..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, November 17, 2010

෴ කෙසෙල් කොළේ ඔතපු ආදරේ ෴

" මචං , බඩගිනි බං "

 මනුරගේ දෑස් කාර්යාල බිත්තියේ වූ ඔරලෝසුව වෙත ඇදී ගියේ නිතැතිනි. වේලාව සවස 1.30ටද ආසන්නය.

" යමං , යමං බන් කැන්ටිමට. මෙලහකට කෑම ඉවරත් ඇති " 

පුටුවෙන් නැගී සිටීමට කම්මැලිකමක් පෑව මනුරගේ පිටට ත‍ට්ටු කරමින් ගිහාන් පවසන්නට විය.... ඔහුත් සමඟ යෑමට නැගි සිටි මනුර මද දුරක් ගොස් නැවත තම ආසනය වෙත පැමි‍ණියේ.... 
" මට තව ටිකෙන් අමතක වෙනව.මට අද කෑම එකක් හම්බුනා. වෙලාසන කන්න කීව. දැන් නරක් වෙලාද දන්නෙත් නැහැ"

තම මේස ලාච්චුවේ කොනක බහා තිබූ පාර්සලය අතට ගත් මනුර පාර්සලය සමඟ තනිවම සිනා නෙසු දුටු ගිහාන්... 
" ආහ් බන් ඕක නම් අම්ම එවපු කෑම එකක් වෙන්න නම් බැහැ.. හරි හරි කමක් නැහැ මහත්තයෝ අපිටත් බත් කටක් දීහන් හරිද ? "

කැන්ටිමේ සුපුරුදු මේසයේ රැස් වූ බත් සමාජයේ සමාජික සාමාජිකාවන්ගේ එදින ප්‍රධාන මාතෘකාව වූයේ මනුරගේ දිවා ආහාර පැකට්ටුවයි.
වැඩියමක් නොවුනද ,තවන ලද කෙසෙල් කොළයක වූ රතු කැකුළු බත් , මාළු ඇඹුල් තියල් , කිරට සෑදු අල ව්‍යාංජනය සහ කොළ මැල්ලුම සැමදා දිවා ආහාරය ආපන ශාලවෙන් මිලදී ගන්නා යහළු යෙහෙලියන්ට දිව බොජුනක් වූ අතර එක බත් කටකින් සප්පායම් වූ මනුරට නම් තව දින දෙක තුනක් යන තෙක්ම බඩගිනි නොසෑදෙන තරමට කුස මෙන්ම හිතද පිරී ඇති බව කියමින් කෑම සංගමය වදේ ගහන්නට විය.
අද උදෑසන බසයෙන් බැස සමුගන්නට මොහොතකට පෙර මදක් කලබල වූ ඇය,, ඇය අතේ වූ පාර්සලය මනුර අතේ තබමින් පැවසූවේ 

" ඔන්න අද කෙ‍සෙල් කොළේක ඔතල මගෙ ආදරේ ගෙනාව. දවල් වෙන්න කලින් කන්න .නැත්තම් පිළුණු වෙයි " 

ඇය ඔහුට මුණ ගැසී වැඩිකලක් ගත නොවුවද හිත පුරා ඇය අරක් ගෙන ඇති අපූරුව මනුරගේ සිතට පවසන්නේ ඇය බිරිඳ කර ගැනීමට ද?

සීතල හිම පිනි වැටෙනා උදයේ
ආසිරි ගෙන නුඹ පිබිදෙනවා
ආදර සෙනෙහස කුස්සිය මුල්ලේ 
දුම් දමමින් පිළියළ වෙනවා

තේකක් සමඟින් නුඹ මා නෙතු මත

දවසෙ පළමු දසුනම වෙනවා
ඒ සුබ දසුනින් ඇරඹෙන 
දිනයම ආසිරි මල් වැස්සක් වෙනවා

කෙසෙල් කෝළේ එතු ආදරයත් නුඹ
මාගේ දෑතට පුදන ගමන්
නෙත් පියවෙන සැනකින් දෙන හාදුව
මට මුළු දිනයෙම දැනෙන තරම්


විඟහින් එන්නට සිත සනසන්නට
පොරොන්දු වූවද වචන ගණන්
පමා වෙලා ආවත් වත නුඹගේ
මා දුටු විට පිපිදෙනා තරම්




කාලය ගතවී ගොසිනි ..... ඇය අද ඉහල පෙළේ ආයතනයක විධායක නිලධාරිනියකි.එහෙත් අද උදෑසනත්  ඇය මනුරට ආදරය ඔතා දුන්නීය. එකම වෙනසකට ඇත්තේ ඇය බත් පිසින වළද ටිකින් ටික ලොකු වීමත් , කෙසෙල් කොළය වෙනුවට උණුසුම රදවන භාජනය පැමිණිමත් පමණි ...

