තුඩ ගයන ගි නද
නුඹ මගේ යැයි පවසනවා
පිපෙන කුසුමත් සුවඳ විදහා
ඔබ දකින්නට සැරසෙනවා

මගේ සිතුවිලි ඔබේ ලය මත
දළු දමා ලියලන යාමේ
ලොවේ කිසිවකු එපා එන්නට
නිහඬ මේ මොහොතයි සාමේ

මුවඟ උතුරන මිහිරි රස මධු
දොවා ගන්නට නැත ඉක්මන්
පෙරුම් පිරුවෙමි දකින්නට ඔබ
නෙතට නෙත හමුවන බැල්මන්

ඉතින් යන්නට එපා මා හැර
නුඔ මගේ මුළු ජිවයයි
පතන්නෙමි නුඔ සමඟ ඉන්නට
නුඹ මගේ දිවි හා සමයි


පමා වී සෙනෙහස ලැබූ
මම
෴වත්෴

Sunday, April 25, 2010

෴ නොනිමි සිත්තම ෴




නෙත පෙනෙනා මායිමකවත් නුඹ නැහැ. ඇසෙනා මායිමක කටහඩවත් !! තවත් ඉතින් මම කොහොමද මෙහෙම ඉන්නේ.... මනසෙ ඇඳුන රුව සිත්තමක් කර ගන්න හිතුවෙ ඒ නිසාමයි.

ලෝකේ තියන පාට ඔක්කම අරන් සිත්තම ගෙත්තම් කරන්න ගත්ත මගේ දෑත් වෙව්ලනවා... හරියට ඉස්සලම දවසෙ නුඹ දුටුව වගේ.

හදේ තියන මෘදු ගුණයයි.... හැමදාම උදෑසන සුළඟ අරන් එන ඔබේ සුවඳයි එකට කැටි කරන්නම ඕනි... එතකොට අර මා දිහා බලන කොට කරුණාවෙන් දිලිසෙන ඈස්.

ආදරේ පිරුණම හීනියට හිනා වෙන තොල්..... මගේ දඟ කරන කෙස් රොද කණ පිටිපස්සට කරන කොට ඔබේ මුහුණට එන කියා ගන්න බැරි හැඟීම.... මගේ අතින් අල්ලන් පාර දිගේ යන කොට මට දැනුන උණුසුම. දෙනොදාහක් අතරෙ වුවත් කිසිකෙනෙකුන් නැති තැනක වුවත් ඔබෙ එක බැල්මකින් මට දැනුන රැකවරණය.අනේ මම කොහොමද ඒ ඔක්කම දේවල් මේ පින්තූරෙට එකතු කරන්නෙ....

ඒ දේවල් නැතිව ඔබව සිත්තම් කරන්නෙ කොහොමද.... ඔබව සිත්තම් කරන්න බැහැ.  මේ තරම් ලෝකෙ පාට තිබිලත් ඔබේ ආදරේට හරියන පාටක් මට හොයා ගන්න බැහැ.... 

ඒ නිසා ආයෙත් නුඹ මගේ හිතේම රුදිල ඉන්න.

හිතේ තියන සිත්තම කවදාවත් බොඳ වෙන්නෙ නැහැ. පරණ වෙන්නෙත් නැහැ. මගේ අවසන් හුස්ම පොඳ ගිලිහී යනවිටත් ඔබේ රූ සිත්තම මගේ හදවත පුරාම රැදිල තියෙවි....

සෙනෙහස සිත්තමක් කරන්න ගිය 
 මම
෴වත්෴

Saturday, April 24, 2010

,෴ හදේ පහන ෴


සෙවනක් සේ මා පසු පසු ඇවිදින්න
කළුවර ඇවැසි වෙයි ඔබ රදවා ගන්න
අඳුරෙන් එළිය ලැබ මා ඉන් මුදවන්න
ආලෝකයක් වු නුඹ මට බැහැ හැරයන්න

දැවෙනා දිවිය සනසා මා සිත නිවපු
දිලෙනා සිළුව සේ ආලෝකය දීපු
පලවා අඳුර මා දිවියේ රජ කරපු
ඔබ මිස කවුද මා සිත සුවපත් කරපු

හිරුගේ ලොවේ මා හෙට දින සැනසෙන්නම්
දිරියෙන් මුහුණ දී ලෝකය ජය ගන්නම්
පසු පස ඔබ එතැයි සිත රඳවා ගන්නම්
අවසර දෙන්න ඔබගෙන් මම සමුගන්නම්

ඔබගෙන් සමුගන්නා 
මම
෴ වත්෴ 

Friday, April 23, 2010

෴ මා / ඔබ කියවීම ෴


පද වැලක ගැට ගැසුන
ඔබේ සෝ දුක් කඳුළු
තුලින් ඔබ දකින්නෙමි
ළඟින් නොම රැදෙන්නෙමි

සොඳුරු බව පිරි හ‍‍‍දක්
තෙතමනය රැදි නෙතක්
දුරින් සිටියත් ඉතින්
දැනෙයි හිතවත් බවක්

සිහින වල හමුවනා
කණට කර කොඳුරනා
ඔබේ රස ගීතිකා
අසමි මම රෑ පුරා

නෙතු දකින ලෝකයෙන්
තුරන් වී සීරුවෙන්
කියවන්න මා ඉතින්
ඔබේ සිත් රඟහලෙන්


ඔබ කියවන්න වෙහෙස වන
 මම
෴ වත් ෴

Wednesday, April 21, 2010

෴ හෙට දීගෙක යන ... ඇය මගේ නැගණියයි ෴

 

මේ ලිපිය දැන්ම ලියන්න හිටිය එකක් නෙමෙයි. ඒත් ඒ දිනය ආසන්න වෙන කොට මට හිතෙනව දැන්ම ලීවොත් හොඳයි කියල.මොකද ආසන්නයටම ආවම ලියන්න තරම් සවියක් සහ ලියන්න තරම් කාල වේලාවක් මට නැති වේවි. 
වෙන්වීමක්.. හැබැයි සතුටුදායක වෙන්වීමක්... සමුගැනීමක් නොවෙයි.අලුත් දිවියක ආරම්භයක්....

