..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, November 24, 2010

෴ අයං වස්සාන කාලෝ ෴

හවස් වරුව පටන් ගන්න කොටම වැස්ස වහින්න කලින්ම අදුරු කරපු ආකාසෙ දිහා බල බල ගෙදරට ගොඩ වෙන්න මට පුලුවන් වුනා. . . ගෙදර ගොඩ වෙලා කරේ රදවන් හිටපු කාර්යාල ගමන් මල්ල මේසය උඩින් තියන කොටම මහ වරුසාව හෝ ගාලා ඇදන් වැටුනෙ මම ගෙදරට ගොඩ වෙනකම් ඉවසගෙන බලන් හිටිය වගේ. . . . . 

ඒත් මොකද මුළු ගෙදරම පාලුයි. ගෙදරම පිරිල තියෙන්නේ ඒ පුංචි චරිතය ගෙදර ඉන්න කොට තමයි. මම ඇයට ගෙනාව රෝස් පාන් ටික එළියට ගත්ත. .  .

" අම්මා , තේ බොමු ද ? "

පිළිතුරක් නැහැ. . . 

" අම්මා මාතර ගියා . ලොකු අම්මට බේත් ගේන්න . එන කොට රෑ වෙයි කීවා ."

කාමරයෙන් එළියට ඇහෙන්න ලොකු නංගි කෑගැහුව. . . .

" කාගෙද බයික් එකක් තියෙන්නේ. ‍පොඩි නංගි ආවා ද? " 

" ඔවු. උදේම ඇවිත් කොළඹ ගියා. කෝල් කරාම කීව වැස්සට අහුවෙලා කියල "

" එනවා අපි දෙන්න වත් තේ බොන්න එහෙනම් . "

රෝස් පාන් වල කිසි රහක් නැහැ. තේකත් එහෙමයි. ඔක්කටම වඩා තේ බොන ගමන් දිග ඇරෙන මගෙ ඔපිස් කෙරුවාවේ රෙකෝඩින් එක අහන්න අම්මා ගෙදර නැහැ.

ඇය වැඩි හරිය අසාගෙන සිටින්නේ නැති වුනත් ඇය ඉදිරියේ මගේ දින වරියාව දිග හැරීම මගෙ දිනචර්යාවෙම කොටසක්.

රූපවාහිනිය නිහඩයි. පරිගණකය මා දිහා බලන් හිටියත් කරන්න දෙයක් නැහැ. ගොරවනව විදුලි කොටනවා. මම කරපු එකම දේ වැස්ස ට සවන් යොමා ගෙන වැස්ස දිහා බලන් හිටිය එක. ඒ වුනාට හිත තිබ්බෙ ගොඩක් දුර.

මම ආදරේ කරන ගොඩක් අය මේ වෙලාවෙ ගෙදරින් දුර ඉදින් වැස්සට තෙමෙනෙවා ඇති. ඔවු. . . අම්මා, නංගිගෙ මහත්තයා හෙවත් මගේ අලුත් සහෝරයා..සහ නංගි.

ඒ  වගේම මා ආදරය කරන ඔහුත් මේ වෙලාවෙ ඇත්තෙ කාර්යාලයෙන් පිට වෙලා. කුඩ ගෙනියන්න පොලිසියෙන් තහනම් කරපු අය අතර ඉන්න ඔහුටත් වෙනද වගේම අදත් තෙමෙන්නයි වෙන්නෙ. . . . .

අහසින් පොළවට වැටෙනා 
ආදර වැහි බින්දු දිගේ
අහසත් පොළවත් ආදර
පුංචි කතාවක්

ඒ කතාව මැදට වෙලා
මා ආදර කරන එවුන්
සීතල වැහි බින්දු එක්ක
පුංචි යුද්දයක්


නිවසේ උණුසුමට වෙලා
උණුසුම් තේ තොල ගාමින්
සිතින් නුඹගෙ ළඟට වෙලා
පුංචි ඉනාවක්


ආදර සිත නුඹ ගාවයි
ඒ සෙනෙහස සිත සාදයි
වැහි උණුසුම සාදන්නට
පුංචි හාදුවක්


වැහි කළුවර දුරු වීලා
විඟහින් නිවසට ඒවා
වැස්ස වලාහක දෙවිදුට
දෙනවා තෑග්ගක්

" මොනව ද ළමයෝ වැස්ස දිහා බලන් හිනා වෙන්නේ. මම දැන් ඇවිත් කොයි වෙලේ ද? මේ ලෝකේ නෙමෙයි ඉන්නේ. හොරෙක් හතුරෙක් ඇවිත් මුලු ගේම අරන් ගියත් ගාණක් තියේ ද හැබෑට. . .පුදුම වැස්සක්. ලංකාවට මොකක් ද අවපාතනයක් කියන්නේ .නංගිලත් වැස්සට අහුවෙලා ඇති. "


මොනව අරන් ගියත් මොකද ? මගෙ හිතයි , පීසී එකයි ඉතුරු කරල. හිතින් සිනාසුන මම අම්මට තේකක් හදන්න වතුර ලිප තියන්න ගියා.



