..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, December 27, 2010

෴ කිරිල්ලී ෴

කුරුළු ලෝකය. හරිම සුන්දර තැනක්. එහෙම වෙලා තියෙන්නේ පක්ෂී ලෝකේ තියන විවිධත්වය වැඩි නිසා. කෘමීන් තරම් නොවුනත් අපිට ඇහැට පැහැදිලිව දකින්න පුලුවනක් තරමටම පක්ෂි ලෝකයේ විවිධත්වය සෑහෙන වැඩී. කුරුල්ලන්ගෙන් මිනිස්සුන්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා. 

ලස්සනට සින්දු කියන්න.
ලෝකේ මිනිස්සුන්වත් තාම දැකල නැති තැන් වලට පියාඹල යන්න.
එකිනෙකට වෙනස් ලස්සන පුංචි කූඩු හදන්න.
මල් පැණි බොන්න වගේම කුණු ජරාව වුනත් කන්න.
මෙකී නොකී දේවල් අස්සෙ තියන ලස්සනම ලස්සන දේ තමයි බහුතරයක් පක්ෂින් තම ජීවිතකාලෙටම ජීවත් වෙන්නෙ එකම සහකරු හෝ සහකාරිය සමඟ විම.
ආහ් ... 
අකමැත්තෙන් වුනත් මෙන්න මේකත් නොකියම බැහැ.
හැම සත්ත්ව වර්ගයම වගේ ලස්සනම සතා වෙන්නෙ ගැහැණු සතා වුනත් පක්ෂින් සම්බන්ධයෙන් ගත්තම ලස්සනම සතා වෙන්නෙ පිරිමි සතා.

මම දන්න කියන කිරිල්ලියෙක් ඉන්නවා.මම දෙන දෙයක් කාලා බීලා .. ඔහෙ කැඳැල්ලට වෙලා ඉන්නවා. එක කුරුල්ලෙක්ට ආදරේ කරල හිත රිදිල තටු බිඳිල හරි දුකින් වුන්නේ. කට ඇරියොත් කියන්නේ දුක් ගීත. . . අපොයි දෙයියනේ අපිටත් කියල මෙහෙම දුක් ගීයම අහන් ඉන්න පුලුවන් ද? එහෙම වුනොත් වෙන්නේ අකාලයේ මැරිල යන්න නේද? මම ඉතින් දන්න විදිහෙන් ඒ කිරිල්ලිට කීව 

" අනේ කිරිල්ලියේ දැන් ඇති සෝක ගීත. පුලුවන් නම් තුටින් පිරි ගීයක් කියන්න.ඒත් බැරි නම් කටවහ ගෙන හිටු " කියල. ඇයි වදේ . .අපිටත් මානසික ආතතියද මොකක් ද හැදෙනවා නේ. 
මේ කෙටි ජීවිත කාලේ මේ කිරිල්ලිට මොහොතක් සතුටින් ඉන්න බැරි හැටි.‍අනික ලෝකේ එක කුරුල්ල ද ඉන්නේ හැබෑට.

පස්සෙන් පහු කිරිල්ලිටත් තේරුනා ඇත්ත තමයි මේ කෙල්ල කියන්නෙ කියල. කැඳැල්ලෙන් බැහැල වටපිටේ ටිකක් ඇවිදල ඇවිත් බණ්ඩිය එහෙම ෆුල් වුනාම මෙන්න සින්දු කියන්නැයි ලෑස්තිය. මම  හිටිතැනින් නැගිට්ට. හොඳ හැටි රවල බලල යන්න හදන කොටම මෙන්න කිරිල්ලි පටන් ගත්තා මම කවදාවත් අහල නැති විදිහෙ ලස්සන ගීතයක් කියන්න.

සෑමදාම දුක් ගීතම ගයන කිරිල්ලී
පදය වෙනස් කරන්නැතිව නැහෙන කිරිල්ලී
හිත රැඳි වුන් සිත දුක් ගිනි දවන කිරිල්ලී
දුක් ගීයෙ තනුව ඉතින් මුදමු කිරිල්ලී

දුක මොකටද දිවිය ටිකයි රාං කිරිල්ලි
ආදරයේ මල් පැණි බොමු බටිති කිරිල්ලී
නුඹ නිසාම විහඟෙක් හිත රිදුනා කිරිල්ලී
හිමි අහිමිව කුරුලු කැඳළි තැනෙයි කිරිල්ලී

ඇහේ අනින කටු ඇති අය දකින කිරිල්ලී
ගල් මුල් එයි කැඳැල්ල වෙත රැකෙනු කිරිල්ලී
සුවය දෙවන ඉසුර දිනක් පතන කිරිල්ලී
පියාපතේ වර්ණ මැකෙයි බයෙන් කිරිල්ලී