හෙට අනිද්දට පුංචි මනමාලියක් වෙලා දීග යන්න ඉන්න ඇය මගේම නැගණියයි. පුංචි කාලෙ මම ඈයව මගේ කකුළෙ තියල ආදරෙන් නැලෙවුව. මොකද ඇය මට වඩා වසර 05ක් බාල දැරිවියක්. අම්මට තියන වැඩ අස්සෙ මම හරිම ආසාවෙන් තමයි ඇයව මගේ කකුලෙ තියල නැලෙවුවෙ. ඇය ටික ටික ලොකු වුනා. ඒත් බැඳීම් වැඩි වුනා මිස අඩු වුනේ නැහැ.

අපේ පියා මිය යන විට ඇය උසස් පෙළ ශිෂ්‍යාවක් මම විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. තාත්තා ලෙඩ ඈඳේ එකතැන ඉන්න කොට ඒ ගැන සොයල බලල වැඩි වැඩ කොටසක් සිද්ධ වුනේ ඇය අතින්.ඇයට ඇගේ උසස් පෙළ ඉලක්කයට යා නොහැකි වුවත් අද ඇය මගේ පියාවන් සිය දහස් ගණනකට උපස්ථාන කරන රජයේ හෙදියක්.

මම ගෙදර වැඩිමලා වුනත් මගේ වැඩ කටයුතු අම්මා කියන්නා වාගේ ගෙදර ඉන්න පොඩිම එකාටත් අන්තයි. වැඩ වලින් වගේම මනසිනුත් ඇය වැඩෙද්දි මම හිටියෙ බාල වියේ.

මට විවාහ සොයල සොයල අම්ම නිකම් හතිවැටුන විතරයි.දීග දෙන වයසෙ කෙල්ලො තුන්දෙනෙක් එක්ක තනි වුන මගේ අම්ම සිය දහස් වාරයක් සිතින් අඩනව මට බලා ඉන්න බැරි වුනා.

මගේ අනුමැතිය ඇතිව මගේ අම්ම අනිත් දියණියන් දෙදෙනාටත් සහකරුවන් සෙවුවෙ ඇඟේ සිතේ ඇති මහා මෙරක් බර නිදහස් කරන්නයි.

ඉතින් එයින් එක් ප්‍රාර්ථානාවක් එළබෙන වෙසක් මාසෙ මල් පල ගැන්වෙනව. ඇගේ පුංචි දෝණි, මගේ පුංචි නංගා දීගෙක යනව. 

"අනේ මගේ තාත්තා හිටියනම්... " මට සිය දහස් වාරයක් මතක් වෙනව. අද හිටියනම් මගේ තාත්තාගෙ ඇස් වල දිලිසෙන කඳුළු කැට මට මැවිල පේනව. මගේ තාත්තා කොහේහරි ඉදල අපි දිහා බලන් ඇති. ඒකයි අදටත් අපි මේ වගේ ලස්සනට ඉන්නේ....
(දුවේ නුබ මගෙ ප්‍රාණයයි.. 
සැබෑ වුන සුබ සිහිනයයි... 
සෙනෙහසින් කුළ ගෙට පිය මනින්නේ.... 
සනුහරේ අභිමානයයි)

අලුත් ජීවිතයක් පටන් ගන්න යන ඈයව ඒ මල්ලි අපිටත් වඩා හොඳින් සහ ආදරයෙන් රැකබලා ගනිවි කියල මම ප්‍රාර්ථනා කරනව.
ඉතින් මගේ නංගට සුබ මංගල්‍යක් වේවා කියල ප්‍රාර්ථනා කරන්න ඔයාල හැමෝම එකතු වෙනව නම් ඒක මගේ සිතටත් කියන්න බැරි තරමේ හයියක්.....

වෙනද වගේම සුනිල් එදිරිසිංහ මහත්තයා මට මෙහෙම කියාවි...................

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනාවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා
නෙතේ කඳුළු සිර කරගෙන සිටියෙමි ඉවසාලා
 

මා සිටියත් ඉවසාගෙන නෙතේ කඳුළු නොසලා

අප දෙන්නා ( තිදෙනා) දිහා බලා වුන් අම්මා දැකලා

ඈඟේ නෙතින් කඩා හැලුනු කඳුළු මතක් වීලා

කවුරුත් නැති තැනකට වී හැඩුවෙමි තනි වීලා 

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ

 

 හෙට දීගෙක යන නැගණියට සුබ පතන 

මම
෴ වත්

Tuesday, April 20, 2010

~~ ඔසුව ~~ ( අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි)


                                      එදා

                          නෙතු පිනවන රස දනවන
                  හදවත නිති කුළුගන්වන                    ආදරය
                  සකල රෝග නිවාරණය
                  අමරණීය මධුර ඔසුව


                              අද

                දවස දවස හිත රිදුනා
                අඳුරු අගාධෙට වැටුනා
                නෙතු වැලි අහුරකි දසුනා                  වේදනාව
                පළිගනිමිද අතහරිමි ද
                උගුරට රහසේ ගිලුනා


                               හෙට

                 තුවාල සුවවීයන්නේ
                 ප්ලාස්ටරේ ගැලවෙන්නේ
                 යළි පිපිදුන නැවුම් ලොවට               කාලය
                 ඇය සමඟින් පිය මැන්නේ

සිත සුවපත් කරන ඔසුව
කාලය වෙයි මිනිසුන්නේ


ඔසුවේ ගුණදත්
මම
 ~ වත්~

Monday, April 19, 2010

~~ නික්මීම ~~




සුවඳ කොඳ මල් පිපුන
සුමුදු සුකොමල පහස
දඟපාපු කෙහෙරැල්ල
තුටු කෙරුව රතු දෙතොල
අද කොහිද සුකොමළියෙ
අඩවන් වු නුග නයන
ලඟට විත්
බැලුවොත් සුවඳ පමණක් දැනෙන
මුදු පහස රස සුවය
අතරමං වූ එදින
අද අපට ඇත බොහොම
වටින දේ පිවිතුරුව
ආදරය ආදරය
සැබැවින්ම ආදරය
මතක මං තුළ සරණ
පණ ගැහෙන එකම දෙය