Healing rain is a real touch from God. It could be physical healing or emotional or whatever.

වැස්සෙ වැහි බින්දුවක් වෙලා ඔහු ළඟින්ම ඉන්න
මම
෴ වත් ෴

29 comments:

  1. "රෝස් පාන් වල කිසි රහක් නැහැ. තේකත් එහෙමයි..."

    කොච්චර කරදණ්ඩ උස් මහත් වුනත් සෙනෙහසත් කරුණාවත් එක් කරලා දෙන නිසාදෝ හැම දරුවාම අම්මා අතින්ම හැම දෙයම බලාපොරොත්තු වෙනවා.

    ඔබේ රචනය ගොඩාක් ඈත අරන් ගිය නංගියේ.

    ReplyDelete
  2. රෝස් පාන් රස නැත්තේ කන්න දෙන්න ගෙනාපු අය ගෙදර නැති හන්දා නේ ?? නැත්නම් රසක් තියෙනවා. ( පරිප්පු වඩේ එකක් එක්ක රොස්පාන් තියෙනවනම්...... ) වත් අක්කා බයයිද හිත කවුරු හරි අරන් යයි කියලා. ? ඒ කියන්නේ හිත තාමත් ඔයා ලග කියන එකනේ. කවදා හරි කවුරු හරි අරන් යයි ඔයාටත් නොදැනීම...

    ReplyDelete
  3. ආදරේ අයටත් එක්ක කන්න දෙයක් ගෙනත් එයාල නැති වුනාම මොන රසක්ද දිව්‍ය භෝජනයක වුනත්..කන දේවල් නෙමෙයි ඕනම දෙයක් ඕකට අදාලයි.ආදරේ කරන අයත් එක්ක එකට කන ලුණුයි බතුයි වුනත් රසයි..ඒත් හැමෝටම නෙවේ..ආදරේ හදවතින්ම කරන අයට විතරයි මේක වලංගු...

    ReplyDelete
  4. හා හා නාඩා නාඩා..
    අම්මා මග එනවා

    ReplyDelete
  5. කවි ටිකනම් මාරම මාරම මාර ලස්සනයි. සුපිරි කියන්නේ සු-සුපිරි. නියමයි, මම හරි ආසාවෙන් කියෙව්වා ඒ කවි ටික.

    ReplyDelete
  6. වැස්සේ සුන්දරත්වය
    අම්මාගේ ආදරය
    ප්‍රියයන් වෙනුවෙන් දුක් වීම
    උපරිමයි................!

    සිතින් ඔය හැම දේම වින්ද
    මම
    නිශ්

    ReplyDelete
  7. සෙනෙහසක අරුමය දැනෙන්න මේ වචන , කවිපද හරිම සංවේදියි... අම්මෙක් සතුටු වෙන්නේ දරුවන්ගේ සතුට දැකලා... ඒ සලුට අම්මලාට දෙන දරුවෝ වාසනාවක්ලු. මමත් ඒක විශ්වාස කරනවා...


    “කුඩ ගෙනියන්න පොලිසියෙන් තහනම් කරපු අය අතර ඉන්න ඔහුටත් වෙනද වගේම අදත් තෙමෙන්නයි වෙන්නෙ.“
    සිතට හොරා සිත හොරකම් කළා වගෙයි...

    ReplyDelete
  8. වැස්සත් එක්ක හිතෙන දේවල්..........

    ReplyDelete
  9. මම ආදරේ කරන ගොඩක් අය මේ වෙලාවෙ ගෙදරින් දුර ඉදින් වැස්සට තෙමෙනෙවා ඇති. ඔවු. . . අම්මා, නංගිගෙ මහත්තයා හෙවත් මගේ අලුත් සහෝරයා සහ නංගි.

    ඒ වගේම මා ආදරය කරන ඔහුත් මේ වෙලාවෙ ඇත්තෙ කාර්යාලයෙන් පිට වෙලා. කුඩ ගෙනියන්න පොලිසියෙන් තහනම් කරපු අය අතර ඉන්න ඔහුටත් වෙනද වගේම අදත් තෙමෙන්නයි වෙන්නෙ. . . . .

