..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, November 10, 2010

෴ සිංහයාට සෙනෙහසින් ෴


දුක් සිත දරන් නුඹ වන වැදුනා නේදෝ
දූ පුතු අරන් මා වන මිදුනා නේදෝ
දු පුතු නැති සොවින් නුඹ මුසපත් වීදෝ
මගෙ හිමියනේ ඉන් නුඹ සිත සුවපත් වේදෝ


මහ වන මැදදි දුටු විට පා මට සෙනෙහේ
මා පෙලවහට ගෙන දි ආදර සයුරේ
දූ පුතනුවන් හා මා සිර කර ගල් ගේ
නැත හිමියනේ කිසි දින අඩුවක් කෙරුවේ


පුතු වැඩුනා දින දින පා බාහු යුග
පිට ලොව දකින්නට ඒ සිත හාද වුන
නුඹ නැති දොහක බිදදා ගල් දොර බැම්ම
පුතු අප වනෙන් ගලවා ගෙන ගියෙ නුවර


දුව හැඩුවා නුඹ දා දුර යන්න බැරි
මා සිත සදා නුඹ නැතිවම මිලින වුනි
පුතු නුඹ වගෙයි එක සිත ගෙන පෙරට වුනි
මා හිමි සමා දෙනු මැන මම නුවර යමි

සෙනෙහස නැතිව නුඹ සිත ගිනි වැදුන දිනේ

වනයෙන් මිදී නුවරට නුඹ ආපු දිනේ
මා පුතු හී සැරට නුඹ පපු පෑව දිනේ
මා කළ වරද තරමින් මා හඩනු කෙසේ


ගල් ගේ සැපයි එහි නුඹ ගේ සුවඳ ඇත
මහ වන සැපයි එහි නුඹගේ ගුණය ඇත
පල වැල සැපයි එහි නුඹගේ රසය ඇත
 මේ හැම ඇතත් අද මා ළඟ සෙනෙහෙ නැත 




" නැත ලොවේ අන් රසඳුනා ආදරේ සේ සුව දෙනා "‍

සිංහයා නැතිව දුක් වෙන සුප්පා දේවි
මම
෴ වත් ෴


ප/ලි : 


සිංහයාට වුනේ වැරැද්ද .. අසාධාරණය .. ඒ පවට සිංහල අපි වන්දි ගෙවනවා කියල මට හිතෙන්නේ ඇයි ද මන්ද ? සිංහයා දැන ගන්න ඕනි සිංහයා ගැන තාමත් හිතන දුක් වෙන අය ඉන්නව කියල. 
සිංහය ළඟ නොතිබුන තිරිසන් ගති සිංහයාගේ පුතා ලග තිබුන දෝ කියල හිතෙනවා.....


විටින් විට අදත් සිංහලයන් තුලින් මතු වෙන තිරිසන් ගති වලට හේතුව සිංහය ද?



20 comments:

  1. "විටින් විට අදත් සිංහලයන් තුලින් මතු වෙන තිරිසන් ගති වලට හේතුව සිංහය ද? "
    අනේ මංදා වත් අක්කියා... එත් කෝමද සිංහයාට වරදක් කියන්නේ.

    ගල් ගේ සැපයි එහි නුඹ ගේ සුවඳ ඇත
    මහ වන සැපයි එහි නුඹගේ ගුණය ඇත
    පල වැල සැපයි එහි නුඹගේ රසය ඇත
    මේ හැම ඇතත් අද මා ළඟ සෙනෙහෙ නැත

    මේ පද පේලි හතරේ මොකක්දෝ දෙයක් තියනවා.මොකක්ද කියලා හිතා ගන්න බෑ.

    ReplyDelete
  2. පොජ්ජේ උඹ හරි මවන්...මොකක්දෝ එකක් තියනවා කියාගන්න බෑ

    ReplyDelete
  3. මන් නම් හිතන්නේ සින්හලයගෙ තිරිසන්ගති වලට සිoහයා වැරදි නෑ කියලා...

    ReplyDelete
  4. හුගක් වටිනා අදහසක් අක්කේ...

    ReplyDelete
  5. පොඩි අදහසක් වත්..
    ඇත්තටම සිංහලයො වන්දි ගෙවන්නෙ ඔය වගේ කතාවකින් උන් පවතිනව කියල කියන්න ඉඩ දීපු හින්දද මන්ද...

