..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, December 31, 2009

නෙතට පෙනෙන දේ සීමිතය .. සිතට පෙනෙන දේ අසීමිතය...

තවත් උදාර වසරක අවසානය... උදාර ඒකීය රටක හිමිකරුවෙක් වුනේ 2009 වසරේ . ඒ නිසා ශ්‍රී ලාංකිකයන් හැටියට 2009වසර බොහොම වැදගත්.පුද්ගලික මතිමතාන්තර කොහොම වුනත් 2009 දැන් අවසානයි.

මිනිසාට නවතන්නට බැරි දේවල් 2න් එකක් තමයි කාලය...

ඉතින් නව වසරක ඇරඹුමත් සමග මම ප්‍රාර්ථනා කරනව ඔබ සැමට සිතේ තිඛෙන සියළු බලාපොරොත්තු සඵල වන නව වසරක් වේවා කියල....

වසරක් ගෙවී තව වසරක උදාවය
සිත් තුල පිරී ඇත්තේ සුභ නිමිත්තය
මගෙ රට උදාරයි නිදහස ලැබී ඇත
රටටත් ඔබ සැමටත් මගෙ ප්‍රණාමය

නෙතට පෙනෙන දේ සීමිතය .. සිතට පෙනෙන දේ අසීමිතය... ඒ නිසා සිතින් බොහෝ දේ දකින්නත් නෙතින් පෙනෙන දේ නිවරදිව වටහා ගැනීමටත් හැකි වන්නා වූත් .... හෙට දිනකට ඇරයුම් කරමින්  වසරේ  අවසාන blog ලියවිල්ල අවසන් කරමි.

Saturday, December 26, 2009

ඉරිදා පත්තරයක් ගිය දුර ........






මම නොවරදවා කරන දේයක් තමයි ඉරිදා පත්තරේ බලන එක . හැබැයි ඉරිදා කීවට පත්තරේ බලන්නේ සෙනසුරාදා. ඒ අතින් අපේ රට දියුණුයි. අනික  on line පත්තරේ බලනවට වඩා මම කැමති කඩේ ගිහින් පත්තරේ ගෙනත් ගෙදර සාලේ බිම එලාගෙන පත්තරේ බලන්න . ලංකාදීප සහ සිළුම්ණ තමයි මම බලන ඉරිද පත්තර.අනිත් ඒවත් බලන්න නම් කැමති. ඒ ඔක්කොම ගත්තොත් මගේ පඩිය පත්තර වලටම ඉවර වේවි.
සිළුමිණ නම් ගොඩක් බලන්නෙ අම්මා තමයි.ඒකට හේතුව ඒ පත්තරේ මංගල යෝජනා ගොඩක් තියන එක. ඒවා කියවල ඒවට උත්තර දාන එක ඇගේ විනෝදාංශය වෙලා. ඒ දැක්කම මට ඈ ගැන දුකයි. මා නිසා ඇයට කෙතරම් සිත් කරදර ද. කොච්චර එපා කීවත් ඈ අහන්නේ නැති නිසා දැන් මම ඇයට ඉඩ දී සිටිනව.

රසදුන පත්තරේ තිබුන පුංච් ලිපියක් දැකලයි මට මේ post එක ලියන්න හිතුනේ

"එක්කෝ ඔබට රෝස මල අග කටු ඇතැයි සිතා දුක් වීමට පුළුවන. නැති නම් කටු අත්ත අග රෝස මල පිපී ඇතැයි සිතා සතුටු වීමට පුළුවන."   
ඒ තමයි පත්තරේ තිබුන ටික...

මේ තියෙන්නෙ මට හිතුන දේ
මගේ දුක හා මගේ සතුටට අන් කිසිවකු වග කිව යුතු නොවේ.මගේ දුක හා මගේ සතුට තීරණය වන්නේ මගේ සිතුවිලි තුලින්මය.


ඒ නිසා මා මෙසේ සිතමි.

ඔබ මට ආදරේ නැතැයිසිතා  දුක් වෙනවා වෙනුවට . ඔබට මා ආදරේ කරන බව  සිතා මම සතුටු වෙමි .

ඉරිදා පත්තරයක් ගිය දුර ........

Thursday, December 24, 2009

"සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ...


"සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ...එක් වූ පෙම්වතුන්,..... සැබෑ පෙම්වතුන් ලෙස,ජිවත් නොවේ,වෙන් වී ගියවුන් , සාදාකල් පෙම්වතුන් ලෙසට,ජිවත් වෙයි...


මේ කතාවෙත් ඇත්තක් තියනව නේද?

මනුසත්වයා කවදාවත් සෑහිමකට පත්වෙන ජාතියක් නෙමෙයි. ඒ වගේම තමයි නොලැබෙන දේට ආස කරනව ... නොලබෙන දේට වඩවඩාත් ආසා කරනව. අර සින්දුවකුත් තියෙන්නේ... නන්දා මාලනී මහත්මියගෙ


" නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන . . . .
නෙලා ගෙනා කිසිම මලක් නෑ ඔය තරමට ලස්සන . . .


සීන මවාගෙන දහසක් තනියෙන් රස විඳපු . . .
බිතු සිතුවම් රූ මෙන් හද තෙලිකඩ මත ඇඳපු . . .
ලොවට හොරා පැස පුරවා ගෙනවිත් හැඩ බලපු . . .
ලස්සන නැති හැටි මල් වල ඉස්සර මම නෙලපු . . .


මුහුන දෙමින් සැඩ පහරට අනංගයා විදපු . . .
නොදැක හිටපු දවස් වලදි ඉකි බිඳ බිඳ හඬපු . .
කාත් කවුරුවත් නැති තැන තුරුලු වෙලා දොඩපු . . .
පැහැය සුවඳ කොහි ගිහින්ද මල් වල මම නෙලපු . . .


මිනිසුන්ගෙ හිත් හරිම පුදුමයි නේද........


අළුත් අවුරුද්දකුත් ලග නිසා හිත් නරක් කරගන්නෙ මොකටද .... ඔන්න මම ගියා......

Friday, December 18, 2009

ආදරය ආත්මාර්ථකාමීද ...................




අපි ඇත්තටම ආදරේ කරනවද ? හොදට හිතල බැලූවොත් අපි ආදරේ කරනවට වඩා අපි කරන්නේ ආදරේ ලබා ගන්න වෙහෙසෙන එක නේද?අනිත් අතට අපි ආදරේ කරන්නෙත් අපිට ආදරේ කරනව කියල අපි හිතන අයට විතරයි.

අපි පුංචි කාලේ අම්මට තාත්තට ආදරේ එයාලත් අපිට ආදරේ නිසයි.සහෝදර සහෝදරියොත් අපිට ආදරෙයි අපිත් පෙරලා එයාලට ආදරෙයි.ඊට පස්සෙ කරදඩු උස්මහත් වෙන කොට ඒ ලැඛෙන ආදරේ මදි වෙනව. අපි අපේ මහා මෙහෙයුම දියත් කරන්න පටන් ගන්නවා. ආදරේ සොයනව. මම, මට..  ආදරේ කරන කෙනෙක්.මම ආදරේ කරන කෙනා මට ආදරේ වෙන්න ඕන. අපි හිතන්නෙ එහෙමයි. පෙරලා දෙයක් බලා පොරොත්තු නොවී ආදරේ කරනව නම් ඒ ඛෙහොම ටික දෙනයි.

මේ පුංචි කතාව ඇත්ත කතාවක්.මට කීවේ මම ගොඩක් ආදරේ කරන ඒත් මට ආදරේ නොකරන කෙනෙක්.

ඒ බොහොම ප්‍රසිද්ධ අගනුවර පිරිමි පාසලක්.ඒ පාසලේ නියෝජ්‍යය විදුහල්පති බොහොම සැර පරුෂ කෙනෙක්. නමුත් දරුවන්ට ගොඩක් ආදරෙයි.ඒ වගේම මැදිවියත් ඉක්මවා සිටිය ඔහු අවිවාහකයෙක්. දිනක් ඔහුට පාසලට හසිදි පණිවිඩයක් ආවා. සිසුන් බලාඉද්දිම ඔහුගේ දෑසට කදුළු පිරුණ. ඔහුගෙ මව මිය ගිහින්. පාසල් දරුවො මළ ගෙදරට සහභාගි වෙන්න ගියා.ඔවුන්ටත් ඔහු ගැන දුකයි.ඔවුන් මළ ගෙදරදී දැක්ක සැරපරුෂ ප්‍රතාපවත් මිනිසා ඛෙහොම අසරණ විදිහට තම මවගේ දෙණ ලගට වෙලා ඉන්නවා. ඔහු අසලම ඔහුගේ සමවයසෙම ගැහැණු කෙනෙක් .... ඒ කවුද? කාගෙත් සිත් වල ඒ පැණය තිබුන. ඒ කවුද කියල කවුරුවත් දන්නෙ නෑ.