ගිලිහෙන තාරුණ්‍ය දුටු  
මම
~ වත් ~

Saturday, April 17, 2010

~ ආදරය මෙයයි ~

 
සිංහල අලුත් අවුරුද්ද කියන්නෙ මට නම් හරිම කම්මැලි දවස් ටිකක් තමයි. කොල්ලෙක්වත් වුනා නම් කාලා බීලා ජොලියෙ ඉන්න තිබ්බා. අවුරුදු එන්නෙ ගැහැණුන්ට නැහෙන්නයි පිරිමින්ට විනෝද වෙන්නයි කියල කවුදෝ කීව මට මතකයි. ඒත් ඉතින් අවුරුද්දක් එන්නෙ නැත්තම් සමහරු ගම්පළාත් වලට එන්නෙත් නැහැ නෙව.
පත්තර කඩත් වහල නිසා පත්තරයක්වත් ගන්න ක්‍රමයක් තිබ්බෙ නැහැ. දැන් ටික දවසක ඉඳල ජංජාලෙත් එපා වෙලා.
"මොනාද ළමයො, ගෙදරටම වෙලා ඉන්නෙ. එනව මාත් එක්ක ලොකු අම්මලාගේ ගෙදර ගිහින් එන්න." ඇත්ත තමයි නිවාඩු දවසට මම ගෙයින් එළියට බහින්න නම් හරිම කම්මැලිය. හැබැයි සෙනසුරාදට පත්තරේ ගේන්න(සෙනසුරාදට ගිහින් ගේන්නෙ ඉරිද පත්තරේ) යන්නෙ නම් ස්වකැමැත්තෙන්මයි. මොකද පත්තරේ බැලුවෙ නැත්තම් එදාට නිකම් හාමතේ හිටිය වගේ තමයි. ජංජාලෙන් පත්තර බලන්න මම කැමති නැහැ.මම ඒ ගැන ඉරිද පත්තරේ කියන පොස්ට් එකෙන් කියල ඇති.
ඔන්න ඉතින් ලක ලෑස්ති වෙලා පාරට බැස්ස. නැකැත් වෙලාවල් හින්දද කොහෙද හීන් හිරිපොද වැස්ස.බසුත් නැහැ . වෙනදට පෝළිමට රදවල තියන ත්‍රීවීල් එකක්වත් නැහැ. ඔන්න ඔහේ ත්‍රීවිල් එකක් හම්බෙනකම් පයින් යමු. ඒක මතික තිරණයෙන් දැන් අපි පයින් යනව.

ලස්සන තුන්පත් රෑනක් අපෙ ඉස්සරහට එනව. පොඩි එකා ආන්බාන් කර ගන්නෙත් අමාරුවෙන් වගේ. එකම කුඩේ යට තුන්දෙනා. ටික ටික ලං වෙනකොට මට දැනුනා ඒ පිරිමි මුහුණ මම දැකල පුරුදු බව. හරියටම නිච්චියක් නැහැ.
සිවුනෙත් එකට ගැටුන. 
"ආහ් වත්... ,මාව අඳරගන්න බෑද? නැත්තම් අදුරන්නෙ නැතිව වගේ ඉන්නවද?" 
අප්පොච්චියේ දැන්නෙ මට මතක් වුනේ මේ අපේ කැම්පස් එකේ හිටිය SPBR . ඒත් මේ ගැහැණු ළමය නම් ඒ දවස් වල පණ පණ කියල හිටිය තැනැත්ති නෙමෙයි. 
මගේ හිතේ දහසකුත් එකක් ප්‍රශ්ණ. 

"ආහ් මවුන්ටන් (කැම්පස් කාලෙ card එක මට තාමත් එයාගෙ ඈත්ත නම මතක නැහැ) ඔයා කොහෙද මෙහෙ ? ඒ මගෙන් ප්‍රශ්ණයක්.

"අපි අවුරුද්දට ආව නෙ wife ලගෙගෙදර. මෙ මගේ wife . අපි මේ town එකට යනව පොඩි වුවමනාවකට. බසුත් නැති නිසා පයින්ම ආව."
 
ඉතින් ​පුංචි එකාවත් පොඩ්ඩක් හුරතල් කරල. wife එක්කත් පුංචි කතාවක් දාලා ඒ තුන්දෙනා ඒ ගමනත් අම්මයි මායි මේ ගමනත් යන්න පටන් ගත්ත. එතකොට ලාබසිනාට මොකද වුනේ ( ලාබ සිනා කියන්නෙ එයා ඒ දවස් වල පණ මගේ පණ කිය කිය හිටිය කෙල්ල). ඒ දෙන්න තමයි ඒ දවස් වල මුළු කැම්පස් එකේම හිටිය පරමාදර්ශි පෙම් යුවල. මම ඒ ගැන හිත හිත යන කොට අම්ම ඒ අස්සෙ මට දෙහි කපනව. 

"ඒ කවුද? කැම්පස් එකේ ළමයි නේද? " "එක වයසෙ ළමයි වෙලත් ඒ දරුවන්ටත් දැන් දරුවො ඉන්නව.ලොකු පුතේ උඹ මට වදදිදී කවි ලිය ලිය ඉන්නද කල්පනාව තවත්."

ඉස්සර මාත් කල්පනා කලේ SPBR වගේ කොල්ලෙක් මටත් හම්බෙනව නම් කියල. දැන් නම් හිතෙනව ආදරේ අමුම අමු බොරුවක් කියල.

මම ආයෙත් සැරයක් හැරිලා මට පිටුපා යන ඔවුන් තිදෙනා දෙස අවසන් වතාවටත් බැලුව. හීන්හිරිපොද වැස්සෙ වැහි පින්නටද කොහෙද බොද වූ සිත්තමක් ලෙස ඔවුන් මගේ ඈසින් ඈතුලු වෙලා මගේ හදවතේ ලැගුම් ගත්ත.සුනි
ල් එදිරිසිංහ මහත්තයා මගේ කණට කොඳුරල හිතට මෙහෙම කීව...

