..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, November 21, 2009

...... රෝස පාට මට එපා ......

තකහනියක්ම blog එකේ  පාට වෙනස් වෙලා කියල අදුරන අය නම් හිතන්න ඇති.අදුරන කියල කීවේ මගේ blog එක කලින් බලල තියන අය. එයාලා කොහොමත් මට මගේ හොදම යාළුවො තමයි. භෞතිකව යාළුවෝ කියල ආශ්‍රය කරන අයට වඩා හිත කියවන්න පුළුවන් යාළුවො කිහිපදෙනෙක් මට මේ ලිවිල්ල නිසා මුණ ගැහුණා.

ඒකනෙමෙයි ,මම දැන් රෝස පාටට ආස නැහැ. කාලයක් මගේ ආසම පාට තමයි රෝස. සාරියක් ගත්තත් වෙන ඇදුමක් ගත්තත් සපත්තු සෙරෙප්පු ගත්තත් ,හැමදෙයක්ම නිතතින්ම රෝස පාට තමයි. ඒ කාලෙ පටන් ගත්ත මගේ "සොදුරු සිත”ත් රෝස පාට වුනේ ඒකයි. ඒත් දැන් මගේ තේරීම (පාට ) වෙනස් වෙලා. රෝස පාට හරිම බොලදයි කියලා දැන් මට හිතෙනවා. රෝස පාට මාව පොඩි ළමයෙක් කරා , නොමේරු , නොගැඹුරු බොලද දේ වලට මාව යොමුකරා කියල මට හිතෙනව.

වෙලාවකට බොලද බවත් හොදයි තමයි. ඒත් දැන් මම වැඩිහිටියෙක් නිසා මම කැමති බොහොම සරලව ඒත් තාත්ත්විකව ලොව දකින්න. ඒක මගේ ගොඩක් ප්‍රශ්ණ වලට විසදුමක් වේවි.

සමහර පිරිමි අය හිතන විදිහ හරිම හරිම .. හරිම .... හරිම .... අගෙයි. ගැහැණු අපිට ඒව තේරුම් යන්නෙ ටික කාලයක් ගියාට පස්සෙ තමයි. අපිට ( මම දන්න විදිහට මට) හිතෙන්නෙ පිරිමි ප්‍රශ්ණ වලින් පැනලා යනව , ඈත් වෙන්න හදනවා , ගනන් ගන්නෙ නැතිව ඉන්නවා කියල. එතකොට අපිට දුකයි, තරහයි. එයාව නම් ඕනම නෑ කියල හිතෙනවා. (මම කියන්නෙ ආදරේදී විතරක් නෙමෙයි, යාළුවො ගැනත් මේක අදාලයි) ආදරේ ගැන මම තවම හරියට දන්නෙ නැති නිසා මට ඒ ගැන කියන්න බෑ. මම ආදරේ කරා තමයි .ඒත් ඒ නියම ආදරේ කියල මම හිතන්නේ නෑ.

ඉතින් කාලයත් එක්ක අපිට තේරෙනවා ‍එදා මොකද ඒ පිරිමි කෙනා නිශ්ශබ්දව හිටියෙ කියල. සමහර විට ඒ ගැහැණියගෙම හොදට තමයි ඒ පිරිමි කෙනා නිහඩව ඉන්න ඇත්තේ. සියළු දේ ගැහැණියට තේරුම් යනකොට සමහර වෙලාවට ඒ සුන්දර පිරිමි හිතට ගොඩක් දුක් දීලා ජීවිතෙන් සදහටම පන්නල දාලත් ඉවරයි.
මම මේ කීවේ සියළු දෙනා සම්බන්ධව නම් නෙමෙයි. මට හමුවූ බොහෝ දෙනා ට ඒ වගෙ සොදුරු සිත් තිබ්බාග. ඒකයි මම අදටත් මේ සුන්දර හිතත් අරන් සතුටින් ඉන්නේ. මම හිතනව මම ඒ සියළු දෙනාව තේරුම් ගත්තා කියලා. ඒ ගොඩක් අය මටත් වඩා මට ආදරේ කරපු අය. ඒකයි එයාලා මගෙන් ඈතට ගියේ. අද වෙන කොට මම හැමදේම වටහා ගත්තා. ඉතින් තවත් මට රෝස පාට නම් එපා.................................................

