..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, August 7, 2010

෴ සකුරා ෴


හෙත් එදා රාත්‍රියෙහි ,රැප්පාවල හිඳගෙන ගී ගයමින් රමණය කළ නුවරුන් අතර ප්‍රීති ප්‍රාමෝද්‍යයෙන් විසඥ වූ කළෙක මෙන් නිහඩව ඔහු සමග සක්මන් කරමින් හුන් වේලෙහි අප දෙදෙනා සුපින ලොවක සැරිසරන්නවුන් සේ පෙණුන ද මතු මත්තෙහි කුමක් වෙතත් යොවුන් වියෙහි මට මේසා ආස්වාද විඳින්නට ලැබීම මහත් භාග්‍යයක් යයි මම කල්පනා කළෙමි.මාලිගා ප්‍රාකාර අසළ වූ චේ මග ,මුදුනෙහි උනුන් වෙත නැඹුරු වූ අතු පතර ඇති සකුරා වෘක්ෂයන්ගෙන් ගැවසී ගත් දෙපසින් හෙබියේ ,මල් ගොතන ලද උඩු වියනින් අලංකෘත වු එකම දීර්ඝ ලිය මඩුල්ලක් සේ විය.


ඔහුගේ හැම අවයවයකින් මමන්නා සේ වූ නිසල සුවය මගේ ඇඟටද නොදැනුවත්ව වැදී එහි පැතිර යන ලෙසක් මට දැණුනි.අවුරුදු ගණනාවක් ම සකුරා බලන්නට මා ගොස් තිබුණ නමුත් ඒවායේ සෙන්දර්ය දෙස මගේ සිත නියම ලෙස යොමු වුයේ මේ වතාවේ පමණි.සකුරා උත්සවය විනෝද වීමට අවස්ථාවක් කොට ගත් මුත්  අපි මල් නැරඹිමේ ආස්වාදය නොවින්දෙමු.


වීදියෙන් විසිර ආ විදුලි එළිය නිසාදෝ  නොහොත් සල්පිල් වල දල්වා තුබූ පහන්වල එළිය නිසා දෝ ලා දළු පැහැයෙන් යුත් මල් පෙති සඳ රුසින් ඔප් නැගුණ කලෙක මෙන් ශ්වේත වර්ණ කාන්තියක් විහිදුවේය.  මා වරක් දුටු උකියො-එ සතුරා සිතුවමක් මට සිහිවිය.ඒ චිත්‍රයේ මල් වලින් සුදු කැලූම් විහිදුණේ කෙසේද යනු මට මෙතුවක් කල් විසදිය නොහැකි රහසක් සේ පැවතුණි.


"අර උකියො-එ සිතුවම මතකද?"යි ඉබේම මගේ මුවින් පිට විය.


" ඔව්. මාත්හිත හිත හිටියෙ ඒක තමයි. හඳ පායනව ද කියල. මම කීප සැරයක් බැලූව.මේ මල් වලට යන්තම් එළියක් වැටුනත් ඒක පිළිබිඹු වෙලා විහිදෙනව නේ." යි ඔහු පැවසීය.


ඉහත උපුටනය එදිරිවීර සරත්චන්ද්‍රටන්ගේ " මළවුන්ගේ අවුරුදු දා" ග්‍රන්ථයෙනි..............


---------------------------------------------------------------
මම දැන් කියන්නම් ,ඇයි මට තකහනියක් සකුරා මල මතක් වුනේ කියල..


මා කිසි දිනක සැබැවින්ම සකුරා මල් දැක නැත.ඒවා සුවඳද නැද්ද කියා වත් මම නොදන්නෙමි.එහෙත් නුඹ හමුවූ දා පටන්,නුඹ ඇසුරෙහි සිටින සෑම මොහොතක ම කිව නොහැකි සුවඳක් අපූරුවත්වයක් ලස්සනක් මගේ ජීවිතයට එකතු වේ.ඒ සුවඳ හා ලස්සන සම කිරීමට මම දන්නා කිසිම මලකට නොහැකි නිසා මම නොදන්නා සකුරා මල ට එය සමයයි මම සිතමි.


සැබැවින්ම සකුරා මලක් දුටු දිනක හෝ එහි සුවඳ විදින්නට මම නොයන්නෙමි.මක් නිසාදයත් එහි සුවඳ ඔබේ සුවඳයයි මම සිතා සිටින බැවිනි..........


නුඹේ නිවුන ගති ගුණ , පරිණත අදහස් , පරිණත පෙනුම සහ මේ සැමට වඩා නුඹ සිත තුල මා කෙරෙහි ඇති ආදරයට මම ප්‍රිය කරමි.කිසිදා දැක නැති, කිසිදා විද නැති සකුරා මලට මම ආදරේ කරන්නාක් මෙන් නුඹට මා ආදරය කරමි.


නොදුටු සකුරා මල ගැන තැවෙන
මම
෴ වත් ෴

16 comments:

  1. ඔය කොයි මලත් පරවෙනවා නෙව අන්තිමට..ඔය සත්‍ය කොයිතරම් හොඳින් දන්නවා වුනත් අපි ලතවෙනවා ඒ හැම වාරයක් පාසාම......:(

    ReplyDelete
  2. සකුරා මලක මල්පෙත්තක සුවඳ මුඳු
    සපුරා මට දැනේ වතුසුදු මලක සුදු
    නොපුරා කියාගත නොහේනා පෙමක හුදු
    බඹරා කියන දේ වැටහෙන්නේද කුදු

    ReplyDelete
  3. මාත් කවදාවත් දැකපු නැති දේවල් වලට අපි කොච්චර ආදරේ කරනවද? එහෙම කරන්න පුලුවන් වෙන්නෙ අපිට ඒ වගේ දෙයක් අපි දන්න ආසකරන දෙයකට අනුමාණ කරල

    ReplyDelete
  4. නොදකින දේ ගැන හැමදාම තියෙන්නෙ කුතුහලයක්.සමහර විට ඒ නොදැකපු දේවල් හිතාගෙන ඉන්න තරම් සුන්දර නොවෙන්නත් පුලුවන්.
    ඒ නිසා නොදකින සකුරා මලට වැඩිය දකින්න තියන වදමල වාසනවන් කියලයි මත හිතෙන්නෙ......

