..... I am the poem that's  yours but doesn't belong to you ever,...

Tuesday, October 7, 2014

෴ ගුරු පඬුර ෴

෴ ගුරු පඬුරු ෴




පුංචි දිනූෂ පොහොර උරයක් තරම් ලොකු තම පාසල් පොත් මල්ලට අත යවා ඔහුගේ සිහින් ඇගිලි තුඩු එහා මෙහා යවමින් ඒ සුන්දර වස්තුව එහි ඇති බව අවසන් වරටත් ,නැවතත් සැක හැර දැන ගත්තේ, වෙනදාටත් වඩා උදයෙන් පාසල බලා පිටත් වූවේ ය.

උදෑසන පාසල් පැමිණී වේලාවේ සිට ම ඔහුගේ විමසිලි පුංචි ඇස් ගුරුවරියන් අතරේ සැරි සැරූ ව ද, මිනිත්තුවෙන් මිනිත්තුව විනාඩියෙන් විනාඩිය , පැයෙන් පැය ගත ව ගොස් පාසල් කාලච්ඡේද සියල්ල ද අවසන් වී ගිය ද ඔහු සෙවූ ඒ රුව එදා පාසල් පැමිණ සිටියේ නැත.

“කමක් නැහැ, හෙට බලමු “ හැමදාමත් මෙන් තම පුංචි සිත සනසා ගත් ඔහු ඔහුගේ බෑගයේ වූ ඒ අනර්ඝ වස්තුව ද රැගෙන ගෙදර ආවේ ය.

පසු දින ද , ඊටත් පසු දින ද, ඊටත් පසු දිනට පසු දින ද වශයෙන් මෙසේ දින දින ගෙවී ගිය ද , ඔහුගේ ආසාව නොසංසිදුනු නමුත් ඔහු හිතේ වූ පුංචි බලාපොරොත්තු ව කිසිදාක කඩ වුනේ නැත.

අවසානයේ දී සතියකට දෙකකට පමණ පසුව ඔහු ගේ සිත සතුටු කරමින් ඔහු සෙවූ ඇය පාසලට පැමිණ තිබුණි. නමුත් පුංචි දිනූෂ ඇයව තනිව හමුවීමට ගත් සියලුම උත්සාහයන් නිර්ථක වී ගියේ කලකින් පාසල් ආ ඇගේ ගුරුතුමිය කාර්ය බහුල වූ නිසා ය.

අවසානයේ දී කලකට පසුව දිනූෂගේ සිත්ගත් ගුරුතුමිය පන්තියට ආවා ය.

“ ආහ් දිනූෂ . . .  කොහොම ද පුතේ  ?“ සුපුරුදු පරිදිම ඇය ඇසුවා ය.

ගුරුතුමියගේ සිතේ විශේෂ ස්ථානයක් ඔහු වෙනුවෙන් වෙන් වී තිබෙන්නට ඇත.


“ ටීචර් ,එයාගේ අම්ම ඇවිල්ලනේ “ පන්තියේ කටකාරම කොල්ලා ගුරුතිමිය පාසල් නොපැමිණි කාලයේ දී සිදු වූ වැදගත් ම සිදු වීම එසේ හෙලි කලේ ය.

මෙතෙක් පොත් මල්ල  තුල රැදී තිබූ දිනූෂ ගේ අතැගිලි වලින් තදින් ග්‍රහණය කර ගත් ඒ සුන්දර වස්තුව දෝතින් ගෙන ඔහු ගුරුතුමියගේ මේසය වෙත ගියේ ලෝකයම දිනු පරිද්දෙන් ය.

දෑතින්ම එය ගුරුතුමියට දුන් පුංචි දරුවා  මදක් ඇය වෙත බලා හිද දණ ගසා ඇයට වැන්දේ ය.

තම මව විදෙශ්ගතව සිටි අවදියේ තමාගේ පුංචි තැලුනු සිතට සහනයක් වෙමින් වචනයකින් හෝ ඔහුව සැනසුවේ මේ ගුරුතුමියයි. එවන් ඇයට මේ තුඩුපඩුර ද මදබව දිනූෂ දැන සිටි ය ද, මෙසේ හෝ තම ගුරුතුමියට සැලකීමට ලැබීම ඔහුගේ පුංචි සිතට සහනයකි. 