රෝස පාටට අකමැති  
මම
෴වත්෴

16 ප්‍රතිචාර:

චමි.දේ.වා. said...

ඕගොල්ලෝ අපි ගැන හිතන විදිහනේ මේ ....ඉතිං අපි මෙතන මොනවා ලියන්නද .........

wath said...

ඔයාල අපි ගැන හිතන හැටි ලියන්න.
එතකොට අපි දෙගොල්ලන්ට හිත් අමනාපකම් නැතිව ඉන්න ඒක උදවුවක් වෙයි.

තිස්ස1969 said...

සොඳුරුම සිතකට තමා මේවාගෙ සියුම් සිතිවිලි අහුවෙන්නේ... මක්කරන්නද...කාලය හුඟක් මානසික ලෙඩ සුවකරනවා... එතකල් තුවාලයේ වේදනාව විඳගෙන ඉන්න වෙනවා...

malee_msg said...

මම කවදාවත් රෝස පාටට ආස වෙලා ඉදලා නෑ.. මම කවදත් ආස නිල්,සුදු ,කළු වගේ පාට වලට.. ඒ ආසාව කවදාවත් නැති වෙලා නෑ තවම..

මේ ඇත්තමයි කියලා තියෙන්නේ.. අවංකවම කථා කරනවා නම් පිරිමි සද්ද නැතුව ඉන්න හින්දා තමයි ගෑණු ගොඩ දෙනෙක් තාම ජිවත් වෙලා ඉන්නේ.. නැත්තං ගෑණු අපි කරන පට්ට මොංගල් සුකුරුත්තං ‍වැඩ වලට පිරිමි මෙහෙමවත් ඉවසන එක ලොකු දෙයක්.. ඒක මටයි ම‍ගේ යාළුවටයි දෙන්නටම තේරිලා තියෙන නිසා හිතා ගන්න වෙන්නේ ඒක ඇත්තක් කියලා. මොකද මම බැදලා නැති උනාට මගේ හොදම යාළුවා බැදලා.. ඒකි දවසක් මාත් එක්ක මම කිව්ව දේකට උත්තර විදියට කිව්වේ " මචෝ මමත් මේ කල්පනා කලේ අයියා ම‍ගේ විකාර ඉවසන හින්දම හොදයි කවදා හරි ඉවසීම ඉවර උනු දාට මාව ගෙදරිනුත් දොට්ට දායි ද මංදා කියලා." ‍මං හිතන්නේ විශේෂයෙන් ගෑණු අපිට ආදරේ කරන පිරිමි අපි දිහා බලන්නේ පොඩි ළමයි දිහා බලනවා වගේ.. එයාලා හිතන්නේ අපිට මොකුත් හරියට කරගන්න බෑ කියලා.. පොඩි අය වැරදි කලාට තරහා ගන්නේ නැහැ නේ.. ඒ නිසා පිරිමි අය ගෑණු අය ගැන ඒ විදියට හිතනවා ඇති

තිස්ස1969 said...

හ්ම්ම්... හැබැයි ඔය සුකුරුත්තං වැඩ හින්දම තමා පිරිමි ගැහණුන්ට කැමතිත්... මොංගල් වැඩ ගැනනම් කියණුම කවරේද...!! හැබැයි කාලය නැමති ඉන්ද්‍රජාලිකයා ඔය ගතිය ටිකකලකින්ම දෙපැත්ත මාරු කරනවා... අවුරුදු 13ක් විවාහ ජීවිතයේ අත්දැකීම් අනුව මේ කියන්නේ... එතකොට අපේ මොංගල් වැඩ දිහා ගැණු බලා ඉන්න හැටි දැක්කම ආදරය පුදුම විදිහට වැඩිවෙනවා...

Supun Budhajeewa said...

මොනා ලියන්නද. No body understand no one. ඒකයි කතාව!

wath said...

තිස්ස 1969 ...
මෝංගල් වුනත් කමක්නෑ ආදරෙන් ඉන්න එක තමයි වැදගත්.

malee_msg ...
මම හිතන විදිහට ගැහැණු ඉදිරියේ පිරිමි තමයි බබාලා වෙන්න හදන්නේ. ඒකනෙ සමහර විවාහක ගැහැණු උදවිය කියන්නේ පොඩි එකා නම් හොදයි. ලොකු බබාගෙන් තමයි කරදරේ වැඩි කියලා. කරදර නම් මොනාද කියලා මම දන්නේ නෑ හොදද. මොකද මට තාම ලොකු බඛෙක්වත් පොඩි බඛෙක්වත් නෑ...

malee_msg said...