එදා ළඟ සිට දුටුව ඔබ නොව
 මෙදා දුර සිට මා දකින්නේ
 සදා කාලික නොවූ ලෝකෙක
 සදා කෙලෙසද පෙම් බඳින්නේ


සදාතනික ආදරයක් සෙවුව  
මම
~ වත් ~

Friday, April 16, 2010

~~ ජීවිතේ මලක් නෙමෙයි. ජීවිතේ ගලන ගඟක් ~~


මගේ සිතේ නිදන් වෙලා ඉන්න යහළුවෙක් ලඟදි දවසක මට මෙහෙම කීව "වත්සලා , ජීවිතේ මලක් නෙමෙයි. ජීවිතෙ ගලන ගඟක් ,ඒ ඇත්ත ඔයා තේරුම් ගත්ත දවසක ඔයා ජීවිතේ දිනනව"

මට ඒ වෙලාවෙ තමයි හිතුනෙ ඇත්තටම මම ජීවිතේ පැරදිලාද කියල. සත්තකින්ම, මගේ ව​යසෙ ගොඩක් මිතුරු මිතුරියන්ට තියන දේවල් මට නැහැ තමයි. ඒක සහතික ඇත්ත. ඒත් මට තියන එයාලට නැති දේවල් කිහිපයකුත් තියනව.

නැති දේ ගැන හිතල දුක් වෙන්නද? තියන දේ ගැන හිතල සතුටුවෙන්නද? නැතිදේට තියන දේ කැපිල ගියහම ආයෙත් මුකුත්ම නැහැ.

මේ අවුරුද්දෙ මගේ බලාපොරොත්තු 03ක් තියනව. ජීවිතේ අරමුණක් නැතිව ගෙවුව මම දැන් ජීවිතේට අරමුණක් දෙන්න පටන් අරන්.....

01) නැවතිලා තිබ්බ ඉගෙනීම සම්පූර්න කර ගන්න එක.

02) වෙන රටකට යන්න උත්සාහ කරන්න පටන් ගන්න එක. ( අඩු ගානේ දඹදිව හරි කමක්      නැහැ)

03) හතර කේන්දරේ හොයන්නෙ නැතිව අම්මා සොයා දෙන කෙනෙක්ට කැමති වෙන එක.

 මම මේ අරමුණු 03 ලීවෙ ප්‍රමුඛතාව අඩු වන අනුපිළිවලට... පලමු අරමුණු 02 මගේ සුභ සිද්ධිය වෙනුවෙනුත් 03 වෙනි අරමුණ අම්මාගේ සහ මගේ සුබසිද්ධිය වෙනුවෙනුත් තමයි .

ගලන ගඟේ දිය රැළි අතරේ
ඔබගේ ආදරයයි සෙවුවේ
ඡායාවක් පමණයි රුව නැත එහි
සිහිඑළඹෙන විට මා දුටුවේ

ගලන ගඟක් සේ සෙනෙහස ගඟුලෙන්
පැන් කළයක්වත් හිමි වේනම්
නටුවෙන් ගිලිහී ඔබ පය පාමුල
පිපී සුවඳ දී මිය යන්නම්

එනමුදු සබ​ඳේ හිමි නැති දියවර
 සාගර රැළි වෙත එක් වේ නම්
 මලක්ව ඉනු මිස කුමක් කරන්නද
                                        පූජාසනයත් හිස් වී නම්

 අලුත් අරමුණු ඔස්සේ ජීවිතේ සොයන 
මම
~ වත් ~

Thursday, April 15, 2010

~~~ මගේ කොම්පීටරේ සහ මම ~~~



ඉතින් සුබ අලුත් අවුරුද්දත් ඉවරයි.දැන් ඉතින් ඉතිරි දින ටික අනිත් අලුත් අවුරුද්ද එනකම් සුබ කර ගන්න එක තියෙන්නෙ තම තමන්ගාව තමයි ඕන්.හැබැයි ඉතින් හිතවත් හිතමිතුරන් මුළු හදින්ම කරන ආශිර්වාදයෙත් බලගතු ශක්තියක් තියනව.


මේ අවුරුද්දෙ මට සුබ පතන්න කතා කරපු බහුතරයක් දෙනා මගේ අනාගතයට සුබ පතන ගමන්ම මගේ අතිජාත මිත්‍රය වෙච්චි කොම්පිටරේ ගැනත් අහන්න අමතක කරේ නැහැ.මොකද එයා අසනිපෙන් කියල මගේ හිතවතුන් දන්නව.

එයාගේ මුහුනත් තහඩුව සනිපවුනාට පස්සෙ අලුත් ලෙඩක් ඇවිත් එයාව වැළඳ ගත්ත. මොකක්ද දන්නවද ඒ ..... කොම්පිටරේ ඕන් කරල පැය දෙකක් විතර වැඩ කරන කොට මෙන්න හිටිගමන් “පුහ් “ගාලා ඕප් වෙනව. ( UPS එකත් තියෙද්දිම )..ඉතින් අනේ මම ආයෙත් එයාව On කරාම ආයෙත් පැය බාගයක් වැඩ කරල Off වෙනව.. ආයෙත් On කරාම විනාඩි 10ක් විතර වැඩ කරල off වෙනව. ඊලග පාර නම් On කරනව බොරු.... ආයෙත් පැය 12කට විතර පස්සෙ තමයි එයාව On කරන්න පුලුවන් වෙන්නේ....ඒ කියන්නේ ඉතින් ආයෙත් ඊලඟ දවසෙ තමයි.
ඔන්න ඉතින් මම දන්න කියන කිහිපදෙනෙක්ගෙන් උපදෙස් ගත්ත. සමහරු උපදෙස් එක්ක අවවාද අනුශාසනා එහෙමත් දුන්නා.(අවවාද අනුශාසනා නම් මට ඉතින් .....)” මේක කරන්න නැත්තම් නිකා ඉන්න “ කියල කියන එකට මම කැමති.වැඩි වැල් වටාරම් (බණ) වලට මම කැමති නැහැ.


Heat Problem එකක් කියල තමයි ගොඩක් දෙනා කීවෙ. ඉතින් මම දන්න කියන ලඟ පාත ඉන්න සහෝදරයෙකුට කීව මේ ගැන. ඒයා තමයි මේ පලාතෙ කොම්පීටර් හදන්න ඉන්න ලොක්ක.ඉතින් ඒයා දන්න කියන සෙල්ලම් ඔක්කම දැම්මත් මේ කොම්පීටරේ පෙර පරිදිම ඒයාට ඕන වෙලාවට ”පුහ්”” ගාලා Off වෙනව. ඉතින් මාත් කොම්පිටරේ Off වුනාම ආයෙත් On කරන්න දගලන්නෙ නැහැ ආයෙත් Onකරන්නෙ ඊලග දවසෙ. ඉතින් පැයක් වැඩ කරල ඒයා Off වෙනව .ඉතින් මේ විදිහට මම ජංජාලෙයේ සැරිසරන ඒක ඉබේම සීමාසහිත වුනා.


ඉතින් දවසක් මම මල් ඉස්කුරුප්පු නියනකුත් හොයාගෙන වැඩේට බැස්ස.මැරෙන්න ඉන්න ලෙඩාගෙ ඔපරේශන් එක කවුරු කරාම මොකද නේද? අම්මත් මේක බලන් ඉදල මට හවුල් වුනා. ඔන්න ඉතින් දැන් අපි දෙන්නත් ඒක්ක පුල් ඔපෙර්ෂන් ඒකක්. වයර් වල පාටවල් එහෙම මතක තියාගෙන පැත්තවල් මතක තියාගෙන දෙන්නත් ඒක්ක වැඩ. ඔන්න ඉතින් ගලෝපුව ආයෙත් හයි කරල On කරල බැලින්නම් ... බීප් බීප් බීප්... වට පිට බැලින්නම් අර මොකක්ද මේස උඩ.... දෙයියනේ අර දිලිසි දිලිසි තියෙන්නෙ RAM එක...

අනේ හපොයි. ඉතින් ඔන්න ආයෙත් මෙයාව වයර් වලින් ගලවල මේස උඩින් තියල RAM ඒක හයිකරා. මට ඉතින් කම්මැලි ආයෙත් මෙයාව කෙලින් කටින් හිටවන්න. මේස උඩ දොයිය බබා වෙලා ඉන්න System unit ඒකට වයර් ටික හයි කරල On කරා මෙන්න බොලේ වැඩ... ඉතින් මම දැන් අන්තර්ජාලෙ සැරිසරණව මොකද මෙයා තව පැයකින් Off වෙනව නෙ.
( මට දැන ගන්න ඕන මේකට කියන හරි නම සමහරු කියනව CPU ලු සමහරු System Unit ලු සමහරුProcessor ලු මොකක්දහරි මන්ද )

පැයක් ගතවුනා දෙකක් ගත වුනා තුනක් ගත වුනා මෙයාට Off වෙන්න අමතක වෙලාද?

දැන් ඉතින් මට ඇති වෙලා shutdown කරන කම්ම ඒයා ඉන්නව . ඉතින් මම තීරණය කරා System unit ඒක දිගටම දොයි බබා කරල තිරස් අතටම තියන්න....කොම්පිටරේ වැඩ නම් සිරස්ද තිරස්ද නෙමේ ඔලුවෙන් හිටගෙන වුනත් මොකද නේද?

ඔන්න ඕකයි කතන්දෙර්..........



කවුරු හරි මේකට හේතුව දන්නවනම් මට කියනවද?


බැරි වැඩ කරන්න ගිය
මම
~ වත්~


Sunday, April 11, 2010