“ ටීචර් , දිනූෂ ඕක ගෙනාවේ ගොඩක් දවස් ඉදල. අපිටවත් පෙන්නුවේ නැහැ“ දිනූෂගේ කටකාර මිතුරා ද ගුරුතුමියට දුන් තුති පඬුරේ හවුල්කාරුවෙකු වීමට මෙන් පන්තියටම ඇසෙන්නට කීවේ නොක්කාඩුවක ස්වරූපය ද එයට එක් කරමිනි.


තවමත් තමා පාමුල සිටිනා දරුවාගේ හිස අතගෑ ගුරුතුමිය “ බොහොම ස්තූතියි “ යන්න පන්තියටම ඇසෙන්නට පවසා , තම අතේ රැදී තිබුනු කෑමට ගත නොහැකි තරමට නරක් වෙමින් තිබුණු ඒ අනර්ඝ ඇපල් ගෙඩිය දෙස කෘතගුණ පිරි දෑස හෙලා පන්තියේ කළු ලෑල්ලේ සැමට පෙනෙන සේ මෙසේ ලීවා ය.

“ රන් ඇපල් “





ප.ලි.  මා ඇසූ කතාවක් අනුසාරයෙන් ලියන ලද්දකි.

Saturday, October 4, 2014

ගඳ කෙල්ල/ smelly girl

ගඳ කෙල්ල . . . . 
      smelly girl



යෞවනයේ එළිපත්ත මත සිටිය ද, නැවුම් පුසුඹ වෙනුවට ම‘වෙතින් විසිහතර පැයේ ම හැමූවේ දහඩිය ගඳයි. ඉහින් කණින් බේරෙන දහඩියත් , යමක් ලියන්නට ගිය විට ඇගිලි අග්ගිසි වලින් වැක්කෙරෙන දහඩියත්, කකුල් යටිපතුල් වලින් පිටවූ දහඩිය නිසා හදිස්සියකටවත් සපත්තු ගලවා මේස් පමණක් යෙදු පයින් සිටීමට සිදු වි විට දැනෙන අපහසුවත් එකල මා සිත බෙහෙවින් පාරන ලදී. තෙකරම් සිත පෑරුව ද පාසල් යාම නම් කිසි දිනෙක අත් නොහැරිය නමුත් එක් ගැහැණු ළමයෙකු විසින් මා ගඳ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ දිනට පසු දින අම්මා ද සමඟින් වෛද්‍යවරයෙකු බලා යන ලද්දෙන් ඔහුගේ සුහද වදන් හමුවේ ඉන්පසු කිසිදිනක මා දහඩිය බිදක් තරම් වත් මට වඩා සුවඳ කෙල්ලන්ව මායිම් නොකලෙමි. නමුත් තවත් දිනක්................................


පුද්ගලික පන්ති අවසන් වූ වේලාව නිසා තනි දොරේ කුඩා පුද්ගලික බසය අතුරු සිදුරු නොමැතිව පිරී ගොස් තිබුනි. මල්සරා විදින ඊතල පහරවල් හිමිකරු හෝ කාරිය සොයා ගත නොහැකිව බස්රිය තුලම නන්නත්තාරව බිම වැටී පෑගෙමින් ද, කිසිසේත් නොසිතූ අය වෙත ට මාරු වෙමින් ද තිබුනු වේලාවයි.


තරුණ පහේ කොලුගැටයෙකු වූ කොන්දොස්තර ද කෙල්ලන් අතර වැඩි වේලාවක් දගලමින් ඇඹරෙමින් ද නියමිත ප්‍රමාණයට වඩා මුදල් අඩුවෙන් ගනිමින් ද රථයේ ඉදිරියටම එමින් සිටියේ ය. පිරිස වැඩි වූ නිසාත් ස්වභාවයෙන්ම එවැනි අවස්ථා වලදී තිගැස්ම වැඩිවන නිසාත් අත රැදී ගුලි වී තිබූ දහයේ කොලය දහඩියෙන් නැහැවී පෙගී තිබුනි.


