..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, October 22, 2010

෴ නොරිකොගෙන් ලියුමක් - A letter from Noriko ෴


ආදරණීය දේවේන්ද්‍ර සාන් ,

සකුරා මල් වලින් පාර අහගෙන ජපානෙට ආපු නුඹව , අහඹුවෙන් නමුත්  දකින්න ඇසුරු කරන්න , ඒ හැමටම වැඩියෙන් නුඹෙ හිතේ ඉඩක් ලබන්න පිං කරමු මම නුඹේම නොරිකො. මා ලියන්නට හපනියක් නොවුනත් අතීතයේ පුංචි සිදුවීමක් වෙනස් කරන්න තියෙන තදබල පෙළඹවිම නිසයි නුඹට මේ ලිපිය ලියන්නේ.

නුඹට දොස් කියන පිරිස වැඩි වුනත් , නුඹට දොස් කියන්න එකම හා වැඩිම අයිතිවාසිකම තියන මම නුඹට කවදාවත් දොසක් කියන්නේ නැහැ... ඒත් දේවේන්ද්‍ර සාන් ,මට මා ගැනත් ,නුඹ මට දුන් ආදරය ගැනත් , අවසානයේ නුඹ ගත් පියවර ගැනත් ඇති වන්නේ තදබල කණගාටුවක්. 

නුඹ මට දුන් ආදරය සකුරා මල් තරම්ම පිවිතුරුයි ... සකුරා මල් තරම්ම අනන්ය්‍යයි කියල මාත් මගෙ හිතත් දන්නව. ඒ වගේම මම දන්නව මාව දුර සිටන් නුඹ ළඟට අරන් නුඹ කොයි තරම් නම් සතුටින් හිටිය ද කියල. ඒ වගේම නුඹ මා ළඟින්ම ඉදන් මට ළං වෙන්න බැරිව නුඹ සිත පෙළපු වේදනාවත් ඒ තරමටම මම දන්නවා.

මහ විශාලෙට අතු විහිදල හැදෙන ගහක් , බොහොම ආසාවෙන් , කැපකිරීමෙන් ලස්සන බොන්සායි ගහක් කරනව වගේ නුඹ මාව නුඹෙ හිත ඇතුලෙ පැලකරපු බොන්සායි ගහක් කරා... ඉතින් දැන් ඒ ගහට  පරිසරයේ තියෙන අනිත් ගස් එක්ක තරඟ කරන්න පුලුවන් කියල නුඹ හිතනවද දේවේනද්‍රසාන් ...ඒ ගහ වෙන කෙනෙක් නුඹ තරම්ම ආදරෙන් රැකබලා ගනිවී කියල නුඹ හිතනව ද?

නුඹේ රටේත් නු‍ඹ සිත් ගත් ළදුන් වුන්න වග මා දන්නව. නුඹ ඔවුන්ට පෙම් කළාද නොකළාද යන වග හරියටම මම දන්නේ නැති වුනත් නුඹට ඔවුන්ගේ සිත් වලට දුකක් දෙන්න බැරි වුනා කියලත් මම දන්නව. නුඹෙ ආදර නොරිකොව ජපන් රටෙන් උදුරාගෙන ගිහින් ලංකාවේ පැළ කරන්න බැරි තරමට නුඹේ හිතට වද දුන්හේතු තිබුන කියල මම දන්නවා. 

ඕකතා සං, යසුදා සං ට ලැගුම් ගන්න බැරි වුන ම‍ගේ හිත , මුහුදු හතක් එහා රටක ඉඳන් ආව නුඹ වෙනුවෙන් වෙන් වුනා...ඒත් නුඹටවත් තේරුම් ගන්න බැරි වුන ඒ ආදරේ වෙනුවෙන් නුඹ දුක් වුනා. විප්‍රයෝගයෙන්ම පටන් ගත්ත ඒ ආදරේ අවසන් කරන්න නුඹ ගත්ත මඟ නොරිකෝව තව තවත් තනිකළා. 


නුඹට තිබුනා දැන් කාලේ ජීවත්වන ගොඩක් දෙනා වගේ පිටතින් සිනා වෙමින් ඇතුලතින් දැවෙමින් ජීවත් වෙන්න. ඒත් නුඹ ක්ෂණයෙන් දැවෙන සුවඳ දුම් කූරක් වගේ සුවඳ විතරක් ඉතිරි කරල දැවී හළුවෙලා ගියා.

නුඹේ සිතුවම් ඇඳීමත් , නුඹේ ගීතගායනයත් , නුඹ මා දිහා බලා වුන්න සෝකී දෑසත් , දෑතින් නොව සිතින් මා සිත ස්පර්ශ කරමින් මට දුන් ආදරයත් මෙනෙහි වන මොහොතක් ගානේ මගේ සිත දැවී හළු වී යන තරම් නුඹ දන්නව ද?