    ReplyDelete
  5. නොදුටු සකුරා මලට ආදරය බැඳීම කොතරම් අපූරුද?..
    ඒ ලස්සන පුවඳ සිතින් විඳින්න හැකිනම් එය කොතරම් ආශ්වාද ජනකද?...
    දිනෙක ඒ සුවඳ සැබෑවින්ම විඳගනු හැකිවේද?...

    කොහෙද දවස් ගණනක් ‍පොස්ට් එකක්වත් දාන්නෙ නැතුව ගිහින් හිටියෙ සකුරා මල් බලන්නද?

    ReplyDelete
  6. දුවන මුවන් සහ නෙළු පලා...

    [දැන් කියන්න එපා මාත් කියන්නේ ඒකමයි කියලා...]

    ReplyDelete
  7. මොකෝ ගොඩ කාලෙකින්??
    කොහෙද උන්නෙ??????

    ReplyDelete
  8. සකුරා(චෙරි ) මල් ගැන නන් ගොඩාක් දේවල් තියනව කියන්න. සකුරා මල් පිපුන කාලයට මල් වියන් වගේ එක පොකුරට. ඒ යටට වෙලා සුන්දරත්වය විඳ විඳ ලාවට අඩියක් ගහන එක තරම් සැපක් නන් වෙන නැහැ. මම අක්කට ෆේස් බුක් එකේදි දවසක් කිව්ව මතකද මගේ ආදර _______ එක්ක සකුරා වියන යටට වෙලා ගතකරපු ලස්සනම ලස්සන හැන්දෑවක් ගැන. කවියකුත් ලිව්ව ඒක ගැන. ඔයගෙ මේ පොස්ට් එක ඒ මතකෙ අලුත් කරා.

    ReplyDelete
  9. @ Shadow/හේමලයා
    පිපෙන පිපෙන මල් සැම පරවී යනවා
    මලෙන් තව තවත් මල් ගස් පීදෙනවා
    ලෝ අට දහම මේ ලෙසටම කැරකෙනවා
    නොහඩනු මලේ නුඹටත් මලක් හිමි වෙනවා

    ReplyDelete
  10. @ විහඟ ගීතය
    වැටහේ මලට නුඹ කියනා අරුම පෙම
    පිටුපා යන්න බැහැ මලටම තමයි දුක
    හිමි වනු අහිමි වනු ලොව ඇති දහමය
    මලට නුඹ මිසක වෙන අය කුමන පල

    ReplyDelete
  11. @ Hasitha ජයසූරිය
    යස් හසියෝ... යු ආ රයිට්...

    ReplyDelete
  12. @ Dinush
    මට නම් එහෙම හිතන්න බැහැ. දකිනවට වඩා අපි ඒ ගැන සිතේ මවා ගන්න හැගීම තමයි වටින්නේ. එතකොට තමයි අපිට පුලුවන් සැබෑ ස්වරූපය ( බාහිරය තමයි දකින්නේ. අභ්‍යන්තරය තමයි මැවෙන්නේ)හදුනා ගන්න.

    දෙයක් දැක්කම අපි හිතන්නේ අපි දැකපු විදිහට ( බාහිර රූපය). නොදැක හිතන කොට අභ්‍යන්තරය දකින්න පුලුවන්.අබ්‍යන්තරය දැකල සිතේ ඇතිවන හැගීම ගොඩක් වටිනව...

    ෴ ඒ මම හිතන හැටි ෴

    ReplyDelete
  13. @ මාරයාගේ හෝරාව

    දුවන මුවන් දැක නෙලු පලා විසි කරන
    ළඳක් නොවේ මම දැන ගන්න
    නෙලු පලත් නැත දුවන මුවන් නැත
    මා සිත ගත් ඔහු පණ වැන්න

    ReplyDelete
  14. @ Ansh Lucky Sri Jay
    මේ දවස් වල හිත සතුටින් පිරිල තිබ්බෙ. ඒ නිසා ඒ සතුට රදවගෙන සතුටින් හිටිය. ලියන්න ගියොත් මගේ සතුට අකුරු වලට දෙන්න වෙනව. එතකොට හිතේ සතුට අඩු වෙයි කියල හිතුන. ඒ නිසා සතුට දරා ගෙන නිදහසේ වුන්නා...

    ReplyDelete
  15. @ priyantha.ඒබී
    හ්ම් හ්ම්... මගේ සකුරා මලට පොඩ් නිවාඩුවක් ලැබුන නිසා ලියන්න එකා පමා කරා මම...

    ReplyDelete
  16. @ චමිල
    හා හා.. ඔන්න මම නම් කාටවත් කීවේ නැහැ. දැන් ඉතින් කට්ටිය මගෙන් අහවිද දන්නේ නැහැ චමිල මල්ලිගේ සකුරා මල ගැන...

    ඔන්න මම නම් දන්නේ නැහැ හරිද...

    ස්තූතියි මල්ලි....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...