..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, December 8, 2010

෴ පිස්සා ( 1 කොටස )෴

මිනිසුන් පිස්සන් වන්නේ ඇයි දැයි අදටත් මට ඇති ගැටළුවකි. බුදුන්වහන්සේට අනුව නම් අපි සියල්ලෝම යම් තරමකට හෝ මානසික ව්‍යාධි වලින් පෙලෙන්නන්ය. නමුත් මහ මඟදී හමුවන පිස්සන් සහ මානසික රෝහල් වල සිටින මානසික ව්‍යාධි වලින් පෙළෙන පිස්සන් දුටු විට ඒ ගැන සිතලාම මට ද පිස්සු හැදෙන වාර අනන්තය. අනුන් ගැන ඕනවට වඩා නොසිතන ලෙස බොහෝ විට මට අවවාද ලැබෙන්නේ සැබැවින්ම මාද සිංවේදි මනසක් ඇති පිස්සියක වන නිසා වන්නට පුලුවන.

කෙසේ වෙතත් ගමේ කාගෙත් ආදර ගෞරවයට ලක් වූ ගමේ සිටි නාදුනන පිස්සා ගේ අවමඟළ අදයි.ඔහු පිස්සෙකු වුවද යම් තරමකට වාසනාව ද ඔහු සමඟ සිටින්නට ඇත. නැතිනම් අද මෙසේ මුළු ගමක්ම සමභාගී වන , ගමකම සම්මාදමෙන් පිළියල වුන සුව පහසු මිනී පෙට්ටියක සැතපෙන්නට ඔහුට වාසනාවක් කොයින් ද?

සියළු පිස්සන්ට පොදු වූ ගති ලක්ෂණ වූ අවුල් වූ හිස කෙස් , වැරහැලි ඇඳුම් , ටින් බෙලෙක්ක  සියල්ල ඔහු සන්තකයේ වූ අතර කිසිවෙකුටත් ළං වීමට නොදෙන කුඩා පොට්ටනියක් ද නිතරම ඔහු ළඟ විය. කන බොන විට , නිදියන විට පමණක් නොව ඔහු වැසිකිලි යන්නේද ඒ පොට්ටනිය තුරුළු කර ගෙන බව ඔහු ගැන දන්නෝ පවසති.

මැදි වියද ඉක්මවා සිටි ඔහුගේ නියම වයස පැවසීමට අපහසු වන්නේ ඔහු පිස්සෙකු බැවිනි. බොහෝ විට පිස්සන් ගේ වයස පෙනෙනවාට වඩා බොහොම අඩු බව මගේ හැඟීමයි.ඔහු ගැන සැබෑ තොරතුරු දන්න කිසිම කෙනෙක් ගම් ප්‍රදේශයේ නොවු අතර මේ පිස්සාට උසුළු විසුළු කරන්නන් ද නොවූයේ ඔහු හිත හොඳ පිස්සෙකු වූ නිසාය.

බොහෝ විට ගමේ ප්‍රජා ශාලාව අසල වූ ළමා උද්‍යානය අසළ කුඩා දරුවන් සමඟ උසුළු විසුළු පාමින් සිටින ඔහු කිසිවිටක දරුවනට හිරිහැර කළේ නැත. දරුවන්ගේ දෙමාපියන් ද මුළදී ඔහු ගැන බිය පලකරල ද , සිහිනුවනින් සිටින ඇතැම් තිරිසන් මිනිසුන්ට වඩා මේ පිස්සා හොඳ බව ඔවුන් අත්දැකීමෙන්ම අවබෝධ කර ගත්තේය.

මේ පිස්සාගේ අවසන් ගමනට ද මඟ වූයේ ඒ ළමා උයනේ සිටි කුඩා දරුවෙකි.ඒ දරුවාට මොහු විශේෂ ලැදියාවක් දක්වන බව මාගේ නිරීක්ෂණයට හේතු වුවද අන් අය නම් කිවේ සෑම දරුවෙක්ටම ඔහු ආදරය කරන බවයි.