ඊට වසර 03 කට පස්සෙ ඔහු විශ්‍රාම  ගියා. ටික දිනකින් ආරංචිවුනා ඔහු විවාහ වෙලා කියල.සමහරුන්ට නම් ඒක විහිලූවක් වුනා. ඒත් දන්නවද ඔහු විවාහ වෙලා තියෙන්නෙ එදා මළ ගෙදරදි ඔහු ලග තනියට සිටි ඒ ගැහැණිය සමග.ඒ ඔහු තරුණකාලේ ආදරේ කළ සුන්දර තරුණිය. ඇයව විවාහ කරගන්නවට ඔහුගේ මව ඒ කාලේ කැමති වෙලා නැහැ. ඉතින් ඔහු මවගේ සිත රිදවලත් නැහැ.  තමන්ගේ ආදරේ වෙනුවෙනුවෙන් ජීවිතේම කැපකරල. ඔහු වෙනුවෙන් ඇයත් අවිවාහකව ඉදල.

මගේ
ප්‍රශ්ණය මේකයි ඔහු ජීවිතේ අකලට නැතිකරගත් කෙනෙක්ද.... අවසානයේ සියල්ල හිමිකර ගත් කෙනෙක්ද?

Wednesday, December 16, 2009

තවත් වසරක අවසානයට ...........


තවත් වසරක අවසානයට දන්නෙම නැතිව ලගා වෙලා. ආපහු හැරිලා බලන්න නම් මම කැමති නැහැ. මොකද කියනව නම් ගෙවුන කාලය ගැන හිතනඑක තැවෙන එක පලක් නැති දෙයක් නිසා.

මිනිසුන් කියන සත්ත්ව කොට්ඨාශය අමුතුම කොටසක්. සුන්දර මින්සුන් වගේම බොහොම අසුන්දර  (රූපයෙන් නොවේ  ) අයත් ඒ අතර ඉන්නවා. බොහොමයක් දෙනා හදුනා ගන්නට හැකි නම් ඔබට තේරේවි ඔවුන් සුන්දරයි කියල.

මෙය ලියන මමත් කියවන ඔබත් කෙතරම් වෙනස්ද භෞතිකව හිස ඇග කණ් නාස් ඇස් මෙකී නොකී දේවල් වලින් මිනිසුන් ලෙස සමාන වුනත් සිතින් අපි සෑම විටම කෙතරම් වෙනස් ද

මේ කණෙන් රිංගලා එහා කණෙන් යන අය
ගෝනි නැතිව කරේ යන අය
දෙකට ගණින්න බැරි අය
බබලා වගේ අය
හැමවෙලේම අඩන අය
හොස්ස ලගින් මැස්ස යන්න බැරි අය
හතර පෝයට සිල් ගන්න අය
බොහොම අසරණ අහිංසක අය
සල්ලාල අය
පවුල් බර කරට ගත්ත අය
ජීවතේ රස විදින්නෙ නැති අය
කකා බිබී ජොලි කරන අය
දවසට වේලක්වත් කන්න නැති අය
අයියෝ  ගොඩයි

ඔබත් මමත් මේ එහකට විතරක් නෙමෙයි කිහිපයකටම අයත් වෙන්න පුලුවන්... ඒකත් හොදයි.. එතකොට ජීවිතේ විවිධයි. නැත්තම් ඔක්කොම එක වගේ වුනාම කිසිම ගතියක් නැහැනේ නේද..

සමාජය ගැන හිතන්න ගියොත් අන්තිමට වෙන්නෙ එල්ලිලා මැරෙන්න. ඊට මීට වඩා හොදයි. මේක මෙතනින් නවතන එක. කෙහොම වුනත් 2010ට තව ටික දවසයි. කාගෙත් සිත් සතන් නැවුම් වෙන වෙලාවක ගැට ගැහුන නූල් බෝල ගැන කියන එක තේරුමක් නැහැ.... එහෙනම් කාටත්
 සුභ නව වසරක් වෙන්න කියලා කියන ගමන්මේ වසරේ මට කරන්න තියන ඉතිරි වැඩ කටයුතු ටික නිමකරන්න ඔං මම ගියා..............

Tuesday, December 8, 2009

ඔයයි ... මමයි....


සද ළග තියන පුංච් තරුව ට සද පේනව වගේ මටත් මගේ සද පේනවා.......
ඒත් සදට පුංච් තරුව තියනවද කියලවත් වගක් නෑ වගේ..............
සමහර විට සදට තරුව අමතක වෙලාද........
නැත්තම් සදේ ආලෝකය නිසා  තරුව පේන්නෙ නැතිව ගිහින්ද.....

තරුව සදට ආදරේ තරම ... ලෙංගතු තරම් සද දන්නේ නෑ.....
තරුව තනිවෙලා අදුරේ හිටපු යුගයෙ තරුවට උදවුවට ආවෙ සද..
එදා ඉදන් තරුවේ ජීවිතේ වුනේ සද......
ඒත් තරුව දැන ගෙන හිටියේ නැහැ සද අයිති වෙන කෙනෙක්ට කියල......
සදටත් ඒවගක් තරුවට කියන්න බැරි වුනා....
අන්තිමට සද කරේ තරුව අදුරන්නේ නැති ගානට ඉන්න එක ...
ඒකට සදට සාධාරණ හේතු ඇති කියල තරුව හිතනව...
ඒත් තරුව තාමත් සද දිහාම බලන් සද ලගටම වෙලා ඉන්නව...
සදට තරුව ගැන බලන්න දැන් වෙලාවක් නෑ ....
තරුව මතක නැති වෙලාද ....
කමක් නෑ..............

සද නැතිව තරුවට තනියෙන් ඉන්න වෙනව කියල තරුව දවසක දැන ගන්න ඕන ........

Sunday, December 6, 2009

වෙරි මතට තිත

මත්පැන් පානය හොද දෙයක් නූනත් සමහරුන්ට මේ සත්‍ය තේරුම් යන්නෙ වෙන්න තියන හානිය වුනාට පස්සෙ. මත් පැන් පානය කිරීම නිසා ආතක් පාතක් නැතිව විකාර නටන අය වගේම කෙළින් හිට ගන්න බැරි තරම් වෙරි වූ අයට බොහොම හොද බේතක් ලූ කෙසෙල්........

කෙසෙල් කොහොමත් ගුණදායකයි. වෙරි අඩු කරන පලතුරක් කියල දැන ගෙන ඉන්න එකත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි සමහර වෙලාවට.

මෙහෙමනෙ කෙසෙල් වල විටමින් ඊ (E) තියනව. විටමින් ඊ චින්තනය නිරවුල් කරන්නට ඉවහල් වෙනවා. (රට පාලනය කරන ච්න්තනය නෙමෙයි හොදද.) එසේම මේ පලතුරෙහි පෘක්ටෝස් නැමැති සීනි වර්ගය තිඛෙනව. එය මධ්‍යසාර පරිවෘත්තීය ක්‍රියා වලිය ට ලක් කිරිම වේගවත් කරල වෙරි මත ඉක්මනින් අඩු කරන්න කටයුතු කරනව කියලා සොයා ගෙන තියනවලූ.

කොහොම වුනත් මේ ගැන අත්දැකීම් මට නැති නිසා. මේක ඇත්තද බොරුද කියල කියන්න පුලූවන් වෙන්නෙ ඔයාලටම තමයි..... අත්හදා බලපු අය ඉන්නව නම් ඒ ගැන කියන්න .. නැති අය අත්හදා බලන්න.....

Wednesday, December 2, 2009

ආදරය විවාහය සැකය සහ විශ්වාසය

මගේ හිතවතියකගෙ blog post එකක් කියවුවම මට හිතුනා මේ ලිපිය ලියන්න. ඇත්තටම නම් මේක සරත් විෙජ්සූරිය මහතාගේ "ජීවිතයට ගරු කරන්න" කියන පොතෙන් උපුටා ගැනිමක්.

මධ්‍යම පාන්තික අඹු සැමියන් බහුතරයක් සැකයෙන් ජAවත්වන බව පැහැදිලි කරුණකි. සැකය පෙනය පුප්පන්නේ විශ්වාසය නොපවතින විටය.ආචාර්ය මැක් ආර් ඩග්ලස් අපුරු අදහසක් පවසා ඇත.
"පුද්ගලයා ඔහුගේ සිහින තරම් ම තරුණය. නැතහොත් ඔහුගේ සැකය තරම් ම මහලුය.ඔබගේ සැකයට නොව, ඔබගේ සිහින වලට ඔබ ජීවිතය පාලනය කරන්නට ඉඩ දෙන්න."

මෙහිදA සිහින යනුවෙන් අදහස් කරන්නේ ජීවන අපේක්ෂාවන්ය.සැකය භයානක ලෙස බලපෑම් කරන්නේ අඹු සැමි සම්බන්ධතාවයේ දීය. ප්‍රේම කරන කාලයේදී සැකය තාවකාලික ලැගුම් පොළක් වෙයි.අඹු සැමියන් ලෙස ජීවත්වන විට දැනෙන සැකය අවිහිංසක නැත.එය දුෂ්ඨ චේතනා පහළ කරයි.සියලූ මානව හරය විනාශ කරයි.

සැකයේ තියෙන භයානක කම පෙන්වන්න මේ පුංචි කතාව ඔයාලට ඇති.

කිස් පංලූඩු ලේඛකයාගේ "නොපෙනෙන තුවාලය " මේ කතාව ගොඩක් දිගයි. සාරාංශය මේකයි.