සිත් රිදුන ඇතැම් දිනක බතට ලුණු මදි වූව ද ඇය ඔතා දෙන ආදරය කෙදිනකවත් පිළුණු නොවූයේ මනුර වෙලාසනින් කෑම කන නිසා ද ඇය උයන ක්‍රමයේ රැදි රහස නිසාදැයි තවමත් මනුරට නොතේරේ .....

පිළුණු නොවන ආදරයක හිමිකාරිය
මම
෴ වත් ෴

30 ප්‍රතිචාර:

තිස්ස දොඩන්ගොඩ said...

ඒ බත් එක ලිහන්න ඉස්සෙල්ලා උන්දෑ කෑවද කියලා බලන්න දෙන කෝල් එක මගේ දින චරියාවේ අංගයක් වෙලා තිබුණා ඒ කාලේ... එව්වයින් කොච්චර බැඳීමක් ඇතිවෙනවද අප්පා... මටත් හැමදාම හිතුනෙත් එහෙමයි... ඒ දෙන්නේ කෑම එකක් නෙමේ ආදරේ ඔතලා කියලයි...

ප්‍රාර්ථනා said...

සාමාන්‍යයෙන් කියන දෙයක් තමා තමන් ආදරය කරන අය ඒ ආදරය පෙන්නන්න පුළුවන් එක විදිහක්ලු.. කටට රසට කෑම උයලා දෙන එක.. ඒක කොච්චර ඇත්තක්ද.. මේ කතාවෙන් එහෙම හිතෙනවා..

හිස් අහස said...

කෙල්ලෝ හරිම ආසායි කොල්ලොන්ට කවන්න සමහර කෙල්ලෝ බොරුවට කියන්නේ මේවා මගේ අතින්මයි හැදුවේ කාලා බලන්න කියලා හැබැයි කඩෙන් අරං තියෙන්නේ

මම දන්න තව කියන කෙනෙක් ඉන්නවා හිටිගමන් අවේලාවේ කෝල් කරලා අහනවා ඔයා කාලද ?

කොහොම උනත් වත් අක්කගේ සිතිවිල්ල වෙනදා වගේම රසවත්. ලස්සනයි !

අද මම හැපී මූඩ්

ජයවේවා !!

Dinesh said...

හරිම ලස්සන ආදර කතාව අක්කේ...කියවද්දී හිතට හරි අමුතු හෑගීමක් ආවා....

පූසා said...

pudhuma lassana kathaawak akkei............

Anonymous said...

අන්තිම ජේදය මෙහෙම වුනොත් කොහොමද ? " වෙනස තියෙන්නේ ඇයගේ බත්එකද ඔහුවිසින්ම ඔතාදීමයි !"

ගල්මල්-Coral said...

රසවත්ව පාර්සල් කරපු විදිය ගොඩාක් ලස්සනයි නංගී.

පැන්da said...

සොදුරු සිතක මහිමය දක්වන අපූරුම කතාන්දරයක්,....වසනාවන්ත පුරුෂයෙක්

Bunny ! said...

මට තව කල් ඉවසන්ට ඕනි නේ ? හ්ම්හ්ම් :(

මාරයාගේ හෝරාව said...

පූරුවෙ කළ.........(හරි වචනේ පිංද පව්ද මන්දා..) අපට කොයින්දා කිව්වළු...

නිශ් said...

Nice.

roylyfernando said...

හ්ම්ම්ම් මමත් ඉතින් තව කල් බලන් ඉන්න එපැයි :(

Paradox said...

සොඳුරු සිත,

විශිෂ්ටයි. හැම දෙයක්ම හොඳටම වගේම හොඳින්ම සිද්ධ වෙලා.

෴ හසියා ෴ said...
This comment has been removed by the author.
෴ හසියා ෴ said...

ඉස්සර එයා මා එක්ක හිටපු කාලේ ආදරේ දාපු කිරි කෝප්පයක් මට හැමදාම උදේට හදලා දුන්නා.මාත් ඉතිං මල පෙරේතයනේ.ඉස්සෙල්ලම උගුර එයාට දීලා තමයි බොන්න පටන් ගන්නේ.එතකොට තව රස වැඩිවෙනවානේ. (හේතුව ඉතිං දන්නවනේ...)

ඇයි ආදරේ පුරවපු බත් කටවල්...ඒවත් හම්බවුනා හැමදාම.

බය වෙන්න එපා ඔය හැමදේම වුනේ මැසේජ් හරහා හොදේ....

ඒත් පස්සේ තමයි තේරුනේ අම්මා හදලා දෙන කිරි කෝප්පයේ, කවන බත් කටේ තියෙන රස වගේම ආදරය සමකරන්න මේ ලෝකේ කිසිම කෙනෙක්ට බෑ කියලා....


