..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, October 30, 2010

෴ මගේ තාත්තා ෴

තාත්ත නැති වෙන්න වසරකට පමණ පෙර
 මොන තරම් කවි පද ලීවද
නුඹ ගැන ලියන්න මට වචන කොහින් ද

---------------------------------------------------------------------
ප : ලි / 


පුංචි කාලේ මගෙ ජීවිතේ හිටිය පතාක යෝධයා, වීරයා , ලොක්කා .... ටික ටික මම වයසින් වැඩෙත් ම මගේ හොඳම ආරක්ෂකයා. මම තරුණ වයසෙ එළිපත්තේ තනිකරල මගේ හොඳම ආරක්ෂකයා යළි නොඑන්නම යන්න ගියා. හෙවනැල්ල ඉතිරි කරලා. අදටත් ලොකු පුතා ට කරදරයක් වෙනව නම් හෙවනැල්ල වගේ ඇවිත් මාව බේර ගන්නේ මගේ තාත්ත. ඒ තවමත් තාත්තගේ ලොකු පුතාට හරි හමන් ආරක්ෂ‍කයෙක් නැති විත්තිය තාත්තා දන්න නිසා වෙන්න ඇති. හිත රිදුන දවසට හීනෙන් ඇවිත් මගෙ හිත සනසන්නේ පිරිමි කවුරුත් තාත්ත වගේ නැහැ කියල තාත්ත දන්න නිසා වෙන්න ඇති.

" ලොකු පුතා " කියල මාව ආමන්ත්‍රණය කරත් මම ඇත්තටම තාත්තගේ ලොකු දෝණි. කවුරු ත් තම තමන්ගේ තාත්තලාට අප්පච්චි කියද්දි මම කීවේ " තාත්තා " කියල. ඒ අපි උඩරට හිටියත් පරපුර පැවත ආවේ පහතරට නිසා වෙන්න ඇති.


පුංචි අවධියේ ඉඳල මම ඔහු දකින්නේ හරිම අඩුවෙන් . උදේම කබ කඩ කඩ ගිහින් රස්සාවට යන්න ලේස්ති වුන තාත්තගේ දෙපා මුල වැටිල "වුද්ධිකාරෝ " කියන්නේ හීනෙන් වගේ. ආයෙත් මහ රාත්‍රියේ ගෙට ගොඩවදින ඔහු ගේන රසකැවිලි අපිට කවන්නේ අම්ම බනිද්දි අපිව නින්දෙන් ඇහැරවලා. කෑවේ මොනා ද කියලවත් අපි දන්නේ නැහැ.
හැබැයි මට ඕනි වුන පාට පැන්සල් , ඩික්ෂනරි, කතා පොත් හැම එකක් ම උදේ ඇහැරිල බලද්දි මගේ  හිස කොට්ටය ලඟ තිබ්බම තාත්ත ගැන හරි ආදරයක් ඇති වෙනවා. ( ඒක හරි ආත්මාර්ථකාමී ආදරයක් )
මගේ තාත්තා ලස්සනට අඳින , බොහොම පිරිසිදුවට හිටපු කෙනෙක්.අර පින්තූරයේ සුදට හිටියට හරිම කළුයි ලස්සනයි. මගේ ප්‍රථම රැකියාව මට ලැබුනට පස්සේ ලස්සන කමිස සරම් විතරක් නෙමෙයි ලාවට සුදු වේ ගෙන එන කොණ්ඩය කළු පාට කර ගන්න පාට ගෙනත් දුන්නෙත් මම.අන්තිමට තාත්තා අවසන් වතාවට නිදන් වුන්න ලී පෙට්ටිය ත් ගෙනත් දෙන්න වුනාම ... ....
තාත්තගේ සම්පූර්ණ කොණ්ඩයම සුදු වෙන්නත් කලින් , එක දතක් වත් වැටෙන්නත් කලින් තාත්ත මාව දාලා ගියා. යන්තම් විශ්‍රාම යන වයස වුනත් වයස 50 ක පෙනුමක් අරන් තාත්ත යන්න ගියා.
එදා ඉදල වැලි ගොඩේ වැටිච්ච ඉදිකට්ටක් හොයන ගානට මම මගේ තාත්ත සෙවුව. මට හමුවන මිනිසුන් තුල , කතා බහ කරන අය තුල මම ‍නොදැන වත්ම මගේ තාත්තා සෙවුව.
අහල තියද කතාවක් තියෙනවා. පිරිමින් විවාහ වීමේදී තම මවට සමාන මුහුණක් ඇති ගැහැණියක් සොයනව කියල. ගැහැණු දරුවනුත් එහෙම වෙන්න ඇති. මොකද පිරිමියා ලබන අවංක සෙනෙහස පළමුවෙන්ම දකින්නේ තම මවගෙන්. ගැහැණු ළමයාත් සොයන ආදරය හා රැකවරණය ලැබුනහොදම කෙනා තාත්තා ඒ නිසා මාත් නොදැනුවත්වම ආදරය කරන්න සොයන්න ඇත්තෙත් ඒ පෙනුම හා ආරක්ෂාව සපයන කෙනෙක් වෙන්න ඇති.