කොන්දොස්තර කොලුවා වෙත පෑ දහයේ කොළය දැකීමෙන් ඔහුගේ මුහුණ හැකිලී ගියේ මලමිනියක කුණු වී ගඳ ගසන කොටසක් ඔහු වෙත පෑ අයුරු නි. ඔහුට දීමට වෙනත් දහයේ කොළයක් ද මා සතු නොවිනි.


එය ඇගිලි දෙකෙන් ගත් ඔහු එය මුළු බසයටම පෙනෙන සේ ඉහලට ඔසවා පෙන්වමින් කීදෙයට මුළු බසයම සිනාවේ ගිලුනි . මම තව තවත් සෙනග අතර තෙරපී ගුලි වුනෙමි.


මා ළමාවියෙන් වැඩිවියට පැමැණීමේ දී මෙම දහඩිය දැමීමේ කරදරය ක්‍රමයෙන් මා වෙතින් අඩු වී ගිය ද, නැත්තටම නැති නොවී අදත් මා සමඟින්ම පවතී. ඇතැම් විටකෙ එය මා වෙතින් තුරන්ව ගියා නම් මා ළඟින්ම සිටි ලෙංගතු මිතුරියක නොමැතිව ගියාක් මෙන් මා දැඩි කනස්සල්ලට ද පත්වීමට හැකි ව තිබෙන්නට ඇත.


පරිගණක භාවිතයට ගත් පසු පරිගණක යතුරු පුවරු බොහෝමයක් අකාලයේ ඉවත් කිරීමට ද , බිම ට ටයිල් ඇතිරූ නිවසකට ගිය විටක දී මඩේ ලැග්ග ඊරියක මෙන් සෑම තැනම නොඇවිද සිටීම ටද , විභාගයකට මුහුණ දීමේ දී මුල් විනාඩි කිහිපය මිඩංගු කරමින් කඩදාසි කොළ තෙමීමෙන් බේරා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට ද මේ නිසා මට සිදු විය.


යෞවනය මෙන්ම තරුණ වියද ගෙවා නිම කරමින් සිටින මා වෙතින් දැන් හමන්නේ අපූරු විලවුන් සුවඳයි. එය ඇතැමෙකුට විලවුන් සුවඳක් දැයි සිතා ගැනීමටවත් බැරි ,ඉමිහිරි සියුම් නමුත් මිල අධික සුවඳවිලවුන් වර්ගයකි. නිතර නිතර මා සමගින් සිටි දහඩිය බිදු බොහෝමයක් මා වයසට යත්ම මා හැර ගොසිනි. සැබැවින්ම එය ශාරිරික මෙන්ම මනසේ කැළඹීම නිසා ද ඇතිවන්නට ඇති රෝගයක් වන්නට ඇත. නමුත් එය කිසිසේත්ම දැඩිව සැලකිය යුතු රෝගී තත්ත්වයක් නොවන්න ද ඇත. නමුත්..... මා කුඩා කල හා කෙල්ලක කාලයේ එය මා සිත රිදවූ තරම දන්නේ මා වැනිම තවත් දහඩිය කෙල්ලක පමණි.

Friday, September 26, 2014

෴ හීන හොරා ෴

හීන හොරා








ස්කෝල කාලේ වගේම තාමත් ස්කෝල යන නිසා ඒ පැය හයේ 


මහන්සියත් ගමනට යන පැය දෙකාමාරක තුනක මහන්සියත් 



එකතු වුනාම දෙයියනේ කියල ඇඳට වැටුන ගමන් නින්ද යන මට 



,ඇහැපිය වෙච්චි ගමන් හීන පේන්න ගන්නවා. ඊයෙත් ඒ වගේ එක 



පෙළට පෙනුන එකිනෙකට සම්බන්ධ නැති නමුත් අසම්බන්ධිතත් 


නැති හීන අතරේ කවුදෝ කෙනෛක් එහාට මෙහාට ඇවිද්දා. 