ඒ කතාවේ ප්‍රධාන චරිතය රදළයෙකි.ඔහු විවාහ කර ගන්නේ අසල සිටු මැදුරක වාසය කරන දේවියට සේවය කළ සුරූපී තරුණියකි.මේ තරුණිය රදළයාට අතිශය ප්‍රේමයෙන් පසුවන්නීය.ඒ ප්‍රේමය ඔහුගේ සැකයට භාජනය වේ.දිනක් බිරිද මැදුරේ නැති වේලාවක ඇගේ ලාච්චුවක් අරින රදළයා ලියුම් මිටියක් සොයා ගනී.ඒ ලියුම් වලින් පැහැදිලි වන්නේ (ඔහු තීරණය කරන්නේ )තම බිරිදට අනියම් පුරුෂයකු සිටින බවය.ඔහු සිය බිරිද මරා දමයි.අවසන හෙළිවන්නේ ඒ ලියුම් තම බිරිද සේවය කළ සිටු දේවියට අයත්ව තිබු ලියුම් බවත් ඒවා පරිස්සමට තැබීමට තම බිරිදට දී ඇති බවත්ය.ඔහු ජීවිතය නැති කර ගනී.

වෙනත් නිදසුන් කුමටද ..............

දෙදෙනකුගේ බාහිර සාදක වලට ආකර්ෂණය වී ජීවිතය පටන් ගත්තද කෙනෙකුගේ මනස පටුනම්  පැවැත්මක් නැත.දෙදෙනෙකු අතර ආදර සම්බන්ධතාවයක් ඇතිවීමේ පදනම විය යුත්තේ හදුනා ගැනීමය.ඒ හදුනා ගැනීම දුර්වල නම් අනපේක්ෂිත ප්‍රශ්ණ ඇත් වන්නේ නිතැතිනි.

Tuesday, December 1, 2009

ජීවිතය ලස්සනයි




ජීවිතය ලස්සනද තේරුම් ගන්න පුලූ්වන් ද... ප්‍රශ්ණ ගොඩයි නේද. විසදුම් නැහැ.සිතට විවේකයක් නෑ නේද.....ප්‍රහේලිකා ගොඩයි.ජීවිතේ ගැන සැහැල්ලුවෙන් හිතන්න පුලුවන් නම් . කියන්නනම් ලේසි ....

මගේ ජීවිතේ ගැන හිතුවම හිතෙනව මට මොන ප්‍රශ්ණද කියල. කාලයක් සැහෙන්න හිතේ දුකින් වෛරයෙන් හීනමානයෙන් හිටිය කෙනෙක් මම.ඒත් ටිකින් ටික ජීවිතේට මූණ දෙන්න ඕන කොහොමද කියල දැන් මට තේරෙනවා. බොහෝමයක් සිත් රිදවීම් වලට මුල අපේම වැරදි.කිසිකෙනෙක්ට වුවමනාවට වඩා ලංවුනාමත් ගොඩක් දුරස් වුනාමත් තමයි සිත් රිදවීමි වැඩි වෙන්නේ.ආදරය නොලැබීම සහ මුදල් හදල්  තමයි ගොඩක් දෙනාගෙ හිත් රිදවීම් වලට හේතුව.

මනුස්සයෙක් වුනාම කාගෙහරි ආදරයක් ජීවත් වෙන්න ඕන වෙනවා. ඒක අපි පිළිගන්න ඕන.ඒත් ගොඩක් වෙලාවට අපි කැමති අය අපිට ආදරේ නෑ ලැඛෙන්නේ නෑ. අපිට ලැඛෙන අයට අපි ආදරේ් නෑ. මට ඔය වර්ග දෙකෙන් එකක්වත් නෑ. ආදරේ හොයාගෙන ගිහින් මම ගොඩක් හෙම්බත් වුනා. ලැබුනෙ සිත් රිදවා ගැනීම් විතරයි. ආදරයක් නැතිව සිද්ධ වෙන යාන්ත්‍රික විවාහයක තේරුමකුත් නෑ. ඉතින් ඒ නිසා මම තනියෙන්.
ගැහැණු ළමයෙක් වුනාම ලස්සන වෙන්න ඕ්න කියන කතාවෙ සෑහෙන්න ඇත්තක් තියනවා.( ඔන්න නෑ කියන්න නම් එපා.)හිත කොච්චර ලස්සන වුනත් ගති ගුණ කොච්චර හොද වුනත් පලක් නැහැ. ඒව සමහරුන්ට තේරෙන්නෙ ගොඩක් පරක්කු වෙලා.

මම මගේ ජීවිතේට ගොඩක් ආදරෙයි. වෙන අයට ලබා ගන්න අමාරු දේවල් ගොඩක් මට ලැබිලා තියනවා. මට නැති වෙන අයට තියන දේවලුත් තියනවා. ඒවට ඊර්ෂ්‍යා කරලා මොන සැනසීමක්ද.මගේ ජීවිතේට ලැබිල තියන දේවල් වල සතුට ඛෙදා ගන්න විශේෂ කෙනෙක් ලග නැති වුනත් යාළුවො කිහිපදෙනෙක් ඉන්නවා.විශේෂ කෙනෙක් ලැඛෙAවි සමහර විට මම ගොඩක් වයසට ගියාම.
පරිණත වෙන්න වෙන්න මිනිස්සු සාධාරණව හිතනවා.

නොලැඛෙන දේ වලට නොහඩා ඉන්නත් ,ලැඛෙන දෙයින් හිත සනසා ගන්නත්,  හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න
ත්,අසාධාරණයට එරෙහිව නැගී සිටින්නත්, අනුන්ට පිහිට වෙන්නත් පුලුවන් නම් ලැබුන ජීවිතේ දුකක් නැතිව ගෙවන්න පුලුවන් කියන එක මගේ හැගීමයි. ජීවිතය ටික කාලයයි. ඒ ටික කාලයේ විදව විදව ඉන්නවද විදිනවද කියන එක ඇත්තෙ තමා අතේමයි. ඇත්තටම ජීවිතේ සුන්දරයි.

Saturday, November 28, 2009

සේකර ඔබ අමරණීයයි


සේකර ඔබ අමරණීයයි

මහගමසේකර ගැන  දන්න අය සේකරට කැමති අය ගොඩක් ඉන්න බව මම දන්නවා.

වැඩි කතා මොකටද සේකරයන්ගෙ සොදුරු සිතේ පහල වුන සොදුරු හැගීම් කීපයක් ලියා තියන්න මට හිතුනා.

පාලු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්වන
බලාපොරොත්තුව පැතුම ඇයයි

අසාර වූ මහ පොළව මමයි
ගලා බසින දිය දහර ඇයයි
යුගයෙන යුගයට හදවත් නලවන
සදාකාලික වු සැපත ඇයයි

කැළෑව මැද කටු පදුර මමයි
පිපී වැනෙන මල් පොකුර ඇයයි
යුගයෙන් යුගයට හදවත් පුරවන
අදුරු වේදනා කැටිය ඇයයි

ප්‍රේමය පතමින් ඒ ප්‍රේමය සාක්ෂාත් කර ගන්නට බැරිව ඈත සිට ඉදිරිපත් කරන අභියාචනයක් නේද ....

ම්් ම් .................
--------------------------------------------------
අරුණොදයේ ළා හිරු රැස් මත නටන
පිනි බිදුවක් ලෙසට ඔබ මට මුණ ගැසින
දැඩි හිරු රැසින් මිරිකෙන්නට පෙර නිවෙන
පිනි බිදුවක් ලෙසට ඔබ අහසට නැගින

----------------------------------------------------

මා මළ දවසක
සීතල මළ කද
ඔබගේ තුරුලෙහි
උණූසුම් කළ මැන
දෙතොලින් දෙතොලට
උණුසුම් පණ පිඩ
මේ පොළවෙම යළි
මා බිහි කළ මැන

----------------------------------------------------
හිමගිරි කුලු ඉහල නැගීවලා සිබින
අහස පොළව දෙක මුසු වන
නිල් මිටියාවත මැද්දෙන්
සුදු මීදුම් පීරාගෙන
සුදු පියාපත් සලමින්
නැල බැස පාවී යන
සිහින මුවා අසුපිට නැග
සතර කතර ගිමි සනහන
මරණී නමි කෙම්බිම වෙත

&මේ ගීතය සේකරට ගොඩක් කැමති මගේ ම්තුරාට

Thursday, November 26, 2009

තේරුමි ගැනීම

හිත තේරුම් ගන්න කෙනෙක් ...... හීනයක් වගේද . නෑ ඒක හීනයක් නෙමෙයි. අපිට හමුවන බොහෝ පුද්ගලයන් අතර එක්කෙනෙක් දෙන්නෙක් පුදුම විදිහට අපිව තේරුම් ගන්නවා. මම කියන්නේ නෑ 100% ක්ම තේරුම් ගන්නවා කියලා. මොකද අපිටවත් අපිව තේරුම් ගන්න බැනෙ නේද.

ඒ වුනාට අපිව බොහොම හොදින් තේරුම් ගත්ත, තේරුම් ගන්න කෙනෙක් අපි කාටත් වගේ ඉන්නවා.මතක්කරල බලන්න ඒ කවුද කියල.................... "අම්මා" .... ඇය අපිව කොයි තරම් හොදට තේරුම් ගන්නවද.. සමහර වෙලාවට අපි හැරෙන කොට ඇය දන්නවා මොනා කරන්නද හදන්නෙ කියල.අපිට බඩගිනිද නැද්ද, අපි හිතේ අමාරුවෙන්ද, අපිට නිදිමතද ,අපි තරහින්ද අපි කාටහරි ආදරෙන් බැදිලද .................. මෙකී නොකී ගොඩක් දේවල් ඇයට තේරෙනවා නේද. ඒ තේරුම් ගැනීම අපේ යෞවන කාලෙදි අපිට හරිම කරදරයක් නේද?