තිස්ස - අපි නොදන්නවා උනාට ඔයාල දන්න විදියට නම් ඒකට වෙන්න ඇති ජිවත් වෙනවා කියන්නේ..

වත් - මං නම් හිතන්නේ දෙපැත්ත බැලන්ස් වෙනවා... ඒ කිව්වේ එක්කෙනෙක් බබා වෙද්දි අනිත් කෙනා ලොක්කා වෙනවා.. ලොක්කා බබා වෙද්දි බබා ලොක්කා වෙනවා.. ‍එතකොට අවුලක් නැහැනේ.. හික් හික්..

තිස්ස1969 said...

ඔය ඔක්කෝම ජීවත් වෙනවා කියලා දැනෙන කාරණා තමා... ලොක්කා වීම්, බබා වීම්, සුකුරුත්තං, මොංගල් වැඩ...
හැබැයි අසංවේදී, නීතියට, වචනයට, සීමාවුනු බැමි වලට වඩා ඒවා හරිම රසවත්...
සොඳුරු, සංවේදී සිත්, ජීවිතයට හැබෑම ආස්වාදයක්... එහෙම අය ජීවිතයෙන් ඇත්වුනහම, නිතර සාක්කුවේ තිබිය යුතු, ඒ වුනාට හරියටම මොකද්ද කියල මතක නැති, ගෙනෙන්න අමතක වෙච්චි දෙයක් ගැන ගෙදර එනකල්ම හිතනවා වාගේ, හිතහිතාම ඉන්න වෙනවා...

Ravin Caldera said...

මා තේරුම් ගත් කරුණක් නම්, පිරිමින් සහ කන්තාවන් සිතන පතන ආකාරය සපුරා ම වෙනස් බව. මා හැදුනේ සහොදරයන් මැද, ගියේ පිරිමින් පමණක් යන පාසැලක, අම්මා හැරෙන්න කන්තාවන් පිළිබඳ කිසිඳු සම්බන්ධතාවක් තිබුණේ නැහැ (අම්මලා කොහොමත් හොඳයි, තේරුම් ගන්නවානේ). ඉතින් මා ඉබෙම එළඹෙනු නිගමනය ගැහැණු පාර්ශවයත් පිරිමින් වගේ සිතනව කියල යි. හැබැයි, ඔවුන් සමඟ ආශ්‍රයක් ආරම්භ වුනහමයි තේරුණේ මගේ නිගමනය වැරදි බව. පිරිමි සමහර විට කෙලින් ම කියන දේ කියනවා, කතාව කෙටි යි; වැඩිය සිතන්නේ නැහැ, කටට ආපු දේ කියලා දානවා (කිසිම හැඟිමක් නැතිව). එහෙත් කාන්තාවන් එහෙම නොවේ. ඔවුන් ගැඹුරින් ආවර්ජනය කරනවා. කතාවේ ශබ්ද්, උච්චාරය, ආවේග වලට සංවේදි යි. වචනවල අරුත නොව, කියපු විදිහ දිහයි බලන්නේ. මෙතන තමයි ප්‍රශ්නය මතුවන්නේ, සමහර විට කීවේ වෙන දෙයක් වෙන අදහසකින්, එහෙත් අනික් පාර්ෂවය තේරුම් ගන් නේ සම්පුර්ණයෙන් ම වෙනස් අදහසින්...අවසානයේ දෙදෙනා අතර සිත් රිදීමක්. පිරිමින් යමක් කියන කොට, ඒ කියන දෙයෙහි වචනාර්ය බැලීමත්, ඉක්මනින් අමතක කර දැමීමත් වැදගත්. ඔවුන් වැඩිය හිතන්නේ නැති බව සිතට ගන්න. අනෙක් අතට, ගැහැණු පාර්ෂවය කියන ආකාරය, කරන දේ හැසිරීම නිරික්ෂණය කරන බව තේරුම් ගෙන සාවධාන ව සංසුන් ව, මුහුණේ ප්‍රසන්නතාව ඇති ව, මනා කල්පනාවෙන් යමක් සංනිවේදනය කිරීමට පරිස්සම් විය යුතු ය. මෙයයි දැනට මා උගත් දේ...