( Research shows that women who get on well with their fathers tend to marry men with similar facial characteristics.)

කොහොම වුනත් මට හිමි වෙලා තිබ්බ උතුම්ම වටිනාම සෙනෙහසත් අරන් මගේ තාත්ත ගොඩක් දුර ගිහින්.

කිසිම ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු නොවන සැබෑ සෙනෙහස තියෙන්නේ දෙමාපියන් ගාව. ගනු දෙනුවක් නොවන ආදරය. ඒ ආදර සෙනෙහස එතරම්ම උසස් නිසා තමයි අපි කොයි තරම් වැරදි කරත් අවසානයේ දි අම්ම තාත්ත ළඟට යන්නේ.....

උපන් දිනයටයි, සාදයටයි, මරණෙටයි මඟුලටයි , දකින දකින හැම පින්තූරයකටමයි කවි කියල හිතෙන ඒව ලියන මට තාත්ත ගැන කවි ලියන්න බැහැ.

මේ තියෙන්නේ මම කලකට පෙර මම ලීව නිසදැසක්

පෙන්ටගනයටත් වඩා ආරක්ෂාව තියන තැනක්
හීතලම හීතල හිම පිරුණ ඇන්ටාටිකාවෙ වුනත්
උණුසුම්ව ඉන්න පුළුවන් තැනක්
මහමෙරක් තරම් දුක පුළුන් රොදක් වගේ
සැහැල්ලු කරන තැනක්
ලෝකෙ ඉන්න ලොකුම මංකොල්ලකාරයා ආවත්
හොරා ගන්න බැරි තැනක්
වචන සිය දහස් ගාණකින් කියන්න බැරි දේවල්
කණ තියල තප්පරකින් අහන්න පුලුවන් තැනක්
ලෝකෙ තියන ඔක්කම ආදරේ එකතු කරල
එකට ගුලිකරපු තැනක්
දන්නවද ඒ කොහෙද කියල
ඒ තමයි මගේ තාත්තාගෙ පපු කුහරය
අන්තිමට ලොකේ තිබිබ ලොකුම න්‍යෂ්ඨික බෝම්බය
පිපිරුව තරමේ දුකක් ඉතිරි කරල
යන්නම යන්න ගියා
එදා ඉදල මම තවමත් ඒ උණුසුම රැකවරණය සොයනව
අනේ මගේ රත්තරන් තාත්තා
මතු උපදින හැම ආත්මයකම මගේම තාත්තා වෙලා 
මා ලගින්ම ඉන්න .....



My father died many years ago, and yet when something special happens to me, I talk to him secretly not really knowing whether he hears, but it makes me feel better to half believe it."

35 ප්‍රතිචාර:

ර ත් ග ම යා said...

කියාගන්න බෑ අක්කේ....වචන හිර වෙනවා....මට නම් තාත්තා,අම්මා දෙන්නම ඉන්නවා......
අනේ........
මට තව ලියන්න බෑ...

Dinesh said...

අක්කා 100% හරි අක්කෙ...... මව්පිය සෙනෙහස මෙතෙකැයි කියල නිම කරන්න බැහැ... එ සෙනෙහස සප්ත මහා සාගරයටත් වැඩියෙන් විශාලයි..මමත් මොන තරම් මාතෘකා වලට කවි ලිව්වත් මට තාම එක පද හතරක් අම්ම තාත්තා ගැන ලියන්න බැරි උනා... එ උවමනාවක් නැති නිසා නෙමෙයි... මම ලියන දෙයින් එයාලගෙ ආදරය අඩුවෙන් ලියවෙයි කියල බය දැනෙන නිසා... මම නොපෙනෙනෙ දෙවියන් වදින වට වඩා විශ්වාස කරන්නෙ මගෙ දෙමව්පියන්ව...

