..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, December 11, 2010

෴ කුවේණිය ෴ ( ඇත්තටම මේ රට මගේ ද ?)

වසා ලා දොර කවුළු මගෙම මාළිගාවේ
අසාලා කීම් බස්  නොරට මවු පියන්ගේ
ගෙනල්ලා බිසව කර කෙනෙක් ඒ ඇසිල්ලේ
ඔටුනු ලා රජ වෙන්න කොල්ලකෑ දනවුවේ

දුටුව විට එදා නුඹ බැඳුන සිත නිසාවෙන්
මගේ ජාතිය රටම පාව දුන් නිසාවෙන්
ඥාති සනුහරයටම පිටු පෑව නිසාවෙන්
නුඹට ආලය කරේ අන්ධ වු නියාවෙන්


දුවා පුතු වැඳූ මම නුඹ ලේම නිසාවෙන්
රට අයිති ඔවුනටයි නුඹ සිතූ නිසාවෙන්
කළ වැරදි මා පස්සෙ හඹා ආ නිසාවෙන්
සාප කර පලක් වෙද නුඹ බිහිරි නිසාවෙන්


මගේ මායම් වලින් නුඹ දිනුව හැකි වුවත්
පලක් නැහැ නුඹෙන් මට ආදරය නැත තවත්
රටක් ජාතියක් වුව පාව දිය හැකි වුවත්
නුඹට මා වැලි කැටයක තරමකට නැත ඉඩක්


නැ‍ඟෙන  හැම පුන් සඳම වළාවෙන් වැසීයන්
බිඳෙන වාරයම සිත අයෙත් නොම හැදීයන්
සිතෙන හැම සිතුවමක මගෙ රුවම පෙනීයන්
රිදෙන තරමටම නුඹට කඳුළු නොම සැලීයන්



එදා සිට අද දක්වා ම හඞන කුවේණිලාට අයිති රටක් මගේ කියන
මම
෴ වත් ෴

පලි : - ඔන්න දැන් ඉතින් කියන්න එපා "සොඳුරු සිත" දේශද්‍රෝහී කියල. . . . . . . . . 
ඇත්තටම ඔබ විජය පරම්පරාවෙ ද?
නැත්තම් කුවේණි පරම්පරාවෙ ද? 
කුවේණී කරපු වැඩේ හරි ද?
එතකොට එහෙම ගැහැණියක් ට විජය කරපු දේ හරිද ?

11 comments:

  1. මට නං හිතුනෙ මෙහෙමයි..
    http://pandaslif.blogspot.com/2010/11/blog-post.html

    ReplyDelete
  2. අක්කේ මම විශ්වාස කරන්නේ අපි පැවත එන්නේ රාවනාගෙන් කියලා ! මම හැමෝටම කියන්නේ මම රාවන පරපුරේ කියලා ..මම දන්නවා ඒක ඇත්ත කියලා ..මොකද මම රා කලයක් බීවත් කෙලින්. රාවනා වගේ තමයි ..

    තවත් දෙයක් තමයි කුවේනි සාප කරලා විතරක් නිකං උන්නේ නෑ යක්දෙස්සා ගලින් පහලට පැන්නා පැනලා මැරුනා ! ඉතිං විජයට රජ පුටුව උඩ වැඩි කාලයක් ඉන්න බැරි උනා ! ඒකෙන් පැහැදිලිවෙන්නේ කුමක්ද ?

    කුවේනිගේ සාපෙ වැඩකරා ! ඇත්තටම ඒ සාපේ තවම වැඩ ඒකයි ලංකාවේ දේශපාලනය තවම අවුල් ..

    ඒ ඔක්කොම පැත්තකින් තියමු ..පද ටික හරිම ලස්සනට ගලපලා ලස්සනම ලස්සන කවි ඩිංගක් හදලා තියෙන්නේ ! හරීම ලස්සනයි ..ඔයවගේ කවියක් මටත් හදන්න පුලුවන් හැබැයි අවුරුදු 158 යන්වා හරියටම හදලා ඉවරකරන්න ..

    ආයෙත් කියමි ලස්සන කවි පොඩ්ඩ !

    ජයවේවා !!