අපි අම්මට ගොඩක් ආදරේ ඇය අපිව හොදින් තේරුම් ගන්න නිසා නේද.

ඊට පස්සෙ අපේ ජීවිතේට එකතුවෙන කිදෙනාටද පුළුවන් අපිව තේරුම් ගන්න. එහෙම අය හමුවුනාම හිතට හරිම සහනයක් දැනෙනවා. සමහරු අපේ අදහස් එක්ක ගොඩක් පරස්පර අදහස්. ඒත් ‍එකිනෙකා තේරුම් ගැනීම හරිම ඉහලයි. අපි කාලයත් එක්ක සමහර පුද්ගලයන් එක්ක බොහොම ලෙන්ගතු බැදීම් ඇතිකරගන්නෙ මේ තේරුම් ගැනීම නිසා කියලයි මට හිතෙන්නෙ.

මම හිතන විදිහට නම් මම ගොඩක් හොදින් තේරුම් ගන්න පුළුවන් සරල චරිතයක්. විවෘත මනස ඒකට පිටුවහලක් වෙලා තියනවා.

"රසෝඝය' තිබුන ලිපියක්( http://rasogaya.blogspot.com/2009/11/blog-post_18.html) කියවද්දී මට හිතුනා තේරුම් ගැනීමත් එක්ක මිනිස්සු කොයි තරම් හිතින් බැදෙනවද කියල.විවාහක ජෝඩුවකින් එක් අයෙක් මිය ගියහම ඒ ආසන්න වසර කාලයක් තුල හදබැදි අනිකා මියයන බව සැබෑවක් ( තදින් සිතින් බැදි තේරුම් ගැනීම ඉහලින් ඇති යුවලවල් ). 

විවාහක අය පමනක් නෙමෙයි යාළුවො , නෑදෑයෝ ,හිතවතුන්...... කාටත් පොදුයි. හොද බැදීමකට අනිකා තේරුම් ගැනීම කෙතරම් වැදගත්ද...........................

තේරුම් ගන්න වෙහෙසෙන 
මම
෴වත්෴

Monday, November 23, 2009

මගේ සමණලයාට .......



හිදිමි ඔබ ලග සදුට රහසින්

ගෙනෙමි හද සුව ලොවට රහසින්

සුවද ගෙනදී හදට රහසින්

පරව යමි මම ඔබට රහසින්

ඔබට රහසින් පරවෙන 
මම 
෴වත්෴

Saturday, November 21, 2009

...... රෝස පාට මට එපා ......

තකහනියක්ම blog එකේ  පාට වෙනස් වෙලා කියල අදුරන අය නම් හිතන්න ඇති.අදුරන කියල කීවේ මගේ blog එක කලින් බලල තියන අය. එයාලා කොහොමත් මට මගේ හොදම යාළුවො තමයි. භෞතිකව යාළුවෝ කියල ආශ්‍රය කරන අයට වඩා හිත කියවන්න පුළුවන් යාළුවො කිහිපදෙනෙක් මට මේ ලිවිල්ල නිසා මුණ ගැහුණා.

ඒකනෙමෙයි ,මම දැන් රෝස පාටට ආස නැහැ. කාලයක් මගේ ආසම පාට තමයි රෝස. සාරියක් ගත්තත් වෙන ඇදුමක් ගත්තත් සපත්තු සෙරෙප්පු ගත්තත් ,හැමදෙයක්ම නිතතින්ම රෝස පාට තමයි. ඒ කාලෙ පටන් ගත්ත මගේ "සොදුරු සිත”ත් රෝස පාට වුනේ ඒකයි. ඒත් දැන් මගේ තේරීම (පාට ) වෙනස් වෙලා. රෝස පාට හරිම බොලදයි කියලා දැන් මට හිතෙනවා. රෝස පාට මාව පොඩි ළමයෙක් කරා , නොමේරු , නොගැඹුරු බොලද දේ වලට මාව යොමුකරා කියල මට හිතෙනව.

වෙලාවකට බොලද බවත් හොදයි තමයි. ඒත් දැන් මම වැඩිහිටියෙක් නිසා මම කැමති බොහොම සරලව ඒත් තාත්ත්විකව ලොව දකින්න. ඒක මගේ ගොඩක් ප්‍රශ්ණ වලට විසදුමක් වේවි.

සමහර පිරිමි අය හිතන විදිහ හරිම හරිම .. හරිම .... හරිම .... අගෙයි. ගැහැණු අපිට ඒව තේරුම් යන්නෙ ටික කාලයක් ගියාට පස්සෙ තමයි. අපිට ( මම දන්න විදිහට මට) හිතෙන්නෙ පිරිමි ප්‍රශ්ණ වලින් පැනලා යනව , ඈත් වෙන්න හදනවා , ගනන් ගන්නෙ නැතිව ඉන්නවා කියල. එතකොට අපිට දුකයි, තරහයි. එයාව නම් ඕනම නෑ කියල හිතෙනවා. (මම කියන්නෙ ආදරේදී විතරක් නෙමෙයි, යාළුවො ගැනත් මේක අදාලයි) ආදරේ ගැන මම තවම හරියට දන්නෙ නැති නිසා මට ඒ ගැන කියන්න බෑ. මම ආදරේ කරා තමයි .ඒත් ඒ නියම ආදරේ කියල මම හිතන්නේ නෑ.

ඉතින් කාලයත් එක්ක අපිට තේරෙනවා ‍එදා මොකද ඒ පිරිමි කෙනා නිශ්ශබ්දව හිටියෙ කියල. සමහර විට ඒ ගැහැණියගෙම හොදට තමයි ඒ පිරිමි කෙනා නිහඩව ඉන්න ඇත්තේ. සියළු දේ ගැහැණියට තේරුම් යනකොට සමහර වෙලාවට ඒ සුන්දර පිරිමි හිතට ගොඩක් දුක් දීලා ජීවිතෙන් සදහටම පන්නල දාලත් ඉවරයි.
මම මේ කීවේ සියළු දෙනා සම්බන්ධව නම් නෙමෙයි. මට හමුවූ බොහෝ දෙනා ට ඒ වගෙ සොදුරු සිත් තිබ්බාග. ඒකයි මම අදටත් මේ සුන්දර හිතත් අරන් සතුටින් ඉන්නේ. මම හිතනව මම ඒ සියළු දෙනාව තේරුම් ගත්තා කියලා. ඒ ගොඩක් අය මටත් වඩා මට ආදරේ කරපු අය. ඒකයි එයාලා මගෙන් ඈතට ගියේ. අද වෙන කොට මම හැමදේම වටහා ගත්තා. ඉතින් තවත් මට රෝස පාට නම් එපා.................................................

රෝස පාටට අකමැති  
මම
෴වත්෴

Thursday, November 19, 2009

"පොඩි වැවක ලොකු මාලුවෙකු වීම"

සුපුරුදු දින චර්යාව ටිකකට වෙනස් වුනා.මේ දවස් ටිකේම training .අනිත් කාරණේ තමයි එක තිබිබේ සේවා ස්ථානයේ නෙමෙයි.ඒ නිසා හැමදාම වැඩට යන එන එකට වඩා ටිකක් වෙනසක් වුනා.අනික ආදරේට වඩා කරන්න ගොඩක් අර්ථවත් දේවල් ලෝකෙ තියනවා කියලා හිත හදාගන්නත් මේ වෙනස මට ලොකු අස්වැසිල්ලක් වුනා.

ඉස්සර නම් රජයේ කන්තෝරුවල training කිවම බඩ පිරෙන්න කාලා බීලා දේශනයේදී නිදිකිරන එක තමයි කෙරෙන්නේ.ඒත් දැන් ඒ ක්‍රමය වෙනස් වෙලා.නව තාක්ෂණ ක්‍රම භාවිතයෙන්, පරණ ශිල්ප ක්‍රම වලට ආයුබෝවන් කියල සංවාදාත්මකව තමයි මේ පුහුණුවැඩ මුලූව පැවැත්වුනේ.