ප්‍රාර්ථනා said...

සොරි අ....ක්..කේ...
ම..ට මුකුත්.. කියවෙන්නෑ අක්කේ...

නිශ් said...

මටත් තාම මොකක් හරි ප්‍රශ්නයක් ආවම හිතිනෙ දෙයක් තමා තාත්තා ඈවිත් මාව ආරක්ෂා කරයි කියන එක අනේ මන්දා.........
මාව උස්මහත් කරල හදපු තාත්තා වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බෑරි උන එක ගෑන තියෙන්නෙ හරිම දුකක්.
මගෙ තාත්තා අද හිටියනම්......................... හ්ම්ම්ම්ම්........

කතන්දරකාරයා said...

අපි කාටත් යන්න වෙනවා.

අකාලේ යෑම තමයි දුක.

ඔබේපියා වෙනුවෙනුත්, මගේ පියා වෙනුවෙනුත්, මං මගේ පොඩි උන්ට හොඳ තාත්තෙක් වෙන්න පොරොන්දු වෙන්නම්.

Lahiru Udayanga said...

තාත්තෙක්ගේ අම්මෙක්ගේ ආදරයට සීමා නෑ අක්කේ..එහෙම සීමා නැති ආදරයක් කොහොමද ජීවිත කාලෙට සීමා කරන්නේ..අක්කාගේ තාත්තා අද ඔයාට පේන නැත් උනත් ඔයාට නොපෙනෙන තැනක ඉදන් ඔයා දිහි බලාගෙන ඇති..ඔයාව ආරක්ෂා කරනවා ඇති..අදටත් ඔයා‍ෙ තාත්තාගේ ආදරේ එදා වගේම දැනෙන්නේ ඒ නිසාම වෙන්නැති කියලයි මට නම් හිතෙන්නේ..

දුමී said...

හරිම සංවේදී සටහනක් වත් නගෝ.

තාත්තා කියන්න අපි හැමෝගේම ආත්මයේම කොටසක්. දරුවන්ට තාත්තාව අහිමි වෙනවා කියන්නෙ ලෝකයෙන් බාගයක් නැතිවෙනවා වගේ තමයි. මට නගාගේ දුක හොඳට දැනෙනවා.

හිස් අහස said...

තාත්තා නැති උනාම තියන දුක මම අක්ක තරමටම දන්නවා . ඔය දුක මම තාමත් අත්විදිනවා . මගේ තාත්තා අපිව දාලා ගියේ හිතපු නැති විදිහට . උදේ වැඩට ගියා . හවස...............?

ඔයාගේ දුක මට හොඳට දැනෙනවා !

බුද්ධි said...

ඈත්තටම දුකයි! මේක කියවද්දි, ඒත් අපිටත් කවද හරි ඔය සත්‍යයට මුහුණ දෙන්න වෙනවා කියලා මතක් වෙදිදි මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ.

NUWAN"s lane said...

ඈස් වලට කදුලු එනවා වත්

පුබුදුවා said...

ඈත්තටම හරිම දුකයි අක්කේ,ඇහැට කදුලුත් ආවා.අක්කට තාත්තා වගේ ආරක්ශාව සලසන කෙනෙක් ඉක්මනට හම්බවෙයි.ඒ වගේම අක්කගේ තාත්තා මතු හැම ආත්මෙකම අක්කගෙම තාත්තා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා!

෴ හසියා ෴ said...