මොහුගේ මරණයට දින කිහිපයකට පෙර ළමා උයනේ සිටි මා ඉහත කී  පිරිමි දරුවා පාරෙන් ප්‍රතිවිරුද්ධ දෙස සිටි පිස්සා දෙසට පැමිණ ඇත්තේ පාරේ යන වාහන ගැන නොසැලකිල්ලෙනි. දරුවා පාරේ ගිය මෝටර් රථයකට අසුවූ අතර ක්ෂණිකව ක්‍රියාත්මක වූ ග‍මේ උදවිය කුඩා දරුවා ගමේ රෝහලට ගෙන ගිය අතර තත්ත්වය බර පතල වූයෙන් ළඟම පිහිටි ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබුනි.

පිස්සාගේ හෝ දරුවාගේ අතින් සිතා මතා වූ වරදක් නොවූව ද ඇතැම් පිරිස පිස්සාට දෙස් දෙවොල් තබන්නට විය. පිස්සා තව තවත් පිස්සෙකු වූ අතර නොකා නොබී පිස්සු දොඩවමින් සිටි ඔහු ඉන් දින තුනකට පසුව මෙලොව හැර යන්නට කාරණා යෙදුනි. 

" මට සමාවෙන්න පුතේ .. " යනුවෙන් ඔහු නිතර දෙවේලේ දෙඩවූ බව ඇසූ දුටුවන් කියන්නට විය.

පිස්සා මිය ගිය පසුව සියළු දෙනාගේ කරුණාව නැවතත් ඔහු වෙත යොමු වූයෙන් , අද ඔහු වෙනුවෙන් ඔහුගේ ප්‍රියතම ස්ථානය වූ ගමේ ප්‍රජාශාලාවේ අවංමගල්‍ය උත්සවයකි. ඔහුගේ කොණ්ඩය කපා නොතිබුන අතර එකම වෙනස වුයේ පිරිසිදු ඇදුමක් අන්දවා සිටීම පමණි. කොණ්ඩය කපා දැම්මා නම් අප කවුරුත් හඳුන පිස්සා නොව මිනී පෙට්ටිය තුල සැතපී සිටින්නේ වෙන මම පුද්ගලයෙකු බව බොහෝ දෙනකු සිතනු නොඅනු මානය.

පිස්සාගේ අවමගුල් උත්සවයට සහභාගී වු මගේ සිත තුල හොල්මන් කරන්නට වූයේ පිස්සාගේ පොට්ටනියයි. . . ඔහු පිස්සකු කිරීමට සමත් වූ දෙයෙහි අඩු වැඩිය එහි ඇති බවට මගේ සිත නිතර නිතර කියන්නට වූ අතර. ඔහු ජීවිත්ව සිටියදි විවිධ ක්‍රමෝපායන් යොදා එය විවෘත කර බැලීමට මා ගත් සියළු උත්සාහ නිර්තක වී ගියද ඔහු මල පසු කාගෙන් තහනමක් ද? ඒත් කෝ පොට්ටනිය.

මළ ගෙදර සියළු බර කරට ගෙන ක්‍රියා කරන්නට වූ තරුණ සංග‍මයේ යොවුන් නායකයා වෙත ළං වූ මම ඔහුගෙන් පොට්ටනිය පිළිබඳ විමසුවේ සැකයක් නොහිතෙන ලෙසිනි.
" මල්ලි . . මේ මනුස්සයගේ පණ වගේ ළඟින්ම තිබුන පොට්ටනියත් අවසන් කටයුතු කරන කොට ළඟින් ම තිබ්බ නම් නේද හොඳ ? "

" ආහ් . .  ඔවුමයි අක්කා. ඒත් ඒක ඇත්තේ මල් ශාලාවේ වෙන්න ඕනි. මෙතන වැඩ අස්සෙ යන්නත් විදිහක් නැහැ "

ඉබ්බා දියේ දාන්නට අසන්නට ඕනෑද ?

" මම ගිහින් ගේන්නම්. කරදර වෙන්න එපා. ඒකත් මෙතන තියෙන්නම ඕනි ."

" ලොකු උදවුවක් අක්කා "

සිත පුරා ස්තූති පුර්වකව ඔහු පැවසූ සැනින්  මගේ පා මල්ශාලාව වෙත එසවුනේ පිස්සකුගේ හෙලි නොවු රහස් ගොනු කර ඇති නිධානය සොයා යෑමටයි.


පිස්සා නිසා පිස්සු වැටුන පිස්සු කෙල්ල 
මම
෴ වත් ෴

31 ප්‍රතිචාර:

තිස්ස දොඩන්ගොඩ said...

