..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, September 10, 2010

෴ වල දැමූ ප්‍රේමය ෴


දිනයේ අවසන හිරුගේ මලානික කදම්භ පොළව සිප ගන්න මුසල හැන්දෑ යාමයේ ,අරමුණකින් තොරව ඇවිද යාමට කැමති මම අදත් සුපුරුදු පරිදි නොදන්නා මඟක් දිගේ පා ඔසවන්නට වීමි. මා කවදත් කැමති පාළුව, නිස්කලංකය ,මෙන්ම හිත සදා නිවනා ,නෙතට සොඳුරු ,සෝබර දසුනක් වූ කනත්ත මාවතට නොදැනීම මා පැමිණ තිබිණි.සුදු අරලිය යායෙන් වට වුන මේ සොඳුරු තිප්පල සිතට ගෙනෙන්නේ කියා ගත නොහැකි සමාදානයකි.....

කනත්ත සිසාරා දෙනෙත් යැවූ මට දැක ගත හැකි වුයේ වෙනදා නොදුටු දසුනකි. කනත්තේ එහා කෙළවරකට වන්න දුකින් සෝබර මුහුණක් සහිත මැදිවියේ පුද්ගලයෙක් මිනී වලක් හාරයි. විටෙක දුකින් හඩමින්ද, විටෙක පසෙකට වී කල්පනා සයුරක ගිලෙමින්ද, තවත් විටෙක උමතු වූ පිස්සෙකු පරිද්දෙන්ද ඔහු වල හාරයි....

නොසන්සුන් කුතුහලයෙන් සිටි මම ඔහු අසළට කිට්ටු වුනෙමි...

මා ආ වග ඔහුට ගානක් වත් නැත. හිස ඔසවා බලන්නවත් කාලය මිඩංගු කිරීමට ඔහු නොකමැති ගානය....

" මේ.... උන්නැහේ...."

" ඔව් මහත්තය කියන්න. මම අහගෙන ඉන්නේ. මේ වැඩේ නතර කරන්න නම් බැහැ"

" මොනාද මේ ... කාගේද මේ මිනී වල"

" මේ මගේ ආදරයේ මිනී වල"

" බොහොම පරණයි නේද ?"

" ඔවු.. මම බොහොම තරුණ කාලේ වල දැම්මේ"

" ඇයි ඉතින් දැන් ආයෙත් ඒ වල හාරන්නේ?"

" හ්ම්.... මට රෑට නින්දක් නැහැ මහත්තයෝ...."

" වල දාපු අතීතය මොකට හාරනවද?"

" අතීතය හාරල ගත්තෙ නැත්තම් මට අනාගතයක් නැහැ මහත්තයෝ"

" අපි කවුරුත් ගඳ ගහන අතීත වල දාපු මිනිස්සු"

මද වෙලාවක් නිහඬව පසුවූ ඔහු.... සවල මත හිස තබා ගෙන ඉකි ගසිමින් හඬන්නට විය....මම ඔහුට රිසි සේ හැඬිමට ඉඩ දී ඔහු දෙස බලාගෙන සිටියෙමි......හිටිවනම හිස එසවු ඔහු යකෙක් පරිද්දෙන් මා වෙත කඩා පැන.


" තුන් අවුරුද්දක් ආදරේ කරල. ඒකිගේ බඩට දරුවෙක් දීල... ගෙවල් වල අයගේ කීමට පොත්ත සුදු කෙල්ලෙක් බැදගෙන රටත් ඇරල ගිය මම මනුස්සයෙක් ද යකෝ"

හිටිවම සිදු වූ දෙයින් තිගැස්සි ගිය මම වුන් තැනින් නැගිට ඔහුට වඩා පියවර කිහිපයක් පසු පසට වුයෙමි...

" ඒත් උන්නැහේ දැන් ඔහෙට ලස්සන පවුලක් ඇති නේද?"

" ඔවු ඔවු ඉන්නව... ලොකු දූල දෙන්නයි දෙන්නම බැඳල.... පුතා දොස්තර. ගෑණි නම් තාමත් කෙල්ල වගේ."