රාජ්‍ය සේවය හරියට කරනව නම් පිංකෙතක්.මහජන සේවය හරියට කරනව නම් ඒ ආශිර්වාදයම ඇති ජීවිතේට.
මේ තරම් රාජ්‍ය සේවයට ආවඩන්නෙ ඇයි කියලා ඔයාල හිතාවි.මම එහෙම කියන්නේ අත්දැකීමෙන්. මොකද මම වැඩ කරන්නේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයක නිසයි. ඒකත් මගේ ගමේම ප්‍රා.ලේ කාර්යාලය.
මට පැවරිලා තියෙන රාජකාරියට අමතරව තව තව පොඩි පොඩි රාජකාරි කරන්න වෙනව ඒ නිසා. ඒව පටන් ගන්නේ උදේ ගෙයින් එළියට බහින කොටම තමයි. "දුවේ මට උප්පැන්න සහතිකයක් ගන්න තියනවා අද ආවෝත දු ඉන්නවා නේද." "ආදායම් බලපත්‍රයක් ගන්න ඔAන ගාන කීයක් වෙයිද?" "ගහක් කපන්න තියනවා permit ගන්නේ කොහොමද" "පාස්පෝට් එක කල්පහු වෙලා ඒකට දැන් අලූත් එකක් හදා ගන්නෙ කොහොමෙයි." මනුස්සයෙක්ගේ උපතේ ඉදන් මරණය තේක්ම වුවමනා වෙන තැනක් තමයි අපේ කාර්යාලය.
සමහර ඉල්ලීම් නම් හරි අසාධාරණයි. "ආදායම් බලපත්‍රය ගන්න ඕන ඒත් වාහනේ පොත නැති වෙලා බැරිද මුකුත්.... "අසරණ වෙන්නෙ මම. පොත නැති වෙලා නම් ඒකට මෝටර් රථ දෙපාර්තමේන්.=වටයන්න ඕන ඉස්සෙල්ලා. කෙටි ක්‍රම වලට යන්න බෑ. කොහොමවුනත් වැඩක් කරල දුන්නට පස්සේ මූණක ඇදෙන සතුට දැක්කම රුකියාව ගැන අසීමිත බැදීමක් දැනෙනවා.

ගමේ කාර්යාලයට ආවට පස්සෙ ඉස්සර මාත් එක්ක කතා නොකළ මූණවත් බැලූවෙනැත් උදවිය දැන් මාත් එක්ක බොහොම හොදයි.

කවුරු කොහොම කීවත් දැන් රාජ්‍ය සේවය සෑහෙන්න දියුණුවක් තියනව.සමහරු නම් අපිට බැනල යනවා. ඒ කරන්න බැරි දේවල් අරන් ඇවිත්. නීත්‍යානුකූල නොවන දේ කරන්න බෑ නොකිය වෙන මොනව කියන්නද. අවශ්‍ය ලියවිලි හරියට තියනම් පැය කීපයෙන් වැඩේ කෙරෙනවා.ඒකට නෙ "සේවාලාභී ප්‍රඥප්තිය " කාර්යාලයට ගොඩවැදෙන තැනම ප්‍රදර්ශණය කරන්නේ.

කාගෙත් වගේම මගෙත් හිතේ තියනවා රැකියාවෙන් ඉහල යාමේ ආසාවක්. ඒත් වෙලාවකට මට හිතෙනවා "පොඩි වැවක ලොකු මාලූවෙක් වෙනවට වඩා ලොකු වැවක පොඩ් මාලූවෙක් වෙන එක "හොදයි කියලා.
වැවේ ඉන්න පොඩිම මාළුවා
මම
෴වත්෴

Tuesday, November 17, 2009

............ සොදුරු සිතක සමුගැන්ම ...........

සමහර වෙලාවට අපි ආදරේ කරන අය අපි ලග නැති අඩුව තදින්ම හිතට දැනෙනවා. ඒ වෙලාවට එයාලා අපෙන් ගොඩක් ඈත් වෙලා දුරස් වෙලා කියලා හිතට දැනුනම දැනෙන වේදනාව කියන්න වචන නැහැ. මම මුලූ හිතින්ම ආදරේ කරපු එකම කෙනත් දැන් මගෙන් ගොඩක් දුරස් වෙලා. මම ආදරේ කරන අය මගෙන් ඈතට යන එක මම ලබා උපන් දෙයක් වගෙයි. ආදරේ කරන අය එකින් එක දැන් මගෙන් දුරස් වෙනවා. තාත්තා අම්මා නංගිලා යාලූවො........ මම ආයෙත් එතනමයි
 ..................................................................................................................................................................
අපි ඉපදෙන්නෙ තනියම ඒත් ජීවත්වෙන්නෙ තනියම නෙමෙයි. ජීවිතෙ ටික ටික ගෙවෙන කොට කීදෙනෙක් ජීවිතේට ලංවෙනව ද කීදෙනෙක් ඈත් වෙනවද එයිනුත් කීදෙනාද මතක හිටින්නේ.ඒ අතරත් හිතට සමීපවන හෘදයාංගම මිනිසුන් අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන්. අපි ආස අපි කැමති අපි ආදරේ කරන අය සමහර වෙලාවට අපිට ගොඩක් ශක්තියක් රැකවරණයක් වෙනවා. සමහරු නම් හිත හඩවල අපිව දාලා යනවා. සමහරු නම් හිත පහුරුගාලා හූරල දාලම යනවා. ඒ පෙර ආත්මයේ කරුම තමයි.

මට මතක් වෙනවා දවසක් මට මගේ හිතවතෙක් කීව කතාවක්. "නංගි කවදාවත් බොක්කෙන්ම love කරන්න එපා. කරනව නම් වල්කමට  love කරන්න. මොකද නැත්තම් අන්තිමට ඉතිරි වෙන්නෙ වේදනාව විතරයි "ඔහුගෙ කතාවට එදා මම හිනා වෙලා නිකම් හිටියත් ඒ කතාව කොයි තරම් ඇත්තද කියලා අද තමයි මට තේරෙන්නේ.

මේ පින්තූරය හොයා ගත්තේ : kagaya pictures

Monday, November 16, 2009

--- මගේ අපලෙ සහ මගේ කේන්දරේ ----


මට හරි වැඩක් වුනා නේ... මගේ වේලාව එන්න එන්නම නරක අතට යන නිසා පොඩිඩක් කේන්දරේ බලන්න හිතුනා. කේන්දරේ හොයා ගත්ත. ඒත් ඒකෙ හිටිය ග්‍රහයෝ ටික පැනල ගිහින්. දැන් කොටු 12 හෙම ඉන්නේ වෙන ජාතියක්. අනේ මන්ද ඒක තමයි මගේ වෙලාව නරක් වෙන්න හේතුව....
ග්‍රහයො ට්ක යන්න ගියේ මගේ ඉරණමට බයේද එයාගෙ ඉරණමට බයේ ද නැත්තම් ඒ දෙකම නිසාද කියලා හිතා ගන්න බෑ මට.
කොහොම වුනත් දැන් කොටු 12 ම පිරලා.නෑ නෑ එක කොටුවක් හිස්. ඒ කොටුවෙත් නොපෙනුනාට මොකෙක් හරි ඇති ජීවිතේ පිරිලා වගේ දැනෙන්නේ ඒකද කොහෙද..
ආදරේ ඉන්නේ 1 කොටුවෙ. දැන් ඉතින් හිතේ වැඩ කරන්නනෙ ඒකමයි. ආදරේ ඔලූවට ඇවිදින්. ඒකයි මේ අපලෙ.
ආදරේ පන්නන්න මොන පූජාව මොන දෙවියන්ටද කරන්න ඕන කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද.... ලොකු උදව්වක්

Sunday, November 15, 2009

...........මගේ ලෝකය...............



Tuesday, November 10, 2009

෴හුදකලාව කලාවක් කරගත් මගේ මිතුරාට෴

මේ ලිපිය ලියන්න හිතුනේ මගේ මිතුරකුගේ Blog එකක ලියා තිබුන ලිපියක් දැකලා. දැකලා විතරක් නෙමෙයි මුල ඉදන් අගට කියවලත් බැලුවා.

එයා නම් කියන්නේ තනිකම කියලා.ඒත් ඒක වැරදියි කියලයි මම නම් හිතන්නේ. මම හිතන විදිහට නම් ඒ තනිකම නෙමෙයි , හුදකලාව..

තනිකම කලාවක් වුනාම ඒක තමයි හුදකලාව.

මගේ ඒ මිතුරාත් තනිකම කලාවක් කරගත් කෙනෙක් වගෙයි පේන්නේ.

  • විශාල පිරිසක් අතරෙ ගැවසෙමින් සිටියා වුවත් තමාගේ ලෝකයට අන්අයට අැතුළු වීමට ඉඩ නොදීම.
  • යහළු මිතුරු ආශ්‍රයෙන් වැලකී සිටීම හෝ ඇසුර සීමා කිරීම.
  • නෑදෑයන් නයාට අදුකොළ මෙන් වීම.
  • හැකි සෑම විටම තමාගේ ලෝකයක තනිවී සිටිම.
  • තමා තනිවී ඇතැයි නිතර නිතර සිතීම.
  • තනිකමෙන් මිදීමට පැහැදිලි මං දුටුව ද , නොදුටු ලෙස සිටිම.
තමයි මම දැක්ක තනිකමේ ලක්ෂණ.................................

හැබැයි ඉතින් තනිකමේ අන්තයටම ගියාම මරණය සැපයි ,මරණය තමයි ගැලවීම කියලා හිතන එක තමයි භයානක..

 මගේ යාළුවනම් එහෙම නැහැ. මගේ යාළුවා තනිකම කවි කරන කෙනෙක්. ඒකයි එයා ගෙ තියන වටිනාකම.

ඔහොම හිටියට ඉතින්, දචසක් ඒවි තනිකමට ආයුබෝවන් කියන. ඒක තමයි ස්වභාවධර්මය. හැබැයි ඒ සමුදීමේ ආරම්භය විවාහය කියල නම් මම කියන්නේ නැහැ. මොකද සමහර පුද්ගලයන් තනිකඩව හිටියට වඩා විවාහය තුල තනිවෙලා ඉන්නවා මම දැකලා තියෙනවා.