මළවුන්ගේ අවුරුදු දා විතරක් නෙමෙයි  ... මට හැමදාම නුඹ මගේ මනසින් දකින්න වුවමනා නිසා මම මගේ අවසන් තීරණය ගන්න බව මගේ මේ ලිපිය නුඹට කියාවි. 

" මහ සාගරයේ වෙසෙන මුතු බෙල්ලෙක් හංගන් ඉන්න මුතු කැටයක් වගේ ,නුඹ මට දුන්න ආදරේ මගෙ හිත පතුළෙම ( මැරුණත් වායු ගෝලයට නිදහස් නොවී හදවතේ ඉතිරි වෙන හුස්ම ටිකේ )  රදව ගෙන හෙට දවසෙ මම දීගෙක යනවා... ඒ ඕකතා සංවත්, යසුදා සංවත් එක්ක නෙමෙයි. මමත් නොදන්න වෙනමම සං කෙනෙක් එක්ක.


නුඹේ සිතට එය බලවත් වේදනාවක් ගෙන දෙන්නක් වුවත්  .. ... ... ඉන් නුඹ බැඳදැමූ වරදකාරී හැඟීමෙන් නුඹේ සිත මිදෙයි කියල මට හිතෙනවා.


ඉතින් දේවේන්ද්‍රසාන් මතු දිනයක මා බිරිඳක් වුනත් නුඹ මගේ සදාකාලික " පෙම්වතාම " වීම වරදක් නෙමෙයි නේ ද?


Arigato Gozaimasu

Anata ga daisuki desu


මම
නුඹට සදා ආදරය කරන
අන්සතු වූ නොරිකෝ 

අර ජපන් භාෂාවෙන් ලියල තියෙන වාක්‍යයේ 4වෙනි අකුරෙ සංකීර්ණත්වය පේනව ද? ඒ අකුර තමයි ලු ජපන් වලින් " ආදරය" කියන්න යොදන්නේ... ඉතින් .... 

විශේෂ ස්තුතිය - වවුල් තිප්පල හිමිකරු - චාමි - Arigato Gozaimasu

20 ප්‍රතිචාර:

ස්වප්නා said...

වෙන සං කෙනෙක්ව බැඳලා දෙවොන්දරා සං ට ආදරේ කරන එක නං වැරදියි. එහෙනං නොබැඳම ඉන්න. බඳිනවා නං අලුත් සං ට ආදරේ කරන්න පටන් ගන්න.
ආදරේ, බැඳිම්, සතුට, වේදනාව ඔක්කොම සාපේක්ෂයි. හිතේ හට ගන්න දේවල්. නමුත් දෙපිටකාට්ටු වීම ඊට වඩා කැතයි.

what will be will be...
what not, is never ..

ප්‍රාර්ථනා said...

කතාව ලස්සනයි..ඇදෙන්නේ අන්තිමට ඔයා ලිවුව කවිය දිහාවටමයි... ඔහොම කිවුවට කාලය හැමදේම විසදයි. නොරිකෝ අළුත් සං ට ප්‍රේම කරයි. එහෙම කල යුතුයි.. එහෙම නොවුනොත් ඒක අළුත් සංට බලවත් හිත් පීඩාවක් වෙයි.. එසේ නොවේවා..!

මද්දු said...

http://www.sendspace.com/file/xh4fiw
අරන්ම බලන්න

පුබුදුවා said...

මාත් හිතනවා නොරිකෝට අලුත් සාං කෙනෙක් ලැබිලා ලස්සණ ආදරයක් පටන් ගනීවි කියලා

මාරයාගේ හෝරාව said...

ගෙන ගියත් පා යුග..මා ලොව බොහෝ දස අත..
මැරුණු මිනිසා වෙමි..නැතිය හැගුමක් දැනීමක් කිසි..
එන්නේ නැතේ කිසි දින..මළවුනට හිමි අවුරුදු දින..
නොරිකෝ සැනසියං නුඹ..මතකය පමණි උරුමය..

෴ හසියා ෴ said...

අනේ මන්ද.....මුකුත්ම නොකියා ඉන්න තරමට හොදයි වගේ.....

නිශ් said...

norikota,
atietaya karapinna yaamen palak nehe. oya norikogei devondaragei aadaraye awasaana palaya mokakda?
e de aadaraya nam api aadaraya karanawata wada hondai nokara inna eka.

දුමී said...

හොඳ නිර්මාණයක් නගෝ, හැබැයි මම තාම මළගිය ඇත්තෝ කියවලා නැහැනේ . . . . කියවලා තිබුනානම් මීට වඩා හොඳට දැනෙන්න තිබුනා . . . !