දර්ශන said...

හැමෝටම ඔය දේ තේරෙනවනම්

Sanda said...

රවින් හරියටම තේරුම් අරන් තියෙනවා ගැහැනු පිරිමි හිත් වැඩ කරන විදිය.....දර්ශන කියන්නා වගේ හැමෝම මේක තේරුම් ගන්නවා නම්......!!!!..ලෝකේ කොයි තරම් සුන්දර තැනක් වෙයිද.......?

wath said...

ඒකනම් හරියටම හරි Sanda. රවීන් , තිස්ස වගේ හිතන පිරිමි අය ඉන්නවා නම් විවාහ ජීවිතේ කොයිතරමි සොදුරු තැනක් (අඩු ගානේ නොරිස්සුම අඩු) තැනක් වේවිද. ගැහැණු උදවියත් යක්ෂණියන් නොවී ඉන්නවා නම් හොදයි.

තිස්ස1969 said...

ඒකතාවනම් සහතික ඇත්ත... තරහ වෙන්න එපා මෙහෙම කිව්ව්ට... ම්ටා සොඳුරු සිතැති... කුලුණු ගුණෙන් යුතු ගැහැණුන් හම්බු වෙලා තියෙන්නේ සොච්චමයි... සමහරවිට සම්භාවිතාව මා සම්බන්දයෙන් වැඩකල විදිහ වෙන්නත් ඇති... නමුත් සොඳුරු සිතැති, කුළුණු ගුණැති පිරිමින් නම් එමට හමුවෙලා තියෙනවා... මේ සංවෘත භාවයත් "යක්ෂණී" භාවයත් ගැහණුන්ට දීලා ඇත්තේ මනුස්ස වර්ගයාගේ පැවැත්ම උදෙසාම වෙන්නෑති... වාසනාවට මට මුලින්ම හමුවූ සොඳුරුම ගැහැණිය, සත් වසක ප්‍රේමයෙන් පසු මගේම කරගන්න හැකි උනා... එයාගේ ආවේග ප්‍රකාශන මාද්‍යය කඳුලු... ඇගේ කඳුලැලි මා සිතේ නිබඳ පදවැල් ඇඳේ...

wath said...

ඔයා හරි තිස්ස අයියා. පොඩ්ඩ වරදින කොට යක්ෂවරම අතට ගන්නවට වඩා නාහෙන් අඩන එක 1000 න් සම්පතයි.( මාත් ඉතින් වැඩිම වුනොත් අඩන එක තමයි වැඩියෙන් කරන්නේ බැරිම වුනොත් කරබාගෙන තනියම මුමුණ මුමුණ ඉන්නවා.)කසාදයක් බැන්දම මොනාවෙයිද දන්නේ නම් නැත.
කොහොම වුනත් ඔයා වාසනාවන්තයි වගේ..
මගේ සුභ පැතුම්

තිස්ස1969 said...

කසාද බැන්දත් දරු මුණුපුරෝ හිටියත්, හිතේ සොඳුරු බව නැති කරගන්න එපා... ගැහැණු පිරිමි කවුරු උණත්... මම මේ කතාව පටන් ගත්තෙත් එතනින්මයි... සොඳුරු සංවේදී හිත් වලින් ගලන කඳුලු, ගීත, කවි, චිත්‍ර... ඒ අයිතිකාරයා නොදන්නවාට තව බොහොමයකගෙ හිත් නිවාලනවා... අපට පරම්පරා දෙකකට උඩ කට්ටිය ඕක යස අපූරුවට ව්‍යවහාරයෙන්ම දැන හිටියා... අනුනගේ හිත් අඳුනා ගන්න උත්සාහ කරනවාට වඩා, තමාගේ හිතේ අපූරු හැඩතල ඉස්මතු කරගත්තොත්...?? ඒ වගෙ චරිත හරිම ආස්වාදනීයයි... ඔය "කණ කැස්බෑ නෙත..." ලියපු ප්‍රේමකීර්තිගෙ හිත වාගේ... තමන්ගේ ඇඹේණිය එක්කලා අමනාප වෙලා ගිය ප්‍රේම්, සින්දුව ලිව්වේ..."මා එක්කලා අමණාපව වී දබර... දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර..." කියලයි... කොච්චර අපූරු හිතක්ද නේද...?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...