සමහර වෙලාවට හීනෙ ඉස්සරහටම ඇවිත් අත් පිටිපස්සට බැදන් 

මා දිහා බලා ඉන්න හදනව , සමහර වෙලාවට හීන දිගේ අඩි 

තිය තිය එහාට මෙහාට ඇවිදිනවා. හරියට පොඩි ළමයෙක් 

තමන්ගේ අම්මගේ හිත තමා දිගාට යොමු කර ගන්න හදනවා 

වගේ. ඒ කවුද කියලා මට හරියටම නිච්චි නැතත් නිච්චි 

නැත්තෙමත් නැහැ....කොහොම හරි මගෙ හැම හීනෙකම වගේ 

ඇවිද ඇවිද බට්ටෝ පැන පැන හිටි එයා උදේ මම අවදිවෙද්දි 

දැක්ක අන්තිම හීනෙ උඩට ත් වෙලා මගෙ අවධානය ගන්න බැරිව 

ලතැවි ලතැවි හිටියා....ඒ කොහොම වුනත් පාන්දර අවදි වෙද්දිමට 


මතක තිබ්බ එකම දේ තමා ඒ හීන හොරා රෝස පාටකමිසයකුත් 

කළු පාට කැත කලිසමකුත් ඇදන් මගෙ හීනෙන් හීනෙට පැනපැන 

හිටි බව.මම දකින ගොඩාක් හීන හරියට මතු සම්බන්ධ කතා 

ඊලග දවස් වලත් සමහර වෙලාවට දකිනව කියල මට හිතෙනවා. 

අම්මප හැබැයි අද රෑට ත් උඹ මගෙ හීන වල රස්තියාදු ගහන්න 

ආවොත් නම් හීනේනම මම උඹව මරනවා.............

Monday, September 22, 2014

මතක වස්ත්‍ර

                                 


                                    ෴ මතක වස්ත්‍ර ෴




සුදු නූලෙන් හීනියට වැඩ දැමූ සුදු කපු සාරිය , සුළං පෙත්තේ වේගය ඉවසා ගත නොහැකිව එහා මෙහා යාමට සැරසෙනු දකිනා අම්මා , නැවතත් සාරියේ පටවල් නිසි පරිදි සකසා හොඳින් මා දෙස බලා දීර්ඝ සුසුමක් පිට කරයි. ඒ සුසුම පෙර සුළං පෙත්තේ වේගයටත් වඩා වැඩි යයි සිතේ.

චාම් සුදු සාරිය මිසක අත් මේස් ,වේල් , මල් කළඹවල් නොමැතිව ඇගේ ලොකු දියණිය වැතීරී සුව නින්දක සිටිනා දකිනා අම්මාට කුමක් නම් සිතෙන්නට ඇති ද.

ඇය විටෙක දෙනට අවසන් ගෞවර දක්වන්නට එන අයගේ ආයුබෝවන් කියන දෑත තදින් බදා ගනිමින් කඳුළු සලයි. තවත් විටෙක එකිනෙකට නොගැලපෙන බොහෝ දේ එක් කර කතාවක් කියන්නට සැරසේ.



සැවොම දුකින් බලන්නේ දෙන දෙස නොව මගේ මව දෙසයි. ඇයට මෙවන් දුකක් දුන් ඇගේ දියණිය ගැන ඔවුන්ගේ සිතේ තරහක් පැන නොනගියි ද?


එකවරම නිවසේ ගේට්ටුව දෙසින් ඇසුනු හඬට සැමගේ අවධානය එදෙසට යොමූ වී ඇත. මට තනියක් දැනේ.

කුඩා බස් රථ දෙකකින් පැමිණ සිටියේ පාසල් දරුවන් සමූහයකි. දුරදීම එය වටහා ගන්නට ඔවුන්ගේ සුදෝ සුදු නිල ඇදුම ත් කුඩා පිරිමි දරුවන්ගේ නිල් පැහැ කොට කලිසමත් සාක්ෂි දරයි.

“ ඉගැන්නුව ස්කෝලෙ ළමයි වෙන්නැ“

අම්මා අසල සිටි හීනි නෝනා සෙමින් නමුත් දුකින් ද අම්මා සනසන අටියෙන් ද පැවසුවාය.


වෙනදා නැති සංවරයක් පෑ දඟ දරුවන් එකා පසු පස එකා බැගින් ද නිහඩව ද විමතියෙන් ද කුතුහලයෙන් ද ගේට්ටුව දෙස සිට නිවස දෙසට ඇදෙයි.