අක්කේ ඔයාගේ අද පෝස්ට් එක නෙකියවා ඉන්න හදලා කියෙව්වේ....(ඒ දැන දැන හිතරිද්දගන්න බැරි නිසා...සමාවෙන්න ඒහෙම හිතුවට)
අක්කියයෝ මගේ ඇස් දෙකේ කදුළු ගලන්න ගත්තේ අක්කියගේ පෝස්ට් එකත් කියවන්න බැරි වෙන්ම බොදකරලා.ඇත්තමයි මගේ අක්කියෝ...
දුක් වෙන් එපා අක්කියෝ...ඔයා තාත්තා වෙනුවෙන් කරන්න ඕනි ගොඩක් දේවල් කරලා.තාත්තා ඒ කාලේ වැඩට ගිහින් මහන්සිවෙලා හම්බකරන සල්ලි වලින් ඔයාට පොත් පත් පෑන් පැන්සල් කන්න බොන්න ජාතී ගෙනත් දුන්නට පාඩු නෑ නේද...ඒ කරපුවයේ නාස්තියක් නෑ නේද...අක්කියාගේ තාත්තා අනිවාර්යයෙන්ම සතුටු වෙනවා මේ වගේ රත්තරන් අවංක කරුණාවන්ත දයාබර දු කුමරියක් මේ ලෝකෙට දායාද කරන්න පුළුහන් වුන එක ගැන....
මොනා කරන්නද අක්කියෝ....ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක් කියලනේ අපේ ගෟතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ.අපි අපේ ජීවිතේට මුහුණ දෙන්න ඕනි.අකිකියගේ දුක් මටත් හිතාගන්න පුළුහන්.ඕනිම කෙල්ලෙක් එයාගේ ජීවිතේ විශේෂිත අවස්ථාවන් (ඉපදුන දා පටන්ම...) කියන්න කැමති තාත්තට...ඒත් සමහර සමහර හේතු නිසා ඒ දේ කරන්න බැරි වෙනවලු.(මම නම් දන්නේ නෑ ඒ ගැන...)එහෙම හිතෙන්නේ අර අක්කි කිව්වා වගේ කොච්චර ලොකු වුනත් වැඩි හිටි වුනත් සැමි‍යෙක් දරු දැරියන් හිටියත් ගෑහැණු දැරිවියන් හිතන්නේ තමන්ගේ පියා තරම් දන්න කෙනෙක් වැදගත් කෙනෙක් මේ ලෝකේ නෑ කියලා.(දැන් ඉන්න කෙල්ලන් ගැන නෙමේ මම කියන්නේ...දැනුත් ඉතිං අතරින් පතර ඒ වගේ හිතන අය ඉන්නවා..)
අනිත් එක අක්කියෝ අකිකිගේ රත්තරන් අම්මට ගොඩාක් ආදරේ කරන්න රැකබලාගන්න...(කොහොමත් මේ දු කුමරි ඒ දෙවල් අකුරටම කරනවා කියලා අපි දන්නවා...)අද කාලේ වෙන දේවල් වල හැටියට ඔයාගේ අම්මා ඔයාව හදා වඩා‍ගත්තා අතපය නොකඩා කුනු බක්කියට ඔයාව විසිකරන්නේ නැතිව.අවංක කෙනෙක් කලා.හොරකම් කරන්න නරක වැඩ කරන්න ඉගැන්නුවේ නෑ.කෙනෙක්ට අත නොපා ජීවත් වෙන්න සැලැස්සුවා.ඒ ටිකම විතරක් මදිද මගේ අක්කියෝ....ඒ හන්දා තාත්තා නැති අඩුව අම්මට දැනෙන්න දෙන්න එපා...(ඇත්තටම කරන්න අමාරු දෙයක්‍..)ඒත අක්කිට පුළුහන් අම්මව සතුටින් තියන්න‍‍‍‍....
අපිත් අක්කිගේ රත්තරන් අම්මටයි තාත්තටයි ණය ගැතියි.ඒ මෙවගේ අවංක කරුණාවන්ත පණ්ඩිත කවිකාර කෙල්ලෙක් මේ ලෝකෙට බිහිකරලා දායාද කලාට‍‍......
අක්කියාගේ තාත්තාගේ හිතේ තියෙන අර හීනෙත් ඉක්මණින්ම ඉටුකරන්න හැකිවෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....

මම දන්න අක්කා කෙනෙක් ඉන්නවා.එයා දැන් හදට ඉගෙනගෙන හොද රස්සාවක් කරනවා.(රස්සාව විතරක් නෙවේ ගුණදම් වලිනුත් ඔයා වගේම පොහොසත් අක්කා කෙනෙක්‍‍....)එයාගේ තාත්තා නැතිවෙලා ‍තියෙන්නේ එයාට අවුරුදු 7දී.ඡායාව වගේ මකයිලු...ඒත් එයාට දුකක් දැනුණ වෙලාවට එයා කොට්ටේ තුරුළු කරන් අඩනවලු.අවුරුදු 26ක් වෙලත් තාමත් ඒදේ කරනවලු.එහෙම අඩනකොට එයාට තාත්තා කතාකරනවා ඇහෙනවලු.ප්‍රශ්නයක් තියෙනවෙලාවට තාත්තා ඒ විදිහට කියන විදිහට කරපුවහම ප්‍රශ්නේ ඉබේම විසදිලාලු...හරිම පුදුමයි නේද අක්කියෝ....

wath said...