ඉතින් එක දෙයක් නම් නොකියම බැහැ.... තනිකමත් එක්ක වෙන්වෙන්න බැරි තරමට ආදරෙන් බැදිලා නම් ශක්‍රයාටවත් බැහැ ඔහුව තනිකමෙන් මුදවන්න.

Sunday, November 8, 2009

෴ආලය සහ රාගය෴


ආලය සහ රාගය යනු එකක් නොව දෙකකි.
ආලය යනු රාගයේ සහ ම්ත්‍රකමේ සම්මිශ්‍රණයකි.


ආදරය යනු ආලය හෝ රාගය හෝ නොවේ.ඒ දෙකම අන්ධයි. එහෙත් ආදරය අන්ධ නැත.

තමා තුල ඇති රාගය අනර්ථකාරී වනුයේ තමන්ට මිස අනුන්ට නොවේ.එය අනුන්ට අනර්ථකාරී වනුයේ ඊට අකරුණාව ද එක්වූ විටය.

අකාරුණිකවීම තමාටත් අනුන්ටත් අනර්ථකාරීය.

ආදරය සහ තක්සේරුව
දුම්වැටිය කෙරෙහි දුම්බොන්නාතුල ඇති අගය වනාහි එය කෙරෙහි වු ඔහුගේ ආදරය නොවේ.
එසේම යමෙකු සතු රූමත්කම ධනවත්කම බලවත්කම දක්ෂතාවය කීර්තිය හෝ ඔහුගෙන් ලැබිය හැකි ප්‍රයෝජන ආදිය කෙරෙහි ඔබ තුල ඇති අගය වනාහි ඔහු කෙරෙහි වූ ඔබගේ ආදරය නොෙවි.

ඔබ යමෙකුට ආදරේ නම් ඔබ ආදරේ ඔහුගේ හදවතටය.ඔහුගේ හදවතට ආදරේ ඔබේ හදවතය.

ආදරය සහ ආශාව
තෘෂAණාව ඇත්තේ හදවත වටකරගෙන සහ යටකරගෙනය. ආදරය ඇත්තේ හදවත ඇතුලේය.
මගේ ආශාවන් ආත්මාර්ථකාමීය. එබැවින් ඒවා අශෝභනය.එබැවින් ඒවා මා ඔබට නිවරදිව පෙන්වන්නේ නැත.ඔබ ද එසේමය. ඔබේ හදවත මට නිවරදිව දකින්නට හැකිවනුයේ එය වටේ ඇති ඔබේ ආත්මාර්ථකාමී ආශාවන් ද ඔබ මට නොසගවන්නේ නම් පමණි.

ආදරය සහ විවෘතකම
රහස් සගවා නොගෙන එකිනෙකා වෙත අප හදවතින් විවෘත වන්නේ නම් එවිට අපූර්ව දෙයක් සිදුවේ. එවිට එම හදවත් එකිනෙකට තුරුලූ වී යාවී පුර්ණත්වයට පත්වේ. එවන් මොහොතක තනිකම කුහකකම මාන්නය ආදී අදුරු වේදනාවන් අපෙන් චුතවී අපට අත්විදින්නට ලැඛෙන නිදහස හා සුවය ආදරය වේ.

ආදරය සහ හදවත
සෑම හදවතින්ම අන් හදවත් වලට ආදරේය. එය හදවතක ප්‍රකෘති ස්වභාවය වේ.
එහෙත් කිසිවකුට දකින්නට ඇසෙන්නට හෝ ස්පර්ශ කරන්නට නොහැකි වන තරමට අපි අපේ හදවත් හිරකරගෙන සගවාගෙන සිටිමු. මෙහි ප්‍රතිඵලය වනුයේ හදවතේ ආලෝකය රසය හා ශක්තිය හීAනවී ගොස් හදවත ගල් වීමය. එබැවින් අප හදවත් නැති රොබෝවරුන් බවට පත්වී සිටිමු.

ආදරය නිරුත්සාහිකය
එකට සෙල්ලමි කරන එකට වැඩ කරන එකට ඉගෙන ගන්න නිතර මුණගැසෙන එකට වාසය කරන අව්‍යජ පුද්ගලයන් අතර නිරායාසව ආදරය මතුවේ. ආදරය මතුවීම සදහා නිදහස සහ පහසුව වඩාත්ම ඇත්තේ සැමියා සහ බිරිද අතරය. උපරිමයෙන් අව්‍යාජ වීමෙන් දිගුකලක් නිබදව ඇසුරු කිරීමටත් වැඩිම අවස්ථාව ඇත්තේ ඒ දෙදෙනාට බැවිනි.

එහෙත් කොපමණ කාලයක් ඇසුරු කෙරුවා වුවත් විහිලූ තහලූවෙන් හා සාමයෙන් පැවතුනා වුවත් එකම ඇද මත තුරුලූ වී සැතපෙමින් සිටියා වුවත් අව්‍යාජ නොවන පුද්ගලයන් අතර කිසි දිනෙක සැබෑ ආදරයක් නොවැෙඩි.අනෝන්‍යය නිදහසට ගරු නොකරන ආධිපත්‍යයකාමී පුද්ගලයන් අතර ද සැබෑ ආදරයක් ඇති නොවේ.

බී.ඒ.එන් රංජිත් පෙරේරා මහතා මුතුහර සගරාවට ලියන ලද ලිපියක් ඇසුරෙනි

෴රුසියන් සාහිත්‍ය ෴

Friday, November 6, 2009

කවි රස පරාක්‍රම කොඩිතුවක්කු

නොවැලපෙමි ඔබ යන්න වැලප ඇති පල කිමද
ජීවිතේ වැරදුනේ මෙතන විතරක් නොවේ
සූරලා ගෙන යන්න මා හදේ පිපුන මල්
මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද

නොවැලපෙමි ඔබ යන්න වැලප ඇති පල කිමද
ඔබේ නම අදින් පසු තවත් මට අයිති නෑ
ඔබ නැතද ජීවිතේ නසා ගත නොහැක මට
ඔබ යන්න ජීවිතේ සොයා ගෙන සොයා ගෙන

ඔබ යන්න මධුරතර සප්ත ස්වරයත් අරන්
ඔබේ රථ මැදිරියට මගේ ඉර හද අරන්
ඔබ යන්නෙ මහද තෙත් වැහි වළාකුළ අරන්
කමක් නෑ ඔබ යන්න මගේ ආයුස අරන්

දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්
ඔබ නැතත් මම එතන පාට හත ගනින්නම්
ඔබ යන්න හැරී නොබලා ඔබේ කිරුළ ගෙන
පරාජිත කදුළකට ඇසේ ඉඩ තියා නැත


වෙස් මුහුණ පැළදගෙන සිටින තැන හිතක් නැත
ගෙවදින්න ඇති නිසා හෙට අලූත් විමානෙක
පෙමි ගී අලංකාර විසි කොට යනු මැනවි
නිල් ගුවන් ගැබ වදින කුරුල්ලෙක් පරිද්දෙන්
ඔබ ඔබේ සිහිනයට මම මගේ ලෝකයට

හෙමෙන් මා අතහැර දෙපස හෙවනැළි අතර
ඔබ සෙමෙන් හැංගුනේ එය වඩා විනීතයි
එදා ඔබ ගෙයි මුල්ලේ සොයා ගත් මං දිනුම්
ඔබ සැගව ගියෙ කොහිද සොයන්නේ නෑ ඉතින්
ජය පරාජය කවුද මට එයින් පලක් නැත

ආදර නින්දක්ද පිබිදිලා සිටින මට
දිනෙන් දින මගේ නෙත් පැහැදුල්ය සුවිපුල්ය
නින්ද තුල නැති වුනේ එක දෙයයි වරදක්ද
තව බොහෝ දේ තිබේ ජීවිතේ ජය ගනිමි

පරාක්‍රම කොඩිතුවක්කු

Thursday, November 5, 2009

෴විවාහය.෴

විවාහය .........................  මේ දවස් වල මට තියන බරපතලම ගැටළුව තමයි ඒ. ඒ තරම් බරපතල වෙන්න ප්‍රධාන හේතු 2ක් තියනවා. එකක් තමයි මම ගැහැණු ළමයෙක් වීම, අනිත හේතුව මට වයස 30 සම්පූර්ණ වීම......

මම හිතන විදිහට නම් මට තනියම ජීවිතේ ඉතිරි ටිකත් අර්ථවත්ව ගතකරන්න පුළුවන්.

විවාහ වෙන්න අද කාලේ සුදුසුකම් ගොඩක් ඕන කෙ‍ල්ලෙක් නම් ලස්සන වෙන්න ඕන.රස්සාවක් කරනව නම් වටිනකම වැඩී.රස්සාව ගුරුවරියක් නම් වටිනාකම ගොඩක්ම වැඩී.

මම නම් පිරිමියෙක් ගෙන් බලාපොරොත්තුවන එකම දේ ආදරය .ඒත් අද නැත්තෙත් ඒකම තමයි.බොහොම අමාරුවෙන් ආදරේ කරලා විවාහ වුනත් පවුල් ජීවිතේ සතුටින් ගත කරන්නේ කියෙන් කීයද? ගොඩක් දෙනා ලෝකෙට පේන්න සතුටින් ජීවත් වුනත් දවස ගානෙ හිතින් මැරි මැරි ජීවත් වෙනව. කොහොමත් මනුසත්ත්වයා ලැබුන දේට වඩා නොලැබෙන දේට ගොඩක් සංවේදී.