“ අම්මා යන්න ඉස්සරහට “

සියලුම දරුවන්ට ඈ “ආයුබෝවන් “ කියයි. උදේ හවා මට ආයුබෝවන් කී දරුවන් දැන් මගේ මවට ආයුබෝවන් කියන්නේ කට වසා දෑත් එක්කර විමතිය පුරවා ගත් දෑසිනි.



එකා දෙන්නා විත් මා වටා කැරකෙමින් මා දෙස බලනු මට පෙනේ. එකියක හිටි වනම “අනේ ටීචර් “ යැයි කියමින් ඉකිලන්නට වූයෙන් එය බෝ වූවා සේ දරුවන් එකිනෙකා කඳුළු සලන්නට විය.එය දරුවන්ගේ හැටිය. යමෙකුට කුමක් සිදු වූවද එය බෝවන රෝගයක් සේ පැතිරී යාමට ඒ හැටි කාලයක් ගත නොවේ.



එකියක සිහිසුන්ව වැටුනාය. ඒ දැරිය උදෑසන රැස්වීමේ දී ද නිතර නිතර සිහිසුන්ව වැටෙයි.




මාගේ සහෝදර කාර්ය මණ්ඩලයේ කිහිපපොලක් ද “ අනේ අපොයි “ නොපවසමින් නමුත් “මේ මොන පුදුමයක් දැයි“ අසමින් මගේ මවගේ සිත තව තවත් තලා දමයි. ඔවුන් සැමදා ම කලේ එයයි.



මම මියෙන්නට නොසිතූවෙමි. නමුත් පෙර දිනයක උදයේ මට පාසල් රැකියාවට යාමට ඉඩ නොතබාම මා මිය පරලොව ගොස් තිබුණි. එය සියදිවි නසා ගැනීමක් නොවීය. වුන් හිටි ගමන් සිදු වූ පුදුමාකාර මරණයකි. මරණ පරීක්ෂණයෙන් ද කිසිවක්ම හෙළි කර නොහිනු ඔවුන් මවගෙන් ද විමසා “ සැක නැති මනුස්ස මරණයක් “ බවට තීන්දු දුන් පසු ත් ආදාහනය නොකරන ලෙසත් භුමදානය කරන ලෙසත් දැනුම් දුන් බව ලොකු මාමා කා සමගින් දෝ පවසනු ඇසුණි.



පැමිීණ දරුවන්ගේ මුවේ සිනාවක් නැගුනේ බීම අල්ලන නැන්දාත් පොඩි නංගීත් දුටු පසුවය. ඔවුන්ට මා මිය ගිය වගට ගානක් වත් නැති සේ සුපුරුදු පරිදි දගලමින් ද එකිනෙකා පරයා කතා කරමින් ද බීම වීදුරු පිටින් ගිල දමන්නට විය.




ඉදිරි පෙල අසුන් වල සිටි ලොකු වුන් හැරි හැරී රවා බැලූවද ඔවුන්ගේ දඟයට එය පලක් නැත.






ඔවුන් පිටව ගිය පසුව මළ ගෙදර නැවතත් පාලු අමුසොහොනක් සේ නිහඩ විය.






මට දැඩි පාලුවක් දැනෙන්ට විය.






හවස් යාමය ලං වන විට කීප වරක්ම පහත රට බෙරයත් දවුලත් එයටම හරියන දුක්කදායි හඩින් හොරනෑවත් වැයෙන්නට වූයෙන් මා සිත ද මා මළ සොවින් හඩන්නට විය.



මා මළත් මා පැතු මා සිතූ එකම මිනිසා මා බලන්නට තවමත් පැමිණ නැත. 



“ හරි හරි දැන් එළියට ගන්න වෙලාව හරි “ ලොකු මාමා කලබලයෙන් මෙන් පැමිණ තවත් පිරිමින් කිහිප දෙනෙකුන් සමග එක්ව මා නිදා හුන් කුඩා කුටිය පියන් වලින් වසන්නට සැරසුනා පමණි.



