..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, November 12, 2010

෴ බිරිඳ මවක විය - මා ලොව තනි විය ෴

උදෑසන හිරු කිරණ මුහුණටම පතිත වන්නේ ඇය පිබිදුන වහාම හැර දමන ජනෙල් පියන් අතරිනි. මා ඇඳේ එහාටත් මෙහාටත් පෙරලෙමින් සිටියේ උදෑසන තේකත් සමඟ බෝනස් ලෙස ලැබෙන ඇගේ උණුසුම් හාදුව අපේක්ෂාවෙනි . . . වෙලාව ගත වී යයි ... ඇය පැමිණෙන පාටක් නැත...  සිතට සියුම් වේදනාවක් සමඟ තරහක් ද මෝදු වෙයි ... අහම්ඹෙන් නෙත ගැටුනු ඔරලෝසුව මට දැන්වූයේ  අද නම් බොස් ගෙන් බැනුම් ඇසීමට වෙන බවයි. . . . .

" සුදූ..... බබා  .. කෝ මගේ තේක "

" මොනාද අනේ .. හදන් බොන්න කො ... මම පොඩ්ඩගෙ වැඩ නේ "

" බලන්න කෝ පැටියො අප්පච්චිට ‍තේකක් වත් හදා ගන්න බැහැ . අම්මියා තමයි අප්පච්චිව නරක් කලේ... අතට පයට වැඩ කරල දීල , දැන් බලමු අප්පච්චියට වෙන දේ නේද මගේ සත්තරන් පුතේ "

ඇය තවමත් මාස දෙකක් වයසැති බිළිදා වඩා ගෙන කාමරයට පැමිණෙන ගමන් මට පවසයි. ඇය පෙරදා රැයෙහි ද නිදිමැරූ බවට සලකුණු ඒ දෑසේ ශේෂ වී ඇත.

කිසිවක් නොතේරෙන බිළිදාට ඇය ර‍ට තොටේ වෙන සැම දේම පවසයි.සමණළයින් ගැන , ඉර මාමා ගැන කතා ගොඩකි. අප්පච්චී ගැනද විටින් විට නොක්කාඩු කියයි.

බිළිදා ඇස් ලොකු කරමින් ඇය දෙස බලයි. විටින් විට සිනා සෙයි. මගේ බිරිඳ මවක කළේ මාය. ඇය දැන් මා නොතකා බිළිඳා වෙත සමීප වෙන්නාක් මෙන් මට දැනේ , ඇය දැන් මවකි . ඇයට මා සුරතල් කිරීමට වඩා බොහෝමයක් වැඩ ඇත "

මේ සියල්ල අතරින් මැවී නොපෙනී ගිය බොස් ගේ තඩි මුහුණ මගේ දෙපා යාන්ත්‍රිකව මෙන් මුළුතැන් ගෙය දෙසට පදවන්නට විය.



කෝමල සුලලිත දඟ පා ළංවුන 
ඇ‍ඟෙ දඟකම් කෝ කොහි සැගවී
නුරාගිකව මා දෙස බැලු නිල් නෙතු
කෝ අද නිසලව විල ලෙසිනී

සුරතල් ඉඟි බිඟි සිනාව මනපිරි
මා තුරුලේ දැවටුන නිතිනී
උණුසුම පිරි නිති පොපියන තොල් පෙති
සිරි යහනේ රැජිණිය සුපිපී

නිසලවු සිතුවිලි ඇය ළඟ සැතපෙන
බිළිදා මා ලේ කැටි සුරතල්
ඇගෙ උණුසුම ඇගෙ සෙනෙහස දැවටී
ඇය මා වෙත යොමනා හසරුල්

මා ප්‍රිය බිරිඳයි මා අග රැජිණයි
දයාව උතුරන මව වීලා
මා සිඟිතා ඇගෙ ලොව කොටසක් වී
මා ලොව දැන් හරි ලොකු වීලා


" ආහ් .... හලා ගත්ත ‍නේද ? බලන්න දැන් ඉතින් මෙතන කූඹි පිරෙයි... කෝ බලමු තේක... අනේ මහත්තයෝ ඔයා මේ තේක බීවොත් ඉක්මනින්ම පැණි සීනී කැටයක් වෙයි ..... කෝ ඉන්න මම හදල දෙන්න "

සීනි , කහට පමණක් නොව ආදරය ද පදමට ලා ඇය මා හට සදා දුන් තේක තව රසවත් වුයේ. ඇගේ උණුසුම් චුම්බනයෙනි......