~~~ මම දැන් අලුත් වෙලා ~~~




සිංහල අලුත් අවුරුද්දත් ළඟම ළඟයි . මම හිතුව වෙනස් වෙන්න. හැබැයි ඉතින් මම ජනවාරි පළමු වෙනිදට , උපන් දිනේ දවසට එහෙම එක එක අලුත් බලාපොරොත්තු ඈති කර ගන්නව. වෙනස් වෙන්න ඕන කියල එක එක විදිහෙ plan ගහනව. ඒත් ඉතින් කියක් ක්‍රියාත්මක වුනාද
කියාල නම් මතක නැහැ.

ඒත් මේ අවුරුද්දෙ නම් තියෙන්නෙ වෙනස්ම විදිහක බලාපොරොත්තු ගොඩක්....

දුක පිරුණ සිත මගේ පාවියන් නැලවියන්
සතුට සැනසුම සදා හිත්වලින් ලංවෙයන්
දුක ඉතින් සමුගනිමු ජීවිතෙන් නික්මියන්
මිතුරු කැල සිත සදයි එක් වෙලා ගීගයන්

සොඳුරු දිවි ගංතෙරේ දුක් වෙලා පල නොවේ
මලින් පිරි මාවතේ පියඹලා පල නොවේ
පිපාසය දිය සොයා සාගරේ පල නොවේ
ඔබ සොයා ජීවිතේ හඬාලා පල නොවේ

හෙට මගේ ලෝකයේ කිරුළ මා පළදින්න
අද දිනේ මට ඉතින් දිරිය ශක්තිය දෙන්න
කඳුළ මට සමු දෙන්න කාලයට ඉඩ දෙන්න
මලින් පිරි දිනක් අද මේ මලට ලැබ දෙන්න.

මම 
අලුත් අවුරුද්දේ අලුත් වෙන
~ වත් ~ 

Saturday, April 10, 2010

~~ ආදර හාදුව ~~


බෝ ආදරෙන් මාව
තුරුළු කර හදවතට
නලල සිප
සුවඳ විද  
යිද නුඹ ගියෙ දුරක

ඔබෙ සුවඳ
මුදු ගුණය
අමතකව නැත තාම
හාදුවද රැගෙන යළි
කවදාක එයිද නුඹ

නව වසර ඇරඹුමයි
පැතුම යළි දළු දමයි
හදේ ඉතිරි ගලන 
ආදරය ඔබ සොයයි

කාලයත් සීමිතයි
පන්තියත් බෝ දුරයි
එකම ගැලපීම නම්
ආදරය ස්ථිරයි

සියළු දොම්නස් නිවන
ඔසුව ඔබ ලග තමයි
නලලතත් හදවතත්
ඔබේ හාදුව සොයයි

නැති වූ හාදුව සොයන 
මම
~ වත් ~



Tuesday, April 6, 2010

~~~~ අන්සතු වූ මගේ කිරුළ ~~~~~



සඳේ තනියට සිටපු සාවා කොහි ගියාදෝ
මලේ තනියට සිටපු බඹරු කොහි ගියාදෝ
විලේ තනියට පිපුන නෙළුම පරවෙලාදෝ
මගේ හිත ළඟ සිටිය කුමරු කොහෙ ගියාදෝ 

සියක් දහසක් අතර දැනෙන්නේ තනිකමයි
ගමක් වීදියක් ලඟ සොයන්නේ ඔබෙ රුවයි
හමන මඳ නල වුවද ගෙනෙන්නේ රුදු බවයි
කිරුළු පලදින්න මම දුටුව දේ මිරිඟුවයි

අවසානේ හමු වුවද ලං වීම බෝ දුරයි
  සඳත් සාවාත් සමඟ අහසෙ නුඹ රජ කරයි 
විලට හිමි නෙළුම මම නෙලා ගන්නේ කිමැයි
කුමරු නුඹ අතහරිමි එය මගේ ප්‍රේමයයි 

සඳ ගාව සඳ සාවා සැමදාම සිටින්නයි
මල ගාව හිමි බඹරු රොනින් සැතපෙවෙන්නයි
විලට හිමි නිල් නෙළුම පරවීලා නොයන්නයි
මගෙ කුමරු ඈ ලඟම කිරුළු පලදවන්නයි 

මම 
කිරුළ අහිමි කුමරිය
 ~ වත් ~

Sunday, April 4, 2010