" එහෙනම් ගිය දේට මොකට දුක් වෙනවද? ඒ දවස් වලම දාලා ගියා නම් දැන් අහවල් දෙයකටද"

" මට ගැලවීමක් නැහැ මහත්තයෝ...රෑට රෑට ඒ ගෑණි ඇවිත් මා ළඟ දැවටිලා ඉකි ගගහ අඬනව...මගේ දුක සැප අහනව.ඊට වඩා හොදයි ඒ ගෑණි මාව බෙල්ල මිරිකල මරල දානව නම්"

හදිසියේ යමක් සිහිවූ පරිදි මෙන් නැවතත් යුහුසුළුය වල හෑරීමෙහි නිරතවූ ඔහුගේ දෑස් එකවරම දිදුලන්නට විය.... ඒ දුටු මමද මිනීවල අසළට කිට්ටු වී එඹි බැලුවෙමි...

වල පතුලම හාරා අවසන් වී තිබුනි.... ගැහැණිය‍කගේ යැයි සිතිය හැකි ලස්සන රෝස පැහැ සේද ලේන්සුවක ගැට ගසන ලද කුඩා ප්‍රමාණයේ පොට්ටනියක් ඒ තුල විය. එය දෙස දීප්තිමත් දෙනෙතින් බලා සිටි ඔහු එය අසුලා ගත්තේ ඉතාම බැති බර වූ සිතිනි...දෑතින්ම එය තම ලයට තුරුල් කර ගත් ඔහු. අහස දෙස බලා කෘතවේදී බැල්මක් හෙලීය.... ඉක්බිති...එය දෑතින්ම මා වෙත පෑ ඔහු  ...

" මහත්තය ... මේක ඇරල බලන්න" එය ඉතා ආයාචනාත්මන ඉල්ලීමක් වුයෙන් මට එය ඉවත හෙලිය නොහැකි මට්ටක් විය...

සොහොන් කොත අද්දර හිඳගත් මම. රෝස පැහැති සේද ලේන්සුව දිගහැරියෙමි. බොහෝකල් ගතවී ගියද ‍ඒ සේද ලේනුසුව දැන් ක‍ඩයෙන් ගත්තාක් මෙන් නැවුම් පැහැයක් සුවදක් විහිදුවා ලීය... ලිහා බැලු ලේන්සුව තුල වියේ හතරට නමන ලද කඩදාසියකි. හිස ඔසවා මම මිනිසා දෙස බැලුවේ දැන් කුමක් කරන්නදැයි අසන්නාක් මෙනි....

" ගන්න මහත්යෝ.. බලන්න දිග ඇරල"

ගැහෙන දෑතින් යුතුව එය දිග හැරිය මම දුටුවේ මුතු වන් ගැහැණු අකුරින් ලියන ලද ලිපියකි.මම එය ඔහු වෙත පෑවෙමි....

" කියවන්න මහත්තයෝ. හයියෙන් කියවන්න. ලෝකෙටම ඇහෙන්න කියවන්න" කඳුළු පිරි නෙත් විදහා බලාපොරොත්තු රැදි ලෙස ඔහු පැවසුවේය.

" ආදරණීය ඩග්ලස්, ඔයා කවදහරි ඇවිත් මේ මිනී වල හාරල ඔයා වල දැම්ම ඔයාගෙයි මගෙයි ආදරේ සොයන බව මම දැන ගෙන හිටිය.... ඔයා එදා මාව දාලා ගියාට ඔයාට අද වෙනකමුත් බැරි වුනා මාව අතහරින්න... ඔයා මාව දෑතින්ම දැඩිසේ වැලඳගෙන ඉන්න විත්තිය මම දන්නව. මට හැමදැම එය දැනෙනව... ඔයා දන්නෙ නැහැ නේ අපි දෙන්නට හම්බුනේ ලස්සන පුතෙක්. ඒ පුතා දිනෙන් දින වැඩෙත්දි ඔයා ආයිත් ඔහු තුලින් දකින්න මට පුලුවන් වුනා.... මිනිස්සු මට යි පුතාටයි මොනා කීවත් ඒ දේවල් ටික දොහකින් කාටත් අමතක වෙලා ගියා... පුතා ලොකු වුනාම මම පුතාට ඇත්තම කීව. එදා ඉදල පුතා ලෝකය දිහා බැලුවෙ හරිම උපේක්ෂාවෙන්... දැන් පුතා ඉංජිනේරුවෙක්. මම මට පුලුවන්හැම වීරීයම යොදල පුතාට ඉගැන්නුවේ ඔයාගේ නම ආරක්ෂාකර ගන්නයි.....මායි පුතයි කවදවත් ඔයත් එක්ක තරහ නැහැ "

ලිපිය කියවා අවසන් වූමම හිස ඔසවා ඔහු දෙස බැලුවෙමි....