චමිල said...

ලස්සන ලියමන... ආපහු මළගිය ඇත්තෝ කියවන්න හිතගෙන ඉන්නෙ.

wath ෴ වත් ෴ said...

@ස්වප්නා
සප්නා ගේ කතාව ඇත්ත... ඒත් බොහෝ විවාහක යුගලවල් සිත් වලින් ගොඩන්ම ආදරේ කරන කෙනෙක් ඉන්නවා... කාටත් හොරෙන් ඒ කෙනාව හිතේ තියා ගෙන ආදරේ කරනව...ඒක එක අතකින් මානසික සහනයක්...

wath ෴ වත් ෴ said...

ප්‍රාර්ථනා
ඇත්ත නංගි.ආත්ම වංචාව කියනදෙයින් ගැලවීමක් නැහැ කොහෙ ගියත්....
අයේ හිතන්නේ නැහැ දෙවේනදු ගැන ...

wath ෴ වත් ෴ said...

පුබුදුවා
ඔවු ඔවු මල්ලියා.. එහෙනම් මඟුල් තෙදර දවසට එනව නේ නේද? මල් කුමාරයට ..හේ හේ...

wath ෴ වත් ෴ said...

මාරයාගේ හෝරාව
අනේ මේ... වැදි බණ කියන්නෙ නැතිව ඉන්න...

wath ෴ වත් ෴ said...

෴ හසියා ෴
Do not Worry Hasiya...ඔයාගේ කුමාරිත් ඔයා අවටම ඇති.කල බල වෙන්න එපා අයියෝ.. තාම ඉගෙන ගන්න වයසෙ ළමයි...

wath ෴ වත් ෴ said...

නිශ්
ඇත්ත. ඒත් මේ ආදරය කියන අකුරු හතර ගාව දෙව් බඹුන් වුනත් අතරමං වෙනව.අවසානයක් ගැන හිතල කවුද නිශ් ආදරය කරන්නේ...
ගැඹුර නොදැන අපි පනිනවා. ඊට පස්සේ බේර ගනියෝ කියල වටේ පිටේ ඉන්න අයට බෙරි හඩ දෙනවා..
ජීවිතේ එහෙම තමයි...

wath ෴ වත් ෴ said...

දුමී
අපොයි.. අයිය පොත් කියවනව හොර බව ඒකෙන්ම පේනවා...

එක්කොත්කියවන්න එපා.. දුක හිතෙන පොත් බලන්න එපා...

නිර්දේශ නොකරමි...

wath ෴ වත් ෴ said...

චමිල
ඔයා නම් කියෙවුවට කමක් නැහැ... කියවල ඉවර වෙලා මට කියන්න. මට දැන ගන්න ඕනි ඉස්සර ජපානෙයි දැන් ජපානෙයි .. දෙවේන්ද්‍ර ගේ හිතේ තිබ්බ ජපානෙයි වෙනස් ද කියල..

ඔයා තමයි ඒ ගැන දැන ගන්න ඉන්න එකම කෙනා..

මල්ලියා ඔයා මට කරන උදවු වලට ගොඩක් ස්තූතියි.

චමිල said...

අය්යෝ මම එහෙම ලොකු උදව් කලේ නැහැ අක්කේ. ඕක පොඩි දෙයක්.
මම ආසාවෙන් ඉන්නෙ මළගිය ඇත්තෝ ආපහු කියවන්න. මොකද මම ඒක කියෙව්වෙ 9 වසරෙ විතර ඉද්දි. ඒ හින්දා ආපහු කියවන්න ඕනේ. දැන් කියෙව්වොත් ඉස්සරට වැඩිය ඒක වැදෙයි. දෙවෙන්දොරා සන් ට ලංවෙන්න ඉස්සරට වැඩිය පුලුවන් වෙයි.
මම පොත කියවලා විස්තරේ දාන්නං. අර අලුත් පොතත් කියවන්න ආසයි ඔයා කිව්ව.

සාතන් said...

මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා පොත් දෙකම පොත් රාක්කෙ තියෙන්නෙ දැන් අවුරුදු ගානක ඉදන්... කියවන්න මහ කම්මැලිම පොතක්... තාම එක පොතකින් භාගයක් විතර කියවල තියෙන්නෙ....

මුතු අහුරක් said...

හිතේ කොනක වත් පුංචි ඉඩක් තියාගන්නෙ නැතුව කරපු ආදරයක් බිඳෙනවට වඩා හොඳයි මැරෙන එක.ඒත් කරුමෙකට හරි මැරි මැරි ජීවත් වෙන්න උනොත්?දුක හිතෙන කතාවකට කමෙන්ට් දාන එක මොන තරම් ලේසිද?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...