..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, August 31, 2010

෴ මම තාම තනිකඩයි "



අතරින් පතර පෙනෙනෙ පැසුණු හිස කෙස් කිහිපයත් ,තරමක් ඉදිරියට නෙරා ආ බඩ ගෙඩියත් ,පෙරට වඩා තරමක තරබාරු වූ දේහයත් ,ජීවි‍තයේ හරි අඩකටත් වඩා බුක්ති විදි පැසුණු මිනිසකුගේ රුව විදහා පෑවදද ... ඒ සිනහවත් ,සුපුරුදු කටහඩත් ,පරණ පුරුදු තරුණ ජිවයෙන් පිරී තිබුනි.සියළු දේ වෙනස් වන ලෝකයේ ,අප දෙදෙනා අතර වූ නොවෙනස් වන එකම දේ නම්, මම ඔහුට පෙම් කරනා බව එදා මෙන්ම අදත් ඔහු නොදැන සිටීමයි.

"ඉතින්" 
හැමදාමත් වගේ ඉස්සර වූ ඔහු මා කවදැත් දැඩි සේ ඇලුම්කළ නිහඩතාවය බිද දැමුවේය.
"ඉතින්, මම හොදින් ඉන්නව. අවුරුදු ගාණකට පස්සෙ ..කොහොමද ඔයාට"
" ම්ම් කියන්න තරම් වරදක් නැහැ.මාත් හොදින්. ඔයා මගේ වෙඩින් එකට ආවෙත් නැහැ නේ."
 " මම ලංකාවේ හිටියෙ නැහැනේ  ඒ දවස් වල. හරියටම ඒ දවස් වල ස්කෝලර්ෂිප් එකක් හම්බනා කියල ඔයා දන්නවනේ"
" ඔවු ,මට ආරංචි වුනා. ඒත් මම හිතුවෙ නැහැ ඔයා යයි කියල. ඔයා අකමැත්තෙන් නේ හිටියේ රට යන්න."
" අකමැති දේවල් නම් කොයි තරම් කරන්න වෙනවද? ඉතින් මොකද මේ පැත්තේ?"
"පුතා ඉස්සෙල්ලම කැම්පස් යන දවස අද.ඉතින් ඒකට ආපු ගමන් මට හිතුන මේ පැත්තේ ඇවිත් යන්න"
" කොච්චර දෙයක් ද?මම මෙතන  කියල ඔයා දන්නේ කොහොමද"
" මම දැනන් හිටිය ඔයා තාමත් මෙතන ඇති කියල"
" ඔවු.. මම තාමත් මෙතන,..."
" පුතාට දැන්ම හොස්ටල් හම්බෙන එකක් නැහැ. නවාතැනක් සොයා ගන්නත් ඕනි.... ඔයාට පුලුවන් ද? "
එසැනින් මගේ මතකය ඔහුගේත්, මගේත් ,ඇයගේත් විශ්ව විද්‍යාල ජීවිතයේ ‍සොඳුරු තැන් සොයා පියඹන්නට විය.
" මට තේරෙනව.. මහත්තයගෙනුත් අහල බලල...ඔයාට පුලුවන් ද ?"
" නැහැ කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. ඔයත් කැමති නම් පුතත් කැමති නම් අපේ ගෙදර නවතිනවට මගේ කිසිම අකමැත්තක් නැහැ. මම ඉන්නෙත් තනියම...පුතාට කියන්න තව යාළුවෙක් එහමෙ ඉන්නව නම් එකතු කරන් එන්න කියල"
" ඔයා.... ඔයා තාම තනිකඩ ද?"
...........................
" හ්ම්.... ජීවිතේ එහෙම තමයි. බලන් ගියහම අපි කවුරුත් ඉන්නේ සතුටින් නෙමෙයි"
" ඇයි.. ඔයා ඉන්නේ සතුටින් නෙමෙයි ද? ඔයාට ඔයා ආදරේ කරපු කෙනා ලැබුන. දැන් හොදට ඉගෙන ගන්න ලොකු පුතෙක් ඉන්නව... තවත් මොනාද?"
" හ්ම්..... ඒ ඔයා දන්න තරම" " මට ජීවිතේ හැමදේම තිබුනත් ආදරේ නැහැ"
" එතකොට එයා..."
" එයා මගෙන් වෙන් වෙලා දැන ගොඩක් කල් වෙනව"
" මොනව ! එයා මොනාවෙලාද මැරුනේ?"
" ‍එයා මැරුනෙ නැහැ.එයා මාව මරල දැම්ම.මගේ හිත මගෙ ආදරේ . මගේ ජීවිතේම නැති කරල දැම්ම."
"ඒ මොකද?"
" ආදරෙයි විවාහයයි දෙකක් කියල දැන ගන්න නම් විවාහ වෙන්නම ඕනි.විවාහ වුනාට පස්සේ එයා හරියට වෙනස් වුනා. නිතරම එයා මාව සැක කරා. නිකරුනේ සණුඩු සරුවල් වුන වාර අනන්තයි අපුමාණයි. ඉතින් අන්තිමට එයාට මගෙන් වෙන් වෙන්න ඕන වුනා."
" ආදරේ මිනිස්සුන්ව නැති කරනව"
" ඔවු.... ආදරේ මිනිස්සුන්ව විනාශ කරනව"
" මට කියන්න ඇයි ඔයා තාම තනිකඩ."
" ආදරේ මිනිස්සුන්ව විනාශ කරන නිසා මට ඕන වුනා මගෙ ආදරේ විනාශ කර නොගෙන ඉන්න. ඉතින් මම තාම තනිකඩයි"

"සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ...
එක් වූ පෙම්වතුන්, සැබෑ පෙම්වතුන් ලෙස,ජිවත් නොවේ,
වෙන් වී ගියවුන් , සාදාකල් පෙම්වතුන් ලෙසට,ජිවත් වෙයි...
( ලුෂන් බුලත්සිංහල) 

You can't love what you don't understand ...
I can't help more, it's there in your hands ...
තවම තනිකඩ
මම
෴ වත් ෴

34 ප්‍රතිචාර:

priyantha.ඒබී said...

මේ හැමදාම හැම තැනටම පොදු සත්‍යයද? මට නම් හිතාගන්නත් අමාරුයි. එහෙම නොවුනු අයත් මම දැකල තියනවා. දන්න හොඳම දෙන්නා අපේ අම්මයි අප්පච්චියි.
ලූෂන්ගේ කතාවට හොඳ අදහසක් දීල තියනවා.

තිස්ස දොඩන්ගොඩ said...

මමනම් එකඟම නෑ... මොනවා වුනත් වත්ට මේගැන සාධාරණව කියන්නත් බෑ... බැඳලා අවුරුදු කිහිපයක් ගියතැන ඕක කියන්න... අන්න මම පිළිගන්නම්...

Pasan said...

අප්පා.. භය හිතෙනවනෙ..ඇතුවත් බෑ.. නැතුවත් බෑ.. අනේ මන්ද...

priyantha.ඒබී said...

ඔය ඉන්නේ තව උදාහරණයක්. අපේ තිස්ස අයියා.

Shadow/හේමලයා said...

අනේ මන්ද මට නම් හිතෙන්නේ ඕකත් ඔය අවුල් වහගන්න හදා ගත්තු මොටෝ එකක්ද කොහෙද?...ආදරේ ලස්සන වුනාට මිනිස්සු අසුන්දරයි.....අපි කැමති වුනත් නැතත්....අවබෝධය නැතුව ආදරේ විතරක් තිබ්බට විවාහ ජීවිතය සාර්ථක කරගන්න බෑ..මොකද එතන ආදරේට අමතරව තව දේවල් තියෙනවා..අනික ඔය මොනවා කීවත් අපි හැමෝම කාලයත් එක්ක වෙනස් වෙනවා.....

wath said...