    අහසින් පොළවට වැටෙනා
    ආදර වැහි බින්දු දිගේ
    අහසත් පොළවත් ආදර
    පුංචි කතාවක්

    ReplyDelete
  10. සීතල මහ වැහි පොදේම,
    තෙතබරිවී ගෙදර යද්දි,
    සීතල නම් දැනුනේ නැහැ,
    නුඹෙ උණුසුම් මතක නිසා,

    ගෙදර ගියං පස්සෙදි නම්,
    කට කට ගා වෙව්ල වෙව්ල,
    පොරව ගත්ත ඔලුවෙ ඉඳල,
    උණ හැදිලා වගේ ඔන්න,

    ReplyDelete
  11. වැස්ස අපිට නම් බලාපොරොත්තුවක් ...
    අපි නම් ඒ බලාපොරොත්තුව ඉටුවෙනකම් තවම බලාඉන්නවා . ලඟදීම අපිටත් වැස්ස ලැබෙන සලකුනු තියනවා ...

    ආදර මල් වැස්ස වත් අක්කගේ හිතටත් වැටෙනවා වගේ ! අක්කගේ ආදරයට මගේ සුබපැතුම්...

    මං රෝහලේ ඉද්දී මට ඉක්මන් සුවය පැතූ වත් අක්කට පිං..

    කවිය ලස්සනයි...

    ඔයාට ජයවේවා !! (එයාටත්)

    ReplyDelete
  12. අම්මා ගෙදර නෑ කියන්නෙ ඉතිං ගෙදර ලයිට් ගියා වගේ තමා.....
    ඒක නෙමේ කව්ද අර කුඩේ නැතුව තෙමෙන හාදයා!

    ReplyDelete
  13. ගල්මල්-Coral
    මුළු ලෝකෙම තියෙන සෙනෙහස එක තැනකට එකතු කරල හදපු කෙනෙක් තමයි " අම්මා " ස්තූථියි අයියා .....

    ReplyDelete
  14. මධුරංග
    වත් අක්ක බය හික කවුරු හරි අරන් යයි කියල නෙමෙයි මල්ලි. හිත ගත්ත කෙනාව කවුරු හරි අරන් යයි කියලයි...

    ස්තූතියි ..මධුරංග මල්ලි ...

    ReplyDelete
  15. තරු අහස
    ඔයා හරි තරු අහස. . . . .

    හැමදේම තිබිලත් ඕනම අය ලග නැත්තම් දුකක් ...

    එ වගේම ‍ඕනම කෙනා ලග ඉදල එයාට සලකන්න බැරි වෙන එකත් දුකත් ...

    මේ දෙක අතරෙ කොයි තරම් නම් මිනිස්සු අතරමං වෙනව ද?

    ස්තූථියි තරු අහස....

    ReplyDelete
  16. මාරයාගේ හෝරාව
    හා හා හා .....

    අම්ම ගෙදර නෑ
    පොඩි නංගි අඩනවා
    මලක් කඩල අතට දීලා
    නලව ගන්නවා ...

    මාරය වුනත් නලවන්න දන්නව වගේ ....

    ReplyDelete
  17. prasanna86k
    මුරුංග අතු නෙමෙයි කියල දන්නව.... මේ තරම් අගේ කරන්න එපා.. වත් අක්ක ආඩම්බර වෙයි තේරුනාද?

    ස්තූථියි prasanna86k ...

    ReplyDelete
  18. නිශ්
    වෙන කෙනෙක් ගෙ හැඟීමක් ...තමන්ගෙ කරන් විදින්න පුලුවන් ලස්සන හිතක් තියෙන නිශ් ... නුඹට ස්තූතියි ...

    ReplyDelete
  19. පොඩ්ඩ මල්ලි
    බ්ලොග් පිටුවත් , ෆේස් බුකියත් සදහටම වහල දාන්න ගත්ත තීරණය වෙනස් කළා මම....

    හ්ම්

    මටත් හොරෙන් මගේ සිතින්
    බිදින් බිද ආදරය සොරා ගෙන

    මට මතකයි ඉස්සර අපෙ භෞතික විද්‍යා සර් එහෙම කියනවා.. අර විදුලි ධාරාවද කොහෙද මනින්න තිබ්බ උපකරණය ගැන තමයි එහෙම කීවේ... මොකක්ද මන්ද සේතුවක් මට නම මතක නැහැ. ඒත් සර් ඒක මතක තියා ගන්න කීව සින්දුව නම් මතකයි...

    ආයෙත් මතක් වුනේ පොඩ්ඩ මල්ලි ලීව කමෙන්ටුවෙ පද ටික දැකලයි ...
    // සිතට හොරා සිත හොරකම් කළා වගෙයි...//

    ස්තූථියි පොඩ්ඩා ....