දෙයියෝ සාක්කි....! මේ වාසුදේව නේද...?

arunishapiro said...

තිස්ස දොඩන්ගොඩගෙ කමෙන්ටුව දැකලා බකස් ගාලා හිනා!

පොට්ටනියේ තිබුනේ මොනවා ද???

ඉලංදාරියා said...

අක්කේ මගෙත් ඔලුවේ කෙස්නම් හෑමවෙලෙම අවුල් වෙලා තියෙන්නේ ..
මාත් ඔය ගනයට වෑටෙයිද හික්zz.හේ ..

පොට්ටනියේ මොනවද තිබුනේ ..

Surgy Villiam said...

හැබෑටම අක්කේ මොනාද තිවුනෙ ඒකෙ...මේ දවස් වල මටත් පිස්සු..ඔළුව යකාගෙ කම්මල වගේ නොවැ..ඒත අනේ මට පොට්ටනියක් තමා නැත්තෙ..

තරු අහස..

Jeew said...

කවුද බොල මගෙ පොට්ටනිය අදින්ඩ හදන්නේ.... පලයව්.. පලයව්... පලයව් යකුනේ.....

හිස් අහස said...

පිස්සු හැදෙනවා ...

අපි හැමෝටම විව්ධ ආකාර වල පිස්සු තියනවා

මගේ හොඳම යාළුවෙකුට ගෑනු පිස්සුව , තව කෙනෙකුට මැනික් පිස්සුව මිදුල පුරා වලවල් කපනවා මැනික් හොය හොයා ..තව අයියා කෙනෙක් ඉන්නවා එයාට කළුනික හොයන පිස්සුව තදේට තියනවා ..තව කෙනෙක්ට තේ වත්තක් මිළදී ගැනීමේ පිස්සුව .මගේ තව මිතුරෙකුට ඇත්තටම පිස්සු ..

අක්කට මොකක්ද තියන පිස්සුව ?

අක්කා අර මල්ලේ තිබ්බේ පිස්සගේ සෙල් ෆෝන් එක නේද ?

ජයවේවා !!

සහෝදරයා said...

හරිම පිස්සු නේද ... බලන් ගියාම අපි හැමෝම පිස්සුනෙ ... අපිටත් එක එක පිස්සු .... අපිට වඩා වෙනස් දෙයක් ගැන මිනිහෙකුට පිස්සු හැදුනම අපි ඒ මිනිහට පිස්ස කියනව ... හරිම පුදුමයි ... මේව හිතුවම පිස්සු හැදිල ආයෙත් හැදෙනවනේ ... හරිම පිස්සුකේස් තමා මේව... අපෝයි

පිස්සෙක්

සහෝදරයා said...

අක්ක කිව්ව අහින්සක පිස්ස ගැන කියන්න අමතකඋනා නේ මම පිස්සට ...
ඇත්තටම ඒ මනුස්සය ගැන දුකයි .. මොකද පිස්සො හරිම අවංකයි ... බොරුව රැවටීම රගපෑම නෑ .. ඒ නිසා තමයි මිනිස්සු ඒ මනුස්‍සයොන්ට පිස්සො කියන්නෙ ....
ඒ මනුස්සය දුක් වෙන්න ඇත්තෙ ඇත්තටමයි .... එතුමාට හොද භවයක් අත්වේවා !!

Dinesh said...

හරිම දුක හිතෙන කතාවක්....ඇත්තටම ඒ මල්ලේ මොනවද තිබුනේ... ඉදිරි ලිපියකින් අපි ඒ ගැන දැනගන්න ආසයි...

kumaraya said...

ඔයාට පේනවනෙ වත් ...
හැමෝටම ඕනේ පිස්සගෙ මල්ලෙ තිබුණෙ මොනවද කියල දැනගන්නයි...
ඒක කුතුහලයද ...?
නැතිනම් අනිත් අයගෙ මලු අවුස්සා බැලීමේ මිනිසා තුල පවතින සහජ ආසාවද ....?
ඔයාත් ඒ විදිහමද ...?

prasanna86k said...

මොනාද අක්කා කරන්නේ? දැන් ඉතිං අපිට පිස්සුනේ මල්ලේ තිබුනේ මොනාද කියලා දැනගන්නකං...

wath said...