පසු සටහනඃ-

මේ ලිපියෙ අවසානය මේ වගේ වෙයි කියල ..ලියන්න කලින් නම් මම හිතුවෙ නැහැ. මම හැමදාම ලියන්න කලින් කලින් කරන්නේ මට ඉතා ආසන්නතම සිද්ධීයක් හෝ බොහෝ විට පුද්ගලයෙක් මෙනෙහෙි කිරීමයි. ඊට පස්සේ ලියන්න ගත්තම ඇගිලි අකුරු ලගට හරි ලස්සනට යනව.හරියට චිත්‍ර ශිල්පියෙක් චිත්‍ර අදිනව ඇත්තෙත් එහෙම වෙන්න ඇති.

ගොඩක් කල් ඉදල මගේ හිතේ අභිරහසක් වෙච්ච ගැහැණු චරිතයක් තිබ්බ. ඒ මම කලින් වැඩ කරපු කාර්යාලයේ. ඇය විශ්‍රාම යන්න ඉතාම ආසන්න වයසෙ හිටියෙ. ඒත් ඇයට ලිපි ආවේ ඒ වගේම කාර්යාල ලිපි වල පවා ඇයව ආමන්ත්‍රණය කරේ මෙනවිය කියල...

බොහොම පිලිවලට අදින ඇය හරිම චාම්... ඒ වගේම හරියට පත පොත කියවනව.රූපයෙත් කිසිම වරදක් නැහැ. ඇය දකින්න දකින්න මගේ හිත බියෙන් පිරෙන්න ගත්ත, ඇය වෙනුවෙන් මගේ හදවත හඩා වැටුන.ඇය ඉන්නේ දුකින් කියල මගේ හිත නිතරම මට කීව.ඇය දැක්කම මට බය හිතුනේ ඇයි දන්නවද? මට හිතුන ඒ මම දකින්නෙ මගේම අනාගතය නේද කියල. ඇයයි මායි සමාන කරල හිතන්න මොන හේතුවක් බලපෑවද කියල තවම මට හිතා ගන්න බැරි වුනාත් ඇය මම මයි කියල මට හැමවෙලේම හිතෙන්න ගත්ත.

මම ඒ කාර්යාලයෙන් ඇවිත් දැන් අවුරුදු 02කට කිට්ටුයි. නොදැනුවත්වම ඇය මගෙ මතකයෙන් ගිලිහී ගියත්, බ්ලොග් ලිපියක් ලියන්න හිතන් වාඩි වුන වෙලාවේ පුදුමෙකට වගේ මගේ මතකයට ඇය ආවා.

ඉතින් මම දන්නෙත් නැතිවම ඇයට සාධාරණයක් ඉෂ්ඨ කරන්න අද මට පුලුවන් වුනා කියල මට හිතෙනව.

මට සමාවෙන්න තිස්ස අයිය. අයිය බොහොම සුළු ප්‍රතිශතයක ඉන්න වාසානාවන්ත මනුස්සයෙක් කියල මම හැමදාම කියනව.

ඒත් අයිය .. මම දැකල තියෙන විවාහ බොහෝමයක් ආදරෙන් තොර වෙච්ච විවාහ. හිතේ දුකින් මිනිස්සු විදවනව.තමන් විහින්ම හරි අනිත් පුද්ගලයගේ තේරුම් ගැනීමේ අඩුපාඩුකම් වගේම නොසලකා හැරීම මිනිස්සු‍න්ගේ හිත් හරි දරුණුවට පාරනව.

උඹ හරි වාසනාවන්තයි මයෙ අයියෙ. උඹ වගේ මහත්තයෙක් මටත් හමුවුනොත් අන්න එදාට මම විශ්වාස කරනව විවාහය කියන්නේ විදවීම නෙමෙයි විදීම කියල.

wath said...

@ priyantha.ඒබී
ඔබ ජීවිතය දකින ආකාරය මම ඉතාම අගේ කරල සලකනව.ඒත් ඔය තරම් අහින්සක වෙන්න එපා.

wath said...