    ReplyDelete
  6. අක්කෙ.. නිසඳැස කියනගෙන එනකොට මටත් මැවුනේ සාමාන්‍ය සිංහබාහු කතාවමයි..ඒත් මටත් හිතෙනවා අන්තිම පේලිය.... ඇයි එහෙම කියන්නේ.. දේවිගේ හිතෙ කතාව ඉවර වෙනකම්ම සිංහයාට ආදරේ ඉතුරුවෙලා තිබුනනේ,..ඇයි ඔයා එහෙම කියන්නේ..?

    ReplyDelete
  7. මට හිතෙන විදිහට තාමත් සිංහයට ආදරේ කරන පිරිසක් ඉන්නවා.හැබැයි තාක්ෂණයේ දියුණුවත් එක්ක අපේ පුංචි ඈයෝ නාට්‍ය වලින්,පොත් පත් වලින් ඉවත්වෙලා.උන්ගේ ලෝකේ NFS,Crysis,Call Of Duty.මේ අයට සෞන්දර්ය කියන දේ විඳීමේ හැකියාවක් ඇත්තෙම නැති තරම්.ඉතින් උන් සිංහයා අතහැර යාම පුදුමයක් නෙමේ.

    (හැබැයි නූතනත්වය පරණ පරම්පරාව වැළඳ ගත්තත් ඔවුන් තාම සිංහයට ආදරෙයි....ඒකයි යම් සීමාවකටවත් සිංහයා සමාජයතුල ජීවත්වන්නේ.)

    ReplyDelete
  8. හ්ම්...ලස්සනයි...ඒ සිංහයාට ආදරය කරන පිරිසක් ඉන්නවා තමා...
    හැමෝ ම දකින පැත්තට වඩා වෙනස් විදියකට දැකපු හිතකින් කරපු නිර්මාණයක්...
    ජයවේවා!!!

    ReplyDelete
  9. මම මේ blog එක හැමදාම බලනවා, ඔයාගේ අදහස් ඇත්තටම ගොඩක් ලස්සනයි, හිතට දැනෙනවා. කවදාවත් comment එකක් දාන්න හිතුවේ නෑ, හැබයි අදනම් මට දෙයක් ලියන්න හිතුනා.

    ම්ම්..... ජාතියට ගරහල කොච්චර හොද නිර්මාණයක් කලත් එකේ ඇති වැඩක් නෑ නේද.

    "විටින් විට අදත් සිංහලයන් තුලින් මතු වෙන තිරිසන් ගති වලට හේතුව සිංහය ද?"

    ජාතිය බිහිවීම ගැන මේ කතාව හරි කියලා ඔයා පිලිගන්නවාද? අපේ තියන තිරිසන් ගති මොනවාද(අනෙක් ජාතීන්ට නැති).


    "සිංහයාට වුනේ වැරැද්ද .. අසාධාරණය .. ඒ පවට සිංහල අපි වන්දි ගෙවනවා කියල මට හිතෙන්නේ ඇයි ද මන්ද ?"

    සිංහලයන් වීම නිසාම අපි ගෙවන වන්දිය මොකක්ද?

    ReplyDelete
  10. වත්...
    අදනම් මම ඔයාගේ කතාවට එකඟ වෙන්නේ නෑ. අනෙක් බොහෝ උසස් යැයි කියා ගන්නා ජාතීන් ළඟ නැති මනුස්සකම සිංහලයන් ළඟ ඉහලින්ම තියනවා. අතළොස්සක් කරන වැරදි වලට ජාතියම වැරදි කරුවන් ලෙස දකිනවාට මම නම් කොහෙත්ම කැමති නෑ. ඕනම කෙනෙකුට දෙන හිනාව, ආගන්තුක සත්කාරය, දානය (දන්නවා ඇතිනේ ලෝකේ තම ශරීර කොටස් දන් දෙන්න පැකිලෙන්නේ නැති ප්‍රධානම ජාතිය අපි කියන එක) අතින් අපි ඔය කියන බොහෝ ශිෂ්ඨ සම්පන්න යැයි කියා ගන්නා පිරිසට ඉදිරියෙන් ඉන්නේ. අනික සුද්දන්ගේ ආක්‍රමණයෙන් පස්සේ යම් දුර්ගුණ ආවත් ඊට කලින් මෙහි තිබූ හොඳ සිරිත් ගැන කියන්නෙත් රොබට් නොක්ස්මනේ.
    කොහොම උනත් මම දකින්නේ ලොව අනෙක් ජාතීන් එක්ක ගත්තම සිංහලයන් ඉතා උසස් මිනිසත් බවෙන් පිරුණු පිරිසක් ලෙස.
    කොහොම උනත් මේකත් වෙනදා වගේම ඔයාගෙන් ලියවුන උසස්ම පද පේලියක්.....