@ තිස්ස දොඩන්ගොඩ
වාසු ... මොන වාසු ද අයියා... හිහි... හැබෑටම මේ එයා ද? ඔන්න මම නම් නෙමෙයි ඒයාට පිස්සු කීවේ හරිද ?

wath said...

@ arunishapiro
හිනාදත් අහනව. මේ තිස්ස අයිය නම් ඔහොමමයි අක්කේ....

හැබැයි පිස්සාගේ පොට්ටනියෙ නම් චීස් නැතිව ඇති. තිබ්බත් පරණ වෙලා නිල් චීස් බවට පත් වෙලා ඇති....

ස්තූථියි අක්කා ... කමෙන්ට් එකට වගේම චීස් කතාවටත්..

wath said...

@ ඉලංදාරියා
හේ හේ . . . කොණ්ඩෙ ද අවුල් ඔලුව ද අවුල්... පිස්සගෙ නම් කොණ්ඩෙත් අවුල් ඔලුවත් අවුල්. ඉලන්දාරියට පිස්සු කියල හිතන්න තරම් මට පිස්සු නැහැ ... ස්තූතියි පිස්සු ඉලන්දාරියෝ ...

wath said...

@ Surgy Villiam
මේ කවුද කියල බැලුවේ .බැලින්නම් මේ අපේ තරු අහස. පොට්ටනියේ තිබ්බෙ මොනාද කියල ඊළඟ කොටසින් කියනව...ස්තූථියි.

wath said...

@ Jeew
ආහ් ... මෙන්න පිස්සා ආයෙත් ඇවිත්... හේ හේ Jeew ට පිස්සු නැහැ කියල මම දන්නව. ස්තූතියි....

wath said...

@ හිස් අහස
අනේ අනේ... මට නම් හිනා හොදටම... සෙල් ෆෝන් නැති එක පිස්සෙක් ඉන්නව නම් මට කියන්න බලන්න. සෙල් ෆෝන් එකක් නැත්තම් අන්න වූ තමයි පිස්සා...

පොට්ටනියෙ තිබ්බෙ මොනාද කියල මම ඊළඟ කොටසින් කියනවා...

ආහ්.. ඇයි මල්ලි ඔයා ලෝකේ තියන හොදම පිස්සුව ගැන කියල නැහැ නේ. "ආදර පිස්සුව"

ස්තූතියි...

සටන දින්නට සුබ පැතුම්. ඔන්න ආයේ බැහැ සටන්...

wath said...

@ සහෝදරයා
සහෝදරයා ඔයාගේ කමෙන්ටුව කියවල මටත් පිස්සු වගේ... සහෝදරයන්ට පිස්සු කියන්න බයයි සහෝදරයා... හිහ්.. රතු සහෝදරයන්ට පිස්සු කියල ගොඩක් අය කියනව ....

ස්තූතියි...

wath said...

@ Dinesh
පිස්සා ගැන හෙලි කිරීමක් ඊලඟ ලිපි වලින් බලාපොරොත්තු වන්න. පිස්සා ගැන උනන්දු වීම ගැන් ස්තූථියි වගේම පිස්සු කෙල්ල ලියන දේ බලන්න එනවාටත් කමෙන්ටුවක් ලීවාටත් පිස්සු හදවතින්ම ස්තූතියි කියනවා Dinesh ....

wath said...

@ kumaraya
ඔන්න ඉතින් . . . ඔයා හැමවෙලේම වගේ මම ලියන දේත් සමඟ මාව ගලපන්න උත්සාහ කරනවා. එහෙම වුනොත් ඔයාට පිස්සු හැදෙයි. මොකද අද මම ලියන‍දේ නෙමෙයි ආයේ හෙට ලියන්නේ. එතකොට ඔයා හිතාවි මේ කෙල්ල නම් පුදුම කෙල්ලෙක් එක හිතක් නැති හැටි කියල...

kumaraya
ඔයා මම ලියන දේත් එක්ක මාව පටලවා ගන්න එපා.

මෙන්න උත්තර ඔයා මගෙන් අහපු ප්‍රශ්ණ වලට...

01)ඒක කුතුහලයද ...?
ඔවු. මිනිසා කියන්නේ උපතින්ම කුතුහලය අරගෙන එන ජීවියෙක්. අන් සතුන්ට වඩා මිනිසාගේ කුතුහලය වැඩියි.කුතුහලය නිසාම මිනිසා විසින් සොයා ගත් දේද අතිමහත්....