    ReplyDelete
  20. priyantha.ඒබී
    ඒක නොවෙන්නම් ...ස්තූතියි ප්‍රියන්ත.

    ReplyDelete
  21. Indranatha Thenuwara
    ගොඩක් ස්තූථියි. වැඩ රාජකාරි ගොඩාරියක් මැද්දෙ මගේ " සොඳුරු සිත " ට ගොඩ වෙලා හරි වැරදි පෙන්නල දීල යන තේනුවර සර්ට ..

    වැරුද්ද පෙන්වා දීමත් එය නිවරදි කරන හැටි කියා දීමත් අගේ කරල සලකනව...

    ඔන්න සර් මම වැරුද්ද හැදුව....

    ස්තූථියි ගොඩක් ...

    ReplyDelete
  22. හප්පා ඔය ඉතින් වත් අපි ගැන දන්න හරිය තමයි..

    මාරයා ලේසියෙන් නළවන්නේ නැහැ..හැබැයි ඉතින් නළවන්න ගත්තොත්..ආයේ ඉතින් ඒ නැළවිල්ලට නැළවෙන්නැති කෙනෙක් නැහැ...

    ReplyDelete
  23. හප්පා ඔය ඉතින් වත් අපි ගැන දන්න හරිය තමයි..

    මාරයා ලේසියෙන් නළවන්නේ නැහැ..හැබැයි ඉතින් නළවන්න ගත්තොත්..ආයේ ඉතින් ඒ නැළවිල්ලට නැළවෙන්නැති කෙනෙක් නැහැ...

    ReplyDelete
  24. Ravi
    අනේ අනේ රවී අයියේ ....

    කවිය කියෙවුවම නම් හිතුනේ නෝනා ‍මහත්තය නිවසේ නොමැති බවයි....

    හොඳ අයියා..කෙලින්ම නවාතැනට ගිය එක කොච්චර හොදද ...තල් පැන් වඩියක උණුසුම බලන්න යන්නෙ නැතිව...

    ReplyDelete
  25. හිස් අහස
    ආහ් ...පුංචි සර්. දැන් සනීපද දරුවෝ... ඔයින් ගියා ඇති දරුවො ..අනික කාටවත් වැරැද්දක් නැති අහිංසක පුංචි සර්ට වරදින්නෙ නැහැ....

    සුව දුක් විමසුවට බලන්න එන්නවත් බැරිවුනා...

    ලියන්නම් කීවට තාම මුකුත් ලියල නැහැ නෙ පුංචි සර්...

    ඒක නෙමෙයි පුංචි සර්....ලියන්නත් බැහැ නේද අත තුවාල නිසා ...

    තුරුණුවන් සරණින් ඉක්මනින්ම සනීප‍ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ...

    ( මේ ... අර පන්තියෙ ළමයි පුංචි සර්ව බලන්න එනකොට ගෙනාවේ මල් විතරද? ඇපල්, දොඩම්, ක්‍රීම් ක්‍රැකර් එහෙම ගෙනාවෙ නැතෙයි. )

    ReplyDelete
  26. බුද්ධි
    කෙහෙල් කොරටුවෙ පුංචි මහත්තයෝ ..ඔයාට බුද්ධි කියල නම තිබ්බෙ කවුද හැබැට... නිකම් බුද්ධි අංශයෙන් වගේ මගේ ලිපියෙ තියෙන සැගවුන රහස් පස්සෙන් පන්නන්නේ ආහ්....

    තෙමෙන හාදයා වෙන කවුද ඉතින් ...

    කුඩයක් නැතිව යන කෙනා මිස ....

    ReplyDelete
  27. මාරයාගේ හෝරාව
    එහෙමද .... එහෙනම් නලවන්න කෙනෙක් ඉක්මනින්ම ලැබේවා කියල සාධු කියල ප්‍රාර්ථනා කරනවා .....

    ReplyDelete
  28. අම්මා තාත්තා වෙනදා වගේ ගෙදර නැතිනම් දැනෙන්නේ පාළුවම තමයි අක්කේ....ඒ අය නැතිව කවුරු හිටියත් කීදෙනෙක් හිටියත් අපේ හිතේ හැංගිලා තියෙන පාළුව විටින් විටේ හොල්මන් කරනවා...

    ReplyDelete
  29. ඒක නම් හොදයි. එතකොට අපිට ලස්සන අදහස් ටිකක් ආයෙත් නියවන්න පුළුවන් නේ... මටනම් ඒක සතුට ගෙනෙන ආරංචියක්..... බොහෝම ස්තූතියි සිත... සර්ගේ කථාවනම් මට ටිකක් ටියුබ් ලයිට් වගේ ඒත් ටිකක් පහු වෙලා තේරෙයි මට... :)

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...