    ReplyDelete
  11. ලස්සන නිර්මාණයක්. නමුත්, තව යමක් කියන්න හිතුනා. ඔබ විසින් අවසානයේදී සිංහයා සහ සිංහලයින් ගැන සඳහන් කර තිබෙන අන්දමට, ඔබ සිංහලයින් සිංහයා හා සම්බන්ධ බව හඟවන බව පේනවා. මේ සිංහ කතාව ගැන මට මතක දෙයක් නම්, සිංහයෙකු සමග සංසර්ගයේ යෙදුනැයි කීමෙන් අදහස් වන්නේ, "සිංහයන් ලාණය (ඝාතනය) කළ" හෙයින් එහෙව් වූ අය සමඟ සහවාසයෙන් යන කතාවයි. නමුත්, මට ඒ අදහස හරියටම් දැන් මතක් වෙන්නේ නෑ. කොහොම නමුත්, මහවංශයෙන් එපිට ඉතා ඈත අතීතයකට දිව යන ඉතිහාසයක් ගැන හෙළ හවුල ආදීන විසින් දක්වා තිබෙනවා. ඇතැම්විට මේවා, යම් යම් පිරිස් විසින් අවඥාවෙන් බැහැර කර තිබෙනවා. නමුත්, 1950 ආදී කාලවල සිට 70, 80, 90 ආදී දශකයන් තුළින් වත්මන වන විට බටහිර බුද්ධිමතුන් විසින් මේ පැරණි ඉතිහාසය මොහෙන්දජාරෝ-හරප්පා, මායා, බැබිලෝනියානු ආදී ශිෂ්ටාචාර සමඟ ඇති සම්බන්ධතාවයන් ගැන පර්යේෂණ පවත්වමින් තිබෙනවා.

    මේ දේවල් සඳහන් කළේ, සිංහයා හා සිංහලයින් ගැන ඔබ සඳහන කර තිබූ නිසයි. මහවංශයෙන් එපිට පූර්ව ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන, ඒ ගැන කරුණු එක්‍ රැස් කරන තරුණයෙක් වශයෙන්, මට මේ ටික මෙතන කියන්න හිතුනා. අන්තර්ජාලය මඟින් මෙවැනි කරුණු පිළිබඳ ඉතා විශාල දැනුමක් ලබා ගත හැකියි. අන්තර්ජාලයේ ආගමනය, මෙවැනි දේ පිළිබඳ තවදුරටත් බටහිරයන්ට හෝ සඟවා තබ ගැනීමට අසීරු ලෙස වර්ධනය වෙමින් පවතිනවා.

    ReplyDelete
  12. මෑතකදී කරන්නට යෙදුනු, අන්තර්ජාතික සමීක්ෂණයක ප්‍රථිඵල වලට අනුව, ලෝකයේ පරිත්‍යාගශීලීම ජාතින් අතර 8 වෙනි ස්ථාන්යට මේ පුංචි ශ්‍රී ලංකාව පත් වුනු බව ඔබ දන්නවා ඇති.

    http://economix.blogs.nytimes.com/2010/09/09/the-most-generous-countries-on-earth/