@ Pasan
බය වෙන්න එපා . තිස්ස අයිය වගේ වෙන්න උත්සාහ කරන්න.

nish said...

ඔය අදහසට කිසිසේත් එක්ඟ විය නොහෑක. හොඳ විවාහ දිවි ගත්කරන්නො හෑමොම සෑබෑ ආදරවන්තයො වෙති. අත්දෑකීමෙන් කියන්නෙ.

wath said...

@ Shadow/හේමලයා
අන්න හරි. යථාර්තය ඒ විදිහට දකින්න පිලිගන්න ෂැඩෝට පුලුවන්.මට බැරිම දේත් ඒකමයි.සමහර මිනිසුන් දැක්කම හ්ම්...

wath said...

@ nish
එහෙනම් මෙන්න තිස්ස අයියගේ ගොඩට තවත් එක්කෙනෙක්.සතුටුයි. නුඹත් නියම වාසනාවන්තයෙකි.

ඉලංදාරියා said...

ලස්සනයි අක්කේ අද වැඩිය මොකුත් ලියන්නබැහැ.....

මගේ ඔලුව අවුල් වෙලාවගේ......

හෙට අයෙමත් කියවලා මොන්වාහරි ලියන්නම්..

෴ හසියා ෴ said...

අක්කේ උඹේ ලිපියට ඇසට කදුළු ආවා....පසු සටහනට හොදටම ඇඬුනා.....

මුකුත් හිතා ගන්න බෑ...අක්කි කියන කතාවත් ඇත්ත..හැබැයි හැමකෙනාම එක වගේ නැති එකත් අක්කිට පිළිගන්නම වෙනවා.

මමත් මේ ලුෂන් බුලත්සිංහල මහතාගේ ඔය කතාව දැකලා තියෙනවා.ඕක හැමෝම මුණුපොතේ දාගෙන කට්ටිය ටැග් කරනවා.ඒත් සබෑ අර්ථය කුමක්ද කියලා කවුරුත් දන්නෑ.මම මේකේ අදහස විශ්ලේෂණය කරන්න තරම් වියතෙක් නොවෙමි.මට නම් හිතෙන්නේ මෙහි දකින දේට වඩා යටි අරුතක් ඇතියි කියලා‍.ඒක ඉතිං එතුමාගෙන්ම තමයි අහන්න වෙන්නේ.

මම දන්න අක්කා කෙනෙකුයි අයියා කෙනෙකුයි ඉන්නවා.....ම්ම්ම්ම් ඒ දෙන්නාට අවුරුදු 10ක් ආදරේ කරලා බැන්දේ.ඒ අයියගේ පැත්තේන් ඒ අක්කට කැමතිවුනේම නෑ.හැබැයි අයියා ඒ අක්කව අතෑරියෙත් නෑ.ගෙදර අය එක්ක රණ්ඩුවට ගිහින් විකාර කරගත්තෙත් නෑ.අන්තිමට අවුරුදු 10කින් එයාල බැන්ද ගෙවල්වල ආශිර්වාදයත් ඇතිව.දැනුත් එයාල අතරේ ‍සැලකිය යුතු ප්‍රශ්න තියෙනවා.ඒත් ඔවුන් දෙදෙනා ඉස්සරටත් වඩා සතුටින් ආදරෙන් ඉන්නවා.
ඒ හන්දා අක්කි කියන දේ ගැන අර තිස්ස අයියා කියන වගේ පොඩ්ඩක් හිතල බලන්න.හැමෝම එකවගේ නෑ‍‍ කියන එකත් හොදට මතක තියාගන්න.

කතන්දරකාරයා said...

Hmm!

අභීත said...

මම විවාහ වෙලා ඉන්නෙ ලෝකෙ ඉන්න හොදම ගැහැණියත් එක්ක කියලා මම දැඩිව විශ්වාස කරන නිසා මට මේ ප්‍රශ්නෙ නැගෙන එකක් නැතිවෙයි....

sansarasidu said...