~~~ කසා (ද) ය ~~~

 


නුදුටුවන් හූල්ලන
රස ගඟුලකැ යි සිතන
දුටු දනන් විදවනා
ගැලවීම ඉන් සොයන
කුරුළු කූඩුවක සුව
සිරගෙයක් වෙයි පසුව
ආවොතින් යා නොහැකි 
දරුවනුයි එහි බැම්ම
ආදරයෙ අවසාන
තිප්පලක් වෙයි මෙයම
ඉන් පසුව ආදරය 
වෙයි අන්තරස්දාන
 බෝ දෙනා මා ඉතින්
තල්ලු කරනුයෙ කිම ද
මට ඈවැසි නැත තාම
කසා(ද) ය වෙයි තිත්ත

කසාය බොන්න අකමැති 
මම
~ වත් ~
 

Saturday, April 3, 2010

~~~~ පොළව මමයි ~~~~





වේදනා විදිමි වරෙක එය පිට කරමි..
බර දරා සිටිමි වරෙක එය විසිකරමි...
ඈතුලතින් දැවෙමි පිට කරන මං සොයමි...
ඔබව මම දනිමි ඔබ නිසා මම මෙහිම රැදෙමි...

පිපාසය දැනුනත් බොන්න බැහැ ඔබ කඳුළක්...
කඳුළු සාගරයක් වුවත් ඔබ මට මහා ඔසුවක්...
නින්ද නැති රැයකත් ඔබ ගෙනෙන්නේ හීන අහුරක්...
මතක ඈති කවදත් මගේ කුස හොත් ඔබේ  දරුවන්...

මල් ගවස ගන්නම් ..
එයින් මා හැඩවෙන්නම්..
ඔබේ දූදරුවන්..
එයින් මා සනසන්නම්..

දිය පිරෙන උල්පත් ..
සෙනෙහෙ කලතා දියකරන්නම්..
මගේ හදපැතුමන්..
මලක දවටා විසිකරන්නම්..

ඔබ මහා සයුරයි ..
මම එහිම වූ පොළවයි..
මහා පවු කන්දයි ..
අපිව වෙන් කළ අයුරු කදිමයි..


සාගරය දකින්න පෙරුම් පුරන 
මම
~ වත් ~

Friday, April 2, 2010

~~~ තර්ඩ් ක්ලාස් ~~~~ ( දෙවන කොටස )


පියවි ලොවට පිවිසි මම අත මිට මොලවා ගෙන තිබූ තර්ඩ් ක්ලාස් ටිකට් එක ටිකටි පරීක්ෂක වෙත දිගු කළෙමි.ප්‍රවේශ පත්‍රය දෙසත් මා දෙසත් කිහිපවරක් මාරුවෙන් මාරුවට බැලු ඔහු 

"ධර්මෙ , පොඩ්ඩක් මෙහෙ වරෙන් බං " 

යැයි පවසම්න් අසළ සිටි තම සහෝදර නිලධාරියාට අඩගැසීය. ඉන්පසු ඔවුන් දෙදෙනා සෙමින් සෙම්න් සතරකණ්මන්ත්‍රණයක් පැවත් වූ අතර එය අවසානයේ මා අසල සිටි පිරිමි ළමයාගෙන් ටිකට් ඉල්ලන ලදී.

"කෝ ගනන්ව බලන්න ටිකටි එක"


ටික වේලාවක් නිහඬව සිටි ඔහු.

"මා ලඟ ටිකට් නැහැ"  යැයි පැවසීය.

"හරි, හරි මට හිතුනා, දෙන්නත් එක්ක පිම්මෙ ඈවිත් කෝච්චියට ගොඩවෙන කොට"

"අම්ම අප්ප රැවටුවට හිතන්න එපා මේ අපි රැවටෙයි කියල. කාල ඈඳල ඉන්න බැරිව ද? මදන විසේ ඉහට ගහනව කර දඬු මෝරන කොටම.
හරි හරි එනව දෙන්නම දැන් අපිත් එක්ක යන්න.කාලකණ්ණි"

මේ මොන විජ්ජුම්බරයක් දැයි මට සිතා ගැනීමට නොහැක. මම කෝපයෙන් අර පිරිමි ළමයා දෙස බැලූ විට ඔහු අහිංසක ලෙස සිනාසුනේය.
කටක් ඈරල කියන්න බැරි හැටි අපි දෙන්න අඳුන්නෙ නැති බව. 

"මම මෙයාව අඳුරන්නෙ නැහැ සර්... මම නිවාඩුවට ගෙදර යන ගමන් . කෝච්චිය අද්දන කොටමයි මම නැග්ගෙ නැග්ගට පස්සේයි.."""

"මේ අපිට තව බොරු කියන්න හඳන්න එපා ළමයො. අපි දැක්ක ඔක්කම සීන් එක."

ඊ ලඟ නැවතුමේ දුම්රිය නවතන ලදින් අපි දෙදෙනා දුම්රිය මැදිරියෙන් බස්සවා ගත් ඔවුන් ඉදිරියෙ වු දුම්රිය මැදිරියක් වෙත කැඳවා ගෙන යන් ලද්දේ මරන්න ගෙනියන හරක් පැටවු දෙදෙනකු පරිදි යයි මට සිතේ. දුම්රිය මැදිරිවල සිටි මිනිසුන් අප දෙස බලා සිටින්නේ ලෝකයේ සිටින අංක 01 හොරු දෙදෙනා දෙස බලන ලෙසිනි. පරීක්ෂක මහතුන්ද යන්නේ අංක 01 හොරු දෙදෙනො අල්ලා ගත් වීරයන් පරිද්දෙනි. බිම බලාගෙන යමින් සිටි මට ඔහුගේ මුහුණ බැලීමට සිත් විය. කිසිම හැගීමක් නැති ඒ මුහුණ දුටු මට පුදුම නොවී සිටීමට නොහැක...