අම්මාගේ බත් පතේ ආදර රස විදින
මම
෴ හසියා ෴

ඉලංදාරියා said...

ආදරය ශරිරකුඩුවට කාවෑදුනහම ඔහොම තමයි

මෙක කියවලා මටත් බඩගිනිවගේ...

Ravi said...

අමිතා වැදිසිංහ මහත්මිය ගයන මේ ගීතය අහල තියෙනව නේද?

ගලන දොලේ පෙණ බුබුලයි, ආ...........දරේ,
මිලින මලේ පැණි කඳුලයි, ආ...........දරේ,

දැං වත් කියන කතාව අනුව අපිට අලුත් ගීතයක් ලියන්ඩ වෙනව, ගලන දොලවල්, මිලින මල් මොකවත් ඔනැන්නෙ නැහැ, ආදරේ කියන එක වර්තමානයෙ අර්ථ දක්වන්ඩ වෙන්නෙ මෙන්න මෙහෙමයි,

තවපු කෙහෙල් කොලේ ඔතපු කැකුලු බතයි, ආ.....දරේ,
ඇඹුල් තියල් කරපු මාලු කෑලි දෙකෙත්,ආ....දරේ,
කිරට උයපු අල හොද්දේ පිරී නටයි, ආ.......දරේ,
ගානට මලවපු මැල්ලුමෙ සිනා නඟයි, ආ............දරේ,

"Power grows out of a gun barrel" මෙහෙම කිව්වෙ මාවෝ සේතුං, ඒ ඒකාලෙ,
"Love grows out of a rathu kekulu bath, wrapped in a banana leaf" දැං කාලෙ මෙහෙම කියන්නෙ.....වත්,

ප.ලි.
වත්ට මේ ගීතය ගායනා කරල ඔන්නම් රට පුරාම තියෙන මාතර බත් කඩවලට දුන්නැහැකි හොඳ ගාණකට, එව්වයෙ තේමා ගීතය හැටියට පාවිච්චි කරන්ඩ,

RanDil said...

වත්තෝ.......... ඔයාට කිව්වහම මොකද මෙතැන කොමෙන්ට් කරලා තියෙන එක්කෙනෙකුට ඒ කාලේ හරි සෝයි වැඩක් වුනා.

මගේ දැන් තියෙන බ්ලොග් එකට කලින් එක්දහස් නමසිය දෙ‍දහස් අටේ විතර කරපු බ්ලොග් එකක් තිබුනා. (දැන් ඒක ඉනැක්ටිව් වෙලා. මං දන්නෙත් නැතිවම. ලිපි බලන්න බැහැ) ඒකේ මං මේ ගැන ලිපියකුත් මං පළ කලා.

එයා ඉතිං ගෙදරින් බොහොම දුර බැහැරනේ වැඩ කලේ ඒ කාලෙත්. බෝඩිමේ ඉඳන් තමයි වැඩට ගියේ. එක දවසක් ඔෆිස් එක ගාවට ආපු මනුස්සයෙකුගෙන් මෙයා ගත්තා බත් එකක්. නිකං නෙමෙයි නෙළුම් කොලේ ඔතාපු, කරවල තෙල් දාලා, තව තව රස රස කෑම තියෙන බත් එකක්. අනේ ඉතිං අනිත් කට්ටියත් බලං හිටියා රස කෑම කන්න. බොලේ මෙන්න කොට්ටං කොලේ ඔතාපු, මඤ්ඤොක්කා වගේ යමක් කරවල වගේ බැදලා තෙල්දාපු, තව මොනවද සුළුට්ටකුත් එක්ක බත් එක තියෙනවා.

RanDil said...

ඕප දූප කියන්න ගිහින් ඔයාගේ ලිපිය ගැන ලියන්න හිටපු එක දාන්නත් අමතක වුනානේ.......

අනේ....... අනේ........ ඔයාටත් හිතෙන ඒවා හැබෑටම............

සොඳුරු සිතටම තමා මෙව්වා හිතෙන්නේ ඉතිං...

wath said...

තිස්ස දොඩන්ගොඩ
අයියා .. මහ ලොකු තෑගී බෝග වගට වඩා පුංචි පුංචි දේවල් තමයි ආදරයක බැදීම වැඩි කරන්නේ. අහල ඇති නේද ?

“The little things are most worthwhile- quiet word, a look, a smile.”

wath said...

ප්‍රාර්ථනා
නංගියෝ මම ඔයාට රහසක් කියන්න ද? පිරිමි කෙනෙක්ගේ හිතේ ඉඩක් ගන්න හොදම හා ලේසිම විදිහලු කටට රහට උයල දෙන එක..

ඔයා හිතුව හරි.. හරි හරි දැන් හොද ළමයා වගේ කුස්සියට ගිහින් වැඩ පටාන් ගන්න...

wath said...