අනේ යාළුවනේ මට සමාවෙන්න. අද ගේ පෝස්ට් එකේ උඩින්ම ඉන්නේ මගෙ තාත්තා... ඉතින් මම හැමදාම යන එන බ්ලොග් වලට ගියහම ඒ බ්ලොග් වලත් මගේ පෝස්ට් එකේ ඉන්න තාත්තාගේ පින්තූරය පේනවා...ඉතින් අර බ්ලොග් කියවන එකට වඩා මගේ ඇහැ යන්නේ පිනතූරෙට..මගේ බ්ලොග් එක ගොඩක් යාලුවො එයාල කියවන බ්ලොග් අතරට එකතු කරල නිසයි ඒ... ඉතින් තකහනියෙන් මම වෙන පෝස්ට් එකක් ලියල පබ්ලිෂ් කරා. එතකොට තාත්තගේ පින්තූරය පහලට යන නිසා...

මට මගේ දුක බෙදා ගන්න ආව යාළුවො කාටත් හද පත්ලෙන්ම පිං කියල කියනව...

වෙන වෙනම ස්තූති කරන්න මම ආයෙත් එනවා..

එතකම් මට සමාවෙන්න....... හි. මගෙ හරි අවුල් ටිකක්......

wath said...

මගේ හිත අවුල් ටිකක්.........

wath said...

ර ත් ග ම යා
මම හිතල දුක පිරෙවුවෙ නැහැ මල්ලි. මට සමාවෙන්න. මමවත් හිතුවෙ නැහැ මගෙ හිතේ මේ තරම් දුකක් තියෙනවා කියල... සත්තකින්ම ලිවීම කියන්නේ හෘද සාක්ෂිය තනිකරම එළියට දැමීමක් ද මන්ද ? ලිවීමේ දී මම මිට වඩා ගොඩක් පරිස්සම් වෙන්න ඕනි කියල දැන් මට තේරෙනවා...

wath said...

Dinesh
ඔයා කියන්නෙ ඇත්ත මල්ලි. මම දන්න කියන කෙනෙක් ඉන්නවා. මගේ අම්මා ගැන ගීතයක් ලියල ඉල්ලනවා... දැන් මාස ගාණක ඉදන්... ලියනව මකනව ඕක තමයි කරේ. ඒත් ලීව දෙයක් නැහැ..

විරහ ගීයක් ඉල්ලුවනම් හොද හෝ නරක ඉක්මනින් ලියල දෙන්න පුලුවන්...

ඒත් අම්ම තාත්ත .... !!!!

ස්තූතියි මල්ලියා.

wath said...

ප්‍රාර්ථනා
ඔයා නෙමෙයි මායි සමාව ඉල්ලන්න ඕනි. ලිවීමෙන් කරන්න ඕනි මිනිස්සු සතුටින් තියෙන එක මිසක් හඩවන එක නෙමෙයි. අද දමයි මට තේරුනේ ලියන්නාට යම් වගකීමක් තියෙන විත්තිය.
සමාවෙන්න හිත රිදුන නම්. පෝස්ට් එක අයින් කරන්න බැහැ. අයින් කරොත් පැත්ත පලාතේ එන්නෙ නැහැ කියල කට්ටිය තර්ජනය කරා.

wath said...

නිශ්
දුක් වෙන්න එපා.නිශ්.එයා මුකුත් නොකල කියන්න බැහැ නේ. ඔයා තාත්තට ආදරේ කරා. දැනටත් තාත්ත වෙනුවෙන් හදවතේ විශේෂ තැනක් ඔයා තියන් ඉන්නව නේද? ඒක තමයි අපි තාත්ත වෙනුවෙන් කරන ඉහලම දේ.

ඒ ස්ථානය ගන්න සක්කරයටවත් බැහැ.

wath said...

කතන්දරකාරයා
මම දන්නව කතන්දර .ඔයාගේ තාත්තා ලෙඩ වුන දවස් වල ඔයාගේ බ්ලොග් පෝස්ට් කීයක් තාත්ත වෙනුවෙන් වෙන් වුනාද කියල.

ඉබි පැටවුන්ගේ කතන්දර..මතකද...