මවගේ ලතෝනි හඩ මුළු ගමටමත් ඉන් එහා වෙල් යායටත් ඉනුත් එහා කන්දෙන් එපිටටත් ඇසෙන්නට ඇත. නැන්දා පැමිණ අම්මා දෝතින්ම බදා නොගන්නට මා නිදා හුන් කුඩා කුටිය කඩාගෙන ඇයද මා සමගින් යන්නට පැමිණෛනු ඇත. මට මහා කළුවරක් සමගින් උසුලනු නොහැකි සිසිලක් දැනුනි.



මට මහා පාලුවක් දැනුනි.



ඈතින් කහ සිවුරු ඇද ගත් හිමිවරු එමින් සිටියාහු ය.



මතක වස්ත්‍ර පූජාවත් පැන් වැඩීමත් කෙරීගෙන යන අතරේ මළ ගමට කිසිසේත්ම නොගැලපෙන ඇදුමක් ඇද ගත් යමෙකු අඩමානයෙන් නිවස දෙසට නිවසේ මා වටා රොක් වී සිටි සෙනග දෙසට එමින් සිටිනු කළුවර අතරින් මට පෙනේ.






අනිච්චාවත සංඛාරා - උප්පාද වය ධම්මිනො






උප්පජිත්වා නිරුජ්න්‍ධති - තෙසං වුපසමො සුඛොේ










“ මේ . . . . මේ ගෙදර අර අර . . . . . .?“




“ඔවු මේ ඒ අහා තමා ‘




“ එතකොට මේ . . . . මළ ගෙදර ?“


“ හප්පේ මහත්තයෝ . . . . . . මේ මහත්තයා අහපු ඇත්තිගේ මළගම තමා “


නිල් ඉරි කමිසය , දහඩියෙන් තෙමී ගොසිනි, පාංශකූල චාරිත්‍රය ගැනවත් නොසිතූ ඔහු දෑත් වල දරාන ආ බර මා දෙන දැරූ පෙට්ටිය ලග බිම අතෑර මහ හඩින් නොහඩා , නමුත් දරා ගත නොහී කලබලයෙන් මෙන් පෙට්ටි පියන් විවර කරන්නට වෙර දරයි. 



එදෙස හොදින් බලා සිට ක්ෂණිකව ක්‍රියාත්මක වූ ලොකු මාමා තවත් කිහිප දෙනකු එක් කර ගෙන මා නිදා සිටි මහා කළුවර පතුල හැර පියා මා බැලීමට අවසන් වතාවට පැමිණ සිටි අවසන් අමුත්තා දැක ගැනීමට මට ඉඩ සලසා දුන්නේ ය. 




ජීවිතයේ ජීවත්ව සිටි කාලයේ මා දැකීමට ආසාවෙන් මුසපත්ව සිටි ඔහු , මා මළ දා මළගම අවසන් මිනිත්තුවේ මා බැලීමට පැමිණ ඇත. ඒද හිස් අතකින් නොවේ මය. 




බිම වැටී ඇති අලුත් බෑග් කවර තුළින් එළියට පැන මේ කුමන විමතියක් දැයි මෙන් මා දෙස බලමින් සිටින රෝස පැහැති සාරියක් මට පෙනේ. එහි බෝඩරෙය මා කැමැතිම පරිද්දෙන් සුදු නූලෙන් වැඩ දමා හැඩ කර ඇත.




තවත් බොහෝ දේ බිම විසිරී සිටී. ඒවා බැලීමට මට ඉඩ නොතබා ම ඔහු මා වතට එඹිගෙනම සිටියි. සියල්ල හැර පියා මේ දොනෝ දාහක් ඉිදිරියේ දෑත් දිගුකර ඔහුගේ ගෙල වටා යවමින් ඔහු මා වෙත ඇද ඒ තොල් උරා බීමට උමතුවක් සිත පැන නගී. 




ජීවත්ව වුන් ටික කාලයේ මා බැලීමට නොපැමිණි නුඹට සත්තකින්ම මෙය නම් හොඳම දඩුවම යැයි දඩබ්බර මා සිත මුමුණයි. 






ඔහුගේ කඳුළින් මා වත සේදී යයි. “ මෝඩයෝ නානු ගෑවා.ආයෙත් මාව නාවන්න ද හදන්නේ ?“ යැයි අසන්නට මට සිතේ. 