මට නම් ඕකට අත්දැකීමෙන් උත්තරයක් දෙන්න හැටියක් නැහැ...
මොකද මට තාම එහෙම අත්දැකිමක් නැති හන්දා...

හැබැයි "සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ...
එක් වූ පෙම්වතුන්, සැබෑ පෙම්වතුන් ලෙස,ජිවත් නොවේ,
වෙන් වී ගියවුන් , සාදාකල් පෙම්වතුන් ලෙසට,ජිවත් වෙයි..." කියන එකට නම් මං පොඩ්ඩක්වත් එකඟ නෑ...

සැබෑ පෙම්වතුන් ලෙස එක්වී සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් වන අතළොස්සක් හෝ අප අතර සිටින බව දැනෙන නිසයි මං එහෙම කියන්නෙ...

Jeew said...

වත්...
පොඩ්ඩක් මේකට උත්තරයක් දෙන්න...
කොල්ලෙක් කෙල්ලෙක්ට පණ වගේ ආදරේ කරනවා.
ඒ කෙල්ල හින්දා පිස්සු වැටෙනවා.
ඒත් ඒ කෙල්ල මේ ආදරේ වැඩිය ගණන් ගන්නේ නැහැ.
ඒ කෙල්ලත් ආදරේ වගේ පෙන්නන් ඉඳලා පස්සේ කොල්ලගෙම යාළුවෙක්වම බඳිනවා.....
කොල්ලා ගැන මොකද හිතෙන්නේ....?
කෙල්ල ගැන මොකද හිතෙන්නේ...?

මේ කොල්ලා කෙල්ල ගැන හිතලා පිස්සෙක් වගේ ජීවත් වෙනවා.
මේ පිස්සගේ හිත සුවපත් කරන්ඩ තවත් සිතක් සමත් වෙනවා...
මේ පිස්සත් අර කලින්ටත් වැඩිය මේ අළුත් හිතට ආදරේ කරන්ඩ ගන්නවා.
ආදරේ වෙනුවෙන් ගොඩාක් කැපකිරීම් කරනවා.
ජීවිතේ හැම දේකම අරමුණ මේ හිත බව හිතනවා.
මේ හිතත් කොල්ලට නොසෑහෙන්න ආදරෙයි කියලා පෙන්වනවා.
මේ අළුත් හිත වෙනුවෙන් බොහෝ දේ දෙන්න මුදල් හොයන්න හිතන් රටින් පිටවුණු නිමේෂයකදී අළුත් හිතත් මේ කොල්ලව තනි කරලා දාලා වෙනත් කෙනෙකුගේ තුරුල්ලට කූඩු වෙනවා.....
පිස්සෙක් වෙලා හිටපු කොල්ලාට මොනව නොවෙන්න තිබුණද...?
දැන් මේ කොල්ලා ගැන මොනවද හිතෙන්නේ..?
කෙල්ල ගැන මොනවද හිතෙන්නේ...?

අවසානයේදී කොල්ලා තීරණය කරනවා කොල්ලගේ ආදරය ගැන පටු විදිහට හිතපු ඒ හිත් දෙක වෙනුවෙන් හඬා නොවැලපෙන්නට...
ඒ වෙනුවෙන් ජීවිතෙන් පළි නොගනින්නට...
ඔහු නව අරමුණකින් නැඟිටිනවා.
මෙච්චර කල් බිබී පස්සෙක් වගේ හිටපු ඔහු කෙලින් තීරණයක් ගන්නවා මින් පස්සේ ජීවිතේට වැඩි වටිනාකමක් දෙන්නට..
ආදරේට නව අරුතක් දෙන්නට...