අත්තටු ඇත ලොව විවරයි නුඹට කිරිල්ලී
එනමුදු හිත රැඳුන තැනින් නොයනු ඉගිල්ලී
සිතේ වර්ණ සිත්තම් කර අහසෙ ඉගිල්ලී
ආදරයට දොරගුළු ‍කුමකටද කිරිල්ලී

අතීතයේ හෙවනැලි යට නොඉනු කිරිල්ලී
අනාගතය පැහැබැර දෝ නොදැන කිරිල්ලී
මේ මොහොතයි සුව දෙන පැය ඉදිනු නොසෙල්වි
 හොට අග පැණි බිඳු පානය බොමුද කිරිල්ලී


ලස්සනම දේ දන්නව ද . . .හෙට ඒ කිරිල්ලි බලන්න කුරුල්ලෙක් එනව. බලමු කිරිල්ලිගෙ හිමිකාරයද දන්නෙ නැහැ නෙ එන්නෙ. . . එහෙනම් ඒ ලස්සන කුරුල්ල ගැන හෙට කියන්නම්. 

ලියූ දේට ගැලපීමක් නැතත් කිරිල්ලි මේ ගීතයටත් දැන් ටිකක් කැමතියි ඕං ... අහල බලන්නකෝ ..


 

“Everyone wants to understand painting. Why is there no attempt to understand the song of the birds?”

කිරිල්ලිත් එක්ක කුරුල්ලා එනකම් දොරකඩ හොර ගල් අහුලන 
මම
෴ සොඳුරු සිත ෴

9 ප්‍රතිචාර:

තරු අහස said...

කිරිල්ලිව බලන්න කුරුල්ලා ආවට කුරුල්ලා දාලා කිරිල්ලි යන්න යාවි කියලා හැමදාම බයයි...
ගොඩක් ලස්සනයි....

Hishan Melanga said...

Always smile.
Because you never know who will fall in love with your smile.

අකීකරු හිත said...

හැමදාමත් වගේ ලස්සනයි කවි ටික...

wmcreations said...

කුරුළු කුමරුන් එන තෙක් පෙර මග බලා හිඳිනා කිරිල්ලියට මේ ඔවදන සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතෙන්...

කිරිල්ලියේ විදාලන්න නුඹේ පියාපත්
පියාඹන්න සිත් අහසේ ලබා නිදහසක්
එක එක පාටින් හමු වෙන වළාකුළු ඇතත්
මුළු අහසම බලා හිඳියි ඔබට දොර ඇරන්

පැහැබර හිරු හිනැහෙන නිල් පැහැ ඇති අහසක්
වැහි බර කළු වළා පිරුණු අන්ධකාරයක්
තරු පිරිවර සඳු හිනැහෙන පෝ දා අහසක්
කොයි ලෙසකින් වෙනස් වුනත් ඒ එක අහසක්

පියාඹන්න සිත් සතොසේ නොවී බිය සැකක්
සොයා යන්න හමු වෙන තුරු එහි ඉමක් කොණක්
අහස කෙලෙස වෙනස් වුවත් නුඹ නුඹ වේනම්
නුඹේ කුරුළු කුමරු ඒවි කිරිල්ලිය සොයන්

You will never know how high you can fly, unless you open your wings and fly...

samadhi said...

සුබ ආරන්චියක්.. ඉරනම් කුරුල්ලම වේවා කියල ප්‍රාර්තනා කරනවා.

Ravi said...

With bated breath,
And fluttering wings,
At the threshold of your own heart,
Waiting for the melody of love,

මාරයාගේ හෝරාව said...

කිරිල්ලිට හිමි කුරුල්ලා හෙට පැමිණේවා...
පතමි මමත්..

මම said...

wow........වත් අක්කා අහන්නත් සතුටුයි ඔයාගේ කිරිල්ලිව බලන්න කුරුල්ලෙක් එනවා කිව්වම හරියට මගේ මූණට හීනාවක් ආවේ මාව බලන්න කව්රු හරි එනවා වගේ...මටත් ප්පිස්සු නේ..
අනේ දෙයියනේ ඒ කුරුල්ලට සොදුරු කිරිල්ලිවත් හොදට ගැලපියන් ඒ වගේම සොදුරු කිරිල්ලිට එ කුරුල්ලවත් හොදටම ගැලපියන්..වත් අක්කේ එහෙනම් ඒ කිරිල්ලිව බලලා කුරුල්ලා ගියපු ගමන්ම ඔයා විස්තරේ දාන්න හොදේ....ආහ් මං කිරිල්ලිට සුභ පැතුවා කියන්න

හිස් අහස said...

මම දැක්කේ නෑ නේ..

මට සුබ පතන්නත් බැරිඋනා .. ඔයා තව එකක් ලියලා .. මම ඒක බලන්න යන්නවා ..

අක්කේ ජයවේවා !!

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...