මිය ගොස් ද මා ජීවත් වන බවක් මට හැ‍ගී යයි. මෙතුවක් වෙලා දැනුනු පාලුව මැකී යයි. 


ගෙනා රෝස පැහැ සාරිය අන්දන්නට යැයි කියන්නට ඇත්නම්. සැබැවින්ම මා මියෙද්දීම ඒ මොහොත තුල ජීවිතය තදින් විඳිමින් සිටියෙමි.





ප.ලි -

මා මිය ගොස් නැති බව සනාථ කර ගැනීම සදහා දෙතුන් වතාවක් මාවම කොනිති ගසා බැලීමටත් , අම්මා ලගට ගොස් ඇගෙන් ඇයට මාව නිසිසේ නිවරදිව පෙනේ දැයි කිහිප වාරයක් අසා සැක හැර දැනගන්නටත් සිදු විය.

Wednesday, September 17, 2014

“ රා බොමු “

“ රා බොමු “






පැසවා ලබා ගන්නේ කරිඤ්ඤං වන අතර හුමාල ආසවනයෙන් හැලි අරක්කු නිපදවයි. දෙවියන්ට ගහන වර්ගය “ පොල් “ වන අතර බල්ලන්ට ගහන්නේ “ගල්“ය. “මෙන්ඩිස්“ යනු මධ්‍යමා ප්‍රාන්තිකයන් අතර ඉමහත් ජනාදරයට පත් වූ අයෙකි. මල් තලා ගන්නා තෙලිජ්ජ පැණි රසින් වැඩි ඉමිහිරි පානයකි. තෙලිජ්ජ මුට්ටි කිහිපයක් වැඩි වේලාවක් ඝන වන තෙක් ලිපේ හැඳිගාමින් පැණි සාදා ගත හැකි සේම , තෙලිජ්ජ මුට්ටිය හොඳින් පැසුණු පසුව “ රා“ නිපදවා ගනී. රා බීමෙන් බඩ වැඩෙන අතර රා ගුඩ්ඩෙකු වූ මාගේ මිතුරෙකුට වෙච්චි ඇබැද්දියක් ද මතකයට නැගේ....

එදින පොහොය දිනයකි. මාගේ මිතුරාත් ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුත් එක්ව කතිකා කර ගත් පරිදි වාද්දුව ප්‍ර දේශයේ රා ඉසව්වකට ඉව අල්ලන්නට විය. ගහෙන් බාපු ගමන් බඩු වලින් හොඳ පදම් සප්පායම් වූ මිතුරන් රෑන හවස් වද්දී වැනි වැනි ම නැවත නිවෙස් බලා ඒමට බස් රථයකට නැග්ගේ නිවෙස් වූයේ වාද්දුව සිට සැලකිය යුතු දුරකින් නිසා ය. පුර පුන් පොහෝ දිනයක් වූ එදින බසයේ වාඩි වීමට ඉඩ නැති වූයේ බසය පුරාම වාගේ වාඩි වී සිටි රා මෙන් සුදෝ සුදු ඇදුම් ඇද ගත් සිල් ඇත්තන් නිසාය. සිල් පවාරනය කර නිවෙස් බලා යමින් සිටි බහුතර සිල්ඇත්තන් වයසක උපාසකමාතාවන් විය.

සිල් සුවඳ පරයා හරිමින් රා ගුඩ්ඩන්ගේ මත් සුවඳ බසය පුරා පැතිරී යන්නට විය. වාඩී වීමට ඉඩ නොමැතිව සිට ගෙන යන අනිකුත් මගීන් ද රා ගුඩ්ඩන් වෙත  ළං නොවූයේ ඔවුන් වෙතින් වහනය වන සුවඳ නිසා වන්නට ඇත. බසයේ හරස් පොල්ලේ එල්ලී ගත් නොසන්ඩාල කොලු රැළ බසයේ පිටු පස හරියේ වාඩි වී සිටි කෙල්ලන් රෑනකට විහිළු කරමින් වැනි වැනිම එල්ලී එමින් සිටියි.