දැන් ඉතින් හොඳ මහත්තයා වගේ අර මිදුල පොඩ්ඩක් අතුගානව ද? අද ඉරිද .... ...  අප්පච්චි කෙනෙක් වුනාට පස්සෙ ඔයත් ටිකක් මහත් වෙලා . ම් ම් .. . . . .

ඇය ළඟ මෙතරම් සෙනෙහස කොහි ද? ඇය ගැහැණිය යැයි නම් ලද්දේ ලොවට සෙනෙහස බෙදන්නටම වන්නට ඇත..... 

Heaven will be no heaven to me if I do not meet my wife there. 

එකල ඔහුගේ දඟකාර බිරිඳ
මම
෴ වත් ෴

29 comments:

  1. බොහොම අගේට ලියල තියෙනවා. නියමයි...!

    ReplyDelete
  2. තාත්තා උනත් මා බත සරි කරන
    අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින

    වත් නගෝ, අළුත් ලේඅවුට් එක නම් පංකාදුයි . . .!

    ReplyDelete
  3. ලස්සනට ලියලා තියෙන්නේ...
    මට මතක් වුණේ දයාරත්න රණතුංගයන් ගායනා කරන ගීතයක්:

    රූං පෙත්ත කැරකෙනවා කෝම් පිට්ටු ඉඳිවෙනවා
    අම්මි නුඹට සුරංගනා කතා කියනවා

    පුංචි පුතේ නුඹ ආපසු
    අම්මි හුඟක් වෙනස් වෙලා එදා වගේ නෑ...
    මාත් එක්ක බොළඳ වඳන් දැන් කියන්නේ නෑ

    සුදු කොට රැළි ගවුම ඇඳන් පාසැල් ගිය කාලේ වගේ
    හිනා වෙන්නේ නෑ
    නුරා රැඳුනු කෝළ බැලුම් දැන් හෙලන්නේ නෑ


    ඒ වගේම අමරදෙවයන් ගයනවා:
    තාත්තා වුනත් මා... අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින

    ReplyDelete
  4. ඔයා මේ තරම් ලස්සනට කොහොම ලියනවද මන්දා.

    තාත්තෙක් හැටියට නම් මේ යකා අන්තිම චාටර්. අපි නම් 50/50 නිදි මැරුවෙ. කොටින්ම 100/100. එයාට මහන්සි දාට 100/0 උනත්. පොඩි එකී අන්තිමට මං නැතුව නිදා ගන්නෙ නැති ගාණට ආවා. ෆුල් නයිට් අපි දෙන්නමත් ඉඳලා තියෙනවා. එදා හැදුණු නින්දේ පටලැවිල්ල මට තවමත් තියෙනවා.

    දන් ඒවා මතක් වෙන කොටත් සුන්දරයි. ජීවිතේ සුරැකෙන මතක තමයි මේ වගේ සුන්දර කටු.

    ReplyDelete
  5. හරිම ලස්සනයි..

    ReplyDelete
  6. අතගත්තේ නැතත් නෑරුනු හිතවතිය
    සිත ගත් නමුදු සිත දා ගිය මියුලැසිය
    කවදත් සිහිනයේ සැතපුන පෙම්වතිය
    නුඹ ලත් මව් පදවියේ මම දිනපතිය

    ReplyDelete
  7. බැදපු අලුත: අනේ සුදෝ ඔයාට තේකක් හදලා දෙන්නද? ....ආ මේ තේක බොන්න සුදෝ..

    පලමු දරු උපතෙන් පසු: අනේ තාත්තේ..තේක මේසේ උඩ තියෙනවා..අරගෙන බොන්න හොදේ...

    දෙවනි ද‍රු උපත: ලමයින්ගේ තත්තේ..ඔයා තේකක් හදO බොනවද? පොඩි එකා හොදටම අඩනවා

    තුන්වැනි දරු උපතෙන් පසු: අනේ සුදෝ..මටත් එක්ක තේකක් හදO එන්න හොදේ...

    පසුව ලියමි: බිරිදගේ විපරම ඔබට කරදරයක් නම් හැකි ඉක්මනින් ඇයට ලමයෙකු හදා දෙන්න...

    ReplyDelete
  8. බැදපු අලුත: අනේ සුදෝ ඔයාට තේකක් හදලා දෙන්නද? ....ආ මේ තේක බොන්න සුදෝ..