02)මිනිසා තුල පවතින සහජ ආසාවද ....?
කුතුහලය ඇති වෙන්නේ නොදන්නා නොපෙනෙන දේ හඹා යෑමේ සහජ ආසාව නිසාමයි.

03)ඔයාත් ඒ විදිහමද ...?
හැමවෙලේම ඔයා අහන දේ. මම මේකට උත්තර දීල තියෙනවා. මා ගැන සෙවීමේ ඔබේ කුතුහලය මෙයින් මනාවට පෙනේ.මා ගැන යනුවෙන් මා අදහස් කරේ මගේ සිත ගැනයි.
මා මෙයට කෙතරම් පිළීතුරු දුන්න ද. ඒ ගැන නැවත නැවතත් විමසමින් අසනනේ කුතුහලය නිසා ද?

හොඳයි මම අවංකව කියනව නම් .... ම්ම්හ් නැහැ. ඔයා මේ කතාවේ ඉතිරි කොටස් දෙක කියෙවුවොත් ඔයාට තේරේවි මම හොයන්නේ පොට්ටනිය තුල වූ දේද නැත්තම් වෙනත් දෙයක් ද කියල.....

ස්තූතියි ඔබතුමාටකුමාරයා . . . .

wath said...

@ prasanna86k
ඉතින් මාලුවෝ... ඉතිරි කොටස් ලියල ඉවරයි. ඉක්මනින් පබ්ලිෂ් කරන්නම්.... පොට්ටනිය තුල වූ දේ ඔබ වෙනුවෙන් ඉක්මනින්ම හෙලි කරන්නම්.ස්තූථියි prasanna86k.

Ravi said...

තිස්සගෙ කතාව ඇත්තම තමයි, වාසු මම හිතන්නෙ මේ දවස්වල මෙහෙම තමයි ඉන්නව ඇත්තෙ, මටත් මේ රූපෙ දැක්ක ගමන් හිතුන අඩේ, කවුද මේ හොඳට දැකල පුරුදු මූණක් කියල, තිස්සගෙ කමෙන්ට් එකෙන් තමයි වැඩේ මීටර් උනේ,

ඒක නෙවෙයි වත්, දැං ඔයා දෙවෙනි කොටසින් කරන්ඩ යන්නෙ අර අහිංසක පිස්සා වැසිකිළි යනකොටවත් අත නෑර ආරක්ෂා කරපු පොට්ටනියෙ තියෙනදේ, රටේ ලෝකෙ හැමෝන්ටම ප්‍රසිද්ධ කරන්ඩද?

බොහොම කැතයි, බොහෝමත්ම කැතයි හොඳේ,පිස්සෙක් මලාම උනත් ඒ මනුස්සයගෙ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්ඩ ඕනෙ නේද? සොඳුරු සිතක් කොරන වැඩද මෙව්ව, අනෙ අම්මප?

kumaraya said...

වත්සලා ...
මම වැඩිය ඔයාට කමෙන්ට් දාන්නෙ නැත්තෙ ඔය නිසයි.
මේකෙදිත් ඔයාගෙ හිත යන්තම් රිදීගෙන ගියා වාගෙයි මට දැනුනේ.
[ඔයාට යම් අපහසුතාවයක් වුනා නම් කණගාටුයි.]
එක අතකට ඔයා කියපු එක ඇත්තයි.
[මා ගැන සෙවීමේ ඔබේ කුතුහලය මෙයින් මනාවට පෙනේ.]
ඔව්... මම කුතුහලාත්මකයි .. ඔබ ගැන..

සමහරවිට එය වැරදි දෙයක් විය හැකියි.

Chanaka Aruna Munasinghe said...

පිස්සාට නිවන් සැප ලැබේවා !
මේක ඇත්ත කතාවක්ද? නැත්තන් කතන්දරයක්ද?

Thilina Madhushankha said...

මම පහළින් මුලිනුපුටා :D දක්වල තියෙන කොටස් මරු.