    වෙන කිසිදු ආසියාතික රටක් මෙම දර්ශකයේ ලංකාව අසලක හෝ නොතිබීමද සැළකිය යුතුයි. වත්මනෙහි "සිංහල බෞද්ධ සංස්කෘතිය" රැක ගැනීමේ මුවාවෙන් තම අභිලාෂයන් ඉටු කර ගැනීමට උත්සහ කරන විවිධ පිරිස් විසින් විවිධ දේ කරනු ලබන බව සත්‍යයකි. නමුත් ඒ එසේ වුවද, බෞද්ධ සංස්කෘතියෙන් අතීතයේදී ආභාෂය ලත් අප තුළ ජානගතව පවත්නා වටිනාකම් ඉතිරි වී ඇත. මෙම ප්‍රවෘත්තිය, ලාංකික අපිට අලුත් තොරතුරක් නොවූවත්, මෙවැනි දේවලින් පවා අප සතු වටිනාකම් ඉස්මතු වී පෙනීම සතුටු විය යුතු කරුණක්. අප බෙහෙවින් කාලකණ්නි තත්වයකට පත් වූයේ, යටත්-විජිත වාදීන්ගේ කාලයෙන් පසුව බව මතක තබා ගත යුත්තක්. ඉන් පසු දේශපාලුවන් විසින් ඊනියා-නිදහසේ සිට මේ දක්වාත් ඒ සම්බන්ධවා විශාලම වගකීම දරනවා. මේ සියලු දෙයින් පසුව වුවත්, සිංහලයින් තුළ තවමත් හොඳ ගතිගුණ ඉතිරිව තිබෙනවා.

    ReplyDelete
  13. අනේ යාළුවනේ ..රටට, ජාතියට ගරහන්න මට වුවමනාවක් නැහැ..

    මට වුවමනා වුනේ සිංහයා තිරිසන් සතෙක් වෙලත් බිරිඳටයි , දරුවන්ටයි තමන්ට හැකි උඵරිමයෙන් සැලකුවා.. ඒත් පුතා මිනිහෙක් වෙලත් කළේ වැරුද්ද.තාත්තව මැරුව... නංගිව සහේට ගත්ත...

    මේ කතාවේ එන සිංහයා .. තිරිසන් සතෙක් නොවෙයි මම හිතන හැටියට. (කකුල් 4 සතෙක් නෙමෙයි)Thilina Madhushankha ගේ කතාව හරි වෙන්න ඕනි.

    මට කියන්න වුවමනා කළේ අන්තිම කවි පන්තියයි. සුප්පා දේවි ගැනයි මට හිතෙන හැටි...

    අන්තිම කවි පන්තියේ අමුත්තක් සමහරෙක්ට දැනිල තියෙනවා.

    ..::| පොජ්ජේ |::..
    Lahiru Udayang
    ප්‍රාර්ථනා
    ඒක එහෙම වුනානම් මටත් වුවමනා වුනේ ඒකමයි...

    මම සුප්පා දේවි වුනානම්..මගේ හිතට කිසිදවසක මම කල දෙයින් ගැලවීමක් නැහැ . මොකද දරුවන් නුවරට පිටත් කරල සුප්පා දේවිට තිබ්බ වනයේ නතර වෙන්න...මම හිතන හැටි වැරදි වෙන්න පුලුවන්... ඒත් සිංහයාට විදල මරද්දි සුප්පා දේවිට හිතෙන්න ඇති ඒ හීය වදින්නේ තමන්ගෙ පපුවට කියල...

    සිංහයා මැරුණට පස්සේ සුප්පා දේවි ආයෙත් කැලේට ගියා නම් ...සුප්පා දේවිට දැනෙන විදිහ තමයි මම අන්තිම කවි පද හතරෙන් ලීවේ...

    කියවන ඔබලාගේ සිත රිදවූවා නම් මට සමාවෙන්න...

    නිර්මාණ එකිනෙකා දකින්නේ තම තමන්ගේ අත්දැකීම් එක්ක ගලපල .... ඒකයි ඒ වෙනස...

    සිංහයාගෙන් අපි පැවත එනවනම් ... අපි මේ ඉන්නේ අනුන්ට අයිති රටක අනුන්ගේ බිමක නේද?

    ඔයාලට එහෙම හිතිල නැද්ද..

    මේ රටේ.. මේ බිමේ නියම උරුමක්කාරයන් ගෙන් මේ රට අපි උදුරන් කියල හිතෙන්නේ නැද්ද....