    පලමු දරු උපතෙන් පසු: අනේ තාත්තේ..තේක මේසේ උඩ තියෙනවා..අරගෙන බොන්න හොදේ...

    දෙවනි ද‍රු උපත: ලමයින්ගේ තත්තේ..ඔයා තේකක් හදO බොනවද? පොඩි එකා හොදටම අඩනවා

    තුන්වැනි දරු උපතෙන් පසු: අනේ සුදෝ..මටත් එක්ක තේකක් හදO එන්න හොදේ...

    පසුව ලියමි: බිරිදගේ විපරම ඔබට කරදරයක් නම් හැකි ඉක්මනින් ඇයට ලමයෙකු හදා දෙන්න...

    ReplyDelete
  9. ම්ම්ම්ම්ම්ම්ම් හරිම ලස්සනයි අක්කියෝ....

    ඕකනේ ඉතිං කොරන්න බැරි...
    ඉදලා ඉදලා හොද කෙල්ලෙක් හොයන් කසාද බැදින්නේ එයාගේ ආදරේ විදින ගමන් අපේ වැඩ ටික කරගන්න...ඒකත් අන්තිමට අවුරුදු දෙකකට විතර සීමා වෙනවා.චී චී වැඩක් නෑ තේරුමක්ම නෑ බදින එකනම්....

    කරුමෙට හරි බැන්දත් ළමයිනම් නොහදමි අවුරුදු 10ක් විතර යනකම්.

    ම්ම්ම්ම් අක්කියෝ සිංදුවක් තියේ නේද...

    "මට නොවේ ඔබ ආදරේ කලේ
    මගෙන් ලද ආදරේට පමණයි
    ඔබ ආදරේ කලේ......"

    ගායකයා නම් මතක නෑ අක්කියෝ...ඒ සිංදුවෙත් කියවෙන්නේ මේ වගේම දෙයක් තමයි.මම "ඔබේ න‍ළයේ" හෙව්වා සිංදුව.ඒත් හම්බවුනේ නෑ.හොයලා බලන්නම් තව ටිකක්....

    ReplyDelete
  10. නියමයි... ලස්සනට ලියලා. අත්දැකීම් ඉතින් කොහොමත් ලස්සනට ලියවෙනවානේ නේද?

    ReplyDelete
  11. ඔබ එලි දක්වන හැබෑ හැඟීම්, කල්පිතයන්, මේ සියල්ල ඔබේම තමා...
    ඒත් මේවා මෙච්චරම එලියට ගලායන්න ඉඩ දුන්නහම, දවසක මේ තත්වයට හැබෑවටම මූණ දෙන්න සිදුවූ විට ඒ අත්දැකීම් වල නෑඹුල් බව නැතිව යාවීදෝයි මට හිතේ...
    අත්දැකීම් වල සුන්දරත්වය ඇත්තේ ඒවා අනපේක්ෂිතවම හමුවූ විටය...

    ReplyDelete
  12. වෙනදා වගේම අදත්
    බලන්න දේකුත්
    හිතන්න දේකුත්
    විඳින්න දේකුත්

    ලැබී තිබෙන නිසා !

    අද මට චවන නෑ

    ජය !

    ReplyDelete
  13. udaya.jayawardhana
    අගය කිරීමට ස්තූතියි උදය .....

    දුමී
    අලුත් ලේ අවුට් එක ගැනත් ලියන්න ඕනි...
    දුමී අයිය නම් හරි අපූරු සොඳුරු තාත්ත කෙනෙක් වෙන්න ඇති කියල හිතෙනවා.. තාත්තලාගේ ආදරේ මනින්න මිනිම් නැහැ අයියා...

    සද්ද නොකළ ,ලොකුම සද්දෙ දාන අයට තමයි මම නම් තාත්තා කියල කියන්නේ...

    ReplyDelete
  14. ගල්මල්-Coral
    ඇත්ත තමයි... මට ඒ සික්දුව මතක් වුනේ දැන් තමයි... ඒ ගිතයේ තේරුමම තමයි මම කවි වලත් ලියල තියෙන්නේ...

    ස්තූතියි ඩීන් අයියා ...තව උත්සවයක් ලඟ ලගම එනව නේද?

    ReplyDelete
  15. Sujeewa Kokawala
    අපූරු තාත්තෙක්... මේ වගේ තාත්තල ලබන දරුවෝ වාසනාවන්තයි.ඊට වඩා මේ වගේ සැමියො ලබන බිරින්දෑවරු ගොඩක්ම වාසනාවන්තයි...