    ReplyDelete
  3. පරම්පරාව කාගෙද කියන්ඩ තරම් දැනුමක් නං මට සුවර් එකටම නෑ.
    හැබැයි විජය කරපු වැඩේ හරි. 100% කෙසේ වෙතත් 50% ක්වත්
    ඇයි....
    තමන් මුළු ජීවිත කාලෙම හැදුනු වැඩුනු රට..
    තමන් මුළු ජීවිත කාලෙම ආශ්‍රය කල නෑදෑයෝ..
    කොහෙන්වත් ඇවිත් කඩාපාත් වෙච්ච...
    තමන් වගේ හිපාටුවෙක්ගෙ ටෝක් එකකට යට වෙලා
    පාවල දෙන්ඩ පුළුවන්නං...
    තමන්ට ඊලඟට වෙන්නෙත් ඒ ටිකමයි කියලා හිතන එක
    අතිශය සාධාරණයි...
    ඒක ඒ කාලෙට විතරක් නෙමේ... අදටත් සාධාරණයි...
    අත්දැකීමෙන් කියන්නේ :D

    ReplyDelete
  4. ඔක හරි විවාදයට ලක් කරන්න පුළුවන් මාතෘකාවක් නෙව.
    එදා ඉඳලා මෙ රටට කොයි තරම්නං ජාති ගොඩ බැස්සද..?
    නිතරම කඩා වැදුනු දෙමළුන් හැරුනු කොට..මුසල්මාන්,ලංදේසි,පරංගි,ඉංග්‍රිසී,....ඔය අපි දැනගෙන..අපි නොදැන තව කොයි තරං ඇතිද..
    අපි කොහොමද හරියටම කියන්නේ අපි පැවත එන්නේ කාගෙන්ද කියලා...

    හැබැයි අර සඳරු කිව්වා වගේ..මගේ ජාන කොහෙන් ආවත් මාත් කැමතියි මම එන්නේ රාවනා පරපුරෙන් කියලා කියන්න..

    හැබැයි මොකාගෙන් කොහොම පැවත ආවත් මම සිංහලයෙක්..ඒ වගේම ජාති වාදියෙක්.

    කුවෙණි ගැන කියනවනං...මෙච්චරයි කියන්න තියෙන්නේ..
    අදටත් ඉන්න තරමක් ඉන්නේ කුවෙණිලා.

    ReplyDelete
  5. මම නම් අක්කා ඔය එක පරපුරකවත් නෙවේ...මනුස්ස පරපුරේ...හොද මනුස්ස පැටියෙක්..

    ReplyDelete
  6. අනේ මන්දා මොනවා කියන්නද කියලා හිතා ගන්න අමාරුයි !!!! ගොඩක් ලස්සනයි අක්කා මේ කවි පද ටික !!!

    එදා දේවල් යලි යලිත් සිදු වෙනවා කියනවනේ අක්කා. විජය වෙනුවෙන් හඩා වැටෙන කුවේනි ලා අදත් ලංකාවේ ඉන්නවා. ඒ වගේම තමයි කුවේනිලා ව දාල වෙන අය හොයන් යන විජය කුමාරවරුත් ලංකාවේ ඉන්නවා කියලා අමතක කරන්න හොද නෑ.

    ReplyDelete
  7. ලස්සන කවිය. මාරයගෙ කතාවට මමත් එකඟයි

    ReplyDelete
  8. (c)තරු අහස
    "මම නම් අක්කා ඔය එක පරපුරකවත් නෙවේ...මනුස්ස පරපුරේ...හොද මනුස්ස පැටියෙක්.."

    matath kiyanna thiyenne mekawma thamatyi

    ReplyDelete
  9. ම්ම්, විජය කුවේණි කතාව ටිකක් පිලිගන්න අමාරු කතාවක්, හරි අපි කියමු කතාව හරි කියල. ඔන්න ඔයාගෙ ප්‍රශ්න වලට උත්තර

    ඇත්තටම ඔබ විජය පරම්පරාවෙ ද?
    නැත්තම් කුවේණි පරම්පරාවෙ ද?

    අපි නම් ඔය රජ පරම්පරවල අය නෙමේ, මේ රටේ ජීවත් වෙන, වෙච්ච සාමාන්‍ය මහජනතාවගේ දරුවෝ. ඉන්දියාවෙන් ආව මේ බිමේම හිටිය ගොඩක් ජනකොටස් වලින් හැදුන සිංහල ජාතියේ දරුවෝ.

    කුවේණී කරපු වැඩේ හරි ද?

    එක්කෙනෙක් වෙනුවෙන්, අඩුමගානේ හරියට දන්නෙත් නැති කෙනෙක්ගේ, ආදරයක් ලබාගන්න කියල තමාගේම නෑයෝ, මිනිස්සු විනාශ කිරීම හරි කියල කියන්න පුලුවන්ද? සමහරවිට විජයගේ අලුත් HAIR STYLE එකට හිත යන්න ඇති නේ. කොහොම උනත් අන්තිමට කුවේණී විජයට සාප කරපු විදියට අන්තිම නරකයි. එකෙන් උනෙ අහක හිටපු මිනිස්සුන්ටත් ලෙඩවුනු එකයි.