හැමදාම යන්නෙ හොරට වෙන්න ඈති මට සිතුණි. ඒත් වදේ ඈයි මාව අදුරන්නෙ නැහැ කියල කටක් ඈරල කියන්න බැරි. මේක මේ සියළු දෙනාගෙ ක්‍රමන්ත්‍රණයක් ද?


දුම්රියේ ඉදිරිපෙළ මැදිරියකට කැඳවා ගෙන ගිය ඉක්බිති ප්‍රශ්ණ කිරීම ඈරඹිනි. 

මා කියූ කිසිවක් ඔවුන් කණකට ගත්තේ නැත.පිරිමි ළමයා නම් චවන දෙක තුනකට වඩා කතා නොකළ අතර ඒද අත්‍යාවශ තැන් වලදී පමණි. අවසන....

"මේව පොලිසි ගියොත් බරපතල වැරදි. අපි මේක ගොඩින් බේර ගමු. දැන් ගන්නව බලන්න දඬ ගෙවන්න ලඟ තියන සල්ලි. "

මා සතුව සන්තකේටම තිබූ රු.50 පසුම්බියෙන් ඈඳගත් මම එය ඔවුන් වෙත දිගු කළේ දැන්වත් මේ කරදරේ ඉවර වෙයි දෝයි සිතමිනි.

"ඈයි  දෙන්නත් එක්ක පැනල එන කොට ගෙදරින් සල්ලි හොරකම් කරගන්න බැරිවුනා ද? කෝ ගන්නව පර්ස් එක"

මගේ පසුම්බිය උදුරාගත් ඔවුන් ඒ තුළ කිසිවක් නැති බව දැක මුහුණු පුලුටු කර ගත්තේය.මා අතැර පිරිමි ළමයා වෙත හැරුණ ඔවුන් ඔහු ළගද අතේ සතේ නැති බව දැනගත්  වෙලේ ඔවුන්ගේ මුහුණු ඔබ දුටුවේ නම් .....

බලාපොරොත්තු සුන් වූ ඔවුන් අප මරා දාවිද? 

"මෙන්න ගන්න මෙච්චරයි මා ළග තියෙන්නෙ .."

මම මගේ ගමන් බෑගය ඔවුන් වෙත දිගු කළෙම්. තරහින් පුපුරමින් සිටි ඔවුන් යමක් කීමට ප්‍රථම දුම්රිය ඊළඟ නැවතුමේ නවතන ලදී.

මගේ ගමන් මල්ල ගෙන දුම්රිය පදික වේදිකාවට විසිකළ ඔවුන්....

"කාලකණ්ණි ,දැන් බැහැල දුවපියවු දෙන්නත් එක්කම.මීට පස්සෙ මේ වගේ වැඩ කරල අහුවුනොත් ලේසියෙන් ගැලවීමක් නැහැ. මතක තියා ගනිල්ල "

ලැබුන නිමේශයෙන් ඔහු හා මම එළියට පැනගත්තෙමු. මම වේදිකාවේ තිබූ ගමන් මල්ලද ඩැහැ ගනිම්න්ම පසු පස වූ තුන්වන මැදිරියකට ගොඩ වුනෙමි.

ඔහු කෝ.... පේන තෙක් මානයේ විපරම් කරත් දකින්නට නොවීය. 

සමහර විට මේ ඔහුගේ ගමන් නැවතුම විය හැකිය. නැතිනම් ඔහු වෙනත් මැදිරියකට ගොඩවන්නට ඈත. 

රැකියාවට පින් සිද්ධ වෙන්න දැන්නම් මට පලමු පන්තියේ දුම්රිය මැදිරිවල යන්න අනුග්‍රාහක දුම්රිය ප්‍රවේශ පත්‍ර කට්ටල 03ක් වසරකට හිමිවෙනව.මෙය බොහෝම පැරණි කතාවක් වුවද මගේ සිතේ තවමත් ඉතිරි වී ඈති පැනයන් කිහිපයකි.
තර්ඩ් ක්ලාස් වුයේ 
මා ද?
ඔහු ද?
නැතිනම් අර පරීක්ෂක හොරුද ?
දුම්රිය මැදිරිය ද? 