(මම අදහන ආගමේ හැටියට) දෙවියන් ඔහුට දෙවරක් වැටෙන්නට ඉඩ දීලා තුන්වෙනි පාර නැඟිටුවනවා...
අහම්බයකින් වගේ ඔහු යුවතියක් දකිනවා.
කිසිද දවසක නොදැකපු, මොහොතක්වත් ආදරය නොකරපු...ඔහු ඇයගෙන් විවාහ‍ වෙන්නට අහනවා.
ඇයයි, දෙමාපියනුයි නොසිතූ විදිහට කැමති වෙනවා...
ටික කලකින් ඒ දෙදෙනා එකතු වෙනවා...
අද ඒ කොල්ලට තේරෙනවා ලෝකෙ ඉන්න හොඳම ගැහැණිය තමන්ගේ බිරිඳ කියලා...
දැන් මේ කොල්ලා ගැන මොනවද හිතෙන්නේ..?
ඔහුගේ බිරිඳ ගැන මොනවද හිතෙන්නේ....?

ලූෂන් බුලත්සිංහලගේ පද වල සාධාරණයක් තියෙනවාද කියලා මං තවම කල්පනා කරනවා....

Cool said...

@ Jeew
ෂා ! ලස්සන ‍ෆිල්ම් එකක්.....

Prabhath Darshana said...

ආදරය....අනේ මංද. මම තාම තනිකඩයි.. ඒකනම් ඇත්ත... :)

රවා said...

එ..යි .. සොදුරු සිතැත්ති... උඹ තාමත් දුකෙන් ද.. අනිත් උන්ගෙ ජිවිත ගැන කල්පනා කරලා වෙහෙසයිද, කාලයක් තියනවා. එකාලෙදි අපි එවා විදවගන්න ඔනා. ලුෂන් මහත්තයාත් එක්ක නම් මම එකඟ නැහැ. බලමු නෙද ජිවිතෙ ඉස්සරහට යන හැටි.

Jeew said...

@ Cool,
මේක ෆිල්ම් එකක් නෙමේ...
කිසිම කෙනෙක් විස්වාස නොකරන, අඩුම තරමේ කතාවේ ප්‍රධාන චරිතයටවත් තාමත් විස්වාස කරගන්ඩ බැරිවුණු...
ඇත්තම ඇත්ත කතාවක්...

චමිල said...

මම නන් ලූෂන් බුලත්සිංහල මහත්තයගේ කතාවට එකඟයි... ඉතින් ඒ කියන්නෙ වත් අක්කගෙ පැත්තෙ... එක් නොවුනු ආදරය හැමදාම නැවුම්... සදාකාලිකයි....

priyantha.ඒබී said...

තව කොමෙන්ටුවකට යන්න තරම් කරුණු ලියවිලා. මමත් ලූෂන් එක්ක එකඟ වෙන්නේ නෑ. ඔහුගේ කතාව වැරදි නෑ. එත් හැමොටම අදාලත් නෑ.
වත්ට...
අහින්සක වීම කියන්නේ එකක්. ලොකයට ආදරය කිරීම කියන්නේ තව එකක්. ඇත්තටම මම මේ මිනිස් සමාජයට ගොඩාක් ආදරය කරනවා. මිනිසුන් ලඟ තමා දෙවියන් හා යක්‍ෂයන් ඉන්නේ. මම ඒක දන්නවා. එත් මම ඔවුන්ට ආදරෙයි. එතුලින් මම ලබන සතුට ලියන්න පුළුවන් කමක් නෑ. ඉදිරියට වෙන දෙ ගැන ඕනෑවට වඩා නොසිතා කළ දෙයින් සතුටු වෙන්න දැන් මට ඕන. හොඳ ලිපියක් මට ගොඩක් දේ මේ ලිපියෙන් ලැබුනා. ඔබට ගොඩාක් ස්තුතියි.

සුභ දවසක්!!!

Bunny ! said...

අනේ මන්දා..මම නම් තාම පොඩි එකා...!!

ගීතික දිල්රුක් said...

බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වී.. සිටියා මිස නොදනිමි කොහි සිටියා දැයි මලවී.......
සංවේදී කතාවක්......
තමන්ට හොදම කෙනා ලැබුන කියල සතුටු වෙන අය තමන් වෙනුවෙන් වෙනත් කවුරු හරි නොකියූ ආදරයක් හිතේ තියාගෙන ඉන්නවා කියල කවදාවත් හිතල තියෙනව ද?