" මගේ පුතා... අහිංසකයා... පුතාගේ නම ලියල නැද්ද මහත්තයෝ......"

නැවතත් ලිපිය ගෙන ඒ මේ අත හරවා බැලිවෙමි. සඳහනක් නැත.හිටිවනම සේද ලෙන්සුව අතට ගත් මිනිසා එය ගසා දැමුවේය..... ඒ තුල තිබී රෝල් කරන ලද පුංචි කොළ කැබැල්ලක් බිම වැටුනි... ඒ දෙස මඳ වෙලාවක් නෙත් යොමන් සිටි අප දෙදෙනා අතරින් කිසිවකුත් එය ගෙන දිග හැර බැලීමට මඬනා ලද කුතුහලයෙන් යුතු වුවත් දෑත සිටියේ අප්‍රාණික වුවාක් මෙනි....

දිරිය උපදවා ගත් මම එය අසුලා ගෙන දිග හැර බැලුවෙමි.....

" දෙවියනේ ......... "

" දෙවියනේ ...... මට මගේ ආදරණිය අම්මාගේ රුව පෙනී නොපෙනී යන්නට විය.....

ඒ කුඩා කොළ කැබැල්ලේ වූයේ..........

මගේම මගේම මගේම නමයි...................................අවසන ඔහු මට මුණ ගැසුනි...............

“Death is not the greatest loss in life. The greatest loss is what dies inside us while we live.”

සොහොන් ගැබ තුල නිදන්වී හිඳ සියල්ල දැක සියල්ල අසා සිටි

මම

෴ වත් ෴

20 comments:

  1. හ්ම්......
    ලස්සන කතාවක් අක්කියා.......

    ReplyDelete
  2. හරිම ලස්සන කථාවක් අක්කෙ.. ළස්සනට ලියල තියනව....:)

    ReplyDelete
  3. ලස්සන නිර්මාණයක් වත්. තවත් මේවගේ ඒව ලියන්න. අපි එනවා හැමදාම කියවන්න.

    ReplyDelete
  4. කතන්දරේ නම් බොහෝ ම සංවේදී බව ඈත්ත. ඒත් අන්තිම කොටසෙන් ඒ කතන්දරේ තිබිච්ච විශ්වාසෙ සහමුලින් ම බිඳිල යනව. ඒ තමන්ගේ මව මිහිදන් කළ තැන ගැනවත් නොදන්න පුතෙක් නේද මේ ඈවිල්ල තියෙන්නෙ කියල ලොකු අර්බුදයක් මතු වන නිසා. ඒ මව සහ පුතා අතර ලොකු පරතරයක් තිබුණු බවක් මේ කතන්දරේ කිසිම තැනෙක නැහැනෙ..

    ReplyDelete
  5. සමාවෙන්න ඕනි වැරදි වැටහීමක් ඇති වුනා නම්. මට වුවමනා කරේ තරුණ අවධියේ තරුණයෙකුට ජීවිතේ සිදුවුන සිද්ධියක් නිසා මහළු වියේදී ඒ ගැන සිතා දුක් වෙන තරම පෙන්වීමටත් අපි අතීතයේ කළ දේවල් වල ප්‍රතිඵල ඇතැම් විටක අපි ආසන්නයේම රැදී ඇති බවත් පෙන්වීමටයි...

    ඇත්තටම මිනී වලක් හාරනව හා භයානක දෙයක් තමයි සමහර විට අපි අතීතයක් අවුස්නව කියන්නේ....

    කොතරම් කල් ගියත් ආදරේ නැවුම් කියන්න තමයි මම සේද ලේන්සුව තාමත් පාට සුවඳ වෙනස් නොවුන බව කීවේ...

    ඒ වගේම ඒ මනුස්සයගේ හෘදසා‍ක්ෂිය දුක් වෙන තරම මට පෙන්වන්න ඕනි වුනා....

    ඇත්ත මටත් හිතුන අවසානයේ දෙන්නව ඥාතින් කරන්න ගිහින් කතන්දරයට අගතියක් වෙලාදෝ කියල....

    ස්තූතියි තේනුවර අයිය කතන්දරයේ ඇත්ත තත්ත්වය පෙන්වල දුන්නට. ඔබේ අදහස් මම හැමදාම ගරු කොට සලකනව...