ඒ දවස් වල කතන්දර කියවපු කවුරුත් හිටියෙ කතන්දරගෙ තාත්ත ගැන දුකින්...

කතන්දරගේ තාත්තට ආඩම්බර වෙන්න පුලුවන් පුතෙක් තමයි ඔයා....

ඒ තමයි තාත්තට දෙන්න පුලුවන් ඉහලම සම්මානෙ.

ජේ.ඩී said...

වෙනද හිනාවෙල පිස්සු නටල කමෙන්ට දාල යන හිනාව දාල යන්න අද නම් මට බැරිවෙයි අක්කියාzzzzzz. අද එනකොට ඒ හිනාව අරන අවෙත් නැ...... ( පෝස්ට් එකේ තියෙන දේ දන්න නිසා ) . හ්ම්.......... ගොඩක් දේවල් කියන්න තිබ්බත් එක වචනයක්වත් මෙතන කොටල යන්න පුලුවන් වෙයිදෝ කියන සැකෙන් පෝස්ට් එක කියෙව්වෙ. මෙතනින් එහාට වචනයක්වත් එන්නෙ නැ. හිත හිරවෙලා. දැනට නවතිනව අක්කියා :'(

Bunny ! said...

අනේ මම දන්නැ...!
අර පිරිමි කෙනා අම්මාගෙ වගේ මූන තියෙන ගැණුළමයෙක් හොයන කතාවනම් ඇත්ත.. එබ්‍රහම් කොවුර් ගේ පොතක තියෙනවා එහෙම අම්මා කෙනෙක් වගේ මූනක් තියෙන කෙල්ලෙක් බැදලා..අන්තිමට ළමයි හදන්නෙත් නැතිව ඉදපු කතාවක් ගැන...

ඔයාගේ කතාව ගැන නම් මුකුත් හිතෙන්නැ අක්කෙ.. :S

wath said...

Lahiru Udayanga,
ඒක ඇත්ත මල්ලි. අපි ආදරේ කරන අය. අපිට ආදරේ කරන අය අපි ළඟ පේන්න නැති වුනත් හදවතේ ජීවත් වෙනවා හැමදාම...

wath said...

දුමී
ඇත්ත තාත්ත ,අම්ම කියන්නේ දරුවන්ගේ ලෝකය. පහු පහු වෙන්න වෙන්න වෙන වෙන අය මුළු ලෝකයම වුනත් ..ආයෙත් කැරකිලා එන්නේ අම්ම තාත්තගේ ලෝකෙටම තමයි අයියා...

දුක බෙදා ගන්න එකතු වුනාට ස්තූතියි අයියා.

wath said...

හිස් අහස
එහෙම වුනාම හීනයක් වගේ නේද? තාත්තව හොරු අරන් ගියා වගේ නේද?
අපේ ගෙදර අය නම් මැරි මැරි ඩීවත් වුනා. මොකද අපි දැන වුන්නා කොයි මොහොතක හරි තාත්ත අපිව දාලා යන විත්තිය. එක සැරේ දැනෙන වේදනාව වගේම දවසින් දවස මැරි මැරි ගිනි ගොඩක හිටපු කාලයක් ඒක.
මගෙ හතුරෙකුටවත් මෙහෙම විපතක් වෙන්න එපා කියලයි මම පතන්නේ..

wath said...

බුද්ධි
ඒක ඇත්ත මල්ලි. කවදහරි යන එකත් දුකයි තමයි , අකාලයේ යන එක ඊටත් වඩා දුකක්.

wath said...

NUWAN"s lane
නුවන් මල්ලි. ඔයාට වෙනමම ස්තූති කරන්න ඕනි මම අද මේ යන ගමන ගැන. නුවන් නැත්තම් අද "සොඳුරු සිතක් " නැහැ...

මම දන්නව මල්ලියා. නුවන් සංවේදි කෙනෙක් කියල මම දැන ගත්තෙත් ලිවීම හරහා තමයි.

wath said...

පුබුදුවා
ආශිර්වාදයට පිං... අපිව දිගු ගමනක් ගෙනියන්න අපි ආදරේ කරන අයගේ සැබෑ ආශිර්වාදය අපිට හරිම වටිනවා...

wath said...

෴ හසියා ෴
හ්ම්..ගොඩක් දිග කමෙන්ටුවක්... ඔක්කම කියෙවුව මම. . . .