"කෙසේ වෙතත් ගමේ කාගෙත් ආදර ගෞරවයට ලක් වූ ගමේ සිටි නාදුනන පිස්සා ගේ අවමඟළ අදයි.ඔහු පිස්සෙකු වුවද යම් තරමකට වාසනාව ද ඔහු සමඟ සිටින්නට ඇත. නැතිනම් අද මෙසේ මුළු ගමක්ම සමභාගී වන , ගමකම සම්මාදමෙන් පිළියල වුන සුව පහසු මිනී පෙට්ටියක සැතපෙන්නට ඔහුට වාසනාවක් කොයින් ද?"

"මැදි වියද ඉක්මවා සිටි ඔහුගේ නියම වයස පැවසීමට අපහසු වන්නේ ඔහු පිස්සෙකු බැවිනි. බොහෝ විට පිස්සන් ගේ වයස පෙනෙනවාට වඩා බොහොම අඩු බව මගේ හැඟීමයි."

පහළ තියෙන කොටස් මීට වඩා නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්න තිබුනු බව මගේ හැඟීමයි.
"දරුවන්ගේ දෙමාපියන් ද මුළදී ඔහු ගැන බිය පලකරල ද , සිහිනුවනින් සිටින ඇතැම් තිරිසන් මිනිසුන්ට වඩා මේ පිස්සා හොඳ බව ඔවුන් අත්දැකීමෙන්ම අවබෝධ කර ගත්තේය."

" මම ගිහින් ගේන්නම්. කරදර වෙන්න එපා. ඒකත් මෙතන තියෙන්නම ඕනි."
(කරදර වෙන්න එපා කියන එක මෙතනට අනවශ්‍යයි කියලයි මට හිතුනේ. නැත්නම් වෙනත් විදියකට කියන්න තිබ්බ කියල හිතෙනවා. හේතුව, අනිත් ටිකත් එක්ක එහෙම කිව්වම, අර කොල්ලට සැක හිතෙන්න පුලුවන්නෙ, "යකෝ මේකිට ඔය ගැන තියෙන කැක්කුම මොකක්ද" කියලා. :D ඔය මට හිතුන හැටියක්. හෙහෙ. සමහරවිට, 2 කොටසේ මීට සම්බන්ධ මොනවහරි තියෙනවද දන්නේ නෑ. ඒක තවම කියෙව්වේ නෑ.)

මේක ලියල තියෙන්නේ කතා කරන භාෂාව මුල් කර ගෙන කියල පේනවා. ඒක නිසා මම යෝජනා කරන්න කැමතියි, ඒ වගේ ලියන කොට ව්‍යාකරණ ගැන පොඩ්ඩක් සැළකිලිමත් වෙනවා නම් හොඳයි කියලා. ලොකු දේවල් නෙමේ. අර එක තැනක තියෙනවා "දෙමාපියන්" කියලා. එතන "දෙමවුපියෝ ද" කියල එන්න ඕන නේද. ඊට පස්සේ "ඔවුන්" නෙමේ, "ඔවුහූ" කියල එන්න ඕනනේ. එතකොට බහු වචන නිසා ක්‍රියා පදය තියන්න ඕනි "ගත්තෝය" කියල. ඔයා ලියල තියෙන විදිය සිංහල කතා කරන විදියට වඩා, ලියන ව්දියට බරයි කියල හිතුන නිසා මේ "බහු වචන" ටික කිව්වේ. :D

කළින් මම ඔයාගේ අර වලව්වේ හොල්මන් ළමයගෙ කතාවත් කියෙව්වා. මේකෙත් අන්තිමට පොඩි කුතුහලයක් තියල. නරකද මෙගා නාට්‍ය ලිව්වා නම්. සෑහෙන දියුණුවක් ලබන්න තිබ්බා. ;)
අනික, කතන්දර කියන්න පුලුවන් නිසා, හිතුවොත් හොඳට බයිලා කියන්නත් පුලුවන් වෙයි. ඒක නිසා, දේශපාලනයට හෙමින් සැරේ රිංගන්න. ගොඩම තමයි. :D

මධුරංග said...

අපේ ගෙවල් ලගත් පිස්සු අපේ ගෙවල් ලගත් පිස්සු මනුස්සයෙක් හිටියා. ඒ මනුස්සයාට පිස්සු හැදුනේ උගත්කම වැඩි වෙච්ච හින්දා. හැමදේම ගානකට තියෙන්න ඕනේ කියන්නේ මේ වගේ වෙලාවට වෙන්න ඇති නේද අක්කා ???