    ReplyDelete
  6. සමාවෙන්න ඕනි වැරදි වැටහීමක් ඇති වුනා නම්. මට වුවමනා කරේ තරුණ අවධියේ තරුණයෙකුට ජීවිතේ සිදුවුන සිද්ධියක් නිසා මහළු වියේදී ඒ ගැන සිතා දුක් වෙන තරම පෙන්වීමටත් අපි අතීතයේ කළ දේවල් වල ප්‍රතිඵල ඇතැම් විටක අපි ආසන්නයේම රැදී ඇති බවත් පෙන්වීමටයි...

    ඇත්තටම මිනී වලක් හාරනව හා භයානක දෙයක් තමයි සමහර විට අපි අතීතයක් අවුස්නව කියන්නේ....

    කොතරම් කල් ගියත් ආදරේ නැවුම් කියන්න තමයි මම සේද ලේන්සුව තාමත් පාට සුවඳ වෙනස් නොවුන බව කීවේ...

    ඒ වගේම ඒ මනුස්සයගේ හෘදසා‍ක්ෂිය දුක් වෙන තරම මට පෙන්වන්න ඕනි වුනා....

    ඇත්ත මටත් හිතුන අවසානයේ දෙන්නව ඥාතින් කරන්න ගිහින් කතන්දරයට අගතියක් වෙලාදෝ කියල....

    ස්තූතියි තේනුවර අයිය කතන්දරයේ ඇත්ත තත්ත්වය පෙන්වල දුන්නට. ඔබේ අදහස් මම හැමදාම ගරු කොට සලකනව...

    ReplyDelete
  7. බොහොම ස0වේදි කතාවක් අක්කියෝ ලස්සනට ලියලා තියනවා. . .

    මට නම් තේරුනේ ඔහු හාරන්නේ තමාගේ ප්‍රේමයේ මිනීවල කියලයි තමා ආදරය කල ගැහැණියගේ මිනීවලත් ප්‍රේමයේ මිනීවලත් දෙකක් කියලයි හැගෙන්නේ පුතා නිතර මවගේ මිනීවල බලන්න එනවා ඇති එවිට මේ සිදුවිම වෙන්න ඇති එහෙම නේද?

    මේ වගේ අතීතය හාර ගන්න බැරිව කීදෙනෙක් අද ලතැවෙනවා ඇත්ද. . .?

    ReplyDelete
  8. ඉන්ද්‍රනාත අයියගේ කතාව හරි....
    ඒ කොටස පොඩ්ඩක් විතර පැටලිල සහිතයි..
    ඒත් කතාවේ නිර්මාණාත්මක බව ඉතාම ඉහලයි...
    පොඩි උපදෙසක්.. කතාව පල කිරීමට ඉස්සර කාට හරි කියවන්න දෙන්න.. ගොඩක් වෙලාවට අපේ නිර්මාණ වල අඩුපාඩු පේන්නේ පිටින් බලන අයට...
    මමත් මගේ කාමරේ මල්ලිට පෙන්නලා අඩුපාඩුවක් පෙනුණොත් හදනවා...

    ReplyDelete
  9. කතාව නම් අනර්ඝයි අක්කේ....

    ම්ම්ම්ම් අන්තිම ටිකනම් පොඩ්ඩක් පිට පැන්න වගේ...ඒත් අක්කි අද කාලේ ළමයින්ට තමන්ට මහන්සිවෙලා නොකානොබී දුක්විදලා ඉගැන්නුවට පස්සේ සියල්ලම අමතක වෙනවනේ...හරියට ඉන්නේ උඩින් පාත්වුනා වගේනේ....ඉතිං ගෙනගත්තට පස්සේ අම්මව අමතක කලා වෙන්න බැරිද? තමන්ගේ පුතා, තමන්ව බලන්න නාවත් නෙසැලකුවත් අම්මගේ ආදරේ අඩුවෙන්නේ නෑ නේද කවදාවත්ම? පුතාගෙන් කොච්චර වැරදි වුනත් තමන්ගෙන් කෙනෙක් ඇහුවොත් "පුතා අවේ නැද්ද? දැන් මොකද කරන්නේ?" කියලා...
    ඕනිම අම්ම කෙනෙක් කියන්නේ "එයා දැන් ලොකු මහත්තයෙක්නේ...එයාට වැඩ රාජකාරී අධිකයි...එන්න විදිහක් නෑනේ..මේ ලගදිත් ලියුම් කඩදාසියක් එවලා තිබුණා"කියලා‍‍‍....ම්මම්ම්ම එහෙම බලන කොට නම් අක්කිගේ කතාවේ අවසානය සාර්ථකයි කියලා මම හිතන්නේ....