    විජය කියන්නේ සිංහබාහුගේ පුතෙක් ... ඒ විජය තමයි කම්බපණ්නියට ඇවිත් මේ රට අයිති තර ගත්තේ

    කුවේණිලා තමයි නියම හිමිකරුවෝ...

    මට හිතෙන හැටි වැරදි ඇති... ඒත් ඒ මට හිතුන හැටි...

    ReplyDelete
  14. හෙහෙ
    ඕවා ගණන් ගන්න එපා. මමත් අර විස්තර ටික කිව්වේ, උනන්දුවක් තියෙන කෙනෙකුට වැඩි දුර හොයන්න උදව්වක් වශයෙන්.

    කාව්‍යමය වශයෙන්, ඔබේ නිර්මාණය සුන්දරයි. :)

    ReplyDelete
  15. තමන්ගෙ රට, තමන්ගේ ආගම, තමන්ගෙ ජාතිය කියල හිතන්න හිතන්න අපි තාමත් ඉන්නේ ගල් ලෙනක හිර වෙලා කියලයි මට හිතෙන්නේ...

    සිංහල මිනිස්සු හොදයි නරක නැහැ... ඒත් නරක ගතිගුණ නැත්තෙමත් නැහැ...

    මමත් සිංහල තමයි...

    ReplyDelete
  16. වනයේ තනිව දිවි ගෙවු හුදකලාවී,
    සොඳුරිය ඔබය මා හද නිවු ප්‍රියාවී,
    වැලපෙන මහද සැමදා ඉකිබිඳීවි,
    සමුදෙමි ඔබට අහිතක් නොසිතමි දේවී,

    සිංහයට මෙහෙම පරිත්‍යාගයක්,කැපකිරීමක් කරන්ඩ පුලුවන් උනානම් කොච්චර අගේද කියල හිතෙන්නෙ නැද්ද?

    ReplyDelete
  17. අක්කේ වෙනදා වගේම ඔයාගේ නිර්මාණය මේ පාරත් මම ගොඩාක් අගය කරනවා

    තව එකක් තියනවා

    ලෝකෙ මිනිස්සු හැමෝම පොදුවේ වැරදි කරනව. සිංහල මිනිස්සුත් ඕන තරම් වැරදි කරනව. නමුත් සිංහල මිනිස්සුන්ගේ පපුව හරිම හොඳයි .

    ජයවේවා !!

    ReplyDelete
  18. ඔනෑම දෙයක් දිහා කොන කීපයකින් බලන්න පුලුවන්. ඉතින් ඔය වත් ගේ කොනය නෙ. මහා ජාතිවාදියෙක් වෙන මට ඔය දේ එහෙම හිතුනෙ නෑනෙ. මම හිතන්නෙ අන්තර්ගතය තුල එහෙම දෙයක් තිබුනට රචකයා ගෙ පරමාර්ථය එය නොවුනු නිසා වෙන්න ඈති

    ReplyDelete
  19. මොනා කිව්වත් කතාව ඇත්ත අක්කියෝ...මිනිස්සුන්ට වඩා සත්තුන්ගේ කරුණාව වැඩියි...අපේ රටේ ඉන්න (සම)හරක් මිනිස්සු තිරිසන්නුන්ටත් අන්තයි.කවුරු හරි නෑ කිව්වොත් ඔප්පු කරන්න වුනත් පුළුහන්‍‍...(ළගදිම බ්ලොග් එකේ ඒ වගේ දෙයක් දාන්නම්කෝ‍‍‍...)

    ඔය තිරිසන් ගතිවලට හේතුව සිංහයා නෙවේ අක්කියෝ සිංහ පුතා.තාත්තා මොනවගේ කෙනෙක් වුනත් කෙළේගුණ තියෙන්න ඕනි නේද...
    සිංහලයට වැරදුන තැන ඔතන නේද...?
    අර කිව්ව වගේ විජය කුවේණි කතාව ඉතිං ඇත්තටම වුනදේනේ...අපේ ඇගේ දුවන්නේ ඒ ලේනේ ඉතිං.....තව වෙන මොනාද....

    ReplyDelete
  20. මොනවා වුණත් සිංහයා තමන්ගේ දරුවන්ට බිරිඳට හුඟාක් ආදරෙන් හිටිය එක්කෙනෙක් නේ.............

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...