අද කොළුවගේ උපන් දිනේ නේද ? නිදහසේ සුබ පතන්න මම එන්නම්කෝ තෑගිත් අරන් හොදද?

දුක් වෙන්න එපා... සතුටින් ඉන්න....

wath said...

ජේ.ඩී
ම් ම් ....

ඔන්න ඔන්න ඉතින්... දඟකාරකමට ඉන්න හිත මම රිද්දුව නේද? හරි හරි මට සමාවෙන්න ඕනි.

ජේඩී මල්ලියා ජීවිතේම එකම ජේඩී එකක් නෙමෙයි දරුවෝ....

wath said...

Bunny !
මේකා හැ පැටිය වගේ වුන්නට කියවන්නේ කොවුවර් ගේ පොත් නේද?

මාත් එහෙම කතාවක් නම් අහල තියෙනවා. මිනිස් සිත පුදුමයි කියන්නේ ඒකනේ..

සාමාන්‍ය තත්ත්වයෙන් ඉහල ගියත් පහල ගියත් වැරදී....

ම්‍ධ්‍යම ප්‍රතිපදාවේ යන්න ඕනි....

wath said...

මම හිතනවා කාටත් ස්තූති කරා කියල... ම් ම් ම් බලමු කවුරු හරි මඟ ඇරිල ද කියල. මේ වගේ යාළුවෝ ඉන්න එක හිතට සැනසුමක් වාසනාවක්. ළඟින් ඉන්න අය මේ තරම් ලෙංගතු නැත්තේ ඇයි... දුරින් ඉන්න යාලුවෝ මේ තරම් හිතට ලෙංගතු ඇයි...

මම හිතන්නේ දුරින් වුන්නම අපි අපේ හිත් හදුනා ගන්නව ඉස්සෙල්ලම. පස්සෙ තමයි අනිත් දේවල්. ඒ නිසා වෙන්න ඇති.

ඉතින් යාලුවනේ ගොඩක් ස්තූති මගෙ දුක බෙදා ගන්න එකතු වුනාට.

Indranatha Thenuwara said...

ආඩම්බරකාර තාත්තා...!!!
මාත් ආඩම්බරකාර තාත්තෙක්.. මට ඉන්නවා ඊටත් වඩා ආඩම්බරකාර තාත්තෙක්..!!!

-HacKrisH- නොහොත් හැක්ක්‍රිෂ් said...

මට මේ ලිපිය කියවනකොට අක්කේ මට මගේ තාත්තාව මතක් උනා අක්කේ. මටත් ගොඩක් දුක හිතුනා. මොනවා කරන්නද? මගේ තාත්තා මාව මෙච්චර ඉක්මනට තනි කරලා ගියේ මම ගොඩක් පවු කරලා තියෙන්න ඇති. හැමොගෙම තාත්තලා එක වගේ තමන්ගෙ දරුවන්ට ආදරෙයි කියලා මට තෙරේනවා.

ගල්මල්-Coral said...

නංගී ගොඩාක් සංවේදී පොස්ට් එකක්.

"කිසිම ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු නොවන සැබෑ සෙනෙහස තියෙන්නේ දෙමාපියන් ගාව. ගනු දෙනුවක් නොවන ආදරය. ඒ ආදර සෙනෙහස එතරම්ම උසස් නිසා තමයි අපි කොයි තරම් වැරදි කරත් අවසානයේ දි අම්ම තාත්ත ළඟට යන්නේ..."

මේ කොටස සටහනට එක් කලේ මෙතෙකැයි කියන්න බැරි හරයක්. ඔවුන් දරුවන් ගෙන් පැතු ජීවිතය ඔවුන් වෙනුවෙන් ජීවත් වීමයි කරත හැකි අල්ප මාත්‍ර වූ තුති පිදීම.

දින කිහිපයකට පෙර සහෘදයෙක් විසින් ෆෝරමයක තාත්තා ගැන පලකර තිබූ නිර්මාණයකට සටහනක් තබමින් මා අද දවස ආරම්භ කලේ, එය මෙතැනටත් අදාල නිසා එක් කරනවා:

"ජීවිතයේ මහා ගසක් සේ ඉඳ සෙවන දෙන, ජීවබලය දෙන හිරු රැස ලැබෙන්න සලස්වන එහෙත් ඒ සැරෙන් බේරාගන්න, උසින් උසට වැඩෙන්නට යටිතල සලසන, තම සුවසෙත පවුලේ සුබසිද්ධියට පුදා දැත් දෙපා පිරිමැදගෙන සිහින් සුසුමකින් සඟවා ගන්නේ හරියට වෙරළට ඇවිත් වැළි තීරය රන්වන් පැහැයෙන් ඔපවත් කරන මුදු රළ පහර වගේ. වෙරළට රළ නැති දා වැල්ල රොඩු වලින්ද, ඒ මේ අත ඇවිද ඉතිරි වූ අඩි පාරෙන් ද පැතිරෙන බිම් තඹුරු වැල් වලින්ද හැඩිවෙනවා ඒකාන්තයි.