ඔවුන්ගෙන් හුදකලා වූ මා මිතුරා බසයේ මැද හරියේ නිදහසේ පොල්ලේ එල්ලී ඒ පැත්තට මේ පැත්තට වැනි වැනී නමුත් නොවැටී ගමන් කරයි. එය බලා ඉන්නට නම් අපූරු දසුනකි. ඔහු විටෙක ඔහු අසල වාඩි වී සිටින උපාසකමාතාවගේ ඇගට වැටෙන්නට ඔන්න මෙන්නව මෙන් ය තවත් විටෙක අත ඇඹරී ගොස් අනිත් පසට වැටෙන්නට ඔන්න මෙන්නය. උපාසක මාතාව ද ඔහු වැනෙන වැනිල්ලේ ගානටම අසුනේ සිටම අපහුසෙවන් මෙන් එහා මෙහා වෙයි. ළඟ වාඩි වී සිටිනා සමවයස් උපාසිකා මාතාව දෙස බලා ඇස් වලින් රහසින් කතා කරයි. උරහිස් අකුලයි. නමුදු වචනයක් හෝ නොදොඩයි.

වැනිල්ල වැඩි වූ නිසා දෝ මන්දා රා ගුඩ්ඩා ගේ උගුරට , රා පිරි රා බඩේ සිට ආවේ  “ රා ගුඩුස් “ එකකි.  වැනිල්ලත් සමඟ එකවර පැමිණී රා ගුඩුස් එකට බිය වූ උපාසකමාතාව එක්වරම හඬ නඟා මුළු බසයටම ඇසෙන්නට මෙසේ කීවා නොව කියවුනාය.

“ අනේ බුදු පුතේ වමනේ කරන්න නම් එපා “


තවත් රා කතා නම් අපමණය. එයට හේතුව වන්නේ , මාගේ උපත සිදු වූයේ රා මදින පොල් මණ්ඩිය ක මැද පිහිටි ඉපැරණි කුඩා නිවසක වීමයි. කුඩා අවදියේ සිටම රා ගුඩ්ඩන් , රා මදින්නන් , රා පීප්ප , මල් කතුර , අතුර මා දෑසට හොඳින් හුරු පුරුදුය. අදටත් රා සුවඳක් දැනුන විට දී දෑස් පියාගෙන මගේ කුඩා අවදියට දිව යාමට මට හැකි ය. එතරම්ම රා සුවඳ මා මතකයේ ඇති කර ඇත්තේ නොස්ටැල්ජියාවකි.

මාගේ පියාගේ සේවා කාලය අවසන්ව රට තුළට ඔහුට ලැබුනු ස්ථාන මාරුවත් සමඟින් රා සුවඳින් පිරි පොල් වත්තේ කුඩා නිවසට සමු දීමට සිදු වූව ද ජීවිතයේ නොමැකෙන සොඳුරු අවදියක් සනිටුහන් කළ ඒ සුවඳට අදත් ප්‍රිය කරමි.

ස්ථාන මාරුවත් සමඟින් ම තාත්තාට නොමිලේම උදයේ ම ලැබෙන “රා වඩිය“ නොලැබී යාම නිසා කිසිදා නොලැබෙන  බබෙක් සිටි ඒ ලොකු බඩ ගෙඩිය සීශ්‍රෙයන් බැස ගොස් තාත්තා නැවතත් හැඩකාරයෙකු වූ බව නම් නොකියාම බැරිය. 

රා සුවඳට තවමත් ඇලුම් කරන 

මම

෴ සොඳුරු ෴

Sunday, September 14, 2014

මා හට මිස

 මා හට මිස


සඳ නැති පාළුව අහසට 
මිස දැනෙයි ද මහ පොළවට
නුඹ නැති පාළුව මාහට
මිස නොදැනෙයි වෙන කාහට
ආදරයක් ඇති වුනි නම්
නුඹටයි නුඹෙ ඔය හිතටයි
මේ ලොව තනියෙන් හිටියත්
නුඹෙ රුව-ගුණ මා අසලයි
ඉර එනමෙන් හෙට උදයේ
නුඹ එනවා නම් සොඳුරේ
මේ ලොව නෙක මල් අතරේ
මගේ හිතත් පිපෙනු ඇතේ


නුඹ එනකම් බලා ඉන්න

මම
෴ වත් ෴

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...