අපි ඉන්ජිනේරු විද්‍යාව කරනකොට නීතිය උගන්වනවා විශයක් හැටියට .ඒකේ දී සර් කියන ප්‍රසිද්ද කතාවකුත් මතක් උනා.

ඔය එක අම්මා කෙනෙකුට ලමයෙක් හිටියාලූ. ඒ ගෑනු කෙනාට හිටියේ එකම එක ලමයයි කියලා තමයි ඒ සර් කිව්වේ. දවසක් ඒ අම්මා කඩේ ගිහින් එද්දී ඈතදීම දැක්කලු අර පොඩි ලමයා පාරට ඇවිල්ලා. පාරේ එහා පැත්තෙන් ලොරියක් එනවලු. අර අම්මට කරකියා ගන්න දෙයක් නැතිලූ. ලමයා වාහනේට හැප්පෙයි කියන බයට මේ අම්මට ඒ මොහොතේම පිස්සු හැදුනලූ. නමුත් අර ලමයගේ වාසනාවට එයා ව බේරුනාලු.

ඔය සිද්ධියේ නිතිමය පැත්තත් අපට කියලා දෙනවා. අර ලොරි රියදුරා, අම්මට වන්දි ගෙවන්න ඕනේ. මොකද අර පුතාගෙයි අම්මගෙයි තියෙන නෑදෑකම හින්දා. බැරිවෙලාවත් පාරෙ හිටපු වෙන කෙනෙක් හැප්පෙන්න ගිහින් ඒ අම්මට පිස්සු හැදුනා නම් ලොරි රියදුරා ඒ අම්මට වන්දි ගෙවන්න ඕනේ නැහැලු.

කොහොම උනත් ඒ අම්මට පිස්සු හැදුනේ දාරක ස්නේහය හින්දා නේ.

෴ හසියා ෴ said...

පිස්සි‍‍..........

wath said...

යාළුවො ඔක්කලාටම ස්තූථි කරන්න එනව මම... දැන් වෙලාව මදි.. කාටත් වෙන වෙනම ස්තූති කරන්න එන්නම්...

දුමී said...

පිස්සා කවුරු උනත් මටත් පිස්සගේ පොට්ටනිය ඇරල බලන්න හිතෙනවා.... පලා මල්ලක් තිබුනේ නැද්ද වත් නගෝ ?

හැබැයි වාසුගෙ පොට්ටනියෙ තියෙන දේ නම් හැමෝම දන්නවනේ.....!

මිත්‍යාදෘෂ්ටිකයා said...

ඉපදුන දා පටන් නොදන්නා කිසිවක් ගැන නොසිතනා, උගත් දේ මතම පමනක් සිට දිවි ගෙවන ඔබත් මාත් පිස්සාට අනුකම්පා කරනු ඔහු දන්නේ නම්, ඔහු දෙවන වරට මැරෙන්නේ සිනහවීම නිසාය.

Gayan Leanage said...

ඕක කියනකොට මට මතක් උනේ අපේ පැත්තෙත් හිටිය පිස්සු අංකල් කෙනෙක් මිනිහ ලගත් තිබ්බ පොටනියක් (හැබැයි ඒක බෑග් එකක්)
මිනිහත් කැමති නෑ ඒක ගැන අහනවට.
කොල්ලො කුරුට්ටො මිනියව දැක්ක තැන අහන්නෙ
"ආංකල් මල්ලෙ මොනාද?" "මල්ල කරේ" වගේ දේවල් ඇහුවම මිනියගෙන් අහගන්න පුලුවන් හොදට ඒව "***x**x**" කියපු උන් යන්න යනව බනින්නෙ පාරෙ ඉන්න මිනිස්සුන්ට.
මිනියව ගමේ මිනිස්සු හැදින්වූයෙත් "මල්ල කරේ" කියල.
හැබයි මිනියත් හිත හොද පිස්ස.

මිනියගෙ මල්ලෙ මොනාද තිබ්බෙ කියල අදටත් අපි දන්නෙ නෑ.
මිනියට මොකද උනේ කියල දන්නෙත් නෑ

ඔය කියන පිස්සගෙ මල්ලෙ මොනාද තිබ්බෙ කියල දෙනගත්තොත් idea එකක් ගන්න පුලුවන් වෙයි.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...