තමන්ට සපුරාලන්න බැරිවූ "සැතපුමක්" හා ඉන් ඔබ්බට තම දරුවන් පියමන් කරවන්න වෙහෙසෙන ඔහු, ඔවුන් පියවර තබන මග බලා සිටින්නේ ආඩම්බරයෙන්. ඔවුන් පිටමන් කර ඔහු හුදෙකලා වෙන්නේ වේදනාවෙන් වුනත් ඔවුන්ගේ දියුණුව ඉදිරියේ හැම විඳ දරාගන්නේ මහමෙරක් වගේ. මොනතරම් කරදන්ඩ ලොකු මහත් වුනත් තම දරුවන් ඔහුට පොඩි එවුන්.

ඒත් අපි කීදෙනෙක් ද ඔවුන්ගේ පැතුමන් සපුරා ඇත්තේ?

මේ නිර්මාණය එදා වගේම අදටත් අලුත්, ඒ වගේම හෙටටත් - හැමදාටම පොදුයි. මින් තට්ටු කරන හිත් දොරවල් ඇරෙනවා ඒකාන්තයි. තව තවත් හිත් ස්පර්ශ කරන නිර්මාණ එළි දක්වන්න ඔබේ පන්හිඳ ට හැකිවේවා! "

ඒ නිර්මාණය සඳහා සබැඳිය:
http://www.seegiri.com/forum/showthread.php?t=3192

Anonymous said...

මම ඉදල හිටල මේ බ්ලොග් එකට අවිත් යනවා.. ඒත් කවදාවත් එකක් දාලා නෑ.. නමුත් මේ එක කියවපු මට මොනවම හරි ලියන්න හිතුන.

සහෝදරී.. දෙමවුපිය සෙනෙහස පුන්චිකාලෙ ඉදන්ම ඕන දෙයක්. මම පොඩි කාලෙ ඉදලම තනිව හැදුන කෙනෙක්. දෙමවු පියන්ගෙ යම් යම් ප්‍රරශ්ණ තිබ්බ.. ඉතින් එයාල දෙපැත්තට උනා... මම ඒ දෙන්නගෙන් ඈත් වුනා.... මාව තැන් තැන් වල තමයි හැදුනෙ... ඇත්තම කියුවොත් මගෙ අම්ම තමයි මට බැලුවෙ. කොච්චර මිල මුදල් තිබුනත් දෙමවු පියන්ගෙ අඩුව මට දැනුන.

මෙතන ඔයා කතා කරල තියෙන්නෙ තාත්ත ගැන ඉතින් මම ඒ ගැන විතරක් කියන්නම්. කොල්ලෙක් විදියට මම සමාජයට මුහුන දෙනකොට යම් තැන් වලදි අපහසුතාවයට පත් වෙලා තියෙනව. ඒ වෙලාවල් වලදි මට තාතතෙක්ගෙ අවශය තාවය තදින් දැනිල තියෙනවා. නමුත් මම අසරනයි. අදටත් මගෙ තාත්ත ඉන්නව.. නමුත් නමටවත් වැඩක් නැ..

අද මම ලන්කවෙ නෙවෙයි ඉන්නෙ. අද නම් මගේ ලග මගෙ අම්ම ඉන්නව. කිසිම දෙයක් ගැන මත දුක නැ.. මොකද මම අද හොද ස්තාවරයක ඉන්නව. ඒ කොහොම උනත් මේක බලන කොට මාව අතීතයට ගියා. මම කවදා හරි තාත්තෙක් උන දවසක මම කවදාවත් මගෙ දරුවන්ට මට දැනුනු දුක දැනෙන්න දෙන්නෙ නෑ.. ඒක මගෙ හිතේ එදා ඉදන්ම තියෙන දෙයක්..

ඔබට ජය...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...