    පෙර කල පිං ඇත්තො තමයි ...

    ReplyDelete
  16. Princess Thushy
    ස්තූතියි ප්‍රින්සස් ....

    විහඟ ගීතය
    ස්තූතියි විහඟ .....

    ReplyDelete
  17. මයියා
    ඔය තියෙන්නෙ අත්දැකීම් හිටු කියල...හිටුකො මම මයියගේ නෝනට කියන්න...

    දැන් ළමයි කීදෙනෙක් ගෙ අප්පොච්චි කෙනෙක් ද?

    ReplyDelete
  18. ෴ හසියා ෴
    හපොයි ..මෙන්න නව පරපුරට හිතෙන දේවල්...කසාද බදිනවලු ළමයි හදන්නේ නෑලු අවුරුදු 10ක් යනකම්....

    මම අහල තියෙනවා විවාහයක උපරිම පලයලු දරුවන්... දරුවො කියන්නේ සම්පතක් ලු...

    ඒත් දැන් ගොඩක් බටහිර රටවල වගේම ආසියාතික රටවලත් අඩු වයසින් විවාහ වුනාට ළමයි හදන්නෙ නැතිලු... අධ්‍යාපනය රැකියාව වගේම අතිදාවනකාරී සමාජ රටාවත් එක්ක දරුවන් හැදීමත් බලාගැනීමත් කියන්නේ සෑහෙන කැපකිරීමක් ...

    දරුවො හැදුවත් ඇපෙන් ගැලවෙන්න වගේ එකයි .. වැඩිම වුනොත් දෙන්නයි...

    අනේ මන්ද ඉතින්... මයි කාර් මයි ප්‍රැටෝල් ...

    ReplyDelete
  19. තිස්ස දොඩන්ගොඩ
    සිතේ සිහින ඇත.
    හැඟුම් රැසක් ඇත.
    එයින් එකක් ගෙන.
    පාට කළෙමි මම....

    වුනේ වැරුද්දය.
    කළේ වැරුද්දය.
    ඉතින් පමා නැත.
    හැදෙමි දිනමි මම ...

    ස්තූතියි මගෙ අයියා ...

    ReplyDelete
  20. හිස් අහස
    නුඹද දිනක මෙය..
    විදිනු දකිනු ඇත...
    එදිනට අහසද ...
    තරු පලදිනු ඇත...

    අහසක් කිසිදින ..
    හිස් නොකෙරෙනු ඇත...
    මතක තරු අතුල ...
    අහස නුඹය ..ඇයට ..

    ReplyDelete
  21. තාත්තා උනත් මා බත සරි කරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින..//

    මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
    රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
    ඔබ දුටු මුලු දිනේවත් හද නොනැඟි පෙමින්
    උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්..

    බැති බර හැඟුම් දනවන නුඹගේ සුවඳ
    අත දරු පුතුගෙ මුව කමලේ ඈත නිබඳ
    අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස
    නොහැඟේ ළඟින් හිඳ මගෙ හිස සිඹින සඳ....

    (ගායනාව - අමරදේව)

    ReplyDelete
  22. Indranatha Thenuwara
    ස්තූතියි අයියා ....අමරදේව මහත්තයගේ ලස්සන ගීයක්.. ඒ වුනාට ගොඩක් අයට එහෙම හිතෙන්නෙ නැති එක ගැනයි දුක .........

    ReplyDelete
  23. ඈ වත් අක්කේ,
    මටත් ඔය විලැම්බෑසියට මූණ දෙන්න වෙයිද අනාගතේ දවසක. දැම්ම තේ හදාගෙන බොන්න පුරුදු වෙන්ට ඕනෑ!

    ReplyDelete
  24. හරිම ලස්සනයි අක්කේ.....

    ReplyDelete
  25. මෙය කල්පිතයක් නොවී, සැබෑ ලෙසම අත්විදිනට ඔබට හැකිවේවා!

    ReplyDelete
  26. බුද්ධි
    ආහ්... හැබෑද ... ඔන්න එහෙනම් අපිත් එනවා... බේබි සබන් පවුඩර් එහෙම අරන් හරිද ....

    ReplyDelete
  27. Dinesh
    ස්තූථියි මල්ලියා ........


    dusika
    ස්තූතියි අක්කා....

    ReplyDelete
  28. හිතවත් "වත්"....ඔබට කොමෙන්ටුවක් දීමට තරම් වත් හැකියාවක් නොමැතිවීම ගැන පසුතැවිලිවෙමි.......

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...