..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, May 19, 2010

෴ අයදිමි ෴( Rain, rain, go away....... )



වැස්ස වලාහක දෙවියනි
සවන් යොමා මෙය අසන්න
මගේ පුංචි නැගණියගේ 
 සිහින එපා බොඳ කරන්න

ඇගේ සිතේ සිටි කුමරා
අත ගන්නා දවසෙ ඔන්න
 වැස්සෝතින් දෙගොඩ තලා
 මම තරහයි ඔබත් එක්ක

ඇය යන්නේ කුඬු තනා
අලුත් හෙටක් ගොඩ නඟන්න
මනමාලිය වන නැකතට
එපා කඳුළු ඔබ සලන්න 

මවයි ඇයයි නඟයි මමයි
හලන කඳුළු සමඟ එක්ව
මල් වැහි වරුෂා කම්නැහැ
ආශිර්වාදය ගෙනෙන්න 

පඬුරක් මම ගැට ගැසුවා
ගං වතුරක් නොමඒවා
මගේ පුංචි නැඟණියගේ
සිහින පැතුම ඉටු වේවා. 

අනිද්දා  (මැයි 21) මගේ නැඟණියගේ ජීවිතේ ලස්සනම දවස.... ඒත් අහස අපිත් එක්ක තරහ වෙලා වගේ දවස් ගානක් තිස්සෙම වහිනව...නිල්වලා ගඟත් පිටාර ගලල. පාරවල් යට වෙලා. දෙයියනේ කියල අපේ පාරවල් වලට නම් තවම අකරතැබ්බියක් වෙලා නැහැ.වත්තපහල නම් ඔක්කම යට වෙලා... ඉතින් මගේ හිතේ පැතුම තමයි මෙහෙම කවි කරේ.....෴

Rain, rain, go away....... Come again some other day please ..

වැස්ස වලාහක දෙවියනි
මම
෴වත්෴

14 comments:

  1. දරුවා ඔබ බිය නොවන්න........
    එදාට මම අඩන්නේ නැහැනේ ඔන්න

    තව දවස් දෙකකින් වැස්ස තුරල් වන බවත්....නැවත හිරුට ඉඩ ලැබෙන බවත්.....කාලගුන ලොක්කො පැවසුවා....හිකිzzzzz

    ReplyDelete
  2. සොඳුරු මොහොත නැගණියගේ
    එපා බොඳ කරන්න මේ විලසින්
    ටික දිනකට හැංගිලා ගොසින්
    ඕනෑනම් වෙන දිනයක ඇවිත් යන්න....

    ReplyDelete
  3. බයනොවී හිටපන් වතෝ ............
    ලයිලා දැන් ඉන්දියාවට යනවලු ......

    යස අපුරුවට පායයි ...........

    ReplyDelete
  4. අක්කෙ අපිත් වැස්ස වලාහක දෙවියන්ට කියන්නම් පතන්නම් , කිසිදු වැහි අඳුරක් නැති , පැහැදිලි ලස්සන දවසක් විසි එක් වෙනිදට උදා වෙන්න කියලා..:-)

    ReplyDelete
  5. මේක දැකල මගේ යාලුවෙක් කැම්පස් යන කාලේ ලිව්ව කවියක් මතක්වුනා... ඒක නිර්නාමිකව ලියල තිබ්බ නිසා ලිව්වෙ කවුද කියල මෙතන ලියන එක හරි නැහැ වගේ..මෙන්න මේකයි කවිය.

    "වැස්ස තව ටිකක් වහින්න
    එපා අනේ නතරවෙන්න
    දුටුවද ඔබ ඇය ඉන්නව
    යන්න බැරුව පායනකල්
    ....................................."

    එදා මම මේක දැකල ප්‍රර්ථනා කලේ අනේ තව ටිකක් වහින්න කියලා.

    අක්කගේ මේ කවිය තනිකරම අනික් පැත්ත. මම අද ප්‍රාර්ථනා කරන්නෙ
    "වැස්ස (තව ටිකක්) වහින්න එපා.අනේ නතරවෙන්න..." කියල. ඔයාගේ සොයුරියගේ විවාහ උත්සවය සොඳුරු මතකයන්ගෙන් පිරේවායි කියලත් පතනවා..