    ස්තූතියි හිතන්නට පුළුහන් දෙයක් දායාද කලාට අක්කේ......

    ReplyDelete
  10. ලස්සණ හිතට දැනෙන නිර්මාණයක් අක්කේ,කතාවේ අන්තිම ටිකට තේරුම ආරූඩ කරගන කියවුවහම නම් පිට පැන්න බවක් තේරුනේ නැහැ

    ReplyDelete
  11. අර ඇන්ටන් චෙකොෆ්ගේ කථාවක් වාගේ නේ...
    කථාවක ඉතින් මුල මැද අග ඔක්කොම ගැලපෙන්න ඕනේ කියලා මමනම් හිතන්නේ නෑ... පාඨකයාගේ imagination වලටත් ඉඩ තියෙන්නෙ ඕනෑ... ජාතක කථාවාගේ ගලපන්න ඕනෙම නෑ නේ...?

    ReplyDelete
  12. හ්ම්ම්ම්ම්ම්...........

    සංවේදියි... ඇත්තටම ගොඩාක් සංවේදීයි...

    ReplyDelete
  13. වත්...
    අවසානය පිළිබඳ කිසිදු ගැටළුවක් මා හට නම් නොමැත..
    හේතුව මාද පියාගේ මිනීවල කොතැනදැයි නොදන්නා පුතකු වන බැවිනි.
    එයින් කියැවෙන්නේ අප දෙදෙනා දුරස් අය බව නොවෙ..
    අදටත් මා අතින් ලියැවෙන සෑම දෙයකම ඔහු සැගව සිටී.

    ඔබ ලියා ඇත්තේ මා ගේ කථාවයි.
    වෙනසකට ඇත්තේ පුතා මෙන්ම දිනක පියාගේ චරිතයද මාහටම හිමිවීමට ඇති ඉඩකඩය..

    තව එකක්...
    මෙතෙක් කලක් ඔබ ලියූ ලිපි සියල්ලම අතරින් මා හට හැගෙන දැනෙන උසස්ම ලිපිය මෙ යැයි කියමි. එය අතීතය විසින් වෙනස් නොකරන බව ඉඳුරා දනිමි.
    අනාගතය විසින්ද එය කළ හැකියැයි මා නොසිතමි.
    එසේ කළහොත් එදාට ඒ තවත් මෙවැනිම භයංකාර සැබෑ හීනයක් රැගත් කතාවක් තුළින්ම පමණි.

    ReplyDelete
  14. හොඳට ලියල තියනවා. නිර්මාණශිලිත්වය ඉහල මට්ටවකට ඇවිත් තිබෙනවා. පසුගිය දිනක ඔබ සඳහන් කල පරිදි ලිපිවල ගුණාත්මක බව අඩවෙන කතාව මෙයින් සම්පූර්ණයෙන් බැහැර වෙනවා.

    ReplyDelete
  15. නියමයි.... පටන්ගෙන තියන හැටි නම් මැක්සා. හැබැයි කතාවෙ අග කොටසට එද්දි පොඩ්ඩක් සංයමය කියන එක නැති උනාද කියලත් හිතෙනව. ඔයත් එක්සයිට් වෙලා කලබලෙන් නේද ලිව්වෙ? අන්තිම කොටස් ටිකේ දෙබස් මීට වඩා ප්‍රබල උනානන් හොඳයි කියල මට හිතුනා. අම්මගේ සොහොන ගැන ප්‍රශ්නෙ නන් කොහෙත්ම අවුලක් නැහැ , මොකද මේක යතාර්ථයෙන් ඔබ්බට ගිය කතාවක් නිසා.
    වත් අක්කගේ රුසියානු සාහිත්‍යට ඇති බැඳීම මේ කතාවෙන් පේනවා. රුසියන් කතාවක් වගේ තමයි...

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. "මොනාද මේ කාගෙද මේ මිනී වල?"

    "මේ මගේ ආදරයේ මිනී වල"

    ඔහු හාරන්නේ ආදරයේ මිනී වල මිස ආදරවන්තියගේ මිනී වල නොවේ.

    තිස්ස සහ හසී රන් සමඟ එකඟ වෙමි.

    ReplyDelete
  18. නියමයි..!!
    මම කාලෙකින් මේ පැත්තේ ආවේ, කමෙන්ටුවක් දාන්න පරක්කුයි.
    ඒත්, මේක නම් සුපිරි.!

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...