පිටස්තරයෙක් විදිහට මට නම් හිතෙනවා විවාහයට වඩා තනිකඩ ජීවිතය හොදයි කියලා.....තනිකඩ ජිවිතයක් අර්ථවත් ජීවිතයක් නෙමෙයි ද?

තනිකඩව ඉන්න කැමති  
මම
෴වත්෴

Saturday, October 24, 2009

Jone Cena සහ මහගම සේකර ........

ඔයාල දෙක්ක ද මේ සින්දුව ...



මොකද හිතන්නේ. මම නම් ඇත්තටම කැමති ඒ සින්දුවට. ඒ වගේම මම මහගම සේකරයන්ගේ සින්දුවලටත් ගොඩක් කැමති කෙනෙක්.

තුංමන් හන්දිය චිත්‍රපටයේ මේ ගීතය ඔයාලට මතක ද

මේ ලොව යම් කිසිවකු මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය
හීන් හඩින් මට කියාවි .....

මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව

නන්නාදුනනා ඔබගේ
අත් අකරින් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව

අඩ සඳ බැස ගෙන යන සද
රුහි හඩන හඩ අතරින්
එතකොට ඒ ගි රාවය
යාන්තමින් මට ඇසේවි


ඉතින් මොකක් ද වෙනස...

Tuesday, October 13, 2009

෴ මගේ හඳ ෴

හඳ අයිති අහසට
ඒත් හඳ එළිය අයිති පොළවට
හඳ දිහා බලන්න සුවය විදින්න කාගෙන් තහනමක් ද
අදුරේ ඉදන් අඩපු මට
හඳ එළිය දුන්න සැනසීම සහනය මෙතෙකැයි කියන්න බෑ
අමාවක තියෙන්නෙ එකම එක දවසයි
අනිත් හැම දවසකම හඳ පායනවා
මගේ ජීවිතෙත් ඒ වගේ
හඳ අහසෙ තියනකම් මට මොන තනියක් ද


සඳ දිහා බලා ඉන්න 
මම 
෴වත්෴ 

බොන්නේ නැත්තම් වැඩක් නැද්ද?

හදිසි වුවමනාවකට යාළුවෙක්ට කතා කළා.උදේ 10ට විතර ඇති."යාළුවෙක්ට Job එකක් set වෙලා.ඊයේ රෑ පොඩ්ඩක් කට්ටිය set වුනා.ටිකක් වැඩි වුනා.ඔළුව තාමත් බරයි වගේ".

ඒ සතුටට.තමන්ගේ සමීපතමයන්ගේ සතුටට එකතු වෙන එකේ වරදක් නැහැනේ? නේද?

"යාළුවෙක්ගෙ මළ ගෙයක් තිබ්බා.night එක.කට්ටිය set වුනා.බෑ කියන්නත් බැහැ"

කමක් නෑ.. යාළුවෙක්ගෙ දුක බෙදා ගන්න එක වරදක් නෙමෙයි නෙ.

ඒ පිරිමි.ගැහැණු අය කොහොමද යහළුවන්ගෙ දුක සතුට බෙදා ගන්නේ????හැබැයි ඉතින් සමහර ගැහැණු නම් බීමතින් එන සැමියගේ දුකට සතුටට කොටසක් වෙන්නේ අතින් පයින් කෙස් වැටියෙන් වළං පිගන් වලින් හම්බෙන සංග්‍රහ වලට ගොදුරු වෙලා තමයි.

"බොන්නෙ නැත්තම් කොල්ලෙක් නෙමෙයි"
"නොබොන මිනිහාගෙන් වැඩක් නැහැ"
"බොන මිනිහා අවංකයි"
"පොඩ්ඩක් ගත්තට මොකද"
"party එකකදි බියර් එකක් බොනව.එච්චරයි."
"අපෝ ඒකත් wedding එකක්ද.අපි නම් පිටින් ගෙනාවා"

ඒ ඔක්කොම එහෙමයි කියමුකො.එතකොට ශ්‍රී ලංකාවෙ තියන අළුත්ම සංකල්පයට මොකද වුනේ.මතකද දන්නෙත් නැ ඔයාලට."මතට තිත"ඇත්තටම තිත වැටුනේ කාටද????

Tuesday, October 6, 2009

ලෝකයේ සොදුරුම ස්ථාන 100 අතරට සීගිරියත් එක් වෙයි...

සොදුරු දේ දකින්න අපි කවුරුත් කැමති.සොදුරු දෙ දකින්නේ ඇසින්,සොදුර බව දකින්නෙ සිතින්. කොහොම වුනත් ලෝකයේ තියෙන සොදුරු ස්ථාන 100 න් එකක් හරි දකින්න දැන් අපට වාසනාව ලැබිලා.මොකද සීගිරිය ඉන්නේ 95 වෙනි ස්ථානයේ.

අනිත් ස්ථාන ගැනත් දැන ගන්න ඕනද.... එහෙනම් http://terre.sans.frontiere.free.fr/page_a_voir_a_faire/top_100.htm

Saturday, October 3, 2009

සිත්ගත් හින්දි ගීයක්

යුරෝපයට ආ කෙසෙල්

යුරෝපයේ කලින් කෙසෙල් නොතිබූ අතර කෙසෙල් හදුන්වා දුන් මුල් කාලයේ වූ සිදුවීමකි.




කෙදිනකවත් දුම්රියේ නොගිය මිතුරෝ දෙදෙනෙක් දුම්රියට ගොඩ වූහ. ඒ අතර පදික වේදිකාවේ කෙසෙල් විකුණන වෙලෙන්දෙක්ගෙන් කෙසෙල් ඇවරියක් ද මිලදී ගත්තේය.




අතරමගදී කෙසෙල් කන්නට සිත්වූ එක් අයෙක් කෙසෙල් ගෙඩියක් ලෙලි හැර මුවෙහි රුවා ගන්නා විටම දුම්රිය උමගක් තුලින් ගමන් ගන්නට විය. උමග තුලින් පිට වු පසුව අනෙකා ද ඒ දැක කෙසෙල් ගෙඩියක් ඉල්ලා සිටියේය.




අනේ මචං මම නම් කන්නේ නෑ මීට පස්සේ මේ පලතුරු උඹ කන්නත් එපා. මිතුරා කීය.




ඒ මොකද බං




අනේ මං මේක කෑවා විතරයි. මිනිත්තුවක් විතර මගේ ඇස් පේන්නෙ නැතිව ගියා නේ.






නඩුකාරයාට පගාවක්

තමන්ගේ සේවා දායකයා නඩුවේ තීන්දුව දෙන දිනට පෙර දිනයේදී විනිශචකාර තුමන්ගේ නිවසට විස්කි පෙට්ටියක් යවා ඇති බව දැනගත් නිති×යා ඔළුවේ අත ගසා ගත්තේය.



මොනවද හලෝ කළේ නිති×යා ගුගුලේය.දිනන්න තිබුන පොඩි චාන්ස් එකත් ගහල යන වැඩක්නෙ තමුසෙ කළේ.මේ නඩුකාරයට පගාව දෙන්ඩ එන එවුන් පෙන්නන්න බෑ.



සර් බය වෙන්න එපා.අපි දිනනවා. සේවා දායකයා කීය.



ඒ කොහොමද නිති×යා විමසීය.




සර් මම විස්කි පෙටිටිය යැවුවේ අපේ විරුද්ධකාරයගෙ නමින් ඒ මදිවට ඒවා මේ පළාතේ තියන බාලම විස්කි.

නිවාඩු ගන්නට අවස්ථාවක්

පුංචි රුවන්ගේ මවට නිවුන් බිලිදියන් දෙදෙනකු ලැබී තිබිනි.ඉන් නිවසේ ඇති වූයේ මහත් උත්කර්ෂවත්භාවයකි."ඔයා අද ස්කෝලෙ යන්න ඕන නැහැ"."හෙට ටීචර්ට ගිහින් කියන්න ඔයාගේ ගෙදරට පුංචි නංගිලා දෙන්නෙක් එක්කන් ආවා.ඒක නිසයි නාවේ" කිටලා.පුංචි රුවන් ගේ තාත්තා ඔහුට කියා සිටියේය. එය එලෙසම සිදුවිය. ගුරුතුමිය විසින් පුංචි රුවන්ගේ නිවාඩුව පිලිගෙන තිබුනි.


"ඉතින් නංගිලා දෙන්නා ගැන ටීචර් මොකද කීවේ". මව විමසා සිටියාය.