හිස් අහස
ආහ්... මම දන්නව පුංචි සර් මොකද මේ තරම් සතුටින් කියල...

හිස් අහස පැත්තෙ ගිහින් මම දැන ගත්තා හේතුව..

ඉතින් එහෙනම් පුංචි සර් සුබ ගමන් පැතුව හද පතුලින්ම ඕං ...

පුංචි අවවාදයක්.... මේ යමින් ගමන් හොද ලොකු චොකොලට් එකක් වත් අරන් ගියානම් අර දැරිවිට......

wath said...

Dinesh
හිතට දැනෙන අමුතු හැඟීම.... ම් ම් ම් සමහැ විට ආදරේ වෙන්න බැරි නැහැ රජෝ .. පරිස්සමින් ...

පූසා
ඔයත් පුදුම පූසෙක් අප්පා... කොහෙන් හොරා පැනලද මන්ද යන යන තැන ඉන්නවා මේ දවස් වල.. ඤාව් ...

Anonymous
ආහ් ඇනෝ .. ඔයාට එහෙම ද වුනේ... ඒව ඉතින් කාගේ කාගෙත් වැරදි ඕං .....

ගල්මල්-Coral
ඩීන් අයියා ලස්සන කතාවක් ලියනව නේ.. අනේ මම දැක්කේ පමා වෙලා...පමා වෙලා වුනාම මොකද හොද දේ කවත් හොදයි ...

විවිධ රස අතර අයියා ලියන දේ මට වඩාත් රසයි ..

wath said...

පැන්da
පැන්ඩා බබෝ... මම ඒ පැත්තේ ගිහින් අර සුරතලාට කෑමත් දාලයි ආවේ...

මම විතරද ඔයත් ලස්සනට ලියනවා...

ස්තූතියි...

wath said...

Bunny !
ඉවසන්‍න වෙන්නේ නිව්සීලන්ඩ් යන්නද බනියෝ...

මාරයාගේ හෝරාව
තනියෙන් තියෙන දෙයක් තම්බන් කාලා. බෝතලයකට තනියම වග කියන අයට මේව තේරේන්නෙ නැහැ ඕං .....

නිශ්
ඉදල හිටල නෝනටයි දෝණිටයි උයල දෙන්න බලන්න.. රස මොනා වුනත් ආදරේ නම් වැඩි වෙයි ....

roylyfernando
දුක් වෙන්න එපා මල්ලා... එයා තවම උයන්න පුරුදු වෙනවා කියල මට කීවා....

wath said...

Paradox
ස්තූතියි පැරෝ ....

දවසක ඔයාටත් මූන දෙන්න වෙයි ....

wath said...

෴ හසියා ෴
හරි හරි හසියෝ .... මම මුකුත් කියන්නේ නැහැ ඕං . . . . . .

wath said...

ඉලංදාරියා
ඉලන්දාැි කාලෙට බඩගිනි වැඩි වෙනවලු.... ගස් ගල් පවා කන්න පුලුවන් ලු ... මේ ඉලන්දාරියත් කොහේ ගියාද මන්ද බඩගිනියෝ කියාගෙන ....

wath said...

Ravi
අයියා නම් විශ්වාස කරන එකක් නැහැ... ශ්‍රී ලංකාවේ හොදට රසට උයන්න පුලුවන් ගැහැණු අය ඉන්නේ මාතර...

(එකඟ වෙන එකක් නැහැ මැණිකෙගෙන් බත් කාලා ඉවරයි )

ඇඹුල් තියල් නම් මාතර ලු නෙ....
කිරි පැණි නම් මාතරලු .....

ආදරයත් එහෙම ලු - මාතරලු

ඔන්න මම දන්නේ නැහැ රන්දිකා කා ගැන කියනවද කියල ... අයිය දන්නවැයි කා ගැන ද කියල ...

wath said...

RanDil
ආහ් රන්දිල් ... අර අහිංසක මනුස්සයගේ බත් එකට හොට දාන්න බලන් වුන්නේ ඇයි....

එයා එන්නේ දුර ඉදන් නම්.
ඉන්නේ බෝඩිමේ නම්.
කන්නෙ කඩෙන් නම්.

තමන්ට යුතුකමක් තිබ්බ නේද කෙහෙල් කොළේක ඔතපු ආදරේ ටිකක් ගෙනත් දෙන්න යාලුවෙක් විදිහට....

ස්තූතියි රන් ....

ඒක නෙමෙයි රන් ...මේ ඔයා කියල තියෙන්නේ ..අර ඔයත් එක්ක හවුලට බ්ලොග් එකේ ලස්සන කවි ලියන නුවර පලාතේ මහත්තයෙක් ගැන කියල මට පැහැදිලි සැකයක් තියෙනවා ..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...