හසී said...

හ්ම්ම්... හොඳ ලිපියක් අක්කේ...

Hasitha ජයසූරිය said...

අනේ මන්ද මටත් මෙලෝ හසරක් තේරෙන් නෑ අප්පා

රොකියා | Udara said...

ඕක හැම කෙනෙක්ටම වලංගු නොවෙන්න පුලුවන් අක්කෙ. මොකද දැනට ආදරය කරලා විවාහ වෙලා හොඳින් පවුල් ජීවිත ගත කරන කට්ටියකුත් ඉන්නවා නේද ?

Indranatha Thenuwara said...

"සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ...
එක් වූ පෙම්වතුන්, සැබෑ පෙම්වතුන් ලෙස,ජිවත් නොවේ,
වෙන් වී ගියවුන් , සාදාකල් පෙම්වතුන් ලෙසට,ජිවත් වෙයි...
( ලුෂන් බුලත්සිංහල)
මෙහෙම කියන ලූෂන් සහ ඔහුගේ පවුලේ උදවිය ගැන මම බොහෝ දේ දන්නව. අඩු ම තරමින් ලූෂන් මෙහෙම කියන්නෙත් අවංකව ම නෙමෙයි කියලත් මම දන්නව.. ඒ වාක්‍යය ලස්සන වුනත් ඒක ලියපු පුද්ගල ආත්මය ඒ තරම් ලස්සන නැති හින්ද. ඒක දේව වාක්‍යය ලෙස ගත්තු තවත් බොහෝ දෙනෙක් ඒක නිසා තමන්ගේ මානයනුත් වරද්ද ගන්නව..!!

Ravi said...

"මායි එයයි බොහොම සතුටෙන් සැහැල්ලුවෙන් අවුරුදු ගාණක් හිටියා"

ඔහු නැඹුරු කරගත් හිසින් පැවසූයේ දිගු සුසුමක් හෙලමිනි.

"ඉතිං"

"ඉතිං ඊට පස්සෙ අපි දෙන්නා බැන්දා"

wath said...

හ්ම්... හිතුවාට වඩා කාරණය බරපතල වුනා වගේ...
අදහස් දැක්කම මම හිතන් හිටපු සමහර දේවල් වෙනස් කර ගන්න මම තීරණය කරා...
ඔබ සැමට මගේ ස්තූතිය...

@ Ravi
මගේ සම්පූර්ණ කතාන පේලි හතරක දවටල... ස්තූතියි ... ඒ වගේම රසවත්...

@ Indranatha Thenuwara
ඔබතුමා වගේ කෙනෙක් ඉදල හිටල හරි මේ පැත්තේ එන එකට ගොඩක් තුති.

@ රොකියා | Udara
ඔවු ඉන්නව.පිටතට පේන්න විතරයි ගොඩක් දෙනා හොදට ඉන්නේ මල්ලි. ඇතුලත ගිනි ගොඩක්.

@ Hasitha ජයසූරිය
හා හා ... ස්කෝල ළමයි මොකද මේ පැත්තෙ කරන්නේ...

wath said...

@ හසී
ස්තූතියි නංගා

@ ගීතික දිල්රුක්
හිතන්නත් එපා එහෙම. ඒක හිතට බරක්.

@ Bunny !
මෙන්න තවත් ස්කෝල යන පැංචෙත් මේ පැත්තෙ ඇවිත්.

wath said...

@ priyantha.ඒබී
හිත රිදුනද... එහෙම හිතල කීවෙ නැහැ.ඇත්තටම අහිංසකයි කියල හිතුන නිසයි කීවේ.

@ Prabhath Darshana
තවත් තනිකඩ සංගමයේ සාමාජිකයෙක්. සාදරයෙන් පිළිගනිමි.

wath said...

@෴ හසියා ෴
@කතන්දරකාරයා
@අභීත
@sansarasidu

ස්තූතියි........

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...