"ආ...... මම ටීචර්ට කීවේ එක නංගි කෙනෙක් ගෙනාවා කියලා විතරයි. අනිත් නංගි ගැන විස්තරේ ලබන සතියේ නිවාඩුවක් අරගෙනම කියනවා". පුංචි රුවන් කීවේය. '''''''


Thursday, October 1, 2009

අහිංසකයා

ඔබ මේ ලගකදී එහෙම සමණළයෙක් දැක්කද? ... පොඩ්ඩක් මතක් කරල බලන්න, මතකනෑ නේද? ඒකට හේතු 2ක් තියනවා
1 ඔබ ගොඩාක් කාර්යබහුල වීම
2 සමණලයාට අපේ මේ ලෝකෙන් දැන් දැන් සිග්‍රයෙන් වදෙවිගෙන යෑම
දැන් සිරීපාදේ යන්නවත් සමණළයෝ නැහැ
අපේ රටටම ආවේනික සමණළයන් කිහිපදෙනෙක් මම ඔයාලට බලන්න එකතු ක
රා

හදිසිවෙන්වත් දැක්කොත් හිතට සතුටක් ගෙනේවි නේද(මම කීවේ සමනළයා ගැන හොදද )

Wednesday, September 23, 2009

සිත්ගත් ගීයක්

සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අබිමන්
නො හඬා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල් දම්
දුටුව නිසා ආදරයේ දෙව්‍ රුව ඔබගෙන් මම්

බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වී
සිටියා මිස නොදනිමි කොහි සිටියා දැයි මලවී
පුදසුන් මත මිය යද්දී සහසක් මල් පර වී
නො පිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බර වී

මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
ඔබට ළංව දුක බෙදා ගන්න බැරි කම දුකකී
මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
එවන් ලොවක මේ හමු වීමත් වාවනු නොහැකී

Tuesday, September 22, 2009

හිතේ සතුට

වේදනාව ......... ජීවිතයේ එක කොටසක් ජීවත් වෙන හැම මනුස්සයෙක් ම අත්විදින දෙයක් මමත් මගේ ජීවිතේ දි හදපතුලටම දැනුන වේදනාව දෙවරක් අත්වින්ද කෙනෙක්

වේදනාව වුනත් සමහර වේලාවට ටික කාලයයි සමහර ෙවිලාවට ජීවිතේ පුරාම අපිත් එක්ක එනවා.
මගේ ජිවිතේ පළමු වේදනාව මාව මහ පතුලක් නැති ආගාධයකට ඇදලා දෙම්මා. ඒ මගේ තාත්තා මට නැතිවුන දවස. අපි ලග තියෙන දේවල් වල නියම වටිනාකම තේරෙන්න නම් ඒ දෙවල් අපට අහිමි වෙන්නම ඕන.


එතනින් මාව මුදා ගන්න එක සුන්දර මනුස්සයෙක් මට හමුවුනා. මගේ ජීවිතේට පන්නරය දුන්න ඒ සොදුරු මිනිසාම තමයි මගේ ජීවිතේ දෙවෙනි වේදනාව වුනේ. එයා මගේ කවුද කියලා කියන්න මට තාමත් තේරෙන්නේ නෑ. එයා මගේ හැමදෙයකම ඉන්නවා. හැමතැනකම ඉන්නවා. මගේ ආත්මය වෙලා මා ලගම ඉන්නවා.

ඒත් මම දෙවෙනි පාර ආපහු ආගාධයට වැටුනේ නෑ.

මට පුලූවන් වුනා ජීවිතේ දකින්න. යාථා ලෝකයේ ස්වභාවය ඒ වෙනකොට මට තේරුම් කරල දීලයි තිබුනේ.

මගේ එකම උත්සාහය ජීවිතය දිනන එක. මට හදවතින්ම ආදරේ කරපු අයට දෙන්න පුලූවන් උපරිම සතුට ඒක.

හිතේ සතුට හැම දෙයකටම වඩා වැදගත්......එහෙම නේද..

සිත්ගත් ගීයක්..........

මලක් වුනේ ඇයි නුඹ මට

ජීවිතයට සුවඳ සලන
එනමුදු සිපගන්නට තහනම්

විලක් වුනේ ඇයි නුඹ මට

ජීවිතයට සිසිල ඉසින

දිය දෝතක් බොන්නට තහනම්

පහන් තාරකාවක් සේ ජීවිතයට මඟ කීවද

ඒ එළියෙන් ම හද පහන් දල්වනු කෙලෙසින්

කියන්න...

සහන් ගීතිකාවක් සේ

ජීවිතයේ ගිම් නිවුවද

ඒ ගීයේ සොඳුරු වදන් මුමුනනු කෙලෙසින්

කියන්න.

ලීවේ සමන් ආතාවුදහෙට්ටි
ගැයුවේ අමරසිරි පීරිස්

Monday, September 21, 2009

දුයිෂෙන්ගේ දයාබරත්වය නිසා මා සිත තුළ කොතරම් ප්‍රීතියක් ඇති වීද යත් අද වුවද ඒ හැගිම් ප්‍රකාශ කිරීම සදහා සුදුසු වචන සොයා ගැනීම අපහසුය. එහෙත් එදා මම නිවිහැනහිල්ලේ ඔහු දෙස බලා ගත්වනම සිටියෙමි. ඔහුගේ මුහුණෙ අලංකාර වර්ණයන් තිඛෙන බව පළමුවරට එදා දුටුවෙම්. ඔහුගේ ඇස් වල මුදු කරුණාබර ගතියත් වැඩෙහි දක්ෂ ශක්තිමත් අත් සහ හදවත උණු කිරීමෙහි සමත් දයාබර සිනාරුල්ලත් මින් පෙර කිසිදිනෙක නොදුටු පරිදි එදා මම දුටුවෙමි. එතෙක් නොදුටු නව ලෝකයකට මා ගෙන ගිය අලූත් හැගීම්වලින් මසිත පිරී ගියේය. මගේ යටිසිත දුයිෂෙන් වෙත ගොස් මෙසේ කියා සිටීමට බල කරන්නාක් මෙන් දැනුනි.— ˜˜ ගුරුතුමාණෙනි ඔබ විනීත ගති ඇති උත්තමයෙකි..... ඔබේ ගෙල බදා සිප ගැනීමට මා කැමතියි. ˜˜ එහෙත් ඒ හැගීම් වචන වලින් ප්‍රකාශ කිරීමට මා තුල ධෛර්යයක් නැත. සමහර විට එසේ කිව යුතුව තිබුණේ යැයි මට හැගේ......
උපුටා ගැනීම ගුරු ගීතය

උල්පත

කඳූවල මෙවැනි උල්පත් පැන නගී.ඒ වටා අඩි පාරවල් ඇතිවේ. මිනිස්සු අඩි පාරවල් ඔස්සේ ගොස් උල්පත් වලින් ජලය ලබා ගනිති. එහෙත් පුළුල් මාර්ග ඇති වූ පසුව අර අඩි පාරවල් අමතක කර දමති. උල්පත් වටා කෙමෙන් කටුවැල් මැටි මුළු ගැනේ. අවට සිට බලන්නෙකුට ඒ උල්පත් නොපෙනේ. රස්නෙ ඇති දවසක කෙනෙක් සිය පිපාසය නිවා ගනු පිණිස මහමගින් ඉවත් වී අර උල්පත සොයා එති. මුළු ගැන්වී තිඛෙන උල්පත සොයා එමින් ඒ වටා ඇති වල් පැලෑටි සහ කටුවැල් උදුරා දමති. කිසිකෙනෙකු විසින් හෝ අපිරිසිදු නොකරන ලද ඒ උල්පතේ ප්‍රණීත සිසිල් ජලය නිසලව ගලා බසිම්න් නිල්වන් කැටපත සේ විනිවිද පෙනේ. එවිට උල්පත තුළින් තමාද හිරු සහ අහසද කඳූවැටිද පෙනෙන්නා සේය. එවැනි සුන්දර තැන් ගැන අන් අයට නොදන්වා සිටීම පාපයකයි සිතා අන්අයටද ඒ බව දැැන්වීමට ඉටා ගන්නා නමුදු පසුව එය අමතක කර දමයි.

එදිනෙදා ජීවිතයේ දී මෙලෙසම සිදුවේ. එහෙත් එය ජීවිතයයි......
උපුටා ගැනීම ගුරු ගීතය



කණට ඇතුල් වූ වතුර ඉවත් කළ යුත්තේ ද වතුරම ඒ තුළට දැමීමෙනි. කටුවක් ඇනුන විට ඉවත් කළ යුත්තේද තවත් කටුවකිනි . එමෙන්ම ඥානවන්තයෝ රාගය දුරු කරන්නේ ද රාගයෙන්මය.

ච්ත්ත විශුද්ධිප්‍රකරණය 31

Sunday, September 20, 2009


ඔව් ශීත කාලය පැමිණේවි

තද ශීත කුණාටු හමාවි

හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි

එහෙත් වසන්තය එනවා සත්තයි


ගුරු ගීතය


ගුරු ගීතය ගරු කොට ගත්
මම
෴වත්෴

...තෑග්ග...


හදවතේ රාවය



ජීවිතයේ තනුව



රහසින් වයන්නෙමි



ඔබහට ඇසෙන්නට

තනුව වයන
මම
෴වත්෴

Friday, September 18, 2009

පළමු ගුරුවරයා


දයාබර දුයිෂෙන් ....
නුඹ
මහා පොප්ලර් ගසකි
නිම නොවන වසන්තයකි
හෙළි නොකල රහසකි
මට මා ලබා දුන්
සුවද මද නලකි

පළමු ගුරුවරයා නුඹයි
නොපැවසූ සෙනෙහස නුඹයි
අදත් මා නෙතු සොයනා
එකම රූපය නුඹයි

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...