    ReplyDelete
  6. වත් අක්කගෙ නංගාගේ
    සොදුරු දිනය විසි එකනේ
    සොබා දහම පවා ඇයට
    නිති සැලකිලි දෙනු ඇතිනේ

    බය වෙන්න එපා අක්කෙ...අර අයියල කිව්ව වගෙ මෙයා දැන් ඉන්දියාව පැත්තෙ සන්චාරයක් දාන්නලු යන්නෙ

    ReplyDelete
  7. වැස්ස වලාහක දෙවිදුන් කන්දේවි
    මංගල්ලේ දා ට ලස්සනට පායාවි
    අක්කිත් පොද ඉසින්නේ නැතිව ඉන්න ඕනි
    හිරු දෙවියොත් නාංගියාටා සුබ පතන්න ඒවි

    ReplyDelete
  8. රස්නෙක පැටලුනු ගිම්හානයේ දාහය ගෙන
    අස් මුලු හෝදා මංගල්ලෙට කල එළි වන
    තිස්සෙම නිල්වලා ගඟත් සතුටින් ඉපිලෙන
    වැස්ස වළාහක දෙවිදුත් සතු‍ටු කඳුළු ලන

    නැඟණියගේ සුභ නැකතට සේසත් පෙරහැර
    මඟ බලමින් සිටිනු කෙලෙස මම මෙහේ බොහෝ දුර
    හඟ වන සුභ පැතුම්,දෙපොලටම ආසිරිබර
    විහඟ ගීතයක් ඇසේවි පෝරුව අද්දර.

    ReplyDelete
  9. වෙඩින් 1ට තෙමෙන 1ත් ආතල් ජනිත කරන වැඩක් මගෙ හිතේ...

    ReplyDelete
  10. "වැස්ස වගේ ආකාසෙන් වහින්න මම ආසයි වතුර වගේ වැව් විල් වල පිරෙන්න මම ආසයි"
    දැන් මේ ආසාව වෙනස් වෙලාද? :)

    වළාහක හම්බ වුනොත් මමත් කියන්නම්කො. කෝකටත් කියලා දැනට mail එකක් නම් දැම්මා.. :D
    බය නැතුව ඉන්න අක්කේ එදාට හොඳටම පායයි...

    ReplyDelete
  11. අනේ මංද අක්කේ දැන් දෙවියොත් මනුස්ස පුරුදු පුරුදු වෙලානේ.........
    ඔන්න වැස්ස වහින එපා කියල මාත් පතනව......
    පිටත් වෙන වෙලාවට පුංචි පොද මල් වැස්සක් ආසනැද්ද අක්ක මොකද හිතන්නේ.........?????

    @ Nishacharaya
    වවුල් මේල්ද වලාහකට යැව්වේ???? ;) ;)

    ReplyDelete
  12. මැණික්(සුළඟ)May 20, 2010 at 8:05 AM

    අනේ වැස්ස ඉතින් ඉන්න
    කුමරියකගේ සිහින ගොන්න
    සැබෑ වෙන්න ඉඩක් දෙන්න
    වෙනත් දිනක නැවත එන්න
    මැණික්(සුළඟ)

    ReplyDelete
  13. හිතේ කොනක පොදි බැඳන් උන්න
    පැතුම් පොදිය සැබෑ වෙලා දිග හැරෙන්න
    දවස ළඟයි ඔන්න මෙන්න
    කඳුළු අරන් ආකාසෙන් එපා එන්න
    මල් වැහි පමනක් රැගෙන එන්න.............

    ReplyDelete
  14. නංගි දන්නැද්ද අපේ පළාතෙ අයගෙ අදහසක් තියෙනව ගංවතුරෙ ගේන මනමාලි වාසනාවන්තයි කියල.ඉතින් ඒකි වාසනාවන්ත කෙල්ලක්නේ.ගෙනියන කෙනා කරවටක් වතුරෙ පීනගෙන හරි මනමාලිව ගෙනියයි.බය වෙන්න එපා.අද ගංවතුර නිසා නෙට් එකට ආව.මමත් නංගිට මුළු හිතින්ම සුබපතනව හොදේ.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...