    එතකොට එහෙම ගැහැණියක් ට විජය කරපු දේ හරිද ?

    හරිම නෑ කොහොමටත්, මිනිහ කොහොමත් ඒකාලේ ඉදන්ම නරක යකෙක්නේ, බේරන්න බැරිවනේ කට්ටියම නැවේ පටවල යැව්වේ. මේ යකාව අදුනගන්න බැරිවීම කුවේණීගේ ප්‍රශ්නයක් කියල මට හිතෙන්නේ.

    ReplyDelete
  10. මම පැවත එන්නෙ කාගෙ පරම්පරාවෙන්ද කියල වත් අහපු ප්‍රශ්නෙට මගේ උත්තරේ නම් ඒක හරියටම කියන්ඩ බැහැ,හැබැයි, මම කොහොමවත්ම කැමති නැහැ මම පැවත එන්නෙ විජයගෙන්ය කියන්ඩ, ඒකට හේතු කීපයක් තියෙනවා,

    1. මගේ කිසිම කැමැත්තක් නැහැ මම පැවතෙන්නෙ තිරිසනෙකුගෙන් කියල කියන්ඩ,

    2. එ වගේම සහෝදරයෙක් සහ සහෝදරියක අතර සිදුවුනු සංවාසයක් නිසා මගේ ජාතිය බිහිවුනා කියන එකටත් මම අකමැතියි,

    3. මම පැවත එන්නෙ රටේවත් තියාගන්ඩ බැරුව පිටුවහල් කරපු දාමරිකයෙක්ගෙන්ය කියන දේටත් මම අකමැතියි,

    4. මේ ඔක්කොටම වැඩිය ආදරේ නිසා තමන්ගෙ සියලුම දේවල් කැප කරපු ස්ත්‍රියක් සහ තමන්ගෙම දරුවන් දෙන්නා, අන්තිමට පලවා හැරිය ගුණ මකුවෙක්ගෙන් මම පැවතෙනවයි කියන එකට මම කොහොමටවත් කැමති නැහැ,

    ReplyDelete
  11. * පැන්da - කුවේණි ගැන ඔබේ ලිපියත් මා කියෙවුවා..ඔබ හිතන විදිහ ට මාත් කැමති...

    * හිස් අහස - රාව‍ණා පරපුරේ තවත් පුරුකක් හදුනා ගැනීම සතුටක්.රාවණා කියන්නේ හොඳ දක්ෂයෙක්...

    * තරිඳු - හරි ... ඔයා විජය පරම්පරාවේ නේද? තවත් විජය කෙනෙක් ..ගැහැණුන් ගැන ඇයි එහෙම හිතන්නේ...ඔබේ අදහස් අගේ කරමි.ස්තූතියි.


    * මාරයාගේ හෝරාව - කුවේණිල විතරමද ජිවිතේදි මුණ ගැහිල තියෙන්නේ ... ජය..


    * තරු අහස - මොළේ තියන උත්තරයක්...

    * මධුරංග - ඔවු.. විජයල කුවේණිල ගැන මගේ මගේ අදහසත් ඒකමයි... ස්තූතියි.

    * රංග - ඔබටත් හමුවෙලා තියෙන්නේ කුවේණිල විතරයි වගේ....


    * Dil_8 -හේ හේ .. මනුස්ස පරපුරේ තවත් දරුවෙක් ..ස්තූතියි

    * sukitha - ඔයා කියන විදිහට අන්තිමට සියලු වැරදි කුවේණි තමයි කරල තියෙන්නේ... අපොයි .. විජයලටම ගිය රටක් වගේ මේක.. ඔබේ අදහස් ගරු කරමි. ස්තූථියි.ලස්සනම දේ තමයි විජයගේ කොණ්ඩ මෝස්තරයට කුවේණි කැමති වීම... නිර්මාණශීලි වගේම ගැහැණිය‍ගේ බුද්ධිමත්කම සැහැල්ලුවට ලක් කිරීමක් අගේට පෙන්නල.ස්තූතියි

    *** Ravi - සම්පූර්ණයෙන්ම එක වෙමි... මා වැනිම සිතන්නෙක් මුණ ගැසීමද සතුටකි... ස්තූථියි

    ***** කුමන අදහස් දැරුවද ඒ සියලු අදහස් වලට හිස නමා ආචාර කරන අතර මා වැනිම සිතන පුද්ගලයන් එකෙකු හෝ සිටීම නිසා මා සිතන විදිහේ වැරුද්දක් නැති බව හැගේ ****

    ෴ ස්තූතියි ෴

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...