තවමත් දුම්රියෙන් ගමන් කරන්න කැමති
මම
~ වත්~

Thursday, April 1, 2010

~~~ තර්ඩ් ක්ලාස් ~~~~

 

දේශකයා කුමක් පවසන්නේ දැයි ඈසෙන මුත් සිතට නොයයි. අද දින අවසාන දේශනයයි. දේශනා කරනව මදිවට දේශනය ඉවර වෙන වෙලාවත් පහුවෙනකම් උප දේශනයකුත් දුන්නා. මගේ හිතනම් දැන් ගෙදරටම ඉගිලිලා ඉවරයි. විභාගය ලං වුනාම තමයි කාටත් තදියම. මේව මේව බලන්න. මම කියල දීල තියන ඒව ඔක්කම හොදට බලන්න." ඒව ඉතින් අපි කොහොමත් බලනව නේ අනේ... දැන් මට ගෙදර යන්න ඕන." මට කෑගහල කියන්න හිතුනා. 


 දේශන ශාලවෙන් ප්‍රථමයෙන්ම එළියට පිනූ මම, මා එන තෙක් බලා සිටි ගමන් මල්ලද කරේ දා ගනිම්න්ම දිව ගියේ බස් නැවතුම වෙතයි. කෝච්චිය අල්ලගන්න බැරි වුනොත් ඔක්කම ඉවරයි. 

 දුම්රිය ස්ථානයට ලගාවන විට ම වගේ කෝච්චය පිටත්වීමට සූදානම් අවසාන නිවේදනය සවන් වැකුණි. ලහි ලහියේ පරිස්සමින් ගෙන ආ පසුම්බියේ තිබු මුදලින් තෙවන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් ලබාගත් මා දිව යන විට කෝච්චිය ගමන් ඈරඹුවා පමණි.

පණ පරදුවට තබමින් ,අවසන් මැදිරියට කළින් මැදිරියට නැගගත් මා පිටු පසින්ම සම වයසේ යැයි සිතිය හැකි පිරිමි ළමයෙක්ද හති දමම්නි පැමිණ ​කෝච්චයට ගොඩ විය.

ම්මේ! ඈති යාන්තම් දැන් තමයි හුස්ම පොදක් ගන්න පුළුවන් වුනේ. සිට ගෙන යාම අපහසුවක් නොවූවද වාඩි වීමට ඈති තරම් අසුන් වල ඉඩ කඩ තිබෙනු දුටු මා ගේ සිතට නැගුනේ විමතියකි. එයට හේතුව වෙනත් සිකුරාදා දින වලට සිටගෙන යන්නේද දැඩි අපහසුවකින් බව මෙනෙහි වීමෙනි.පිටේ තිබූ ගමන් මල්ල ගලවා දෑතට ගෙන.සතුටු සිතින් මැදිවියේ පුද්ගලයකු අසලින් හිඳගත් මම, ඒ සතුට හිතපුරා විදගැනීමට දුම්රිය මැදිරිය සිසාරා නෙත් යැවුවෙමි.....

අහෝ ඛේදයකි.... මා ගොඩවී ඈත්තේ දෙවන පෙළ දුම්රිය මැදිරියකට බව දුටුවේ ඒ මොහොතේය. වහා අසුනින් නැගිටගත් මා පියනැගුවේ යාබද මැදිරිය වෙතයි. එයත් දෙවන පෙළ මැදිරියක් විය. එතනින් ඉක්බිතිව වෙනත් මැදිරියකට යා නොහැකිය .ඊලග නැවතුමෙන් බැස තුන්වන පන්තියේ මැදිරියකට යන්නෙමැයි සිතා ගත් මම නැවත මාගේ අසුනට ( තෙවන පෙළ මගේ දෙවන පෙළ අසුනට) පැමිණ හරිබරි ගැහී වාඩු වූයෙමි.මා පසු පසින්ම පැමිණ දුම්රියට ගොඩවූ අර පිරිමි ළමයාද යස රඟේට වාඩි වී සිටි. ඉදහිට හොරහින් මා දෙසද බලයි. අපරාදෙ ​ඔන්න ඔහේ මේ පෙටිටියේම ඉන්නව මගේ සිත කෙදිරි ගාන්නට විය.

සදුදා විභාගය ඈරඹේ.මගේ යහළු යෙහෙළියන් නේවාසිකාගාරයට වී පාඩම් කරත් විභාගයට කළින් නිවසට ගොස් ආවෙ නැතොත් මට සාර්ථකව විභාගයට මුහුණ දිය නොහැකිය. තකහනියේ මා ගෙදර පියාඹන්නෙ එහෙයිනි.  පාඩම් කළ යුතු සටහන් ගොඩක් ගමන් මල්ල පිරෙන්න ඈත. එය හිතට අස්වැසිල්ලකි.භාවිතයෙන් ඉවත් කළ යුතු පරණ වූ ඈඳුම් කිහිපයක්ද . නැගණියට දීමට කොළඹින් මිලට ගත් අළුත්ම ඈඳුමක්ද ගමන් මල්ලේ විය.ගමන් මල්ල තුරුළු කරගත් මම සිතුවිලි වලට නිදහසේ පාව යන්නට ඉඩ හැරියෙමි.
...............................................................................................
මා ගැස්සී ඈහැරුණේ මා අසල සිටි මැදිවියේ මහතා​ මගේ උරහිසින් සොලවා මා අවදි කළ බැවිනි." පුතා ,ඔයා කොහාටද යන්නේ. පුතාට ටිකට් තියද? " ඔහු මගෙන් විමසන්නේ ඈයිදැයි නොසන් සිදුනු නිදිමතත් , අධික තෙහෙට්ටුවටත් පත්ව සිටි මට සිතා ගත නොහැකි විය. අයා ගත් මුවත් විශල් කර ගත් දෙනෙතිනුත් ඔහු මා වටහා ගන්නට ඈත. 

" පුතා,එහා පෙට්ටියට ටික්කො පැනල . ටිකට් චෙක් කරනව."

මට පියවි සිහිය එළඹිනි. ගුලිකර ගත් අත මිට ඈගිලි අතර තිබූ ටිකටි එක ඔහු වෙතට දිගු කළ මා ඔහු දෙස බලා සිටියේ පිහිටක් අයදින නියාවෙන වන්නට ඈත.

"පුතා මේ තර්ඩ් ක්ලාස් ටිකට් එකක්. මෙහෙම වාඩි වෙලා ගියොත් ඔයාට දඩ ගහවි " 

ඒ වචන මුවින් ගිලිවහනවාත් සමගම සිතේ දිරිය දෙපා වලට දෙමින් සිට ගත්තේ ඊයක වේගයෙනි. මට මතකයට නැගුනේ අර පිරිමි ළමයායි.මා හට ඈත්තේ තර්ඩ් ක්ලාස් ටිකටි බව ඔහු දැන ගත්තොත් වස ලැජ්ජාව. ඔහු කොහේදැයි බැලූ විට ....... පෙර අසුනේ නොවිය. සිතට සතුටක් මෙන්ම දුකක්ද දැනුනි.ඔහු නිසා තමයි මේ කරදර ඔක්කම යැයි ඔහුට සිතින් බනිමින් මා වාඩි වී සිටි අසුන දෙස බැලීමි. මෙන්න ඔහු එතන.

පුදුමය රැදි දෑසින් මා ඔහු දෙස කොපමණ වේලාවක් බලා සිටියා දැයි නිච්චි නැත. මා පියවි ලොවට පිවිසියේ 

'' කෝ! ​කෝ! Love කර කර ඉන්නෙ .ගන්න බලන්න ටිකටි . අපිට තව වැඩ තියනව.,," 

ගොරෝසු කටහඩක් මා අසලම........

ඊට පස්සේ මොකද වුනේ ........ හෙට කියන්නම් ...........


ටිකටි නැතිව කෝච්චියේ ගිය
මම
~ වත් ~

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...